Monday, July 18, 2011

ප්‍රොමිතියස්ගේ නික්මයෑම


ඇඩ්මන්ටයින් දම්වැල් හීතලෙන් ගැහෙනවා
නුඹ නැති දුකට ප්‍රොමිතියස්

දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ දුක
ගිරි බෙයද අස හැඬු කිඳුරියන්වත් කොයිබද?

අසනි සර අවි සමඟ රිසිසේ කෙළින මහ දෙවි
අන්තේවාසික හර්මීස්
බලය හා භීෂණය
ඛෙදා දෙනවා ප්‍රොමිතියස්
යෙහෙන් දිගහැර අත මිට
මිනිස් වග හට සෙත් පිණිස
දෙව් ලොවින් සඟවා - සොරාගෙන
එදා නුඹ දුන් මහාර්ඝ වස්තුව
''ගින්දර!''

ගසා කනවා ලිහිණියන් - කඩ කඩා පපු කැවුතුම
මුදුන්පත් හිරු යට නොව
හීගඬු පිපෙන අඳුරෙද
ලෝකාන්තයේ තනිවුණ
මේ ගිරි දුදුල පාමුල
රිදුම් දෙනවා හදවත
විනිවිදින බිය දැවටුණ - ඝනඳුරම පමණකි එද
නුඹ නැති නිසා ප්‍රොමිතියස්

දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ දුක
නුඹෙ දුකට හැඬු කිඳුරියන්වත් කොයිබද?

බොත් උරා සාරය - සිදුරු කර ඇට මැස්සන්
මුළු සමාජයේ දේහය
කියන්නේ කවුද ප්‍රොමිතියස්
මහ දෙවිඳු ගිජු නෙතට හසු වුණ
මහ දෙවි බිසව - හේරා
රෝෂයෙන් උදස් කළ
අයෝ - ආගෝස්හි රූබර කුමරිය
වෙත එදා ඔබ කියු
රුදු අනාවෙක අන වින

හිටියනම් අද දින - මහ කිවිඳු ඊස්කිලස්වත්
ලියනවා සත්තයි
ප්‍රොමිතියස් බන්ධනය නොව
මහ දෙවි චින්තනය පිළිබඳ
මේ මහා නාටකය අලුතින්

දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ වෙනස
නුඹෙ දුකට හැඬු කිඳුරියන්වත් කොයිබද?

දුටුවෙද නොඑන පිරිපත
නුඹ නික්මෙන්න පෙර යම
කාලවන් දරුවෙක් - දුන්නක් අතින් ගත් කුමරෙක්
මාන්නා හීසර විද
බිම ලන්න ගිජු ලිහිණින්
ගලවාගන්න ලෝකය
මේ හැකිලි ලූ යදමින්
පරම්පරා දහ තුනකින්වත්
ප්‍රොමිතියස් - වෙන්නට පෙර දකින්නා

දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ වෙනස
ගිරි බෙයද අස හැඬු කිඳුරියන්වත් කොයිබද?

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර





Monday, April 18, 2011

එක හීනයක පියවර



එක හීනයක පියවර
ඔබ හිටිය
දෑසම වසාගෙන
කෝ නින්දකට අවසර
කූද්දන්නටමය අධිටන

නිස්කලංකෙක දලුලන
උපහාසයේ ලතු තැවරුණ
ඇත්තමයි ඔබ හිටියෙම
දෑසම තදින් වහගෙන

පැඟිරි කටුවක් ලෙල්ලක්
උල් නියක් දිය බිඳුවක්
සිහිනයක මග අවුරන
ඇසිල්ලෙක නෙත් තෙත් කර
නැතිය කිසිවක්ම ඔබ ළඟ

සිහිනෙකට කොයි අවසර
නුඹ හිටියෙ
නෙත් කෙවෙනි පාමුල

හරි අධිටනකි නුඹ වත
වැසුණු දෑසක් පවසන
මගෙ සිහිනයේ පියවර
ඇස් කෙවෙනි යටම මියැදෙන

උපහාසයක ලතු තැවරුණ
ඔබ හිටියෙ
සිහිනයක පියවර

ගෙන්දගම් පාරක
පැකිලූණු පාද අහුරන
ඒ සිහිනයේ පිරිපත
සුළැඟිලි තුඩින් පාරන

නින්දකට කොයි අවසර
හෙමි හෙමින්
යළි යළිත් පෑරෙන

ඒත් නුඹ හිටියෙම
දෑසම තදින් වහගෙන

2011-04-08

Thursday, February 10, 2011

රැකියා විරහිත උපාධිධාරියා අයදුම් පතක කොලාජ් කළ කවිය



සිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනී
දිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනී
කර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනී
කවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනී

පෙන්වන රිසින් මෙන අප නොහැකියාවම
පෙන්වන රිසින් මෙන අප නිකමුන් බවටම
සහතික කර තිබෙන ඔබ ගැසට් පතකින
අයදුම් පතක් ඇත රැකියා විභාගෙට

අනේ මහතුනේ මට උන වියෝයා
තැපල් කරමි එය කඳුලක් ද බහයා
මගෙම නෙමෙයි ඒ කඳුලූ බෝයා
මවකගෙ සහ පෙම්වතියක ඇසේයා

ඇතෙක් වගේ පුතකුන් ලත් සොම්නසින
ලොවක් දිනූ මෙන් තුටු කඳුලූ වැගිරුන
දොසක් නිසා විද ඒ කඳුල සීතල
නිකමකු කෙසේ මවකගෙ කඳුලූ පිසිනෙද

පෙම්මා පුතුන් දිව විකමින් වෙහෙසෙම්මා
වම්මා කඳුලූ නොසලා ඇස හංගම්මා
නිකමෙකු වැදු සොවින කෙලෙසක වෑවෙම්මා
සම්මා නිවන් කෙලෙසකනම් පතනෙම්මා

*** *** *** *** ***

සිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනී
දිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනී
කර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනී
කවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනී

සක්මන් කරන මලූවෙක හිඳ බැඳ හාද
සතපා කටු යහන විඳ විඳ බඳ සුවඳ
විසිතුරු හීන මත නෙත් කෙවෙනි තැවරුව
සමා වුව මැනව මේ නිකමාට බොරු කළ
තැවරූ හීන දියවක රෑක බොඳ වුන

සෙනසුරු ගෙවෙනු කෙලෙසක සීතල රෑක
හදවත් ගැහෙනු නැත ගොළු වියරු කතරෙක
නරකෙස් නැගේ අබිනික්මන් කරන්නද
හරිනෙමි මිටින් ඉගිලෙනු මැනවි සඳවත

සිරිඟි කා මියෙමි - ගත සවි නැතිය මහතුනී
දිව ඇද කා මියෙමි - සිත සවි නැතිය මහතුනී
කර වැල ලා මියෙමි - වැලකුත් නැතිය මහතුනී
කවියක් ලියා පවසමි - කවිකම් කොහිද මහතුනී

අනේ මහතුනේ මට උන වියෝයා
තැපල් කරමි එය කඳුලක් ද බහයා
මගෙම නෙමෙයි ඒ කඳුලූ බෝයා
මවකගෙ සහ පෙම්වතියක ඇසේයා

ලබන්නට කෙසේ හෝ යළි පළමු තැන
ගැසට් පතින් සහතික කරපු ඒ තැන
නිකමුන් අතර නිකමුනගේ පළමු තැන
ආසයි මහතුනේ, පිළිගන්න මේ පත!

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

සිතුවම හර්ෂා රූපරත්න

Tuesday, February 8, 2011

පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්


පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්

ලේඛකයා කියවා තිබීමේ අවැසියාව


මට ලියන්නට හිතෙන්නේ අපගේ පෞද්ගලික ආදරය බෙදා හදා ගන්නට හැකි වන්නේ වැඩ කිරීම තුළින් පමණක් බව මා විශ්වාස කරන බැවිනි. මගේ කාරිය ලිවීමයි එය හරියට ටැක්සි රියදුරා රිය පැදවීම වැනිය.

ලිවීම වනාහි මා විසින් තෝරාගත් දෙයකි. මම මුළු ජීවිතේම සිහින දුටුවේ ඒ සඳහාය. මා එය ලූහුබැඳ ගියා. වැටෙමින්, පැටලෙමින්, වරද්දමින් බලයෙන් මා එය සොයා ගියා. මගේ අධිෂ්ඨානයේ බලයෙන් මා එය ජයග‍්‍රහණය කළා. මෙය හැම විටම මාගේ ආදර්ශපාඨය වුණා.

ස්වකීය ලේඛන කලාව සතු යැයි තමා විසින් හඟින ආධ්‍යාශයන් පිළිබඳ හා එකී ඉෂ්ඨාර්ථයන් අතික‍්‍රමණය කරනු වස් තමා විසින් ගන්නා ලද අනවරත හා වෙහෙසකාරී වෑයම පිළිබඳ පවුලෝ කොයියෝ නම් සුවිශේෂී ලේඛකයාගේ අදහස් වලින් අප විසින් උකහා ගන්නා ලද කොටස් කිහිපයකි ඒ. සැබැවින්ම පවුලෝ කොයියෝ වනාහි කවරෙක්ද? ඔබ අපට නම් බොහෝ විට පවුලෝ වනාහි ලෝක පූජිත සාහිත්‍ය කරුවකු, එසේත් නැතිනම් ලෝක පූජිත නවකතා කරුවකු ලෙස හැඟී යෑමට ඉඩ ඇත. “පවුලෝ කොයියෝ නම් ලේඛකයාලෙස අපතින් යට සඳහන් වුණේ අප සතු එකී නෛසර්ගික නැමියාව නිසාවෙනි. නමුත් පවුලෝ කොයියෝ වනාහි හුදෙක් අප දන්නා හඳුනන නවකතා කරුවාට, එසේත් නැතිනම් සුවිශේෂී ලේඛකයාට වඩා වැඩි කෙනෙකි. එසේනම් ඔහු කවුද? ලෝක පූජිත නවකතාකරුවෙක්? ඉන්ද්‍රජාලිකයෙක්? ගීත රචකයෙක්? නාට්‍ය කරුවෙක්? අනාගතය පිළිබඳ පෙර දකින්නෙක්? මාධ්‍ය වේදියෙක්? කෝටිපතියෙක්? පරිත්‍යාගශීලියෙක්? දැඩි ආගමික භක්තිකයෙක්?. සැබැවින්ම පාවුලෝ කොයියෝ වනාහි යට සඳහන් සමස්තය සඳහාම සාධාරණ වූ ද වචනයෙන් වටහා ගැනීමට අපහසු වන තරමට සංකීර්ණවූ ද, නමුත් ඉතාම සරල ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූර්ව වූ ද මිනිසෙකි. යට කීවා සේ ලෝක පූජිත වූ ලේඛකයෙකි. ලෝකයේ වැඩිම පොත් අලවියක් වාර්තා වන (සාහිත්‍ය ක්ෂේත‍්‍රයට මෑතකදී අවතීර්ණ වූවා පමණක් නොව තවමත් පොත් දොළහක පමණ අඩු සංඛ්‍යාවක් ප‍්‍රකාශයට පත් කර තිබියදීත්) ලේඛකයින් දස දෙනාගෙන් කෙනෙකි.

පවුලෝ පිළිබඳ අප විසින් තබන ලද එකී දළ සටහන වෙසෙසින් අන් කවර කරුණක් නිසාවත් නොව මෙරට සිටින ප‍්‍රවීණ ලේඛිකාවක වන සුමිත‍්‍රා රාහුබද්ධ විසින් සිංහලට නගන ලද “පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්නම් අපූර්ව ග‍්‍රන්ථය පිළිබඳ සරල විමසීමක් කිරීම පිණිසය. ස්වකීය ලේඛන කලාවේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් අප ලේඛිකාව විසින් මෙසේ සිංහල පාඨකයා වෙත පිරිනැමෙන්නේ, “ජුවාන් අරියාස්” (Juan Arias) නම් ස්පාඤ්ඤ ජාතික පුවත්පත් කලා වේදියා විසින් පවුලෝ කොයියෝ සමඟ දීර්ඝ කාලයක් පුරා කරන ලද සම්මුඛ සාකච්ඡා වලින් නිර්මිත “ Paulo Coelho – Confessions of a Pilgrim” නම් මහැඟි ග‍්‍රන්ථය යි. සැබැවින්ම මෙවන් කෘතියෙක ඇවැසියාව ශී‍්‍රලාංකීය පාඨකයාට වඩාලාත් දැනෙනුයේ සහ අප විසින් එය වඩාලාත් ඉස්මතු කෙරෙනුයේ ඇයි? ඒ අන් කවර කරුණක් නිසාවත් නොව “පවුලෝ කොයියෝවනාහි ලොව අන් කිසිඳු ලේඛකයකු තුළ නොමැති, එමෙන්ම අප විසින් සාමාන්‍ය ජීවිතයේදී අත් විඳිනු නොලබන සහ අප විසින් සිහිනයකින්වත් නොහඟිනු ලබන, යට දැක්වූවා සේ අපූර්ව, තවත් වචනයකින් කියනවානම් තරමක් දුරට ගුප්ත ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වීමත්, පවුලෝම කියන්නා සේ ඔහුගේ කෘතීන් බොහෝවිට ඔහු විසින් පෞද්ගලිකව හඟින, විඳින හා අත්විඳින කරුණු මත පදනම්ව තිබීමත් නිසාවෙනි. ඒ අනුව මෙකී සුවිශේෂී ලේඛකයාගේ විසින් නිර්මිත සාහිත්‍යමය පඨිතයන් ගැඹුරු කියැවීමට භාජනය කිරීමට ප‍්‍රථම ලේඛකයා කියවා තිබීමේ දැඩි ඇවැසියාව අන් සාහිත්‍ය කරුවකු විසින් නිර්මිත පඨිතයන් කියැවීමකදී වඩා වැදගත් වන බැව් අමුතුවෙන් කිව යුතු වන්නේ නොවේ.

තමා ඉදිරියේ සිටින සුවිශේෂී පුද්ගලයා පිළිබඳ හා ඔහු සමඟ තමා කතා කිරීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ දැඩි සවිඥානිකත්වයකින් යුතුව ස්වකීය සංවාදයන් මෙහෙයවන ජුවාන් අරියාස්, ජනමාධ්‍ය භාවිතය සතු ස්වකීය ප‍්‍රවීණත්වය හා බුහුටිභාවය තත් කෘතිය තුළ සූක්ෂම ලෙස බැවහර කරයි. ඒ අනුව කොයියෝගේ අව්‍යාජ හෘදසාක්ෂිය මෙන්ම ඔහු විසින් තම සමස්ත ජීවන වන්දනාව තුළ විඳිනු ලැබූ අපූර්ව වූ ජීවන හා නිර්මාණාත්මක අත්විඳීම් අව්‍යාජ ලෙස විවර කර ගැනීමට සූකර වන පරිදි ජුවාන් ස්වකීය සම්මුඛ සාකච්ඡාව “පෙර නිමිති” , “මානසික රෝහල, බන්ධනාගාරය හා වධ බන්ධන” , “පෞද්ගලික ජීවිතය” , “දේශපාලනය සහ සදාචාරය” , “ස්ත‍්‍රීත්වය” , “ඉන්ද්‍රජාලය” , “මත් ද්‍රව්‍ය” , “පරිවර්තනය” , “ලේඛකයා” , “පාඨකයානම් සුවිශේෂී පරිච්ඡේද දහයක් යටතේ අති සියුම් ලෙස ගොනු කරන ආකාරය ඉතා ප‍්‍රශංසනීය වේ. සැබැවින්ම එකී පඨිතයන්, තත් කෘතිය පිළිබඳ ප‍්‍රාමාණික විමසීමක් කිරීමේදී අපගෙන් අතිශ්‍ය විපුලිත ඉඩ වපසරියක් අයැදින හෙයින් ද, එවන් කාර්යයක් පිණිස මේ තැන නොවන හෙයින්ද, තෝරාගත් ප‍්‍රස්තුතයන් කිහිපයක් පමණක් ගෙන සරල විමසීමක් කිරීමට මෙහිලා උත්සහ දැරෙන අතර, තවද ඒ, සමස්ත කෘතියට සාධාරණයක් ඉටු කෙරෙන කෘතියෙහි ප‍්‍රාමාණික හරස්කඩක් නොවනු ඇතැයිද තරයේ හඟිමු.


පෙරනිමිති, ඉන්ද්‍රජාලය හා මත්ද්‍රව්‍ය

“පෙරනිමිති වනාහි ලෝකයේ ආත්මයට කතාකිරීමට ඔබ දියුණු කරගන්නා ලද හෝඩිය ය

“කොඩිවින හදි හූනියම් යනු ඉතා කුරිරු නින්දිත දෙයකි. මක්නිසාද එමඟින් ඔබ මහා බලසම්පන්න බව විශ්වාස කිරීමට ඔබ පොළඹවන වැවිනි.

“කොකේන් යනු යක්ෂයාගේ ඖෂධයක්. මන්ද එය ඔබ සර්වබලධාරීත්වය පිළිබඳ හැඟීමකට ළං කරවන බැවිනි.

ලේඛකයකු වීමට ප‍්‍රථම පෙරනිමිති පවසන්නකු එසේත් නැතිනම් ඉන්ද්‍රජාලිකයකු ලෙස ජනප‍්‍රියව සිටි පවුලෝගේ ජීවිත වන්දනාවක සටහන් අතුරින් වඩාලාත් අපූර්ව වූත් එසේත් නැතිනම් අමුතු වූත් ජීවිතානුභූතීන් රැසක් වෙසෙසින් යට දැක්වූ පෙරනිමිති, ඉන්ද්‍රජාලය හා මත්ද්‍රව්‍ය යන පරිච්ඡේදයන් ත‍්‍රිත්වය තුළ හකුළා දැක්වීමට ජුවාන් සමත් වේ. අප විසින් එදිනෙදා හඟින, දකින, සහ අත් විඳින එමෙන්ම අහම්බයන් ලෙස ගෙන අප විසින් නොසලකා හරින සිද්ධීන්හි එන්නාවූ එකී පෙරනිමිතිමය ස්වභාවය පිළිබඳ පවුලෝගේ කියැවීම හුදෙක් සාමාන්‍ය පාඨකයාට එකෙනෙහි ඇදහිය නොහැකි ස්වභාවයෙන් දරනු ලබන මුත් එකී කරුණ සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැක්ම සහ විග‍්‍රහයන් ඇතැම්විට තත් වචනයෙහි වචනාර්ථය ඉක්මවා ගිය පුළුල් අර්ථමය වපසරියකට උරුමකම් කියයි.

... මම ඔබට කියනවානම්, මේ වන විට ඕනෑම දෙයක් විශ්වාස කරන තත්වයකට මම පැමිණ සිටියෙමි. කිසිවෙක් මා වෙත පැමිණ ‘එන්න අශ්වයෝ පියාඹන හැටි බලමුදැයි ඇසුවහොත් මම එය බලන්නට යමි. මා බොරුකාරයින්ට අකමැතියැයි කිව යුතු නමුත් මා පළමු කොට කැමැත්තේ මිනිසුන්ට සැකයේ වාසිය ලබා දීමට ය...

එහෙත් ඔබ වැරදිනම් හා ඔබ සාවද්‍ය පෙර නිමිත්තක් අත්හදා බලන්නේ නම් කුමක් සිදුවිය හැකිද? එයින් ඔබේ ජීවිතය පවා විනාශ විය නොහැකිද?

එය සංවේදී කාරණාවක්. මටනම් අන්තරාය වැරදීමක් සිදුවීමේ හැකියාවෙන් යුක්ත වීම නොවෙයි. මම නම් මහා අන්තරාය ලෙස සලකන්නේ අධ්‍යාත්මික ගවේෂණනයේදී ගුරුන්, ප‍්‍රධානීන් හා මූලධර්මවාදීන් සොයා යෑමයි. එය මා මීට පෙර සඳහන් කළේ අධ්‍යාත්මික ගෝලීයකරණය යනුවෙනි. කිසිවෙක් පැමිණ ඔබට මේ දෙවියන් වහන්සේය, අර දෙවියන් වහන්සේය, මගේ දෙවියන් වහන්සේ ඔබේ දෙවියන්ට වඩා බලවත්ය යනුවෙන් පවසයි. යුද්ධය ආරම්භ වන්නේ එතැනිනි. ඒ සියල්ලෙන් මිදෙන්නට හැකි මඟ නම්, අධ්‍යාත්මික ගවේෂණය වූ කලී පෞද්ගලික වගකීමක් බවත්, එය වෙනත් කෙනෙකුට පැවරීම හො පවරාදීම නොහැකි බවත් වටහා ගැනීමය. අනෙකුන්ට ඔබගේ ඉරණම තීරණය කරන්නට ඉඩ සලසා දෙනවා වෙනුවට, ඔබගේ හෘදසාක්ෂියට ඔබ මෙහෙයවීමට ඉඩ සලසන පෙරනිමිති අනුගමනය කිරීමෙන්, වරදක් සිදුවුවද එය වඩා හො`දය. මා මනුෂ්‍ය ජීවිතයේ ඉතාමත්ම වැදගත් දෙයක් කොට සලකන ආගම ධර්මය විවේචනය කරන්නේයැයි මෙයින් වටහා නොගත යුතුය.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 25,26,27 පිට)

බ‍්‍රසීලියානු ඒකාධිපති පාලන යුගය තුළ (1964-1989) තහනම් කරන ලද සියල්ල කියැවීමටත්, මාක්ස්වාදය හැදෑරීමටත්, අදේවවාදියකු ලෙස කටයුතු කිරීමටත් දැඩි ලෙස පෙළඹෙන තරුණ කොයියෝ තදනන්තරව ඇරඹෙන, සියලූම ගූඪවාදී ක‍්‍රියාවන් හා අත්වැල් බැඳගත් බ‍්‍රසීලියානු “හිපි ව්‍යාපාරයේආරම්භක යුගය හෙවත් 1969 පමණ කාලය වන ඒ හා අත්වැල් බැඳ, එකී හිපි ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳුණු ගූඪ ඉන්ද්‍රජාලයන් සමඟ ගණුදෙනු කිරීම හේතුකොට ස්වකීය ජීවිතයේ කිසිඳු විටක නොලත් ජීවිතානුභූතීන් රාශියක් අත් විඳී. වර්තමානය වන විටත් තමා අත් නොහැර විශ්වාස කරන ඇතැම් ඉන්ද්‍රජාලික විශ්වාසයන් හා ස්වකීය අතීතය සතු වේදනාබර ඉන්ද්‍රජාලික ගතිකයන් මෙන්ම තමා විසින් තත් යුගයෙහි කරන ලද සියලුම වර්ගයේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාවන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිකම්, සමලිංගික අත්හදා බැලීම්, පාපකාරී හා දුෂ්ට හදි හූනියම්, භූතාත්ම සමඟ කරනු ලැබූ ගණුදෙනු ආදිය පිළිබඳ ආපසු හැරී බැලීමක් කරමින් තත් පරිච්ඡේදයන් තුළ ඒ පිළිබඳ වේදනාබර, අව්‍යාජ හා ගැඹුරු පාපොච්ඡාරණයක් කරා යයි.

ඉන්ද්‍රජාලය පිළිබඳ තම සංකල්පයන් මහ පොළොව මතට ගෙන ඒමට කොයියෝ දරන සමහර උත්සහයන් තුළ “ඉන්ද්‍රජාලයයන වචනය ඇතැම්විට තරමක් ගැඹුරු වූත් සංකීර්ණ වූත්, පැටලිලි සහගත වූත් මානයන් ස්පර්ෂ කරන බැව් පෙණේ.

“නිෂ්පාදනයට, පරිභෝජනයට, තාක්ෂණ හා වෙළඳ ගෝලීයකරණයට ප‍්‍රමුඛත්වය දෙන සමාජයක ඉන්ද්‍රජාලික මානය මදක් යල්පැන ගිය දෙයක් බව ඔබට හිතෙන්නෙ නැද්ද?

මම ඔබට යමක් කියනවා. ජුවාන්. ආරම්භයක් හැටියට කියනවානම්, වෙළඳපොළ ගෝලීයකරණය, කොටස් වෙළඳපොළ ආදී හැම දෙයක්ම අද තිබෙන මායාකාරීම දේ හැටියට හඳුන්වන්න පුළුවන්. එය සැබෑ මායාවයි. ඒ සම්බන්ධයෙන් කිසිවක් අද ආර්ථික විද්‍යාඥයින් දන්නවායැයි කියන්න එපා. ඔවුන් අද අන්ද මන්ද වෙලා. ඔවුන්ට අනාවැකි කියන්න බෑ. කිසිවක් සැලසුම් කරන්න බෑ. මන්ද ජාත්‍යන්තර වෙළඳපොළ සහ කොටස් වෙළඳපොළ ඉන්ද්‍රජාලිකය, ජපන් ආර්ථිකයට සෙම්ප‍්‍රතිශ්‍යාවක් සාදන්නට හා අනතුරුව එය මාරාන්තික උණක් දක්වා වර්ධනය කරවන්නට පුළුවන්. ආර්ථික විද්‍යාඥයින්ට මේ මායාවන් තේරුම් ගැනීමට නොහැකිය. ඒ වගේම පාලනය කිරීමටද නොහැකිය...

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 169 පිට)

පවුලෝ වැනි තමන් දැඩිසේ ආදරය කරන එමෙන්ම දැඩිසේ ගෞරව කරන පරිණත ලේඛකයකු දක්වනු ලබන මෙවන් සංකල්පයන් බැහැර කිරීමට සිත හදාගත නුහුණු සාමාන්‍ය පාඨකයා, පාවුලෝගේ ඉන්ද්‍රජාලික හා පෙරනිමිති පිළිබඳ මෙකී කියැවීම් හේතුකොට එකවැර දැඩි අසරණ භාවයකට පත් වේ. නමුත් කොයියෝගේ මේ සංකල්පයන්හි වැදගත් කම වන්නේ අන් කවරකටත් වඩා, ඒවා ආංශික ලෙස භෞතික වාදයෙන් උද්දච්ච සාමාන්‍ය පාඨකයාගේ අසීමිත භෞතිකවාදී නැමියාවන්, ඇබ්බැහිකම් හා භෞතිකවාදී සංකල්පමය ලෝකයන් කුඩුපට්ටම් කරන යකුළු පහරක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් ඔහුගේ හෘද සාක්ෂිය දෙදරවීමට සමත් වීමයි. මෙහිදී වැදගත් වන දෙවැනි කරුණ නම්, කොයියෝ ස්වකීය අධිභෞතිකවාදී කියැවීම් තුළ පාඨකයා තල්ලු කර හරින ආස්ථානය කවරක්ද යන්නයි. සැබැවින්ම පාවුලෝ ස්වකීය පාඨකයා විතැන් කරනුයේ හුදෙක් මේ මහපොළොවෙහි යථාර්ථයෙන් හාත් පසින් වියුක්ත, එමෙන්ම මේ ලෝකයේ නැති ආංශික අධිභෞතික පරිධිමය අවකාශයක් කරා නොව සමස්ත ලොව දෙස පුළුල් දෑසින් නැරඹිය හැකි හාත් පස දර්ශනය වන්නා වූ මධ්‍යස්ථමය කේන්ද්‍රයක් කරාය.


මානසික රෝහල

“මානසික රෝහලේදී මා අනාවරණය කරගත් නරකම දෙයනම්, මට උමතුව තෝරාගෙන කිසිඳු වැඩක් නොකොට නිහඬ ජීවිතයක් ගත කළ හැකි බවය”


කිසිඳු රෝගයක් නොතිබුණු පවුලෝහට ස්වකීය නව යොවුන්විය තුළ, බ‍්‍රසීලයේ සීලයේ පැවති අඳුරු සහ ඒකාකාරී මානසික රෝහලක උමතු රෝගියකු ලෙස යළි යළිත් දිවි ගෙවන්නට සිදු විය. දෙවරක්ම මානසික රෝහලෙන් පැන ගිය ඔහු නැවත නැවතත් තම දෙමව්පියන් විසින් මානසික රෝහල තුළට ගාල් කරන ලදී. මෙසේ තෙවරක්ම මානසික රෝහලේ පරතු තිකාර ලැබීම සඳහා නිර්දේශිත වෛද්යන වාර්තාවේ ඔහු පහසුවෙන් කිපෙන සුලූ බවත්, දේශපාලනික වශයෙන් මිනිසුන්ට හිරිහැර කරන බවත් සටහන්ව තිබුණු අතර ඔහු මානසික රෝහලට ගාල් කළ දෙමව්පිය නිර්දේශය වූයේ පවුලෝට ලිංගික ගැටලු ඇති බවත්, වයසට සරිලන පරිදි ඔහු පරිණත නැති බවත්, ඔහු විප්ලව කාරී බවත් ය! තමා දෙවැනි වර මානසික රෝහලේ සිටීමත්, රුදුරු විද්යු්ත් කම්පණ ඇතුළු පරත් තිකාරයන් ලැබීමත්, උම්මත්තකාගාරයේ පැවති දැඩි ඒකාකාරී ස්වභාවයත් සමඟ ඔහු සැබැවින් උමතු කරවීමත්, එමෙන්ම අවසන ඉන් පැනයෑම හා තෙවන වතාවටත් තමා තම දෙමව්පියන් විසින් නැවතත් රෝහල් ගතකිරීමත් පිළිබඳ දුක්බර අතීතය කොයියෝ මෙසේ ස්මරණය කරයි.

“මා සිර කර සිටියේ නව වැනි මහලේය. මා අනතුරුදායක උම්මත්තකයකු ලෙස ඔවුහු සැලකූහ...මට බොහෝ විද්යුරත් කම්පණ ද ලබා දුන්නේය. මාස දෙකක් පමණ මා එම මහලෙහි හිරකර තැබුවේ ය. ඉර එළියක් නොමැතිව ගත කළ ඒ කාලය සැබැවින් මා උමතු කරවීය. එහි විදුලි සෝපානයක්ද එහා මෙහා ගෙන යන සෝපාන කරි් යාකරුවෙක්ද සිටියේය. ඉදින් එක් දිනක මම විදුලි සෝපාන කරුවන්ද අනික් මිනිසුන්ද අතරට වැදී පහළ මාලයට ගියෙමි. මම සෝපානයෙන් බැස ඇදහිය නොහැකි නිදහසකින් දොර අසළ හිඳගත්තෙමි. එය කෆ්කාගේ කතාවක් බඳු විය...

...මාස දෙකක් යන තුරු, මට ඉතාම දුෂ්කර තත්වයක් උදාවන තුරු මම ගෙදරට කතා නොකළෙමි. මට අහරක් ගන්නටත් හරි හැටි මුදල් නැත. මම ඔවුන්ට කතා කළෙමි. හැකි විගස ආපසු ගෙදර එන ලෙසත්... නැවත මා මානසික රෝහලට භාර නොදෙන බවත් ඔවුහු කීහ... වසරක් ගෙවී ගියේය. ‘පවුලෝට පිස්සු. එයාට දැන් වේදිකා නාට්යෙ පිස්සුව’ ඔවුහු නැවත කීහ. මන්ද ඒ වන විට මගේ අලූත් ආශාව තිබුණේ, ලේඛකයකු වීමත් සමඟම වේදිකාවටද පිවිසීමය. ඔවුහු තුන්වන වරටද මා මානසික රෝහලට ගෙන ගියහ...”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 53-54 පිට)

තම පුතා මැනවින් නීතිය හදාරා නීතිඥයකු වනු දකිනු රිසි වූ දෙමව්පියන්ගේ බලා පොරොත්තු බිඳදමමින් කලාවට ආශා කිරීම නිසා මානසික රෝහල් ගත කරනු ලැබූ කොයියෝ කිසිදින තම දෙමව්පියන්ට වෛර නොකළේය. තමා මානසික රෝහලේදී ලද වේදනාසහගත අත්දැකීම් ඔහු හට තම නිර්මාණ සඳහා පසුකාලීනව මනා පිටිවහලක් විය. පවුලෝම පවසන ආකාරයට වෙසෙසින් ඔහුගේ “වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි” නම් කෘතිය තුළ සංගෘහිත වන්නේ එකී අව්යාිජ අත්දැකීම් ය. සැබැවින්ම “පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්” කියවන පාඨකයා හට යටකී නවකතාව නැවතත් ගෙන ජීවිත වන්දනාවක සටහන් කෘතිය හා ඡේදයෙන් ඡේදය අකුරින් අකුර සන්සන්දනය කරමින් නැවත කියවා බැලීමට සිත් නොවේනම් ඒ අහම්බයකි. නිර්මාණය හා පෞද්ගලික අනුභූතීන් අතර ඇති ගණුදෙනුව පිළිබඳ යම් පර්යේෂණ කටයුත්තක් කරනු පිණිස කිසිවෙක් යට කී ගරුභ න්ථද්වය තුලනාත්මක කියැවීමකට බඳුන් කරන්නේනම් සමස්ත නවකතා නිර්මාණය තුළින්ද වෙසෙසින් “එදුවා” වැනි චරිතයන් තුළින්ද තමා මානසික රෝහලෙන් හා පෞද්ගලික වශයෙන් ස්වකීය ජීවිතය අත්විඳීමෙන් ලත් අව්යාතජ සුඛ දුඃඛ වේදිතයන් කොයියෝ කෙතරම් දුරට ඉවහල් කරගෙන ඇත්දැයි නොපෙනී යෑමට නුපුළුවන.



බන්ධනාගාරය හා වධ බන්ධන

“... ඔවුන් තොරතුරු දැනගැනීමට භාවිත කළ උපකර න්මය මෙසේයි. පුද්ගලයා වරද කරුවෙක්නම් ඔහු ඉක්මනින් කතා කළ යුතුය. මන්ද මඳ වේලාවක් යන විට වද හිංසා වලට ඔහු ඔරොත්තු දෙන බැවිනි...”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 68 පිට)

“බන්ධනාගාරය වනාහි වෛරයේ, කෲරත්වයේ, මාරාන්තික බලයෙහි හා සම්පූර්ණ නොහැකියාවෙහි පර්ධ තිමූර්තියයි”

බ‍්‍රසීලියානු හමුදා රජයේ අතිබිහිසුනු කාල සීමාව තුළ නිරපරාදේ තමා යළි යළිත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සංවේදනාත්මක අත්දැකීම් පවුලෝ “බන්ධනාගාරය හා වධ බන්ධන” නම් පරිච්ඡේදය තුළ ගැඹුරු සමාජ දේශපාලනික විචාරයක් සහිතව සාකච්ඡාවට බඳුන් කරයි. විකල්ප සමාජයක් පිළිබඳ අදහසක සිටි අප අනාගත ලේඛකයා විසින් තත් කාලීන යුගය තුළ කරන ලද, තමා විශ්වාස කරන ලද විකල්ප සමාජය පිළිබඳ අදහසක් සහිත ඉතා කෙටි එසේත් නැතිනම් වචනයකින් දෙකකින් සමන්විත වූ අදහස් දැක්වීම එසේ ඔහු අත්තඩංගුවට ගැනීමට හේතු විය. එවකට පැවති එක්තරා ගරිල්ලා කණ්ඩායමක් සමඟ තමා සම්බන්ධතා පවත්වනවාද යන්න දැනගැනීමට බරයව සීලියානු ආඥාදායක රජයේ පොලීසියට ඇවැසි වූ බව කොයියෝ පවසයි. ඒකී සිදුවීම පිළිබඳ ආපසු හැරී බලන පවුලෝ සර්වකාලීන තත්යසතාවකින් යුතු වූ ගැඹුරු දේශපාලනික කියැවීමකට යයි.

“...විශාල යුඬ යාන්තරසු ණයක් තිබුණු අතර දක්ෂිණාංශික කණ්ඩායමක් ගරිල්ලන් විනාශ කර දැමීමේ ව්යා.පාරයේ යෙදී සිටියහ. උගරක්ස මතධාරී කණ්ඩායමේ පැවැත්ම සාධාරණීකරණය කළ යුතු විය. මා ගරිල්ලා කණ්ඩායම සමඟ සම්බන්ධයක් නැති බවත් විකල්ප සමාජ කර්ඩ මයක් සඳහා වන පිස්සු කණ්ඩායමේ කෙනක් බවත් ඔවුහු දැන සිටියහ. ඔවුන්, සියලූ දෙනාම මරා තිබුණු නිසා ඔවුන් යටතේ දේශපාලන සිරකරුවන් සිටියේ නැත. තමන්ගේ පැවැත්ම සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් නව සතුරන් සොයා ගත යුතු විය.”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 65-66 පිට)

පළමුවර සිරභාරයට ගත් පසු (සැබැවන්ම මෙය පාවුලෝගේ දෙවැනි සිරගත වීමයි. බැංකු මංකොල්ලයක් සිදුවුණු ”පරානාහි” ළමුන් කණ්ඩායමක් සමඟ සිටීයදී මීට පරමය ථම ඔහු අත්තඩංගුවට ගැනිණ. තමා දිගු කොණ්ඩයක් සහිත වීම හා තමා සතුව හැඳුනුම්පතක් නොවීම මෙසේ අත්අඩංඟුවට ගැනීමට හේතු වන්නට ඇතැයි පවුලෝ අනුමාන කරයි) ඉදිරියට තමාට සිදුවන කිසිම දෙයක් සඳහා රජයට වගකීමක් නොමැති බවට දැක්වෙන ලියුමකට පවුලෝගෙන් අත්සන් ලබාගත් පොලීසිය ඔහු මුදා හරිති. නමුත් ඛේදයට කරුණ නම්, පොලීසියෙන් එළියට පැමිණි වහාම හමුදාවට සමාන පුද්ගලයින් පිරිසක් විසින් පවුලෝ සහ ඔහුගේ බිරිඳ නැවත පැහැර ගැනීමයි! තදනන්තරව බරුද සීලයේ පැවති සුපරපිරකට වධකාගාරයක සිරකරන පාවුලෝ (මෙම ස්ථානයද ඔහුගේ අනුමානයක් පමණි) හිස් ආවරණ පැලඳි වධකයින්ගේ අනේක විද වධ වේදනාවන්ට ලක් විය. මානසික රෝහල පිළිබඳ පරිච්ඡේදයේදී “විද්යුුත් කම්පණ පර්ා තිකාර” පිළිබඳ ජුවාන් අරියාස් විසින් නගන ලද පරනස ශ්නයකට පාවුලෝ වධකාගාරයේ අත්දැකීම් හා මානසික රෝහල තුලනාත්මකව මෙසේ ස්මරණය කරයි.

“...ඒක ඒතරම් හරි නෑ. ඒත් එතරම් දේකුත් නෙමෙයි. ඒවා ඉතාම දරුණු සහ බිහිසුණු වූයේ පසු කලෙක හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මා පැහැරගෙන ගොස් මා වධ බන්ධනයට ලක් කරන අවස්ථාවලදී ඔවුන් විද්යු.ත් කම්පණ මගේ පරකා ජනනේන්ද්රිණයන්ට ඇල්ලූ අවස්ථාවේදීය. එය ඉතා වේදනාකාරී, නින්දිත සහ නිගර හශීලී වූවක් විය. එය ඉතා බිහිසුණුය.”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 52 පිට)


දේශපාලනය සහ සදාචාරය

“මා විෂයයෙහි නම් දේශපාලනය යනු අප වටා තිබෙන සංස්කෘතික සම්මුතීන් පුපුරවා හැරීම යි

ස්වකීය කැරලිකාරී තාරුණ්‍ය තුළ ඉතා ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයන්හි ක‍්‍රියාත්මක කොයියෝ බොහෝවිට මාක්ස්වාදී නැඹුරුවකින් යුතුව සමාජය තුළ ප‍්‍රාමාණික වෙනසක් අපේක්ෂා කළේය. එකී දේශපාලන නැඹුරුතාවම ඇතැම් විට ඔහු මානසික රෝහලටත් කුරිරු හිංසනයන් හා භීතිය රජකරවන වධ බන්ධනාගාරයටත් යළි යළිත් තල්ලූ කරවීය. තමා දැඩිසේ ආදරය කරන බ‍්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පිහිටි අති සුන්දර “කොපකබානාවෙරළ අස නිමවූ සුඛෝපභෝගී මන්දිරයක, අතිශ්‍ය පරිපූර්ණ හා පරිණත පුද්ගලයකු ලෙස ද ලෝක පූජිත නවකතාකරුවකු ලෙස ගෞරවයට භාජනය වෙමින් ද මසකට ඩොලර් ලක්ෂ ගණනක් උපයමින් ද අද වන විට වාසය කරන පවුලෝ ස්වකීය අතීත හා වර්තමාන දේශපාලනික නැමියාවන් තත් කෘතිය තුළ විචාරාත්මක විග‍්‍රහයකට භාජනය කරයි.

“ලෝකය වෙනස් කරන්නේ මහා දර්ශනවාදීන් නොවන බව දැන් මම වටහාගෙන ඇත්තෙමි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අසාර්ථක වී තිබේ. අලුත් හා එයටද වඩා අන්තරාදායක අය, එනම් නව මූලධර්මවාදීන් බොහෝ දෙනෙක් අසාර්ථක වී තිබේ. මා දේශපාලන සත්වයකු වීම මට තවම දැනේ. එහෙත් මගේ පොත්වල ඇතුළත්වන දේශපාලනය, අන්තගාමීකම කරා දිවෙන සංස්කෘතික සම්මුතීන්හි පවුරු බිඳහෙළීම කෙරෙහි අවධානය දක්වයි. ස්පාඤ්ඤ දාර්ශනිකයකු වන ෆර්නැන්ඩෝ සැවෙටර් පෙන්වා දෙන පරිදි අප එකිනෙකාගේ බලගතු සදාචාරාත්මක කැපවීම වඩාත් වැදගත් දෙය බව මම විශ්වාස කරමි.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 85 පිට)

අධිකාරී බලපරාක‍්‍රමයන් මඟින් නිර්මිත හා නිර්වචනය කෙරුණු සංස්කෘතික සම්මුතීන් හෙවත් දෘෂ්ටිවාදයන් විනිවිද දැකීම ස්වකීය මුඛ්‍ය දේශපාලනික හා කලාත්මක කාර්යය ලෙස හඟිමින් එකී ස්වාර්ථයන් සාධනය කරගනු වස් වෙහෙසෙන කොයියෝ, “මේ ගෝලීයකරණ ශතවර්ෂයේඔබ වඩාත් බිය වන්නේ කුමකටද?” යනුවෙන් ජුවාන් නඟන ප‍්‍රශ්නයට දෙනුලබන පිළිතුර ඔහු සතු විපුලිත දේශපාලනික හා සාමාජීය චින්තනය තවදුරටත් විස්තාරණය කරයි.

“ආර්ථික ගෝලීයකරණ අදහස දෙවියන් ගෝලීයකරණය දක්වා ගෙනයෑම කෙරෙහි මම බිය වෙමි. එසේම සියලූ දෙනාටම සරිලන සමජාතී සංස්කෘතියක් සම්බන්ධ අදහසටද මම බිය වෙමි. එක් එක් මනුෂ්‍යයා තමාගේ හෘද සාක්ෂියට අනුව සොයාගත යුතුව තිබියදී, බලහත්කාරයෙන් මිනිසුන් මත පටවන්නාවූ සම්මත දෙවි කෙනෙක් පිළිබඳ අදහසට මම බිය වෙමි. ... ගොලීය වෙළඳ පොළෙහි බරපතලම තර්ජනය වන්නේ සංස්කෘතිය විශ්ව චින්තන පාලනයක් ඇතිකිරීමේ තත්වයකට පත් වීමයි. එතැන් සිට එය කුඩා පියවරක් තැබීමෙන් නව නාසිවාදයට එළඹීම සිදු වනු ඇත.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 96 පිට)

තමා වටහාගත් සමාජ දේශපාලනික වගකීම් ස්වකීය ලේඛන භාවිතය තුළ පමණක් ඉටුකර ගැනීමට සීමා නොවන කොයියෝ තමා සතු අසීමිත ධනය කැපකරමින් බ‍්‍රසීලයේ අත්හැර දමන ලද දරුවන්ට උපකාර කිරීම, දුගී දුප්පත් හා මහලූ පුද්ගලයින්ට උපකාර කිරීම, සම්භාව්‍ය බ‍්‍රසීල කතුවරුන්ගේ ග‍්‍රන්ථයන් ලොව සෙසු භාෂාවන්ට පරිවර්තනය කිරීම, තමා ආදරය කරන තම රටෙහි අතීත නටඹුන් හා පොසීල මූලයන් ගවේෂණය කරමින් තම සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම වැනි කරුණු ඉටුකර ගැනීම සඳහා තම බිරිඳ විසින් පාලනය කරනු ලබන පදනමක් පවත්වාගෙන යයි. මේ සඳහා ඔහු ස්වකීය කර්තෘභාග වලින් වසරකට වෙන්කරන මුදල ඩොලර් හාරලක්ෂයක් පමණ වේ. මේ වන විට තම “ඉදිරි ආත්ම තුනකට ඇතිවන පරිදි තමා ධනය උපයා ඇතැයි නිහතමානී ආඩම්බරයකින් යුතුව පවසන පාවුලෝ කොයියෝගේ “ජීවිත වන්දනාවක සටහන්සැබැවින්ම, “වැඩකට ඇතිඑකදු කෘතියක් හෝ පර්යේෂණයක් හෝ කර නැති නමුත් තමන් සතු අසීමිත ධනයේ මහිමයෙන් තම හිතවතුන් ලවා චරිතකතා ලියා ගනිමින්ද, තම සාක්කුවට දමාගැනීමට සමත්වූ ජරපත් ආචාර්යවරුන් ලවා තම පල් හෑලිවලට ප‍්‍රසස්ති ලියා ගනිමින්ද වැජඹෙන, ආත්ම තුනකට නොව ආත්ම හතකට සරිලන පරිදි ධනය පමණක් රැස්කර ඇති අපේ සාහිත්‍ය මුදලාලිලාට (මෙවන් පොතක් කියැවීමට වෙලාවක් සහ ආශාවක් ද අබමල් රේණුවක හෝ හෘදසාක්ෂියක් ද ඇත්නම්) ප‍්‍රබල අතුල්පහරක් ලබාදෙනවාට කිසිඳු සැකයක් නැත.


සාහිත්‍ය, ලේඛකයා සහ පාඨකයා

“නිර්මාණාත්මක ප‍්‍රබෝධය සඳහා මා ජීවිතය සමඟ ආදරයෙන් බැඳිය යුතුය

“සියල්ලටම ඉහළින් මගේ පාඨකයෝ මගේ හවුල්කරුවෝය

පවුලෝ පිළිබඳ අදහස් දක්වන ඇතැම් විචාරකයින් විසින් පවුලෝ විසින් රචිත මහැඟි නිර්මාණයන් තමා විසින් අධ්‍යනය කළ යුතුයැයි හඟින “බරපතලකෘතීන්ගේ ගණයෙන් පහසුවෙන් කපා හැරෙන්නේ හා ඒවා පහත් ගණයේ බොළඳ, වාණිජ හා උප සාහිත්‍යට අයත් කෘතීන් ලෙස සැලකෙනුයේ ඇයි? ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඔවුහු “පවුලෝ වනාහි නවකතා කරුවකුට වඩා වැඩි කෙනෙක්ලෙස නො හඟින නිසාවෙනි. එසේත් නැතිනම් එකී කරුණ පිළිගැනීමට මැලි වන නිසාවෙනි. ඒ අනුව හුදෙක් බ‍්‍රසීලියානු මහපොළොව මත ක‍්‍රියාත්මක යථාර්ථයට ආවේනික සමාජ සංස්කෘතික ප‍්‍රපංචයන් හා එකී යථාර්ථය තුළ පවා අපූර්වත්වයේ පරිපාකයට පත් කොයියෝ වැනි සුවිශේෂී ලේඛකයකුගේ චරිත ලක්ෂණයන්, හැඟීම්, දැනීම්, අත්විඳීම් හා විශ්වාසයන් අධ්‍යනය කිරීම යට කීවා සේ, එවැන්නෙකු විසින් නිර්මිත කෘතීන් අධ්‍යනයට පූර්වගාමීව සිදු නොකිරීම අසාධාරණයකි. ස්වකීය නිර්මාණ භාවිතය පිළිබඳ පමණක් නොව තම ජීවින දැක්ම හා විශ්වාසයන් පිළිබඳවද එකසේ හකුළා දැක්වෙතියි සිතිය හැකි පවුලෝ විසින් කෙරෙන සංකේතාත්මක ඉඟිකිරීම් පාවුලෝ කියවන විචාරකයා හා සාමාන්‍ය පාඨකයා කෙසේවත් නොසලකා හැරිය යුතු නොවේ.

'''The Black Cloud නමින් සිත් ගන්නා සුලු විද්‍යා ප‍්‍රබන්ධයක් ඇත. එයින් කියැවෙන්නේ වලාකුළක් පැමිණ එහි දැනුමෙන් විශ්වය හා මන්දාකිණිය ගිලගත් බවයි. වලාකුළ ලොව ඇති පරිපූර්ණ දැනුම යි. එය පෘථිවිය ගිල ගැනීමට සූදානම් විය. මිනිසා වලාකුළු සමඟ සංනිවේදනය කළා. එහිදී මිනිසා කීවේ පොළොවේ බුද්ධිය ඇති හෙයින් වලාකුළට වෙනතක යන ලෙස යි. එසේ වුවද යෑමට පෙර ඒ දැනුම පොළොවට දෙන ලෙස ඒ මිනිසුන් ඉල්ලා සිටියා. නැණවත්ම මිනිහා තෝරාගෙන ඔහුට සම්බන්ධ වන්නැයි මිනිසුන් වලාකුළෙන් ඉල්ලා සිටියා. ඉතින් කළු වලාකුළ නැණවත්ම මිනිසා සමඟ සම්බන්ධ විය. එසේ සම්බන්ධ වූ විටම මිනිසාගේ මොළයෙන් ලේ ගලන්නට වුණා. පසුව ඔහු රෝහල්ගතව සිටියදී ඔහු මියයෑමට පෙර ඔහුගේ කාමරය පිරිසිදු කරන්නට මිනිසෙක් ආවා. වලාකුළ වරදක් කළ බව ඔහු කීවේය. තෝරාගැනීමට තිබුණේ තමන්ව බව ඔහු කියා සිටියේය.

ඒ මන්ද?

ඉතාම සරලයි. මන්ද නැණවත්ම මිනිසා ඒ වන විටම ඔහුගේ විශ්වාස සිය හිස මත නිර්මාණය කොටගෙන තිබුණේය. වලාකුළෙහි දැනුම ඔහුගේ හිස මතට පැමිණි විට, එයින් බොහෝ ප‍්‍රශ්න ඇතිවී ඔහු විනාශයට පත් කළේය. කෙසේ වුවද අනික් මිනිසාගේ සරල බව, සාමාන්‍ය බුද්ධිය, අගතියෙන් තොර බව ආදිය නිසා ඔහුට එම දැනුම ප‍්‍රතිවිරෝධතාවලින් තොරව තෘප්තිමත් අන්දමින් ලබන්නට ඉඩ තිබුණි...

...මා ලියන්නේ අප තුළ සිටින ළමයාට ය. ළමුන් හා අහිංසක බව පිළිබ`ද වැරදි අදහස් තිබේ. හරියට අහිංසක කම මිනිසුන්ව මුග්ධයින් කරන්නාක් මෙනි. නැත. එහි එහි උද්යෝගය විශ්මය හා වික‍්‍රමය තිබේ. එය වඩාත් දැනෙන්නේ ළමයින්ටය. තමා ළමුන්ට සිය දැනුම ලබා දෙන බවත්, ඥානවන්ත හා බලවත් අයගෙන් එය සඟවා තබන බවත්, සුභාරංචියේදී යේසුස් වහන්සේ කීමෙන් අදහස් කරන්නේ එයයි. මගේ කෘතීන්ගෙන් ඉදිරිපත් වන දර්ශනය තුළ මේ සියල්ල වැදගත්ය

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 184-185 පිට)

ජුවාන් විසින් නඟන සියුම් ප‍්‍රශ්නයන් සඳහා කොයියෝ ලබා දෙන පිළිතුරු බොහෝවිට තම කෘතීන් සඳහා සුරංගනා කතා ලේබලය අලවීමට රිසි විචාරක කියුම් අති සියුම් උත්ප‍්‍රාසයට හසු කරමින්, ස්වකීය කලා භාවිතය තුළ බැවහරිත ප‍්‍රබල දේශපාලනික චින්තාව මතුකරමින් සමාජමය තත්‍ය යථාර්ථයන් හා සමගාමීව මහපොළව මත කිඳා බැසීමට සමත් වේ. සැබෑ කලා කරුවා සතුවිය යුතුයැයි කොයියෝ විසින් හඟි අධිපතිවාදී දෘෂ්ටිවාදයන් හා සමගාමී නොවන ප‍්‍රගතිශීලී දේශපාලනික ගමන් මඟ සමස්ත කෘතිය පුරා සංකේතාත්මක හකුළා දැක්වීමකට බඳුන් කෙරේ.

දේශපාලන ක්ෂේත‍්‍රයෙහි ඔබ ඔබව ස්ථානගත කරන්නේ කොතැනකද?

මා ඔබට මීට පෙර සඳහන් කළාක් මෙන් දේශපාලන සත්වයෙක් ලෙස මා සම්බන්ධයෙන් සලකන නමුත් මා පක්ෂ සත්වයෙක් නොවෙයි. මන්ද, මිනිසුන් තුළ තිබෙන ස්ත‍්‍රී චින්තාවන් අවධිකරවමින් යහ පැවැත්මෙහි නිල අත් පොතඉරාදැමීමේ අවශ්‍යතාව අවධි කරවමින් සහ ඔවුන්ගේ සිහින සඳහා ගෙවිය යුතු මිළ ගෙවීමට, මගේ පෞද්ගලික ප‍්‍රවාදයන් තුළින් මා මිනිසුන්ට උපකාර කරන බැවින් මගේ කෘතීන් ප‍්‍රායෝගික දේශපාලනික කෘතීන් යැයි මම සිතමි. තමන්ට අවශ්‍ය දේ අනෙකුන් ලවා කරවාගැනීමේ උත්සහයක යෙදෙන්නා වූ ද, ජනතාවට සේවය කරනු වෙනුවට, තමාටම සේවය කරගන්නා, තමාගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට ජනතාව ඇමට ගන්නා සමහර වංචනික දේශපාලඥයින්ගේ සියලූම ආකාරයේ අන්තගාමී කි‍්‍රයා කලාපයන් මම මගේ කෘතීන්ගෙන් හෙළිදරව් කරමි.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 88-89 පිට)

අප විසින් නැවත නැවතත් අවධාරණය කළ, කොයියෝ වනාහි ලේඛකයකුට වඩා වැඩි කෙනෙකි යන්න මෙන්ම කොයියෝ විසින් නිර්මිත පඨිතයන් කියැවීමට පූර්වගාමීව ලේඛකයා කියවා තිබීමේ ඇවැසියාව සහ එකී ඇවැසියාව සඳහා “පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්වැනි පොතක වැදගත් කම පිළිබඳ අප තීසීසයන් තවදුරටත් ස්ථුට කරනු වස් තම කෘතීන් තුළ වන තම (ලේඛකයාගේ) හෙවණැල්ලෙහි අවිච්ෙඡ්දිතභාවය පිළිබඳ කොයියෝ දක්වන අදහසක් අවසන් වශයෙන් උපුටා දක්වමු.

“ඔබ ඔබේ පොත්වල කොතරම් දුරට සිටිනවාද?

මං මගේ පොත්වල සියලූ චරිත වල සිටිනවා. මං නැති එකම පොත zThe AlchemistZ'

ඒකට හේතුව මොකක්ද?

මන්ද Alchemist හැමදේම දන්නවා. එහෙත් මං දන්නවා මං හැමදේම දන්නේ නෑ කියලා. මං දන්නෙ නැති බොහෝ දේවල් තිබෙනවා. ඇත්ත වශයෙන්ම zThe AlchemistZ හිදී එඬේරා , ක‍්‍රිස්ටල් වෙළෙන්දා මෙන්ම ෆැටීමාද මමයි. මම බී‍්‍රඩා ද වුණා. The Valkyries සහ The Pilgrimage නම් පොත් වල ඇත්තේත් මගේ චරිතයයි. මගේ පොත් බොහෝමයක් ප‍්‍රබන්ධ නොවේ. ඒවා මගේ සැබෑ අත්දැකීම්. Veronica Decides to die සම්බන්ධයෙන්ද තත්වය එසේය. එහි ඇත්තේ මා තුන්වරක් මානසික රෝහලට ගාල් කළ අවස්ථාවල මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ය.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 176-177 පිට)


- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර