Thursday, November 4, 2010

සිහරද වලප


සිහරද වලප

ඉපල් හිස් තුරෙක අස
දලුවකුදු නො පෙනෙන
විසුළ පර පත් හැම
පෙත්මං වසා අවුරන

ඉකිබිදී සිහරද
තෘෂ්ණිම්භූත ස්වරයෙන
හිත අසළ තුරුලු කළ
පර මලෙක සුවද විද විද
නොදැන මෙන යා යුතු මග

- ප්‍රසාද්









Thursday, September 30, 2010

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි.



ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි.


ආචාර්ය එස්.අයි. කීතපොන්කලන්- කොළඹ විශ්වවිද්‍යාලය


• විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?


අපි විශ්වාස කළ දෙයක් තමයි 18 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලනකොට කොහොමටවත් වාසිදායක දෙයක් නොවන බව. ඒ පිළිබඳ සමාජ මට්ටමේ සංවාදයක් තියා අඩුතරමේ වැඩිදෙනෙක් එහි ව්‍යුහයවත් දැනගෙන හිටියේ නෑනෙ. මං හිතන්නෙ නෑ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුටවත් අනෙක් කවරකුටවත් මේ ගැන පොදු සාකච්ඡාවකට එන්න කාලයක් තිබුණා කියලා. ඒ නිසා ඒ ගැන සමාජයට කියන්න-

-දැඩි අවශ්‍යතාවක් අපි තුළ තිබුණා. මේ හේතුවෙන් අන්තිම මොහොතෙදි හරි විශ්ව විද්‍යාල ආචාර්යවරු හැටියට අපි ඒ දේවල් කිව්වා.


• 18 සංශෝධනය තුළින් ඔබ කියූ අයුරු ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවන හානිය මොකක්ද?


77දී අපි මේ ව්‍යවස්ථාව හදාරණ කොට ඉතා අවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිමත්, බලතල සහිත විධායකයක්නෙ ගොඩනැගුවෙ. ඒ හදන කොට ජනාධිපති ක්‍රමයක තිබීමට අවශ්‍ය කරන සංවරණ සහ තුලන විධික්‍රම ගොඩනගා තිබුණේ නැති තරම්. තිබුණත් ඒ එකක් දෙකක් පමණයි. අයවැය වැනි කරුණක් ගත්තාම ඒ තුළ යම්කිසි ස්වාධීනත්වයක් ව්‍යවස්ථානුකූලව හිමිවුණා. නමුත් එය ප්‍රායෝගික වශයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නෑ. මොකද හැමවිටම වගේ ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය විදිහට තිබීම නිසා.1978දී අපි පරිකල්පනය කළ ජනාධිපති ක්‍රමයට වඩා හාත්පසින් වෙනත් ක්‍රමවේදයක් තමයි අපි මෙතනදි ගොඩනැගුවෙ. ඒ අනුව 78 තිබුණ නම් තිබුණු සංවරණයන් සහ තුලනයන් කිහිපයක් උදුරගෙන මේ තුළින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයක් ගොඩනගලා තියෙනවා.


• රජය මේ සංශෝධනය ගෙනයන්න්, මෙතෙක් කල් සාකච්ඡා වුණු බලය බෙදීම, 13 ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ කිරීම කියන කාරණා සියල්ල අමතක කර?


බලය බෙදීම කියන එක අද වන විට හුදෙක් තර්කයට විතරක් සීමා වෙලානෙ තියෙන්නෙ. නමුත් 2009 මැයි වෙන්න කලින් මේ තර්කය යථාර්ථමය තර්කයක්. සාමය අවශ්‍ය නම් සුළු ජාතිකයන් සෑහීමකට පත් කරන්න නම් බලය බෙදිය යුතුයි කියන විශ්වාසය ඒ යුගය වන විට දේශපාලනය තුළ විශාල වැදගත්කමක් දරන කරුණක් වුණා. මොකද ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ඉතා ශක්තිමත්ව තිබූ නිසා. නමුත් අද වන විට ඒ පීඩනය පේන්න නෑනෙ. ඒ නිසා සාමය අවශ්‍ය වනවා නම් බලය බෙදිය යුතුයි කියන එක අද හුදු තර්කනමය කාර්යයක් වෙලා තියෙනවා. එය අද වනවිට යථාර්ථවාදී ස්වරූපයෙන් ඈත්වෙලා. මේ කරුණු හේතුවෙන් තම ප්‍රථම වෑයම ලෙස බලය බදීමට ප්‍රමුඛත්වය දෙන්න රජයට අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මතනදි රජය ලැබිලා තියෙන තුනන් දකේ බලය වුණත් ස්ථීර එකක් නෙමෙයිනෙ. ඒක හදාගෙන තියන්නෙ වන පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කරගෙන නිසා එය බොහොම ඉක්මනින් බිඳ වැටී යන්න පුළුවන්. ඒ නිසා රජය කළේ තමන්ට අවශ්‍ය කරන ප්‍රශ්න දෙකක් විසඳාගන්න ඒ අවස්ථාව ඉතා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එක. එක ප්‍රශ්නයක් තමයි වාර සීමාව. අනික තමයි රජය ඉතා විශාල ප්‍රශ්නයක් විදියට සලකා 17 වන සංශෝධනය ඉවත් කිරීම. ඒ අනුව රජය ඒ කටයුත්ත ඉතා සාර්ථකව හා සූක්ෂ්ම ලෙස කරගත්තා.කිසිම පීඩනයක් නැතිව ඉන්න අද වගේ දවසක, තියෙන හුදු තර්කමය කරුණක් වන බලය බෙදාහැරීම වගේ වැඩ කටයුත්තකට රජය අතගසයි කියලා හිතන්න බෑනෙ. ඔවුන්ට ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික කැමැත්තක් අනාගතය තුළවත් තියෙයි කියලා හිතන්න අමාරුයි. මොනවා වුණත් ඔවුන් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන හරහා අපිට රජයේ අවංක කැමැත්ත මොකද්ද කියන එක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්.අද වන විට බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ දෙමළ ජනයාට විතරක් නෙමෙයි. අනෙක් හැමෝටමත් මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දේශපාලන වශයෙන් කොළඹට කේන්ද්‍රගත වෙලා. ඒ නිසා බලතල බෙදීමේ අවශ්‍යතාව හැමෝටම තියෙනවා. නමුත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තියෙන්නෙ දෙමළ ජනතාවට. ඒ නිසාමනෙ ඔවුන් මෙතරම් කල් සටන් කළේත්.ඒ නිසා මේ අවස්ථාව තුළ වෙන්න ඕනෙ රටේ ඒකීයභාවය තහවුරු කරන, එමෙන්ම හැමවිටම රටේ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරන බලය බෙදාහැරුණු ක්‍රමයකට යෑම අපි කළ යුතුයි. නමුත් ඒ දේවල් පීඩනයකින් තොරව ඉබේ සිදුවෙයිද කියන ගැටලුව තියෙනවා.මොනවා වුණත් ලංකාව තුළ බලය බෙදීම කියන එක, ජනවාර්ගික ප්‍රශ්නය කියන එක විසඳන්න තියන හොඳම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි මං දකින්නේ. මොකද මේ වන විට එල්ටීටීඊ එක නැතිවා විතරක් නෙවෙයි ඒ හේතුවෙන් රජයට මේ වන විට විශාල පීඩනයකුත් නෑ. තවත් අතකින් ටීඑන්ඒ වගේ පක්ෂ, බෙදුම්වාදය කියන එක අතහැරලා වෙනත් ඇහැකින් දේශපාලනය දිහා බලන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාව තුළ මේ ප්‍රශ්නය විසඳීමට උපරිම වශයෙන් වෙහෙස වියයුතු බව තමයි මගේ විශ්වාසය.


• 18 ව්‍යවස්ථා සංශෝධනය වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිසංස්කරණ ඉතා පහසුවෙන් කිරීම සඳහා මෙරට ජනතාවගේ දේශපාලනික සවිඥානිකත්වය වැදගත් වෙන්නෙ කොහොමද?


මේක එකපාරටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. 2009ට ඉස්සෙල්ලා ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා නම්, එතකොට තිබුණු මූලික මතය තමයි මේ ව්‍යවස්ථාව ඉතාම නරකයි. ඒ අනුව ඒ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන මතය. ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවිය යුතු බව තමයි ඒ යුගයේ මතය වුණේ. ඒ වුණාට ඒ සියල්ල 2009 මැයි මාසයත් එක්ක වෙනස් වෙනවානෙ. යුද්ධයත් එක්ක නොසිතූ විරූ අන්දමට ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසා තමයි 18 සංශෝධනය කිසිම ජනතා විරෝධයකින් තොරව කරන්න පුළුවන් වෙන්නෙ. 18 සංශෝධනය ඉදිරිපත් කළ දිනයේ තිබුණේ ජන පෙළගැසීම් දෙකයින. ඉන් එකක් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවපු විරෝධතාව. අනෙක විරෝධතාවක් නෙමයි 18ට පක්ෂව රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය. මෙතනදි යථාර්ථමය වශයෙන් දකින්නට තිබුණු කාරණය තමයි රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය යූඑන්පී පෙළපාලියට වඩා බොහොමයක් විශාල වීම. ඒ අනුව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්නෙ දකුණේ මොනවගේ මානසික මට්ටමක්ද තියෙන්න කියලා.


• 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මානව අයිතිවාසිකම් සහ ඡන්ද හිමිකම් වැනි තත්ත්වයන් තුළ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද?


සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ගත්තාම ලංකාව තුළ අනෙක් මොනවා නැතත් ඡන්දය වෙලාවට සිදුවෙනවානෙ. එය තවදුරටත් නියමිත වෙලාවට සිදුවෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ජනතාව සඳහා ඡන්ද ප්‍රතිඵල කෙරේ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.මං හිතන විදියට මොවුන් ධුර වාරයන් වැඩි කළත් මෙතනදි ප්‍රායෝගිකව මුහුණ දෙන්න සිදුවේවි විශාල ගැටලුවකට තුන්වැනි වර ඡන්දය ඉල්ලීමේදී. මගේ නම් අදහස මහින්ද රාජපක්ෂට ඊළඟ වතාවේ ඡන්දය ෙ ජයග්‍රහණය කරන්න බැරි බව. ඡේ.ආර්. 77දී දිනන කොට ඇය ඡේ.ආර්.ට අත තියන්න බෑ කියලා හිතෙන තරමට ඔහුට විශාල ජන බලයක් තිබුණනෙ. එසේ නමුත් කල්යෑමේදී ඡේ.ආර්. ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය බිංදුවටම පිරිහිලා තිබුණේ.


• නමුත් එක පැත්තකින් මේ විධායක ක්‍රමය තුළ වෙනත් අපේක්ෂකයකු බලයට පත්වීමට ඇති ඉඩකඩ අහුරලා තියෙනවා. තවත් අතකින් රජය මීළඟට ගෙන ඒමට නියමිත 19 සංශෝධනය ඇතුළෙ වෙනස් වෙන්න ඡන්ද ක්‍රමය කියලා වාර්තා වෙනවා?


මේ ක්‍රමය ඇතුළෙ යම්කිසි පුද්ගලයකුට ජනාධිපතිවරයකු අබිබවා බලයට ඒමේ ඉඩකඩ ඇහිරිලා තියෙන බව මං පිළිගන්නවා. ඒ මොනවා වුණත මහජන මතය අතිවිශාල වෙනසකට භාජනය වෙලා තිබුණෝතින් මේ එක් දෙයක්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ තුළ විශාල වෙනස්කමක් විය හැකි බවයි මගේ නම් විශ්වාසය.


• පවතින තත්ත්වය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇහිිරීයෑම, මානව හිමිකම් උල්ලංඝනය වීම වගේ සංවේදී කරුණු දිහා බැලීමට මෙරට ජනතාවගේ මනස කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ?


කලින් කිව්වා වගේ 18 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රමාණවත් මහජන විරෝධයක් දක්නට තිබුණේ නෑනෙ. එහෙම ගත්තාම අපේ ජනතාවට කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න බෑ ඔබ කිවූ කාරණා ගැන. අනෙක් අතට සිංහල කියන්නේ මුළු ජන සංඛ්‍යාවෙන් 75%ක් පමණ වන අතිවිශාල බහුතරයක්නෙ. ඒ අනුව බලපුවාම මහ ජාතිය වශයෙන් ඔවුන් ඉතා ශක්තිමත් පිරිසක්. ඒ වුණත් බලය බෙදීම වගේ කරුණක් ගැන කතා කරද්දී ඔවුන් කල්පනා කරන්නේ, හැසිරෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ ගැන බලන්නේ අධික භීතියකින් යුක්තව. බලය බෙදුවාම රට විනාශ වෙනවා කියන මතය පෙරටුගාමීව සිටින ඔවුන්ගේ එම චර්යාව තුළින් විතරක් අද වන විට රටේ මහජනතාවගේ විඥානය සකස් වෙලා තියෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්නෙ.ප්‍රමාණාත්මක වශයෙන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ඉඳලත්, බලය බෙදීම වගේ කරුණක් සම්බන්ධයෙන් සුළු ජාතිකයන් කෙරේ අවිශ්වාසයක් තැබීමටත්, අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමටත් මේ රටේ සිංහල ජනයා යොමුවිය යුතු නෑනෙ. මොකද දෙමළ ජාතිකයන් ඇතුළු පිරිසට සන්නද්ධ අරගලයකට යන්නටවත්, දේශපාලනික වශයෙන් බහුතර සිංහල ජනතාවට අභියෝග කිරීමටවත් පුළුවන්කමක් නෑ. නමුත් අද වන විට සිංහල ජනතාවගේ විඥානය මේ යථාර්ථය පිළිගන්න ආකාරයට සැකසිලා නෑ. ඒ නිසා අපිට මෙතනදි ඉස්සෙල්ලාම වෙනස් කරන්න සිදුවෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය බලය බෙදීම ආදිය පිළිබඳ මෙරට ජනයා තුළ ඇති හැඟීම් සහ ඔවුන් තුළ වන අදහසයි.


ව්‍යවස්ථා සංශෝධන කාර්යයන් ඇතුළෙ මහජන මැදිහත්වීමේ වලංගුතාව පෙන්වන ජාත්‍යන්තර උදාහරණ මොනවාද?


සාමාන්‍ය විදිහට බලපුවාම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නෙ රටක බරපතළම කාර්යයක්නෙ. ඒ අනුව එහි මූලික පියවර වියයුත්තේ ජනතාවට ව්‍යවස්ථා කෙටුම්පත ලබාදීම සහ ඔවුන් සඳහා විශාල කාලසීමාවක් ලබාදී ප්‍රධාන සාකච්ඡාවක් සඳහා මහජනතාව පොළඹවන එක. ඒ සඳහා වාද විවාද සංවිධානය කරන එක.ස්විස්ටර්ලන්තය වගේ රටක් ගත්තාම තත්ත්වය මීටත් වඩා ඉදිරියෙන් තියෙනවා. මොකද දේශපාලනික වශයෙන් තමන්ට අවශ්‍යයැ'යි කියලා හිතන ප්‍රතිසංස්කරණ රජයට ලබාදී ඒවා ව්‍යවස්ථාවට ඇතුල් කරගැනීමේ හැකියාව එරටෙහි ජනතාවට තියෙනවා. තමාට මේ වගේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා ජනතාව රජයෙන් ඉල්ලද්දී ඒවා සලකා බැලීම රජයේ අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. මොකද එකී කරුණු පිළිබඳ එරට ව්‍යවස්ථාව තුළින්ම ප්‍රතිපාදන ලබාදීලා තියෙන නිසා.ඇත්තටම මෙතනදි ජනතාවට පුළුවන් තමන් යෝජනා කරන දෙයක්, යෝජනාවලියක් ලෙස සකස් කොට ඒ සඳහා මහජනතාවගේ අත්සන් ලබාගැනීමත්, මගින් රජයට ඉදිරිපත් කිරීමට. මෙසේ ජනතාව මගින් ඉදිරිපත් වන යෝජනා සියල්ල පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගැනීම එරට සාමාන්‍ය ක්‍රමවේදයයි.ඒ විතරක් නෙමෙයි මහජන නියෝජිතයන් නිසි පරිදි ජනතාවට ස්වය නාකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නිසි තීන්දු තීරණ ගැනීම සඳහා කටයුතු කිරීමට පවා ස්විස්ටර්ලන්තය තුළ ඡන්දදායකයාට අයිතියක් තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම නෑනෙ. ඒ වගේ දේවල් අනුකරණය කරමින්, ඒ වගේ දොස් කියලා ජනතාවට පෙන්වන්න තමයි ජනමත විචාරණය කියන එක අපි ගත්තෙ. මොකද ජනමත විචාරණයක් තුළදීත් ජනතාවගෙන්නෙ අහන්නෙ. එහෙත් ජනමත විචාරණයෙන් අහන ප්‍රශ්න මහජනයාගේ වුවමනාවට ඔවුන් විසින් සැකසූ ඒවා නෙමෙයිනෙ. ඒවා ඔක්කොම දේශපාලනඥයන් විසින් තම අවශ්‍යතා අනුව සැකසූ දේවල්. එතනදි වෙන්නෙ අපි මෙහෙම දෙයක් කරන්න යනවා. ඒකට කැමතිද නැත්ද කියලා බලහත්කාරයෙන් තම අවශ්‍යතාව ජනතාව මත පැටවීමක්.


ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2010.09.26)

Friday, August 13, 2010

ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ සොයා ගනිමු


ඇන්ටිගනි,


ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ සොයා ගනිමු


- පි‍්‍රයංකර රත්නායක




ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?


නාට්‍ය රචකයින් විසින් රචනා කරන නාට්‍ය වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. ඉන් පළමු වර්ගය තමයි නාට්‍ය රචකයා තමා ජීවත් වන සමාජයේ දේශපාලන මතුපිට ස්පර්ශ කරමින් ඒ පිළිබඳ රචනා කරපු නාට්‍ය. තවත් පිරිසක් නාට්‍ය රචනා කිරීමේදී පවත්නා දේශපාලනයේ මතුපිට ස්පර්ශ කරනවා වෙනුවට මිනිස් සමාජය සහ ජීවිතය ඉතාමත් සියුම් ලෙස ගවේෂණය කිරීමට උත්සාහ ගන්නවා. ග්‍රීක නාට්‍යකරුවා ගත්තාම ඔහු තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඔවුන් රාජ්‍ය තන්ත්‍රය කෙරේ තියෙන බල අරගලයේ මතුපිට ස්වභාවය දකින ගමන්, ඒ ස්වභාවය ඇතුළේ ඇති මිනිස් ජීවිතය, මිනිස් සිත සහ මිනිස් ඥානය පිළිබඳව සියුම් ගවේෂණයකට යෑම.

ඇන්ටිගනී නාට්‍ය ගත්තාම ඒකෙදි මතුවන කරුණක් තමයි බලය පිළිබඳ නීතිය සහ දේවත්වය පිළිබඳ නීතිය කියන ගැටුම අතරේ මනුෂ්‍යයා කොහොමද පීඩාවට පත් වෙන්නෙ කියන එක. මෙසේ මනුෂ්‍යයා මූලික කොට බිහි කළ නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නෙ මානව හැඟීම්. ඒ අනුව මානව හැඟීම් කියන කරුණ තුළ එදා සහ අද අතර විශාල සාම්‍යයක් දක්නට තිබෙනවා. ආදරය සහ ඊර්ෂ්‍යාව වගේ කරුණු ගත්තාම ලෝකයේ සෑම මනුෂ්‍යයාටම එදා සහ අද ඒ හැඟීම් දැනෙන්නෙ එකම විදිහකමයි. මේ වගේ තත්ත්වයක් එක්ක ගත්තාම ග්‍රීක නාට්‍යවල තියෙන ස්වභාවය තමයි ඒවා විශ්ව සාධාරණීය වීම. ඒ හේතුකොටගෙන ඒවා රෝම නාට්‍යයට බලපානවා. රෝම නාට්‍ය ශේෂ්ක්පියර් නාට්‍යවලට බලපෑවා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නූතන නාට්‍ය සඳහා බලපෑවා. නමුත් දේශපාලන මතුපිට තලය පමණක් ස්පර්ශ වුණු නාට්‍ය, එකී මතුපිට දේශපාලන කරුණු සමාජය කෙරෙන් විතැන්වීමත් සමග ඉතා ඉක්මනින් අවලංගු වෙනවා. ඒ අනුව නිර්මාණ ස්වභාවය ඉක්මවාගිය ග්‍රීක නාට්‍යය හැමදාම එකසේ වලංගුයි.


ස්පිල් බර්ග්ගේ 'ඇවටර්' වගේ චිත්‍රපටියක් ගත්තාම, තව වසර ගණනක අනාගතය තුළ ක්‍රියාත්මක වන, ස්වභාව ධර්මය එමෙන්ම දෙවියා සහ මනුෂ්‍යයාගේ සිතුවිලි අතර මෙන්ම, නීතියේ බලය සහ රාජ්‍ය බලය වැනි කරුණු අතර ගැටුමනෙ. ඒ අනුව එවන් අනුභූතියක් පාදක කොට බිහිවන නිර්මාණ සදාකාලිකයි. මේවායේ හැඩතල සියුම් ලෙස වෙනස්වීම විතරයි සිදුවිය හැක්කේ.

ඇන්ටිගනී නාට්‍යය දයලෙක්තිකව කියැවීමට උත්සාහ දැරීමත් එක්ක එය ලොව පවතින හොඳම ඛේදාන්ත නාට්‍යය ලෙස හේගල් වැනි විචාරකයෝ හඳුන්වනවා. ඇන්ටිගනී සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව මොකක්ද?

ඇරිස්ටෝටල් තම නාට්‍ය ක්ෂේත්‍රයේ පරමාදර්ශී නාට්‍ය විදිහට ගන්නේ ඊඩිපස්. ඊඩිපස් නාට්‍ය ගත්තාම එයත් බලය පිළිබඳ සංකල්පය ඇතුළේ පුද්ගල ඛේදවාචකයක් නිරූපණය කරන්නෙ. ඇන්ටිගනී නාට්‍ය ගත්තාම එය එහි තවත් දිගුවක් ලෙස සලකන්න පුළුවන්. එහි මිනිසා තමාව පාලනය කර ගැනීමට නිර්මිත නීතිය සහ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරගත් නීතිය අතර ගැටුමක්නෙ තියෙන්නෙ. නමුත් ඊඩිපස් නාට්‍යයේ ගැටුමට සහ වස්තුවිෂයට වඩා ඇන්ටිගනී නාට්‍යයේ වස්තුවිෂය ඉතා සංකීර්ණයි. සරල උදාහරණයක් ගතහොත් ඊඩිපස් නාට්‍යයේ ඛේදාන්ත වීරයා කව්ද කියන කාරණය ඉතා පැහැදිලියිනෙ. නමුත් ඇන්ටිගනී නාට්‍ය තුළ කවුද සැබෑ ඛේදාන්ත වීරයා කියන එක පැහැදිලි නෑ. එය ඉතාමත් සංකීර්ණයි.


මං අහලා තියෙනවා බ්‍රෙෂ්ට් මේ නාට්‍යයේ ක්‍රියොන් හිට්ලර්ට උපමා කරලා ප්‍රතිනිර්මාණය කළා කියලා. ඒක බ්‍රෙෂ්ට්ගේ ඉතාමත් අසාර්ථක කියවීමක් කියලයි මම නම් හිතන්නෙ. ක්‍රියොන් කියන්නේ හුදෙක් ඔහුගේ උවමනාවට අනුව බලය ක්‍රියාත්මක කරන කෙනෙක් නෙමෙයි. සම්ප්‍රදාය විසින්ම ඔහුට පවරලා තියෙනවා රාජ්‍යයේ බලය රැකගැනීම සඳහා මේ ක්‍රියාමාර්ග ඉටු කිරීමට. ඒ නිසා ක්‍රියොන් කියන්නෙ එක පැත්තකින් රාජ්‍ය බලය කියන නීතියේ ගොදුරක්. ඇන්ටිගනී ගත්තාම ඇයත් එක්තරා ගොදුරක්. ඇය ස්වභාවධර්මය හෙවත් අපි දෙවියන් ලෙස හඳුන්වන නීතියෙන් මනුෂ්‍ය නීතියත් අතර අරගල කරනවා. ඒ අනුව ඇන්ටිගනි නාට්‍යයේ ඛේදාන්ත වීරයා ක්‍රියොන් ද ඇන්ටිගනී ද කියල හිතන එක සංකීර්ණ කටයුත්තක්.

ඇත්තටම ඇන්ටිගනී නිෂ්පාදනය කළාට පස්සෙ මටත් හිතුන දෙයක් තමයි මෙය එක්තරා විදියකට පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය කරන කෙනෙකුට කරන්න පුළුවන් අන්තිම නාට්‍යයද කියලා. මොකද ආපසු තවත් නාට්‍යයකට යනවා නම්, මින් එහා ගිය මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරක් ඇති නාට්‍යයක් තියෙන්න ඕන. නමුත් එහෙම එකක් නැද්ද කියලා හිතෙනවා ඇන්ටිගනී බලනකොට. අනික තමයි මේ නාට්‍යය කියවද්දී, එය නිෂ්පාදන කිරීම සඳහා නළුවන් සමග ගනුදෙනු කරද්දී, එහි ප්‍රාසාංගික ගුණය ගොඩ නගා ගනිද්දී, සංගීතය ගොඩ නගා ගනිද්දී අපිට තවදුරටත් පරිපූර්ණ නාට්‍යයකට යන්න බෑ. ඒ අනුව ඇන්ටිගනී තුළ කථා කරන මනුෂ්‍යයා පිළිබඳ යථාර්ථය අපිට මැරෙනකම් ග්‍රහණය කරගන්න බැරිවෙයි. එය ඒ තරමට අරුත් බර, දවසින් දවස විවිධ කියැවීම්වලට භාජනය කළ හැකි සර්වකාලීන නාට්‍යයක්. ඒ අනුව ඔබ කිව්වා වගේ හේගල් ඇන්ටිගනී පිළිබඳ කළ තක්සේරුව ඉතාමත් සාධාරණ එකක් කියලා කියන්න පුළුවන්.


ග්‍රීක නාට්‍ය බොහෝමයක් ගත්තම ඒවා අයත් වන්නේ 'ලිරික් ඩ්‍රාමා' ගණයට. ඒවා තුළ බොහෝ විට නාට්‍යෝචිත ක්‍රියාවන් සහ ගැටුම් අවමයි. එවන් නාට්‍යයක් නූතන වේදිකාව තුළට ගෙන එද්දී අත්විඳීමට සිදුවන තත්ත්වයන් මොනවාද?

කාව්‍යමය ගුණය කියන එක බොහෝවිට ලෝකයේ තියන හොඳ නාට්‍ය සියල්ලම තුළ පාහේ තියෙන ලක්ෂණයක් කියලයි මම නම් හිතන්නේ. උදාහරණයක් විදිහට ඉබ්සන්ගේ නාට්‍යය බැලූ බැල්මට ස්වාභාවිකයැයි පෙනුණත් ඒවා ඉතාමත්ම කාව්‍යාත්මකයි. මොකද එක්තරා අතකට ඉබ්සන්ගේ භාෂාව හරි සංක්ෂිප්තයි. ඒවා තුළ තියෙන ව්‍යංගාර්ථ බහුලයි. ඊට අමතරව ඒ වායේ යටිපෙළ ඉතාම ගැඹුරුයි. ඔහුගේ නාට්‍ය පෙළක් ගත්තාම ඒක අපිට දිගින් දිගටම විග්‍රහ කරන්න පුළුවන්.

ඔබ කිව් විදිහට කාව්‍යාත්මක බව එක්තරා අභියෝගයක් තමයි. නමුත් නූතනය වන විට නාට්‍ය කලාව දියුණුයිනෙ. ග්‍රීක නාට්‍යකරුවා නාට්‍ය කළේ දිවා ආලෝකය තුළ. ඒ අනුව ග්‍රීක නාට්‍යකරුවාට ආලෝකය කියන කරුණ මිනිස් ජීවිතය සහ හැඟීම් සොයා යන ප්‍රබල භාවිතයක් ලෙස යොදා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් අද වන විට අංගරචනයන් දියුණුයි. රංග තාක්ෂණයත් දියුණුයි. ඒ නිසා නාට්‍යයක් තුළ තිබෙන කාව්‍යාත්මක භාවය නිසා ඇතිවිය හැකි අර්බුදය ජයග්‍රහණය කරන එක අද වන විට තරමක් පහසු කරුණක්.

අනෙක් කරුණ තමයි, පරිවර්තනය කෙරෙන නාට්‍යයක් එහි මුල් ස්වභාවයෙන් තැබීම. එසේත් නැතිනම් එයට අයත් මූලික සමාජ දේශපාලන මතම පමණක් නොතබා පරිවර්තනය කෙරෙන සමාජයේ මිනිස් ජීවිත සමග ගොනු කළ හැකිනම් එතනදි ඔබ කියූ බොහෝමයක් ගැටලු විසඳා ගැනීමට අසීරු වෙන්නෙ නෑ.

කෝරස් එක සහ වේදිකාව අතර පවතින දැඩි සම්බන්ධතාව ග්‍රීක නාට්‍ය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණයක්. ඔබේ ගොඩනැගීම තුළ මේක වැදගත් වෙන්නෙ කොහොමද?

ඇත්තටම ග්‍රීක නාට්‍ය තුළ එදා කෝරස් එක නිවැරදිව යොදාගන්නෙ කොහොමද කියලා පැහැදිලි නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විචාරකයින් දක්වන්නෙ විවිධ අදහස්. නමුත් ග්‍රීක නාට්‍ය තුළ ඇති විශේෂ කරුණක් තමයි ඒවායේ කෝරස් එක නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාව, මහල්ලන්, වැනි අය බොහෝ විට සිටීම. නමුත් අපි අපේ නාට්‍ය තුළ දී මේ සඳහා යොදා ගන්නේ බොහෝ විට තරුණ පිරිස්.


ග්‍රීක නාට්‍යයක් තුළ කෝරස් එක එක් පැත්තකින් අවශ්‍යතා ගණනාවක් පිරිමසනවා. ඉන් එකක් තමයි චරිත තුළින් උත්කර්ෂයට නංවන සිද්ධියක යටි පෙළ කෝරස් එකේ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම. එය එක්තරා විදියකට තවත් ගැඹුරු සංවාදයක් කරා නාට්‍ය යොමු කිරීම සඳහා වන අන්තර් විරාමයක් ලෙස ද භාවිත වෙනවා. චරිත අතර තියෙන වාද විවාද ගැඹුරු සංවාද ආදියෙහි බර ප්‍රේක්ෂකයා තුළට නොදී ඔහු ඊළඟ අවස්ථාව කරා සකස් කිරීමත් තවත් විටෙක කෝරස් එකේ කාර්යයක් වෙනවා. ඊට අමතරව ප්‍රාසාංගික කොටස් ඉදිරිපත් කිරීමේදී ඒ සිද්ධියේ ඇති ගැඹුර මඟහැරී යා නොදී ප්‍රේක්ෂකයා හට දැන්වීම සහ ඔහු සිද්ධිය කෙරේ බඳවා තබා ගැනීමත් කෝරස් එකේ තවත් කාර්යයක් වෙනවා.

විශේෂයෙන් තාක්ෂණික කරුණු කාරණා කිහිපයක් පදනම් කොටගත් වෙස් මුහුණු භාවිතයත් අනිවාර්ය අංගයක් ලෙස ග්‍රීක නාට්‍ය කලාව තුළ තියෙනවානෙ. මේක කොහොමද ඔබේ නාට්‍ය තුළට ගන්නෙ? මේ කවර අරමුණු ඇතිවද?

ඔබ කිව්වා වගේ, ග්‍රීක නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිතා කෙරුණේ ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයින් තිස් හතළිස් දාහක් ආවරණය කරමින් ඔවුන්ට චරිතයෙහි මුහුණ පෙන්වීම කියන කරුණ උඩනෙ. ඊට අමතරව ප්‍රේක්ෂකයා කරා හඬ සම්ප්‍රේෂණය කිරීමටත් වෙස් මුහුණ තුළ සැකසුණු සුවිශේෂී නාට්‍යයකුත් භාවිත වුණා. නමුත් අපි නාට්‍ය කරන්නේ ග්‍රීසියේ වගේ දහස් ගණනක් සෙනගකට නෙමෙයිනෙ. අපි නාට්‍ය කරන්නෙ ප්‍රේක්ෂකයින් තුන් හාරසියයක් සඳහා. ඉතින් නූතන නාට්‍ය තුළ නළුවන්ගේ මුහුණ හරි වැදගත්. අපිට ආලෝක භාවිතය තුළින් ඒ මුහුණ හා ඒවායේ පවතින හැඟීම් ඉතාමත් සියුම්ව මතු කරලා ගන්න පුළුවන්.

ඔබ ඇහුව වගේ මගේ නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිත වෙන්නෙ ග්‍රීක නාට්‍යකරුවා භාවිත කළ අරමුණු සපුරා ගැනීමට හෙවත් ප්‍රේක්ෂකාගාරයට නාට්‍යය පැහැදිලි කිරීමේ උපකරණයක් විදිහට නෙමෙයි. අපි ප්‍රධාන වශයෙන් මේ තුළ වෙස් මුහුණ භාවිත කරන්නේ මනුෂ්‍යත්වයේ දෙබිඩි ස්වභාවය පැහැදිලි කරන්න. වැරදි කරන අය වැරදි කරනවානෙ. තමන්ගෙම මුහුණ කැටපතක් කරගෙන. අපේ ඇත්ත ජීවිතයේ පිටුපස හැම වෙලේම වෙස් මුහුණක් තියෙනවා. මේ සමාජය තුළ දේශපාලනික වශයෙන් සිදුවිය යුත්තේ කුමක්ද කියලා අද හැමෝම දන්නවා. නමුත් ඔවුන් සැබෑ ජීවිතයේදී ඒ සඳහා අරගල කරන්නේ නෑ. ඒ ඔවුන් ඉතා දෙබිඩි නිසා.


මගේ නාට්‍යයේ ක්‍රියොන් එක්ක ඉන්න සෙනට් එක තමන්ගේ මුහුණ පිටුපස හැමවෙලේම වෙස් මුහුණක් තියාගෙන ඉන්නෙ. ඔවුන් අවශ්‍ය වෙලාවට විතරක් ඒ වෙස් මුහුණ පැළඳ ගන්නවා.

ඊට අමතරව මේ නාට්‍ය තුළ එක් අවස්ථාවක් තියෙනවානෙ ඇන්ටිගනී මරණයට පත්වීමට පෙර ඇය මළවුන්ගේ ලෝකය පරිකල්පනීයව දකින. ඇය දකින එම මළවුන්ගේ ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අපි වෙස් මුහුණු භාවිත කරනවා. ඒ අනුව මේ නාට්‍ය තුළ විවිධත්වයකින් යුතුව, එහි ගැඹුරු තැන් උද්දීපනය කිරීමට වෙස් මුහුණ සංකේතාත්මකව භාවිත කෙරෙනවා.

ඔබ ඇන්ටිගනී සඳහා යොදා ගන්නෙ ප්‍රවීණ ලේඛක ආරියවංශ රණවීරයන් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටිගනී නාට්‍ය පිටපත. ඔබේ නිෂ්පාදනය ඇතුළේ ඒ පිටපත වෙනස් වෙන්නෙ කොහොමද?

ඇත්තටම මෙතනදි මං ගත්තෙ රණවීර මහතා විසින් කරන ලද ඇන්ටිගනී දෙවැනි පරිවර්තනය. රණවීරයන් තුළ තිබුණු අදහසක් තමයි ග්‍රීසියේ නාට්‍යයක් පැය තුන හතරක් රඟ දැක්වුවත් නූතන නාට්‍යයක් එවන් දීර්ඝ කාලයක් ගත යුතු නෑ කියන එක. එමනිසා එම නාට්‍යය සියුම් වෙනස්කම්වලට බඳුන් විය යුතුයි කියලා එතුමා විශ්වාස කළා. පරිවර්තකයා තුළින්ම එවැනි නිදහසක් ලැබෙන එක හරිම පහසුවක්නෙ නාට්‍ය කරුවෙකුට. ඉතිං මගේ නාට්‍ය තුළ ඇතැම් අවස්ථාවල රණවීරයන්ගේ නාට්‍ය පිටපතේ තිබුණු දේවල් නාට්‍යෝචිත පරිදි වෙනස් වුණා.

සංවාදය - ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

[රාවය - 2010.07.25]