Sunday, April 23, 2017

සිහින දකින්නාගේ අර්බුදය

 - The Dreamers (2003)



අශෝක හඳගම "අක්ෂරය" තුළින් කළේ, මවගෙන් තවමත් ගැලවෙන්න බැරි - මවගේම දිගුවක් විදිහට පැවතුණ පිරිමි දරුවෙක් හා මවක් පිළිබඳ අපූර්ව තේමාත්මක දිගහැරීමක්.

 Bernardo Bertolucci ගේ The Dreamersහි යටි පෙළ තුළ කතා කරන්නෙත්, එකිනෙකාගෙන් ගැලවෙන්න බැරිව තවදුරටත් අනෙකාගේ දිගුවක් විදිහට පවතින දෙනිවුන් තරුණයෙක් හා තරුණියක් පිළිබඳ අපූර්ව කතාවක්. චිත්‍රපටයේ කතාවින්යාසය දිගහැරෙන්නේ, එකී බන්ධනයේ බාහිර සාධකයක් වන "මැතිව් නම් මිතුරාගේ ප්රවේශය  තියෝ සහ ඉසබෙලා කියන මේ - තවදුරටත් දිගුවක් ලෙස පවතින දෙනිවුන් බන්ධනය අතරමැද ස්ථානගතවෙන්නෙ කොහොමද කියන ගැටුම සහ සමාවාය තුළ.

 කතාව දිගහැරෙන්නෙ, අධ්‍යාපනය සඳහා ප්‍රංශයට යන ඇමෙරිකානු ශිෂ්‍යයෙක් වන මැතිව්ට තියෝ සහ ඉසබෙල් නම් නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක් හඳුනා ගන්නට ලැබීමත්,  මේ දෙදෙනාගේ දෙමව්පියන් මසක් පමණ නිවසින් පිටව සිටීමට සිදුවීම නිසා ඔහුගේ බෝඩිමෙන් පැමිණ ඒ කාලය තුළ තමන්ගේ නිවසෙයි කල් ගෙවන ලෙස තියෝගෙන් සහ ඉසබෙල්ගෙන් මැතිව්ට ආරාධනා ලැබීමත්, ඒ අනුව එහිදී මැතිව් ලබන අමුතු අත්දැකීම් හා ප්‍රේමයත් පසුබිම් කරගෙන. මොවුන් තිදෙනාම උග්‍ර සිනමා ලෝලීන් වන අතර කලා - දේශපාලනික උද්යෝගය තුළ ද අනන්‍ය වෙනවා.

 චිත්‍රපටය පුරාවට ම,  තවදුරටත් දිගුවක් ව පවතින මේ දෙනිවුන් බන්ධනය පිළිබඳව මැතිව් ගේ මූලික ප්‍රවේශයත් සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ ප්‍රවේශයට සමපාතීවයි ගලා යන්නේ.

තියෝ සහ ඉසබෙලා එක ඇඳෙහි නිරුවතින් නිදාගැනීම, එකිනෙකා කෙටි දෙතොල් චුම්බනයක් ලබාදීම, ඔවුන්ගේ සිනමා ලෝලය සමග යන, ෆැන්ටසිමය ක්‍රීඩාවල අනෙකා ස්ව්‍යංවින්දනයට පෙඹීමේ දඬුවම දීම වගේ දේවල් දකින ප්‍රේක්ෂකයා ඉතිරි හරිය සිතින් පරිකල්පනය කරගන්නවා. ඔවුන් අතර ගැඹුරු - අසාමාන්‍ය ලිංගික සම්බන්ධතාවක් තියෙන බව හිතන්න, අර සරල හැසිරීම් ටික ප්‍රේක්ෂකයාට ඇති. මොවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධතාවක් පවත්වනවා කතාවේ කොතනකවත් පෙන්නන්නෙ නෑ. ඒත් ප්‍රේක්ෂකයාගේ ආත්මීය කුණු මේවාට පූර්වාපර සංධි ගලපාගන්න හොඳට ම ඇති.

සැබවින් ම මේ සරලමානීය රසිකත්වයත්, මිනිසාගේ අව සංස්කෘතික - තත්භාවීය චින්තනයත්  ඉස්සරහා ස්ව්‍යං විචාරයේ  කැටපතක් තබමින් තමංගේ ම ආත්මීය අගාධය ගැඹුරට හාරන්න ප්‍රේක්ෂකයා තල්ලු කිරීම මේ ශූර සිනමාකරුවාගේ වෑයම බව පේනවා. මැතිව් අතිං ඉසබෙලාගේ කන්‍යාපටලය සිදුරුකිරීම එහි සංකේතාත්මක කූටප්‍රාප්ති ය. ප්‍රේක්ෂකයා අගාධයට වට්ටන ක්ෂණික මුෂ්ටි පහර එය. (මෙය සිදුවන්නේත් මොවුන් තිදෙනාගේ සිනමාමය ෆැන්ටසික ක්‍රීඩාවක අතුරු ඵලයක් ලෙස මිස, මැතිව් සහ ඉසබෙලා අතර හටගත් ප්‍රේමයේ ප්‍රතිඵලයක් නිසා නොවේ.  ඔවුන්ගේ ප්‍රේමය සැබැවින් දලුලන්නේ ඒ ක්‍රීඩාවෙන් පසුව වීම තවදුරටත් තේමාමය සංකේතයන් සංකීර්ණ කරනවා) ඇත්තට ම, ඉසබෙලාගේ කන්‍යාභාවය අහිමි වීමෙන් බිඳීයන්නේ හුදු ශාරීරික පැලැස්තරයක් විතරක් නෙමෙයි. මැතිව්ගේ මෙන් ම ප්‍රේක්ෂකයාගේ ආත්මය ද ඒ සමග බිඳී යනවා. රුධිරය ගලන්නෙ ඒ ආත්මීය තුවාලයෙන්. එහි බොර රත් පැහැය ප්‍රේක්ෂකයාගේ ආත්මීය කුණුවලටයි අයිති. ඒ රත්පැහැය මැතිව්ගේ දෑතේ මෙන් ම මුහුණේද තැවරෙන්නෙ ඒකයි. ඈ සමග යහන්ගතව සිටින තවත් අවස්ථාවක ද මැතිව්, තියෝ සහ ඉසබෙලා පිළිබඳ තම ආත්මීය ගැටලුව මේ විදිහට මේ විදිහට වමාරනවා.

But he's never been inside you?


ඒකට ඉසබෙලා දෙන පිළිතුර මේක. එය සරල ප්‍රේක්ෂක ගැටලුව විසඳනවා.


He’s always inside me.

**** **** **** 

තියෝ- ඉසබෙලා නිවසේ  බිත්ති අතර පවතින මේ තුන්කොන් සිද්ධිවාචකය ඉක්මවා ගිහින් කතාව කතාවට තවත් දේශපාලනික මානයන් රාශියක් ලබා දෙන්න Bertolucci සමත් වෙනවා. මන්ද, මේ අපූර්ව කතාව යටින් දිගින් දිගට යන තවත් අපූර්ව හුයක් තියෙනවා. ඒ තරුණ අරගල සහ ඒවාට තරුණයින්ගේ ඇති ප්‍රවේශයන් පිළිබඳ සකලවිධ මානයන් නිරූපණය කරන දේශපාලනික කතාවක් කියනවා.

ඒ වගේම සමස්ත කෘතිය පුරා ම  කතාව දිගහැරීම උපක්‍රමයක් හා විශේෂයින් පාත්‍රයාගේ අවකාශීය ෆැන්ටසික හැඩය තහවුරුකරන්න, පැරණි සිනමාපට භාවිත කරන ආකාරය අපූරුයි. The Dreamers ඉවර කරන්නෙ තරුණ අරගලයේ ප්‍රචණ්ඩ මුහුණුවර ගැන කල කිරී මැතිව් පසෙකට හැරී පසුපසට යෑමෙන්. ඉසබෙල් සහ තියෝ මැතිව් පිළි නොගනිමින් ඒ මානය දිගේ ම යනවා. මෙය ප්‍රශ්න දෙකකට හැරවුම් ලක්ෂ දෙනවා. එකක් එකිනෙකාගෙන් ගැලවෙන්න බැරිව තවදුරටත් අනෙකාගේ ම දිගුවක් විදිහට පවතින සම්බන්ධය තුළ මැතිව් නම් බාහිර සාධකයේ ස්ථානගතවීම. අනෙක අරගලය පිළිබඳ සංස්කෘතික දේශපාලනික අනන්‍යත්වන්ගේ අර්බුදය.

 
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර




Monday, April 3, 2017

වාර්ගික ඉතිහාසයේ X ලියවිල්ල

                                          - American History X




වහලාගේ ‘පැවැත්ම’ වහල් හිමියා සතු හුදු ‘පෞද්ගලික දේපලක්’ ය යන තැනට ලඝු කරලා තිබ්බ, මිනිස් ජීවිත අඩු ම ඩොලරයට ලංසුගත කෙරුණ, මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද කූඨ ම කුමන්ත්‍රණ ලෙස දියත් වුණු ඇමරිකානු වහල් ක්‍රමයත් - වහල් වෙළඳාමත් ගැන අපි දන්නවා. ඒ සමාජය තුළ වහලා නම් මිනිසාගේ ජීවිතයේ ‘සාරය’ පිළිබඳ බලපවත්වනු ලැබූ ඛේදනීය ඉරණමත් ගැන අපි කියවා තියෙනවා.

12 Years a Slave (2013), Django.Unchained.(2012) සහ Amistad වැනි හොලිවුඩ් සිනමා පට රාශියකින් අපි අත්විඳලා තියෙන්නෙත් ඒ යථාර්ථ ය.


American History X සිනමා පටය කළිං කී සිනමාපටවලට වඩා තරමක් පැරණි නමුත් (1998), කතාවෙන් දිගහැරෙන දේශපාලනික අවකාශය අරිට වඩා අලුත්. කොටින්ම කියනවානම් මේ කෘතියට වස්තු වන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයත්, වහල් ක්‍රමය පිළිබඳ ලින්කනියානු ප්‍රතිසංස්කරණයනුත් (හා ලින්ඩන් ජොන්සන් ගේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිසංස්කරණ) පසුකර ගිය මෑත දේශපාලනික අවකාශයක්. 


එසේ ම, වහල් ක්‍රමය පිළිබද වත් සමානාත්මතාව පිළිබඳවත් මධ්‍යම රජය විසින් ලබාදෙන ලද ප්‍රතිපාදන ඇමරිකානු ප්‍රාන්ත රාජ්‍යයන් තම ප්‍රාන්ත ව්‍යවස්ථා තුළින් කළු ජාතිකයින්ගෙන් කූඨ ලෙස උදුරා ගනිමින් සිටින විට ඊට හෙරෙහිව ලූතර් කිං ආදීන් මහා පාගමන් ගිය කාලයටත් මෙහා “වර්තමාන” දේශපාලනික අවකාශයක්.


වාර්ගික අගතීන් හා ප්‍රචණ්ඩත්වයන් ඒවා නිවීමට ගන්නා ලද කවර ක්‍රියාමාර්ග හමුවේ වුවද අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී තිබී මේ ඛේදනීය යථාර්ථය American History X සිනමාපටය ඒත්තුගන්වනවා.


චිත්‍රපටය පටංගන්නේ කතා නායකයා - ඩෙරක් තම කාර් රථය පැහැරගැනීමට උත්සාහ කළ කළු ජාතිකයින් දෙන්නෙක් ඝාතනය කිරීමේ රූපරාමුවක් තුළින්. ඔහු එය නිර්වචනය කරන්නේ තම පියා කළු ජාතිකයින් අතින් ඝාතනය වීමේ පළිය ජාතියට ජාතියේ ලෙයින් ගැනීමක් හැටියට. (කෙසේවෙතත් ඩෙරක්ගේ මේ කළු විරෝධී ගිනි පුළිඟු එතනින් පටංගත්තක් නොව ඊට වඩා ඈතට ගිය එකක් බව කතාව අවසානයේදී පේනවා) ඝාතන සිදුවීමෙන් පසු ඩෙරක් පොලිස් මාංචුවට යටත් වන්නේ ඒ පිළිබඳ අභිමානයත් එක්ක. 


පොලිස් නිළධාරියකු වූ ඔහුගේ පියා ජාවාරම්කාර කළු ජාතිකයින් පිරිසක් අතින් වෙඩී වැදී මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමට යාමේදී. 
තම දේශපාලනික වුවමනාවට අනුකූල වන විදිහට එය “කල්ලන්” කළ ඝාතනයක් හැටියට හිතන්න ඩෙරක් හුරු කරනු ලබනවා. ඒ වාර්ගික අගතීන්ට න්‍යාය සපයමින් ප්‍රචණ්ඩ කල්ලි බිහි කරන්නන් විසින්. ඇත්තට ම ඩෙරක් අයත් වන්නෙත් “වැනීස් බීච් කල්ලිය” කියන එවන් කල්ලියක ට. වැනීස් බීච් කල්ලියට කල්ලන් පිටුදැකීමේ දෘෂ්ටිවාදයන් සපයන න්‍යායාචාර්ය වරයා “කැමරන් ඇලෙක්සැන්ඩර්”. වැනීස් බීච් කල්ලියේ අචල චාලකයා ඔහුයි.


කැමරන් තම ද්‍රෘෂ්ටිවාදයන් ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛ වාහකය හා ඒවා ක්‍රියාත්මක කිරීමේ කාරකය අනාරක්ෂිත සහ අසරණ තරුණයින් හැටියට දැකීමට තරම් සටකපට කල්පනාවක් තියෙන කෙනෙක්. පියා අහිමි අසරණ පවුලක පාසල් වියෙහි සිටි දක්ෂ තරුණයකු වන ඩෙරක් (පසුව ඔහුගේ මල්ලිත්) මේ සඳහා තෝරගන්න ඔහු සූස්කට්ට වෙන්නෙ ඒකයි. 
නමුත් “කැමරන් ඇලෙක්සැන්ඩර්” කළු ජාතිකයින්ට (සහ සෙසු සංක්‍රමණික ජාතීන්ට) එරෙහි සියලු ප්‍රචණ්ඩක්‍රියා රහසිං සංවිධානය කරනවා විනා ඒ සිදුවීම්වලට මැදිහත් වෙන්නෑ. කොටින් ම පොලීසිය පවා ඔහු ගැන දන්නෙ නෑ.


වැනීස් බීච් කල්ලියේ තරුණයින් පොදු බාහිර ලක්ෂණයක් ලෙස තට්ටය ගාගෙනයි ඉන්නෙ. ඒ වගේම හිට්ලර්ගේ ස්වස්තිකය ශරීරයේ පච්චා කොටාගෙන ඉන්නවා. ඩෙරකුත් හරියට ම හදවතට උඩින් පපුවේ ස්වස්තිකය (තම කල්ලි සලකුණ හැටියට) කොටාගෙනයි ඉන්නෙ. හිට්ලර් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වීරයෙක් බව ඒ අය හිතනවා.
ඔවුන්ට අනුව තම ජීවිතයේ උදා වී තියෙන සෑම ප්‍රශ්නයට ම හේතුව කළුජාතිකයින්. 


“හැම තැනම නීතිවිරෝධී සංක්‍රමනිකයින්. රජය මිලියන් ගානක් වැය කරනවා උන් සම්බන්ධ වැඩ කරන්න. උන්ට සහනාධාර දෙන්න. අපරාධකරුවන් සිරගතකරන්න විතරක් ආණ්ඩුව මිලියන ගානක් වැය කරනවා. මුං ඔක්කොම අපරාධ කරුවො. රජය මහන්සි වෙන්නේ පුරවැසියන් ගැන නෙමෙයි කොහෙවත් ඉන්න කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන” ඔවුන් හිතනවා. 
“මේ බිමේ අයිතිකරුවන් වන අපි මේ වෙලාවේ මැදිහත් වෙන්න ඕනා ඒකයි” ඔවුන් වාර්ගික ප්‍රේමයේ වගකීම තමංට පවරා ගන්නෙ එහෙම.


වාර්ගිකත්වය යනු ප්‍රචණ්වයේ එක් ව්‍යාජ මුහුණක් පමණක් බවත්, ප්‍රචණ්ඩත්වයේ සැබෑ මුහුණුවර තමංගේම වර්ගයාට ම පීඩාකිරීම දක්වා ඔඩු දුවන බවත් කතාවෙන් පෙන්වනවා. කතානායකයා තම ජාති ප්‍රේමයේ නාමයෙන් තමංගේම සහෝදරියට සහ සහෝදරයාට පහරදීම, මවට අපහාස කිරීම සහ කළු ජාතිකයින් ඝාතනය කිරීම නිසා සිරගතව සිටියදී ඩෙරක්ට එරෙහිව ඔහුගේම සහෝදර ලීගයේ අය එරෙහිවීම වගේ තැන්වලින් කතා තේමාව ඒ සංකීර්ණ ආස්තානයට ඔසවා තබනවා.


කළු ජාතිකයින් ඝාතනය කිරීම, ඔවුන්ගේ වෙළඳසැල්වලට පහරදීම, කළු ජාතික ස්ත්‍රීන් අතවරයට පත් කිරීම ආදී දේ තුළින් වැනීස් බීච් කල්ලිය තම ජාති ප්‍රේමයේ මෙහෙවර කරද්දී, ජාති ප්‍රේමී කළු ජාතික කල්ලිද ඒ අයුරින් ම ඉස්මතු වෙනවා. අවසානයේ කතා නායකයාගේ මල්ලී වන ඩැනී ඝාතනය කරන්නේ පාසලේ ඔහු සමග ගැටුණ ඒ විදිහේ කළු කල්ලියක් අතින්. වැනීස් බීච් කල්ලියේ නැගී එන තරුණයකු වූ ඩැනී කළු අන්තවාදී කණ්ඩායමක් අතින් එසේ ඝාතනය වන්නේ මේ අගතීන්හි සැබෑ තත්ත්වය තේරුම් ගෙන එයින් ඉවත් වී ඒ පිළිබඳ ලියන ලද නිබන්ධනය වන American History X තම ගුරුවරයාට බාර දීමට යන විට වීම එක්තරා අතකට සංකේතාර්ථ දනවනවා.


මේ මේ අපූර්ව සිනමාපටයේ සමස්ත කතාව නොවේ. කතාව දෙස එළඹිය හැකි එක් කෝණයකින් අඩක්. තිස් වසරක් පැවති යුද්ධයක් සහ වාර්ගික - ආගමික අන්තවාදී කණ්ඩායම් දිවා රෑ තම දේශපාලනික උවමනාවන් සහ පැවැත්ම සපුරා ගැනීම සඳහා වර්ගවාදයත්, ජාතිවාදයත් ආගම්වාදයත් මූලෝපාය හැටියට භාවිත කරන ලංකාවේ පොළව මත American History X පිහිටුවන්නට පුළුවන් ද? එය සිදු කළ හැකි දැයි චිත්‍රපටය නරඹා බලන්න.


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



Friday, March 24, 2017

ලංකාවේ සිවුවන ආණ්ඩුව කොයිබටද?



සාමාන්‍ය පිළිගැනීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුළුණු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳි පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය ‍සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්යෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත් සැබෑ ප්‍රජාතාන්ත්‍රීය රටක (විධායකය විසින් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අල්ලේ නටවන ලංකාව වගේ රටක නෙවේ) ප්‍රබල සංවරණ හා තුලන (checks and balances) ක්‍රමවේදයන් පවතී. 

එවන් රටක සිවුවැනි ආණ්ඩුවය කියන (Fourth State) ප්‍රබල භූමිකාව හිමි වන්නේ ඒ රටේ ජනමාධ්‍යයට ය. ඉන් අදහස් කරනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට පසුව රටක් පාලනය කරන ඊළඟ ආණ්ඩුව ඒ රටේ ජනමාධ්‍ය යන්නයි. ලංකාව වැනි (වචනයෙන් මිස, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බොහෝ දුරට වියෝ වූ) රටක සිව්වැනි ආණ්ඩුව වශයෙන් මාධ්‍යයට ඇති වැදගත් කම ඊටත් වඩා වැදගත් බව පෙනේ. නව පාලකයෙක් බලයට පත්වූ වහාම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් තමං වෙත නතු කරගැනීමටත් පෙර රටේ සමස්ත මාධ්‍යත් පුමුඛ මාධ්‍යකරුවනුත් තමන්ට නතුකරගැනීමට වලිකන්නේ ඒ නිසා ය. කොටින්ම කියනවානම් මහජන මතයත් මහජන චින්තනයත් හැසිරවීමේ ප්‍රම්‍රඛ සාධකය රටේ ජනමාධ්‍යය වන නිසා ය. 

කෙසේ වුවත් ලංකාවේ ජනමාධ්‍ය රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන සුබසිද්ධියත් වර්ධනය කරන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවාද? ඔවුන් සිවුවන ආණ්ඩුවේ ස්වකීය භූමිකාව හඳුනාගෙන තම එදිනෙදා කටයුතු හසුරන්නේ ද? තමන් වෙත නතු කර ගත නොහැකි වූ එක දෙකකට වඩා නැති ලාංකීය ජනමාධ්‍ය ආයතන සඳහා පවත්නා ආණ්ඩු විසින් ගෙන එන අසාධාරණ සංවරණයන් හැරෙන්නට මහජන සුබසිද්ධිය වෙනුවෙන් මාධ්‍ය ආයතන විසින් තමංම නිර්මාණය කර ගත් ස්වයං සංවරණයන් තිබේද? ඊටත් අමතරව, පෙර කීවාක් සේ ජනතාව‍ගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අභියෝගයට ලක්කරමින් පාලකයින් විසින් ජනමාධ්‍යට පහර දෙද්දී ඊට එරෙහිව නැගී සිටින මුද්‍රිත හෝ වේවා විද්‍යුත් හෝ වේවා ජනමාධ්‍ය ආයතන කීයක් ලංකාවේ වේද? පිළිතුර එවන් ආයතන අතේ ඇඟිලිවලටත් වඩා නැතිය යන්න යි. 

ජනමාධ්‍යයයේ මේ කියූ නූතන හැසිරීම බැලූ බැල්මට පෙනී යන ප්‍රමුඛතම සාධක කිහිපයක් වේ. ඉන් පළමුවැන්න වන්නේ ආපස්සට හැරී බැලූ කල බහුතර වගකීමක් ජනමාධ්‍යට ද පැටවෙන, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නින්දාසහගත පිරිහීම යි. දෙවැන්න හෙවත් මෙහිලා අප ඉස්මතු කරන වැදගත්ම සාධකය වන ස්වකීය වගකීම් අමතක කරමින් ආර්ථික අභිප්‍රායන් පමණක් ප්‍රමුඛ කොටගත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිව තිබීම යි. 

තමං වෙතට එන තරුණියන්ගේ කන්‍යාභාවය අහිමි වී ඇති බව පවසමින් තමන් සමග රාත්‍රියක් ගතකරන ලෙසත් එසේ වුවහොත් තමන් සතු ගුප්ත බලය හේතුවෙන් එකී කන්‍යාභාවය නැවත සැකසෙන බවටත් පවසමින් තරුණියන් මුළා කරන වේයන්ගොඩ, කළගෙඩි හේන ප්‍රදේශයේ හොර කපුවෙක් පිළිබඳ කුණු රසය තැවරුණ කතාවක් මේ දිනවල රටේ සියලු ජනමාධ්‍ය තලුමරමින් සිටී. තවත් එක්තරා ජනමාධ්‍යයක් කීවේ තම 'CIA මාධ්‍ය කණ්ඩායම' මුළින්ම මේ හොර කපුවා පිළිබඳ පුවත අනාවරණය කරගත් බවත් එහි ගෞරවය එහෙයින් හිමිවන්නේ තමන්ට බවත් ය. පසුගිය කාලය තුළම රටේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා විසින් ගෙනයනු ලබන මෙවැනි CIA මෙහෙයුම් සහිත ජනප්‍රිය වැඩසටහන් මගින් වේයන්ගොඩ කපුවාට සමානම භික්ෂූන් වහන්සේලා, පූජකවරු වැනි විශාල පිරිස් රටට හෙළිදරව් කිරීමේ මහා මෙහෙයුම් ගෙන ගියහ. හොරුන් හෙළිදරව් වන තරමටම, රටේ විශාලතම මාධ්‍ය කෙරුවාව කරන්නේ තමන් බවත් එයින් රටට කෙරෙන සේවය ඉමහත් බවත් අනකා අභිබවා පවසමින් හොඳ නම දිනීමටත්, මේ CIA වැඩසටහන්වලට රටේ නූගත් ජනයා ඇබ්බැහි කරමින් ඒ මත තම ගුවන්කාලයේ වටිනාකම සහතික කරගනිමින් වැඩිගානට වෙළඳ දැන්වීම් විකුණා තම හොද්ද බොර කරගැනීමටත් මේ මාධ්‍ය කරුවෝ අමතක නොකළ හ. 

වේයන්ගොඩ හොර කපුවා හසුකරගැනීම වැරදි බව අපි කිසිවිටකත් නොකියමු. එවන් හොරුන් රටට හෙළි කරමින් ඔවුන් කෙවිටෙන් තලා බැහැර කළ යුතු බව ඇත්ත ය. එසේ නමුත් මහා හයියෙන් අඬබෙර ගසා කරන මේ මාධ්‍ය කෙරුවාවල අපිට මගහැර යන්නට බැරි තරම් ගැටලු ඇති බව නොකියා බැරි ය. පළමුවැනි කරුණ වන්නේ, මොවුන්ම කියන ආකාරයේ මෙවැනි මාහා විමර්ශනාත්මක CIA මෙහෙයුම් මගින් මෙතෙක් වැටලූයේ කවුරුන් ද යන්න ය. කොටින්ම කියනවානම්, ඒ කොහේ හෝ ඉන්න හොර කපුවෙක්, හුදකලා හිමිනමක්, හුදකලා පූජක වරයෙක් හෝ හුදකලා තක්කඩියෙක් පමණ ය. මේ මහා CIA මෙහෙයුම් මගින් එළිපිට පවා හොරමැරකම්, වංචා දූෂණ සහ මිනී මැරුම් කරන බලවතකු හෙළිදරව් කළ අවස්ථා කීයක් වේද? මෙවන් CIA කණ්ඩායම් රහසේ කැමරාවක් සඟවාගෙන ගොස්, පාලක රෙජීමයේ, මැති ඇමති වරයකුගේ, එහෙමත් නැත්නම් අඩුම තරමේ ඇමති ලේකම්වරයෙකුගේ හෝ නිවසකට ගොස් ඔවුන්ගේ වංචා දූෂණ සූක්ෂමව පටිගත කොට, විකාශනය කළ අවස්ථා කීයක් පසුගිය වසර කීපය තුළ තිබේද? උත්තරය එකක්වත් නැත යන්න ය. මෙයින් පෙනී යන්නේ ආපසු තමන්ට අභියෝගයක් එල්ලවිය හැකි සහ තම වාණිජ පරමාර්ථයන් අර්බුදයට ලක්විය හැකි තරමේ තැන් වලට මේ මහා විමර්ශනශීලී ජනමාධ්‍යය අභියෝග නොකරන බව ය. එසේනම් මේවා මහා රැඩිකල් මාධ්‍ය කෙරුවාවන් වන්නේ කෙසේ ද? 

අනෙක් අතට වේයන්ගොඩ හොර කපුවෙක් බිහිවන්නටත්, තවත් තැනත හොර චීවරධාරියකු හෝ පූජකවරයකු බිහිවන්නටත් ප්‍රබලතම සාධකය වන්නේ මේ කියන රැඩිකල් මාධ්‍යයන්ම නොවේ ද? අද්‍යතන ශ්‍රීලාංකීය විද්‍යුත් මාධ්‍ය දිනය ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේම මෙවැනි හොර කපුවන්ට, හඳහන් කරුවන්ට, ෆෙන්ෂුයි කාරයින්ට, ධනාත්මක චින්තන කාරයින්ට සහ මන්තරකාරයින් වැන්නවුන්ට හොර ව්‍යාපාර ගෙනයෑම සඳහා වේදිකාව සකසමින් නොවේද? ඒවා දිනය ආරම්භ කරන්නේ ම මෙවැනි හොරුන් මහා බලවතුන් සේ රූපාන්තරණය ‍කොට, ඔවුන් වෙත යෑම සඳහා රටේ සාමාන්‍ය ජනතාවගේ ඔළු සකසමින් නොවේද? වෙනකක් තබා මේ කියන මාධ්‍ය අද වන විට බෞද්ධාගමික පිරිත් සහ සූත්‍රයන් පවා ඒවායේ සැබෑ අධ්‍යාත්මික හරයන්ගෙන් ඈත්කොට, ඒවායේ අර්ථය වසා දමා ඒවා කියවීමෙන් සහ ඇසීමෙන් විවිධ ලෞකික ආශාවන් මුදුන්පත් කරගත හැකි හැකි ගුප්ත මන්ත්‍රයන් බවට කියමින්, ඒවා වැඩි වැඩියෙන් ප්‍රචාරණය කිරීම මගින් ජනතාව ග්‍රහණය කරගැනීමේ තරගයක නියැලී ඇතුවා නොවේද? 

අද මුද්‍රිත මාධ්‍යයේ කාර්යය වුවත් මෙයම නොවේ ද? සතිඅන්ත පුවත්පතක් ගෙන බලන පාඨකයාට වැඩිපුර දක්නට ඇත්තේ හොල්මන් කතා, දේව හාස්කම්, භූත දෝෂ, ජීවක කපුවන්, සහ ලෝකය අතැඹුලක් සේ දකිනා හොර හඳහන් කාරයින්, ෆෙන්ෂුයි කාරයින් හා ධනාත්මක චින්තනකාරයින්ගේ මිථ්‍යාමය කෙරුවාවන් නොවේද? ඔවුන් පළ කරන දැන්වීම් වල ඇත්තේ, ඉහත පිරිසම ලබා දෙන, ලිංගය ලොකු කර දෙන, සිතැත්තිය ගෙන්වා දෙන, මන්ත්‍ර බලයෙන් බීමත් කම මගහරවන, විභාග සමත් කර දෙන, කාසි දෙක මෙට්ටෙ උඩ තියාගත්තාම දරුවන් නැති අයට දරුවන් ලැබෙන මෙවැනි හොරුන්ගේ දැන්වීම් නොවේ ද? මෙවන් දැන්වීමක් ලැබුණු කල එහි දිග පළලත් ඉන් ලැබෙන ආදායමත් පිළිබඳ මිස තමා පළකරන දැන්වීමෙහි ඇත්ත නැත්ත විමසා බලන එක මාධ්‍යයක් හෝ ලංකාවේ තිබේද? මේ ක්‍රියාදාමය තුළින් එක් පැත්තකින් ‍වෙළඳ දැන්වීම් කඩාගැනීමත්, අනෙක් පැත්තෙන් බහුතර ජනයා ඉල්ලන සරලමතික කුණු රසය මාර්කට් කර තම ග්‍රාහකයින්ගේ හිස්ගෙඩි සංඛ්‍යාව වැඩි කරගැනීමත්, ඊටත් වඩා මෙවැනි කුණු ගොඩවල් වලින්ම එදා දවස ගෙවාදැමීමට හැකිවීම නිසා පාලකයින්ගේ සිත් රිදවීමට ඇති අවස්ථා අඩු කරමින් ඔවුන්ගෙන් වරප්‍රසාද ලැබීමත් සිදු කරමින් එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් නොව කීප දෙනෙක් මරාගන්නට තරම් මේ මාධ්‍යය මුදලාලිලා සූක්ෂ්ම වෙති. 

සියයට අනූවකටවත් සාක්ෂරතාවක් නැති ගොවියන් පිරිසක් සිටින තම රටෙහි පොත් කඩ වල තිබිය යුත්තේ අල ළූණු වගාව පිළිබඳ සරල බසින් ලියැවුණු පොත් මිස පුෂ්කින්ගේ, තොල්ස්තෝයිගේ පොත් නොවන බවත්, ඒ අනුව පුෂ්කින්ලා සහ තොල්ස්තෝයිලා ස්වභාවධර්මයට විසංවාදී බවත් එක්තරා ප්‍රාග් විප්ලවීය රුසියානු විචාරකයෙක් කියද්දී, ලෙනින් කීවේ එය එසේ නොවන බව ය. රටේ ජනතාවගෙන් සියයට අනූවටත් ව‍ඩා සිටින්නේ සාක්ෂරතාවක් නැති සරල රසවින්දනය සහිත අය නම් කළ යුත්තේ විප්ලවීය අධ්‍යාපනයක් මගින් ඔවුන් සාක්ෂර කිරීමත් ඔවුන්ගේ රසවින්දන මට්ටම ඉහළ දැමීමත් මිස ජනතාවගේ රසිකත්වය ඉල්ලන දේ කිරීම නොවන බව ලෙනින්ගේ අදහස විය. එදා රුසියාවේ එවන් තත්ත්වයක් තිබියදී, ලොව ඉහළතම සාක්ෂරතාවක් හෙබියැ’යි පුරාජේරු කියන ලංකාවේ හතරවෙනි ආණ්ඩුවේ මේ රැඩිකල්යැ’යි කියාගන්නා වාණිජමය CIA කෙරුවාවල් අප තේරුම්ගතයුත්තේ කෙසේද?

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර 
  (2014)

Thursday, March 23, 2017

"ඇත්තක අරුමය"

(විද්‍යාවෙනුත් - මිත්‍යාවෙනුත් මැජික් පෙන්නා ජීවත්වන්නන්ට එරෙහිව..)



වට්ටක්කා ගෙඩියකින් අශ්වකරත්තයක් මවන්න පුළුවං කියලා ඔබ දන්නවාද?

ඔව්, ගෙම්බෙක් කුමාරයෙක් බවට පරිවර්තනය කරන්නත් පුළුවං.
අපි පුංචි සන්ධියේ කියවපු සුරංගනා කතාවල තිබ්බෙ එහෙමයි.

ඔබ ගණන්කරන විදිහට,
අශ්ව කරත්තයකට අදාල සියලුම අංගෝපාංග - ඇණ මුරිච්චි
එකම මල්ලකට දාලා - ඒ මල්ල හොඳට කලවම් වෙනකම් හොල්ලලා
මැජික් පොල්ලකින් “ඕන් රිහ්” කියලා මැතුරුවොත්
අශ්ව කරත්තයක් වගේ සංකීර්ණ දෙයක් නිර්මාණය වීමේ සම්භාවිතාව කොච්චරද?
බොහෝ විට ඔබ කියාවි බිංදුවයි කියලා.

ඒත් ඔබ දන්නවාද ටිකක් විතර අමුතු විදිහේ මාළුවෙක්
ඔබත් මාත් වගේ මිනිහෙක් බවට පත් කරපු
මැජික් කාරයෙක් ජීවත් වන බව?

ඔබ මොන වගේද? 
ඔබේ පියා? සීයා? මුත්තා
ඇත්ත,
ඔබේ මිලියන එකසිය අසූ පස්වන මී මීමීමී...මුත්තා මාලුවෙක්
ඔබේ මී මීමීමී... ආච්චිත් එහෙමයි

ඔබට පුළුවංද ඔබේ ඡායාරූපය එකතු කරන්න
ඔබේ, පියාගේ, සීයගේ, මුත්තගේ
මටනම් පුළුවං.
බැරිවෙලාවත් අපිට පුළුවන්නම් මේ ඡායාරූප එකිනෙකට උඩට උඩට තියාගෙන යන්න?
ඔබේ, පියාගේ, සීයගේ, මුත්තගේ ඔහුගේ පියාගේ ඔහුගේ මුත්තගේ ආදී වශයෙන්
ඔබේ මිලියන එකසිය අසූ පස්වන මී මීමීමී...මුත්තා දක්වා!

ඔබ ගණන් හදන විදිහට මේ ඡායා රූප එකතුවේ දිග කොච්චර වෙයිද?
විශ්වාස කරන්න පුළුවංද, කිලෝමීටර් හතළිස් අටක්!
කිලෝමීටර් හතළිස් අටකට මෙහා එක කොණක මනුෂ්‍ය වේශයේ ඔබ
අනික් කොණේ මාළු වේශයේ ඔබේ මිලියන එකසිය අසූ පස්වන මී මීමීමී...මුත්තා

දැන් ඔබයි මායි මේ පින්තූර පෙළත් එක්ක අහඹු ක්‍රීඩාවක් කරමු
අපි දැන් අහඹු ලෙස අදිනවා පින්තූරයක් - ඔබේ හාරසිය වන මීමුත්තා
බැලූ බැල්මට ඔබත් ඔබේ පියාත් වගේමයි - හරි ආපහු ඇතුළට

දැන් මැද හරියෙන් තවත් එකක් අදිනවා - ඔබේ හාරදාස් වන මීමුත්තා
ඇස් බැම ළඟින් හිස්කබල ඉස්සරහට නෙරා තියෙන
ටිකක් විතර වෙනස් මිනිහෙක්

හරි ටිකක් දුරට ගිහින් තව එකක් -ඔබගේ මිලියන එකයි දශම පස්වන මීමුත්තා
මේ කවුද? වල්ගය තියෙන වඳුරු ස්වරූපයේ සතෙක්
ඒත් මේ ඔබේ මී මුත්තෙක් ම තමයි.

තවත් මැදට ගිහින් තවත් පින්තූරයක් ගමු - මිලියන එකසිය හැත්තෑව පරම්පරාවේ මීමුත්තා
හෆොයි කටුස්සෙක් ඩයිනෝසරයෙක් වගේ සත්වයෙක්
ඒත් අමතක කරන්න නරකයි - මේ ඔබේ මීමුත්තා
හරි අපි කොණට ගිහින් අන්තිමට ඉන්න ඔබේ මිලියන එකසිය අසූ පස්වන මී මීමීමී...මුත්තා වන මාලුවා දිහා බලලා මේ ගමන නවත්තමු.

කියන්න අමතක වුණා. අර ටිකක් විතර අමුතු විදිහේ මාලුවා
ඔබත් මාත් වගේ මිනිසෙක් කළ මැජික් ශිල්පියා ගැන
ඒ තමයි පරිණාමය!
නමුත් එක පැත්තකින් මාලුවෙක් දාලා
මැජික් පොල්ලකින් “ඕන් රිහ්” කියලා මැතුරලා
අනික් පැත්තෙන් වර්තමාන ස්වරූපයේ ජීවියෙක් ගන්න අර කියූ සුරංගනාව තරම් ඔහු ක්ෂණික වුණේ නෑ
ඒ සඳහා ඔහුට දලවශයෙන් වර්ෂ මිලියන එකසිය අසූ පහක් ගියා
නමුත් ඒ කාලය ඇතුළේ ඔහු අර සුරඟනට වඩා විශ්මිත නිර්මාණ
මිනිය නොහැකි තරම් කළා...

කියවන්න-
විද්‍යාවත් - මිත්‍යාවත් මැජික් එකක් කරන් ජීවත්වන්නන්ට හා විද්‍යා - මිත්‍යා මැජික් සයුරේ දියබුං ගහන්නනංට එරෙහිව විද්‍යාව ගැන ලොව ලියැවුණු අසිරිමත්ම පිවිසුම,
ලෝ ප්‍රකට විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of Reality නම් සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය”




න්‍යෂ්ටිකක අවි අපේ මොළවල පාදමෙහි, මස් කොකු මෙන් ගැඹුරෙන් ඇමිණේ


"කාන්තාරය කම්පාවිය" 
යි ඉන්දියානු රජය අපට (එහි ජනතාවට) දැන්වීය.

"මුළුමහත් කන්දම සුදුපැහැයට හැරිණ" යි පකිස්ථානු රජය පිළිතුරු දුන්නේය.

අපරභාගය වන විට පොඛ්රානයේ සුළඟ නතරවී නිශ්ශබ්ද වී තිබිණ. අ.භා. 3.45ට ටයිමරයෙන් උපක්‍රම තුන පිපිරී ගියේ ය. පෘථිවිය අභ්‍යන්තරයෙහි මීටර් 200 සිට 300 දක්වා වූ කොටසක උත්පාදනය වූ තාපයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දශලක්ෂයට සමාන විය. එනම් සූර්යා මත පවතින උෂ්ණත්වය තරම්ම විය. එකෙණෙහි ම, ටොන් දහසක් පමණ බර වූ ගල් පර්වතද, පොළව යට පිහිටි කුඩා කන්දක්ද වාශ්ප වී ගියේය... පිපිරීමෙන් නැඟුණු කම්පණ තරංගවලින් පාපන්දු පිටියක ප්‍රමාණයෙන් යුත් පස් ගොඩැල්ලක් මීටර් ගණනාවක් ඉස්සෙන්න පටංගත්තේය. මෙය දුටු එක් විද්‍යාඤයෙක් කීවේ,
'කෘෂ්ණ දෙවියන් කන්දක් ඉස්සූ කතාව දැන්නන් මට විශ්වාස කරන්න පුළුවන්'
කියාය.

**************
න්‍යෂ්ටික යුද්ධය යනු හුදෙක් තවත් වර්ගයක යුද්ධයක් පමණක්ම නම්! එය සාමාන්‍ය දේවල් ගැන පමණක් - ජාතීන් හා රටවල්, දෙවිවරුන් හා ඉතිහාසය ගැන පමණක්නම්! අප අතුරෙන් එයට දරුණු අන්දමින් බියවන්නේ, අපගේ විශ්වාස ආරක්ෂා කර ගැනීම සඳහා මියයෑමට සූදානම් නැති, අන්ත නීච බියගුල්ලන් පමණක්නම්! න්‍යෂ්ටික යුද්ධය යනු රටවල් රටවල් සමගද, මිනිසුන් මිනිසුන් සමග ද සටන් කරගන්නා තවත් එක් වර්ගයක යුද්ධයක් පමණක්නම්!
එහෙත් එය එවැන්නක් නොවේ. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවූකල, අපගේ සතුරෝ චීනය හෝ ඇමරිකාව හෝ ඒ දෙකම හෝ නොවෙති. අපගේ සතුරා අපගේ පෘථිවිය ම වනු ඇත. මුළු සවබාවධර්මය ම, එනම් මහා භූතයන්ම - ආකාශය, වාතය, ගොඩබිම, සුළඟ සහ ජලය යන සකල මහා භූතාත්මයන් ම - අපට විරුද්ධව නැඟීසිටිනු ඇත. ඔවුන්ගේ කෝපය අති භයංකර වනු ඇත.

**************
න්‍යෂ්ටික ආයුධ මාරාන්තික වන්නේ, ඒවා පාවිච්චි කළහොත් පමණක් ය යන්න විශ්වාස කිරීම පරම මූඪත්වය වෙයි.
ඒවා තිබීම ම, අපගේ ජීවිතය සමග ඒවා පැවතීම ම, ප්‍රමාණ කළ නොහැකි තරම් හානියක් අපට සිදු කරනු ඇත.
න්‍යෂ්ටික ආයුධ අපගේ චින්තනය ආක්‍රමණය කරන්නේ ය. අපගේ චර්යා පාලනය කරන්නේ ය. අපගේ සමාජ හසුරවන්නේ ය. අපගේ සිහිනවලට කරුණු සපයන්නේ ය. අපගේ මොළවල පාදමෙහි, මස් කොකු මෙන් ගැඹුරෙන් ඇනී ඇමිනෙන්නේය. ඒවා උම්මත්තකභාවයට ආහාර පාන සපයන්නෝය. ඒවා පරම යටත්විජිත වාදීහු ය. ඒවා මෙතෙක් ජීවත් වූ එකද සුදු මිනිසකුට වඩා සුදු ය..

**************
"මේවා හුදු න්‍යෂ්ටික අත්හදාබැලීම් පමණක් නොවේ. ඒවා ජාත්‍යානුරාගයේ අත්හදාබැලීම් ද වෙයි" යන අදහස පුන පුනා අපගේ සිත්වලට කාවද්දමින් තිබේ.(ඉන්දියානු න්‍යෂ්ටික ක්‍රියාකාරීත්වය පැත්තෙන් ගත්තත්) ඉන්දියාව යනු බෝම්බය ය. නිකංම ඉන්දියාව නොව හින්දු ඉන්දියාව ය.
එම නිසා මෙය අනතුරු ඇඟවීමක් වශයෙන් මතක තබාගත යුතු ය. එනම් මේ පිළිබඳ ව (න්‍යෂ්ටික වැඩපිළිවෙළ) දක්වන යම් විවේචනයක් වේනම්, එය හුදෙක් ජාතිකානුරාගයට දක්වන විරුද්ධකමක් පමණක් නොව, ආගමට දක්වන විරුද්ධකමක් ද වෙයි. (මේ අනුව පාකිස්ථානයේදී බෝම්බය ඉස්ලාම් ආගමික වේ. ඒ හැර, දේශපාලනික වශයෙන් අර කරුණු ම අදාල වෙයි)..

**************
..න්‍යෂ්ටික අත්හදාබැලීම්වලින් පසු දිනවලදී, පුවත්පත්වල පෙනුණේ 'හූ' කියමින් විරිත්තමින් බබ්‍රි මස්ජිදය කඩා බිඳ දැමූ තරුණයින්ගේ ම පින්තූර ය. වීදිවලට පැන ඉන්දියාවේ න්‍යෂ්ටික බෝම්බය ගැන ප්‍රීතිඝෝෂා පැවැත්වූ ඔවුහු, ඒ සමගම, "බටහිර සංස්කෘතිය හෙළා දකිමින්" කෝක් හා පෙප්සි බෝතල් පෙට්ටි ගණන් කාණුවල හැලූහ. ඔවුන් තේරුම්ගැනීම මට තරමක් උගහට ය. කෝක් බටහිර සංස්කෘතිය වෙද්දී, න්‍යෂ්ටික බෝම්බය යනු පෞරාණික ඉන්දියානු සම්ප්‍රදායක් ද?
එසේය, එය මම අසා ඇත්තෙමි. වේද පොත්වල බෝම්බ ඇත. ඇතැම්විට ඔබ හොඳින් සොයා බැලුවහොත්, කෝක් පානයත් චතුර්වේදයේ තිබෙනු ඔබට සොයාගන්නට පුළුවන් වනු ඇත. සියලු ආගමික ග්‍රන්ථවල ඇති ශ්‍රේෂ්ඨත්වය එයයි. ඒවාහි, ඔබට ඕනෑ සෑම දෙයක් ම සොයා ගැනීමට තිබේ. ඔබ සොයන්නේ කුමක්දැයි ඔබ දන්නෙහිනම්, ඔබට ඕනෑ සෑම දෙයක් ම සොයාගැනීමට ඒවායේ තිබේ...

**************
න්‍යෂ්ටික බෝම්බය යනු, මිනිසා විසින් මෙතෙක් සාදන ලද දේවලින් ඉතාම ප්‍රජාතන්ත්‍රවිරෝධී, ඉතාම ජාති විරෝධී, ඉතාම අමානුෂික, පරම දුෂ්ට දෙයයි.
ඔබ ආගමික භක්තියකින් යුතු අයෙක්නම්ථ මේ බෝම්බය දෙවියන්වහන්සේට මිනිසා කළ අභියෝගයක් බව මතක තබා ගත යුතුය. එය වචනවලට නගා ඇත්තේ ඉතා සරල අන්දමිනි "ඔබවහන්සේ නිර්මාණය කළ සෑම දෙයක් ම විනාශකිරීමේ බලය අප සතුව ඇත!"
ඔබ ආගමික භක්තියකින් යුතු අයෙකු නොවේනම්, එය දෙස මෙසේ බලන්න. මේ ලෝකය අවුරුදු මිලියන 4600ක් පැරණිය. එය එක් සැඳෑවකදී සහමුළින්ම අවසන් විය හැක...!

- Arundhati Roy (The end of imagination)


(පරි- කේ.ජී. කරුණාතිලක)

Saturday, February 25, 2017

රෂෝමොන් හදවත්වලට මිටියෙන් දමල අනින "SEX TAPE"


Jake Kasdan විසින් අධ්‍යක්ෂණය කළ Sex Tape දෙදහස් දාහතර වර්ෂයේ තිරගත වූවක්. මේක වර්ගීකරණය කරලා තියෙන්නේ Comedy යන දල බෙදුම්කරණය ය‍ටතේ. එහෙම වුණත් මේ ගැඹුරු සිනමා කෘතිය එකී වර්ගීකරණය යටතේ අර්ථගැන්වෙන්නේ කොහොමද කියලා අපිටනම් හැ‍ඟෙන්නේ නෑ. (හාස්‍ය චිත්‍රපටි නොගැඹුරුයැ’යි එයින් අදහස් වෙන්නේ නෑ)
කතා ආඛ්‍යානය ගෙතෙන්නේ දෙදරු විවාහක යුවලක් වටා. ඔවුන් සතු ගේහසිත බැඳීම් සහ වගකීම් දිනෙන් දින ඔවුන් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතාවන්ගෙන් ඈත් කරනවා. ඒ ඈත්කිරී ම හුදු භෞතික ඈත්කිරීමක් පමණක් වන අතර තමං තරුණ වියේදී අත්පත් කරගත් ලිංගික තෘප්තීන් සහ තීව්‍රතාවන් ඔවුන් දෙදෙනාගේම හිත් සැමවිට ම ඔද්දල් කරනවා. දෙදෙනාම එකිනෙකාට හොරෙන් නිල් චිත්‍රපට බලන්නට හුරුවෙනවා. දෙදෙනාගේ කාන්සිය තීව්‍ර කරන්න ඒ හුරුවත් බලපාලා තියෙන බව ඔවුන්ගේ සංවාදවලින් පේනවා. කොහොම වුණත් ගැටුම ඇතිවන්නේ මේ අහිමිවීම අත්පත් කරගන්නට ඔවුන් ගන්නා උත්සාහය මත.
මේ සදහා විවිධ උපක්‍රම අනුගමනය කළත් මානසික සහ ශාරීරික වයෝවෘද්ධතාවයට පාතබමින් සිටින මොවුන් ගන්නා එවන් බොහෝ වෑයම් නිශ්ඵල වෙනවා. ඒවා බොහෝ විට අවසන් වන්නේ ඇදවැටීම් අතපය උලුක්වීම් වගේ තැනකින්. එකම හොද දේ නම් දෙන්නා තුළ තම ගැටලුව පිළිබඳ විවෘත සංවාදයක් තිබීම.
ඒකාකාරීබවින් මිදීමට අවසානයේ බිරිඳගෙන් එක යෝජනාවක් එනවා. ඒ තමයි දෙදෙනාගේ එකතුවීම වීඩියෝගත කරන එක. නොඑසේනම් තමං උදෙසා ම නිල් චිත්‍රපටයක් නිර්මාණය කරන එක. උත්තේකයක් ලෙස වීඩියෝ ගත කළත් තම එක්වීමෙන් පසු එය මකා දැමීමටයි ඔවුන් අදහස් කරන්නේ. චිත්‍රපටයේ තිරපිටපත ලෙස ව්‍යාත්සායනගේ කාමසූත්‍රය තෝරාගැනෙනවා.
අවසානයේ අරමුණ සාර්ථක වූ බවත් දෙදෙනාම තෘප්තිමත් වූ බවත් පේනවා. තිරපිටපතේ දිග නිසාදෝ පැය තුනක වීඩියෝවක් නිර්මාණය වුන බවත් කියනවා. ගැටලුවේ කූට අවස්ථාව මතුවන්නේ ඩිලීට් කිරීමට අතපසු වූ (තම ජීවිතයේ උපරිම ශඛ්‍යතාවන් පෙන්නූ අවස්ථාව මෙය නිසා එය මකන්නට ලෝබ හිතුණ බව සැමියා පසුව පාපොච්ඡාරණය කරනවා) වීඩියෝව ක්ලවුඩ්ස් හරහා ‍නෑ හිතමිතුරන් කීප දෙනෙක්ට ෂෙයා වීමත් ඔවුන්ගෙන් නිර්ණාමික කෙටි පණිවිඩයක් ඒමත් එක්ක. කතාව ඉතිරිය ගෙතෙන්නේ මේ කෙටිපණිවුඩය එවු කෙනා කවුද යන්න සෙවීමටත්, ක්ලවුඩ්ස් හරහා ෂෙයා වූ අයගේ ටැබ් ඔවුන් කෙසේ හෝ රවටා එදා රෑම අරගෙන තම වීඩියෝව මකාදැමීමටත් යුවල ගන්නා ශෝඛජනක අරගලයත් සමග ය මත. (මේ කොටසෙහි කිසියම් හාස්‍යය බවක් තිබුණත් එකී හාස්‍යය යටින් ඉදිරිපත් වෙන්නේ අතිශ්‍ය ශෝකජනක යථාර්ථයක්)
එදා රෑ එක්තරා දුරකට තම අරමුණ ඉටුකරගන්නවා. නමුත් සිද්ධිය බරපතල බව තේරෙන්නේ තම මිත්‍රයාගේ පුතා මේ සිද්ධිය ඔහු‍ට පවසා, කෙටි ඇමතුම එව්වේ තමං බවත් තමං අදාළ වීඩායෝව දැනටමත් ජනප්‍රිය නිල් චිත්‍රපට අඩවියක පළ කර ඇති බවත් එය ඉවත් කරන්නනම් වහාම මුදලක් ලබාදිය යුතු බවත් කීමත් සමගයි. ඔහු‍ඉල්ලන අති විශාල මුදල ලබාදෙන්න බැරිතැන ඔවුන් අදාළ වෙබ් අඩවි මධ්‍යස්ථානයට බලෙන් කඩා වැදී අනූ නවයෙන් බේරෙනවා. අවසානයේ ඔවුන්ට කාරණය පැහැදිලි කර එය ද ඉවත් කරගන්නවා....
මේ විදිහේ පියවරයන් අන්තර්ජාලගතවීම නිසා පවුල් ජීවිතයනුත් සියලු සමාජ සබඳතාවයනුත් අවසානයේ ජීවිතත් පවා අහිමි කරගන්න තරුණ පිරිස් ගැන අපි ලංකාවේ මේ දැනුත් අත්විඳිමින් ඉන්නවා. තරුණියන්ගේ තණපට ගැන කරදර වන පාලකයිනුත්, “තොරතුරු දන්වන්න” කියන විසල් ශීර්ෂ යටතේ මේ වගේ අයගේ පින්තූර ද සහිතව පළකරමින් මහා කතාන්දර ගොතන ඊනියා සුචරිතවාදී ජඩමාධ්‍යනුත් අඩුවක් නැතිව අපිට තියෙනවා. නමුත් sex tape චිත්‍රපටය දිගහැරෙන්නේ විනාඩි 39කට පාරක් නිල් චිත‍්‍රපටයක් අලූතින් නිපදවෙන, සහ සෑම තත්පරයක දී ම ඩොලර් 3075ක් නිල් චිත‍්‍රපට සදහා වැය වන, කේබල් ටීවී මගින් පවා නිල් චිත්‍රපට මිළදීගන්න පුළුවංයැ’යි කියන ඇමරිකාවේ. තවදුරටත් විග්‍රහ කරනවානම්, Miller vs California වැනි ප්‍රසිද්ධ නඩු තීන්දු මගින් නිල් චිත්‍රපටයට හානියක් නොකර එහි වපසරියන් පමණක් සළකුණු කළ සහ Commonwealth vs John Rex වැනි නඩු තීන්දු හරහා නිල් චිත්‍රපට සඳහා ළමුන් යොදාගැනීම වැනි දේවල් පමණක් සීමා කෙරුණු, ලොව විශාලම පෝනග්‍රැෆි කර්මාන්තය පිහිටි පොළවේ.
මිතුරන් අතර බෙදී ගිය වීඩියෝව යළි අත්පත් කරගැනීම අසාර්ථක වන තැන්වලදී මේ යුවල ඇමචර් වීඩායෝ කරණය දැන් ලෝකයේ සාමාන්‍ය දෙයක් බව කියා හිත හදාගන්න උත්සාහ කරන බවත් පේනවා. (ඔවුන්ගේ ඇතැම් මිතුරනුත් ඒ බව කියා ඔවුන්ගේ හිත් හදන්නට උත්සාහ කරනවා) නමුත් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා හා රැකියා පිළිබඳ සිහිවෙද්දී නැවතත් ඒ යුවල තුළ භීතිය දලුලනවා! දරුවන් පිළිබඳ කල්පනාව එය තවදුරටත් උග්‍ර කරනවා!
කතාවේ උත්ප්‍රාසාත්මක අවස්ථා රාශියක් තියෙනවා. තවත් පැත්තකින් බලද්දී මුලු කතාවම දිවෙන්නේ එක්තරා ෆැන්ටසිමය උත්ප්‍රාසයක් පදනම් කරගෙන බව පේනවා. මුලින් ලැබුණු මැසේජය හරහාත් එය බැලූ තවත් ඔවුන්ගේ මිත්‍රයින් යුවලක් හරහාත් (පිටවූ වීඩියෝව සෙවීමට උදවුවට පැමිණෙන මිත්‍රයින් යුවලක් කතානායකයින් දෙදෙනාට හොරෙන් තම උත්තේජනය සඳහා ද භාවිත කරනවා) ඔවුන්ගේ චිත්‍රපටය ගැන එන්නේ ඉතා ධනාත්මක ප්‍රතිචාර. එය සුපිරි ගනයේ නිල් චිත්‍රපටයක් බව ඔවුන් කියනවා. අදාල වෙබ් අඩවිය මගිනුත් කියන්නේ එය කවදාවත් දකින්නට නැති ගනයේ උසස් චිත්‍රපටයක් බවයි. ඒ නිසා වරක ඔහුන් තම කාර්ය ගැන ආඩම්බර වෙන ස්වරූපයකුත් පේන්න තියෙනවා. (කළිනුත් කිව්වා වගේ ඔහු එය නොමකා තබා ගත්තේ තමංගේ ජීවිතයේ උපරිම ශඛ්‍යතාවන් පෙන්නූ අවස්ථාවයැ’යි ඔහු කල්පනා කිරීම නිසා)
චිත්‍රපටය අවසන් වෙන්නේ, පෙන් ඩ්‍රයිව් එකක දමා ඇති තමං සතු අන්තිම පිටපත අල්ලපු ගෙදර දරුවා විසින් කතානායකයාට බාර දීමෙන්. එය ලත් වහා ම මිටියකින් තලා විනාශ කරන්න ඔහු උත්සාහ කරනවා. එතනට පැමිණි ඇය එසේ නොකර එය නරඔමුයැ’යි යෝජනා කරනවා. (වීඩියෝ කළා මිස අදාල චිත්‍රපටය දෙදෙනාගෙන් කිසිවෙක් මීට පෙර නරඹා තිබුණේ නෑ)
රෂෝමොන් වනයේ හොරා වර්ණනා කළ තම කඩු හරඹයේ වික්‍රමයත් පසුව භික්ෂුව පැවසූ සටනෙහි හැටිත් අපට සිහිවන්නේ එතනදී ය. තමංගේ වීඩියෝව තුළ ඔවුන් දකින්නේ මොනවාද? වැරදි සහගත ඉරියව්වලය යෑමේදී සිදුවන ඇදවැටීම්, හාස්‍යසහගත ඉරියව්, වේදනාබර මුහුණු, හතිලෑම්, වේදනාබර කෙඳිරිගෑම්, වෙහෙස සහ මහන්සි ඇරීම්.
වහා පෙන්ඩ්‍රයිවය ගෙන ඇය විසින් වැරෙන් මිටිපහරක් දෙනවා.
එක්තරා අතකට මේ මිටිපහර ද සංකේතාත්මකයි. ඇත්තට ම ඒ විකාර රංගනය පිරෙව්වේ ඔවුන්ගේ ෆැන්ටසිමය රික්තකය විතරක් නෙමෙයි. මේක පට්ට නිල් චිත්‍රපටියක් ලෙසට දැක්ක සමාජයේ හදවතට ඒ වේගවත් මිටිපහරෙ කම්පණය දැනෙනවා.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


Sunday, December 20, 2015

යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක


මහඉලුප්පල්ලම - සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායක මහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ආපහු පළාගිහින් තියෙනවා තමන්ගෙ මුල් ගම්බිම්වලටම. ඒ මහ උණ කියල ඒ ගැමියන් හඳුන්නපු මැලේරියාවට බයේ. ගොවිජනපදය පිහිටවපු කාලෙ මේ පළාතෙ මහඋණ තදින්ම පැතිරිලා තිබිලා තියෙනවා. "තත්ත්වෙ බැරෑරුම් වෙද්දි මිනිස්සුන්ව බලහත්කාරෙන් ගෙවල් ඇතුළට දාලා දොර වහලා- යතුර ඇතුළට දාලා ගෙවල් හැරනොයන ලෙස තර්ජනය කරන්න ආණ්ඩුවට වුණාලු" මං අහල තිබ්බ ඒ කතාවත් මයෙ මතකෙට එනවා.

සේනපුර, ගම්මාන කීපයකට බෙදෙනවා. ඒ යාය එක, යාය දෙක, යාය තුන ආදී වශයෙන්. ඒ බෙදිල්ල අහවර වෙන්නෙ යාය දහයෙන්. ඒත් මගේ ගමන නතර වෙන්නෙ යාය හතරෙන්. තොරක් නොමැති නියඟයත් දෙගොඩතලන මුරුගාසන වරුසාවත් අතර දිවිහරින ගැමියන්ගේ නිවාසත් ගොවිබිමුත් පහුකරගෙන ට්‍රැක් හතර හංදිය දිහාවට මං මගේ පුෂ් බයිසිිකලේ පාගනවා. සතිගාණක් තිස්සේ වැටෙන මහ වරුසාවට මේච්චල්වෙලා කුදුගැහුණු, දෙගොඩතලපු ඇළ බන්ට්ටෙක දෙපස තවමත් පණගහල හිනාවෙන "වරාමල්" මයෙ දෑස සනහනවා. මල් සුවඳ බලන්ඩ නතර වෙන්න මේ වෙලාවේ ඉඩක් නැතත් - මයෙ පරිකල්පනමය නාස්පුඩු ඒ සුවඳ අවුස්සනවා. ට්‍රැක් හතර හන්දියට ආ විගස මගේ ගමනාන්තය වන ඒ සුන්දර කුටුම්බය මුණගැහෙන බව මං දන්නවා. සිනා මුසු මූණින් ඒ කුටුම්බයේ මව - අපූරු ලේඛිකාව මයෙ ඇස් අසුනක් දිහාවට මේ දැන් යොමු කරනවා.

"අපෙ කිරිඅම්මලාගෙ පරම්පරාව තමයි මෙහෙට ඇවිත් පදිංචි වෙන්නෙ. ඒ අපේ අම්මලා තාත්තලාත් වඩාගෙන. ගොඩක් මිනිස්සු තමන්ට ලැබුණ ඉඩම් අතහැරලා ඒ කාලෙම ආයෙත් ගම්බිම්වලටම ගියත් කිරිඅම්මලත් අපෙ අම්මල තාත්තලත් මෙහෙටම මුල්බහිනවා" මං දන්න කතාවට ම ඈ ඇගේ කෑල්ලත් එකතුකරනවා.

"කිරි අම්මලෑ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට වැඩි ඈතක නෙමෙයි. මට අවුරුද්දකට විතර පස්සෙ මල්ලි ඉපදෙද්දි, මාවත් මල්ලිවත් බලාගන්න අම්මට තිබ්බ අපහසුව මාව යොමු කළේ ඒ අපූරු ගැමි ගෙදරට. ඒක සාම්ප්‍රදායික ගොවි ගෙදරක්. කිරිඅම්මලා හේනේ කුඹුරේ වත්තෙ පිටියෙ හරි හරියට වැඩ කරපු උදවිය. ඉතිං පරිසරයට බද්ධ වෙලා ඉන්න මටත් පුළුවං වුණා. අපේ ගෙදර තිබ්බ ව්‍යාපාරික පරිසරයට හාත්පසින්ම වෙනස් සුන්දර ගැමි පරිසරයක් තමයි එහෙ තිබ්බෙ" කුඩා කාලෙ ඇය අත්වින්ද ඒ අතීත චමත්කාරය ඇගෙ මූණෙ දැනුත් ඇඳෙනවා මට පේනවා.

"ලියන්න කියවන්න පුළුවං වයසෙ ඉඳන් වැඩිපුර දවස ගෙවුනෙ පොත් පත්තර එක්ක. තාත්ත ව්‍යාපාරිකයෙක් වුණත් හොඳට පොතපත කියෙව්වා. හැමදාම පත්තරේ ගන්නවා කඩේට. කටියාව පුස්තකාලෙත් මට ලොකු ප්‍රයෝජනයක්. ඒ කාලෙ තදින්ම බලපෑවෙ රුසියානු පරිවර්තන. ඒවා මිනිස්සුන්ගෙ මානව දයාව පුදුමවිදිහට අවුලනවා. මං පොත් කියවද්දි, ලියන්න උත්සාහකරද්දි කිරිඅම්මලා එච්චර කැමති වුණේ නෑ. ඉතිං ඒ කාලෙ සමහර වෙලාවට මං කියෙව්වෙ වත්ත පහළ තිබ්බ ලොකු අඹගහක් උඩට නැගලා නොපෙනෙන්ඩ. ඒත් තාත්තගෙ ඇසුර නිසා සම්මතය ප්‍රශ්න කරන්ඩ පුංචි කාලෙ ඉඳන් මට හුරු වුණා. අම්මලාගේ අදහස් එක්ක පොඩි පොඩි ගැටුම් ඇතිවෙද්දි ගොඩක් වෙලාවට තාත්ත මයෙ පැත්තට ඉන්නවා" ඇයටත් හොරෙන් මයෙ දෑස් ඇගෙ නිවසෙ බිත්තියක් දිහාවට යොමුවෙනවා. ඒ බිත්තෙියේ භක්තියෙන් එල්ලලා තිබ්බ තාත්තෙක්ගෙ පින්තූරෙ ඇතුළෙ මං ඇගේ මූණුවර හොයනවා.

"කටියාව යායහය දුටුගැමුණු විද්‍යාලයෙන් කැකිරාව මධ්‍යමහා විද්‍යාලෙට මාරුවෙලා හොස්ටල් එකේ නතරවුණාමයි මට මං ජීවත්වෙන ගමේ වෙනස තේරුණේ. මොකද සතිඅන්තෙ ගෙවල්වලට යන ළමයි ආයෙත් ඇවිත් තමන්ගේ ගම් ගැන කියනවා. ඒ අය කියන කතා අහලා මං නිතර කල්පනා කරනවා අපේ ගමේ ඒ අය කියන අව්‍යාජ ලෙංගතු ගැමිකමක් නැද්ද කියලා. මොකද මේක විවිධ ප්‍රදේශවලින් ආපු මිනිස්සු පදිංචිවුණ ගමක්. ලොකු ඥාති පිරිසක් හිටියෙ නෑ. මිනිස්සු එකිනෙකා සමග ලොකු සම්බන්ධකම් තිබුණෙ නෑ... කුල මළ බේදෙ වුණත් ඒ කාලෙ තදින්ම තිබ්බා. විශේෂයෙන් නුවර පළාතෙන් ඇවිත් පදිංචිවුණ අය ඒක වැඩියෙන් අරන් ගියා. වෙන කුලවල අය ගෙදරට ආවම ඉඳගන්න තැනක්වත් දුන්නෙ නෑ. මට මතකයි අපෙ පවුලෙ අය ගාව වුණත් ඔය අදහස් තිබ්බා. ඒත් මං පුංචි කාලෙම ඒවට තදින් විරුද්ධ වුණා. ගම පිළිබඳව පුංචි කාලෙ මට තදින් දැනුන ඒ චූල සංස්කෘතිය ගැන තමයි පස්සෙකාලෙක මං මයෙ වරාමල් නවකතාවත් ලියන්නෙ." ඈ දශක කිහිපයක් ඉදිරියට මා එකවැර ඔසවා තබයි. එසේ නමුත් ඒ අතර අතීතයේ මට දැනගතයුතු - මගේ කුතුහලය අවුස්සන කාරණා රාශියක් තිබේ. මම නැවතත් ඒ අතීතෙට සන් කරනවා.

"පොත් කියවන ආසාවත්, තාත්තගෙ පෙළඹවීමත් නිසා පොඩි කාලෙ ඉඳන් ම මං විවිධ දේ ලිව්වා. ඒ කාලෙ ලයිට් තිබුණෙ නෑනෙ. ලාම්පුව ළඟට වෙලා මං කවියක් කෙටිකතාවක් ලියද්දි තාත්ත රෑ කීය වෙනකම් හරි ඇහැරිලා ඉන්නවා ඒක කියවන්න. මම ලියපු හැම දෙයක ම මුල් පාඨකයා එයා. ඒ කාලෙ ලිව් දේවල් එච්චර හොඳ නෑ. ඒත් තාත්තා ඒවා කියවලා මට ගොඩක් ප්‍රශංසා කළා. කැකිරාවෙ හොස්ටල් එකේ ඉද්දිත් මට ලියන්න පුළුවං කියල ගොඩක් ළමයි දන්නවා. ඉතිං ලොකු පංතිවල ගෑනු ළමයි මට කියලා පුංචි පුංචි කවි, ආදර ලිවුම් එහෙම ලියාගන්නවා. ඒ අය ඒ වෙනුවට මට චොක්ලට් ගෙනත් දෙනවා. සමහරවෙලාවට කඩචෝරු කන්න සල්ලි දෙනවා. ඉතිං මං රසබර වදන් දාලා ඒව ලියල දෙනවා." ඇගේ මූණට එළිය වැටෙනවා. දෙතොළග හීන් හිනාවක් ඇඳෙනවා. ඉතිං 'ඒ සුන්දර අතීතෙදි ඒ රසබරවදන් වලින් තමන්ටම කියල වැඩක් ගන්න බැරිවුණාද' කියලා නාහා ඉන්න මට බැරි වෙනවා.

"ඇත්තටම ඒ කාලෙ මං හිටියෙ හයේ හතේ පංතිවල. මගෙ ලෝකෙ පිරිලා තිබ්බෙ පොත්පත්වලින් විතරයි. මං ඒකාලෙ පිරිමි ළමයෙක්ට කියලා ලිව්වේ එකම ලියුමයි. ඒකත් ආදර ලිවුමක් නෙමෙයි. අපේ පංතියට පොළොන්නරුව පැත්තෙ ඉඳලා ආපු ළමයෙක් හිටියා. එයා ඉගනගන්න ඉගනගන් හරි දක්ෂයි. ගුරුවරු අහන ප්‍රශ්නවලට නිතර උත්තර දුන්නා. ඉතිං පංතියේ ළමයි එයාට ඉරිසියා කරන්න ගත්තා. ගොඩක් අය එයාට කතා කරන්නෙ නැතිව හිටියා. මේ නිසා දවසින් දවස ඒ ළමයගේ මානසික මට්ටම පිරිහුණා. විභාග ප්‍රතිඵලත් පහළ බැස්සා. ඉතිං ඒ දේට මට දුක හිතුණා. පස්සෙ මං එයාට ලිව්වා එයාගෙ හිත හදන ලියුමක්. ඉන් පස්සෙ එයාගෙ හිත හැදුණා. අද ඔහු ඉංජිනේරුවෙක්. ආයෙ ලියුං කියලා දුන්නේ ඉතිං මගෙ මහත්තයට තමයි. ඇත්තටම ඒවනම් ලියුං නෙමෙයි පොත්." අපගේ කතාබහ අතරතුර ඒ කඩවසම් රූපකාය අප වෙත එනවා. 'මේ මගේ මහත්තයා' ඈ මට ඔහු හඳුවා දෙනවා. මා ආදරයෙන් පිළිගන්නා ඔහු ප්‍රදේශයේ ගොවියන් හසුවී ඇති ණය උගුලක් ගැන මට සැකවින් කියනවා - පසුව තවත් තොරතුරු කියන්නට පොරොන්දුවී ආයෙත් ඒ රූපකාය වෙනතකට ඇදෙනවා.

ඔහුට ඈ හමුවන්නේ ඈ උසස්පෙළට ඉගනගන්නා කාලයේදී ය. එතකොට ඈ හිටියේ කැකිරාවේ ඔහුගේ ආච්චි අම්මාගේ ගෙදර බෝඩිංවෙලා. එසේ නමුත් ඔහු සම්බන්ධයෙන් ඇගේ මතකයන් ඊට වඩා පැරණිය. ඈ කුඩා පංතිවලදී ඒ පාසලේම ඉහළ පංතිවල හිටි ඔහුගේ ආකර්ශනීය රූපය ඇගේ සිත්ගෙන තිබේ. "ඒ කාලෙ ලොකු පංතිවල හිටි ඒ ගොල්ල ඒ වයසෙ ගෑනු ළමයි දිහා මිස අපි වගේ පොඩි කෙල්ලො දිහා බලයියැ" ඈ හඬනගා සිනහ වෙනවා.

"අපෙ සම්බන්දෙට මුළදි ගෙදරින් කැමතිවුණේ නෑ. මට ඒකාලෙ තේ එකක්වත් හදාගන්න බෑනෙ. ඉතිං තාත්තලා ගොඩක් බය වුණා. ඒත් එදා මගේ ආදරේ පරමාදර්ශය වුණේ, මං කියවපු රුසියානු සුරංගනා කතාවක හිටපු, යකඩ හැරමිටි හතක් ගෙවෙනකන්, යකඩ සපත්තු හතක් ගෙවෙනකං, කාන්තාර හතක් පහුවෙනකං ඇවිද්ද ප්‍රේමවන්තිය..."

"ඔය කාලෙ වෙනකොට ම කොහොමෙන් කොහොමහරි ජනතා විමුක්ති පෙරමුණේ වැඩවලට මම සම්බන්ධ වුණා. ඇත්තටම ඒ අරගලෙන් එදා මං දැක්කෙ රුසියන් කතාවල කියවපු දේවල්." ඈ තවත් කතාවකට මුලපුරයි.

"මං ළඟත් තාත්ත ළඟත් මාක්ස්වාදී පොත් ගොඩක් තිබුණා. රටේ දේශපාලන තත්ත්වය නරක අතට හැරෙද්දි ඒවා හංගන්න අපි හිතුවා. ඔහොම හිතලා දවසක් මායි තාත්තයි තව කෙනෙකුයි එකතුවෙලා වත්ත පහළ වළක් කපල පොත් ටික වැළලුවා. ඒත් මේ වැඩේට අපිට අමතරව පිටස්තරයෙකුත් හිටපු එක ගැන පස්සෙ අපි හැමෝටම බය හිතුනා. ජීවිත බේරුණොත් ආයෙමත් පොත් ගමු කියලා තාත්තාතයි මායි එදා රෑ ම වළලපු පොත් ටික ගොඩඅරං ගිනි තිබ්බ... ඇත්තටම ඒක ශෝචනීය කාලයක්. එකපැත්තකින් අපිට නිකරුණේ මනුස්සයෙක් සැක කරන්න වුණා. අනිත් පැත්තෙන් අපි පණවගේ ආදරේ කළ පොත්පත් පවා ගිනි තියන්න සිද්ධ වුණා." ඕ සුසුමක් පිට කරයි. ඒ සුසුම යට ඇති බර මට දැනෙයි. ආයෙමත් කතාව.

"තාත්තට වාමාංශික අදහස් තිබුණට ජනතා විමුක්ති පෙරමුණ අරංගිය වැඩපිළිවෙළට එයා කැමති වුණේ නෑ. එයා හැමවෙලේ ම කිව්වේ මිනිස්සු බලහත්කාරෙන් අරං ගිහින් විප්ලව කරන්න බෑ, මේ දෙයින් වෙන්නෙ දෙපැත්තෙම අය නිකරුණේ මැරෙන එක විතරයි කියලා. ඒත් රැස්වීම් වලට අනිවාර්යයෙන් එන්ඩ ඕනෙ කියලා පණිවිඩ ලැබෙද්දි තාත්තටත් කඩේ වහලා ඒවට යන්ඩ වුණා. ඒවට මං හොරෙන් හොරෙන් යනව කියල දැනගත්තම ගෙදර අය ගොඩක් බය වුණා. මට මතකයි තාත්තට යන්ඩ වුණ ඒ වගේ රැස්වීමකට මාත් හොරෙන් ගිය විදිහ. මාව උඩ තට්ටුවේ කාමරේකට දාලා දොරවල් වහලයි එදා තාත්ත ගෙදරින් ගියෙ. ඒත් මට ඒ රැස්වීමට යන්ඩම හිතුණා. අන්තිමට මං කඹයක් දාලා උඩතට්ටුවෙන් බැහැලා මහ රෑ ඒ රැස්වීම තිබ්බ පිට්ටනියට ගියා. පිට්ටනියෙ පුරා ම මිනිස්සු වාඩිවෙලා හිටියා. තැන් තැන්වල ලස්සනට ලංතෑරුම් පත්තුකරලා තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ මට දැනුනෙ මං ඒ වෙලාවෙ ජීවත් වෙන්නෙ රුසියන් කතාවක කියලයිි."

ඈ අතීතය ස්මරණය කරනවා. මගෙ පරිකල්පනීය ලෝකයත් ඈ කියන ඉසව් කරා ගමන් කරනවා. ඒ ලන්තෑරුම් එළිය මේ දැනුත් ඇගෙ මූණ එළිය කරනවා මට පේනවා. "කොහොමහරි එදා රෑ තාත්තට කළිං ගෙදරට ඇවිත් නිදාගන්ඩ මට පුළුවං වුණා"

"හැබැයි ඊට පස්සෙ වුණ දෙයක් නම් මගෙ හිත තදින් කැළඹුවා. එදා තලාව පාර දිගේ ලොකු විරෝධතාවක් සංවිධානය වුණා. තාත්තට ඔය ගමනටත් යන්ඩ වුණා. කොහොමහරි මාත් හොරෙන් ගිහින් පිටිපස්සෙන් පෙළපාළියට එකතු වුණා. එහෙම එකතු වෙලා ටික දුරයි ඉස්සරහට යන්න පුළුවං වුණේ. පෙළපාළියට වෙඩි තිබ්බා. ඒ වෙඩිල්ලක් මං ළඟම හිටි ගෑනු ළමයට වැදුණ මං දැක්කා. එයාගෙ ලේ මයෙ ඇඟ පුරාම විසිරුණා. වෙඩි තියන බවවත් වෙඩි වදින බවවත් මම ඊට කළිං අත්විඳල තිබ්බෙ නෑ. කරකියාගන්න දෙයක් නැතිව මම එතනම ගල්ගැහුණා. ඒ වෙලාවෙ කවුදෝ මාව ඇදලා ඇරන් පාරෙන් එහා කැලෑවට තල්ලු කළා. එදා ලේ පෙරාගෙන ගෙදර යද්දි තාත්තත් ඇවිත්. වෙඩි තිවූ සිද්ධිය නිසා හැමෝම හොඳටම බයවෙලා මං ගැන." ඈ ඈ ඇගෙ කතාවට තවත් කරුණු එකතු කරනවා. "මටයි මල්ලිටයි අපෙ බාල නංගි ලැබෙන්නෙ ඔය කාලෙ. එයා අපිට වඩා අවුරුදු විස්සක් විතර බාලයි. ඇත්තටම ඒක මහ පුදුම සහගත කාලයක්. ජීවිතය ගැන බලාපොරොත්තු අතඇරලා දාද්දි ජීවිතය ගැන බලාපොරොත්තු ඇතිකරපු කාලයක්. මරණය ඔච්චර සුලභ වෙද්දි ජීවිතයත් පුදුම සහගත විදිහට දලු දාපු කාලයක්. කොහොමහරි ගෙදරින් එළියටවත් බහින්න බැරිව කොටුවෙලා හිටි මැදි වයසෙ මිනිස්සු ගොඩක් අයට අවුරුදු විස්සකට තිහකට පස්සේ ආයෙමත් ඔය කාලෙ දරුවො ලැබුණා."

ඒ තීරණාත්මක වෙඩි සිද්ධියෙන් පසු අනාගත ලේඛිකාවත් ඇගේ සහොදරයාත් ගෙදරින් පිටකර කැළණියේ නෑ ගෙදරක නවත්තන්න ඇගේ දෙමව්පියෝ පියවර ගන්නවා. ජයන්ත චන්ද්‍රසිරිගේ "අත්", ජයසේකර අපෝන්සුගේ "තටු" වැනි වේදිකා නාට්‍ය බලන්නට ඇයට භාග්‍ය හිමිවන්නෙ ඒ ගමනෙදි. ඒ විතරක් නෙමෙයි මේ හිතුවක්කාරකමින් පසු ඈ වෙත තවත් භාග්‍යයක් හිමිවෙනවා. ඒ යකඩ සපත්තු හතක් ගෙවෙන තුරාවට හරි ඇවිදින්න බලං හිටි ප්‍රේමවන්තයා විවාහ කරගන්නට ගෙදර උදවිය අවසර දිම. "මගේ හිතුවක්කාරකම් දරාගන්නම බැරි ම තැන, මාව එයාට බන්දලා දෙන්න ඊටපස්සෙ තාත්තලා කැමති වුණා."

"කසාද බඳිද්දි මට විසි එකයි. අපි කසාද බැඳලා ටික කාලෙකින් දරුවෙක් ලැබුණා. දරුව දෙන්නා වුණා. දෙන්නා තුන්දෙනා වුණා. ඒත් ඒ අය ඔක්කොම පිරිමි දරුවෝ. ඒ තුන්දෙනාගෙ ඇඳුම් හොදලා වැලේ වනද්දි ඔක්කොම තිබුණෙ කළිසං කමිස. ඉතිං ඒක දකිද්දි මගේ ඔළුව කැරකෙන්න ගත්තා. ඊළඟ ආත්ම ගැන විශ්වාස කරන්නේ නැති හින්දා මට මේ ආත්මෙදි ම දුවෙක් අවශ්‍ය වුණා. බැරිම තැන මං කඩෙන් ගවුමක් ගෙනල්ලා රෙදි හෝදද්දි ඒකත් හෝදලා පුතාලගෙ ඇඳුම් එක්ක වනන්න පටංගත්ත. එක දරුවෙක්වත් නැතිව ඉන්න දෙමව්පියෝ කොච්චර ඉන්නවාද? ඉතිං එහෙම හිතල කාලයක් යද්දි මං හිත හදාගත්තා. කොහොමහරි මට ආයෙමත් නිවුන්නු ලැබුණා. හැබැයි ඒ අයත් පුතාලමයි." ඈටම හිනා යයි. පුතුන් පස්දෙනෙක්ගෙන් යුත් ඒ කුටුම්බය පරිපූර්ණයි. ඒ සෙනෙහෙබර කුටුම්බයේ උණුසුම චමත්කාරජනකයි.

"මේ පළාතෙ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් කය වෙහෙසලා වැඩකරනවා. ඉතිං එහෙම තියෙද්දි ඒවට සහභාගී නොවී එකතැනට වෙලා පොත් ලියන එක ගැන අදටත් මට ඇතිවෙන්නෙ වරදකාරී හැඟීමක්. පවුල වෙනුවෙන් වෙන්න ඕනෙ හැම කටයුත්තක්ම සියයට සියයක් හරියටම කළත් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්ඩ මට අමාරුයි. එදිනෙදා ගෙදර දොර වැඩවලට මයෙ කාලෙ කොච්චර වැයවෙනවද කියනවනම්, ලියන්නත් කියවන්නත් මට තියෙන ලොකු ම අභියෝගෙ කාලෙ හොයාගන්න එක. ලියන එක මේ පළාතෙ මිනිස්සුන්ට ටිකක් අමුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. මං පොත් ලියනවා කියලා දැනගත්තට මං ලියන්නේ මොනවද කියලා දන්න අය අඩුයි. ඒත් මයෙ පොත් ටෙලිනාට්‍යවලට ආවයින් පස්සෙ දැන්නන් ටිකක් දන්නවා වගෙ." ඈ මේ කියන්නේ එක්තරා හුදකලා සිදුවීමක් පමණද? කියවීමේ පුරුද්දට රූපවාහිනිය ආදී නූතන රසවින්දන මාධ්‍ය ඇතිකළ විනාශයේ තරම පිළිබඳ පොදු යථාර්ථය ද ඒ වචන තුළ සැඟවී ඇතැයි මට සිතේ.

"මයෙ පොත්වලට සම්මාන හම්බවෙද්දි ගමේ මිනිස්සු මට උපහාර උළෙලක් පවත්තන්න ගියා. මං ඒකට තදින් විරුද්ධ වුණා. කුඹුරට හේනට වෙලා කාස්ටකේ දුක්විඳින මිනිස්සු හම්බුකරන තුට්ටුදෙකෙන් මං වෙනුවෙන් උපහාර උළෙලවල් පවත්තගන්ඩ මට අයිතියක් නෑ. මොකද මං දැනටමත් ඒ මිනිස්සුන්ගෙ කතා විකුණලා සල්ලි අරං තියෙනවා." ඇය කියයි. ඇය කිසිදා පුවත්පත්වලින් සම්මුඛ සාකච්ඡා - ප්‍රචාරණ නොයිල්ලයි. සාහිත්‍ය ලෝකයේ යාලුකම් ඇතිකරගන්නට වෙර නොගයි. ඒ සඳහා ඇයට වෙලාවක් ද නැත. ඇගේ වචනයන්වල ඇත්තේ හුදු අව්‍යාජත්වයේ පැහැය මිස තමං තම රූපයේ තවරාගන්නා වර්ණාවලියක් නොවන බව මට හොඳින්ම පැදිලියි. ඇත්තට ම මේ අව්‍යාජ ස්ත්‍රිය ලංකාවේ ලේඛිකාවක් ද - මම කල්පනාවට වැටෙනවා.

දරුවන් පස්දෙනෙක් ඇතුළු පවුලක වැඩ කන්දරාව ඉවර වුණාම ශාස්ත්‍රීය කටයුතු සඳහා ඇයට ඉතිරිවෙන්නේ ඉතා කෙටි කාලයක්. ඒ කාලයෙනුත් වැඩිමනක් තරුණ මහලු බේදයක් නැතිව ඈ හමුවන්නට අහළ පහළ ගෙවල්වලින් පැමිණෙන ගැහැනුන් මිනිසුන් වෙනුවෙන් වැයකරන්නට සිදුවෙයි. ඈ ඒ කාලය ඔවුන් වෙනුවෙන් වෙන්කරන්නේ ඉතා නිර්ලෝභීවය. ඇගේ නිර්මාණ දහරාවේ පුංචි පුංචි උල්පත් ඔවුන් ය.

'මොන දේ වුණත් මගේ ලිවීමේත් කියවීමේත් වේගෙ ටිකක් වැඩියි. ඒකයි මේ වෙනකොට පොත් විසිදෙකක් පළකරන්න පුළුවං වුණේ '- ඈ කියයි. ඈ වෙත තව ලියන්නට ඉතිරිව ඇති දේ ද බොහෝයි‐ මට හිතෙයි.

2015-11-22 රාවය
http://www.boondi.lk/article.php?ArtID=4831