Tuesday, May 18, 2010

අද මේ රටේ දේශපාලන ශිෂ්ටාචාරයක් නෑ



අද මේ රටේ දේශපාලන ශිෂ්ටාචාරයක් නෑ



මහාචාර්ය කේ.ඇම්.ද. සිල්වා


ශ්‍රීලංකාවේ පවතින දේශපාලන ක්‍රමය අනුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඉක්මවා ගිය බලයක් විධායකය තුළ දක්නට ලැබෙනවා. ඇතැම්විට මෙකී ලක්ෂණයන් බැලූ බැල්මට නොපෙනුනද වුවද යථාර්ථමය වශයෙන් සිදුවනවා?


විධායක ජනාතිපති ක්‍රමය ලංකාවට හඟන්වා දුන්නේ 1978නේ. ඡේ.ආර්.ජයවර්ධන 1966දී මේ ක්‍රමය හඟන්වා දීමට උත්සහ කළත් ඒක කවුරුත් පිළිගත්තේ නෑ. කවුරුත් වගේ ඒ යුගයේ කල්පනා කළ දෙයක් තමයි රටක දියුණුවට නම් ශක්තිමත් විධායකයක් අවශ්‍යයැයි කියන එක. ඒ අනුව තමයි මෙවන් අධික බලතල සහිත විධායකයක් බිහිවුණේ. රටක දියුණුවට විධායකය මෙච්චරම ශක්තිමත් විය යුතුයිද යන්න ප්‍රශ්නයක් තමයි. මං හිතන විදිහටත් මේ විධායකය ශක්තිමත් වැඩියි තමයි. නමුත් මේ ආයතන සියල්ල ස්වාධීන නෑ කියලම කියන්නත් බෑ. මේ ආයතන සතු පළපුරුද්ද ආදිය මත ස්වාධීන වීම හෝ නොවීම තීරණය වනවා. උදාහරණයක් ලෙස ගත්තොත් වර්තමාන අධිකරණය දක්වන්න පූුළුවන්. අධිකරණය මේ වන විට බොහෝ දුරට ස්වාධීනයිනේ. ඒක අධිකරණයේ පලපුරුද්දත් සමග සිදුවූ කරුණක්. දැන් අගමැති ධූරය බලන්නකො. ප්‍රේමදාස අගමැතිව සිටි යුගයේ අගමැතිධූරය මීට වඩා ශක්තිමත්ව තිබුණා. නමුත් ඩී.බී.විඡේතුංග යුගයේ හා වර්තමානයේ එවන් තත්වයක් දක්නට ලැබෙන්නේ නෑ.

අනික තමයි ඡේ.ආර්.ජයවර්ධන කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ඉතා විශිෂ්ට දැනුමක් හා පලපුරුද්දක් තිබුණු කෙනෙක්. ව්‍යවස්ථාදායකයේ බලතල මොනවාද, විධායකයේ බලතල මොනවාද සහ අධිකරණයේ බලතල මොනවාද යන්න පමණක් නෙමෙයි වරප්‍රසාද පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයක් ඔහු සතුව තිබුණා. ඒ අනුව එතුමා සතුව අධික බලතල තිබුණා කියා අඥාන පරිදි ක්‍රියා කිරීමට උත්සහ කළේ නෑ. නමුත් එතුමාගෙන් පසු බලයට ආ කිසිවකු සතුව ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණේ නෑ.


අධික බලයකින් යුතු විධායක ක්‍රමයක් සහිත මේ ක්‍රමයේදී ජනාධිපති වරයකු අනිවාර්යයෙන් මෙන් තම ධූර කාල දෙකම සිටිනවා පමණක් නොවේ ඒ හේතුකොට ගෙනම ඒ ජනාධිපති වරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය ද (මහජනයාට එපා වුවද) වසර ගණනක් පවතිනවා. නමුත් විධායක ජනාධිපති ක්‍රමයක් නොතිබුණු 1956 - 1977 කාලය ගතහොත්, ඒ යුගය තුළ පිට පිට පස් වතාවක් පවත්නා රජයන් වෙනස්කිරීමට ජනතාවට හැකි වෙනවා?


ඒ යුගය වන විට ඡේ.ආර්. ජයවර්ධනලා කල්පනා කළ දෙයක් තමයි විධායකයේ නිල කාලය අවුරුදු හයක් නම් ඒ අවුරුදු හයම ඔවුන් බලයේ සිටිය යුතු බව. මොනවා වුනත් දීර්ඝ කාලයක් කවුරුහරි පාලනය කරනවානම්, ඊළඟට අන්ත පරාජයක් ලැබීමකුත් දක්නට ලැබෙනවා අපේ දේශපාලන ඉතිහාය තුළ. මේක විධායකය සතු අධික බලතල නිරූපණය කරන කරුණක් බව ඇත්ත. වෙන රටවලදී වුනත් මේ තත්වයට තරමක් සමාන ලක්ෂණ නැතිවාම නෙමෙයි. වෙනසකට තියෙන්නේ ඇතැම් රටවල විධායකයේ ධූරකාලය අවුරුදු හතරක් වීම වගේ දේවල්.

විධායක ජනාධිපති ධූරය අවශ්‍යය ප්‍රමාණයට වඩා බලවත්වීම නිසා ඔහු හෝ ඇය හෝ යටතේ පවතින රජයක් බිඳ දමන්න අපහසුයි තමයි. නමුත් අපේ රටේ දක්නට ලැබෙන විශාලතම ප්‍රශ්නය, මේ රටේ පාලකයින් මොන තරම් දීර්ඝ කාලයක් බලයේ සිටියත් මොවුන් මොනවාද රටට කරලා තියෙන්නේ කියන එක.


විධායක ජනාධිපති ධූරය සීමාව ඉක්මවා බලවත් වීමත් සමග ඒ ඒ පක්ෂයන් සතු පක්ෂ ව්‍යවස්ථාවන් ද ඊට සාපේක්ෂව වෙනස් කර ඇති බව දක්නට ලැබෙනවා, පක්ෂ සාමාජිකයින් කොතරම් අකමැති වුවද පක්ෂ නායකයෙකු ඉවත් කිරිමට ඉතා අපහසු ලෙස පක්ෂ ව්‍යවස්ථාවන් සැකසී තිබීම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්?


ඔව්. ඕකත් ඡේ.ආර්. කළ දෙයක් තමයි. එක අතකට බලන කොට ඒක බල තණ්හාව උදෙසාම කළ දෙයක් කියලමත් කියන්න බෑ. යම් කිසි පුද්ගලයකු ආණ්ඩු ක්‍රමයක් කරගෙන යනකොට පක්ෂය අභ්‍යන්තරයෙන් විවිධ ප්‍රශ්න ඇතිවෙනවානම් ඔහුට තම වැඩ කටයුතු කරගෙන යෑමට අපහසුයිනේ. අපේ රටේ පලපුරුද්දයි ව්‍යවස්ථාවයි මොනවා වුනත් මේ තත්වය අනුව නායකයකුව අයින්කරන්න අමාරුයි.


මේ ක්‍රමය අනුව යම් කිසි පක්ෂයකට දුර්වල නායකයකු ආවොත් ඒ පක්ෂය වල්වැදී යෑම වලක්වන්න බෑ නේද?


ඇත්ත. මම කියන්නේ නෑ ඒ ක්‍රමය නිවැරදියි කියලා. මේ ව්‍යවස්ථා ක්‍රමයේ දුර්වලතා බොහෝමයක් තියෙනවා. යම් කිසි පක්ෂයක දුර්වල නායකයකු සිටිනවානමි මීට වඩා පහසුවෙන් නායකයා ඉවත් කිරීමට හැකි වන පරිදි අප රටේ පක්ෂ ව්‍යවස්ථාවන් සංශෝධනය විය යුතුයි.


මේ දේශපාලන ක්‍රමය සැකසී ඇත්තේ දේශපාලඥයින්ට හා ඔවුන්ගේ හිතවතුන්ට මහජන මුදල් රිසි සේ කොල්ල කෑ හැකි ආකාරයට. මෙයට මෑතකදී සිදුවූ උදාහරණයක් ලෙස ''වෝටර් එඩ්ජ්'' සිදුවීම දැක්විය හැකියි. මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ අදහස කුමක්ද?


මේ පොදු දේපල සූරාකෑම සම්බන්ධයෙන් කතාකරනකොට කියන්ඩ තියෙන දෙයක් තමයි, ඔය දේ මෑතක සිට සිදුවුන එකක් කියලා. ඡේ.ආර්ගේ යුගයේ නම් එහොම දේවල් සිදුවුනේ නෑ. යුගය කෙසේ වෙතත් එතුමා අතින්නම් ඔහොම දේවල් සිදුවුණේ නෑ කියලා මට කියන්න පුළුවන් පැහැදිලිව. මං කළිනුත් කිව්වා වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ හොඳ අවබෝධයක් තිබුන කෙනෙක් ඡේ.ආර්. ඒ අනුව ඒ අය ආරක්ෂා කර ගත්තා තමන්ගේ තත්වය. ඔය ඔබ කියූ ඔය තත්වය එන්ඩ පටන්ගත්තේ ප්‍රේමදාස යුගයේ පමණ සිට.

බලන්ඩ දැන් ක්‍රමය අනුව ඇමති මණ්ඩලය ඉන්නවා සීයක් විතර. අනෙක බලවත් තනතුරු බොහෝමයක් දරන්නේ ජනාධිපතිගේ නෑ හිතවතුන්. නමුත් ඡේ.ආර් සම්බන්ධයෙන් ගත් කල කියන්ඩ පුළුවන් දෙයක් තමයි ඔහුගේ යුගයේ ඔහොම උනේ නෑ කියන එක. ඊට අමතරව එතුමා තමන්ගේ නෑ හිතමිතුරන්ට ඉඩම්, පොදු දේපළ ආදිය බෙදාදෙන්ඩ උත්සහ කළේත් නෑ.


අප රටේ පෙර පැවති ක්‍රමයට අනුව මැතිවරණයකට තරග කරන අපේක්ෂකයින් මැතිවරණ අරමුදල් හා වියදම් සම්බන්ධයෙන් ලේඛනයක් ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඟ සිටියා. නමුත් නව ක්‍රමය යටතේ එවැන්නක අවශ්‍යතාව සම්බන්ධයෙන් දැඩි බැඟමක් නෑ නේද?


බොහෝ දියුණු බටහිර රටවල ඔය සම්බන්ධයෙන් සක්‍ර්‍රීය නීති රීති කි්‍රයාත්මක වනු දක්නට ලැබෙනවා. නමුත් අප රටේ ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික විධිවිධාන දක්නට ලැබෙන්නේ නෑ තමයි. ඉන්දියාවෙත් අපට වඩා ශක්තිමත් නීති රීති දක්නට ලැබෙනවා ඔය සම්බන්ධයෙන්. නමුත් ඡේ.ආර්ගේ යුගය වන විට තත්වය අදට වඩා වෙනස්නෙ. අද වගේ ඒ යුගයේ එතරම් මුදල් හොයාගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ වන විට සාමාන්‍ය වශයෙන් කෙරුණු දේ තමයි පක්ෂයෙන් ලබාදුන් මුදලින් ඡන්ද කටයුතු කළ එක. තවත් පිරිසක් තමාගේම මුදල් ඡන්දය සඳහා වියදම් කළා. ඒ වනවිට අද වගේ අසීමිත ලෙස මුදල් ලැබුණේ නෑ. ඒ අනුව, ඒ වන විට මේක අද වගේ ව්‍යාපාරයක් වෙලා තිබුණෙත් නෑ. නමුත් සුළු වශයෙන් මුදල් ඒකාශීවීමකුත් දක්නට ලැබුණා.


මෙසේ තැන් තැන් වල වගවිභාගයකින් හා නීතිමය පදනමකින් තොරව ඒකරාශිවන දේශපාලන අරමුදල් හා කළු සල්ලි භාවිත කොට ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් මිළදී ගැනීමේ සංස්කෘතියක් මේ රටේ දක්නට ලැබෙනවා. එසේ ජනතා පරමාධිපත්‍යය මුදලට යටවීම විශාල අර්බුදයක් නේද?


කළින් කිව්වා වගේ ඔය තත්වය අද වන විට තමයි බැරෑරුම් ලෙස දකින්නට තියෙන්නේ. ඒක ඛේදයට කරුණක් තමයි. මේ සම්බන්ධනේ පවතින නීති රීති තර කර ජනතා පරමාධිපත්‍යය සුරැකිය යුතු බව මාත් විශ්වාස කරන කරුණක්. ඔබ කිව්වාට අමතරව අද වන විට ඔය කළු සල්ලි විවිධ පක්ෂයන්ට සම්බන්ධ මැරයන් වැනි පිරිස් වල නඩත්තුවට හා පැවැත්මටත් විශාල දායකත්වයක් ලබා දෙනවානේ. ඊට සාපේක්ෂව, ඒවාට ප්‍රති උපකාර වශයෙන් ඒ මැර පිරිස් ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා හැමවිටම ඒ ඒ පක්ෂ වලට.

ඔය වගේ දේවල් ගැන හිතලා බලද්දි පේන්න තියෙන දෙයක් තමයි, මේ සියල්ලටම වඩා දේශපාලන ශිෂ්ටාචාරයක් තිබිය යුතුයි කියන එක. අද මේ රටේ දේශපාලන ශිෂ්ටාචාරයක් නෑ. දේශපාලන ශිෂ්ටාචාරය කියන එක නැතුව මොන නීති රීති, ව්‍යවස්ථා ක්‍රම තිබුණත් වැඩක් නෑ.


දියුණු බටහිර රටවල පමණක් නෙමෙයි ඉන්දියාව ගෙන බැලුවත් ඡන්දය සඳහා යම් කිසි අපේක්ෂකයකු නාම යෝජනා බාර දෙන විට ඔහුට එරෙහිව අධිකරණයේ පවතින හෝ පැවති අපරාධ නඩු හා තමා ලබා ඇති නීතිමය දඟුවම් ආදිය ගැන පමණක් නෙමෙයි තමාගේ අධ්‍යාපන මට්ටම, වත්කම් බැරකම් ආදී සියල්ල පිළිබඳ හෙළි කළ යුතු වෙනවා. නමුත් අපරටේ ඒ පිළිබඳ සක්‍රීය නීති රීති දක්නට ලැබෙන්නේ නෑ. මේ පිළිබඳ ඔබගේ මතය කුමක්ද?


ඇත්ත වශයෙන්ම ඡන්දය දෙන මහජනයාගේ අයිතිවාසිකම් නියමිත පරිදි ආරක්ෂා කරන්නටනම් තමා ඡන්දය ලබාදෙන පුද්ගලයා කවරකුද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනයාට ලබා දීම වැදගත් වෙනවා. අපරටේ එවැනි නීති නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීම කණගාටුදායකයි. ඒකනේ මං කළිනුත් කිව්වේ මේ රටේ දේශපාලන ශිෂ්ටාචාරයක් නෑ කියලා.

ඉස්සරනම් යම් කිසි මන්ත්‍රීවරයකුහට නඩුවක් පැවරුනහොත් ඒ නඩු තීන්දුවේදී විනිශ්චකාර තුමා තමන්ට එරෙහිව කුමක් පවසා ඇත්දැයි කතා නායක තුමාට පෙත්සමක් ඉදිරිපත් කරන්ඩ ඒ මන්ත්‍රීවරයාට සිදුවෙනවා. තවද ඔහු පැහැදිලි කර දිය යුතුව තියෙනවා මෙහිදී කුමක්ද සිදු වූනේ කියලා. නමුත් ඒ ක්‍රමයත් අද දකින්ඩ නෑනේ. අද තියෙන ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවන්ගෙන් එකක් තමයි ඕක.


ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මාධ්‍ය පිළිබඳ දැක්වූ දෙබිඩි පිළිවෙත පිළිබඳ චෝදනා තිබෙනවා එතුමාට?


ඡේ.ආර්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද යන්න කතා කිරීමට කළින්, දෙබිඩි පිළිවෙත යන්නෙන් ඔබ අදහස් කළේ කුමක්ද යන්න සඳහා උදාහරණයක් දෙන්න පුළුවන්ද?


තමාගේ මාමා විසින් ඇරඹූ ලේක්හවුස් ආයතනය රජයට පවරාගැනීමට විරුද්ධව ඡේ.ආර් විපක්ෂ නායකයකු ලෙස සිටියදී දැඩි සටනක් ගෙන යනවා. නමුත් එතුමා ජනාධිපති වූ කල ලේක්හවුස් ආයතනය ස්වාධීන නොකොට තමන් යටතේ හෙවත් රජය යටතේම තබාගන්නවා. 1972 දී සමගි පෙරමුණ රජය විසින් ''පුවත්පත් මණ්ඩල පනතක්'' ගෙනා කල එයටද විපක්ෂ නායකයා ලෙස එතුමා දැඩිසේ විරෝධය පානවා. නමුත් එතුමා ජනාධිපති වූ කල ඒ පනතම මාධ්‍යවේදීන් මර්ධනය සඳහා භාවිත කරනවා.


ලේක්හවුස් ආයතනය සම්බන්ධ ඔබ කියූ කතාව ගත් කල නම් එහි ඇත්තක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ලෙස මමත් ඒවගේම ඡේ.ආර්ගේ ඉන්දියානු මිත්‍රයින් කිහිපදෙනෙකුත් කිව්වා ලේක්හවුස් ආයතනය රජයෙන් නිදහස් කොට ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න කියලා. නමුත් එතුමා එහෙම කළේ නෑ.

අනෙක් අතට අපේ දේශපාලන ඉතිහාසය විමසා බලද්දි මෙවැනි කරුණු සම්බන්ධයෙන් හැම විටම දකින්නට ලැබෙන්නේ ඔබ කියූ දෙබිඩි පිළිවෙත්ම තමයි. එය එක අතකින් අපේ රටේ දේශපාලඥයින්ගේ හැටි වෙන්ඩ ඇති!


අපේ රටේ සෙසු ජනාධිපති වරුන් සමග ඔබ ඡේ.ආර්.ජයවර්ධන ජනාධිපති වරයා තුළනය කරන්නේ කෙසේද කියා අපි අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි?


ලොව කවරම හෝ රටක ජනාධිපති වරයකු හෝ පාලකයකු සිටියද, ඔහු විසින් කරන ලද ආර්ථීක හෝ දේශපාලනික හෝ වෙනත් කුමනම අංශයක හෝ වෙනස්කමක් පසුකාලීන පාලකයින් අතින් පවා වෙනස් නොවී වර්තමානය දක්වා පවතීනම් ඔහු හෝ ඇය ශ්‍රේෂ්ඨ ජනාධිපති වරයකු හෝ පාලකයකු ලෙස මම දකිනවා.

බලන්න විවෘත ආර්ථීක ක්‍රමය දිහා. ඒක ඡේ.ආර් ගේන්නේ 1977න් නේ. ඡේ.ආර්ට පසුව ජනාධිපති වරු කී දෙනෙක් හිටියාද? නමුත් එක්කෙනෙක්වත් ඒවා වෙනස් කළේ නෑනේ. විවෘත ආර්ථීක ක්‍රමයට සමගාමීව ගිය නිදහස් වෙළඳ කලාප බලන්න, මහවැලි ක්‍රමය බලන්න, ඒවා තවම ඒ අයුරින්ම පවතිනවා. ඊට පස්සේ හිටපු කාටද පුළුවන් උණේ ඒවායේ ළඟින්වත් තියන්න පුළුවන් වැඩක් කරන්න මේ රටට?

ඡේ.ආර් ජයවර්ධන ගෙනාපු මේ ව්‍යවස්තාව තුළ දැඩි දුර්වලතා නෑ කියලා මං කියන්නේ නෑ. 78 ක්‍රමය තුළ ඇති විධායකයේ බලතලවල ශක්තිමත්කම අනුව ගැටළු මතුවෙලා තියෙනවා. ඡේ.ආර්ගෙන් පසු ආ පාලකයිනුත් මේ ක්‍රමය භාවිත කරනවානේ. ඔවුන් ඡේ.ආර් තරම් දේශපාලනය පිළිබඳ පළපුරුද්ද, හැකියාව හා දැනුම ඇති පිරිසක් නොවීම මේ අර්බුදය තවත් වැඩි කරනවා. ඇයි මෙතරම් විධායක බලතල ශක්තිමත් කළේ කියන එක ගැටළුවක් තමයි. විධායකය මෙතරම් ශක්තිමත් නොකර බැරිද පාලන තන්ත්‍රයක් ගෙනියන්න? පුළුවන්නේ. ඒ අනුව ඡේ.ආර්ගේ ක්‍රමය තුළ බරපතල වැරදිත් මම දකිනවා. මේ ක්‍රමය වෙනස් කරන්න දැන් කාලය ඇවිත් කියලයි මං හිතන්නේ.


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


රාවය


Wednesday, May 5, 2010

සාදයට ආරාධනා


සාදයට ආරාධනා


පැලි පොළොව ඔලොක්කුවට

ඇද කරන

අතුළ මළපුඩු

සිඹින

කුර ගෙවුණු ජීවිතය


මාන්නා හිස් ගිනි කඳ

කිමැයි කරනා සරදම

වයනු රිසි මහතුන


නොව කළු වියළි සුළඟින

ඇල්පවන් පත් ද හඬවන

බුන් තතින් ඉකිලන

මහද නිදිනැති

වෙණ


වෙඩිතියන්න

සිදුරුවූ හදවතට

නොකරාම කිසි

සරදම


තුවක්කුවට හදවතක් නැත


උණුහුමින වැගිරෙන

හදවත වෙලා උතුරන

පුරවාගන්න

මීවිත

ගෝත්‍රික චෂකය මත


තබනුමැන ඒ

මීවිත

රස මසවුලුත් සමඟින

වටමේස තල මත

ශ්වේත සලූ අතුරන


සුදන් සභා සනහන

අවසාන සාදයට


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර