Wednesday, April 9, 2014

අභය මුද්‍රාව






ඒ අවාසනාවන්ත දවසට එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි ඔහුගෙ ස්වර්ණමය සිහිනය බොල් බවට හැරිල තිබ්බ. . . 

එදා දවසට එළිය වැටුනෙ පොලිසියට පුංචිබණ්ඩගෙන් සමාව අරගන්ඩ සිද්ධ කරල. එහෙම වුනත් තමංගෙ ස්වර්ණමය සිහිනය දියකරල දාල තමා පාරට වට්ටන ක්‍රමවේදයත් ඒ සමාව ගැනිල්ල ඇතුළෙම සියුම් විදිහට ලියවිලා තියෙයි කියල ඔහුට හීනෙකින්වත් හිතුනෙ නෑ. මේක පොලිසිය එකතු වෙලා හිතා මතා කරපු නාට්‍යයක් බව අනික් කාටත් වඩා පුංචිබණ්ඩ තේරුම් ගත්ත. ඒ නාට්‍යය ඇතුළෙ තමං විතරක් නෙමෙයි ප්‍රදේශයේ ඇමතිවරය පවා මුළාවෙහි දැමුණු හැටි ඔහු විශ්මයට පත් කළා. 

ඒ මොකක් වුණත් ඔහුට ඕනෙ කළේ නිර්දෝෂි මිනිහෙක් විදිහට සුදුහුණු තවරගෙන, පාරට බහින්ඩ නම් නෙමෙයි. තමංට හිමි දේ ආරක්ෂා කරගන්ඩ. මෙච්චර දවසක් තමංගෙ ඇස් කෙවෙනි යට දුක් විඳ විඳ තිබ්බ හීිනෙ කොල්ල කන්ඩ නොදී හැබෑවක් කරගන්ඩ. ඇත්තටම පුංචිබණ්ඩට කරගන්ඩ බැරිවුණෙත් ඒ ටිකම තමයි. 

***************

කන්නට වහින වැස්ස කලට වේලාවට වැස්සත් නැතත් මෙදා දොහේනම් ගොවිතැන් කටයුතු නියම වෙලාවට, කොහොම හරි කරන්ඩ පුංචිබණ්ඩ තීරණේ කරං හිටිය. ඒ සුමනවතී හතරවන පාරටත් බඩ වුණ හින්ද විතරක් නෙමෙයි. දවසින් දවස කටවල් ගාන වැඩි වෙන එකත් ප්‍රශ්නයක් තමයි. ජීවත්වෙන්ඩ දරන්ඩ ඕන වෑයම දවසින් දවස අමාරු වන බව පුංචිබණ්ඩගෙ අතපය හතරට හොඳට තේරුණා. ඉස්සරනම් අක්කරයක වී බුසල් සීයක් හමාරක් පැහුන. පොළවත්තෙක්ක කොච්චර ඔට්ටු වුණත් දැන්නම් හැත්තෑව පන්නන්ඩ බැරි බව පුංචිබණ්ඩ හොඳටම දැනගෙනයි හිටියෙ. කුඹුරු කෑල්ලත් තමංගෙ ජීවිත වගෙම හොඳටම නිසරු වෙලා කියල හිත හිත සුමනවතී සුසුං හෙළනව ඔහු නිතර දෙවේලෙ බලාගෙන. 
කන්න වැස්සට අහවල් දෙයක් වුණත් ඉස්සරනම් මේ විදිහට උඩ බලාගෙන හූල්ලන්ඩ උනෙ නෑ කියල තාත්ත කියනව පුංචිබණ්ඩට මතකයි. ඒ මහ ඇලේ වතුර අවුරුද්ද පුරාවටම වේලෙන්ඩ ඉඩ නොදී කෙත් වතු යායම තෙත් කරපු හිංද. ඒත් මහ ඇලට ඒ අනුහස දරාගන්ඩ පුළුවන් වුනෙ මහවැලියෙන් නව ජය ගඟ කපනකං විතරයි. අලුත් ජය ගඟ කැපුවත් එක්ක වුණෙ නියෙඟට වහින වැස්සක් වගෙ මහ ඇලත් ඉඩෝරෙත්තෙක්කම හිඳිල යන එක. 

කොහොමෙන් කොහොම වුනත් ඒ ස්වර්ණමය සිහිනය පෑදෙන්ඩ නම් මේ හැම කරුණක්ම විවිධාකාර විදිහට බලපෑම් කළා. . . 


ගොවිතැන්බතට මෙතුවක් කාලයක් නොගත්ත 'මහහුඹහ' ඉඩමත් එළි කරන්ඩ ඕනැ කියල පුංචිබණ්ඩ තීරණේ කළා. ඒ දවසින් දවස ජීවන අවශ්‍යතා දික්වෙද්දි අස්වැන්න හැකිලිල යන එක උහුලගෙන ඉන්ඩ බැරිම තැන. ඉඩම කට්ටි කරල තාත්ත පුංචිබණ්ඩටත් අනික් සහෝදරයින් පස් දෙනාටත් බෙදල දෙද්දි මහහුඹහ අයිති වුණෙ ඔහුට. මහහුඹහ මුවවිටට වෙනකම්ම පුංචිබණ්ඩගෙ තාත්ත ඒ වන විටත් ගොවිතැන්බතට යොදවල තිබ්බ. ඒත් මහහුඹහට අත තියන්න තාත්තවත් සූදානම් වුණෙ නෑ. ඒක සුදු නයෙක් විසින් ආරක්ෂා කරන භූමියක් හැටියටයි කවුරුත් පිළිගත්තෙ. ඉතිං මහහුඹහ එදා ඉඳන්ම පාලුවට යන්න ඇරල තිබ්බ. පුංචිබණ්ඩත් පුංචි කාලෙ දැකල තියෙනව මේ සුදු නයා දිගට දිගේ හුඹහ වටකරන් ඉන්නව පෙනෙත් පුප්පගෙන. 

කොහොම වුනත් පහුගිය අවුරුදු විස්සක තිහක කාලෙ නම් කවුරුවත්ම සුදු නයා දැකල තිබ්බෙ නෑ. ඒත් ඒ විශ්වාසෙ පුංචිබණ්ඩලාගෙන් පලාගියෙත් නෑ. මොන දේ වුනත් ඒ ඉඩමත් වගාවට ඈඳගන්නවා හැර කරන්ඩ වෙන විකල්පයක් මේවනවිට නම් පුංචිබණ්ඩට ඉතිරිවෙලා තිබ්බෙ නෑ. අලුත් පොළව හිංද අක්කර බාගෙ වුණත් සෑහෙන්ඩ සාරවත් වෙයි කියල තමයි කවුරුත් කල්පනා කෙරුවෙ. 


*************


මහහුඹහට උදැල්ල තියල දෙහෝරාවක් යන්ඩත් කළියෙන් ඒ ස්වර්ණමය සිහිනය උදලු තලේ හැප්පෙන හඬ ඔහුගෙ සවනට වැටුණ. ඒ දෛවෝපගත "චරස්" හඬ පුංචිබණ්ඩ එකෙනෙහිම අධෛර්යමත් කළා. පොළොව යටින් විසාල තිරුවාන තලාවක් පෑදෙනවය කියලයි ඔහුට හිතුණෙ. ඒත් එතනින් පෑදෙන්නෙ ගල් තලාවක් නෙමෙයි අඩියක් විතර දිග දඹ රන් බුදු පිළිමයක් කියල තේරුම් යන්න පුංචිබණ්ඩටයි සුමනවතීටයි වැඩි වෙලාවක් ගියෙ නෑ. 

අභය මුද්‍රාවත්තෙක්ක තිබ්බ දකුණු අත උදලු පාරට දෙකඩ වෙලා තිබ්බ. සිහි එළවගන්ඩ බැරිව පුංචිබණ්ඩත් සුමනවතිත් විනාඩි කිහිපයක් ගල්ගැහුණ. මහ පොළවෙන් තමංට ලැබුණු නිධානෙ කාටත් නොපෙනෙන්ඩ ගෙට ගන්ඩ ඕනෙ කියල දෙන්නටම කල්පනාවෙද්දි හිස් මුදුනට ඉර මුදුන් වෙන හෝරාව මුවවිටටම ඇවිත් තිබ්බ.. 


*************


"සිරිසේන මල්ලියේ... මේ වත්ත වටේට බැම්මක් ගහන්න කීයක් විතර යයිද හැබෑට?"

පුංචිබණ්ඩගෙ කතාවට සිරිසේන ගැස්සිල ගියා. කැමැත්තකින් නොවුනත්, කෝන්ගහ හෙවණට තැපැල්නයින්ටිය හරවන්ඩ අන්තිමේදි සිරිසේන කල්පනා කළා. ඇත්තටම ඔහුට පුංචිබණ්ඩගෙ පයිත්තියන්වලට කංදෙන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. කුරුණෑගලට පංති ගිහින් මගට එන පොඩි කෙළිත් කැටුං ඔහු පාරට අලි එන්ඩ කළියෙන් ආපහු ආ යුතුව තිබ්බ. කොහොම වුනත් පුංචිබණ්ඩ බයිසිකලේට අතත් දැම්මට පස්සෙ කතා නොකර ඉන්ඩ සිරිසේනට හිත දුන්නෙ නෑ. මොන දේ වුණත් පුංචිබණ්ඩයිය හිත හොඳ මනුස්සය කියන එක තමයි සිරිසේනගෙ කල්පනාව. 

"මේක වටේ බැම්මක් ගහන එක උඹලට - අපිට ලේසි වෙන එකක් නෑ පුංචිබණ්ඩයියෙ.. !"

"අඩු ගානෙ ලක්ෂ හත අටක්වත් යයි මයෙ හිතේ. අද පුච්චපු ගලක් වුණත් කීයද?" 

"එච්චර යයි ද? - නෑ මං නිකමට ඇහුවෙ." 

තමං අත හිටි හැටියෙ මුදල් ගැවසෙන විත්තිය ගමේ අය දැනගත්තොත් සිද්ධවිය හැකි විනන්බෑසිය ගැන පුංචිබණ්ඩට කල්පනා වුණා. අනෙක් අතට තවවෙනතුරුත් පිළිමෙ විකුණගන්ඩ ක්‍රමයක් පෑදුනෙත් නෑ. බිඳී ගිය අත කමලසිරි මාර්ගෙන් විකුණගත්තත් ඉන් ඔහුගෙ සියලු බලාපොරොත්තු ඉටු කරන තරම් මුදලක් ලැබුන්නෑ. වත්ත වටේට බැම්මක් ගහන එක පුංචිබණ්ඩගෙ අවශේෂ බලාපොරොත්තුවක් විතරයි. ගේ ඉස්සරහින් කඩ කෑල්ලක් දාගන්ඩ ඕනෙ බව ඔහුට ඒත්තු ගැන්නුවෙ සුමනවතී. සුමනවතීගෙ කතාව ඇත්ත. කඩ කාමරයක් හදා ගත්තොතින් කවදාවත් ලබාගන්ඩ බැරි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් නිකරුණේ මහපොළවත්තෙක්ක ඔට්ටුවෙන එක නවත්තන්ඩ පුළුවන්. තමංගෙත් සුමනවතීගෙත් දරුවන්ගෙත් සියලු දුක්ඛ දෝමනස්ස ඇකිල මැකිල යන්ඩ තව වැඩි කලක් නෑ. කඩේටම අල්ලල වී මෝලක් පටංගන්ඩ පුළුවන්නම් තමංටත් සිරිසමන් මුදලාලි වගෙ සල්ලි කාරයෙක් වෙන්ඩ පුළුවන් බව පුංචිබණ්ඩගෙ යටි හිතට ආව. ගමේ එව්වො කියන හැටියට කසිප්පු පෙර පෙර හිටි සිරිසමනයා, ගමෙනුත් අතුරුදන්වෙලා සිරිසමන් මුදලාලි හැටියට කළඑළි බහින්නෙ විහාරමහදේවින්නාන්සෙ ගොඩනන්වපු පුරාණ විහාරෙක තිබ්බ නිධානයක් ගොඩ අරංලු. 


*************


පිළිමෙ ආරක්ෂා සහිතව හංගල තිබුණත් ඒක එකපාරට විකුණගන්ඩ පුංචිබණ්ඩට බය හිතුණ. ඒ ගැන දැන් කමලසිරිත් දන්න නිසා ඒක තියන් ඉන්ඩත් බයයි. පුංචිබණ්ඩ කමලසිරි ළඟට ගියෙ මේ වගෙ වැඩක් කරල තමන්ට පුරුදු නැති නිසා. ඒ විතරක් නෙමෙයි ඒ වගෙ දෙයක් කරන්ඩ තරම් ආත්ම ශක්තියක් තමන්ට නැති හිංද. කොහොම වුණත් පුංචිබණ්ඩ කමලසිරිට පිළිමෙ කතාව කිව්වෙ නෑ. ඔහු කමලසිරිට දුන්නෙ අභය මුද්‍රාව සහිත බිඳුණු අත විතරයි. ඒත් කමලසිරි පුංචිබණ්ඩගෙ කටින් එහෙම පිටින්ම කතාව අල්ලගත්ත. දැං කමලසිරි ඒ කතාවෙ දන්නෙ නැති එක කොටසයි තියෙන්නෙ. පිළිමෙ හංගල තියෙන්නෙ ගෙදර බිත්තියක් ඇතුළෙ කියන එක විතරයි. මොන දේ කළත් තමංගෙ මලයගෙ හොඳම යාලුව වෙච්චි කමලසිරි තමංගෙ පවුලට ලෙංගතුබව පුංචිබණ්ඩ තදින් විශ්වාස කළා. බිඳුණු අත විකුණන වැඩේදි වුණත් කමලසිරි අවංක වුණා කියල තමයි ඔහුට හිතෙන්නෙ. 

මොන දේ වුණත් කාරණේ ඉක්මන් කරන්ඩ ඕනෙ කියල පිළිමෙ හම්බවෙලා හරියටම දවස් හතක් පිරෙන දවසෙ හැන්දෑවෙ ඔහු කමලසිරිට කිව්ව. පසු දිනම ගණුදෙනුකරුවෙක් එවන බවත් ඔහු සමග ගනුදෙනුව කතා කරගන්නා ලෙසත් කමලසිරිත් පුංචිබණ්ඩට පොරොන්දු වුණා. ඇත්තටම පිළිමෙ විකුණන්ඩ ඉක්මන් කරන එකට බලපාපු තවත් ලොකු හේතුවක් තිබ්බ. ඒ තමයි කළිං දවසෙ රෑ එකම වෙලාවට පුංචිබණ්ඩත් සුමනවතිත් එකම සමාන හීන දෙකක් දැක්ක එක. තවදුරටත් පිළිමෙ ගේ අහලක නොතියන හැටියට දිගින් දිගටම ඇවිටිලි කරන්ඩ සුමනවතී ඒ හීනෙත්තෙක්ක පටංගත්ත. 

පෙනේ පුප්පගත් සුදුම සුදු නාග රාජයෙක් අභය මුද්‍රාව සහිත කැඩුණු අතක් වටේ ඒ හීනෙදි දරණ ගසාගෙන හිටිය . . . 


*************

අල්ලපු ගමේ වැවකින් නිධානයක් මතු වුණ බවත්, හිටිහැටියෙ මහ රෑ පියාඹගෙන ආපු හෙළිකොප්ටරයක් ඒක අරගෙන ගිය බවටත් පහුගිය දවස්වල ගමේ මිනිස්සු අතර කසුකුසුවක් තිබ්බ පුංචිබණ්ඩට මතක්කුණා. චොපර්රෙක ගියෙ කොළඹ පැත්තට කියලයි විශ්වාස කෙරුණෙ. නිධන් හාරන්ඩ ආව කියල තවත් ගමක මිනිස්සු වගයක් විසේසකාර්ය බලකායෙ සෙබළු එක්ක ආරෝවක් ඇතිකරගත් සිද්ධියත් ඒත්තෙක්කම ඔහුගෙ මතකෙට ආව. අරවගෙ හෙළිකොප්ටරයක් ඇවිත් තමංගෙ හීනයත් අරගෙන කොළඹ දිහාවට ඉගිලෙයි කියල හිතෙද්දි පුංචිබණ්ඩගෙ යටිපතුලෙ ඉඳන් හිස් මුදුන දක්වා හීන් වෙවුළුමක් ඇදුණ. 

'පොළොවෙ තියෙන හැම නිධානයක්ම රජයටයි අයිති, ඒ අය කොයිම විදිහකින් ඒව ගත්තත් කිසිම ගැටලුවක් නෑ' කියල පාර්ලිමේන්තුවටත් ගිය පුරාවිද්‍යාව පිළිබඳ මහ උගත් හාංදුරුකෙනෙක් මේ ළඟකදි රේඩියෝ එකෙන් කියනව පුංචිබණ්ඩට අහම්බෙන් වගෙ ඇහිල තිබ්බ. ඒ කසිප්පු පැකට්ටෙකක් ණයට ඉල්ලගන්ඩ හිතාගෙන සුදුමල්ලිගෙ තිප්පොළ ළඟ ටැග්ගැහිගැහි ඉද්දි පුෂ් බයිසිකලයක් පාගගෙන ඒ දිහාවට ආපු, ගමට වාසනාව අරන් එන ලොතරැයි මණ්ඩලේ ලවුස්පීකරෙන්. (ජාතියට වාසනාව ගේනව කියල ජනාධිපති තුමාගෙ ලොකු රූපෙකුත්තෙක්ක ගමට ප්‍රවේශ වෙන හැම හන්දියකම මණ්ඩලෙන් බැනර් ගහල තිබ්බත්, ඒ විදිහට වාසනාව පෑදුනු කෙනෙක් අහල ගම් හතකවත් ඉන්නවද කියල පුංචි බණ්ඩ දැනගෙන හිටියෙ නෑ. ගමේ කාට හරි වාසනාව පෑදුනානම් ඒ ඉතිං නිධානෙකින්ම තමයි.) ඒ වගේ උගතෙක් මේ වගේ කතාවක් කියද්දි පුංචිබණ්ඩගෙ බය තව තවත් වැඩි වුණා. පොළවෙ තිබිල හම්බවුණ දේ වුණත් ආණ්ඩුවට නොදුන්නොත් ඒක ලොකු හොරකමක්ය කියල උන්නාංසෙගෙ කතාවෙ ගැබ්බෙලා තිබ්බ. පොළොවෙ තිබිල හම්බුවන දේවල් ලැබුණ කෙනාට අයිතියි කියල තමන් මෙතෙක් කල් හිතං හිටි දේ කොයි තරං වැරදිද කියල ඔහුට තේරෙන්නෙ දැන්. රජය කියන්නෙ මොකටද කියල පුංචිබණ්ඩට ලොකු අදහසක් තිබ්බෙ නැති වුණාට ඒ කියන්නෙ මේ මේ අයට වෙන්ඩ ඇති කියල පුංචිබණ්ඩ හිතාගත්ත. කොහොම උනත් උන්නාන්සෙ කිව්ව කතාවනම් වරදින්න බෑ කියල ඔහුට විශ්වාසයි. 

තමංගෙ හීනෙ හංගලා තිබ්බ ඒ බිත්ති පළුව උඩින් ඇලවූ සීවලී හාංදුරුවන්ගෙ පින්තූරෙට අන්තිමේදි ඔහු හඳුන්කූරක් පත්තු කළා. . . 



*************


"මේකට ලක්ෂ හතළිහක් දෙන්නම්"

මුදලාලි පිළිමෙ දිහා බැලුවනම කිව්ව. පිළිමෙ ලස්ස හතළිහක් වටිනව කියල මේ වෙනකම්ම පුංචිබණ්ඩ දැනගෙන හිටියෙ නෑ. ඔහුට එහෙම හිතුනෙත් නෑ. ඇත්තටම මුදලාලිගෙ කතාවෙන් පුංචිබණ්ඩ පුදුමෙනුත් පුදුමෙට පත් වුණා. ලස්ස හතළිනහට මේ ගණුදෙනුව එකවරම තුන් ඈවර කරන්ට ඔහුට හිතුනත්, දොර රෙද්දෙන් එබිල බලාගෙන හිටපු සුමනවතීගේ සන්කිරීමත්තෙක්ක තුන් ඈවරය දෑවරයටත් කළියෙන්ම ඈවර වුණා. 
"ලක්ස හතළිහට නම් දෙන්ඩ එපා. දැක්කෙනැතෙ'යි ඒ මිනිහ පිළිමෙ දැක්ක ගමන්ම ගාන කියු හැටි - ඒක ඊට වඩා ගොඩක් මිළ ඇති "
සුමනවතීගෙ කතාව ඇත්ත වෙන්ඩ පුළුවං කියල එවෙලෙම පුංචිබණ්ඩට හිතුණ. සැබැවින්ම මෙය මීට වඩා වටිනවා විය යුතුය. මෙතරම් ලොකු දඹරන් පිළිමයක් වටින්නෙ ලස්ස හතළිහක් කියල හිතන්නෙ කොහොමද? සමහරවිට ඒ වගෙ දෙතුන් ගුණයක්වත් වටිනවා විය හැකිය. බැරිවෙලාවත් ඒ මිළට පොරොන්දු වුණානම් සිද්ධවෙන්නෙ ලොකු නස්පැත්තියක් බව ඔහුට කල්පනා වුණා. 

"ඒ ගානටනම් බෑ මුදලාලි. මේක තනිකර දඹ රං!"

"එහෙනං, පුළුවන් ගානක් තමුංම කියන්ඩකො"

"නෑ, මුදලාලිම ඉල්ලන්ඩ. මං කියන්නම් හාද බෑද කියල"

"හරි, මට ලොකු ප්‍රොෆිට් නෑ තමයි. කමක් නෑ, අන්තිම හතළිස් පහක් දෙන්නම්"

ඒ ලංසුවත් පුංචිබණ්ඩගෙ හිත ගත්තෙ නෑ. කටට ආවට කිවුව මිසක ප්‍රමාණවත් මිළක් වැඩි කළේ නැති බවයි පුංචිබණ්ඩට හිතුනෙ. ඒ හිංදමද කොහෙද ඒ මුදලට ගණුදෙනුව නොකරන ලෙස සුමනවතිත් කාමරේ ඉඳන් ඔළුව වැනුව පුංචිබණ්ඩ බලාගෙන. පුංචිබණ්ඩත් ඒත්තෙක්කම ඔළුව වැනුව. 

"ලක්ෂ පණහයි - ලාස්ට් ප්‍රයිස් පණහයි ඕකේ.."

මුදලාලි බරට බරේ නෝට්ටු මිටියක් මේසෙ උඩට විසි කළා. ක්‍රමයෙන් තීව්‍රවෙන හදගැස්මෙහි හඬ තමංගෙ කන් පෙති අස්සෙන්ම රිංගනව පුංචිබණ්ඩට තේරෙන්ඩ ගත්ත. ඔහු තම බිරිඳ දිහාවට දෑස යොමුකළත් ඒ මූණෙත් පේන්න තිබ්බෙ විසාල තැතිගැන්මක්. ගැඹුරුම ගැඹුරු අතීර්ණයක්. 

හැබෑවටම පිළිමෙ මීට වඩා වටිනවාද? නැතිනනම් ලස්ස පණහ සාධාරණයි ද? අනෙක් අතට මේසෙ උඩ තියෙන මේ සල්ලි ඇත්තම ඒවාද? ඒවා බොරු සල්ලි වෙන්න බැරිද? මොහු තමන්ව රවටනවා වෙන්න බැරිද? "ඉස්මයිල් කාරය තම්බිය වුණාට හොඳ බිස්නස්මන්. එයා ඕක සාධාරණ ගානකට ගයි" කමලසිරි කිවු කතාව පුංචිබණ්ඩගෙ මතකෙට ආව. 

"මේව ඇත්තම සල්ලි නේද?"

පුංචිබණ්ඩගෙ කථාවට මුදලාලිගෙ මූණ බලාගෙන ඉද්දිම රතුපාටට හැරුණ. 

"ෂී.. ෂී.. ඔහෙලට ෂුවර් නෑනම් මං බැංකුවටම ෂල්ලි දාල දෙන්නම්. ඔහොම කථා එපා.. අපි ළඟ මේ වගෙ වැඩවලදි එහෙම හොර නෑ. අපි ගැන ෂුවර් නැත්තම් අහන්ඩ කමලසිරි මල්ලිගෙන්. එයත් එක්ක අපි වැඩ කරල තියෙනව ඉස්ෂර ඉඳං.."

තමන්ගේ සිහිනවල බරත් මේසෙ උඩ තියෙන ලස්ස පණහෙ බරත් සමපාත වන්නේද? තමා මෙතෙක් මැවූ සිහිනවල බර ඊටත් වඩා ඉහළ නොවන්නේද? ඇතැම් විට කමලසිරිත් මුදලාලිත් දෙදෙනාම එකතු වී තමාව රවටනවා වෙන්ඩ බැරිද? හොර සල්ලි ළඟ තියනන් හිටිය කියල කමලසිරිව දවසක් පොලිසිය කුදලන් ගිය විත්තිය ගැන තමං අහල තිබ්බ ඒත්තෙක්කම පුංචිබණ්ඩගෙ මතකයට ආව. 

"අපි පස්සෙ කියන්නම් මුදලාලි පණිවිඩේ - කමලසිරි මල්ලි අතෙම. . ."

ඒ නිශේධිත ගණුදෙනුව ඔහුගේ සිනහිනයෙන් උදුරා ඔහු අන්ධකාරය දෙසට තල්ලු කර තිබුණි. . . 


*************


එදා එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි පුංචිබණ්ඩගෙ දෙපා පටලවාගත් නාගයා පොලිස් කූඩුවේ කූරු අස්සෙන් ඉව කරල බලල ඔහුගෙ හිස් මුදුනට දශ්ඨ කළා. . . 

ඉහ මුදුනෙ ඉඳන් විෂ ශරීරය පුරා උඩුදුවන්න දුවන්න හැමදේම වෙනස් වෙන්ඩ ගත්ත. හිටි ඉරියව්වෙන් වැඩසිටි උන්නාන්සෙ ඉඳි ඉරියව්වට මාරු වෙලා හිටිය. කැඩිල තිබුණ අත වෙනුවට අලුත් අතක් දලුදාල තිබ්බ. අභය මුද්‍රාව විතර්කෙට මාරු වුණා. කොටින්ම කියනවානම් ඒ අවාසනාවන්ත දවසට එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි දඹ රන් පිළිමෙ පිත්තලට හැරිල තිබ්බ. ඒ විතරක් නෙමෙයි පුංචි බණ්ඩගෙ ශරීරෙ පුරා තිබ්බ තුවාල සියල්ල ඇදුම්කන්නත් පටංගෙන තිබ්බ. 

ඒ මොන දේ වුණත්, නිධානයකින් හොරකම් කරපු දඹරං පිළිමයක් හංගන් ඉන්නව කියල හිතල අත්තඩංගුවට ගත්ත එක වෙනුවෙන් එදා පාන්දරට එළිවෙද්දි පොලීසිය පුංචිබණ්ඩගෙන් සමාව ගමින් හිටිය. කළින් දා රෑ පොලිසිය පුංචිබණ්ඩයි පිළිමෙයි දෙකම අත්තඩංගුවට අරං තිබ්බෙ ගණුදෙනුව කරගන්ඩ බැරි වුණ ඉස්මයිල් මුදලාලි පොලිසියට දීල තිබ්බ ඔත්තුව පස්සෙ ඇවිත්. වැඩකට නැති පිත්තල පිළිමයක් හිංද මේ සිද්ධවුණ ඇබැද්දියට ගොඩාක් සමාවෙන්ඩ කියල ඕඅයිසී මහත්තයත් ඇවිත් කටපුරාවට සමාව ඉල්ලුව. 


*************

දවසක් කමලසිරි එක්ක මරංචි ගැහිල්ලට ගිය හැටි පුංචිබණ්ඩට මතක් වුණා. එදා පුංචිබණ්ඩ බිලී පිත්තකුත් අරං වැව දිහාවට ගියෙ මාළු වැලක් දෙකක් හදාගන්ඩ පුළුවන් වුණොත් එදා දවස ගොඩ කියන අදහසින්. වැව් බැම්ම උඩට වෙලා බීඩියක් උර උර හිටි කමලසිරි පුංචිබණ්ඩට කතා කළේ ඒ යන අතර. කමලසිරිගෙ නහයට නාහන වැඩ ගැන අහල තිබ්බත් ඒ ගැන ලොකු අවබෝධයක් පුංචිබණ්ඩට තිබ්බෙ නෑ. තමං එක්ක ආවොත් ගානක් දෙන බව කමලසිරි කියද්දි නොගිහින් ඉන්ඩ තරම් හිතක් තිබ්බෙත් නෑ. අනික තමන්ගෙ මැරිච්චි මල්ලිගෙ හොඳම යාලුවා වුණ කමලසිරි ගැන ඔහුට විශ්වාසයක් තිබ්බ. 

බන්ටෙක පහුකරල කැලෑව ඇතුළට මීටර් සීයක් යනකොට අලුත්ම අලුත් කැබ්බෙකක් නවත්තල තිබ්බ. ඒකෙන් ආපු මහත්තුරු දෙන්න කමලසිරි දැක්ක ගමන් ඉස්සරහට ඇවිත් අතට අත දුන්නෙ කාලාන්තරයක් තිස්සෙ අඳුරනව වගෙ. කමලසිරි කලිසම් සාක්කුවෙ හංගන් හිටි මල්ලක් එලියට ගන්නව පුංචිබණ්ඩ දැක්කෙ එතකොට. මල්ල ඇතුලට අත දාපු කමලසිරි කරවිල ඇට වගයක් එළියට ගත්ත. ඒ 'වරාගම්' විත්තිය පුංචිබණ්ඩට එක පාරම තේරුන් ගියා. ඒව තමන් දෙන්නට නිධානෙකිං ලැබුණු බව කමලසිරි මහත්තුරුන්ට පැහැදිලි කරද්දි පුංචිබණ්ඩගෙ උගුර කට වේලිලා ගියා. ඒත් ඒ කීම ඇත්තක් බව හඟවන්ඩ ඔහුටත් ඔළුව වනන්ඩ වුණා. තමං විතරක් නෙමෙයි කමලසිරිත් - ඊටත් වඩා අර මහත්තුරු දෙන්නත් ඒ මොහොතෙ හිටියෙ කලබලෙන් බව පුංචිබණ්ඩට තේරුන් ගියා. 

මල්ලට අත දාල ඒකෙ තිබ්බ වරාගම් කලවම් කළ කමලසිරි අහම්බෙන් එක ඇටයක් අරන් ඉස්සරහ හිටි මහත්තයෙක් අතේ තිබ්බ. ඔහු කළේ ඒක ගිරයකින් දෙකට කපන එක. වරාගම් සියල්ල රත්තරං කියල තහවුරු කරගන්ඩ ඒ අයට ඒ ඇටේ විතරක් ප්‍රමාණවත් වුණා. වාහනෙන් ගත්ත සල්ලි මිටියක් කමලසිරි අතේ තිබ්බ මහත්තුරු වරාගම් මල්ලත් අරං ඉගිල්ලිල ගියා. 

ඇත්තටම එතන සිද්ධ වුණ දේ පුංචිබණ්ඩ තේරුන් ගත්තෙ ඊටත් පස්සෙ. ඒ නිධානෙ ගත්තෙ කොහෙන්ද කියල කමලසිරිගෙන් අහද්දි. 

"මං ගත්තු නිධානයක් නෑ පුංචිබණ්ඩයියෙ. උන්ට දුන්නු වරාගමකුත් නෑ. මයෙ හිතේ උඹ සීන් එක දන්නවා ඇති කියල... කපල පෙන්නුව වරාගම් ඇටේ විතරයි ඇත්ත. ඒකනම් අපේ යාලුවො කට්ටියක් කළිං ගොඩදාපු එකකින් ගත්තු එකක්."

"ඉතිං උඹ ඒක මල්ල කලවම් කරලනෙ ගත්තෙ?"

"උඹත් ඉතිං පුංචිබණ්ඩයියෙ අරුං වගෙ පල් මෝඩයෙක් වෙන්ඩ හදනවනෙ. මං ඒක හංගගෙනයි හිටියෙ මගෙ ඇඟිලි අස්සෙ, මල්ලට අත දාන්ඩත් කළිං ඉඳන්ම. උන් නිකම්ම නිකම් සල්ලි කාරයො විතරයි. උන් රත්තරං ගැන දන්නවා. ඒත් අපේ සබ්ජක්ට් ගැන දන්න ඉටිගෙඩියක් නෑ. හොර නිධාන ලාබෙට ගන්න හිතාගෙන හිතේ තියෙන තණ්හාවට පාට කරපු ඊයම්වලටත් අහුවෙනව..." 

කමලසිරිගෙ කතාව පුංචිබණ්ඩගෙ හදගැස්ම තවත් වේගවත් කළා. මොන තරම් අපහසුවට පත් වුණත්, මෙතනින් ඔක්කොම අවසන්ය කියලයි ගණුදෙනුව ඉවර වුණු වෙලේ පුංචිබණ්ඩ හිතුවෙ. ඒත් මේ යන විදිහට ප්‍රශ්නෙ පටංගන්නෙ දැං. කමලසිරි කිව්ව වගෙ ඒ අයට දුන්නෙ රත්තරං ගාපු ඊයන් නම් ඒ බව දැනගත් විගස ඔවුන් කමලසිරිත් තමාත් ලුහුබඳීන බව ඔහුට තේරුණා. ඒ වගේ දේවලින් ගැලවෙන්ඩ කමලසිරිට පුරුද්දක් තිබුණත් එදා වේල හොයාගෙන ජීවත්වෙන තමං වැනි අයෙක් එහෙම දෙයක් කරන්නෙ කොහොමද කියල පුංචිබණ්ඩ කල්පනා කළා. 

"උඹ දැන් කල්පනා කරන්නෙ උන් ආය අපිව හොයාගෙන එයි කියලද පුංචිබණ්ඩයියෙ?"

කමලසිරිගෙ කටහඬ පුංචිබණ්ඩව ආයෙත් පොළවට ඇදල දැම්ම. 

"උඹ බයවෙන්ඩ එපා. අපි එච්චරම මෝඩ නෑ. මේවට අපි ගන්ඩ පුළුවන් හැමෝගෙන්ම සපෝර්ට් එක අරගෙනයි තියෙන්නෙ. උඹ දන්නෙ නැතිවුණාට මම දැනටමත් මැසේජ් එක දීලයි තියෙන්නෙ ඕඅයිසී මහත්තයට. ඒ අයගෙ පංගුව යවන එක විතරයි අපිට කරන්ඩ තියෙන්නෙ... සමහරවිට අරුන්ව මෙලහකටත් පොලිසියෙන් අල්ලල ඇති. සල්ලිවලට වරාගම් ගන්ඩ ගියා කියලා. කොහොම කොහොම හරි උන්ට වෙන්නෙ අර වැඩකට නැති ඊයම් පතුරු ටිකත් නැතිවෙන එක. ඒව ආපහු උදේට අපි ළඟ.." 

පුංචිබණ්ඩගෙ හදගැස්ම එකපාරට නතර වුණා. තමන්ගෙ කම්මුල් හරහාත් ඇස් බැමි හරහාත් සට සට ගා උණන දාඩියෙහි උණුසුම ඔහුට තේරුණා. සාමාන්‍ය හොරකමක් විදිහට බැලූ බැල්මට පේන්න තිබුණු මේ ගණුදෙනුව කොතරම්නම් සියුම්ද? ඒ යට තියෙනවා කියන සම්බන්ධතා ජාලය ගැන කල්පනා වෙද්දී ඔහුගේ දෑස් නිලංකාර වුණා. 

කමලසිරි තමංගෙ අතේ තිබ්බ දාහෙ කොළ ටික පුංචිබණ්ඩ කරුණාවෙන් ප්‍රතික්ෂේප කළා. 


නොකා නොබී නිදි පැදුරෙම ගෑනියි දරුවනුයි එක්ක මැරිල ගියත් ආයෙත් ආයෙනම් ඒ වගේ දේකට සම්බන්ධ වෙන්නෙ නෑ කියල එදානම් ඔහු තදින් හිතට ගත්ත... 


*************

"ඒක ඇත්ත පිළිමයක් සර්.."

"ඇත්ත පිළිමයක් තමයි ඕයි. ඒත් රත්තරං නෙවෙයි" ඕඅයිසී මහත්තය කිව්ව.

"රත්තරං සර්, ඒක දඹ රත්තරං"

ඕඅයිසී මහත්තය තමං පිටිපස ඉන්න යම් කෙනෙක්ට තම උරහිසට උඩින් සන් කරනව ඔහු දැක්ක. ඒත්තෙක්කම පොලිස් රාලහාමි කෙනෙක් විතර්ක පිළිමෙ මේසෙ උඩින් ගෙනත් තිබ්බ. 

"මේ තියෙන්නෙ... මේක පිත්තල මිනිහො. තමුසෙට පේන්නෙ නැද්ද? "

"ඕක පිත්තල වෙන්ඩැති සර්. ඒත් මගෙ පිළිමෙ ඕක නෙවෙයි. ඒක දඹ රං.. !"

"තමුසෙ නිකරුණේ මැරුන් කන්ඩයි හදන්නෙ. පව් කියල එළියට දැම්මම ගෙදර යන්නෙ නැතිව... දැං තමුසෙ හදන්නෙ අපිව හොරු කරන්ඩද?" ඕඅයිසී මහත්තය ගෙරෙව්ව. 

"නෑ සර්. මං කියන්නෙ මේක මගෙ පිළිමෙ නෙමෙයි කියල. මගෙ පිළිමෙ දකුණු අත තිබ්බෙ නෑ"

"දකුණු අත තිබ්බෙ නෑ... එහෙනම් මේ තියෙන්නෙ අහවල් එකක්ද යකෝ... !"

"අනේ බුදු සර්... තරහ ගන්ඩ එපා. මං දන්නව මගෙ පිළිමෙ ගැන. සර් එහෙනං ඒක සර්ල තියාගන්ඩ. මටත් ලස්ස හතළිහක් දෙන්ඩ. මං කාටවත් කියන්නෙ නෑ..."

"වහපිය කට..." "තෝ අපෙන් මැරුම් කන්ඩයි හදන්නෙ. පරය... එනව පොලිසිය එක්ක බිස්නස් කතා කරන්ඩ"
ඕඅයිසී මහත්තය පුංචිබණ්ඩගෙ කමිසෙන් අල්ලලා හෙළෙව්ව. ඔහුට හොඳටම තරහ ගිහිනුයි හිටියෙ. 

"අනේ සර්, ඒකෙ අතක් තිබ්බෙ නෑ. තිබුණ එක කැඩුන. අනික ඒකෙ තිබ්බෙත් අභය මුද්‍රාව. . . විතර්කෙ නෙමෙයි."
පුංචි බණ්ඩගෙ ඇස් දෙකෙන් කදුලු පැන්න. දෙතොල් වේදනාවෙන් බර වුණා. 

"අභය නෙමෙයි යකෝ පරාක්‍රමබාහු වුනත් අපිට කමක් නෑ. අපේ දෑහට නොපෙනෙන්ඩ පණ බේරං මෙතනින් පල" 

"කැඩුණු අත මං විකුණ්න සර්. ඒකට ලස්ස පහක් ගත්ත... ඒක දඹ රං සර්..."

පුංචි බණ්ඩ ඉකිගහන හඬට ඕඅයිසී මහත්තයගෙ කාමරයට තවත් නිලධාරීන් පිරුණ. ඒ අය බොහෝමයක් කළිං දා රෑ ඉඳං හිටි අය බව ඔහුට මතකයි. 
"අනේ සර් එහෙනම් ලස්ස විස්සක් දෙන්ඩ..."

"පරය... දැං අපි තොට කිව්වනෙ. දැක්ක නේද, මේක හොරෙක් තමයි. පව් කියල එළියට දාන්ඩ වටින එකෙක් නෙමෙයි. මේක ගාව ඇති නිධන් ගත්තුවා. ඒව ලක්ෂ ගණන්වලට විකුණල තව බයනැතිව අපිටත් කියනව.."

"යකෝ මේ පිළිමෙ විතරයි අපි ළඟ තියෙන්නෙ. මේක තමයි උඹේ මහලොකු පිළිමෙ. ඕනෙනම් මේකත් අරං තොලොංචි වෙයන්..."

"අනේ සර්... ලස්ස හයක්... කඩකෑල්ලක් දාගන්ඩවත්..."

වේගයෙන් ආපු තුවක්කු බන්දක් පුංචිබණ්ඩගෙ යටිබඩේ හැප්පුනා. කටට ලේ උණන රස ඒත්තෙක්කම ඔහුට තේරෙන්ඩ ගත්ත. ඔහුගෙ ඇස් දෙකම කාකි පාටට ටිකින් ටික නිලංකාර කෙරුව. පිස්තෝල කටක් ඔහුගෙ හිසට තදවුණා. කුණුහරප ගොඩක ගෝරනාඩුව කන් බෙරේ වැදිල පරාවර්තනය වුණා. තම බෙල්ලෙන් අල්ලගත් රාලහාමි කෙනෙක් තමාව එළියට ඇදල දානව යාන්තමට වගෙ ඔහුගෙ මතකෙ තිබ්බ. . . 

*************

පුංචිබණ්ඩට කරකියාගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. දහඅතේ කල්පනා කරල කරල අන්තිමට කමලසිරි ළඟට ගියා. 'ඇමතිතුමා හම්බවෙන්ඩ යමු'යි කියල කමලසිරිත් යෝජනා කළා. තමංට මුළු කතාවම කියන්ඩ කියල ඇමති තුමා කිව්ව. පුංචිබණ්ඩත් මුළු කතාවම කිව්ව. ලොකු උනන්දුවකින් අහං හිටිය ඇමතිතුමා කතාව ඉවර වුණ ගමං පුටුවෙන් නැගිට්ට. පුංචිබණ්ඩ එක්කම ගිය ඇමතිතුමා ඕඅයිසී මහත්තයට කිව්ව වහාම දඹරං පිළිමෙ තමංට බාර දෙන්ඩ කියල. ඕඅයිසී මහත්තය ඇමතිතුමාව පිළිමෙ ළඟට එක්කන් ගිහිං ''මේක කිසි වටිනාකමක් නැති පිත්තල පිළිමයක්, මේ බූරුවට පිස්සු" කියල ගත් කටටම කිව්ව. "ඕනෙනම් මේක ඇරං යන්ඩ ඇමතිතුමෝ" කියලත් අන්තිමට කිව්ව. 


ඇමතිතුමාට මුළු කතාවම කිව්වත් ඒ කතාව ඇතුළෙදි සුදු නයා ගැන විස්තරේ විතරක් හිතා මතා ලොප් කරල තිබ්බ...


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර   (Prasad Nirosha Bandara)