Tuesday, May 7, 2019

ස්වර්ගයේදී කන්‍යාවන් මුණගැහෙනවාද?


මේ ප්‍රශ්නයට උත්තර දෙන පාර්ශ්වය වගේම මේ මොහොතේ මේ ප්‍රශ්නය අතිඅවධාරණාත්මකව අහමින් ඉන්න අයත් එකම ඥාතීන් කොටසක් විදිහට ගන්න පුළුවන්. මොකද ස්වර්ගයේදී කන්‍යාවන් මුණගැහෙනවාද? කියන ප්‍රශ්නය ඇතුළෙම ’ස්වර්ගයේ’ පැවැත්ම සහතික කරලා ඉවරයි. ඒ නයින් බලපුවාම මේ දෙපිරිසම එක්තරා විදිහක මනෝරාජික ස්වර්ගයක් ගැන පරිකල්පණය කරන අය. වෙනසකට ඇත්තේ එක් පිරිසකට ස්වර්ගයේදී කන්‍යාවන් 72ක් මුණගැහෙද්දී අනික් පිරිසට එසේ නොවන බව කීම.
මේ වෙලාවේ මේ ප්‍රශ්නය අහන බොහෝමයක් බෞද්ධයන් බවයි පේන්නෙ. ඒකෙන් පැහැදිලි වන්නේ මේ අය සැබෑ බෞද්ධ චින්තනය ගැන සියුම් අවබෝධයක් නැති අය කියන එක. ඒ අතින් බලපුවාම ස්වර්ගයේදී කන්‍යාවන් මුණගැහෙනවා කියන අන්තවාදීනුත් මේ ප්‍රශ්නය ආංශිකව මතුකරන්නනුත් ලේ ඥාාතීන් ම තමයි. 
ඒ කෙසේද යත්; කුරාණය හෝ වේවා, බයිබලය වේවා හෝ ත්‍රිපිටකය වේවා එසේත් නැත්තම් වෙනත් පසුකාලීන සාහිත්‍ය කෘතියක් හෝ වේවා ඒවා බිහිවූ ප්‍රකරණයන්හි යුගීය අවශ්‍යතාව සහ ඒවායේ සාහිත්‍යමය භාවය අමතක කරලා තමන්ගේ අවස්ථාවාදී අරමුණුවලට යොදාගන්න මේ දෙ-ලේ ඥාතීන් පැකිළෙන බවක් පේන්නෙ නෑ. 
එවන් කෘති, සහ සංකල්ප මනුෂ්‍යත්වයට එරෙහිව භාවිතවීම හරියට ඇඩොල්ෆ් හිට්ලර් විසින් ‘ෆෙඩ්රික් නීට්ෂේව‘ තමන්ගේ හිංසක ව්‍යාපෘතිය තුළ භෞතීස්ම කළා වගේම තමයි.
අන්‍ය සංස්කෘතීන්ට අයත් කෘතීන්හි සාහිත්‍යයික පදනම් අයින් කරලා  ඒවායේ මේ වගේ  සංකල්පයන් තියෙනවාද කියලා විචාරයට ලක්කරද්දී, හිනාවෙද්දි 

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ

විදිහේ දේවල් අපේ ළඟත්  තියෙනවාද කියලා ස්ව්‍යං හැදෑරීමකට එන්න අවශ්‍යයි. (මේවගේ නිර්මාණ සිංහලයින් බහුතරය මූලධර්මවාදීව භාවිත නොකළා වගේම ඉස්ලාම් බහුතරයද ඒවා සවිඥාානිකව බැහැර කර ඇති බව ඉතාම පැහැදිලියි.) 
මේ බොහෝමයක් ඓතිහාසික ප්‍රකරණයන්හි භාවිත වූ ප්‍රබන්ධ. එකී ප්‍රබන්ධ ආංශිකව අවභාවිත වීම අදාල ප්‍රබන්ධයන්හි ගැටලුවක් හෝ ඒවා අයත් සමස්ත සංස්කෘතික උපකුලකයේ ගැටලුවක් නොව, අන්තවාදීන් කිහිප දෙනෙකු විසින් අදාල ප්‍රබන්ධයන් කියවාගන්න විදිහේ අවුලක් විතරක් බව පැහැදිලියි.
ඒ නිසා සවිඥානික සමාජය කරන්න ඕන මේ අන්තවාදී ලේ නෑයින් සැබෑ ආගමික, සංස්කෘතික දර්ශනය සොයා බලන තැනට පොළඹවන එක. 
මිනිසත්බවේ ස්වර්ගය තුළ හැමෝටම නැලවෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ කටයුත්ත සාර්ථක වුණදාට විතරයි..
2019/05/08

No comments:

Post a Comment