Friday, August 17, 2018

The Piano




Jane Campion විසින් අධ්‍යක්ෂණය කරන ලද The Piano සිනමාපටය 1993  දී තිරගත වූවක්. 1993 කෑන්ස් සිනමා උළෙලෙදී විශිෂඨතම සිනමා පටයට හිමි Palme d’Or සම්මානයත්, ඒ වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ස්වාධීන තිරපිටපතට මෙන්ම හොඳම නිළියට සහ හොඳම සහාය නිළියට හිමි සම්මාන ද ඇතුලු තවත් ජාත්‍යන්තර සම්මාන රාශියකට හිමිකම් කී The Pianoහි අධ්‍යක්ෂණයට අමතරව තිර රචනය හා නිෂ්පාදනය ද සිදුකරන්නේ මේ ලෝක පූජිත සිනමාකාරිය වන Jane Campion විසින්මයි.

කතාව දිගහැරෙන්නේ නවසීලන්තයේ බටහිර වෙරළ මායිමේ පිහිටි ස්වදේශික ජනතාව වෛසන ගම් පියසක. කාලය දහනමවෙනි සියවසේ මැද භාගය. ඇඩා (Ada McGrath) නම් ස්කොට් ජාතික වැන්දඹු තරුණිය තම හය හැවිරිදි දියණියත් සමග මේ නවසීලන්ත බටහිර වෙරළට ගොඩ බසිනවා. ඒ තම පියා විසින් ඇය නවසීලන්තයේ වගා කටයුතු කරන Alisdair Stewart නම් ව්‍යාපාරිකයකුට විවාහ කර දී ඇති නිසා. ඔහු නවසීලන්තයේ ස්වදේශිකයින්ගෙන් ඉඩම් මිළදීගෙන ව්‍යාපාර කළත් බටහිරින් සංක්‍රමණය වූවෙක්.

ඇඩා වයස අවුරුදු හයේ සිට කතා කරන්න බැරි ගොළු තරුණියක්. ඇඩා මෙතක් දැක නැති තම ස්වාමියා සොයා නවසීලන්ත වෙරළට ගොඩබසින්නේ විශාල භාණ්ඩ රාශියක් ඇතිව. ඒ අතර ඇය පණ මෙන් ආදරය කරන පියානෝව ද වෙනවා. ඇය සහ ඇගේ දියණිය රැගෙනයෑමටත් ඈ ගෙන එන භාණ්ඩ ඔහුගේ නිවසට ගෙනයෑමටත් ඇඩාගේ සැමියා වන  Alisdair Stewart ඒන්නේ සේවකයින් පිරිසක් ද සමග. නමුත් ඔහු පියානෝව බර නිසා අනික් භාණ්ඩ තරම් නොවටිනා භාණ්ඩයක් ලෙස කල්පනා කරන නිසාත් පියානෝව වෙරළේ දමා යන්නේ ඇගේ සහ දියණියගේ දැඩි ඇවිටිලි කිරීම නොතකා.

නමුත් පියානෝව නැතිව ඇඩාට ඇතිවන කාන්සිය අසීමිතයි. ඒ නිසා ඇය තම දියණියද කැටිව තමං ගොඩ බැස්ස මුහුදු වෙරළට ඒක්කං යන ලෙස ස්වෙද්ශික මිනිසකුවන George Bainesට ඇවිටිලි කරනවා. ඇයගේ ඇවිටිල්ල නොතකා හරින්න බැරි තැන ඔහු ඔහුන් ඒම මුහුදු වෙරළට ඒක්ක යන අතර ඇය තම පියානෝව රිසිසේ වාදනය කරනවා. සංවේදී මිනිසකු වන Baines මේ ගොලු තරුණියෙග් ආත්ම ප්‍රකාශනටෙ පියානෝව කොච්චර වැදගත්ද කියන කාරණය ඒදා වැල්ලේදී අවබෝධ කරගන්නවා. පසුදා ඔහු ඇගේ සැමියාගෙන් පියානෝව ඉල්ලනවා. ඒ හිලව්වට තමන් සතු ඉඩමක් දෙන පෙරොන්දුව පිට. වෙරෙළ් අතහැර දමා ඇති පියානෝව වෙනුවට ඉඩම් කැබැල්ලක් ලැබීම ගැන ඔහු අතිශ්‍යයෙන් සතුටට පත්වන අතර ඔහුට පියානෝ වාදනය ඉගැන්වීම සඳහා තම බිරිඳ වන ඇඩා ඒවන බවද ඔහු පොරොන්දු වනවා.

කතාවේ දෛවනි අඩ දිවෙන්නේත් ඇඩා සහ Baines අතර සියුම් ලෙස ආදරය මෝරායෑම තුළ. ටික දිනක් යද්දී මෙය ඇගේ සැමියාට තේරුම් යනවා. ඒ අනුව ඔහු ඈ වළකන්නට ඉවසීමෙන් යුතුව උත්සාහ කරනවා. පසුව කෝපය නිසා ඇගේ  අතේ ඒක් ඇඟිල්ලක් කපාදාන්නත් ඔහු කටයුතු කරනවා. (ඇඩාගේ සැමියා ව්‍යාපාරිකයකු ලෙස සියුම් නුගුණයන්ගෙන් පිරුණු අයෙක් වුවද ඔහුගේ චරිතය සිනමාපටය තුළ නිර්මාණය කරන්නේ ඉතාම ගැඹුරු ආකාරයට. ඔහු ඇගේ ඇඟිල්ලක් කපා දැම්මත් ඇයට තදින් ආදරය කරනවා. පස්සෙ ඇයට ඊ්සබැි හා නැවත ඇගේ රටට ගොස් ජීවත්වීමටත් ඉඩ දෙනවා)  ඇඩා මුලින් මුලින් ස්වෙද්ශිකයාට ඒකඟ වන්නේ ඇයෙග් පියානෝව ආපසු ලබාගත හැකිය යන බලාපොරොත්තුවෙන්. නමුත් එය ආදරයක් දක්වා උඩුදුවද්දී ඔහු ඇයට සැබවින්ම පියානෝව දෙනවා.

සැබැවින්ම පියානෝව යනු ඇඩා කතාකරන විදිහ. ඇගේ ආත්ම ප්‍රකාශන ක්‍රමවේදයග සංඥා භාෂාව මගින් ඈ අන් අයට අදහස් ප්‍රකාශ කරත්, දියණිය ඒවා ඒ අයට පරිවර්තනය කර දුන්නත් ඇය හැඟීම් ප්‍රකාශ කරන්නේ පියානෝව තුළින්.  “The strange thing is I don’t think myself silent' That is beacource of my piano” ඇගේ ආත්මීය හඬ ප්‍රකාශ කරනවා.

ඇගේ ගොලු බව නිසා කිසිවෙක් ඈ කෙර් අවධානය යොමු කරන්නෙ නෑ. ඇයව තේරුම්ගන්න උත්සාහ කරන්නෙ නෑ. මේ නුපුරුදු රටේ නුපුරුදු පරිසරය ඇතුළේ ඇයට ඒක තදින්ම දැනෙනවා. තම පියානෝව අහිමිවීම ම ඇගේ ආත්මප්‍රකාශනයට හෙළන ලද මරු පහරක්. වරෙක ඈ නිවසෙහි මේසයක පියානෝවක යතුරු ඇඳ පියානෝව වාදනය කරනවා මෙන් මේසයට තට්ටු කරනවා. මෙය දකින ඇගේ ස්වාමියා සහ සෙසු පවුලේ අය හිතන්නේ ඇගේ මානසික ගැටලුවක් කියලා.

ඇයව මනාව වටහා ගන්නා Baines ඇයව පියානෝව ඉගනගන්න ගෙන්නුවාට ඇගෙන් පියානෝව ඉගනගන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ ඇයට හිතුණු හැටියට එය වයන්නට ඉඩ දී අසාගෙන හිටීම. මක්නිසාද ඇගේ ආත්මීය ගැටලුව ඔහු මනාව දන්නවා. ඒක අතකට ඇගේ සැමියා නොවටිනා වස්තුවක් සේ පියානෝව වෙරෙළ් හැර ඒමත් Baines වටිනා ඉඩමක් දී ලබාගැනීමත්  ඇගේ ආත්මය කෙර් දෙදෙනා ප්‍රවේශ වන ආකාරය කෙර් සංකේථාර්ථ දනවනවා.

සිනමා පටය අවසන් වෙන්නේ ඇගේ අනින් පියානෝව මුහුදට දමන සංවේදී අවස්ථාවෙන්. ඒ ඇය ඊ්සබැි සහ තම දියණිය සමග තම රටට පිටත්වන මොහොතේ එය ඔරුවට බර නිසා. සැබවින්ම ඇය ඒසේ කරීම ප්‍රේක්ෂකයා කම්පණයට පත් කරනවා. නමුත් ඇය ඒසේ කරන්නේ ඇයි? ඇගේ ආත්මීය කටහඬට සවන් දෙන්න පුළුවන් සංවේදී’තාවක් සහිත මිනිසකු තමාට ලැබීම නිසා ද? (Baines ඇය හා සංවේදී වන මොහොතක ඇය කතා කරනවා ඔහුට මොහොතකට ඇහෙනවා. ඒ වෙග්ම ඈ කෛර් සැබෑ සංවේදීතාවක් තිබුණු හැඟීම්බර ඒක් මොහොතක ඇගේ ස්වාමියාටත් ඒක ඇහෙනවා)

ඕලන්ද ජාතික Abel Tasmanගේ (1642) සහ ඒංගලන්ත නැවි James Cookගේ (1769) ගවේෂණයන්ගේ සහ පාතැබීම්වලින් පසු 18 සහ 19 සියවස් පුරා නවසීලන්ත භූමියට නිරන්තරෙයන් යුරෝපානු සංක්‍රමණ සහ බලපෑම් සිදුවීද යන්න ත් ඒ තුළින් සාම්ප්‍රදායික නවසීලන්ත ජනතාව වූ මයෝරි (Māori) වරුන් සහ ඔවුන්ගේ සංස්කෘතියටත් සමාජ පැවැත්මටත් සිදුවුණ බලපෑම කවරක්ද යන්න නවසීලන්ත ඉතිහාසය සාක්කි දරනවා. මේ සිනමා පටය පුරාවට දෙවැනි හුයක් ලෙස එම යථාර්ථය ගලාගෙන යනවා. විශේෂෙයන් යුරෝපීයයන්ගේ සංස්කෘතික ආක්‍රමණයට දේශිය ගෝත්‍රිකයින්ට හුරුවෙන්න ඇති අපහසුවත් මේ ස්වෙද්ශික චර්යාවන් යුරෝපීයන්ට නුහුරු වීමත් මේ කියන විසංවාදය කෘතියහි යටි හුය පුරාවට දිව යනවා. බටහිර සංක්‍රමණිකයින් මයෝරිවරුන්වෙත තුවක්කුව පාන්නේ ඔවුන් බිය කිරීමට විතරක් නෙමෙයි. තුවක්කුව වැනි ආයුධ ගොත්‍රිකයින්ට හුරු කරමින් ඒවා වෙළඳාම් කිරීම මගින් තම ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා යටත් විජිත සියුම් ලෙස සුරා කන අයුරුත් ඒ තුළ පැහැදිලිව නිරූපණය වෙනවා.

තවත් අතකට The Piano ඩීඑච් ලෝරන්ස් නිර්මාණය කළ යථාර්ථයේ සංවේදී මානයකුත් සියුම්ව නිරූපණය කරනවා. ඇඩා වික්ටෝරියානු සංස්කෘතිය හරාහි හික්මුණු තරුණීයක්. ඈ අඳින්නේ කිටි කිටියේ ස්ත්‍රී අවයව තදකරමින් වසා දමන තද ඇඳුම්. හිසේ සිට දෙපතුලටම වසාගත් වික්ටෝරියානු කුල කත ඈ තුළින් දකින්න පුළුවන්. ඒසේ නමුත් ඇය තමන්ව තේරුම්ගන්නා මිනිසා වෙනුවෙන් ඒ සියල්ල උනා දමන්නේ ප්‍රේක්ෂකයා ඉතාමත් ගැඹුරු සංවේදනාවකට පත්කරමින්. ඒ සංවේදනාව මිනිස්කමත් මිනීස් හැඟීම් ගැනත්  ඔහු ඥානනය කරනවා.

සිනමාපටයේ භාවිත වන නිල්පැහැයට හුරු අඳුරු තේමා වර්ණය මේ ඛේදනීය ඉරණම තීව්‍රාත්මකව පෙන්නනවා. දැඩි රළ නගන මහුද සහ ගොහොරු සහිත භූමියත්, කපනු ලැබූ සහ දවනු ලැබූ ගස් කඳන්වලින් යුතු පසුබිම් දර්ශන ඒ හැඟීම තීව්‍ර කරනවා. සිනමා පටයේ සුවිශේෂී සංගීත සංරචනය නොවන්නට The Piano ඇඩාගේ ආත්මී හඬ  ප්‍රේක්ෂකයාගේ හදවත තුළට කාවද්දමින් සිදුරු කරන සියුම් සැතක් නොවන්න තිබ්බා.

-  ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2018 අගෝස්තු 19)

                                                                             


                                                                            


Saturday, August 4, 2018

Abraham Lincoln: Vampire Hunter



ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්ගේ චරිතය පාදක කරගෙන නිර්මාණය කෙරුන සිනමා පට රාශියක් තියෙනවා. Abraham Lincoln (1930) , Abe Lincoln in Illinois (1940) , The Lincoln Lawyer (2011) සහ Lincoln (2012) ඒ අතරින් ජනප‍්‍රිය කෘති කිහිපයක්. Timur Bekmambetov  විසින් (2012) නිර්මාණය කරන ලද Abraham Lincoln: Vampire Hunter සිනමාපටය සුවිශේෂී වන්නේ ලින්කන් වෘත්තාන්තයට ඒ යටතේ සිනමාකරුවා වෙනම ෆැන්ටසික මානයක් දීලා තියෙන නිසා. මුලින් සඳහන් කළ සියලු කෘතීන් Biography / Drama / History කියන ජාත්‍යන්තර සිනමා වර්ගීකරණයන් තුළ සලකුණු වී ඇති නමුත් Abraham Lincoln: Vampire Hunter සිනමා කෘතිය Action / Fantasy / Horror වර්ගීකරණයන් යටතේ නම්කර ඇත්තේ ඒ නිසා.
සමස්ත කතාව ගලා යන්නේ කුඩාකල සිට ලින්කන් විසින් අත්දකින ලද වහල් ක‍්‍රමයත් ඒ මගින් මිනිසා පෙළන ආකාරයත් පිළිබඳ සැබෑ සිදුවීමුත්, ඔහු ක‍්‍රමයෙන් වර්ධනය වී වහල්භාවයට විරුද්ධව කටයුතු කිරීම හා අවසන ඇමරිකානු ජනාධිපති වී වහල්ක‍්‍රමය අහෝසිකිරීම දක්වා සැබෑ සිදුවීමුත් මත.
මිනිසාටත් මිනිස්කමටත් එරෙහි එම කාරණා වැම්පයර් සංකේතයක් විදිහට සිනමාකරුවා ගොඩනගනවා. ඒ අනුව මේ කෘතියේදී ලින්කන් දේශපාලඥ භූමිකාවට අමතරව රිදී ආලේපිත විශාල පොරවක් ගෙන රාත‍්‍රියේදී වැම්පයරුන් දඩයම් කරන රණශූරයෙක් විදිහටයි නිර්මාණය වන්නේ. (මේ අර්ධය ගොඩනැගීමේදී සිනමාකරුවා විශාල ෆැන්ටසික රූපරචනයක් කරනවා. ඇතැම් සටන් අවස්ථාවන් බොහෝවිට සිහිගන්වන්නේ Quentin Tarantinoගේ සිනමාපට වල එන තාක්ෂණික උපක‍්‍රම)
කතාව පටන්ගන්නේ 1818 ඉන්ඩියානාවෙන්. අවුරුදු නවයක පමණ කොලූ ගැටයෙක් වන ලින්කන් පියාගේ වඩු මඩුවේ උදවු කරමින් ඉන්නවා. මෙහිදී ඔහුගේ සම වයස් මිතුරකු වන විලීට (William Johnson)  ප‍්‍රභූවරුන් පිරිසක් පහර දෙන අතර විලීගේ දෙමව්පියන් එසේ නොකරන ලෙස වැළපෙනවා. ලින්කන් මේ මැදට පැන තම යහලූවාට පහරදෙන්නන් සමග පොරබදනවා. මෙයින් කෝපයට පත් ඔවුන් පෙරලා ලින්කන්ට පහරදීම නිසා ලින්කන්ගේ පියාටද ගැටුමට මැදිවෙන්න සිද්ධවෙනවා. ඊට පළිගැනීමක් වශයෙන් එදින රාත‍්‍රියේ ඔවුන් විසින් ලින්කන්ගේ මව ඝාතනය කරනවා.
කතාවේ මුල් අඩ දිව යන්නෙ තම මව මැරූ පුද්ගලයාගෙන් පළිගැනීමට තරුණ ලින්කන් ගන්න උත්සාහය මත. පියා ජීවත්ව සිටියදී ඔහු ඊට ඉඩ නොදෙන අතර එසේ නොකරන ලෙස ලින්කන්ගෙන් පිළින ගන්නවා. ඒ අනුව පියා මිය ගිය පසු ඔහු තම සැලැස්මට යුහුසුලූ වනවා.
නමුත් ඔහු තමන් පළිගන්න ඉන්න පුද්ගලයා වැම්පයරයෙක් බව ලින්කන් දන්නේ නෑ. ඒ ඔහුගේ මිතුරා වන හෙන්රි ස්ටජස්  (Henry Sturges)  කියන තුරු. වැම්පයරුන්  වනාහි සැබෑ ලෝකයේ නොසිටින මිත්‍යාවක් ලෙයසි ඔහු කල්පනා කරන්නේ. (එසේ නමුත් මව ඝාතනය කරන වෙලාවේ නින්ද ගොස් සිටින ඇගේ අතින් අදාල වැම්පයරයා ලේ උරාබොනවා කුඩා ලින්කන් දකිනවා. එසේම ඔහුගේ දිලිසෙන බියකරු දෑස්ද මොහොතකට ඔහු දකිනවා. නමුත් ඒ වැම්පයරයෙක් කියා ඔහුට හිතෙන්නෙ නෑ) හෙන්රි ද කළකට ඉහතදී වැම්පයරයන්ට එරෙහිව සටන් කළ මිනිසකු වන අතර වැම්පයරයින්ගේ ආක‍්‍රමණයකින් වැම්පයරයෙකු වූ අයෙක් බව පසුව අනාවරණය වෙනවා.  නමුත් ඔහු ඉන්නේ තම මනුෂ්‍ය ජීවිතය විනාශ කිරීම සහ බිරිඳගේ ලේ උරාබී ඇය ඝාතනය කිරීම ගැන වැම්පයරයන් හා වෛරයෙන්.
වැම්පයරයන් විනාශ කිරීම වැම්පයර් කෙනෙක්ට ම කරන්නට බෑ. ඒ නිසා හෙන්රි මේ සඳහා තෝරාගන්නේ මිනිසකු වන ලින්කන්ව. මක් නිසාද යත් අදාල පුද්ගලයා වැම්පයරයෙක් ලෙස නොදැන වුවද ලින්කන් එක් වැම්පයරයෙකූ ගැන වෛරයෙන් පසුවන බව ඔහු දන්නවා.  ඒ අනුව හෙන්රි වැම්පයරයන් ඝාතනය කරන සටන් ක‍්‍රම සහ රහස් ලින්කන්ට දෙනවා. රිදී ආයුධයකින් මිස අන් කිසිම අවියකින් වැම්පයරුන් විනාශ කරන්න බැරි බව ඔහු ලින්කන්ට උගන්නවා.
තම මව මැරූ කෙනාට එරෙහිව ලින්කන් තුළ වූ එක පුද්ගලයෙක් පිළිබඳ ගැටලූව, සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන් සියලූ වැම්පයරයන්ට එරෙහිව ගොඩනගාගන්නා ලෙස පුළුල් පරමාර්ථයක් ලින්කන්ට ලබා දෙන්නෙ ස්ටජස්. ඒ අනුව ලින්කන්ට හෙන්රිගේ සැලැස්මකට අනුව එක එක වැම්පයරයන් විනාශ කරමින් තම මූලික අරමුණ දිහාවට යන්න සිදුවෙනවා. එසේ නමුත් මිනිසුන් අතර සැඟවී වැම්පයරයන් සිටීම තහවුරු වීමත් ඔහුවුන්ගෙන් සියලූ මිනිසුන්ට හානි සිදුවන බව තහවුරු වීමත් නිසා ලින්කන් ඒ පරමාර්ථය ගැන අවබෝධාත්මක වෙනවා. එහෙම වුනත් මිනිසුන් අතර හෙන්රි නොපෙන්වන ආකාරයේ තවත් සියුම් සතුරන් ඉන්න බව ලින්කන්ට ප‍්‍රත්‍යක්ෂ වනවා.
වරකෙ ලිංකන් සහ ඔහුගේ කළු ජාතික මිතුරා වන විල් (William Johnson) වැම්පයරුන්ට කොටු වෙනවා. එහිදී වැම්පයරුන්ගේ නායකයා ලෙස කටයුතු කරන, අවුරුදු පන්දාහක් වයස ඇඩම් (Adam) ඔහුට කියන්නේ වහල් භාවය දෙවියන් විසින් මිනිසුන් මැවූ දිනයේ සිට තිබූ එකක් බව. ඊජිප්තුවේ ඓශ්චර්යය ගොඩනැගුවේ වහල්භාවය පාදක කරගනිමින් බවත්. ක‍්‍රිස්තියානීන් මිනිසුන්ව සිංහයන්ට කන්නට දෙනවා තමන්ගේ දිගු ජීවිත කාලය තුළ තමන් දුටු බවත්, අප‍්‍රිකානුවන් තමන්ගේම මිනිසුන් යුරෝපයට විකුණනවා තමන් දැක්ක බවත් වැම්පයර් නායකයා කියනවා. තමන්ට අවශ්‍ය තමන්ගේ වර්ගයාගේ දියුණුව පමණක් කියන ඔහු තමන්ගේ සහ මිත‍්‍රයාගේත් ජීවිත බේරාගැනීමට අවශ්‍යනම් ලින්කන්ට උදවුකරන වැම්පයර් මිතුරා වන රෙන්රි ස්ටජස් මරණයට පත් කරන්න කියලා කියනවා. කෙසේ හෝ ඒ තීරණාත්මක අවස්ථාවේ ලින්කන්ගේ තවත් මිත‍්‍රයකු වූ ස්පීඩ්ගේ (Joshua Speed) මැදිහත්වීම මත පලායෑමට ලින්කන්ට හා විල්ට හැකිවනවා.
මේ මේ සියලූ ගැටලූ නැතිකිරීමට මිනිසුන් දැනුවත් කිරීම කළ යුතු බව ඔහුට වැටහෙනවා. (ඒ ගැන සම්පූර්ණයෙන් විශ්වාස තැබූ ඔහු වැම්පයරුන් දඩයම් කිරීම නවතා තම පොරව පෙට්ටියක දමා වසා තබනවා) ඒ සඳහා නීතිඥයකු ද වන තමාගේ චතුර කථිකත්වය භාවිත කරන අතර ඔහු දිනෙන් දින මිනිසුන් අතර ජනප‍්‍රිය වනවා. ක‍්‍රමයෙන් දේශපාලනය කරා ගමන් කරමින් සිටි ලින්කන් රටේ ජනාධිපති වරයා වනවා. වහල්භාවයේ ප‍්‍රශ්නය අසිපතින් විසඳනවාට වඩා පෑනෙන් විසඳිය  යුතු බව ඔහු කියනවා. ඒ වනකොට හල් භාවය අහෝසි කරන වැඩ පිළිවෙළට එරෙහිව වැම්පයරුන්ගේද උදවු ඇතිව යුද්ධයක් (ඇමරිකානු සිවිල් යුද්ධය) ආරම්භ කරලයි තියෙන්නේ. එයින් රට විනාශ වෙමින් තිබෙන අතර වැම්පයරුන්ගේ පහරදීම් හමුවේ මිනිස් සොල්දාදුවන් අසරණ වෙනවා.
මේ අතර වැම්පයර් නායක ඇඩම්ගේ සොහොයුරිය වන වැඩොමා (Vadoma) ධවල මන්දිර සේවිකාවක ලෙස වෙස් වලාගෙන විත් ලින්ක්න්ගේ පුත‍්‍රයා වන විලී ලින්කන්ව ලේ උරාබී ඝාතනය කරනවා. වැම්පයරුන්ට එරෙහිව උපක‍්‍රමශීලීව නැවතත් අවි අතට ගැනීමට අවශ්‍ය බව ලින්කන් හිතට ගන්නේ මේ මොහොතේ. ඒ අනුව උපක‍්‍රම ශීලීව වැම්පයරුන්ට එරෙහිව ලින්කන් ඇතුළු කණ්ඩායම සටන් කරනවා. ඒ රිදී ආයුධ සහ උණ්ඩ භාවිත කරමින්. අවසන වහල් භාවය අහෝසිකරන ලින්කන් රටට සාමය ගෙන එනවා. කතාව අවසන් වන්නේ ලින්කන් තමා ගේ දිනපොත හෙන්රිට දී බිරිඳ සමග නාට්‍යයක් බලන්නට පිටවීමෙන්.
වහල් ක‍්‍රමය පවත්වාගෙන යන්නන් අනුන්ගේ රුධිරය උරා බී ජීවත්වන නොමැරෙන වැම්පයරුන් කොටසක් හැටියට නිරූපණය කිරීම ඉතාමත් අර්ථාන්විතයි. මේ අය අනුන්ගේ රුධිරය උරා බී ජීවත් වෙනවා පමණක් නෙමෙයි තමං ලේ උරා බීපු ‘මිනිස්සු’ වැම්පයරුන් බවට පත් හරවගන්නත් පුළුවන් වීම වහල්ක‍්‍රමයේ දෘෂ්ටිවාදී මෙහෙයුම නිරූපණය කරන අපූර්ව සංකේතයක්.
Abraham Lincoln: Vampire Hunter මිනිස් සාරය උරා බී තර වෙන සදාතනික වැම්පයරුන්ගේ වර්ගවාදී භෞතික චර්යාවන් හා මතවාදී මෙහෙයුම පිළිබ`ද සත්‍යය සහ ප‍්‍රබන්ධය අතර ගෙතූ අපූර්ව උපමා කතාවක් කියන්න පුළුවන්.

- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2018 ගෝස්තු 05)


Saturday, July 21, 2018

Paterson


හිතන්න. ඔබට හොරෙන් ඔබේ දෛනික ජීවිතයට වීචියෝ කාචයක් අටවනවා. එක දිගට දින හතක් පිටපත් කරලා අටවන දිනයේදී ඔබේ අවසන් දවස් හත ඔබට පෙන්නනවා. ඔබට අනුව ඒ දවස් හත කොයි විදිහේ එකක් වේවිද? සාම්ප්‍රදායික සිනමා කෘතියකින් අපි අපේක්ෂා කරන විදිහේ ගැටුම්, කූටප්‍රාප්ති  සහ සමාවයන්ගෙන් පිරුණු විචිත්‍රවත් සතියක් ඔබේ සැබෑ ජීවිතයේ මුණ ගැසේවිද? නොඑසේනම් ඒකාකාරී දිනචර්යාවන්ගෙන් පිරුණු  පරාරෝපිත සහ නීරස අවකාශයක් මුණ ගැසෙන්න තියෙන ඉඩ වැඩිද?
Jim Jarmusch විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ Paterson (2016) නම් අපූර්ව සිනමා කාව්‍යයත් පදනම් කරගන්නෙ කරන්නේ මේ යථාර්ථය. සිනමා කෘතිය දිගහැරෙන්නේ ඇමරිකාවේ New Jersey ප්‍රදේශයේ ඇති නිස්කලංක සහ සුන්දර ප්‍රදේශයක් වන Paterson හි නිවසන පාර්ටසන් (Paterson) නම් බස් රියදුරකු සහ ඔහුගේ බිරිඳ වන ලෝරා  (Laura) නම් තරුණ යුවලක් වටා. (මේ අපූර්ව චරිත දෙකට ඇමරිකානු නලු  Adam Driver සහ ඉරාන ජාතික නිලියක වන Golshifteh Farahani පණ පොවනවා) කෘතියේ අවකාශය හසු කරගන්නේ සඳුදා සිට ඉරිදා දක්වා, මේ යුවළගේ දෛනික ජීවිතයෙන් දින හතක්.
Patersonගේ දෛනික දින චර්යාව මෙහෙමයි. පාන්දරම අවදි වන ඔහු විගස සූදානම් වී රාජකාරියට පිටත්වනවා. මගී බස් රථයේ රියදුරු සේවය අහවර වී හවස නිවසට පැමිණෙන ඔහු නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාද කැටිව නිවස අසල පිහිටි පබ් එකට ගිහින් දෛනිකව බියර් වීදුරුවක් තොලගානවා. රාත්‍රියේ නිවසට පැමිණ නිදාගන්නා ඔහු පහුවදාත් ඒ දේම කරනවා. වෙනස් දෙයකට කරන්නේ ගමන අතර මග ඉසිඹුවක් ලද සැනින් කවි ලියන්න ඔහු පෙළඹෙන එක. ඇත්තටම කවි ලිවීමත් වෙනසකට වඩා ඔහුගේ දෛනිකයේ ම කොටසක්.                  
ගෘහණියක වන ඔහුගේ රූමත් බිරිඳ ලොරාගේ ජීවිතය ගෙදර වැඩ එක්කම ගෙවෙන අරිටත් සාපේක්ෂව පාලු එකක්. එසේ නමුත් ලෝරා නිවස තුළ සිට වුවත් මේ ඒකාකාරීත්වයට එරෙහිව වැඩ කරන්න උත්සාහ කරනවා. ඇය දවල් කාලයෙහි නිවස තුළ විවිධ සැරසිලි කරනවා. දොරරෙදි පුටු කවර පාපිසි සහ තමං ඇඳන් ඉන්න ඇඳුම්වල පවා අපූර්ව රටාවන් අඳිනවා. ඒ ඇයගේ ප්‍රියතම වර්ණ වන කලු සහ සුදු වලින්. (සමස්ත කෘතිය පුරා ඉස්මතු වන මේ කලු සුදු රටාවන් කතාවේ තේමාව තවත් විදිහකින් සංකේතවත් කරන ප්‍රබල චරිතයන් සේ සමස්ත කෘතිය පුරාම තැවරී තියෙනවා). ඇය යූටියුබ් සහ අන්තර්ජාලය හරහා විවිද දේවල් ඉගන ගන්නවා. සංගීතය ඉගනගැනීමටත් ගීත ගැයීමටත් ඇය කැමතියි. මේ සඳහා සැමියාට කියලා ගිටාරයක් මිළදීගන්නවා. දවස පුරාම ගෙරට වී හිටියත් තමටත් දවසක හොඳ ගායිකාවක් විය ජීවත්වෙන්න අමාරුයි කියලා හිතන ඇය තමන්ගේ හැකියාව භාවිත කරලා කප් කේක් ව්‍යාපාරයක් පටංගන්නවා. එම කේක් වල කලුසුදු අයිසින් රටා නිර්මාණය කර තමන්ම ගොස් විකුණා මුදල් රැගෙන එනවා. ඉන් ලද මුල් ම මුදලිනුත් ඇය කරන්නේ සිනමා පටයක් නැරඹීමට යෑමට සහ රාත්‍රී ආහාරයක් පිටින් ගැනීමට සැමියාට ආරාධනා කිරීම.
මොවුන් දෙදෙනා එකිනෙකා කෙරේ විශාල ආදරයකින් බැඳී ඉන්නවා. නමුත් ජීවිතවල ඒකාකාරීත්වය ඇතුළේ තවත් විශාල හුදකලාවක් වර්ධනය වෙමින් තියෙනවා. ඒ දරුවෙක් නැතිකම. සඳුදාට එළිවන්නේ ඇය නිවුන්දරුවන් පිළිබඳ සිහිනයක් දකිමින්. අඟහරුවාදා පාන්දර රිදී පාට ඇතෙක් හීනෙන් දකිනවා. මොවුන් තමන්ට නිවුන් දරුවන් සිටියෝතින් කොහොමද කියන කාරණය දිගින් දිගට සාකච්ඡා කරනවා. ඒ වගේම ඔහු රාජකාරී කරන බසය තුළ මෙන්ම යන එන හැමතැන සිටින නිවුන්නු ඔහුට වැඩිපුර අවධාරණය වෙලා පේනවා.
මොවුන්ගේ දාරකත්වය පිළිබඳ කාන්සිය යම් විදිහකින් හෝ මකාගන්නේ සුරතලයට ඇති කරන බල්ලා (Marvin). බල්ලා Patersonගේ පුටුවට නැග්ගාම ‘කවුද තාත්තගෙ පුටුවේ නැග්ගේ’ කියලා ඇය විහිලු කරනවා. ඔහු පබ් එකට යද්දී ඇය Marvin කියන්නෙ ‘දැන් ඉතිං තාත්තා එක්ක එළියට ගිහින් එන්න කියලා’. ඒ විතරක් නෙමෙයි සුනඛයා ඉදිරියේ සිපගැනීමක් වගේ දෙයක්වත් ඉදිරියට නොගෙනියන්න දෙමව්පිය වෘත්තය රකින්න මේ අය වගබලාගන්නවා. ඉතිං මේ සුනඛයා දිවා කාලයේ ඇගේ දාරක ප්‍රේමය සපුරනවා, රාත්‍රියේදී ඔහු සමග ඇවිදින්න ගිහින් - ඔහු මධුවිත නිමකරන පබ්එකේ දොරකඩට වෙලා ඉන්නවා.
මොවුන්ගේ ගේ ඉස්සරහා තියෙන තැපැල්පෙට්ටිය ඇති කණුව හැමදාම ඇදවෙනවා. හැම හවසක ම ගෙට එනකොට Paterson ඒක හදනවා. ඒත් අන්තිමට පෙන්නනවා ඒක ඇද කරන්නේ මේ Marvin බව. මෙයත් සමස්ත තේමාව සඳහා අපූර්ව සංකේතාර්ථ ලබා දෙනවා.
තම බිරිඳගේ කිසිමදේකට ඔහු විරුද්ධ නොවුණත් ඔහුට ඒ කිසි දෙයක් ගැන උද්‍‍යෝගයක්ද නෑ. පිටර්සන් සාමාන්‍ය දෛනිකය ගැන නොතකන අතර එය යථාර්ථය හැටියට බාරගන්න බව පේනවා. තමන් අත්දකින සහ තමං පදවන බස් රථයේ මගීන් පවසන දේවල් ඔහුගේ කවියට අනුභූති වෙනවා. එසේම ඇමරිකානු මහා කවියකු වන William Carlos Williamsගේ කවි ඔහු ගුරු කොට ගන්නවා. William Carlos තමං ඉපදුණු මේ නගරයේම (Paterson) ඉපදීමත් ඔහු තමාගෙත් නගරයේත් නම වන Paterson නමින් මේ මහා කවියා පොතක් ලියා තිබීමත් වගේ කාරණා එක්ක තමන්ටත් කවිය ගැන අමුතු බැඳීමක් තියෙන බව ඔහුට හැඟෙනවා. ඔහු ඉතාමත් හොඳ කවියෙක් වන නමුත් තමං ලියූ කවි වෙනකෙකුට නොපෙන්වා සඟවා තබාගන්නවා. එසේම රියදුරෙක් වන තමන්ට කවියෙක් හැටියට පවතින්න පුලුවන්ද කියන ගැටලුවත් ඔහුට තියෙන බව පේනවා. ඔහුගේ කවි පළ කරන මෙන් ඇය නිතර ඇවිටිලි කරනවා. නමුත් ඔහු එසේ කරන්නෙ නෑ. අවසන ඔහු තම සටහන් පොත එළියට අරං ඇයට කවි කියවනවා. ඇගේ ඇවිටිල්ල දරාගන්න බැරිම තැන. නමුත් ඔවුන් සිනමා පටිය බලන්නටගිය රාත්‍රියේ (සෙනසුරාදා) මේසය උඩ තබා  තිබූ කවි පොත Marvin විසින් කීතු කීතුවට ඉරා දමනවා.
මේ මොහොත තුළ කෘතිය එක්තරා කූටප්‍රාප්තියකට එළඹෙනවා. නමුත් සිනමාකරුවාගේ අරමුණ එතනින් එහා ගිය එකක්. ඒ නිසා තවදුරටත් ධාවනය වෙනවා. Paterson පසු දින ඔහුගේ ප්‍රියතම ස්ථානයක් වන නිස්කලන්ක සහ සුන්දර දිය ඇල්ල (Great Falls of the Passaic River) වෙත යනවා. එහිදී ඔහුට අහම්බෙන් ජපන් සංචාරකයෙක් මුණ ගැහෙනවා. ඔහු ජපන් කවියකු බවත් තමං මෙහි ආවේ තමං ප්‍රියතම කවියා වන William Carlos Williamsගේ ජීවිතයේ සුන්දර ස්ථාන නැරඹීමට බව පවසන ඔහු Patersonසමුදෙනවා. ඒ කිසිවක් නොලියන ලද අලුත් සටහන් පොතක් ඔහු අත තබමින්. සිනමා පටය අවසන් වෙන්නෙ එතනින්. ත්‍යාග ලද මේ සටහන් පොත එක්තරා අතකට ඔහුගේ කවිය පිළිබඳ බලාපොරොත්තු දල්වන්නක් තමයි. ඒ වගේම එය හෙටින් ඇරඹෙන සුමානයත් එක්ක සුපුරුදු දෛනිකත්වයට ඇර දෙන යතුරක් ලෙස ද රූපකාර්ථ දනවනවා.

සිනමායේ පසුතල නිර්මාණයත් සංගීත භාවිතයත් මේ ඒකාකාරී දෛනිකත්වයේ ආකෘතිය ප්‍රේක්ෂකයාට තදින් දනවනවා. එසේ නමුත් ඒ ඒකාකාරීත්වය ප්‍රේක්ෂකයාට බෝවෙන්නෙ නෑ. සැම රූපරාමුවක් ම ඔහුගේ උද්යොගය දල්වනවා. Paterson යුවල සතු මේ යථාර්ථය ජීවිත දෙකක අවකාශයෙන් ඈත්කර, ධනවාදී රාමුව තුළ හුදකලා කෙරුණ පොදු මිනිසාගේ ඛේදනීය යථාර්ථය සහ ඒ යටතේ වර්ධනය කෙරුණ ඒකපුද්ගල විඥානයේ විශ්වීය මුහුණුවර ඉදිරියෙන් තැබූ කැඩපතක් ලෙස ගොඩනගන්න සිනමාකරුවාට හැකි වෙලා තියෙනවා.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රාවය  2018 ජූලි 22


Sunday, July 15, 2018

The Flowers of War



ජපන් අධිරාජ්‍යය විසින් සිදු කරන ලද ‘නැන්කිං සංහාරය’ (Nanking Massacre) මිනිසාට එරෙහිව ලෝක ඉතිහාසයේ ඇති කළ පළමු ගනයේ කළු පැල්ලමක්. දෙවැනි චීන-ජපන් යුද්ධයේ (Second Sino-Japanese War) බිහිසුණුම අවස්ථාව ලියවෙන්නේ එවකට චීන සමූහාණ්ඩුවේ අගනුවර වූ නැන්කිංවල. සමූලඝාතනයන්හි සහ බලහත්කාරකම්හි තීරණාත්මක වකවානුව පාදක කරගෙන නැන්කිං සංහාරයේ දිනවකවානු 1937 දෙසැම්බර් 13 දින සිට 1938 ජනවාරි දක්වා සලකුණු කරනවා. (නමුත් චීන වැසියන්ට එරෙහි මේ බලහත්කාරකම් සම්පූර්ණයෙන් නතර වෙන්නේ මිත්‍ර පාර්ශ්වය හමුවේ දෙවන ලෝක යුද්ධය පරාජය වීමත්, තමන් කොන්දේසි විරහිතව යටත්වන බව ජපානය 1945 අගෝස්තු 15 දින නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙනුත් පස්සේ). 1937 දෙසැම්බර් 'නැන්කිං' නුවර ඉතාමත් කෲර අන්දමින් අත්පත් කරගත් ජපන් හමුදාව සති කීපයක් තුළදී සිවිල් වැසියන් තුන් ලක්ෂයක් ඉක්මවා ඝාතනය කරනවා. කාන්තාවන් විසිදහසක් ඉක්මවා දූෂණය කරමින් කෲර ලෙස වදහිංසා පමුණුවා ඔවුන්ගේ සිරුරු විකෘති කර උසුලු විසුලු කරමින් මරා දමනවා. හමුදා නිලධාරීන්ගේත් සෙබලුන්ගේත් ලිංගික වහලියන් ලෙස ගැහැනුන් යොදාගන්නවා. මහලු ස්ත්‍රීන්ට, ගැබිනි කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට පවා මේ ඉරණමින් ගැලවෙන්න සංහාරකයෝ ඉඩ තියන්නෙ නෑ.

Iris Shun-Ru Chang විසින් ලියන ලද The Rape of Nanking නම් ග්‍රන්ථය ඇතුළු එම සංහාරය පිළිබඳ සාධක සපයන බොහෝ මූලාශ්‍ර හෙළි කරන ආකාරයට, ජපන් හමුදා මුලින් 'ෂැන්හයි' නගරයත් දෙවනුව නැන්කිනුත් අත්පත් කරගන්නේ දරුණු ගුවන් බෝම්බ හෙළීම් මගින්. ඔහුන් විසින් දිනකට සමූල ඝාතක බෝම්බ පන්සීයක් පමණ මේ නගරවලට හෙළනවා. මේ බෝම්බවලට ආරක්ෂක කඳවුරු, රාජ්‍ය ආයතන පමණක් නොව පාසල්, පූජ්‍ය ස්ථාන සහ රජයේ රෝහල් පවා ඍජුව ඉලක්ක වෙනවා. 

අතිවිශාල මංකොල්ලයන්ගෙනුත්, අන් සතු භූමිය අත්පත් කරගැනීම්වලිනුත්, හිංසනයේ වින්දනය තුළිනුත් දැඩි ව්‍යාප්තවාදී මේනියාවකට තල්ලුව සිටි ජපන් අධිරාජ්‍ය දේශපාලනය ඒ මොහොතේ කැප වුනේ චීනයෙන් පමණක් සෑහෙන මට්ටමකින් නෙමෙයි. මේ සංහාරය ඉන්දියාව, මධ්‍යම ආසියාව විතරක් නෙමෙයි යුරෝපය දක්වා ව්‍යාප්ත කිරීමේ අභිලාශයෙනුයි ඔවුන් හිටියෙ. “සියල්ල ගිනිතියන්න, හැම වස්තුවක් ම පැහැරගන්න. සියලු දෙනා මරා දමන්නකියන විධාන තුන විතරයි අපිට ලැබුණේ” නැන්කිං සංහාරයට සහභාගී වූ ජපාන හමුදා නිලධාරීන් පස්සෙ කාලෙකදී සාක්ෂි දෙනවා. සිවිල් වැසියන්  ඝාතනය කිරීම කොතරම් විනෝදාත්මක දෙයක් වුණාද යත්  තමං ඝාතනය කරන නැන්කිං වැසියන්ගේ ප්‍රමාණය ගැන ඔවුන් දෛනිකව තරග පවත්වන මට්ටමට ගිහින් තිබුණා. “චීන මිනිස්සු සුනඛයින් සහ බළලුන්ට වඩා වැඩි දෙයක් හැටියට නොසැලකීමටයි අපේ මනස් හුරුවෙලා තිබ්බෙ.” ඔවුන් පාපොච්ඡාරණය කරනවා.

සුප්‍රකට චීන සිනමාකරුවකු වන Zhang Yimou ගේ අපූර්වතම කෘතියක් වන The Flowers of War (2011) සිනමාපටය දේශපාලනිකව පිහිටුවන්නේ මේ නැන්කිං ඝාතන භූමිය මත. සිනමා කෘතිය සඳහා පාදක කරගන්නා Geling Yan නම් ලේඛිකාවගේ 13 Flowers of Nanjing නවකතාවට අනුප්‍රාස සපයන්නේ නැන්කිං නගරයේ පාසලක බාරකරුවා ලෙස හිඳිමින් රැකවලුන්ගේ ජීවිත රාශියක් බේරාගත් Minnie Vautrin නම් බටහිර පූජකවරයාගේ දිනසටහන් ආදී සැබෑ සිදුවීම්. මේ සංවේගකර භීතිය The Flowers of  War සිනමාපටයේ පාදස්ථයේ ගලා ගියද, සිනමා පටයයෙහි කතා වස්තුව එකී භීතියට ඉක්මවා ප්‍රේමය, අභිමානය, මරණ බිය ආදී කාරණාවන් පිළිබඳව දෙවැනි මානයන් සපයනවා. 

කතාව දිගහැරෙන්නේ ජපන් හමුදාව විසින් විනාශකරමින් පවතින නැන්කින් නගරයේ පවතින රෝමානු කතෝලික පල්ලියක. මෙය බටහිරින් පාලනය වන ආයතනයක් වන අතර නීත්‍යානුකූලව ජපන් හමුදාවට මේ පල්ලියට පහර දීමට නොහැකියි. නමුත් බලයේ සහ භීෂණයේ හස්තය රතුකුරුසය සලකුණු කළ මෙන්ම දෙවියන් සඳහා වෙන්වුණු මේ තාප්ප හතර මැදටත් එනවා.

කතාව ආරම්භ වන්නේ ම ජපන් හමුදාව හෙළන ලද බෝම්බයකින් පල්ලියේ පූජකවරයා පල්ලිය මිදුලේ මිය ගිය පරිසරයක. පල්ලියේ සිටින්නේ ඔහු විසින් හදාගත් කුඩා පිරිමි ළමයෙක් සහ එහි අධ්‍යාපනය ලැබූ අයගෙන් දැනට ඉතිරිව සිටින වයස දොලහක දහතුනක වන බාලිකාවන් පිරිසකුත්. මියගිය පූජකවරයාගේ අවසන් කටයුතු සිදුකිරීමට පැමිණෙන ‘ජෝන් මිලර්’ නම් එම්බාම්කරුවකුත් පල්ලියට පැමිණෙනවා. පල්ලියේ තාප්ප හතරින් එහා නිරන්තර යුධ ගැටුම් බෝම්බ පිපිරීම් සිදුවනවා. මේ අතර ගණිකා මඩමකින් පලා එන තරුණියන් පිරිසක්ද ජීවිතය බේරාගැනීමට පල්ලියට පැමිණෙනවා. ‘ගණිකාවන්’ සහ ‘කන්‍යාවන්’ 'පල්ලියක්' තුළ මුණගැස්වීම තුළ සිනමාකරුවා ජීවිතය, හැඟීම් සහ සම්ප්‍රදායන් අතර ඉතාමත් සංකීර්ණ මානයක් විවෘත කරනවා. කන්‍යාවන් විසින් ගණිකාවන් පිළිකුළෙන් හෙළා දකින අතර ගනිකාවන් කන්‍යාවන් හා ගැටුම් ඇති කරගන්නවා. නමුත් ඒ, පල්ලිය තුළට මරණයේ භීතිකාව කඩාගෙන එනතුරු විතරයි!
ජපන් හමුදාව පල්ලියට ආ විට ගණිකාවන් යටිබිම් ගබඩාවේ සැඟවෙනවා (කිසිම මොහොතක ජපනුන් මේ පල්ලියේ ගණිකාවන් සැඟවී ඇති බව දැනගන්නේ නෑ) බාලිකාවනුත් බිම් ගඩඩාවේ සැඟවීමට දිව එනවා. ගණිකාවන් මුලින් අකමැති වුනත් පසුව ඔවුන් යටිබිම් ගබඩාවට ගන්නට හදනවා. නමුත් එසැනින් බාලිකාවන් හමුදාවට හසුවෙනවා. මදක් විවර කළ ඇති බිම් දොරටුවෙන් ජපනුන් ගනිකාවන් දකින්නට කළින් බාලිකාවන් කරන්නේ වෙන දිසාවකට දිව යෑම. මොවුන් විසින් කන්‍යාවන් ලුහුබඳිමින් ඔවුන් දූෂණය කිරීමට යෑමේදී එම්බාම්කරුවා මියගිය පූජකවරයාගේ ඇඳුම් ඇඳගෙන පූජකයෙක් සේ රඟපානවා. පල්ලියට පැමිණීමත් මේ බාලිකාවන්ට හිරිහැර කිරීමත් වැරදිසහගත බව ඔහු පවසනවා. නමුත් ඔවුන්ගේ කන්‍යා ලෝලීත්වයත් යුධ ජයග්‍රහණයේ උමතු මානසිකත්වයත් බටහිර ජාතික පූජකවරයාවත් තමා ඉන්නේ පහර දිය නොහැකි කලාපයක වීමත් කියන යුධ නීති සලකන්නේ නෑ. කෙසේ නමුත් පල්ලියේ දැරියන්ට ආරක්ෂාව දීමට හිතාගෙන පල්ලිය ආසන්නයේ සැඟවී සිටි (තමුන්ගේ මුළු සේනාංකයම මිය ගිය) මේජර් ලී නම් චීන හමුදා නිලධාරියා ඔවුන්ට එළියේ සිට වෙඩි තබමින් මේ අයගේ අරමුණ වෙනස් කරනවා. මේ සිදුවීමෙන් කන්‍යාවන් දෙදෙනෙක් පල්ලියේදී මියයන අතර, චීන මේජර්වරයාගේ උපක්‍රමශීලී පහරදීම් හමුවේ ජපන් බට ඛණ්ඩයත්, අවසන ඔහුත් පිටතදී විනාශ වෙනවා. 

ජනකාන්ත නලු Christian Bale විසින් රංගනයෙන් දායක වන ‘ජෝන් මිලර්’ නම් එම්බාම් කරුවාගේ චරිතය කතාව තුළ දිගහැරෙන ආකාරය ඉතාමත් ගැඹුරුයි. ඔහුගේ චරිතය කෘතියේ මුල් භාගය තුළ නිර්මාණය වෙන්නේ වැඩිදුර නොසිතන විනෝදකාමියෙක් හැටියට. මියගිය පූජකයාගේ අවසන් කටයුතුවලට ඔහු එද්දි පූජකයාගෙ අවසන් කටයුතු සිදුකරලා ඉවරයි. ඒ නිසා ඔහු මුලින් උත්සාහ කරන්නේ අදාල කටයුත්තට අදාල මුදල් ලබාගැනීමට සහ පල්ලියේ සඟවා ඇතැයි ඔහු සිතන මුදල් සෙවීම. වයින් පානය කරමින් පල්ලියේ සැපපහසු කුටිවල නිදා ගැනීමට ඔහු කැමති වනවා. ගණිකාවන් පැමිණි පසු ඔහු කල්පනා කරන්නේ කෙසේ හෝ ඔවුන් හා සතුටු විය යුතුයි කියා. නමුත් සැම දෙනාම එකම ඉරණමක ගොදුරු බව ක්‍රමයෙන් අවබෝධ වෙනකොට ඔහු තමන්ගේ චරිතය වගකීම් විරහිත සල්ලාලත්වයෙන් ඈතට ගෙනයනවා.

ගණිකාවන්ගේ නායිකාව වූ සුරූපී ‘යු මෝ’  කියන්නේ දැන් මේ පල්ලියේ ඉන්න හැමෝගේම ගැලවුම්කරුවා ඔහු බවයි. මක්නිසාද යත් ඔහු බටහිර ජාතිකයෙක් වීම නිසා ඔහුට ජපනුන් හිරිහැර නොකරන බව ඒ අය විශ්වාස කරනවා. (අවසන මොවුන් දෙදෙනා අතර සැබෑ ප්‍රේමයක් දලුලනවා. එසේම පල්ලියට රහසේ ගෙන එන ලද තුවාල ලබා මියයමින් සිටි හමුදා නිලධාරියෙක්ට එක ගණිකාවක් ද ප්‍රේම කරනවා. මරණය පිළිබඳ හාත්පස භීතිකාව කොතරම් වුවත් මිනිස් සිතුවිලි සහ ප්‍රේමය වැනි හැඟීම්වල අස්ථානගත සංකීර්ණත්වය එයින් පෙන්නනවා). එසේම බාලිකාවන්ද කියන්නේ මිලර් තමන්ගේ ගැලවුම්කරුවා බව. පල්ලිය මිදුලෙහි ඇති ට්‍රක් රථය ඔහුට කියා හදාගෙන පලා යා හැකි වන බව ඔවුන් හිතනවා. එසේම තම ගැලවුමට මුලදී ඇඳගන්නා ලද පූජක ඇඳුමට ජපනුන් සැබවින්ම මුලාවීමත්, කන්‍යාවන් සහ ගණිකාවන් ඇතුලු අනිත් හැමගේම පැවැත්ම ඒ පූජක ජවනිකාව මත පැවතීමත් නිසා තමන් ගැන ම සැබෑ පූජක වගකීමක් ඔහු ඇති වුණ බව පේනවා.

කෙසේ නමුත් අවසන ජපන් හමුදාව නිළධාරීන් පිරිසක් කියන්නේ පල්ලියේ සිටින කන්‍යාවන් ලවා තමන්ගේ ජයග්‍රහණය ගැන ගීත ගායනා කළ යුතු බව. නමුත් තමන්ගේ සියලු දේ විනාශ වුණ මේ කුඩා දරුවන් ඊට යවන්නට බැරි බව පූජකවරයා (ජෝන් මිලර්) කියනවා. නමුත් ජපන් හමුදාව එය බාරගන්නෙ නෑ. කෙසේ හෝ පහුවදා පල්ලියේ ගීතිකා කණ්ඩායම එවිය යුතු බව පවසනවා. මෙයින් කලකිරීමට පත් බාලිකාවන් සියලු දෙනා උඩුමහලින් පැන සිය දිවි නසාගැනීමට සැරසෙනවා. එහිදී ගණිකාවන් කන්‍යාවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියන්න ඉදිරිපත් වෙනවා. ඒ තමන් ශිෂ්‍යාවන් මෙන් සැරසී පහුවදා ගී කියන්නට යන බව පවසා. අවසන ගණිකාවන් ශිෂ්‍යාවන් මෙන් සැරසෙනවා. එම්බාම්කරුවකු වූ ජෝන්ගේ වේශ නිරූපණ හැකියාව ඊට දායක වෙනවා. ජපනුන් ගැන ගෙන සිටි ශිෂ්‍යාවන් සංඛ්‍යාවට වඩා එක ගණිකාවක් මද වීම නිසා පල්ලියේ පූජකවරයා හදාගත් පිරිමිදරුවා ද දැරියක ලෙස වෙස්ගන්නවා. ඔවුන් ජපනුන්ට සැමරුම් ගීත ගයන්නට පිටත් කළ විගස මිලර් සිසුවියන් තමන් විසින් ජපනුන්ට රහසේ හෙමෙන් හෙමෙන් හදන ලද ට්‍රක් රථයේ දමාගෙන පලා යනවා.

The Flowers of War සිනමාපටය අවසන් කරන්නේ සංවේදී අවකාශයන් කිහිපයක ප්‍රේක්ෂක මනස ගැටගසමින්. ජීවිතය මරණය හා ප්‍රේමය පිළිබඳ අනිර්වචනීය වූ අත්දැකීම් රාශියක් අනන්‍ය කරමින්. සංවේදී නෙතට කඳුලක් කාන්දු කරමින්.

-           ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


  (රාවය 2018 ජූලි 15)

Monday, July 2, 2018

Three Billboards Outside Ebbing, Missouri


Martin McDonagh විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2017 වසරේ තිරගත වුන Three Billboards Outside Ebbing, Missouri අද වන විට මෙය ජාත්‍යන්තර IMDB දර්ශකයේ 8.2ක් පමණ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තියෙනවා. 2018 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානය මෙහි ප්‍රධාන චරිතය සඳහා රඟපාන Frances McDormand දිනාගත් අතර, හොඳම සහාය නලුවාට හිමි සම්මානය Sam Rockwell දිනාගත්තා. ඊට අමතරව Woody Harrelson,  Peter Dinklage වැනි සම්භාවනාවට පාත්‍ර වූ තවත් නලු නිලියන් රාශියක් මේ සිනමා පටයෙහිදී රංගනයෙන් දායක වනවා. එසේම Three Billboards Outside Ebbing, Missouri හොඳම චිත්‍රයටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුලු තවත් ප්‍රධාන පෙළේ සම්මාන රාශියක් දිනාගැනීමට සහ නිර්දේශ වීමට සමත් වුණ සිනමා පටයක්.
බොහෝදුරට යථාර්ථවාදී ආඛ්‍යාන ක්‍රමය අනුගමනය කරන මේ සිනමාපටය ඉහළ රසික ප්‍රසාදත්වයකට පත්වී ඇති ප්‍රමුඛ සාධකය තේමාත්මක  අපූර්වත්වය කිව්වොත් නිවැරදියි. Mildred Hayes තම සැමියාගෙන් දික්කසාදව ඇති දෙදරු මවක්. කතාව ආරම්භවන මොහොත වන විට ඇගේ දියණිය වන Angela Hayes දූෂණයට ලක්ව ඝාතනය වී මාස කිහිපයක්. කතා ආඛ්‍යානය දිගහැරෙන්නේ තම දියණිය ඝාතනය කළ සැකකරුවන් මෙතෙක් නීතිය ඉදිරියට නොගෙනීම පිළිබඳව මවක හැටියට දක්වන ප්‍රතිරෝධතාවන් මත.
තම දියණියට එරෙහි අපරාධය වැළලී යා නොදී එයට සමාජයේ ඇස් යොමු කිරීමත් William Bill Willoughby නම් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලීසිය පරීක්ෂණ දෙසට තල්ලුකිරීමත් මවක හැටියට මේ මොහාතේ තමා කළයුතු එකම කාර්යය බව ඈ තමාට ම සපථ කරගන්නවා. මේ සඳහා ඈ අවසන් උපක්‍රමය හැටියට තෝරා ගන්නේ දියණිය ඝාතනයට ලක් ව තිබූ ස්ථානය අසළ මහා මාර්ගයට යාබදව පිහිටුවා ඇති විශාල වෙළඳ ප්‍රචාරණ පුවරු (Billboards) තුන.  Ebbing  නම් අදාල වෙළඳ ප්‍රචාරණ ආයතනයට ගොස් ඇය මසක කාලයකට අදාල ප්‍රචාරණ තුනෙහි ප්‍රචාරණ අයිතිය මිළදීගන්නවා. ඒ අනුව ‘RAPED WHILE DYING’ " ‘STILL NO ARRESTS’ iy ‘HOW COME, CHIEF WILLOUGHBY?’‍ යන වැකි ඈ අතින් ප්‍රචාරණය වෙන්නේ. මේ සඳහා අදාල දැන්වීම් ප්‍රචාරණ ආයතනයට ගෙවීමට අවශ්‍ය විශාල මුදල ගෙවන්නට ඇයසතු වාහන අමතර උපංග ඇතුලු දේපළ පවා විකුණන්න ඇයට සිද්ධ වෙනවා. තම මියගිය දරුවා පිළිබඳ ඇගේ ආධ්‍යාශය එතරම් ම බරයි. මේ පුවරු ඉවත්කරගන්නා ලෙස කියන ඇගේ දන්ත වෛද්‍යවරයාගේ ඇඟිල්ලක් සිදුරුකිරීම, පූජකවරයාට බැණ නිවසින් පිටත්කිරීම වගේ වැඩ දක්වා නෙමෙයි පෙට්‍රල් බෝම්බ ගසා පොලීසියට ගිනි තැබීම වැනි ක්‍රියාවන් කිරීම දක්වා ඇගේ මේ හෘදසාක්ෂියේ බර මුල්බැහැලා තියෙනවා.
චරිත නිරූපණයයෙහි ගැඹුර පිළිබඳ සිනමා කරුවා විශේෂයෙන් සැලකිල්ලක් දක්වා ඇති බව පේනවා. ඔහු පැතලි චරිත නිර්මාණය කරන්නෙ නෑ. හැම චරිතයක් ම කළු සුදු දෙබෙදුම අතර නිර්මාණය වෙනවා. තම දියණියගේ මරණයට වගකිවයුත්තන් තවමත් අල්ලාගැනීමට නොහැකිවීමට ගැන ඈ තුළ පොලීසියට එරෙහිව ක්‍රෝදයක් තියෙනවා තමයි. එසේම ඒ මරණයට තමන්ද වගකිව යුතු බවට ඇගේ හෘදසාක්ෂිය මගින් ඇය වෙත වේදනා දෙනවා. තමාත් තම දියණියත් අතර නිතර ඇතිවූ මතවාදී අඩදබර පිළිබඳ ඇගේ සිතේ මනෝරූප නිර්මාණය වනවා. (සැමියා විසින් ලැබූ නිරන්තර පහරදීම් සහ ඔහු හැරගිය පසු දරුවන් බලාගන්නට ඈ විඳන කම්කටොලු මේ සඳහා හේතුපාදක වෙන බව ප්‍රේක්ෂකයාට පැහැදිලියි. දූෂණයට සහ මරණයට ලක්වුණ දවසේ දියණිය තම මවගෙන් කාර් රථය ඉල්ලුවද ඇය ලබා දෙන්නෙ නෑ. දියණිය පයින් යන්නේ ඒකයි. එසේම ඇතැම් විට ඇගේ දික්කසාද සැමියා ද දියණියගේ මරණයේ වගකීම ඇගේ මූණට දමා ගසනවා. ඍජුව නොකීවත් ඇගේ පුත්‍රයා ද ඔහුගේ මව ද මේ දේට වගකිව යුතු බව අනියමින් ඉඟි කරන අවස්ථා තියෙනවා.
මවකගේ පැත්ත මෙන්ම ඇයගේ විවේචනයට භාජනය වන පොලිස් නිලධාරීන් ගැනත් සිනමාපටය තුළ මානුෂිකව නිරූපණය වනවා. මවගේ වේදනාව ගැන ශෝකයක් සහ ඇගේ උත්සාහයන් ගැන පැහැදීමක් ඇතිවුණත් ප්‍රේක්ෂකයා තුළ පොලීසිය ගැන වෛරයක් හිතෙන්නෙ නෑ. ‘උන් කරන්නේ ක්‍රිස්පි කකා කාර් පාර්ක්වල ස්කේටින් පදින පොඩි උන්ව අල්ලන එකයි, වර්ණ බේදවාදය හිසට අරං කළු උන්ට වද දෙන එකයි විතරයි’ කියලා ඇගේ පාර්ශ්වයෙන් කියවෙනවා. ඒත් ඒක සිනමාපටය ඒ විදිහට ම පෙන්නන්නෙ නෑ. නමුත් සිද්ධි ගලායෑමට සලසන වේගය සහ පසුබිම් ප්‍රයෝග තුළ පොලිසිය පාර්ශ්වයේ යම් කිසි උදාසීනභාවයක් ඇති බව පමණක් ප්‍රේක්ෂකයාට හැඟෙනවා.  
William ‘Bill’ Willoughby නම් පොලිස් ප්‍රධානියාගේ චරිතයත් ඉතාමත් ගැඹුරිනුයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඔහු මාරාන්තික පිළිකාවකින් පීඩා විඳිනවා. ඒ මදිවට ඇයගේ තුන්වන ප්‍රචාරණ පුවරුවේ ඔහුගේ නම ඍජුව සඳහන් වෙනවා. මේ සිදුවීම පිළිබඳ රූපවාහිණිය මගින් විශේෂාංග ගෙනඒම තුළ මේ ඝාතනය සහ ඇය පිළිබඳ මෙන්ම ඔහු පිළිබඳ මුලු රටේම අවධානය යොමුවෙනවා. ඒ ඇතැම් අවස්ථාවල ඔහුට ක්ෂණිකව තරහා යනවා. නමුත් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වී රාජකාරිය සමබරව ඉවසීමෙන් සිදුකරගෙන යෑමට උත්සාහ ගන්නවා.
මේ පරීක්ෂණයේදී පවා ඔහු දැනටමත් ඇගේ මරණයෙන් සොයාගත් සියලු සාධක සූක්ෂමව පරීක්ෂා කරලයි තියෙන්නෙ. අදාල ඩීඑන්ඒ පොලීසිය හඳුනාගෙන සිටින සියලු අපරාධකරුවන්ගේ ඩීඑන්ඒ එක්ක සංසන්දනය කරනවා. නමුත් මේ කාරණය විසඳගන්නට ඔහුට හැකිවෙන්නෙ නෑ. ඒ සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා බවයි පේන්නේ. අවසානයේ තම බිරිඳටත්, මිය ගිය තරුණියගේ මවටත් තම හිතවත් නිලධාරිකු වන Jason Dixongටත් ලිපි තුනක් ලියා සිය දිවි නසා ගන්නවා. ඒ තම පිළිකාවෙන් ගැලවීමට සහ රාජකාරී පීඩනයෙන් මිදීමට. කිසි ම ලිපියක වෛරයවත් චෝදනාවක්වත් තැවරෙන්නෙ නෑ.
 ඔහු යටතේ වන අනික් නිලධාරියා Jason Dixon ප්‍රශ්න විසඳන්න ස්වරූපය ඊට වෙනස්. ඔහු තම ඉහළ නිලධාරියා වන William Bill Willoughbyට සැබවින්ම පක්ෂපාතයි. ඒක ආයතන ප්‍රධානියා වෙත මවාගත් ඊනියා පක්ෂපාතීත්වයක් නෙමෙයි.  ඔහුගේ මැදිහත්වීම ඇතැම්විට මේ ගැටලු තවත් සංකීර්ණ කරනවා. ඔහු  ඇයට තර්ජනය කරනවා, බිල් බෝර්ඩ්ස් ගිනි තියනවා, දැන්වීම් ප්‍රචාරණ ආයතනයට සහ එහි හිමිකරුට පහර දෙනවා. William Bill Willoughby ජීවත්ව සිටිනකම් තම යටත් නිලධාරියාව මේ දේවලින් ඈත් කරන්න වෑයම් කරනවා. නමුත් ඔහු මියගිය පසු එන අලුත් ස්ථානාධිපතිවරයා අතින් ඔහුගේ සේවය අවසන් වෙනවා. කතාව අවසන් වන්නේ Jason Dixon සත්‍ය වටහාගෙන තම දියණියගේ මරණය ගැන ශෝකවන Mildred Hayesට උදවු කිරීමට සිතාගෙන ඒ ගමන සඳහා ඇගේ ගමන් සගයා වෙමින්.
කතාව අවසන් වෙන්නේ Jason Dixon, Mildred Hayes සමග ගිනිඅවියකුත් ඇතිව ස්ත්‍රීදූෂකයෙක්ට දඬුවම් දීමට පිටවීමෙන්. තමන් කළ ස්ත්‍රී දූෂණයක් ගැන ඔහු තැබෑරුමක Jason Dixon ඇහෙන්නට ඇහෙන්නට අදාල පුද්ගලයා කටමැත දොඩා තිබුණත්, ඔහු මේ සිදුවීමට සම්බන්ධ නෑ කියලා ඔවුන්ගේ තොරතුරු විමර්ශනය කරන පොලීසිය කියනවා.  මේකට සම්බන්ධ නැතත් ‘ඔහු දූෂකයෙක්’ කියන එකයි මවගෙත් සේවයෙන් පහ කළ පොලිස් නිලධාරියාගෙත් තක්සේරුව. කතාව ඔවුන්ගේ පිටත්වීමත් සමග මේ විදිහට අවසන් කිරීම එකවැරම ප්‍රේක්ෂකයා තුළ රික්තකයක් නිර්මාණය කරනවා. නමුත් එම නැවතුම විචාරශීලී රසිකයාට තවත් පරිකල්පනීය මානයන් කීපයක් විවර කරලා දෙන බව පැහැදිලියි.
කල්ලන්ට වදදෙනවායැ’යි ඇය විසින් චෝදනා කරන පොලිසියේ ප්‍රධානියා ලෙස විලියම් බිල් මිය ගියාට පස්සේ පත්වන්නේ කළු ජාතික නිලධාරියෙක්. ඒ කැඳවීම සිනමා කරුවා සවිඥානිකව කළ සංකේතාත්මකව ඉතා වැදත් උපක්‍රමයක්. ඒ වගේම ඔහු යටතේ මේ අපරාධය හෙළි වනු ඇතැයි ප්‍රේක්ෂකයාට බලාපොරොත්තුසහගත භාවයක් ඇති වෙනවා. නමුත් ඒ යටතේ පවා හෙළි වෙන්නෙ නෑ. එකපැත්තකින් එය දිවිනසාගත් බිල් ඇතුළු පොලීසියේ නිර්දෝෂීකම හෙළි කරනවා
සිනමා කෘතිය පුරා සංගීතය භාවිත කර ඇති ආකාරයත්, චරිතයන්හි සංවාද සඳහා භාවිත වචන තුළත් මොවුන්ගේ මනසේ සංකීර්ණකම තවදුරටත් ඉස්මතු කරනවා. එසේම මැය ජීවත්වන  සහ බිල්බෝර්ඩ්ස් පිහිටුවා ඇති නිහඬ පාලු පරිසරය මවගේ ශෝකය නිරූපණය කරන ජීවමාන සාධක විදිහට සමස්ත කෘතිය පුරා ඉස්මතු  වෙනවා. ඒ  විතරක් නෙමෙයි ඝාතනයේ සාක්ෂි විරහිත ගුප්ත බවත් ඒ තුළම කැටිවෙලා තියෙනවා.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


         රාවය 2018 ජූලි 01


Sunday, June 24, 2018

Wild Tales (Relatos salvajes)



ආර්ජන්ටීනියානු සිනමා ඉතිහාසයේ වඩාත් සාර්ථක කෘතියක් ලෙස විචාකයින් හඳුන්වන Wild Tales සිනමාකරුවකු වන Damián Szifron විසින් (2014) අධ්‍යක්ෂණය කරන ලද්දක්.  මෙය එම වර්ෂයේ  ඇකඩමි සම්මාන උළෙලේදී හො  ඳම විදේශීය චිත්‍රපටයට හා ඒ වසරේ Cannes සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට (Palme d'Or) ද නිර්දේශ වෙමින් තවත් ප්‍රධාන පෙළේ සම්මාන රාශියක් දිනාගන්නවා. 

සිනමාපටය දිගඇරෙන්නේ එකිනෙකට වෙනස් උප කතා හයක් පදනම් කරගනිමින්. නමුත් ඒ කතාංග සියල්ල සතු තේමාත්මක ඒකීයත්වය සමස්ත කෘතිය ඒක් ධාරණාවක් සහිත තනි සිනමා නිර්මාණයක් හැටියට බැඳතබනවා. ඒ කෝපය වෛරය හා පළිගැනීම කියන හුය හරහා. 

මිනිත්තු හතක පමණ කුඩා කාලයක් තුළ දිගහැරෙන පළමු කතාංගය තුළම Damián Szifron මේ හුය අල්ලගන්න අවශ්‍ය තේමාත්මක උපකරණ ප්‍රේක්ෂකයාට ලබාදෙනවා. එය දිගහැරෙන්නේ ගමන් ඇරඹූ ගුවන් යානයක යාබද අසුන් දෙකක සිටින විලාසිතා නිරූපණ ශිල්පිනියකුත් සංගීත විචාරකයෙකුත් වැටෙන අහඹු කතාබහක් මත. තමන්ට ගේබි්‍රයල් පස්තර්නැක් නම් සංගීතයට නැඹුරු පෙම්වතෙකු සිටිබව කතාව අතර තුර ඇය කියනවා. මෙයින් විමතියට පත්වූ විචාරකයා කියන්නේ තමන් ද පස්තර්නැක්ව හඳුනන බවත්, ඔහුගේ සංගීත දිවියේ එක්තරා තීරණාත්මක අවස්ථාවක ඉදිරිපත් වුණ නිබන්ධනයක් තමං විසින් ප්‍රතික්ෂේ්‍රප කළ බවත්. මේ කතාවට සවන්දීගෙන සිටින ඉදිරි අසුනේ වාඩිවී සිටින කාන්තාවක් මේ අහම්බය තවදුරටත් තීව්‍ර කරනවා. ඇය පස්තර්නැක්ගේ පාසල්වියේ ගුරුවරියක බවත් ඔහු තම පංතියේ හිටි එපාම කළ ශිෂ්‍යයෙක් බවත් ඇය කියනවා. ඒ වගේම ගුවන් යානය තුළ සිටින බහුතරය පස්තර්නැක්ගේ ජීවිතයේ විවිධ කඩයිම් තුළ ඔහු අඳුරාගත් අය බව හෙළි වෙනවා. ඒ අතර පස්තර්නැක් සේවය කළ ආයතනයක කළමණාකරුවෙක් ද පස්තර්නැක්ට ප්‍රතිකාර කළ මනෝවෛද්‍ය වරයෙක්ද වෙනවා. මුලු ගුවන්යානයම භීතියෙන් ඇළලීයන්නේ තමන් ද ඇතුලු හැම දෙනාම මේ ගුවන් ගමන යන්නේ තමන්ගේම සැලසුම්වලට නෙමෙයි ඔවුන්ට සම්බන්ධ වෙනත් ආයතන විසින් එවන ලද සංචාරයන්ට බව හෙළිවීමත් සමග. ඇතැම් අයට දිනුම් ඇදීමක් මගිනුයි මේ සංචාරය ලැබිලා තිබ්බෙ.

මේ අහම්බ භීතිකාව යථාර්ථයක් බව පසක් වන්නේ බියෙන් ඇළලුණු ගුවන් සේවිකාවක විසින් ගේබි්‍රයල් පස්තර්නැක් මෙම ගුවන්යානයේ සේවකයකු බවත්, යානය ගුවන්ගත කළ පසු ඔහු නියමු කුටියට කෝපි රැගෙන ගිය බවත් එතැන් සිට නියමු කුටිය අගුලු ලා ඇති බවත් හෙළිකිරීමත් සමග.

සමස්ත සිනමාපටය පුරාවට දක්නට ඇති ප්‍රකට කාරණය වන අඳුරු අවිනිශ්චිතතාව ඉදිරි තත්පර කීපය තදින් වෙළා ගන්නවා. ඉන් එපිටට දිගහැරෙන්නේ පාපොච්චාරණයට හා නියමු කුටියේ සිටනවායැ’යි කියන පස්තර්නැක්ට තම ජීවිත බේරා දෙන ලෙස කරන අයැදීම්වලට. පස්තර්නැක් මේ තත්ත්වයට පත් වුණේ ඔහුගේ ම දෙමව්පියන් නිසා බවත්, ඒ අය ඔවුන්ගේ සියලු බලාපොරොත්තු කඩවීම් පස්තර්නැක් පිට යැවූ බවත්, ඒ සඳහා ගුවන් යානයේ ඉන්න අය වගකිව යුතු නැති බවත් මනෝ වෛද්‍යවරයා නියමු දොරට ගසමින් අයදිනවා. එසේම ඔහු අන් අයට භීතියෙන් යුතුව පාපොච්ඡාරණය කරන්නේ තමං පස්තර්නැක්ගේ ප්‍රතිකාර සඳහා අයකරන ගාස්තුව වැඩි කළ බවත් ඉන්පසු පස්තර්නැක් තමං හා අමනාප වූ බවත්. තමං ගේබි්‍රයල්ගේ පෙම්වතිය ව සිටියදී ඔහුගේ මිතුරකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව නිරූපණ ශිල්පිනිය හෙළි කරනවා. අදාල තරුණයා ද  යානයේ ඉදිපස අසුනක ඉන්නවා! කළමණාකාරවරයා කියන්නේ පස්තර්නැක් ගණුදෙනුකරුවන් සමග හොඳ සම්බන්ධයක් නොපැවැත්වීම නිසා තමන්ට ඔහුව රස්සාවෙන් ඉවත් කරන්නට සිදුවූ බව. කතාව අවසන් වෙන්නේ ගුවන් යානය වේගයෙන් පොළව දෙසට ගමන් කරලා පස්තර්නැක්ගෙම නිවසෙහි මිදුලමත වැටීමෙන්. ඒ මිදුලෙහි විවේකගනිමින් සිටින ඔහුගේ මව හා පියා ද යට කරමින්.

කතාවේ කොතනකදීවත් ගේබි්‍රයල් පස්තර්නැක් නම් තැනැත්තෙක් පෙන්නන්නෙ නෑ. එවැන්නෙක් මේ ගුවන් යානයේ සේවය කරන්නෙකු කියලා ගුවන් සේවිකාව හෙළිවෙනවා විතරයි. පළිගැනීමට ලක්වන අහඹු මගීන් කණ්ඩායමක් සිටීම, මුහුණක් නොමැති පළිගන්නෙක් සිටීම, සහ පළිගැනීම ගුවන්යානයකදී සිදුවීම පැහැදිලි සංකේතාත්මක අර්ථ දනවනවා. ඒ මේ කුඩා කතාංගයට විතරක් නෙමෙයි මුලු කෘතිය පුරා දුවන වෛරය, කෝපය සහ පළිගැනීම වැනි විචාරයට බඳුන්කරන්න බැරි පොදු මිනිස් ගුණාංගවලට. පළිගැනීම තමංගේම මිදුලෙන් තමංගේම දෙමව්පියන් මත අවසන් වීමත්, මේ මූහුණක් නැති මිනිසා මානසික අසමතුලිතභාවයෙන් පෙලුණුබවට ඉඟි සැපයීමත් ඒ ඒ කාරණයට තවදුරටත් අර්ථ සපයනවා.

අතීතයේ දී තම පියාගේ දිවි නසාගැනීමට වග කිව යුතු මෙන්ම තම මව දූෂණය කිරීමට ගිය මැරයෙකු හා හෝටල් සේවිකාවක අතර කතාංගය, අනාචාරවත් රියපැදවීම ඔස්සේ රියදුරන් දෙදෙනෙකු අතර සිදුවන පළිගැනීමේ සිද්ධිය, මාර්ගයෙහි නවතා ඇති වාහන අහේතුකව ඇදගෙන ගොස් ඒවාට දඩ අයකරන සමාගමට එරෙහිව ඉංජිනේරුවාගේ කෝපය, රිය අනතුරක් කර පළා ආ තම පුත්‍රයා බේරාගන්න ධනවත් පියා කළ සැලසුම හා මියගිය අයගේ සැමියාගේ කෝපය, තම විවාහ සංවත්සර දිනයේදී මුළාවට ලක්වූ කාන්තාවකගේ පළිගැනීම ආදී වශයෙන් උසකා Wild Tales සෙසු කතාංගයන් දිගහැරෙන්නේ එකී නියාමයන් මත.

කතා තේමාවෙහි ඒකීයත්වයක් තිබුණත් එය අවසන් වන්නේ ඒකාකාරීත්වයක් මත නෙමෙයි. මෙකී මිනිස් ගුණාංගයන්ගේ සියලු පැතිකඩ සිනමාපටය තුළ නව්‍ය මානයන් මගින් නිරූපණය කරනවා. එක් කතාවකදී නොකියූ දෙයක් ඊළඟ කතාවෙදී කියනවා. ඇතැම් පළිගැනීමේ අවසානන වන්නේ  වීරත්වය මුණගැසීම තුළින්, තවත් තැනකදී පලිගන්නා හා පලිගැනීමට ලක්වෙන්නා යන දෙදෙනාටම විනාශය ගේනවා, තවත් පළිගැනීමක අවසානය අවිනිශ්චිතයි, තවත් පළිගැනීමක් අවසාන වන්නේ පළිගන්නා සහ පළිගැනීමට ලක්වන්නා යන දෙදෙනා තුළ ගැඹුරු ප්‍රේමයක් මෝදු වීමෙන්. ඒ වගේම ඇතැම් පළිගැනීම් සිදුවන්නේ ඒ වෙලාවේ ඇතිවන ක්ෂණික කෝපය මත. තවත් ඒවා කාලාන්තරයත් තිස්සේ පැළපදියම් වූ සැලසුම් මත. තමන්ට අදාල නැති වෙනකෙක්ට සිදුවුණු අසාධාරණයක් අසා ඇතැම් පළිගැනීම් සිදුවනවා. සමහර ඒවාට නිශ්චිත හේතු සපයන්න ම බෑ.  ෘ්පසටිබ Damián Szifron බොහෝවිට කතාවන්හි කූටප්‍රාප්තිය සැළසුම් කරන්නේ වින් වින් අවස්ථාවේ හෝ ලොස්ට් ලොස්ට් අවස්ථාවේ. කිසිදු තනි පාර්ශ්වයකට ජයග්‍රහණයක් හෝ පරාජයක් හිමි වෙන්නෙ නෑ.




Wild Tales නිරූපණය කරන්නේ ආර්ජන්ටිනාවේ සදාචාරාත්මක සහ මනෝවිද්‍යාත්මක පැතිකඩ විතරක් නෙමෙයි. ධනවාදී, තාක්ෂණික ලෝකය විසින් පීඩාකාරී මිනිසා මත පටවන පීඩනයන්හි වපසරියත් ඒකී  පීඩනය ඔහු විසින් මුදාහරින අතාර්කික ආකාරයන් පිළිබඳවත් තියෙන්නේ විශ්වීය සාම්‍යයක්. ඒක ලතින් ඇමරිකානු අනන්‍ය යථාර්ථයක් නෙමෙයි. සදාචාරාත්මකව බංකොලොත් ධනවතුන්, මුදල් ඉපයීමට පුරවැසියන් සඳහා නිස්කාරණේ දඩ ගහන පාලන උපව්‍යුහයන්, අහේතුකව අනුන් වෙනුවෙන් පළිගන්න මිනිසුන්, අනාචාරරමත් රිය පැදවීම් තුළින් ගහමරාගන්නා මිනිසුන්, මෙන්ම පාලනයේ දුර්දාන්තකමට එරෙහිව සිතින් වෛර  කරනා පුරවැසියන් පිළිබඳව අපි එදිනෙදා අත්විඳිනවා.

කොටින්ම කියනවානම් Wild Tales තුළ නිරූපණය වන්නේ කුටුම්භය, සමාජය සහ පාලන තන්ත්‍රයන්ට එරෙහි මිනිස් ප්‍රචණ්ඩත්යේ සහ කෝපයේ ආකාරයන්. එහිදී ප්‍රේක්ෂක මනස පළිගන්නාගේ හෘදසාක්ෂිය තුළ ද පළි ගැනීමට ලක්වන්නාගේ හෘදසාක්ෂිය තුළ ද දෝලනය කිරීමට චිත්‍රපටකරුවා සූක්ෂ්ම වෙනවා. 
මේ සන්ථානයන් හේතුඵල නියාමයත් ඒක්ක ගලපන්න බැරි බව සිනමාකරුවා විසින් අසම්බන්ධිත කතා දාමය අනියමින් ගැටගසන්නට භාවිතකරන උපක්‍රමික මෙවලම් තුළින් සංකේතගත වෙනවා. Damián Szifronගේ මේ සිනමාත්මක සූක්ෂමත්වය ඔහුගේ තවත් ජනප්‍රිය සිනමා පටයක් වන On-Probation තුළ පවා ඉව කරන්න පුලුවන්.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



රාවය 2018 ජූනි 24