Saturday, June 3, 2023

අරියාද්නේ ; ප්‍රේමය ගැන අසමාන කවි


කවියකුට පබඳින්න, ලේඛකයකුට ලියන්නට, නාට්‍යකරුවෙකුට, සිනමාකරුවෙකුට, සිත්තරෙකුට නිර්මාණකරණය සඳහා වස්තූවිෂය කරගන්නට ප්‍රේමය තරම් වෙනත් අත්දැකීමක් ඇත්ද? ලොව බිහිව ඇති මහා නවකතා, සිනමාපට, කාව්‍ය ආදී යට කී සකලවිධ කලාවන්ගේ මහා නිර්මාණයන් අති බහුතරයකට වස්තු විෂය වී ඇත්තේ මේ උත්තුංග ප්‍රේමයම නොවේද? එදා මෙන්ම අදත් හෙටත් මේ විශ්වීය දහම එලෙසින්ම පවතිනවා නොඅනුමානය. කලාවත් ප්‍රේමයත් අතර ඇති මේ අත්‍යන්ත බැඳිම පිලිබඳ මගේ සිහිය යළි අලුත් කරනු ලැබුවේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ සිවුවන කාව්‍ය සංග්‍රහය වන ‘අරියාද්නේ’ කියවද්දී ය.

අරියාද්නේ කෘතියේ සංගෘහිත කාව්‍ය අතරින් අති බහුතරය ප්‍රේමය පසුබිම්කොට ගත් ඒවාය. යම් කවියෙක් එකම තේමාවක් මත නිර්මාණ කිරීමේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ එවන් නිර්මාණ අතර නිරායාසාත්මකව ඇතිවන ඒකරූපී භාවයයි. එවන් ඒකරූපී නිර්මාණ කෘති අතර තිස් අවුරුදු යුද්ධය - ජනවාර්ගිකත්වය පදනම් කරගනිමින් පසුගිය කාලය තුළ ලංකාවේ නිර්මාණය කෙරුණු ඇතැම් කාව්‍ය කෘති ඇති බව මගේ සිහියට ඒ. 

ප්‍රේමය වනාහි රටක හෝ කලාපයක පවත්නා යුද්ධයකට වඩා පෘථුල විශ්වීය දහමක් බව ඇත්තය- එසේ වුව අති සූක්ෂ්ම නොවූ කලාකරුවෙක් අතින් එවැන්නක් පවා පුනරුක්තිමය ඒකාකාරීභාවයකට පත් වීමට අති ඉඩ ඉතාමත් වැඩිය. කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ අරියාද්නේ කෘතිය සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රේමය පදනම් කර ගත් නමුත්, එකී  නිර්මාණ සමුච්චයේ එකදු කවියක් හෝ අනිකකටකට සමාන නොවීම විශේෂත්වයකි. ඒ ප්‍රේමයේ ඉසියුම් මානයන් තම කවිය තුළ ස්පර්ශ කරන්නට කිවිඳිය දක්වන ප්‍රතිභානය හා වියුත්පත්තිය නිසාය. 

ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සතු යටකී අනිර්වචනීය, අනූපමේය සහ අපරිමිත ගුණය කිවිඳිය මෙසේ දක්වයි. 

සීරුවට ඉසියුම්ව කියෙව්වත් 

සිතක සිතුවිලි කන්ද 

‌ප්‍රේමයට වග වාසගම් දෙන්න

ඔබට මට පුළුවන්ද


දැනෙන තැන - මනින ඉම තියෙන්නේ

මනිනු බැරි දුරකින්ද

තනිව හිඳ දැවෙන විට නිවන අත

ගිහන්නේ හිතකින්ද

(විමසා දැන පසිඳ, නැවත විමසන විට පවා - අරියාද්නේ 21පිට)


ස්ත්‍රී පුරුෂ සිත්වලට ආදරය කාන්දුවන්නේ කොතනින්ද? ප්‍රේමය යනු හුදෙක් මනසේ රසායනයන් මගින් ඇති කරවන හැඟීමකට දෙන අන්වර්ථ නාමයක්ද? නොඑසේනම් අශ්පර්ෂීය හදවතක් තුළින් (හෘද වස්තුව නොවේ) එය පැණ නගිනවාද? ප්‍රේමයේ පැණනැඟීම මෙන්ම ප්‍රේමය බිඳී ගිය පසු ඇති කරවන විප්‍රයෝග වේදනාව හා එය කාලයත් සමග සුව වීම යනු අර කියූ රසායනයන් විසින්ම ඇතිකරන ක්‍රියාදාමයක්ද? නොඑසේනම් එය වචනයන්ගෙන් පහදන්න බැරි අර කියූ අශ්පර්ෂීය හදවතක පොර බැඳීමක්ද?

කෙසේ වුවද මන මෝහනීය අයුරින් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයක් නොසිතූ අයුරින්, එක් පාර්ශ්වයක් විසින් අනෙකාට දුන් සියලු‍ පිළින සුන්කොට නිමා කළහොත්, අනෙක් කෙනා ඊට දක්වන ප්‍රතිචාර විවිධාකාර වන බව පැහැදිලිය. එවන් අවස්ථාවකදී කෙනෙකු අනික් පාර්ශ්වය කෙරේ සදාතනික වෛරයෙන් අනෙකා පිහි ඇනුමකින් මරා දැමීමට හෝ තමාම සිය දිවි නසාගැනීමට පෙළඹෙන ආකාරයද ඇතැම්විට පෙනේ. තවත් කෙනෙක් එවන් හද බිඳුමක්, වේදනාවත් සමග පොර බදිමින් කාලයක් සිට කාලයට ඉඩදී අමතක කරයි. තවත් කෙනෙකුට පෙම් සබඳතාවක් බිඳීම යනු සැලකිය යුතු තරම් දෙයක් නොවීමටද පුළුවන. එය එකිනෙකාගේ දරාගැනීමේත්, විඳවීමේත්, ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමේත් ධාරිතාව මත රැඳී ඇත. කල්පනාගේ මේ කවිය බලන්න,


සදාකාලික පිළිණ සුන් කොට

කතා බස් නිමා කොට

කුණාටුව හමා ගොස්

අනන්තය ගෙවී ගිය තැන

උදා වෙයි ඒ මොහොත


දේදුන්න මැකී ගොස්

අළු පැහැය පමණක් ශේෂව

නිම්නාද නැවතී

නිහඬ බව පැතිරී

අක්ෂර ශබ්ද ඉක්මවූ බසකින්

කතාබස් ඇරඹෙන

මන්ද්‍ර ස්වර තන්තු අවදි ව

ඉසියුම් කේශනාලිකා විමසන

හදෙහි අත්‍යන්ත ගැඹුරෙහි

ඔබ නැවත ඉපදෙන

ඒ මොහොත!


කාලයට සහ 

ආලයට ඉහළින්

ඒ මොහොතමොහොත

(ඒ මොහොතත - අරියාද්නේ 24පිට)


මෙහිදී ඉඟි කෙරෙන්නේ අනෙකා වඩාත්ම දැනෙන, හැඟෙන, තේරුම් යන මොහොත උදාවන්නේ එකී සියලු උස් පහත්වීම්වලින් පසු එළඹෙන පශ්චාත් වියෝග සමයේ දී බවයි. එය කාලයට හා ආලයට ඉහළින් ඇති මොහොතකි. එය හරියට කාමසුඛල්ලිකානු යෝගී වෘත්තයටත්, අතතකිලමථානු යෝගී වෘත්තයටත් දෙකටම පසුව උතුම් බුද්ධත්වය ලැබුවා සේ සියල්ලට ඉහළින් ඇති උත්කෘෂ්ඨ වූ දෙයක් විය නොහැකිද? මෙකී මානව හිතවාදී දැක්ම පිහි අමෝරා පෙම්වතිය පස්සෙන් යන හෝ විඳව විඳවා තමාගෙන්ම පළිගන්නා අන්තවාදයන්ගෙන් සමාජය ඔසවා තබන්නක් ම වේ.

මිනිස් අත්දැකීම්  සහ කල්පනාවන් බොහෝ විට සැකසෙන්නේ ඔහු හෝ ඇය එදිනෙදා අත්දකින දේවලිනි. අලු‍ත උපන් දරුවාගේ මනස සුදු පැහැති හිස් කොළයක් මෙන් වන බවත් එය පරිසමාප්ත බවට පත්වීමේදී එහි සටහන්වන සිතුවම් හෝ අකුරු දරුවා වැඩිවියට පත්වීමත් සමග ලබන අත්දැකීම් වන බවත් ජෝර්ජ් ලොක් කීවේ එහෙයිනි. සාමාන්‍ය අත්දැකීම් අත්වින්දෙකු ලෝකය දකින ආකාරයත් සුවිශේෂී අත්දැකීම් ඇත්තන් විසින් ලෝකය දකින, විඳින ආකාරය තුළත් පැහැදිලි වෙනසක් තිබේ. ඒ අතරිනුත් සාහිත්‍ය පොත්පත්, සිනමා කෘති, නාට්‍ය, සංගීතය ආදී සකලවිධ පරිකල්පනීය කලාවන් අත් විඳින කෙනෙකු ලෝකය දකින, විඳින හා ඔහු ලෝකයෙන් ඉල්ලා සිටින දේ සියලු‍ දෙනාටම වඩා ඉහළින් තිබීම සාමාන්‍ය දෙයකි. මන්ද යත් යටකී කලාවන් ස්පර්ශ කිරීමත් සමග ඔහුගේ හෝ ඇයගේ පරිකල්පනීය ලෝකයද  ඒ සමග පුළුල් වන නිසාය. 

ගැටලු‍ව ඇත්තේ එදිනෙදා ජීවිතයේදී මෙකී පරිකල්පනයන් කොතෙක් දුරට යථාර්ථයක් බවට පත් කර ගන්නට ඔහුට හෝ ඇයට හැකියාව තිබේද යන්න තුළයි. අනෙක් කාරණය වනේනේ එක සමාන පරිකල්පනීය ලෝකයන් දෙකක් ඇති පුද්ලයින් දෙදෙනෙක් මුණගැසීමට ඇති ඉඩ කොතෙක් අල්පද යන්නයි. එවන් විපුලිත පරිකල්පනීය ලෝකයක් ඉල්ලා සිටින ස්ත්‍රියකට හෝ පුරුෂයකුට එවැනිම පරිකල්පනීය ලෝකයක ජීවත් වෙනවා වෙනුවට - මහපොළවේ  යථාර්ථය සමග ජීවත්වන, පණගැහෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ආලය කළහොත් ඔහුගේ හෝ ඇගේ ආලයට කුමක් උරුම වේවිද? එවන් පුද්ගලයකු සමග විවාහ වුවහොත් ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය කවරාකාර වේවිද? බලන්න අරියාද්නේහි එන මේ කෙටි සහ බැලූ බැල්මට සරල කව එවන් පරිකල්පනීය මානයක්  ඔස්සේ රසිකයා රැගෙන යන දුර.


හිත්වල තිබුණු 

වැඩි ම ඉඩ අරගත්තෙ

පොත්වල කවි කතාවල

උත්තුංග පෙම්වත්තු


ඒ අයට ඉඩ දිදී

ඉතිහාසගත නොවී

අඩුපාඩු අස අසා 

හෙමි හෙමින් මිය ගියේ

ළඟ රැඳුණු  පණ ගැහුණු 

ප්‍රේමයේ දළ ඇත්තු

(අදිසි  - අරියාද්නේ 66 පිට)


කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ අරියාද්නේ කෘතියේ මා දකින තවත් විශේෂත්වයක් වන්නේ කෘතියෙහි සංගෘහිත බොහෝ නිර්මාණ එහි උපරිම අර්ථයෙන් වින්ඳනය කිරීමට කවිය විසින් යම් කිසි මූලික සුදුසුකම් හෙවත් පූර්ව කියැවීම් ප්‍රමාණයක් රසිකයාගෙන් ඉල්ලා සිටීමයි. මක් නිසාද යත් මෙහි සංගෘහිත බොහෝ නිර්මාණ වෙනත් කවියක්, නවකතාවක්, කලා කෘතියක්, ගීතයක් හෝ ඇතැම්විට තවත් කලා කරුවකුගේ ජීවන පුවතක් වැනි දේවල් හා බැඳී තිබීමයි. උදාහරණයක් ලෙස කෘතියෙහි නම සඳහන් අරියාද්නේ නම් කව ග්‍රීක මිත්‍යාකතාවල එන අරියාද්නේ කුමරියගේ පුවත පාදක කරගෙන තිබේ. එසේම කොළරා කාලේ ආලේ, ගොළු හදවත, මළගිය ඇත්තෝ, ඇට මැස්සා, වදරින් හයිට්ස්, ගම්පෙරළිය වැනි දෙස් විදෙස් කෘති මෙන්ම ඇතැම් ගීත පවා කිවිඳිය තම කවි සඳහා අනුභූති කොට ඇත. මෙය ව්‍යුත්පත්තිය සහිත සීමිත කවි කිවිඳියන් කීපදෙනෙකු සතුව පමණක් ඇති ගුණයක් වේ- එමෙන්ම මෙවන් වියුත්පත්තියෙන් යුතු නිර්මාණකරුවන් කීපදෙනෙකු හෝ කාව්‍යකරණයේ ව්‍යාවුර්තව සිටීම, සමාජ මාධ්‍ය ඔස්සේ විවර වී ඇති කවි ලිවීම සඳහා හැමට ඉඩ විවරවීම නම් සත් ගුණයත් එක්කම නැතිව යමින් ඇති ලියන්නට පෙර කියවා හැදෑරිය යුතුය යන ගුණයට අභියෝග කරන්නකි. එසේම අරියාද්නේ තුළ ඇති මේ කවි අදාල අනුභූතිලත් කෘති පරිශීලනය නොකළ අයෙකුට විඳීමේ බාධාවක් නැති බව ද කිව යුතුමය.

-ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

'අනිද්දා' පුවත්පත. 2023.05.28