Sunday, December 20, 2015

යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක


මහඉලුප්පල්ලම - සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායක මහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ආපහු පළාගිහින් තියෙනවා තමන්ගෙ මුල් ගම්බිම්වලටම. ඒ මහ උණ කියල ඒ ගැමියන් හඳුන්නපු මැලේරියාවට බයේ. ගොවිජනපදය පිහිටවපු කාලෙ මේ පළාතෙ මහඋණ තදින්ම පැතිරිලා තිබිලා තියෙනවා. "තත්ත්වෙ බැරෑරුම් වෙද්දි මිනිස්සුන්ව බලහත්කාරෙන් ගෙවල් ඇතුළට දාලා දොර වහලා- යතුර ඇතුළට දාලා ගෙවල් හැරනොයන ලෙස තර්ජනය කරන්න ආණ්ඩුවට වුණාලු" මං අහල තිබ්බ ඒ කතාවත් මයෙ මතකෙට එනවා.

සේනපුර, ගම්මාන කීපයකට බෙදෙනවා. ඒ යාය එක, යාය දෙක, යාය තුන ආදී වශයෙන්. ඒ බෙදිල්ල අහවර වෙන්නෙ යාය දහයෙන්. ඒත් මගේ ගමන නතර වෙන්නෙ යාය හතරෙන්. තොරක් නොමැති නියඟයත් දෙගොඩතලන මුරුගාසන වරුසාවත් අතර දිවිහරින ගැමියන්ගේ නිවාසත් ගොවිබිමුත් පහුකරගෙන ට්‍රැක් හතර හංදිය දිහාවට මං මගේ පුෂ් බයිසිිකලේ පාගනවා. සතිගාණක් තිස්සේ වැටෙන මහ වරුසාවට මේච්චල්වෙලා කුදුගැහුණු, දෙගොඩතලපු ඇළ බන්ට්ටෙක දෙපස තවමත් පණගහල හිනාවෙන "වරාමල්" මයෙ දෑස සනහනවා. මල් සුවඳ බලන්ඩ නතර වෙන්න මේ වෙලාවේ ඉඩක් නැතත් - මයෙ පරිකල්පනමය නාස්පුඩු ඒ සුවඳ අවුස්සනවා. ට්‍රැක් හතර හන්දියට ආ විගස මගේ ගමනාන්තය වන ඒ සුන්දර කුටුම්බය මුණගැහෙන බව මං දන්නවා. සිනා මුසු මූණින් ඒ කුටුම්බයේ මව - අපූරු ලේඛිකාව මයෙ ඇස් අසුනක් දිහාවට මේ දැන් යොමු කරනවා.

"අපෙ කිරිඅම්මලාගෙ පරම්පරාව තමයි මෙහෙට ඇවිත් පදිංචි වෙන්නෙ. ඒ අපේ අම්මලා තාත්තලාත් වඩාගෙන. ගොඩක් මිනිස්සු තමන්ට ලැබුණ ඉඩම් අතහැරලා ඒ කාලෙම ආයෙත් ගම්බිම්වලටම ගියත් කිරිඅම්මලත් අපෙ අම්මල තාත්තලත් මෙහෙටම මුල්බහිනවා" මං දන්න කතාවට ම ඈ ඇගේ කෑල්ලත් එකතුකරනවා.

"කිරි අම්මලෑ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට වැඩි ඈතක නෙමෙයි. මට අවුරුද්දකට විතර පස්සෙ මල්ලි ඉපදෙද්දි, මාවත් මල්ලිවත් බලාගන්න අම්මට තිබ්බ අපහසුව මාව යොමු කළේ ඒ අපූරු ගැමි ගෙදරට. ඒක සාම්ප්‍රදායික ගොවි ගෙදරක්. කිරිඅම්මලා හේනේ කුඹුරේ වත්තෙ පිටියෙ හරි හරියට වැඩ කරපු උදවිය. ඉතිං පරිසරයට බද්ධ වෙලා ඉන්න මටත් පුළුවං වුණා. අපේ ගෙදර තිබ්බ ව්‍යාපාරික පරිසරයට හාත්පසින්ම වෙනස් සුන්දර ගැමි පරිසරයක් තමයි එහෙ තිබ්බෙ" කුඩා කාලෙ ඇය අත්වින්ද ඒ අතීත චමත්කාරය ඇගෙ මූණෙ දැනුත් ඇඳෙනවා මට පේනවා.

"ලියන්න කියවන්න පුළුවං වයසෙ ඉඳන් වැඩිපුර දවස ගෙවුනෙ පොත් පත්තර එක්ක. තාත්ත ව්‍යාපාරිකයෙක් වුණත් හොඳට පොතපත කියෙව්වා. හැමදාම පත්තරේ ගන්නවා කඩේට. කටියාව පුස්තකාලෙත් මට ලොකු ප්‍රයෝජනයක්. ඒ කාලෙ තදින්ම බලපෑවෙ රුසියානු පරිවර්තන. ඒවා මිනිස්සුන්ගෙ මානව දයාව පුදුමවිදිහට අවුලනවා. මං පොත් කියවද්දි, ලියන්න උත්සාහකරද්දි කිරිඅම්මලා එච්චර කැමති වුණේ නෑ. ඉතිං ඒ කාලෙ සමහර වෙලාවට මං කියෙව්වෙ වත්ත පහළ තිබ්බ ලොකු අඹගහක් උඩට නැගලා නොපෙනෙන්ඩ. ඒත් තාත්තගෙ ඇසුර නිසා සම්මතය ප්‍රශ්න කරන්ඩ පුංචි කාලෙ ඉඳන් මට හුරු වුණා. අම්මලාගේ අදහස් එක්ක පොඩි පොඩි ගැටුම් ඇතිවෙද්දි ගොඩක් වෙලාවට තාත්ත මයෙ පැත්තට ඉන්නවා" ඇයටත් හොරෙන් මයෙ දෑස් ඇගෙ නිවසෙ බිත්තියක් දිහාවට යොමුවෙනවා. ඒ බිත්තෙියේ භක්තියෙන් එල්ලලා තිබ්බ තාත්තෙක්ගෙ පින්තූරෙ ඇතුළෙ මං ඇගේ මූණුවර හොයනවා.

"කටියාව යායහය දුටුගැමුණු විද්‍යාලයෙන් කැකිරාව මධ්‍යමහා විද්‍යාලෙට මාරුවෙලා හොස්ටල් එකේ නතරවුණාමයි මට මං ජීවත්වෙන ගමේ වෙනස තේරුණේ. මොකද සතිඅන්තෙ ගෙවල්වලට යන ළමයි ආයෙත් ඇවිත් තමන්ගේ ගම් ගැන කියනවා. ඒ අය කියන කතා අහලා මං නිතර කල්පනා කරනවා අපේ ගමේ ඒ අය කියන අව්‍යාජ ලෙංගතු ගැමිකමක් නැද්ද කියලා. මොකද මේක විවිධ ප්‍රදේශවලින් ආපු මිනිස්සු පදිංචිවුණ ගමක්. ලොකු ඥාති පිරිසක් හිටියෙ නෑ. මිනිස්සු එකිනෙකා සමග ලොකු සම්බන්ධකම් තිබුණෙ නෑ... කුල මළ බේදෙ වුණත් ඒ කාලෙ තදින්ම තිබ්බා. විශේෂයෙන් නුවර පළාතෙන් ඇවිත් පදිංචිවුණ අය ඒක වැඩියෙන් අරන් ගියා. වෙන කුලවල අය ගෙදරට ආවම ඉඳගන්න තැනක්වත් දුන්නෙ නෑ. මට මතකයි අපෙ පවුලෙ අය ගාව වුණත් ඔය අදහස් තිබ්බා. ඒත් මං පුංචි කාලෙම ඒවට තදින් විරුද්ධ වුණා. ගම පිළිබඳව පුංචි කාලෙ මට තදින් දැනුන ඒ චූල සංස්කෘතිය ගැන තමයි පස්සෙකාලෙක මං මයෙ වරාමල් නවකතාවත් ලියන්නෙ." ඈ දශක කිහිපයක් ඉදිරියට මා එකවැර ඔසවා තබයි. එසේ නමුත් ඒ අතර අතීතයේ මට දැනගතයුතු - මගේ කුතුහලය අවුස්සන කාරණා රාශියක් තිබේ. මම නැවතත් ඒ අතීතෙට සන් කරනවා.

"පොත් කියවන ආසාවත්, තාත්තගෙ පෙළඹවීමත් නිසා පොඩි කාලෙ ඉඳන් ම මං විවිධ දේ ලිව්වා. ඒ කාලෙ ලයිට් තිබුණෙ නෑනෙ. ලාම්පුව ළඟට වෙලා මං කවියක් කෙටිකතාවක් ලියද්දි තාත්ත රෑ කීය වෙනකම් හරි ඇහැරිලා ඉන්නවා ඒක කියවන්න. මම ලියපු හැම දෙයක ම මුල් පාඨකයා එයා. ඒ කාලෙ ලිව් දේවල් එච්චර හොඳ නෑ. ඒත් තාත්තා ඒවා කියවලා මට ගොඩක් ප්‍රශංසා කළා. කැකිරාවෙ හොස්ටල් එකේ ඉද්දිත් මට ලියන්න පුළුවං කියල ගොඩක් ළමයි දන්නවා. ඉතිං ලොකු පංතිවල ගෑනු ළමයි මට කියලා පුංචි පුංචි කවි, ආදර ලිවුම් එහෙම ලියාගන්නවා. ඒ අය ඒ වෙනුවට මට චොක්ලට් ගෙනත් දෙනවා. සමහරවෙලාවට කඩචෝරු කන්න සල්ලි දෙනවා. ඉතිං මං රසබර වදන් දාලා ඒව ලියල දෙනවා." ඇගේ මූණට එළිය වැටෙනවා. දෙතොළග හීන් හිනාවක් ඇඳෙනවා. ඉතිං 'ඒ සුන්දර අතීතෙදි ඒ රසබරවදන් වලින් තමන්ටම කියල වැඩක් ගන්න බැරිවුණාද' කියලා නාහා ඉන්න මට බැරි වෙනවා.

"ඇත්තටම ඒ කාලෙ මං හිටියෙ හයේ හතේ පංතිවල. මගෙ ලෝකෙ පිරිලා තිබ්බෙ පොත්පත්වලින් විතරයි. මං ඒකාලෙ පිරිමි ළමයෙක්ට කියලා ලිව්වේ එකම ලියුමයි. ඒකත් ආදර ලිවුමක් නෙමෙයි. අපේ පංතියට පොළොන්නරුව පැත්තෙ ඉඳලා ආපු ළමයෙක් හිටියා. එයා ඉගනගන්න ඉගනගන් හරි දක්ෂයි. ගුරුවරු අහන ප්‍රශ්නවලට නිතර උත්තර දුන්නා. ඉතිං පංතියේ ළමයි එයාට ඉරිසියා කරන්න ගත්තා. ගොඩක් අය එයාට කතා කරන්නෙ නැතිව හිටියා. මේ නිසා දවසින් දවස ඒ ළමයගේ මානසික මට්ටම පිරිහුණා. විභාග ප්‍රතිඵලත් පහළ බැස්සා. ඉතිං ඒ දේට මට දුක හිතුණා. පස්සෙ මං එයාට ලිව්වා එයාගෙ හිත හදන ලියුමක්. ඉන් පස්සෙ එයාගෙ හිත හැදුණා. අද ඔහු ඉංජිනේරුවෙක්. ආයෙ ලියුං කියලා දුන්නේ ඉතිං මගෙ මහත්තයට තමයි. ඇත්තටම ඒවනම් ලියුං නෙමෙයි පොත්." අපගේ කතාබහ අතරතුර ඒ කඩවසම් රූපකාය අප වෙත එනවා. 'මේ මගේ මහත්තයා' ඈ මට ඔහු හඳුවා දෙනවා. මා ආදරයෙන් පිළිගන්නා ඔහු ප්‍රදේශයේ ගොවියන් හසුවී ඇති ණය උගුලක් ගැන මට සැකවින් කියනවා - පසුව තවත් තොරතුරු කියන්නට පොරොන්දුවී ආයෙත් ඒ රූපකාය වෙනතකට ඇදෙනවා.

ඔහුට ඈ හමුවන්නේ ඈ උසස්පෙළට ඉගනගන්නා කාලයේදී ය. එතකොට ඈ හිටියේ කැකිරාවේ ඔහුගේ ආච්චි අම්මාගේ ගෙදර බෝඩිංවෙලා. එසේ නමුත් ඔහු සම්බන්ධයෙන් ඇගේ මතකයන් ඊට වඩා පැරණිය. ඈ කුඩා පංතිවලදී ඒ පාසලේම ඉහළ පංතිවල හිටි ඔහුගේ ආකර්ශනීය රූපය ඇගේ සිත්ගෙන තිබේ. "ඒ කාලෙ ලොකු පංතිවල හිටි ඒ ගොල්ල ඒ වයසෙ ගෑනු ළමයි දිහා මිස අපි වගේ පොඩි කෙල්ලො දිහා බලයියැ" ඈ හඬනගා සිනහ වෙනවා.

"අපෙ සම්බන්දෙට මුළදි ගෙදරින් කැමතිවුණේ නෑ. මට ඒකාලෙ තේ එකක්වත් හදාගන්න බෑනෙ. ඉතිං තාත්තලා ගොඩක් බය වුණා. ඒත් එදා මගේ ආදරේ පරමාදර්ශය වුණේ, මං කියවපු රුසියානු සුරංගනා කතාවක හිටපු, යකඩ හැරමිටි හතක් ගෙවෙනකන්, යකඩ සපත්තු හතක් ගෙවෙනකං, කාන්තාර හතක් පහුවෙනකං ඇවිද්ද ප්‍රේමවන්තිය..."

"ඔය කාලෙ වෙනකොට ම කොහොමෙන් කොහොමහරි ජනතා විමුක්ති පෙරමුණේ වැඩවලට මම සම්බන්ධ වුණා. ඇත්තටම ඒ අරගලෙන් එදා මං දැක්කෙ රුසියන් කතාවල කියවපු දේවල්." ඈ තවත් කතාවකට මුලපුරයි.

"මං ළඟත් තාත්ත ළඟත් මාක්ස්වාදී පොත් ගොඩක් තිබුණා. රටේ දේශපාලන තත්ත්වය නරක අතට හැරෙද්දි ඒවා හංගන්න අපි හිතුවා. ඔහොම හිතලා දවසක් මායි තාත්තයි තව කෙනෙකුයි එකතුවෙලා වත්ත පහළ වළක් කපල පොත් ටික වැළලුවා. ඒත් මේ වැඩේට අපිට අමතරව පිටස්තරයෙකුත් හිටපු එක ගැන පස්සෙ අපි හැමෝටම බය හිතුනා. ජීවිත බේරුණොත් ආයෙමත් පොත් ගමු කියලා තාත්තාතයි මායි එදා රෑ ම වළලපු පොත් ටික ගොඩඅරං ගිනි තිබ්බ... ඇත්තටම ඒක ශෝචනීය කාලයක්. එකපැත්තකින් අපිට නිකරුණේ මනුස්සයෙක් සැක කරන්න වුණා. අනිත් පැත්තෙන් අපි පණවගේ ආදරේ කළ පොත්පත් පවා ගිනි තියන්න සිද්ධ වුණා." ඕ සුසුමක් පිට කරයි. ඒ සුසුම යට ඇති බර මට දැනෙයි. ආයෙමත් කතාව.

"තාත්තට වාමාංශික අදහස් තිබුණට ජනතා විමුක්ති පෙරමුණ අරංගිය වැඩපිළිවෙළට එයා කැමති වුණේ නෑ. එයා හැමවෙලේ ම කිව්වේ මිනිස්සු බලහත්කාරෙන් අරං ගිහින් විප්ලව කරන්න බෑ, මේ දෙයින් වෙන්නෙ දෙපැත්තෙම අය නිකරුණේ මැරෙන එක විතරයි කියලා. ඒත් රැස්වීම් වලට අනිවාර්යයෙන් එන්ඩ ඕනෙ කියලා පණිවිඩ ලැබෙද්දි තාත්තටත් කඩේ වහලා ඒවට යන්ඩ වුණා. ඒවට මං හොරෙන් හොරෙන් යනව කියල දැනගත්තම ගෙදර අය ගොඩක් බය වුණා. මට මතකයි තාත්තට යන්ඩ වුණ ඒ වගේ රැස්වීමකට මාත් හොරෙන් ගිය විදිහ. මාව උඩ තට්ටුවේ කාමරේකට දාලා දොරවල් වහලයි එදා තාත්ත ගෙදරින් ගියෙ. ඒත් මට ඒ රැස්වීමට යන්ඩම හිතුණා. අන්තිමට මං කඹයක් දාලා උඩතට්ටුවෙන් බැහැලා මහ රෑ ඒ රැස්වීම තිබ්බ පිට්ටනියට ගියා. පිට්ටනියෙ පුරා ම මිනිස්සු වාඩිවෙලා හිටියා. තැන් තැන්වල ලස්සනට ලංතෑරුම් පත්තුකරලා තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ මට දැනුනෙ මං ඒ වෙලාවෙ ජීවත් වෙන්නෙ රුසියන් කතාවක කියලයිි."

ඈ අතීතය ස්මරණය කරනවා. මගෙ පරිකල්පනීය ලෝකයත් ඈ කියන ඉසව් කරා ගමන් කරනවා. ඒ ලන්තෑරුම් එළිය මේ දැනුත් ඇගෙ මූණ එළිය කරනවා මට පේනවා. "කොහොමහරි එදා රෑ තාත්තට කළිං ගෙදරට ඇවිත් නිදාගන්ඩ මට පුළුවං වුණා"

"හැබැයි ඊට පස්සෙ වුණ දෙයක් නම් මගෙ හිත තදින් කැළඹුවා. එදා තලාව පාර දිගේ ලොකු විරෝධතාවක් සංවිධානය වුණා. තාත්තට ඔය ගමනටත් යන්ඩ වුණා. කොහොමහරි මාත් හොරෙන් ගිහින් පිටිපස්සෙන් පෙළපාළියට එකතු වුණා. එහෙම එකතු වෙලා ටික දුරයි ඉස්සරහට යන්න පුළුවං වුණේ. පෙළපාළියට වෙඩි තිබ්බා. ඒ වෙඩිල්ලක් මං ළඟම හිටි ගෑනු ළමයට වැදුණ මං දැක්කා. එයාගෙ ලේ මයෙ ඇඟ පුරාම විසිරුණා. වෙඩි තියන බවවත් වෙඩි වදින බවවත් මම ඊට කළිං අත්විඳල තිබ්බෙ නෑ. කරකියාගන්න දෙයක් නැතිව මම එතනම ගල්ගැහුණා. ඒ වෙලාවෙ කවුදෝ මාව ඇදලා ඇරන් පාරෙන් එහා කැලෑවට තල්ලු කළා. එදා ලේ පෙරාගෙන ගෙදර යද්දි තාත්තත් ඇවිත්. වෙඩි තිවූ සිද්ධිය නිසා හැමෝම හොඳටම බයවෙලා මං ගැන." ඈ ඈ ඇගෙ කතාවට තවත් කරුණු එකතු කරනවා. "මටයි මල්ලිටයි අපෙ බාල නංගි ලැබෙන්නෙ ඔය කාලෙ. එයා අපිට වඩා අවුරුදු විස්සක් විතර බාලයි. ඇත්තටම ඒක මහ පුදුම සහගත කාලයක්. ජීවිතය ගැන බලාපොරොත්තු අතඇරලා දාද්දි ජීවිතය ගැන බලාපොරොත්තු ඇතිකරපු කාලයක්. මරණය ඔච්චර සුලභ වෙද්දි ජීවිතයත් පුදුම සහගත විදිහට දලු දාපු කාලයක්. කොහොමහරි ගෙදරින් එළියටවත් බහින්න බැරිව කොටුවෙලා හිටි මැදි වයසෙ මිනිස්සු ගොඩක් අයට අවුරුදු විස්සකට තිහකට පස්සේ ආයෙමත් ඔය කාලෙ දරුවො ලැබුණා."

ඒ තීරණාත්මක වෙඩි සිද්ධියෙන් පසු අනාගත ලේඛිකාවත් ඇගේ සහොදරයාත් ගෙදරින් පිටකර කැළණියේ නෑ ගෙදරක නවත්තන්න ඇගේ දෙමව්පියෝ පියවර ගන්නවා. ජයන්ත චන්ද්‍රසිරිගේ "අත්", ජයසේකර අපෝන්සුගේ "තටු" වැනි වේදිකා නාට්‍ය බලන්නට ඇයට භාග්‍ය හිමිවන්නෙ ඒ ගමනෙදි. ඒ විතරක් නෙමෙයි මේ හිතුවක්කාරකමින් පසු ඈ වෙත තවත් භාග්‍යයක් හිමිවෙනවා. ඒ යකඩ සපත්තු හතක් ගෙවෙන තුරාවට හරි ඇවිදින්න බලං හිටි ප්‍රේමවන්තයා විවාහ කරගන්නට ගෙදර උදවිය අවසර දිම. "මගේ හිතුවක්කාරකම් දරාගන්නම බැරි ම තැන, මාව එයාට බන්දලා දෙන්න ඊටපස්සෙ තාත්තලා කැමති වුණා."

"කසාද බඳිද්දි මට විසි එකයි. අපි කසාද බැඳලා ටික කාලෙකින් දරුවෙක් ලැබුණා. දරුව දෙන්නා වුණා. දෙන්නා තුන්දෙනා වුණා. ඒත් ඒ අය ඔක්කොම පිරිමි දරුවෝ. ඒ තුන්දෙනාගෙ ඇඳුම් හොදලා වැලේ වනද්දි ඔක්කොම තිබුණෙ කළිසං කමිස. ඉතිං ඒක දකිද්දි මගේ ඔළුව කැරකෙන්න ගත්තා. ඊළඟ ආත්ම ගැන විශ්වාස කරන්නේ නැති හින්දා මට මේ ආත්මෙදි ම දුවෙක් අවශ්‍ය වුණා. බැරිම තැන මං කඩෙන් ගවුමක් ගෙනල්ලා රෙදි හෝදද්දි ඒකත් හෝදලා පුතාලගෙ ඇඳුම් එක්ක වනන්න පටංගත්ත. එක දරුවෙක්වත් නැතිව ඉන්න දෙමව්පියෝ කොච්චර ඉන්නවාද? ඉතිං එහෙම හිතල කාලයක් යද්දි මං හිත හදාගත්තා. කොහොමහරි මට ආයෙමත් නිවුන්නු ලැබුණා. හැබැයි ඒ අයත් පුතාලමයි." ඈටම හිනා යයි. පුතුන් පස්දෙනෙක්ගෙන් යුත් ඒ කුටුම්බය පරිපූර්ණයි. ඒ සෙනෙහෙබර කුටුම්බයේ උණුසුම චමත්කාරජනකයි.

"මේ පළාතෙ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් කය වෙහෙසලා වැඩකරනවා. ඉතිං එහෙම තියෙද්දි ඒවට සහභාගී නොවී එකතැනට වෙලා පොත් ලියන එක ගැන අදටත් මට ඇතිවෙන්නෙ වරදකාරී හැඟීමක්. පවුල වෙනුවෙන් වෙන්න ඕනෙ හැම කටයුත්තක්ම සියයට සියයක් හරියටම කළත් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්ඩ මට අමාරුයි. එදිනෙදා ගෙදර දොර වැඩවලට මයෙ කාලෙ කොච්චර වැයවෙනවද කියනවනම්, ලියන්නත් කියවන්නත් මට තියෙන ලොකු ම අභියෝගෙ කාලෙ හොයාගන්න එක. ලියන එක මේ පළාතෙ මිනිස්සුන්ට ටිකක් අමුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. මං පොත් ලියනවා කියලා දැනගත්තට මං ලියන්නේ මොනවද කියලා දන්න අය අඩුයි. ඒත් මයෙ පොත් ටෙලිනාට්‍යවලට ආවයින් පස්සෙ දැන්නන් ටිකක් දන්නවා වගෙ." ඈ මේ කියන්නේ එක්තරා හුදකලා සිදුවීමක් පමණද? කියවීමේ පුරුද්දට රූපවාහිනිය ආදී නූතන රසවින්දන මාධ්‍ය ඇතිකළ විනාශයේ තරම පිළිබඳ පොදු යථාර්ථය ද ඒ වචන තුළ සැඟවී ඇතැයි මට සිතේ.

"මයෙ පොත්වලට සම්මාන හම්බවෙද්දි ගමේ මිනිස්සු මට උපහාර උළෙලක් පවත්තන්න ගියා. මං ඒකට තදින් විරුද්ධ වුණා. කුඹුරට හේනට වෙලා කාස්ටකේ දුක්විඳින මිනිස්සු හම්බුකරන තුට්ටුදෙකෙන් මං වෙනුවෙන් උපහාර උළෙලවල් පවත්තගන්ඩ මට අයිතියක් නෑ. මොකද මං දැනටමත් ඒ මිනිස්සුන්ගෙ කතා විකුණලා සල්ලි අරං තියෙනවා." ඇය කියයි. ඇය කිසිදා පුවත්පත්වලින් සම්මුඛ සාකච්ඡා - ප්‍රචාරණ නොයිල්ලයි. සාහිත්‍ය ලෝකයේ යාලුකම් ඇතිකරගන්නට වෙර නොගයි. ඒ සඳහා ඇයට වෙලාවක් ද නැත. ඇගේ වචනයන්වල ඇත්තේ හුදු අව්‍යාජත්වයේ පැහැය මිස තමං තම රූපයේ තවරාගන්නා වර්ණාවලියක් නොවන බව මට හොඳින්ම පැදිලියි. ඇත්තට ම මේ අව්‍යාජ ස්ත්‍රිය ලංකාවේ ලේඛිකාවක් ද - මම කල්පනාවට වැටෙනවා.

දරුවන් පස්දෙනෙක් ඇතුළු පවුලක වැඩ කන්දරාව ඉවර වුණාම ශාස්ත්‍රීය කටයුතු සඳහා ඇයට ඉතිරිවෙන්නේ ඉතා කෙටි කාලයක්. ඒ කාලයෙනුත් වැඩිමනක් තරුණ මහලු බේදයක් නැතිව ඈ හමුවන්නට අහළ පහළ ගෙවල්වලින් පැමිණෙන ගැහැනුන් මිනිසුන් වෙනුවෙන් වැයකරන්නට සිදුවෙයි. ඈ ඒ කාලය ඔවුන් වෙනුවෙන් වෙන්කරන්නේ ඉතා නිර්ලෝභීවය. ඇගේ නිර්මාණ දහරාවේ පුංචි පුංචි උල්පත් ඔවුන් ය.

'මොන දේ වුණත් මගේ ලිවීමේත් කියවීමේත් වේගෙ ටිකක් වැඩියි. ඒකයි මේ වෙනකොට පොත් විසිදෙකක් පළකරන්න පුළුවං වුණේ '- ඈ කියයි. ඈ වෙත තව ලියන්නට ඉතිරිව ඇති දේ ද බොහෝයි‐ මට හිතෙයි.

2015-11-22 රාවය
http://www.boondi.lk/article.php?ArtID=4831

Sunday, November 22, 2015

අපි ඇහැරුණේ සීලිමේ බෝම්බෙ පිපිරුණාම



සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘ
මහාචාර්ය කේ.එන්. ඕ ධර්මදාස


ගම් පළාතින්ම කතාව පටන්ගත්තොත්?

මම උපන්නෙ ගම්පහ ඔරුතොට කියන ගමේ. ඔරුතොට කියන්නෙ පැරණි ගමක්. කෝට්ටේ යුගයේ යම් යම් යුද්ධමය කටයුතු ගැන කියද්දි මේ ගම ගැන ස`දහන් වෙනවා. ගමට ටිකක් එහායින් තියෙනවා කෝට්ටේගොඩ කියලා පංසලක්. කෝට්ටේ කියන්නේ බළකොටුව කියන එකනෙ. ඒ කාලේ මේ ගම් පියස යු`ධ බලකොටුවක් විදිහට පාවිච්චි වෙන්ඩ ඇති.
තාත්තා ව්‍යාපාරිකයෙක්. තාත්ත ඉපදිලා තියෙන්නෙ ගම්පහ නගරයේ ම. අම්ම ඇඹරලූවෙ. එයා වික‍්‍රමාරච්චි කෙනෙක්. වික‍්‍රමාරච්චි වෙදමහත්තයගෙ එහෙම නෑයො.
අපේ ගෙදර තිබ්බේ වෙල්යායකට මුහුණපාපු ලස්සන ක`දු බෑවුමක තිබ්බ අක්කර දහයක විතර ඉඩමක. හරිම සුන්දර පරිසරයක්. කන්ද පාමුලින් ගලාගිය කුඩා ඔය කාලෙ අත්දැකීම් සිහිකරද්දි නිතර මතක් වෙනවා.
මට වැඩිමහලූ සහෝදරයො දෙන්නෙක් හිටියා. මං පවුලේ තුන්වෙනියා. බාල සහෝදරයෝ දෙන්නයි, බාල සහෝදරියො තුන්දෙනයි. ඔක්කොම අටක්.
වර්තමාන ජනාධිපතිතුමාගෙ පියාගෙ ගමත් ඔරුතොටනෙ. ගමේ සීයට අනූවක් විතර හිටියේ පල්ලෙවත්ත ගමරාළ කියන අය. මයෙ තාත්තගෙ නංගි කෙනෙකුත් පල්ලෙවත්තේ ගමරාළලාගේ කෙනෙක් විවාහ කරං හිටියා. අපි පුංචි කාලෙ ගමේ හිටිය තවත් වැදගත් කෙනෙක් තමයි පී.ජී.පේ‍්‍රමරත්න කියන කවියා. මට මතකයි ඔහු අල්විස් පෙරේරලා එක්ක එහෙම සම්බන්ධ වෙලා කවි ලියනවා. එතුමා පස්සෙ කාලෙක ඔරුතොට ගම්මුලෑදෑනියා වුණා.


පාසල් ගමන පිළිබ`ද මතකයන් එහෙම කොහොමද?

මං මුලින්ම ඉස්කෝලෙ ගියේ ගම්පහ බෞද්ධ පිරිමි පාසලට. ඒක පරම විඥාර්ථ බෞද්ධ සමාගමට අයිති පාසලක්. ගෙදර ඉ`දන් ඉස්කෝලෙට දුර කිලෝමීටර් දෙකක් විතර. අපි සමහර දාට ඉස්කෝලෙ ගියේ තාත්තගෙ කරත්තෙන්. එයා ව්‍යාපාරිකයෙක් හින්දා ඔහුට කරත්තයක් තිබ්බා. කරත්තෙ නැතිදාට අපි ගුරු පාර දිගේ ඉස්කෝලෙට පයින්ම යනවා.
බෞද්ධෙන් ගියා ගම්පහ ද්විතීයික ජ්‍යෙෂ්ඨ ඉංග‍්‍රීසි පාසලට. පස්සෙ කාලෙක මහවිද්‍යාල කිව්වේ ඒ වගේ ඉස්කෝලවලටනෙ. ඒත් අපේ කාලෙ ඒවට කිව්වේ සීනියර් සෙකන්ඩි‍්‍ර ස්කූල් කියලා. අද බණ්ඩාරනායක විද්‍යාලය කියන්නෙ ගම්පහ ද්විතීයික ජ්‍යෙෂ්ඨෙට. ඒ ඉස්කෝලෙන් තමයි මං ඉංග‍්‍රීසි ඉගනගත්තෙ. ගම්පහ ද්විතීයික ජ්‍යෙෂ්ඨ ඉංග‍්‍රීසි පාසලෙන් ජ්‍යෙෂ්ඨෙට ඉ`දගත්තු මයෙ ප‍්‍රතිඵල ගොඩක් හො`ද වුණා. මට හො`දට ඉගනගන්න පුළුවන්ය කියලා තාත්තලා මාව කොළඹ නාලන්දෙට දැම්මේ ඉන්පස්සෙ. කොහොමෙන් කොහොමහරි, එක්දහස් නවසිය පණස් නවයෙ සරසවි පිවිසුම් පෙළ සමත්  වෙලා නාලන්දෙන් විශ්වවිද්‍යාල කලා පීීඨයට ඇතුල් වුණේ මං විතරයි.


ඒ වෙනකොට පේරාදෙණියෙ ස්වර්ණමය යුගය කියලා හ`දුන්වන කාලෙනෙ. ඉතිං විශ්වවිද්‍යාලෙ අත්දැකීම් එහෙම කොහොමද?

ඒකාලෙ ලංකාවටම තිබ්බෙ එක විශ්වවිද්‍යාලයයි. ඇපි ඇතුල්වෙන කාලෙ විශ්වවිද්‍යාලය පේරාදෙණියෙ තිබ්බත් ඒක හැ`දින්නුවේ ලංකා විශ්වවිද්‍යාලය කියලා.
ඇත්තටම  ඕක වෙන්නෙ මෙහෙමයි. ශ‍්‍රීමත් අයිවර් ජෙනින්ස් ලංකා විශ්වවිද්‍යාලය පටංගත්තෙ එක්දහස් නවසිය හතළිස් දෙකේ. එතකොට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තීරණය කරලා තිබ්බා ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ පේරාදෙණියේ කියලා. නමුත් හතළිස් දෙක වෙදිදි පේරාදෙණිය ගොඩනගලා තිබ්බේ නෑනෙ. ඉතිං පේරාදෙණියේ ඉදිකිරීම් ඉවර කරනකම් ලංකා විශ්වවිද්‍යාලය තාවකාලිකව ආරම්භ කළේ කොළඹ. පේරාදෙණිය ගොඩනගලා ඉවරවුණාම ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනාවා. ඒත් ඒකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා කිව්වෙ නෑ. එහෙම කියන්ඩ පටන්ගත්තේ පසුකාලීනව විදේ‍යා්දය, විද්‍යාලංකාර සහ කොළඹ විශ්වවිද්‍යාලය වගේ වෙනත් විශ්වවිද්‍යාල පටන්ගත්තම.
අපේ කාලෙ විභාග හරි සැරයි. ඒවා බොහෝම නීත්‍යානුකූල විදිහටයි වුණේ.  ඉතිං ගොඩක් අය මුල් අවුරුද්දෙ ජීඒකියු අසමත් වෙනවා. එහෙම අසමත් වුණාම ආයෙ ලියනවානම් විශ්වවිද්‍යාලෙන් පිට ඉ`දන් ලියන්න  ඕනෙ. හැබැයි ඒකාලෙ අද වගේ නෙමෙයි. මුල් අවුරුද්දෙ ශිෂ්‍යයින්ට උගන්නන්න ඒ කාලෙ දාන්නේ ඒ ඒ අංශවල ඉන්න හො`දම ආචාර්යවරු. ජීඒකියුවලට මං කළේ සිංහලයි, බටහිර ඉතිහාසයයි, ආර්ථික විද්‍යාවයි. කොහොමහරි මන්නම් හැටේදි ජීඒකියු පාස්. අන්තිමට මම සිංහල විෂය තෝරගත්තා.
එතකොට සිංහල අංශයේ මහාචාර්යවරයාව හිටියේ ඞීඊ හෙට්ටිආරච්චි. එතුමා සිංහල, පාළි, සංස්කෘත, ප‍්‍රාකෘත ආදී භාෂා දහතුනක් දන්න ශ්‍රේෂ්ඨ ප`ඩිවරයෙක්. එදිරිවීර සරච්චන්ද්‍රට සිංහල අංශයේ මහාචාර්ය කමක් ලැබෙන්නෙත් ඔය කාලෙමයි.


අයිවර් ජෙනින්ස්ගැන එහෙම ඔය කාලෙ අත්දැකීම් තිබ්බද? 

මං විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන කාලෙ වන විට අයිවර් ජෙනින්ස් විශ්වවිද්‍යාල උපකුලපතිකමින් අයින් වෙලා. මොකද එතුමාට කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලෙ උපකුලපතිකම ලැබුණා. අපි ඇතුල්වෙද්දි උපකුලපතිවරයා විදිහට කටයුතු කළේ ශ‍්‍රීමත් නිකලස් ආටිගල. නමුත් අයිවර් ජෙනින්ස් ඉ`දහිට විශ්වවිද්‍යාලයට ආවා ගියා. කොහොම වුණත් අපිට එතුමා දැකගන්න භාග්‍ය තිබුණා විතරක් නෙමෙයි ඔහු අරංගිය විශිෂ්ඨ අධ්‍යාපන සම්ප‍්‍රදායන් අත්දකින්නත් පුළුවන්කම තිබ්බා.
අයිවර්ජෙනින්ස්ට  ඕනෙ වුණේ ලංකා විශ්වවිද්‍යාලය ලෝකෙ තියෙන හො`දම විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න. ඒ ස`දහා ඔහු විවිධාකාරයෙන් මහන්සි වුණා. එතනදි එතුමා ගත්ත වැදගත්ම පියවරක් තමයි අවසාන විභාගවලට ශිෂ්‍යයින් ලියපු උත්තරපත‍්‍ර කේම්බි‍්‍රජ්, ඔක්ස්ෆර්ඞ්, මැන්චෙස්ටර්වගේ එංගලන්තෙ තිබ්බ ඉහළම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට යවලා ඔවුන් ලවා බලවපු එක. ඒ අනුව එංගලන්තයේ විශ්වවිද්‍යාලවල ඇගයීම් තත්ත්වයටම ලංකාවේ තත්ත්වය ගන්න  පුළුවං වුණා.
සාමාන්‍යයෙන් පශ්චාත් උපාධියක් කරන්න කෙනෙක් පිටරට ගියාම ඒ පුද්ගලයා ඒකට සුදුසු ද නැද්ද කියලා පරීක්ෂණයක් පවත්වනවා.  ඒත් ශ‍්‍රීමත් අයිවර්ජෙනින්ස් කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙලා ඉද්දි ලංකාවෙ ශිෂ්‍යයින්ට මූලික පරීක්ෂණ කරන්න වුණේ නෑ. මොකද ලංකාවේ අධ්‍යාපනය ප‍්‍රමිතිගත බවත් එහෙයින් ලංකාවෙන් එන ශිෂ්‍යයින්ගෙන් මූලික පරීක්ෂණ ගත යුතු නැති බවත් එතුමා විශ්වවිද්‍යාලෙට කියලා තිබ්බා.
ඒ වගේම මූලික උපාධිය කරලා ආචාර්යමණ්ඩලයට බැ`දුන අයට අද වගේ තමං මූලික උපාධිය කළ විශ්වවිද්‍යාලයෙන්ම පශ්චාත් උපාධි කරන්න එදා ඉඩ දුන්නේ නෑ. තමන්ගේ ඊළ`ග උපාධිය වෙනුවෙන් ඔවුන්ට අනිවාර්යයෙන්ම එංගලන්තය, ඇමරිකාව, ප‍්‍රංශය වගේ රටවල තිබ්බ විශිෂ්ඨ විශ්වවිද්‍යාලවලට යන්න වුණා.
ශ‍්‍රීමත් අයිවර් ජෙනින්ස් හිතපු දෙයක් තමයි විශ්වවිද්‍යාලවලින් හදන්න  ඕන සුවිශේෂී චරිත මිස එකදෙයක් අල්ලගත්ත පටු විශේෂඥයෝ නෙමෙයි කියලා. විශ්වවිද්‍යාලයෙන් පිටවෙන කෙනා භාෂාව විතරක් දන්න, විද්‍යාව විතරක් දන්න හරි ඉතිහාසය විතරක් දන්න තත්ත්වයෙන් එපිටට ගිහින් තමන්ට පැවරෙන  ඕනෑම කාර්යයක් කාර්්‍යක්ෂමව හා අවංකව ඉෂ්ඨ කළ හැකි මට්ටමේ දක්ෂතාවලින් පිරුණු කෙනෙක් විය යුතුයි කියලයි එතුමා කල්පනා කළේ.
ඒ විතරක් නෙමෙයි, විශ්වවිද්‍යාල කලා මණ්ඩලය පිහිටවන්නත් තමන්ගේ පඩියෙන් ද කොටසක් වෙන්කර ශිෂ්‍යයින් වෙනුවෙන් ශිෂ්‍යාධාදාර ක‍්‍රමයක් හදන්නත් අයිවර්ජෙනින්ස් කටයුතු කළා.


ඒ දවස්වල විශ්වවිද්‍යාල නේවාසික ජීවිතය අදට වඩා වෙනස්ද?

එදා නේවාසික ජීවිතය අදට වඩා ගොඩාක් අර්ථාන්විතයි. විශේෂයෙන් සරච්චන්ද්‍රයන් වගේ අයගේ මැදිහත්වීම ඒකට බලපෑවා. මොකද එතුමා හැමවෙලේම කිව්වේ කාලය බි`දක්වත් අපතේ යවන්න එපා කියලා. ශිෂ්‍යයින්ට රාත‍්‍රී භෝජනය ස`දහා තිබ්බෙ රාත‍්‍රී අටත් නවයත් අතර. රාත‍්‍රී භෝජනය ඉවර වුණාම  විවාද වගේ දේවල්  සංවිධානය වුණා. මට මතකයි, ඒ කාලෙ තිබ්බ ජනප‍්‍රිය විවාදයක් තමයි පුනරුත්පත්තිය තියෙනවාද නැද්ද කියන එක. ඒ විවාදවලට සරච්චන්ද්‍ර විතරක් නෙමෙයි මහාචාර්ය කේ.එන් ජයතිලකයන්, ඉතිහාසය පිළිබ`ද මහාචාර්යවරයෙක් වූ පින්තෝ පියතුමා, ආචාර්ය තුරුක්කල් කියන බ‍්‍රාහ්මණ ප`ඩිවරයා වගේ අයත් හිටියා. ඒ විතරක් නෙවෙයි මේවගෙදි ශිෂ්‍යයිනුත් හරි හරිටෙ සහභාගී වුණා.
ඒ වගේම ගිරාගම ශාන්ති ගීතදේවතුමා වගේ අය ගෙන්වලා සංගීත පංති පවත්වන්නත් සරච්චන්ද්‍රයන් කටයුතු කළා. වෙසක් වගේ උත්සව කාලෙට භක්තිගීත සංවිධාන වුණා. සිරී ගුණසිංහයන් නිස`දැස කියලා ස`ගරාවක් කළා. ඒකට විමල් දිසානායක, සරත් අමුණුගම වගේ අයත් අනික් ශිෂ්‍යයිනුත් කවිලිව්වා.
සමහර වෙලාවට අපි ශාලාවල නාට්‍ය පවා කළා. නෙවිල් එදිරිසිංහ කියලා හරිම නිර්මාණශීලී ශිෂ්‍යයෙක් හිටියා අපි එක්ක. ඔහු ඇතුළු අපි කණ්ඩායමක් එකතුවෙලා මාස් ශාලාවේ හදපු අපූරු නාට්‍යයක් තිබ්බා සිංහල වංශය  කියලා. කුවේනිගෙ කාලයේ ඉ`දන් බණ්ඩාරනායක ඝාතනය දක්වා දිවෙන මේ නාට්‍යයෙන් අපේ සමහර සිදුවීම් ඉතාමත් හාස්‍යයට ලක් කෙරුණා.  පිරිමි නේවාසිකාගාර නිසා ඒවයෙ ගෑනු චරිතවලටත් රගපෑවෙ ශිෂ්‍යයෝ ම තමයි. සුගතපාල ද සිල්වලා විමල් දිසානායකලා අපේ මේ නාට්‍යය බලලා ගොඩක් සතුටු වුණා මට මතකයි.
මට හො`දට චිත‍්‍ර අ`දින්නත් පුළුවං. අපි ඒ කාලෙදි චිත‍්‍ර ඇන්දා. චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්තුවා. මට මතකයි ඒ වගේ එක චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්.  ඕකට ආචාර්යවරයෙක් වශයෙන් සිරී ගුණසිංහත් චිත‍්‍ර ඉදිරිපත් කරලා තිබ්බා. මායි මං කළිං කියූ නෙවිල් එදිරිසින්හයිත් චිත‍්‍ර ඉදිරිපත් කරලා තිබ්බා. මට මතක හැටියට චිත‍්‍ර ප‍්‍රදර්ශනය ඉවරවුණාම සිරීගුණසිංහයි නෙවිලූයි තමංගෙ චිත‍්‍ර මාරු කරගත්තා. ඒ සිතුවම් දෙකම ඉතාම විශිෂ්ඨ ඒවා.
කොහොමෙන් කොහොමහරි සරච්චන්ද්‍ර සිරී ගුණසිංහ වගේ ගුරුවරුන්ගෙන් ලැබුණ නිර්මාණාත්මක පෙළඹුම එදා ශිෂ්‍යයින්ට තදින් බෝවෙලයි තිබ්බෙ.


විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ කථීකාචාර්යවරයෙක් බවට පත්වෙනවා. ඒ එළඹුම කොයිවගේද?

ඒ කාලෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අද වගේ ප‍්‍රශ්න තිබ්බෙ නෑ. විශ්වවිද්‍යාලයෙන් අයින් වෙද්දිම හැමෝටම රස්සා ලැබුණා. කථීකාචාර්ය පත්වීම්, පරිපාලන පත්වීම්, ගුරුපත්වීම් ආදී විවිධ පත්වීම් ඒ අතර තිබ්බා. මං එක්ක එක බැච්එකේ ඉගනගත්තු කළින් කිවු නෙවිල් එදිරිසිංහ මහබැංකුවේ වැඩට ගියා. අමර හේවාමද්දුමලා පරිපාලන සේවයේ. මායි සුචරිත ගම්ලතුයි විශ්වවිද්‍යාල ක්ෂේ‍්‍රත‍්‍රයේ. තවත් සමහරු පොලිස් සේවයට ගිහින් පොලිස්පති දක්වා ගියා. තවත්අය විදේශ සේවයෙන් ඉස්සරහට ගියා. තවත් පිරිසක් ගුරුවරුන් වුණා. මාත් විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා කථිකාචාර්යකම ලැබෙනකම් මාස තුන හතරක් ඉස්කෝලෙක ඉගැන්නුවා.
මායි ගම්ලතුයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවරකළේ එක්දහස් නවසිය හැට තුනේ. ඒ ඉවරකරද්දි එතුමටයි මටයි දෙන්නටම පළමු පංතියේ සාමාර්ථ්‍ය තිබ්බා. ඇත්තටම, පාලි සංස්කෘත දැනුම අතින් ගම්ලත් අපිට වඩා ඉස්සරහින් හිටියේ. අපි විශ්වවිද්‍යාලයෙන් පිටවෙන කාලේ විදේ‍යා්දය විශ්වවිද්‍යාල ආරම්භ කරලා. ඒ වගේම මෙහෙන් ගිය මහාචාර්ය එම්.බී ආරියපාල මහතා කොළඹ විශ්වවිද්‍යාලයත් ආරම්භ කළා. ඉතිං කොළඹ ජීවත් වෙන්න කැමති වුණ ගම්ලත් එහෙට ඉල්ලූම්පත‍්‍ර දැම්මා. අපිට අවුරුදු දෙක තුනක් සීනියර් ජේබී දිසානායක වගෙ අයත් එහෙ ගියා. මං පේරාදෙණියෙම නතරවුණා.



හැත්තෑ ගණන් වගේ වෙද්දි විශ්වවිද්‍යාලය ටිකෙන් ටික වෙනස් වෙන්න ඇති?

හැට ගණන් වෙද්දි ලංකාවෙ විශ්වවිද්‍යාල කීපයක් තිබ්බත් ඒ කාලෙ හැම එකකම වගේ ලොකු පිබිදීමක් තිබ්බා. මට මතකයි, ඒ කාලෙ ඒ හැම විශ්වවිද්‍යාලයකින් වගෙම එක එක විෂයන් පිළිබ`ද විශාල ස`ගරා රාශියක් පිටවුණා.
ඔහොම තියෙද්දි තමයි හැත්තෑ එකේදි මාර්ස් ශාලාවෙ සීලිමේ බෝම්බයක් පිපිරුණේ. සන්නද්ධ අරගලයක් පිළිබ`ද පළවෙනි ඉ`ගිය අපිට දැනුනේ සීලිමේ හංගලා තිබ්බ බෝම්බයක් ඒ විදිහට පිපිරුණායින් පස්සෙ. මට මතකයි ඒ කාලෙ වෙනවිට නිතර විජේවීර ඇවිත් විශ්වවිද්‍යාල වළේ විවිධ දේශන තිබ්බා. මාත් ගිහින්  ඕවා අහගෙන ඉ`දලා තියෙනවා. ඔහුගෙ කතා කම්මැලි නැතිව පැය ගාණක් වුණත් අහං ඉන්න පුළුවංනෙ. විජේවීරගෙ ප‍්‍රා¥ර්භූතය මතුපිටින් එහෙම පෙණුණත් ඇතුළතින් ඊටවඩා විශාල ව්‍යාපාරයක් යනවා කියලා තරුණ කථිකාචාර්යවරු වන අපිවත් විශ්වවිද්‍යාල බලධාරීන්වත් බෝම්බසිද්ධිය වෙනකම් ම දැනන් හිටියෙ නෑ.
මේ වෙනකොට බලයෙ හිටියෙ හැත්තෑවෙ ආපු මැතිණිගෙ සමගි පෙරමුණ ආණ්ඩුව. ශිෂ්‍ය අරගලවලට එරෙහිව ආණ්ඩුව විශාල මර්දනකාරී වැඩ පිළිවෙළක් ගෙනගියා. විශ්වවිද්‍යාල දින නියමයක් නැතිව වහල දැම්මා. මේගොල්ල ගෙනගිය එක සංකල්පයක් තමයි රටේ ආර්ථිකය මධ්‍යගත කරන්න  ඕනෙ කියලා. ආර්ථිකය විතරක් නෙමෙයි අනික් හැමදේමත් මධ්‍යගතව පාලනය කරන ප‍්‍රතිපත්තියකයි ඔවුන් හිටියේ.
මේ අතර හැත්තෑ දෙකේදි ආණ්ඩුව ආචාර්ය ඔස්මන් ජයරත්න යටතේ විශ්වවිද්‍යාල ප‍්‍රතිසංවිධානය කියලා කමිටුවක් පත් කළා.  ඒ වාර්තාවෙන් කීවෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ඔක්කොම එකතැනකින් පාලනය කරන්න  ඕනෙ කියලා. විශ්වවිද්‍යාලවල තිබ්බ අනන්‍යතා හා ස්වාධීනත්වය ඒතනදි සැලකුණේ නෑ. ඒකට අනුව කොළඹ වෝඞ් ප්ලේ්ස් එකේ ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රධාන කාර්යාලය පිහිටෙව්වා. ඒ වෙනකම් ස්වාධීන විශ්වවිද්‍යාල විදිහට තිබ්බ විශ්වවිද්‍යාල පේරාදෙණිය මණ්ඩපය, කොළඹ මණ්ඩපය, විදේ‍යා්දය මණ්ඩපය, විද්‍යාලංකාර මණ්ඩපය ආදී ලෙස ප‍්‍රධාන කාර්යාලයෙන් පාලනය වුණා. විදේ‍යා්දය මණ්ඩපය ඒ කාලෙ තිබ්බේ ජනතා විමුක්තිපෙරමුණේ අය හිරකරලා තියෙන හිරක`දවුරක් විදිහට.
මේ ප‍්‍රතිපත්තියේ නරකම දේ තමයි, පාලි, සිංහල, සංස්කෘත, බෞද්ධ අධ්‍යනය ආදී විෂ්‍යයන් ආර්ථික සංවර්ධනය ස`දහා දායක වෙන්නෙ නැති විෂයයන් විදිහට හ`දුන්නලා ඒවා ඉගනගැනීම සම්පූර්ණයෙන් අධෛර්යමත් කරපු එක. ඒ විතරක් නෙමෙයි මේ විෂ්‍යයන් කරන අයට රජයේ රැුකියා ලැබේවි කියා ස්ථිර නැත ආදී දේ ස`දහන් චක‍්‍රලේඛයක් පවා ආවා. කළිං අවුරුද්දේ කලාගාරයේ ඉ`දන් පළවෙනි වසර ශිෂ්‍යයින් හාරසිය ගාණකට දේශන තියපු මට, විශ්වවිද්‍යාල ප‍්‍රතිසංවිධානයේ ප‍්‍රතිඵල විදිහට ඒ අවුරුද්දෙ උගන්නන්න උණ ළමයි සංඛ්‍යාව දහතුනකට බැහැලා තිබ්බා.



හැබැයි, ඉතිහාසය කන්ඩ ද? සාහිත්‍ය ඉගනගෙන ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන්ද? වගේ දේවල් ඇහුවේ ජේආර් උන්නැහේ කියලා තමයි අපේ පරම්පරාවනම් දන්නේ?

 ඕක තමයි අද තියෙන විකෘත්ති ඉතිහාසය. ජේආර් ජයවර්ධන කියන්නේ හො`දට පොත පත කියවපු උගතෙක්. මොන හේතුවක් නිසා හරි ජේආර් ජයවර්ධන ඒ විදිහට කියන්න ඇති. නමුත් ඒ දේවල් කරේ මැතිණිගෙ ආණ්ඩුව. හැත්තෑ හතේ ජේආර් ඇවිත් කළේ අර විදිහට කොටු කරල තිබ්බ විශ්වවිද්‍යාලවලට කිසියම් ස්වාධීනත්වයක් දුන්න එක.
මේගොල්ලන්ගෙ ප‍්‍රතිසංවිධානවලට විරුද්ධව අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික කරං සංවිධානයක් නිර්මාණය කරගත්තා. ඒකෙ සභාපති මහාචාර්ය කාල් ගුණවර්ධන. සම ලේකම්වරු විදිහට වැඩකළේ මමයි ආචාර්ය ආනන්ද ගුණතිලක කියන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයයි. පුවත්පත්වලට ලියමින් සහ ජනතාව දැනුවත් කරමින් අපි ඒ වෙලාවෙ විශාල අරගලයට අරං ගියා. ඒත් අපිට ලොකු දේශපාලනික හයියක් තිබුණෙ නෑ. නමුත් මහාචාර්ය කේ එම් ද සිල්වා, මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ වගේ ජේආර් ජයවර්ධන සමග සමීප සබ`දකම් පවත්තපු අය හැත්තෑ හතෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වුණා. දැනටත් ක‍්‍රියාත්මකවන විශ්වවිද්‍යාල පණත හැදුවෙත් ඔවුන්. අර කියපු ස්වාධීනත්වයක් නැති මණ්ඩප තත්ත්වයෙන් අයින් කරලා විශ්වවිද්‍යාල ස්වාධීන කළේ මේ අය. ඒ ජේආර් ජයවර්ධන යටතේ.
ඉතිහාසය වගේ ඒවා පාසැල් විෂයෙන් අයින් කළෙත් සමගි පෙරමුණ ආණ්ඩුව. අපේ කාලේ අපි වෙනම ඉගනගත් ඉතිහාසය වෙනුවට  ආර්ථි’ක විද්‍යා කෑල්ලයි, ඉතිහාස කෑල්ලයි, දේශපලන විද්‍යා කෑල්ලයි වගේ හැමදේම කෑල්ල කෑල්ල තිබ්බ සමාජ අධ්‍යනය කියලා එකක් දැම්මේ ඒ අය. විශේෂයෙන් කේ එම් ද සිල්වා වගේ විශිෂ්ට ඉතිහාස උගත්තු ජේආර් ජයවර්ධනගේ කාලයේ මේ තත්ත්වය වෙනස්කරලා ඉතිහාසය ස්වාධීන විෂයක් හැටියට දියුණු කරන්න ගොඩක් මහන්සි වුණා.
ඒ කාලෙ පාළි සංස්කෘත වගේ අංශවල හිටියේ මහාචාර්ය සිරී ගුණසිංහ, මහාචාර්ය මළලසේකර, මහාචාර්ය විජේසේකර, මහාචාර්ය ජේ.තිලක සිරි, මහාචාර්ය ජෝතිය ධීරසේකර, මහාචාර්ය එන්.ඒ ජයවික‍්‍රම, ලිලී ද සිල්වා මහාචාර්ය තුමිය වගේ ලෝකයම පිළිගත් පාළි සංස්කෘත උගත්තු. ඒත් අද ඒ අධ්‍යනාංශවලට කථිකාචාර්යවරයෙක්වත් බ`දවගන්න බැරිවෙලා තියෙන්නේ මේ අය එදා කරපු දේවල් නිසා.

රාවය 2015 නොවැම්බර් 15

Wednesday, November 11, 2015

පිටුවහල් වහලෙක්මි‍‍‍‍



පිටුවහල් වහලෙක්මි‍‍‍‍


මහ උණෙන් කොළ ගැහුන
ප්‍රත්‍යන්ත දූපතට
යළි යළිත් පිටුවහල් බව ලදිමි

පිටුවහලුන්ය හැමතැන
නෙක් වරදනට පැමිණෙන‍
ආ විගස 
ආපහු යන

කොටු පවුරින් එහා ලෝකෙක
කේඬෑරි ආත්මෙක ඇගිලි තුඩු රෑ පුරා සක්මනක

කිරිකැටි දියණිය - ඇගෙ මව
මව්පිය නෑසියන් හැම දෙන
ලබනවා ඇති ගැරහුම්
සමච්චල් අවමන්

වහලෙකුගෙ පව් කන්ද
කොච්චරට බර ඇත්ද?

හාමත් වෙලා හඳෙහි මූණත් බෝඩිං කාමරේට රිංගන
කොයිබින්ද කිරි සීන
තාත්තෙක් නැති දුවකට‍

මොනව නම් තේරෙනව කියලද
ඒ අහිංසක දරුවට?

පිටුවහල් දූපතක 
යළි යළිත් රැ‍ඳෙන්නට
වරදක් නොකිරීමත් වරදක්

ආ විගස යාගන්න 
වහලෙකුට කොයිද පහුරක්?


Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Tuesday, June 16, 2015

සිරිවර්ධන පවුල අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස



සිරිවර්ධන පවුල

අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස


සිරිවර්ධන පවුල බලන්නට යනවාය කී පසු මාගේ හිතවතෙක් කීවේ රාජිතගේ මෙදා පොටේ නාට්‍යනම් එතරම් හොඳ නැති බව ය. හොඳ සහෘදයකු ලෙස මා තුළ විශ්වාසයක් ඇති ඔහු කී ඒ වදනින් මාගේ බලාපොරොත්තු තරමක් බිඳී ගියේය. ඒ, යුගයේ ප‍්‍රමුඛතම නාට්‍යකරුවකු මෙන්ම කවදාත් වෙනස් වැඩක් කරන්නකු යන රාජිත දිසානායක පළිබඳ අප තුළ ගොඩනැගී තිබූ විශ්වාසය නිසා ය. කෙසේ වෙතත්, බලන්නට කළිං කෘතිය පිළිබඳ විචාරයක් අහන්නට නුවමනා මම මිතුරා එසේ කීවේ මන්දැ'යි ප‍්‍රතිප‍්‍රශ්න නොඅසාම කරබාගතිමි.

              නාට්‍යය නැරඹීමට වාඩි වූ මොහොතේ සිට ම මා මිත‍්‍රයා කියූ දෙය එතරම් සාධාරණ නොවන බව ක‍්‍රමයෙන් වැටහෙන්නට විය. ඔහු කියූ කතාවෙහි කිසියම් සත්‍යයක් තිබුණිනම් ඒ කතාවේ මතුපිට අර්ථයෙන් පමණ ය. කතාවේ මතුපිට අර්ථය කිසියම් සරලභාවයක් පෙන්නුම් කළ ද ඒ තුළින් ඉඟි කරන සංකේතමය අර්ථයන් පශ්චාත් ධනේශ්වරයේ සහ එහි ම අතුරු පළයක් වන වෙළඳ මාධ්‍යයකරණයේ සියුම් තැන් ගැඹුරින් ස්පර්ශ කරනවා පේන්නට තිබුණි.

රාජිතගේ නාට්‍යය කලාව අල්පෝත්තිමය ලක්ෂණයන්ගෙන් හෙබි සුවිශේෂී එකක් ලෙස ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් හඳුන්වා දී තිබුණේ, ඔහුගේ නාට්‍ය කලාව සතු මතුපිට සරල ලක්ෂණයන් අතික‍්‍රමණය කරන එකී සියුම් හුයවලට ඉඟි කරන්නට ය. ඒකී හුය නිසි පරිදි දිගහැර පූර්වාපර සංධි ගලපාගන්නට බැරි වීම හේතුවෙනි මාගේ යට කී මිත‍්‍රයා සිරිවර්ධන පවුල පිළිබඳ ඔහුගේ තක්සේරුවට ඇවිත් තිබුණේ.

                වෙළඳ මාධ්‍යයකරණය විසින් නිර්මාණය කර දෙන ලද අවශ්‍යතා හා පරමාදර්ශයන්ට අවනත කෙරුණු පහළ මධ්‍යම ප‍්‍රාන්තිකයැ'යි කල්පනා කළ හැකි පවුලක ඛේදවාචකය මේ නාට්‍යෙයහි උඩු පෙළ ඔස්සේ ගලා යයි. පවුලේ මව ගුරුවරියක වන අතර පියා ද විශ‍්‍රාම ලත් රාජ්‍ය නිළධාරියෙකි. තමන්ට වඩා තම දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහළ තැනකට ගෙනයෑම ආධ්‍යාශ කොටගත් ඔහු වාමාංශික නැඹුරුවක් සහ මනා දේශපාලනික සවිඥානයකින් හෙබි අයෙකි. මේ පවුලේ සෙසු සාමාජිකයින් වන්නේ රූමත් තරුණ දියණිය සහ සුපුන් නම් බාල පුතා ය. සම්භාව්‍ය සංගීතයටත් පියානෝ වාදනයටත් ආධ්‍යාත්මිකව නැඹුරුව සිටි සුපුන් කුමන හෝ හේතුවක් නිසා ඉන් විතැන් කර වානිජ ස්ටාර් තරගයක තරග කරුවකු දිහාවට තල්ලූ කර ඇත. කෙසේ වෙතත්, සුපුන් ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කිරීම තම පවුල ගොඩයෑමේ එකම මාර්ගය බව ඔහුගේ මව මෙන්ම අක්කාද තරයේ විශ්වාස කරති.

                වාණිජ රියැලිටියේ ආක‍්‍රමණය කොතරම් බිහිසුණු සහ සූක්ෂ්ම එකක්දැ'යි පෙන්වා දෙන්නට සරුවපිත්තල වහන්තරාවන්ගෙන් ඈත් වී මහපොළවේ යථාර්ථයත් සමග ජීවත් වන පියෙකු සහ තරමක් හෝ විචාර ශක්තියකින් හෙබියැ'යි සිතිය හැකි ගුරුවරියක විසින් මෙහෙය වන මෙවන් පවුලක් තෝරාගැනීම සූකර ය. කතාව ආරම්භයේදීම දියණිය තම මවට කියන්නේ මල්ලීගේ ජනප‍්‍රිය වීමත් එක්ක ගෙදර ඇති පරණ පුටු සෙටි එක වෙනුවට අලූත් පුටු සෙටියකුත් ටීවී එකකුත් මිළදී ගත යුතු බවය. එසේනම් ඉන් ඉඟි කරන්නේ මේ රියැලිටි කුණාටුව හඹා ගොස් ඇත්තේ රූපවාහිණී යන්ත‍්‍රයක්වත් භාවිත නොකරන නිවසකට බවද? මේ ධනවාදී වෙළඳ කුණාටුවට ලාංකිකයින් සැබෑවටම කොතරම් හසු වුණේද යත්, එල්ටීටීඊ සංවිධානය තම ගුවන් ප‍්‍රහාරයන් බාධාවකින් තොරව සිදුකිරීමට ලාංකිකයින් රියැලිටි සයුරේ කිමිදුණු රාත‍්‍රීන් තෝරාගත් බවට ඒ දවස්වල කියැවුණා මතකය.

සුපුන් රියැලිටි තරගයක තරග වදිනවාට පියා මුල්කාලීනව දැඩි සේ විරෝධය දක්වයි. වැඩකට නැති දේවල් නොකර අධ්‍යාපනය කරා යොමුවිය යුතු බව ඔහු නිතර අවධාරණය කරයි. ඔහුගේ සිත සෑදිමට මවත් දියණියත් කොතරම් උත්සාහ කළත් ඔහු ඊට කණ් නොදේ. එසේ නමුත් හදිසියේ පිටතදී දැනුණ ප‍්‍රතිචාර ඔහු හාත් පසින් වෙනස් කරයි. මුළු රටම ඔහුගේ පුතා ගැන කතා කරන අතර, වෙනදා කතා නොකරන යාලූ මිත‍්‍රයින් පවා වාහන නවතා ඔහු සමග කතාබස් කරයි. ඔහුව බලහත්කාරයෙන් වාහනයට නංවාගෙන ඇරළවයි. වෙනකක් තබා ඔහු අවසන ඔහු එන්නේ කරන්නට ගිය වැඩය ද අමතක කරමිනි. මෙය එක්තරා අතකට, ධනවාදයේ තාවකාලික සංතෝෂම්වලින් උත්තේජනය වී කරන්නට යන රාජකාරිය ද අමතක කර ධනවාදයෙහිම ව්‍යාවෘත වන අද්‍යතන ලාංකික වාමාංශයේ ඛේදනීය ඉරණම සිහිකවරයි.

රටට පරමාදර්ශ ගොඩනගා දෙන මාධ්‍යයේ එකම පරමාදර්ශය ලාභයයි. මෙතෙක් කල් තම පරමාදර්ශන් ලෙස හුවාදක්වමින් රට හමුවේ තහවුරු කළ ඊනියා පරමාදර්ශයන් ලාභය හමුවේ  වෙනස් කරන්නට ඔවුන්ට ගතවන්නේ මොහොතක් පමණි. එහිදී අඩු තරමේ සදාචාරාත්මක විළියක්වත් ඔවුන්ට නොදැනේ.  අදාල ආයතනය තම ප‍්‍රධාන ව්‍යාපෘතිය වන සුපුන් සහභාගී වූ රියැලිටි තරගයට එකවැර තාවකාලිකව නවත්වන්නේ ක‍්‍ර‍්‍රිකට් මැච් එක විකාශනය කිරීම ඊට වඩා වාසිසහගත හෙයිනි. වෙනස් පුද්ගලයින් සේ පෙනී ඉඳීම, මොස්තර කිරීම, ඇහැ පිනවීම, ආකර්ශනය සහ රියැලිටිය සිය ධර්මය සේ පෙන්වූ මාධ්‍ය ආයතන නියෝජිතයා වන ජයන්ත සර් එකරැයින් වෙනස් වී කටට දිවට නොදැනෙන්න ඒවා වැඩක් නැති දේවල් බව පවසයි. ඔහු පවසන්නේ දැන් තමා කල්පනා කරන්නේ ආධ්‍යාත්මික අතින් ගොඩයෑමට බවයි.  ජීවිතයේ සැබෑ රියලිටිය එය බව ඔහු පවසයි.

ජීවිතයේ සැබෑ රියලිටිය දන්නා මේ ධනවාදී නියෝජිතයා ධනවාදයේ ඇඟිලිකරු අතරින් ගිලිහෙන දෙයක්වත් පිටතට යන්නට ඉඩ නොදේ. ජනතා ආකර්ශනය ලබමින් රියැලිටි තරගයන්ගෙන් දිනන්නනම් හම් සපත්තු කුට්ටම් හතක්වත් තිබිය යුතු බව ඔහු තරගකරුවන්ට නිර්දේශ කරයි. දෙවනුව, තමංම ලෙදර් සපත්තු කඩයක් ආරම්භ කරන ඔහු එයින් සපත්තු ගන්නට ඔවුන් පොළඹවයි. තවත් අතකින්, හිසේ ජෙල් ගා - හම් සපත්තු පැළලඳ ජයගත හැකි ගායන රියැලටි තරගයේ  රියැලටිය ගැන මෙහිදී පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල උත්ප‍්‍රාසයක් මතු කරයි.

කොටට ලස්සනට අලූත් මෝස්තරේට ඇන්දාම හැඩට පේන නිසා ස්ටාර් තාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ගැලපෙනවායැ'යි කළිං කී සුපුන්ගේ අක්කාටම ජයන්ත සර් මේ අධ්‍යාත්මික වැඩසටහන ඉදිරිපත් කරන්නට ආරාධනා කරයි. අවසන එහිදී ඔහු තම පුතා තරුවක් කිරීමේ සිහිනය පසුපස හඹාගොස් රටට ලෝකයට ණය වී හෙම්බත්ව සිටින සිරිවර්ධන පවුලට නිර්දේශ කරන්නේ ආගමක් වැනි හරවත් ආධ්‍යාත්මික මාර්ගයකටත් වඩා මෙරට මාධ්‍ය ආයතන විසින් උදේ හවස අති අවධාරණය කරන (විකුණනු ලබන) ඊනියා ධනාත්මක චින්තන අභ්‍යාසයක් ය. නාට්‍යය අවසන් වන්නේ, තම පවුල ගොඩගැනීමේ ඊළඟ විකල්පය මේ කියන ආධ්‍යාත්මික රියලැටිය ලෙස විශ්වාස කරන තරමට සිරිවර්ධන පවුල ධනවාදී මාධ්‍යයේ එකී තහවුරුව ද වැළඳ ගැනීමට සූදානම් වන තැනිනි.

නාට්‍යයේ යටි හුයෙහි ගමන් කරන තවත් වැදගත් චරිත දෙකක් වන්නේ සජිනි සහ ඇයගේ මවයි. සුපුන් පියානෝව ඉගනගන්නේ සජිනිගේ මවගෙනි. ඇගේ නිවස අව්‍යාජ සංගීතමය අසපුවකි. සුපුනුත් සජිනිත් අතර අප‍්‍රකාශිත පේ‍්‍රමයක් දලූලමින් ඇති බව පේනනට තිබේ. මේ අදෘෂ්‍යමාන චරිත දෙක විටින් විට පැමිණ නාට්‍යය එහි මතුපිට තලයේ සිට විවිධ අභ්‍යන්තරික අර්ථයන්ට රැගෙන යෑම සඳහා කවුලූ සපය යි. විටෙක ඔවුන් මතුවන්නේ ලාංකීය තාරුණ්‍යය හා සිංහල මනස තුළ අනෙකා පිළිබඳ පවතින අතාර්කික විචාරයන්හි තරම පෙන්වා දෙන්නටය. විටක බටහිර සහ ඉංගීසි භාෂාවට එරෙහිව ඇති ඊනියා ජාතිකත්ව මානසිකත්වයේ හිස්බව පෙන්වා දෙයි. තවත් විටක මොවුන් දෙපෙළ සැබෑ සංගීතයේ හා සංස්කෘතියේ නියෝජනයන් ය.



 සුපුන් ස්ටාර් තරගයට සූදානම් වන බොහෝ වේලාවට සජිනි මතක් කරයි. මේ තරගය නවතා නැවතත් පියානෝ පුහුණුවට යා යුතු බව කියයි. තවත් විටක සජිනි ඔහුගේ නිවසටත් මිත‍්‍රයින්ටත් දුරකථන ඇමතුම් ලබා දේ. අවසන ඇය ඔහු නමට ලිපියක් එවයි. සුපුන්ගේ මව ඒ ලිපිය දෙස අවධානය යොමු නොකරම පසෙකට තබයි. මන්ද යත් ඒ වනවිට ඇයගේ අවධානය යොමුව ඇත්තේ ආධ්‍යාත්මික රියැලිටිය දෙස හෙවත්  වානිජ සංස්කෘතිය තුළින් මවා දුන් දෙය දෙස ය. පෙර කීවා සේ, සජිනි සහ ඇගේ මව නාට්‍යය පුරාවටම ප‍්‍රාග්ධනය මත දුවන එකී වාණිජ සංස්කෘතියත් සැබෑ (සම්භාව්‍ය හෝ ජනප‍්‍රිය) සංස්කෘතියක් අතර ඝට්ඨනය පෙන්වන ප‍්‍රබල රූපකයක් සේ මතුවේ. නොඑසේනම් සැබෑ කලාවෙත් ප‍්‍රාග්ධනය කෝටිගණන් යට කරමින් නිෂ්පාදනය කරන වෙළඳ කලාවෙත් පරතරය පෙන්වා දෙයි. සුපුන් තුළ සජිනිට ඇති ඇල්ම, ධනවාධයත් එකී යාන්ත‍්‍රණයටම හසු වූ තම පවුලේ අයගේත් මිත‍්‍රයින්ගේත් බලපෑම මගින් තමාව බලහත්කාරයෙන් ඈත් කර ඇති  ඔහුගේ ආධ්‍යාමීය පියානෝවට හෙවත් සැබෑ කලාවට ඇති පේ‍්‍රමයේ රූපකයක් වන්නටත් බැරිද?


දෙවැන්න ධනවාදීය දේශපාලනික සංස්කෘතිය යි. දේවල් පිළිබඳ හිතලූ කිවීමෙන් එහා ගිය සැබෑ අවබෝධයක් ඒ තුළින් නොයිල්ලයි. රටේ වැදගත් පැරණි දේශපාලඥයින්ගේ නම් පමණක් දැන හිටියද කම් නැත. එසේ නොවුනා කියා ද ගැටලූවක් නැත. තම යාලූවාගේ සුපිරි සිහිනයෙන් ගොඩ යෑමට බැරි වූ සුපුන්ගේ මිත‍්‍රයාට ඊළඟට ගොඩයෑමට ඉතිරි වන්නේ වයඹ මැතිවරණයට වැඩ කිරීමට ය. රියැලිටි වැඩසටහනට යෑම සඳහා කුළියට ගෙන සුපුන් ඇතුළු පිරිස ගමන් කළ වාහනයෙන් හැප්පෙන්නේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඩ‍්‍රයිවර්ගේ පියා ය. එසේ හෙයින් සුපුන්ලාට ඉන් ගැලවෙන්නට අමාරු බව කියැවේ. දෙවැන්න ඔවුන් කුලියට ගත් වාහනය ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානියකු හයර්එකට දාපු එකකි. රිය අනතුරින් පසු එහි වන්දිය ගන්නට සුපුන්ගේ  නිවසට කඩාපනින්නේ උකුස්සාගේ කට්ටියයි. මෙය ලාංකීය ධනවාදී දේශපාලන සංස්කෘතියේ මුහුණක් නැති පාතාලමය ශරීර සංකේතයයි.


 - ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර (PRASAD NIROSHA BANDARA)
      

( රාවය 2015 ජූනි 14)