Friday, August 22, 2014

පුරාණෝක්තියකට අලූත් අර්ථයක් දීම පරණ බෝතලයකට අලූත් වයින් දානවා වගේ



පුරාණෝක්තියකට අලූත් අර්ථයක් දීම පරණ බෝතලයකට 

අලූත් වයින් දානවා වගේ


- මහාචාර්ය මර්ලින් පීරිස්


• මානව ශිෂ්ටාචාරය සඳහා ග්‍රීකයින් දායාද කළ අමරණීය දායාදයන් සියල්ල ඔවුන්ගේ සහජ බුද්ධිය හේතුකොට, හුදෙක් ඔවුන් තුළ හිටිවනක් පැනනැඟුණු ඒවා නොව ඔවුන් ඒ සඳහා අන්‍ය ශිෂ්ටාචාරයන්හි නොමඳ ආභාසය ලබාගන්නා බව පේනවා. ග්‍රීක දර්ශනයේ පීතෘවරයා ලෙස ඇරිස්ටෝටල් විසින් පවා හැඳින්වෙන තේල්ස් සූර්යග්‍රහණය පිළිබඳ අනාවැකි පළ කරන්නේ ඔහුගේ සහජ බුද්ධියට වඩා ඔහු බැබිලෝනියානුවන්ගෙන් ලබාගත් ආකාශ වස්තූන්ගේ චලිතය පිළිබඳ තොරතුරු පදනම් කරගෙන?

ග්‍රීකවරුන් සෙසු ශිෂ්ටාචාරයන් සමඟ නිරන්තර ඇසුරක් පැවැත්වීම තත්කාලීන යුගයේ සිදු වුණු දෙයක් තමයි. ඒ අනුව ග්‍රීකයින් ඔවුන්ගෙන් යම් යම් දේ ඉගන ගත්තා පමණක් නෙමෙයි ඔවුනුත් ග්‍රීරකයින්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තා. නමුත් මෙහි තියෙන විශේෂත්වය වන්නේ අවුරුදු සීයක පමණ ඉතා කෙටි කාලයක් තුළ ග්‍රීකවරුන් ඒ දේවල් හිතාගන්ඩ බැරි තරමට, පුදුමාකාරලෙස දියුණු කිරීම. උදාහරණයක් ගත්තාම මිසරය කියන්නෙ ඉතා පැරණි ශිෂ්ටාචාරයක්නෙ. මිසරයේ ඓතිහාසික යුගය පටන්ගන්නෙ ක්‍රිස්තු පූර්ව 3200 තරම් ඈත යුගයක.

වෙනකක් තියා ඉතිහාසයේ පියා ලෙස සැලකෙන හෙරාඩෝටස් කියන ග්‍රීක ඉතිහාසඥයා කියනවා මිසරයේ මිනිස්සු ''උඔලා අපිට කුඩා දරුවන් වගේ'' කියලා ග්‍රීකයින්ට කිව්වා කියලා. අපිට මිසරය ගැන කතා නොකර ග්‍රීසිය ගැන කතා කරන්ඩ බැරි තරම් ඔවුන් ග්‍රීසිය කෙරෙහි හැම අතින්ම බලපෑවා. මිසර මූර්ති කලාව ගත්තම එහි බොහෝවිට තිබ්ඛෙ හිටිවන රූප. එක්තරා අතකට මිසරයින් මේ ශෛලිගත රූප හදන්නේ යම්කිසි ආගමික අරමුණක් ද ඇතිව. ග්‍රීකයින් තම මූර්ති කලාව සඳහා ආභාසය ගන්නෙ මිසරයෙන්. නමුත් ඔවුන් මිසරයේ තිබුණු මේ ශෛලිගත රූප තම මූර්ති කලාවට ආභාස කොට ගත්තත් ඒවා නොසිතූ විරූ පරිදි දියුණු කළා. ඒ අනුව ඔවුන් විසින් නිර්මිත මූර්ති හුස්ම ගන්නවා වගේ පේන තරමට තාත්වික වුණා. මිනිසාගේ සියුම් මාංශ පේශීන් පවා ඉතා තාත්විකව නිරූපණය කරමින් නිර්මාණය වුණු මේ මූර්ති තැනීමේදී ඔවුන් විශාල ආගමික නැඹුරුතාවක් පෙන්නුවේ නෑ.

අනෙක් කරුණ තමයි. මිසර රූප වල කෙටි සරම තිබුණා. ඔවුන් ගැහැනු, පිරිමි රූප නිර්මාණය කරව්වෙ නෑ නිරුවත්ව. නමුත් මේ රූප බලලා ග්‍රීකයින් නිර්මාණය කරන්නෙ අතිශ්‍ය තාත්වික නිරුවත් රූප. ඇත්තවශයෙන්ම නිරුවතින් ක්‍රීඩා කිරීමේ පුරුද්දක් ග්‍රීකයින් සතුව තිබුණා. ඒ සඳහා ඔවුන්ට ආගමික තහංචි බලපාන්නෙ නෑ විතරක් නෙමෙයි, එක්තරා අතකට ඔවුන් මලල ක්‍රී‍ඩාව කරන්නෙම ආගම වෙනුවෙන්. ''ජිම්නේසියම්'' කියන වචනෙ තේරුම ගත්තත් ඒ තුළ නිරුවත්ව ක්‍රීඩා කිරීම කියන අර්ථය අඩංගු වෙනවා. ''ගුම්නද්සෝ'' කියන වචනයේ අර්ථය වුණේ I remove my clothes කියන එක. ඒ අනුව ජිම්එකට ගියාම ක්‍රීඩා කරන්ඩ ඕනෙ නිරුවතින්. නිරුවත්ව ක්‍රීඩා කරන තැන කියන අර්ථය එන ''ගුම්නාසියෝනි'' කියන වචනෙන් තමයි ''ජිම්නේසියම්'' වෙන්නෙ. ක්‍රීඩා කරනවානම් ස්ත්‍රීන් පවා මෙසේ නිරුවත්ව ක්‍රීඩා කළ යුතුයි කියලා ප්ලේටෝ කියනවා.

සැබැවින්ම ක්‍රීඩාව කියන්නෙ ග්‍රීක වරුන්ගෙ ජීවිතයෙන් කොටසක්. සොක්‍රටීස් ගත්තම ඔහු අපූර්ව නැටුමක, එසේත් නැතිනම් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක ආකාරයේ එක්තරා සුවිශේෂී ව්‍යායාමයක් කරනවා හැමදාම. ඔහු ඉතාමත් ශක්තිමත් පුරුෂයෙක්. පොදුවේ ගත්තම ග්‍රීකයින් සතුව තිබුණේ ඉතාමත්ම ලස්සන සිරුරු. මේ කරුණු නිසා මානව ශරීරය පිළිබඳ ග්‍රීකයින් සතුව අතිවිශාල අවබෝධයක් තිබුණා. ඔවුන් මිනිස් සිරුර පිළිබඳ බාහිර හා අභ්‍යන්තරික වශයෙන් විශිෂ්ට හැදෑරීමක් කළා. ඒ විතරක් නෙමේ මිනිස් සිරුරේ පවතින අති සියුම් අංග චලනයන් පවා මොවුන්ගේ හැදෑරීමට බඟන් වුණා. ඒ අනුවයි ඔවුන්, මං කළිං කිව්වා වගේ හුස්මගන්නවා වගේ පේන මූර්ති නිර්මාණය කරන්නෙ. ග්‍රීක ජ්‍යාමිතිය ගන්ඩ, තේල්ස් මිසරයේ මිනිස්සුන්ට පෙන්නලා දෙනවා පිරමීඩයේ උස මනින ක්‍රමයක් එහි හෙවණැල්ල මඟින්.

පිරමීඩය හදන්න තරම් දියුණු තාක්ෂණයක් තිබුණු මිසරයින්ට එහි උස මනින්ඩ කියලා දෙන එක බැලු බැල්මට විහිලූවක් වගේ පේන්ඩත් පුළුවන්. මිසරය සතුව තිබුණු ගෘහනිර්මාණ තාක්ෂණය අති විශිෂ්ටයි. ඇත්තටම බලපුවාම ග්‍රීසිය සතුව නෑ එවන් විශිෂ්ට නිර්මාණ. කොහොම වුණත්, මිසරය සතුව තිබුණු අති විශිෂ්ට ගෘහනිර්මාණ තාක්ෂණය ඉගෙනගත්තු ග්‍රීකයින් එහි තියෙන සියුම් සිද්ධාන්ත එකිනෙකට වෙන් කරමින් හා විශ්ලේෂණය කරමින් ඒවා සයන්ස් එකක් හෙවත් විද්‍යාවක් බවට පත් කරනවා.

ඒ නිසා ග්‍රීකයින් ඔබ කීවා වගේ විවිධ ජාතීන් හා මුසුව ඔවුන්ගෙන් විවිධ දේවල් ඉගෙනගත්තත් ඒවාට නැඹුරු වෙලා ඒවා ඒ විදිහටම තියා ගන්නෙ නෑ. ඔවුන් ඒවා අතිවිශිෂ්ට අයුරින් වෙනස් කරමින් දියුණු කරනවා ඉතා ටික කාලයක් තුළ.

• බොහෝවිට එකිනෙකා සමග ඊර්ෂ්‍යාවෙන් හා තරහින් පෙළුණු ග්‍රීක පෞර රාජ්‍යයන් අතර ඒකාත්මික බවක් ඇතිකිරීමට පොදු සම්භවය (හෙලන් නමැත්තාගෙන් තමන් සියලූ දෙනා බිහි වූ බවට වූ විශ්වාසය), පොදු භාෂාව සහ සාහිත්‍ය මෙන්ම වසර හතරකට වරක් පැවැත්වුුණු ඔලිම්පික් වැනි ක්‍රීඩා තරග බලපාන්නෙ කොහොමද?

ඒ සඳහා ඔය සංකල්ප සියල්ලම ඉතා වැදගත් වුණ බව ඇත්ත. එක අතකින් ග්‍රීක් කියන අදහසෙන් අපි සලකන්නෙත් එක භාෂාව, එක ආගම, එක ජාතිය සහිත ජනතාවක්ම තමයි. ඔය කරුණු වලට අමතරව, නිරන්තර ඇතිවුණු සතුරු ආක්‍රමණත් එක්තරා අතකට මේ පෞර රාජ්‍යන් අතර එකමුතුකම වර්ධනය කෙරුවා. ක්‍රීඩා උළෙලවල් ගත්තම, ග්‍රීසියේ තිබුණෙ ඔලිම්පික් උළෙල විතරක් නෙමෙයිනෙ. ග්‍රීසියේ ප්‍රධාන වශයෙන් එවැනි ක්‍රීඩා උළෙලවල් හතරක් තිබුණා. එකක් තමයි සියුස් දෙවියන් උදෙසා පැවැත් වුණ ඔලිම්පික් උළෙල, අනෙක තමයි ඩෙල්ෆි කියන නගරයේ, ඇපලෝ දෙවියන් වෙනුවෙන් පැවැත්වුණු ''පිතියන්'' කියන උත්සවේ. මේ උත්සව දෙක පැවැත් වුණා සෑම අවුරුදු හතරකටම සැරයක්. තව ක්‍රීඩා උත්සවයක් තිබුණා ''ඉස්ත්මියන්'' කියලා. ඒක පැවැත්වුණේ මුහුදට අධිපති දෙවියන් ලෙස සැලකුණු පොසීඩියන් වෙනුවෙන්. අනෙක තමයි හර්කියුලිස් දෙවියන් වෙනුවෙන් පැවැත් වුණ ''නිමියන්'' කියන ක්‍රීඩා උත්සවය. අන්තිමට කියූ ක්‍රීඩා තරග දෙක පැවැත්වෙන්නෙ වසර දෙකකට සැරයක්. නමුත් ඒ දෙක පැවැත්වුණේ අවුරුදු දෙකක මිස එක අවුරුද්දෙ නොවන නිසා හැම අවුරුද්දෙම වගේ ඉතා වැදගත් ක්‍රීඩා උළෙලක් ග්‍රීකයින්ට තිබුණා. ඇපලෝ දෙවියන් වෙනුවෙන් පැවැත්වුණු පිතියන් උත්සවේ ප්ලේටෝ පවා රෙස්ලින් ක්‍රීඩා කළා. ඇත්තටම ග්‍රීක දාර්ශනිකයෝ කියන්නෙ නිකම් පණ නැති මිනිස්සු පිරිසක් නෙමෙයි. ඔවුන් හිතාගන්න බැරිතරම් ශක්තිමත් පුරුෂයෝ. සොක්‍රටීස් ගත්තම ඔහු ඉතා ක්‍රීඩාශීලී සහ ශක්තිමත් පුරුෂයෙක් කියලා මං කළිනුත් කිව්වනෙ. ඇරිස්ටෝටල් වුණත් එහෙමයි ඔහු ක්‍රීඩාශීලී වුණා විතරක් නෙමෙයි, ඔහු එක්තරා මලල ක්‍රීඩකයකුගේ වියහියදම් පවා දැරුවා. ඉතිං මේ උත්සව වලට සියලූම ග්‍රීකයින් ආවා. ඔවුන් එක්තරා අතකට ඒවා සැලකුවේ ආගමික හා ජාතික උළෙලවල් හැටියට. ඒවාට සහභාගී නොවුනොත් ඔහු ග්‍රීකවරයෙක් ලෙස සැලකුවෙ නෑ. උදාහරණයක් විදිහට, මැසිඩෝනියන්වරු ගත්තම ඔවුන්ට ඔලිම්පික් නියෝජනය කිරීමේ වරම හිමි වුනේ නෑ. අඩුගානෙ ඇලැක්සැන්ඩර්ට පවා. සැබැවින්ම මැසිඩෝනියානුවන්ටත් තිබුණේ ග්‍රීක සම්භවයක්. නමුත් ඔවුන් සතුව තිබුණෙ වෙනම ආණ්ඩු ක්‍රමයක්. ඔවුන් බොහෝවිට රජවරුන් යටතේ පාලනය වුණා.

• නමුත් ග්‍රීක පෞර රාජ්‍ය තුළත් එක්තරා යුගයක ඔය කියන රාජාණ්ඩු ක්‍රමය තියෙනවා?

ආරම්භක යුගය වන විට ග්‍රීසිය සතුවත් රාජාණ්ඩු තිබුණා. ඒත් ඒවා එතරම් ජනප්‍රිය නොවීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම බිඳවැටුණා. ඉන් පසුව ප්‍රධාන වශයෙන් ග්‍රීසිය පාලනය වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, රදළ වාදී ක්‍රමය හා ඒකාධිපති ක්‍රමය වැනි පාලන තන්ත්‍රයන් තුළින්. ඇත්ත වශයෙන්ම ග්‍රීසියේ තිබුණු පෞර රාජ්‍යය ගණන හාරසීයට වැඩියි. නමුත් ඒහි තිබුණු විශේෂත්වය වුණේ ඒ හැම පෞර රාජ්‍යයකටම පාහේ වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණු එක. ඇරිස්ටෝටල් ගත්තම, ඔහු ඉන් පෞර රාජ්‍ය තුන්සීයක විතර ව්‍යවස්ථාව ඉතා හොඟන් අධ්‍යනය කරනවා. ඒ හැදෑරීමත් එක්ක තමයි ඔහු ''පොලිටික්ස්'' කියන පොත ලියන්නේ. ඇතැම් ග්‍රීක පෞර රාජ්‍යන් තුළ පැවති ඒකාධිපති ක්‍රමය වැනි පාලන තන්ත්‍රයන්ට මිනිස්සු එතරම් කැමති නොවීම ආදී කරුණු නිසා ග්‍රීසිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වැඩියෙන් ජනප්‍රිය වීමත්, ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් වැඩි වැඩියෙන් වර්ධනය වීමත් දක්නට තිබුණා.
ග්‍රීකවරුන් විසින් ලොවට දායාද කරන ලද මේ ප්‍රජාතන්ත්‍රවායේ ප්‍රධාන වශයෙන් ඉතා වැදගත් සංකල්ප තුනක් තිබුණා. ඒ අතර පළවෙනි සංකල්පය තමයි ''ඉසොමොයිලියා'' කියන එක. එයින් කියැවුණේ සම පංගු කියන අදහස. ඒ අනුව සෑම මිනිසාම දේශපාලනයේදී සම බව පිළිගැනුණා. දෙවැනි සංකල්පය තමයි ''ඉසොනොමියා'' කියන එක. එයින් අදහස් වුණේ නීතිය ඉදිරියේ සෑම දෙනාම එක සමානයි කියන එක. ''පර්රේෂියා'' කියන තුන්වෙනි සංකල්පයත් ඉතා වැදගත් එකක්. ඉන් ග්‍රීකයින් අදහස් කළ දේ තමයි භාෂණයේ නිදහස කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයට පදනම දැමූ නායකයා ලෙස සැලකෙන මහා පෙරික්ලීස් පවා කියනවානෙ යම් කිසි මනුෂ්‍යකුට අදහසක් තිබුණට වැඩක් නෑ ඒක ප්‍රකාශ කරන්ඩ බැරිනම් කියලා. අපි කරන්නෙ ග්‍රීසියෙන් ලැබුණු මේ ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් මෙහෙට ගෙනත් ඒවා විනාශකරන එක. ඇත්තම අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන නියමිත අදහසක් නෑ. අපි මුල ඉඳලා, ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි දෙවන එලිසබත් දක්වාම ඉන්නෙ රජවරු යටතෙනෙ. එක්තරා අතකට, ලොව කිසිම ජාතියක් ඉඳලා නැති තරමට අපි රජවරුන් යටතේ ඉඳලා තියෙනවා. ඉතිං අපි ළඟ ඒ නින්දාසහගත වහල්භාවය තාමත් තියෙනවා. ඒ නිසා අපි තවමත් හොයන්නෙ රජවරු.

• ග්‍රීසිය සෙසු ජාතීන් හා රාජතාන්ත්‍රික ගණුදෙනු පැවැත්වීමේදී ''බාබේරියන්'' කියන සංකල්පය ඉතා දැඩි සේ බලපාන බව පේනවා. ඇතැම් විට ඒ ''ඇන්ටිපන්'' වැනි විතණ්ඩවාදීන් ඇතුළු බොහෝදෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වුවත් එහි බලපෑම අඩු වන බවක් පේන්නෙ නෑ. මෙකී බාබේරියන් සංකල්පය සංස්කෘතික සංස්පර්ශ කාර්ය කෙරේ බලපාන්නෙ කොහොමද?

 ''බාර්බාර්රොස්'' කියන්නෙ තේරෙන්නෙ නැති භාෂාව කියන එක. ඒ නිසා විදේශිකයින් සියල්ලටම බාබේරියන් කියලා කිව්වා කිසිඳු පාච්චල් කිරීමකින් තොරව. ඒ ඔවුන්ගේ භාෂා නොතේරුණු නිසා. නූතන විචාරකයින් කියන්නා වගේ ඔය වචනෙ ''මිලේච්ඡයා'' කියන අර්ථයේ දැඩි හෙළා දැකීමේ ස්වරයකින් එදා භාවිත වුණේ නෑ. එක්තරා අතකට පසුකාලීන යුගය වන විට ග්‍රීසිය හා පර්සියාව අතර දැඩි තරහක් ඇතිවනවනෙ. ඒ නිසා ග්‍රීකයින් පර්සියානුවන් සඳහා ඔය වචනය යම්තාක් දුරකට තරහින් භාවිත කළා. නමුත් පර්සියානුවන් කියන්නෙ ඒ වන විට අති විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ කොටසක්. අනෙක මුල්කාලීනව පර්සියාව ජනාවාස කරන්නෙත් ආරියන්වරු. ග්‍රීකවරු ගත්තාම ඔවුනුත් ආරියන්නෙ. වැඩිය ඕනෙ නෑ, ඇලෙක්සැන්ඩර් රජුට ඕනෙ වුණා පර්සියාවෙ රජ වෙන්ඩ. ඒ විතරක් නෙමෙයි ඔහු පර්සියානු රජුගේ රොක්සානා කියන දියණියත් සමඟ පවා විවාහ වුණා. ඊට අමතරව ඔහු තමන්ගේ මිනිස්සු ඔක්කොටම කිව්ව පර්සියානුවන්ගෙයි අපෙයි වෙනසක් නෑ ඒනිසා පර්සියන් ස්ත්‍රීන් සමඟ විවාහ වෙන්ඩ කියලත්. ඒ අනුව බාබේරියන් කියන සංකල්පය අපි හිතං ඉන්න තරම් විවේචනාත්මක අයුරින් ඒ යුගයේදී භාවිත වුණේ නෑ. ඒක පසුකාලීන විචාරකයින් ගොඩනඟාගත් වැරදි අදහසක් විතරයි.



• තත්කාලීන යුගය වන විට ලොව සියලූම පාහේ ජාතීන් සතුව නාට්‍යකලාව ආදී දියුණු කලාවන් තියෙන්නට ඇති බවත්, ග්‍රීකයින් සතුව තිබූ දියුණු ලේඛන කලාව හා ඔවුන් තුළ නිතැතින් වූ ලිවීමේ පෙළඹීම නිසා ග්‍රීක නාට්‍යාදිය අද දක්වා ශේෂව පැවතින බවත් ඒ පිළිබඳ ඇතැම් ප්‍රාමාණික උගතුන් අප සමග අදහස් දක්වා තියෙනවා. ඒ අර්ථයෙන් ඇත්තටම ග්‍රීසිය සතුව තිබුණේ මෙකී භාෂාමය සුවිශේෂීතාව පමණද?

දියුණු නාට්‍ය කලාවක් බොහෝවිට ඇතැම් ජාතීන් සතුව තියෙන්ඩ පුළුවන්කම තියෙනවා. නමුත් සෑම ශිෂ්ටාචාරයක් සතුවම එහෙම තිබුණා කියලා කියන්ඩ අමාරුයි. බැබිලෝනියාව තුළ තිබුණා ඉතා කෙටි කතන්දර හා ප්‍රස්තාපිරුළු. ඊට අමතරව ඔවුන්ට තිබුණා ''ගිල්ගමේෂ්'' වගේ වීරකාව්‍ය. නමුත් බැබිලෝනියානුවන්හට නාට්‍ය කලාවක් තිබුණා කියලා සඳහන් වෙන්නෙ නෑ. මිසරයෙත් තිබුණා නාට්‍යට සමාන දේවල්. නමුත් ඒවා නාට්‍යමයි කියලා හඳුන්වන්ඩ අමාරුයි.


ග්‍රීසිය ගත්තාම, විශේෂයෙන් දියෝනියස් වැනි දෙවිවරුන් සඳහා කරනු ලැබූ උත්සව වල එන භක්තිගීතාදිය තුළින් ස්වභාවිකවම නාට්‍ය කලාවක් බිහිවනවනෙ. ඒ නාට්‍ය තමයි ක්‍රමයෙන් දියුණු වෙමින් ලොව අති විශිෂ්ටතම නාට්‍යන්හි මට්ටමට පත් වෙන්නෙ. ග්‍රීක නාට්‍යයේ ආරම්භක අවධියේ තිබුුණු නිර්මාණ වල කොරස් එක හෙවත් අත්වැල හිටියෙ ප්‍රේක්ෂකයා දෙස බලාගෙන. නමුත් පසුකාලීනව මේ කොරස් එක වේදිකාව දෙසට හැරෙනවා. ඒක ග්‍රීක නාට්‍ය වර්ධනයේ සුවිශේෂී අවස්ථාවක්. ඒ හැරීමත් සමඟ තමයි අත්වැල සහ නළුවන් අතර කෙරෙන දෙබස් බිහිවෙන්නෙ. ඊළඟට ''ඊස්කිලස්'' විසින් වේදිකාවට දෙවැනි නළුවා ගැනීමත්, ''සොෆොක්ලීස්'' විසින් තුන්වෙනි නළුවා ගැනීමත් ග්‍රීක නාට්‍ය තවදුරටත් නාට්‍යමය ස්වරූපයෙන් වර්ධනය වීමේදී ඇතිවුණු ප්‍රධාන කඩයිම්. නමුත් මේ ග්‍රීක සිද්ධාන්ත රෝමයට යෑමේදී ''හොරස්'' වැනි අය විසින් වරද්දගන්නවා. ඒ අනුව හොරස් ඔහුගේ ''ආර්ස් පොයට්රිකා'' කියන ග්‍රන්ථයේ කියනවා නළුවන් තුන්දෙනාට වඩා නාට්‍යකට නොගත යුතුයි කියලා. වේදිකාව මත පරිපූර්ණ නාට්‍ය නිර්මාණයක් කිරීමට නළුවන් තුන්දෙනෙකුයි කොරස් එකයි හොඳටම ප්‍රමාණවත් වුණා තමයි. නමුත් අවශ්‍යනම් තවත් චරිත වේදිකාවට ගැනීමේ හැකියාව ද තිබුණා. ඒ හැර හොරස් කිවුවා වගේ නළුවන් තුන් දෙනෙකුට සීමා විය යුතුයැයි නීතියක් තිබුණෙ නෑ. රෝමවරු තම නාට්‍ය වලදී වේදිකාවට අලි, අශ්ව කරත්ත පවා ගෙනාවා. මෙසේ ඇස පිනවන නාට්‍ය තැනීමෙන් නාට්‍ය කලාව දියුණු වුණේ නෑ. ''කණට හිමි තැන ඇස විසින් හොරකම් කළාම එතන නාට්‍යයක් නෑ'' කියලා ඇරිස්ටෝටල් කියන්නෙ ඒකයි. රෝමන්වරු ග්‍රීසියෙන් නාට්‍යාදී කලාවන් ගත්තත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට කලාව පිළිබඳ ඒහැටි හැකියාවක් තිබුණේ නෑ. ඔවුන්ට තිබුනෙ වෙනම දක්ෂතා. විශේෂයෙන් ඒ පරිපාලනය, දේශපාලනය හා නීතිය වගේ දේවල් පිළිබඳව. එක්තරා අතකට ග්‍රීක නාට්‍යන්හි පැවැත්ම සඳහා එහි තිබුණු අති විශිෂ්ට ලේඛන සම්ප්‍රදායත් බලපාන්ඩ ඇති. මිසරය ගත්තම ක්‍රිස්තු පූර්ව 3200දීත් ඔවුන් ලිවුවා. නමුත් ඔවුන් බොහොවිට ලිවුවෙ මරණින් පසු ජීවිතය ආදිය ගැන.

කළිං කිව්වා වගේ, ග්‍රීක නාට්‍ය වැනි දේවල් භක්ති ගීත ආදියෙන් ආරම්භ වී ක්‍රමයෙන් දියුණු වුණත් අපේ නාට්‍ය කලාවට වෙන්නෙ එහෙම නෙමයිනෙ. අපිටත් තිබුණා දියුණු වෙමින් පවතින ඉතා වැදගත් ගැමි නාට්‍ය බීජයන්. බලන්න අපි ලඟ තියෙන වෙස්මූණු. ඇත්තටම නාට්‍යකට අවශ්‍ය හැම චරිතයකටම අදාළ වෙස් මූණු තිබුණා මේ රටේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පුස්තකාලෙ ගත්තත් එතැන තියෙනවානෙ එවැනි වටිනා වෙස්මූණු ගණනාවක එකතුවක්. නමුත් අපි රෙඩිමේඩ් නාට්‍යනෙ ගේන්නෙ ඉන්දියාවෙන්. නූර්තිය වැනි සුපීරියර් නාට්‍යක් ගෙනල්ල එකපාරට සමාජය තුළට අතහැරිය එක තුළින් ඇත්තටම වුණේ මේ රටේ දියුණු වෙමින් තිබුණු නාට්‍යන්ට දියුණු වෙන්ඩ බැරි වුණ එක. ඒ අනුව ඒවා යට ගිහින් විනාශ වුණා.

• ග්‍රීක නාට්‍ය කරුවන් තම නිර්මාණයන් සඳහා කොතරම් දුරට පුරාණෝක්ති පදනම් කර ගත්තත් ඔවුන් ඒවා භාවිත කරන්නේ බොහෝවිට සියුම් තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් නිරූපණය වන ආකාරයට. උදාහරණයක් විදිහට, යුරිපිඩීස් තම ''ට්‍රෝජන් ගැහැනු'' සඳහා පුරාණෝක්ති වල ආභාසය ගත්තත් ඔහු ඒ තුළින් ස්පාටාව හා තමන් විසූ ඇතැන්සය අතර දීර්ඝකාලීනව පැවතුනු ''පෙලපෙනීසියානු යුද්ධය'' පිළිබඳ තම යුඟ විරෝධී දැක්ම නිරූපණය කරනවා?

 ග්‍රීසියෙන් ලොවට ලැබුණු විශාලතම දායාදයක් තමයි පුරාණෝක්ති. ඒවා හුදෙක් බොරු කතන්දර නෙමෙයි ඒවා සතුව ඉතා ගැඹුරු අර්ථයන් තිබුණා. එවන් පුරාණෝක්තියක් අවශ්‍යනම් අද බිහිවන නූතන නාට්‍යක් සඳහාද යොදා ගන්ඩ පුළුවන් ඉතාම පහසුවෙන්. විශේෂත්වය කියන්නේ මේ පුරාණෝක්ති සියල්ලම පාහේ සුළු සුළු වෙනස්කම්, සංස්කරණයන් සහිතව කිහිප ආකාරයකින් දක්නට ලැබීම. ඊඩිපස් පුරාවෘත්තය ගත්තම, එහි එක් සංස්කරණයක තියෙනවා ඊඩිපස් විසින් ස්වකීය පියා වන ''ලාය්යුස්'' රජු මරණයට පත් කෙරෙන්නේ ඔහුගේ කරත්තය ඊඩිපස්ගේ කකුළ උඩින් ගිය නිසා කියලා. නමුත් සොෆොක්ලීස් තම ඊඩිපස් නාට්‍යය සඳහා ගන්නෙ ඊඩිපස් පසුපස හැරී යනවිට ලාය්යුස් ඔහුට හෙල්ලකින් ඇනීමට උත්සහ ගැනීම නිසා ඊඩිපස් විසින් ලාය්යුස් මරණයට පත්වන බවට වන කතාව. ඒ අනුව ඒ ඒ නාට්‍ය කරුවාහට තමන්ටම සුවිශේෂී වූ දර්ශනය ඉදිරිපත් කිරීමට, තමන් තෝරාගත්ත පුරාණෝක්තියේ ඉතාමත් උචිත සංස්කරණය යොදා ගැනීමේ පහසුව තිබුණා. ඒ නිසා එකම නාට්‍ය, නාට්‍යකරුවන් කිහිප දෙනෙක් අතින් නිෂ්පාදනය වුණා විතරක් නෙමෙයි, එක නාට්‍යකරුවෙක් විසින් එකම පුරාණෝක්තියක ඇති විවිධ සංස්කරණ භාවිත කරමින් නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කෙරුණු අවස්ථා ද තිබුණා.


ඇත්තටම ග්‍රීක පුරාණෝක්ති වලින් නිර්මිත නාට්‍ය ගත්තම, ඒවායේ එන දෙවිවරු බොහෝවිට රදළවරුන් පිරිසක් අහසට ඔසවා තබමින් නිර්මාණය කෙරුණු අයනෙ. ඒවා තුළ ඉන්නා දෙවිවරු නිතරම වැරදි කරන, එමෙන්ම කිසිම හේතුවක් නැතිව හා සත්‍ය අසත්‍ය නොසලකමින් තම හිතවතාට යහපතත් තම හතුරාට අයහපතත් සලකන අය. ඒ තුළින්ම ලැඛෙනවනෙ ඒවට යම්කිසි සමාජ වටිනාකමක්. ග්‍රීක නාට්‍ය කරුවන් තම නිර්මාණ මඟින් බොහෝවිට කළේ තමන් සතු එවැනි ගොරහැඟ මිත්‍යා කතා වලට සියුම් අර්ථයක් හා ප්‍රාණයක් එක් කර දුන් එක. එවන් පුරාණෝක්තියකට නාට්‍යක් තුළින් නව අරුතක් හා ප්‍රාණයක් දීම එකඅතකට පරණ බෝතල් වලට අලූත් වයින් දානවා වගේ වැඩක්. ඔබ කිවුවා වගේ, යුරිපිඩීස් තම ''ට්‍රෝජන් ගැහැනු'' තුළින් තම යුඟ විරෝධය පෙන්වනව විතරක් නෙමෙයි, ඔහු එතුළින් ස්ත්‍රීන් හා දරුවන් කෙරෙහි තමා තුළ වූ අව්‍යාජ අනුකම්පාව හා දැක්ම නිරූපණය කිරීම ද කරනවා. ඇත්තවශයෙන්ම කියනවානම්, යුරිපිඩීස් තරම් කාන්තාවන් හා දරුවන්ගේ ප්‍රශ්න අව්‍යාජව වටහාගත් තත්කාලීන වෙනත් නාට්‍ය කරුවකු නැති තරම්.



යුරිපිඩීස් ස්ත්‍රි විරෝධියකු ලෙස හංවඩු ගැහුණු බව පසුකාලීන විචාරකයෝ බොහෝමයක් සැලකුවත් ඒක නෙමෙයි ඇත්ත. ඔවුන් බොහෝවිට මේ අදහස ගන්නෙ ''ඇරිස්ටොපනීස්ගෙන්''නෙ. ඇරිස්ටොපනීස් කියන්නෙ හුදෙක් විහිළුකාරයෙක් විතරයි. යුරිපිඩීස්ලා ඇරිස්ටොපනීස්ලා කියන්නේ ඇත්තටම සැබෑ මිතුරෝ. මොවුන් කන්නෙ බොන්නෙ පවා එකට. එකට ජීවත් වෙන්නෙ. බලන්න දැන් සොක්‍රටීස්ගෙ ''මධුසාදයේදී'' ඉන්නවනෙ ඔවුන් ඔක්කොම. යුරිපීඩීස් තම නිර්මාණවලින් ගණිකාවන්, දුක්විඳින ගැහැනුන් ගෙනාව වේදිකාවට. එතකොට ඇරිස්ටොපනීස් විහිළුවට කියනව මේන් මෙයා නරක ගෑනු වේදිකාවට ගේනවා කියලා. අනිත් අතින් ඇරිස්ටොපනීස් කොච්චර පහර දෙනවද සොක්‍රටීස්ට තමන්ගෙ නාට්‍යන් තුළ. ඇත්තටම ඒවා කිසිම කෝන්තරයකින් තොරව කෙරුණු නිකම් කවටකම් නොහොත් කුඩා රැගින් විතරයි. නමුත් ඇරිස්ටොපනීස්ගේ සමහර විහිළු නිසා ඇතැම්විට තමන් පිළිබඳ එතරම් නොදන්නා මිනිසුන් තමා පිළිබඳ වරදවා වටහා ගැනීමෙන් තමාට යම් කිසි හානියක් වුණා කියලා සොක්‍රටීස් ඔහුගෙ නඩුවිභාගය වගේ තැන්වලදී කියනවා. ඇත්තටම ඔය නාට්‍ය රඟපාද්දි බොහෝවිට සොක්‍රටීස්ලා, යුරිපිඩීස්ලා වගේ හැමෝම ඒ රඟහලේ ඉඳන් ඒ නාට්‍ය බලනවා. අන්තිමට ඔවුන් කරන්නෙ හිනාවෙවී ගෙදර යන එක. එච්චරයි. ඒ නිසා අපි විහිළුව විහිළුවක් වගේ ගන්ඩ ඕනෙ.

• පසුකාලීනව, ඇරිස්ටෝටල් වැනි විචාරකයින් අතින් වෙසෙසින් නාට්‍ය ආකෘතිය හේතුකොටගෙන යුරිපිඩීස් වැනි නිර්මාණකරුවන්ගේ ඇතැම් නිර්මාණ ප්‍රතික්ෂේප වෙනවා?

ඇරිස්ටෝටල් කියන්නෙ දොස්තර කෙනෙක්ගෙ පුතෙක්නෙ. ඉතිං ඔහුගේ ඇඟේ වැඩකළේත් කලාව නෙමෙයි වෛද්‍ය විද්‍යාව. යම්කිසි විද්‍යාත්මක පරීක්ෂණයකදී ප්‍රධාන වශයෙන් භාවිත වූ ක්‍රම දෙක තමයි genetic සහ analytic කියන ක්‍රම දෙක. මින් පළමු ක්‍රමයේදී වුණේ යමක් බීජාවස්ථාවේ සිට ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරමින් ඒ පිළිබඳ සිද්ධාන්ත සකසා ගැනීම. දෙවැන්නෙදී හෙවත් analytic ක්‍රමයේදී සිදු වුණේ දෝෂ රහිත, එමෙන්ම හොඳින් වැඩුණු නිදර්ශනයක් ගෙන එය කුඩා කැබලි වලට විච්ඡේදනය කරමින් ඒ හැම එකක්ම ඉතා සියුම්ව පරීක්ෂණය කිරීම මඟින් ඒ පිළිබඳ සිද්ධාන්ත සැකසීම. ඉතිං ඇරිස්ටෝටල් තම නාට්‍ය සිද්ධාන්තයන් බිහිකරද්දිත් ප්‍රධාන වශයෙන් ගන්නෙ තම විද්‍යාවෙ තියෙන මේ ඇනලටික් කියන ක්‍රමය. එවන් පරීක්ෂණයකදී කකුල් තුනක් තියෙන ගෙම්බෙක් අරන් වැඩක් නෑනෙ. ඒ නිසා ගන්ඩ ඕනෙ පරිපූර්ණ නිදර්ශකයක්. ඇරිස්ටෝටල් තම නාට්‍ය විචාරයේදී කළේත් මෙසේ තමන් සර්ව සම්පූර්ණ නාට්‍ය ලෙස සැලකූ නිර්මාණය ගෙන, එය කැබැලිවලට ඉරමින් එවායේ වන සියුම් ලක්ෂණයන් හොඳන් නිරීක්ෂණය කිරීමට උත්සහ ගැනීම. ඉතිං ඇරිස්ටෝටල්ගේ ජීවවිද්‍යාත්මක ක්‍රමයෙන් සොයාගත් සිද්ධාන්තයන්ට නොගැලපුණු නාට්‍ය ඔහු අතින් ප්‍රතික්ෂේප වීම සාමාන්‍ය දෙයක්. එය ඒ නාට්‍යයේ හෝ නාට්‍ය කරුවාගේ දුර්වලතාවක් කියලා කියන්ඩ බෑ. යුරිපිඩීස් ගත්තම ඔහු සැබැවින්ම නව්‍ය හා අපූරු ආකෘතියක් භාවිත කළ නාට්‍ය කරුවෙකනේ. ඇත්තටම ඇරිස්ටෝටල් කියන්නෙ කලා කරුවෙක් නෙමෙයි, ජීව විද්‍යාඥයෙක්.

 ඇරිස්ටෝටල් ශතවර්ෂ දාහතරක් යුරෝපයේ නහයෙන් ඇදන් ගියා කියලා කතාවක් තියෙනවානේ. මොකද ඇරිස්ටෝටල් ගැන කතා නොකර බටහිර ශිෂ්ටාචාරය ගැන කිසිම දෙයක් කතා කරන්ඩ අපිට බෑ. හොඳට හෝ නරකට ඔහු කියූ දේවල් ගන්ඩම වෙනවා. අන්න එතනයි තියෙන්නෙ ඔහුගෙ විශිෂ්ටත්වය. ඔහු සතු ඥානය හිතා ගන්ඩ බැරි තරම් පුළුල් එකක්. වෙන එකක් ඕනෙ නෑ, ඔහු අලි ගැන දැනන් හිටියා අපේ රටේ ඒ පිළිබඳ විශේෂඥයකුට වඩා. ඔහු අප්‍රිකානු අලින් ගෙන්නගෙන කැපුවා. ඒ විතරක් නෙමෙයි, ඔහු කියලා තිබුණා මොකෙක් හරි අමුතු සතෙක් ලැබුනොත් තමන්ට ගෙනත් දෙන්ඩ කියලා. ඒ අනුව ඇරිස්ටෝටල් සත්තු ගැන පොත් ගණනාවක් ලිව්වා. ඔහු ලියූ ඒ පොත් සතුන්ගේ ජීවවිද්‍යාත්මක පැත්ත විතරක් නෙමෙයි ඔවුන්ගේ හැසිරීම් හා ඔවුන්ගේ අති සියුම් චලනයන් පිළිබඳ තමා විසින් කෙරුණු නිරීක්ෂණයන් දැක්වීම සඳහා පවා වෙන් වුණා. නමුත් එසේ දියුණුව තිබුණු ඥානය ඉතා ඉක්මනින් පිරිහුණා ග්‍රීසියෙන්.

• ග්‍රීක නාට්‍ය කරුවන් අතින් භාවිත මෙවන් පුරාණෝක්ති බොහෝවිට ජනතාව අතරේ ඉතා ජනප්‍රිය වූ ඒවා වීමෙන් සිදුවන දේ තමයි එවන් ජනප්‍රිය කතා වස්තුවක් ආශ්‍රයෙන් නිර්මිත නාට්‍යක් තුළ ප්‍රේක්ෂක කුතූහලය රැකීමට අපහසු වීම හා ඒ හේතුකොට ප්‍රේක්ෂකයා නාට්‍ය කෙරේ ඇද බැඳ තබා ගැනීමට අපහසු වීම. මෙවන් කරුණු නිසා, ග්‍රීක නාට්‍ය කරුවා තම නාට්‍ය නිර්මාණ සඳහා ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබාගත හැකි වෙනත් සියුම් නාට්‍ය උපක්‍රම සෙවීම සඳහා වෙහෙසෙන්නෙ කොහොමද?

මේ පුරාණෝක්ති පිළිබඳ හැමෝම දැනසිටියා කියලා කියන්ඩ අමාරුයි. මොකද පසුකාලීන යුගය වන විට ප්‍රේක්ෂකයින් තුළ තිබුණු දැනුම පිරිහී තිබුණා නොයෙකුත් හේතු මත. අනෙක තමයි යුරිපිඩීස් වැනි නාට්‍ය කරුවෙක් ගත්තාම ඔහු භාවිත කළේ තරමක් දුර්ලභ පුරාණෝක්ති. මං කළිං කිව්වා වගේ එකම පුරාණෝක්තියේ විවිධ සංස්කරණයන් තිබීමත් මෙතනදී වැදගත් වුණා. කොමඩි නාට්‍ය ගත්තාම ඔයිටවඩා වෙනස් තත්වයකුයි තිබුණේ. එවන් හාත්සයෝප්පාදක නාට්‍ය බොහෝවිට ඒ අවස්ථාවේම ක්ෂණිකව ලියැවුණා. ඇරිස්ටොපනීස් ගත්තාම ඔහු ඉතා ඉක්මනින් නාට්‍ය රචනා කළ කෙනෙක්.

ග්‍රීසියේ තිබුණනෙ නාට්‍ය උළෙලවල් දෙකක්. එකක් තමයි ''ග්‍රේට් ලෙනයියා'' කියන ශෝඛාන්ත නාට්‍ය සඳහා තිබුණු තරගය. ඒකට එක් නිර්මාණ කරුවෙක් නිර්මාණ තුනක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. අනෙක් උළෙල තමයි ''ස්මෝල් ලෙනයියා'' කියන එක. ඒක සුඛාන්ත නාට්‍ය සඳහා පැවැත්වුණේ. ඒ සඳහා එක් රචකයෙක් ඉදිරිපත් කළ යුතුව තිබුණේ එක් නිර්මාණයක් විතරයි. මිනැන්ඩර් වගේ ''නව ප්‍රහසන'' නාට්‍ය කරුවෙක් ගත්තාම ඔහු තම නාට්‍ය සඳහා අමුතුම අනුභූතීන් භාවිත කළා. ඇත්තටම මිනැන්ඩර් විසින් විශාල නාට්‍ය සංඛ්‍යාවක් රචනා වුණත් දැනට සම්පූර්ණයෙන් ඉතිරිවෙලා තියෙන්නේ ''කිපෙනසුලූ මිනිසා'' කියන නාට්‍යය විතරයි. මිනැන්ඩර් තමයි පෞද්ගලික මිනිස් චරිත. එහෙමත් නැතිනම් පවුල හා සාමාන්‍ය මිනිසා ප්‍රථම වතාවට වේදිකාවට ගෙන එන්නේ. මෙසේ ක්‍රමයෙන් නාට්‍යමය අනුභූතීන් නව්‍ය ප්‍රස්තුතයන් කරා ව්‍යාප්ත වීමත් ග්‍රීක නාට්‍යන්හි අපූර්වත්වය තවත් අයුරකින් ආරක්ෂා කළා.


                                                                                 Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රාවය - 2009 ඔක්තෝම්බර් 17