Saturday, November 18, 2023

දර්මපුරම් - රසික තල බිඳ දමන නවකතාවක්


ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරගේ සම්මානිත නවකතාවක් වන 'ප්‍රේමානිශංස' ගොඩ නැගෙන්නේ, ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ සුවිශේෂි කලා සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියන ප්‍රභූ පවුලක් වන ආනන්ද කුමාරස්වාමි ද අයත් වූ පවුලේ මිනිපිරියක් වන තරුණියක වටාය. ප්‍රවීණ ලේඛිකා මනෝරි සිලිකා වික්‍රමආරච්චිගේ 'දර්මපුරම්' කතාවේ කතා නායිකාව වන ‘සෙන්නි’ගේ චරිතය ද කතාව අවසානය දක්වා නොවිසඳුණු සෙන්නිගේ ද්‍රවිඩ ජාතික පියා මෙන්ම ඇගේ සැබෑ මව ද කේන්ද්‍ර කරගනිම්න් ගොඩ නැගී තිබේ. පරම්පරා කිහිපයකට පෙර රේන්ද ව්‍යාපාරය ආදී කුප්‍රකට ව්‍යාපාර තුළින් නැගී ආ වාණිජ - නමුත් කුලීන නොවූ පහත රට පරපුරක තරුණයෙකුත් අර කී කුලින, දෙමළ සම්භවයක් ඇති තරුණියත් අතර ඇති වෙන ප්‍රේම වෘත්තාන්තයත් මගින් සමාජ පන්ති පිළිබඳ විශාල විග්‍රහයක් ප්‍රේමානිශංස නවකතාවෙන් ගෙනේ. දර්මපුරම් නවකතාවේ කතා නායිකාව වන සෙන්නි නම් හිතුවක්කාර ස්වරූපයේ තරුණියගේ මව ද කුලීන, ඉඩම් හිමි, උගත් සහ වැදගත් පරපුරක තරුණියක් වන අතර අනෙක් අතට ද්‍රවිඩ ජාතික පියා ඊට වඩා වෙනස් කෙනෙක් බව කතා අවසානයේ හෙළිවේ. ඒ අනුව දර්මපුරම් මගින්ද අති විශාල සමාජ දේශපාලනික විමසුමක් දිග හැරේ. ඒ අර කියූ ආකාරයේ කුලය පදනම් වූ පන්තිය ගැනට වඩා විවිධ කුප්‍රකට ජාවාරම්, පාවාදීම් හා භීෂණයන් මගින් තම බලය ගොඩනගාගැනීමට හා රැකරැකගැනීමට එකි නෙකා සූක්ෂ්මව භාවිත කරන දේශපාලන හා ව්‍යාපාරික පන්තිය ගැන ය.

දර්මපුරම් නවකතාවේ කතා නායිකාව ‘සෙන්නි’ ලෙස කීවද සැබැවින්ම මේ කතාවේ කතා නායිකාවන් දෙදෙනෙක් ඇතැ’යි කීම සාවද්‍ය නැත. එනම් ගැටවර වියේ සිට තරුණ විය දක්වා ගලා යන සෙන්නිගේ චරිතය සහ කතාවේ අවසානය තෙක්ම ඇගේ පුංචි අම්මා ලෙස හඳුනාගැනෙන ‘නේරංජනා’ නම් කාන්තාවගේ චරිතයයි. නේරංජනා බොහෝ විට විග්‍රහවන්නේ සෙන්නිගේ දෘෂ්ටිය හරහා ය. නමුත් ගැඹුරින් විමසා බැලීමේදී දර්මපුරම් නවකතාවේ වඩාත් කැපී පෙනෙන කාන්තා චරිතය නේරංජනා වන බව පෙනේ. කතාවේ සංකීර්ණම චරිතය ද නේරංජනා ය.

එසේම කතාවේ චරිත හා සිදුවීමුත් සෙන්නිගේ සිතිවිලි ඔස්සේත් හුයක් සේ ගැටගැසී ඇති තවත් ප්‍රධාන චරිතයක් ඇත. එනම් කතාව අවසානය තෙක් හෙලිදරව් නොවන, මුහුණක් නොමැති චරිතය වන ‘චේ’ හෙවත් ‘චේදරම්’ය. කතාවේ මුල් අඩ බොහෝ විට සෙන්නිගේ ළමා වියේ හා තරුණ වියේ සිතිවිලි ඔස්සේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ගොඩ නැගේ. අවසන් කොටසේ විටින් විට නේරංජනාගේ දෘෂ්ටිකෝණයට ද මාරු වේ. ඒ ඈ විසින් ලියන ලද දින පොතක් හරහා ය. කතාවේ ඇතැම් තැන් ප්‍රථම පුරුෂයෙන් තැබීමට ලේඛිකාව පියවර ගනී. ඒ අනුව දර්මපුරම් නවකතාව තුළ දෘෂ්ටිකෝණය සම්බන්ධයෙන් ලේඛිකාව ඉතා වැදගත් තාක්ෂණික අත්හදාබැලීම් රාශියක් සාර්ථකව සිදුකරන බව පෙනේ. 

කතාව ආරම්භ වන්නේ චේ නම් මෙම පුද්ගලයාගේ පෟරාණික නිවස මෙන් ම ඒ තුළ ඇති, ඇත් දළ, පිළිම, මූර්ති, කැටයම්, සිතුවම්, බඳුන් වැනි විවිධ පුරාවිද්‍යාත්මක හා කලාත්මක කෘතීන් වර්ණනා කරමිනි. ඒ අනුව මුල් පරිච්ඡේදය කියවද්දී චේ යනු එවන් කලාගාරයක් වැනි නිවසක් අරා සිටි මහා කලාකාමී මුණිවරයකු වනු ඇතැයි හැඟේ. එනම් ප්‍රේමානිශංස නවකතා අවකාශය තුළ සිටින අර කුමාරස්වාමි පවුලේ ජනකාන්ත උගත් මිනිසකු සේ ම පාඨකයාට හැඟී යයි. නමුත් චේ යනු කවරෙක්දැ’යි හෙළිදරව් වෙන්නේ කතාවේ අවසාන පරිච්ඡේද දෙක තුන වන තුරු පාඨකයාට ඉවසා සිටීමට සිදු වේ. කතාව ගැටගසන ප්‍රධානතම හුයද එයයි.

චේ හෙවත් චේදරම් නම් කුප්‍රකට පුරා වස්තු එකතු කරන්නා ගේ රැවවටීමට ලක්වූ නේරංජනානම් නව යොවුන් දැරිවිය ගැබ් ගැනීමත්. ඉන් ඒ හේතුවෙන් ඇගේ දෙමව්පිය දෙදෙනා මියයයෑමත්, පසුව චේ තම අනියම් බිරිඳවන නේරන්ජනා තම දේශපාලනික සම්බන්ධතා වෙනුවෙන් හිතවත් ඇමතිවරුන්ට දූෂණය කරන්නට ඉඩ දීමත්, පසුව නේරංජනා තම දියණියත් තම නිවසේ වූ ‘මාතම්මා’ නම් සේවිකාවත් සමග පලාගොස් තම පියාට අයත් වූ දෝතලු වත්ත නම් ග්‍රාමීය ඉඩමක වූ නිවසක නිර්ණාමිකව වෙසීමත්, දියණිය වන සෙන්නි ඉතා කුතුහලයෙන් යුතුව සිට අවසන සියලු සත්‍ය සොයාගැනීම හා පසුව ඇයද ගෙළ වැළලාගෙන මිය යාමත් වටාමේ කතාව දිවේ. මා ඒ කීවේ කතාවේ කාලාවකාශී පිළිවෙළට වුවත් නවකතාව තුළ එය දිගහැරෙන්නේ ඊට වඩා වෙනස්ම ආකාරයකට කාලාවකාශ පිළිවෙළ සම්මිශ්‍රණය කරමින් ඉතා නිර්මාණාත්මකව ය. 

සෙන්නිගේ සැබෑ පියා කවුද? සෙන්නිගේ සැබෑ මව කවුද? චේ යනු කවරෙක්ද ආදී කුහුල කථාරම්භයේ සිට අවසානය තෙක් පාඨකයා එක සේ බැඳ තබාගන්නට සමත් වේ. මේ කෘතියේ  තවත් සුවිශේෂීත්වයක් වන්නේ එකී සැඟවුණු කාරණා මගින් කතා වස්තුවේ කුහුල ආරක්ෂා කරනවා සේම ඉදිරියට වෙන්නට යන දේ කළින්ම කීමේ උපක්‍රමය (foreshadow) ද එක සේ නිර්මාණාත්මකව භාවිත වීමයි. 

කතාවට පසුබිම් වන ඓතිහාසික කාල පරාසය ඉතා අතීරණාත්මක එකකි. එනම් රාජ්‍ය භීෂණය, දෙමළ ජාතිකයින්ට එරෙහි අපරාධ, එමෙන්ම දකුණේ තරුණයින් දෙවැනිවරට ඇති කළ කැරැල්ල ආදිය සහිත දශක දෙක කිහියපයක් සහිත  අතීරණාත්මක යුගයයි. එසේම ඒ සියලු කාරණා මේ කතාව හා ඍජුව ගැටගැසේ. එවන් අතීරණාත්මක යුගයක් තුළ විය නොහැකි දෙයක් නොමැති වේ. එනිසා අනවශ්‍ය පරිදි යථාර්වාදීව නවකතාවට එළඹෙන පාඨකයෙක්ට ඇතැම්විට එකවැර පිළිගන්න අමාරු ස්වරූපයේ ඇතැම් සිදුවීම් වලට මෙකී අතීරණාත්මක කාලය අර්ථ සපයයි. 

Willing suspension of disbelief යනු ප්‍රකට කවියෙකු සහ සෞන්දර්ය වේදියකු වූ එස්.ටී.කොල්රිජ් (Samuel Taylor Coleridge) යම් කිසි ආඛ්‍යානයක ඇති අවිනිශ්චිතභාවය, හා රසිකයා ඒ වෙත එළඹිය යුතු ආකාරය පිළිබඳ ගෙනා ප්‍රකට සංකල්පයකි. ඉන්  කියවුනේ ‘විශ්වාස කළ නොහැකි බව’ නම් පූර්ව විනිශ්චය රසිකයා යම් කෘතියට ප්‍රවේශ වීමේදී අත්හිටුවිය යුතුය යන්නයි. සරල උදාහරණයක් කියනවානම් හින්දි සිනමා කෘතියක් නරඹන්නට වාඩිවන ප්‍රේක්ෂකයා ඒ තුළ ඇති ගීත කොටස් වලදී එක් ගසක සිට තවත් ගසක් ළඟට නර්තනයේ යෙදෙමින් නලු නිළියන්ගේ ඇඳුම වෙනස් වීම විය නොහැක්කක් ලෙස පූර්ව විනිශ්චයක සිටිය යුතු නොවේ. මන්ද යත් එසේ වුවහොත් ඒ සිනමා කෘතිය ඔහුට විඳින්නට සිදු වන්නේ නැතිය. එහෙයින් කලා කෘතියක යථාර්ථය වනාහි බාහිර ලොව තියෙන දෙයකට වඩා අදාල කලා කෘතිය තුළ ම තිබෙන දෙයකි. 

දර්මපුරම් හි නේරංජනා චේ ගෙන් පැන යන්නේ තම දරුවා පමණක් රැගෙන නොවේ. ඇය චේගේ විවාහ බිරිඳගේ දරුවා ද තමාව දූෂණය කළ මැති ඇමතිවරුන්ගේ දරුවන් ද රැගෙනය. එය රටේ විශාලතම ළමා මංකොල්ලය ලෙස කියැවේ. තම නිවසේ මෙහෙකාරිය තම මව ලෙසද, චේගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති හා තමාගේත් චේගේත් දියණිය වන සෙන්නි පිට රට ගිය තම වැඩිමහලු සහෝදරියගේ නිවුන් දියණියන් ලෙසද ආදී ඉතා විශාල කතාවක් ගොඩනවමිනි. එසේම සෙසු දරුවන් ළමා නිවසක් සදා ඇය අප්‍රකටව හා නිරුපද්‍රිතව දශකයක් ඉක්මවා ජීවත් වේ. මෙය නවකතාවේ යථාර්ථයට නොඑළඹී බාහිර යථාර්ථය සමග නවකතාව කියවන්නෙකුට විය නොහැක්කක් ලෙද පෙනීයා හැකිය. නමුත්  කොල්රිජ් කීවා සේ එය බාහිර යථාර්ථයට වඩා නවකතාකාරිය නිර්මාණය කරන කතාවේ යථාර්ථය තුළ ඉතා පහසුවෙන් අර්ථ ගැන්වෙන්නකි. එසේම පෙර කියූ අතීරණාත්මක හා අරාජික දේශපාලනික වටපිටාව තුළ එය බහිරයථාර්ථය සමගද කිසියම් අයුරකින් ඇවැසිමනම් ගැටගසාගන්නට යම් අයෙකුට හැකියාව තිබේ. ලේඛිකාව පාඨකයාව කතාව තුළට ප්‍රවේශ කරන්නේ ම දෝතලු ඉඩමේ තලමල පිපීමේ සුබ අසුබ විශ්වාසයකින් ලකුණකින් ලකුණක් සමගය. එසේම සෙන්නිගේ ඇතැම් අධියථාර්ථවාදී සිතුවිලි ධාරාවන්, සහ චර්යාවන් (සියඹලා ගසකට සහ ගල් පර්වතයකට පණ ඇතැයි සලකා ප්‍රතිචාර දැක්වීම වැනි) ඔස්සේය ක්‍රමයෙන් ඉදිරියට ගෙන එන්නේ පාඨකයාට නවකතාවේ ම යථාර්ථයකට එළඹීමට ආරාධනා කරමිනි.  

දර්ම පුරම් කතාව අවසානය වන විට එකම ඉරණමක් තුළ නේරංජනා සහ සෙන්නි යන අදීන ගැහැනුන් දෙදෙනාගේ ම ඉරණම එකම විදිහට ගැටගැහේ. ඒ ඔවුන් දෙදෙනාටම ගෙළ වැළලා මියයෑමට සැලැස්වීමයි. එසේම නේරංජනා විසින් සාදාගනු ලැබූ චේදරන්ගේ සහ ඔහුගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති ද උත්ප්‍රාසාත්මක ඛේදාන්තයකට ගොදුරු වේ. එනම් තම පියා වන චේරන් ඇතුලු කණ්ඩායම අතින් දූෂණය වීමයි. කතාව තුළ ලේඛිකාව සමාජයේ බොහෝ තැන් වලට සියුම්ව පරහ දේ. තම පැවැත්මත් තමා විසින් කරන ලද අපරාධ නිසා ඇතිවන පශ්චාත්තාපයෙන් ගැලවීමටත්, ඇතැම්විය සමාජය නොමග යැවීමටත් දේවාල වල පිහිට පැතීමයි. අනික් අතට එසේම තම ජීවන මාර්ගය සඳහා මිනිසුන් දේවාල පැවැත්වීමමින් මුසා දෙසමින් දිනෙන් දින දියුණු වන දේවාලත්, අනවශ්‍ය පරිදි දේශපාලනයට ළංවීම නිසාම නිසා අවසානයේ ඒවා විනාශයට යෑමත් ය.  

මනොරි සිලිකා වනාහි ජනප්‍රිය තලයේ නවකතා ලිවීම සඳහා වැඩිමනක් ප්‍රසිද්ධව ඇති ලේඛිකාවකි. එසේ නමුත් ඈ සතු ව්‍යුත්පත්තියත් ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් ඈව ජනප්‍රිය කෘති බිහිකිරීමෙන් ඔබ්බටද ගෙන යන බව දර්මපුරම් සාක්ෂි සපයයි. ජනප්‍රිය තලයේ කතා ලිවීම සරල දෙයකැ’යි ඉන් අදහස් නොවේ. ඒවා ලිවීම වෙනම වැඩකි. කතුවරිය ජනප්‍රිය තලයේ කෘති ලිවීමට වඩාත් ප්‍රකටව ඇති නිසාම ඇගේ මෙවන් නවකතා සමාජයේ කතා බහට ලක් නොවීමටද ඉඩ ඇති බවයි. තවත් පැහැදිලිව කියනවානම් මේ ජනප්‍රිය විධග්ද බේදය නිසා අහම්බෙන් මුණ ගැසුනොත් හැර විධග්ධයැ’යි කියාගන්නා විචාරකයින්ගේ දෑස්වලට දර්මපුරම් වැනි අපූරු නවකතාවක් මුණ නොගැසෙන්න ඇති ඉඩ වැඩි බවයි. සැබැවින්ම දර්මපුරම් වනාහි සරල රසික තල බිඳ දමන අපූර්ව නවකතාවකි.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ( 2023.11.19 අනිද්දා පුවත්පත)