සිරිවර්ධන පවුල
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස
“සිරිවර්ධන පවුල” බලන්නට යනවාය කී පසු මාගේ හිතවතෙක් කීවේ රාජිතගේ
මෙදා පොටේ නාට්‍යනම් එතරම් හොඳ නැති බව ය. හොඳ සහෘදයකු ලෙස මා තුළ විශ්වාසයක් ඇති ඔහු
කී ඒ වදනින් මාගේ බලාපොරොත්තු තරමක් බිඳී ගියේය. ඒ, යුගයේ ප‍්‍රමුඛතම නාට්‍යකරුවකු මෙන්ම කවදාත් වෙනස්
වැඩක් කරන්නකු යන රාජිත දිසානායක පළිබඳ අප තුළ ගොඩනැගී තිබූ විශ්වාසය නිසා ය. කෙසේ
වෙතත්, බලන්නට කළිං කෘතිය පිළිබඳ
විචාරයක් අහන්නට නුවමනා මම මිතුරා එසේ කීවේ මන්දැ'යි ප‍්‍රතිප‍්‍රශ්න
නොඅසාම කරබාගතිමි.
නාට්‍යය නැරඹීමට වාඩි වූ මොහොතේ සිට
ම මා මිත‍්‍රයා කියූ දෙය එතරම් සාධාරණ නොවන බව ක‍්‍රමයෙන් වැටහෙන්නට විය. ඔහු කියූ
කතාවෙහි කිසියම් සත්‍යයක් තිබුණිනම් ඒ කතාවේ මතුපිට අර්ථයෙන් පමණ ය. කතාවේ මතුපිට අර්ථය
කිසියම් සරලභාවයක් පෙන්නුම් කළ ද ඒ තුළින් ඉඟි කරන සංකේතමය අර්ථයන් පශ්චාත් ධනේශ්වරයේ
සහ එහි ම අතුරු පළයක් වන වෙළඳ මාධ්‍යයකරණයේ සියුම් තැන් ගැඹුරින් ස්පර්ශ කරනවා පේන්නට
තිබුණි.
රාජිතගේ නාට්‍යය කලාව
“අල්පෝත්තිමය” ලක්ෂණයන්ගෙන් හෙබි සුවිශේෂී එකක් ලෙස ආචාර්ය
ලියනගේ අමරකීර්ති විසින් හඳුන්වා දී තිබුණේ, ඔහුගේ නාට්‍ය කලාව සතු මතුපිට සරල ලක්ෂණයන් අතික‍්‍රමණය
කරන එකී සියුම් හුයවලට ඉඟි කරන්නට ය. ඒකී හුය නිසි පරිදි දිගහැර පූර්වාපර සංධි ගලපාගන්නට
බැරි වීම හේතුවෙනි මාගේ යට කී මිත‍්‍රයා සිරිවර්ධන පවුල පිළිබඳ ඔහුගේ තක්සේරුවට ඇවිත්
තිබුණේ.
වෙළඳ මාධ්‍යයකරණය විසින් නිර්මාණය කර දෙන ලද
අවශ්‍යතා හා පරමාදර්ශයන්ට අවනත කෙරුණු පහළ මධ්‍යම ප‍්‍රාන්තිකයැ'යි කල්පනා කළ හැකි පවුලක ඛේදවාචකය මේ නාට්‍යෙයහි උඩු
පෙළ ඔස්සේ ගලා යයි. පවුලේ මව ගුරුවරියක වන අතර පියා ද විශ‍්‍රාම ලත් රාජ්‍ය නිළධාරියෙකි.
තමන්ට වඩා තම දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහළ තැනකට ගෙනයෑම ආධ්‍යාශ කොටගත් ඔහු වාමාංශික
නැඹුරුවක් සහ මනා දේශපාලනික සවිඥානයකින් හෙබි අයෙකි. මේ පවුලේ සෙසු සාමාජිකයින් වන්නේ
රූමත් තරුණ දියණිය සහ සුපුන් නම් බාල පුතා ය. සම්භාව්‍ය සංගීතයටත් පියානෝ වාදනයටත්
ආධ්‍යාත්මිකව නැඹුරුව සිටි සුපුන් කුමන හෝ හේතුවක් නිසා ඉන් විතැන් කර වානිජ ස්ටාර්
තරගයක තරග කරුවකු දිහාවට තල්ලූ කර ඇත. කෙසේ වෙතත්, සුපුන් ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කිරීම තම පවුල ගොඩයෑමේ
එකම මාර්ගය බව ඔහුගේ මව මෙන්ම අක්කාද තරයේ විශ්වාස කරති.
වාණිජ රියැලිටියේ ආක‍්‍රමණය කොතරම් බිහිසුණු
සහ සූක්ෂ්ම එකක්දැ'යි පෙන්වා දෙන්නට සරුවපිත්තල වහන්තරාවන්ගෙන්
ඈත් වී මහපොළවේ යථාර්ථයත් සමග ජීවත් වන පියෙකු සහ තරමක් හෝ විචාර ශක්තියකින් හෙබියැ'යි සිතිය හැකි “ගුරුවරියක” විසින් මෙහෙය වන මෙවන් පවුලක් තෝරාගැනීම සූකර ය. කතාව ආරම්භයේදීම දියණිය තම
මවට කියන්නේ මල්ලීගේ ජනප‍්‍රිය වීමත් එක්ක ගෙදර ඇති පරණ පුටු සෙටි එක වෙනුවට අලූත්
පුටු සෙටියකුත් ටීවී එකකුත් මිළදී ගත යුතු බවය. එසේනම් ඉන් ඉඟි කරන්නේ මේ රියැලිටි
කුණාටුව හඹා ගොස් ඇත්තේ රූපවාහිණී යන්ත‍්‍රයක්වත් භාවිත නොකරන නිවසකට බවද? මේ ධනවාදී වෙළඳ කුණාටුවට ලාංකිකයින් සැබෑවටම
කොතරම් හසු වුණේද යත්, එල්ටීටීඊ සංවිධානය තම
ගුවන් ප‍්‍රහාරයන් බාධාවකින් තොරව සිදුකිරීමට ලාංකිකයින් රියැලිටි සයුරේ කිමිදුණු රාත‍්‍රීන්
තෝරාගත් බවට ඒ දවස්වල කියැවුණා මතකය.
සුපුන් රියැලිටි තරගයක
තරග වදිනවාට පියා මුල්කාලීනව දැඩි සේ විරෝධය දක්වයි. වැඩකට නැති දේවල් නොකර අධ්‍යාපනය
කරා යොමුවිය යුතු බව ඔහු නිතර අවධාරණය කරයි. ඔහුගේ සිත සෑදිමට මවත් දියණියත් කොතරම්
උත්සාහ කළත් ඔහු ඊට කණ් නොදේ. එසේ නමුත් හදිසියේ පිටතදී දැනුණ ප‍්‍රතිචාර ඔහු හාත්
පසින් වෙනස් කරයි. මුළු රටම ඔහුගේ පුතා ගැන කතා කරන අතර, වෙනදා කතා නොකරන යාලූ මිත‍්‍රයින් පවා වාහන නවතා ඔහු
සමග කතාබස් කරයි. ඔහුව බලහත්කාරයෙන් වාහනයට නංවාගෙන ඇරළවයි. වෙනකක් තබා ඔහු අවසන ඔහු
එන්නේ කරන්නට ගිය වැඩය ද අමතක කරමිනි. මෙය එක්තරා අතකට, ධනවාදයේ තාවකාලික සංතෝෂම්වලින් උත්තේජනය වී කරන්නට
යන රාජකාරිය ද අමතක කර ධනවාදයෙහිම ව්‍යාවෘත වන අද්‍යතන ලාංකික වාමාංශයේ ඛේදනීය ඉරණම
සිහිකවරයි.
රටට පරමාදර්ශ ගොඩනගා
දෙන මාධ්‍යයේ එකම පරමාදර්ශය ලාභයයි. මෙතෙක් කල් තම පරමාදර්ශන් ලෙස හුවාදක්වමින් රට
හමුවේ තහවුරු කළ ඊනියා පරමාදර්ශයන් ලාභය හමුවේ
වෙනස් කරන්නට ඔවුන්ට ගතවන්නේ මොහොතක් පමණි. එහිදී අඩු තරමේ සදාචාරාත්මක විළියක්වත්
ඔවුන්ට නොදැනේ. අදාල ආයතනය තම ප‍්‍රධාන ව්‍යාපෘතිය
වන සුපුන් සහභාගී වූ රියැලිටි තරගයට එකවැර තාවකාලිකව නවත්වන්නේ ක‍්‍ර‍්‍රිකට් මැච්
එක විකාශනය කිරීම ඊට වඩා වාසිසහගත හෙයිනි. වෙනස් පුද්ගලයින් සේ පෙනී ඉඳීම, මොස්තර කිරීම, ඇහැ පිනවීම, ආකර්ශනය සහ රියැලිටිය සිය ධර්මය සේ පෙන්වූ මාධ්‍ය ආයතන
නියෝජිතයා වන “ජයන්ත සර්” එකරැයින් වෙනස් වී කටට දිවට නොදැනෙන්න “ඒවා වැඩක් නැති දේවල්” බව පවසයි. ඔහු පවසන්නේ
දැන් තමා කල්පනා කරන්නේ ආධ්‍යාත්මික අතින් ගොඩයෑමට බවයි. ජීවිතයේ සැබෑ රියලිටිය එය බව ඔහු පවසයි.
ජීවිතයේ සැබෑ රියලිටිය
දන්නා මේ ධනවාදී නියෝජිතයා ධනවාදයේ ඇඟිලිකරු අතරින් ගිලිහෙන දෙයක්වත් පිටතට යන්නට ඉඩ
නොදේ. ජනතා ආකර්ශනය ලබමින් රියැලිටි තරගයන්ගෙන් දිනන්නනම් හම් සපත්තු කුට්ටම් හතක්වත්
තිබිය යුතු බව ඔහු තරගකරුවන්ට නිර්දේශ කරයි. දෙවනුව, තමංම ලෙදර් සපත්තු කඩයක් ආරම්භ කරන ඔහු එයින් සපත්තු
ගන්නට ඔවුන් පොළඹවයි. තවත් අතකින්, හිසේ ජෙල් ගා - හම් සපත්තු පැළලඳ ජයගත හැකි ගායන රියැලටි තරගයේ රියැලටිය ගැන මෙහිදී පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල උත්ප‍්‍රාසයක්
මතු කරයි.
කොටට ලස්සනට අලූත් මෝස්තරේට
ඇන්දාම හැඩට පේන නිසා ස්ටාර් තාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ගැලපෙනවායැ'යි කළිං කී සුපුන්ගේ අක්කාටම “ජයන්ත සර්” මේ අධ්‍යාත්මික වැඩසටහන ඉදිරිපත් කරන්නට ආරාධනා
කරයි. අවසන එහිදී ඔහු තම පුතා තරුවක් කිරීමේ සිහිනය පසුපස හඹාගොස් රටට ලෝකයට ණය වී
හෙම්බත්ව සිටින සිරිවර්ධන පවුලට නිර්දේශ කරන්නේ ආගමක් වැනි හරවත් ආධ්‍යාත්මික මාර්ගයකටත්
වඩා මෙරට මාධ්‍ය ආයතන විසින් උදේ හවස අති අවධාරණය කරන (විකුණනු ලබන) ඊනියා ධනාත්මක
චින්තන අභ්‍යාසයක් ය. නාට්‍යය අවසන් වන්නේ, තම පවුල ගොඩගැනීමේ ඊළඟ විකල්පය මේ කියන ආධ්‍යාත්මික
රියලැටිය ලෙස විශ්වාස කරන තරමට සිරිවර්ධන පවුල ධනවාදී මාධ්‍යයේ එකී තහවුරුව ද වැළඳ
ගැනීමට සූදානම් වන තැනිනි.
නාට්‍යයේ යටි හුයෙහි
ගමන් කරන තවත් වැදගත් චරිත දෙකක් වන්නේ සජිනි සහ ඇයගේ මවයි. සුපුන් පියානෝව ඉගනගන්නේ
සජිනිගේ මවගෙනි. ඇගේ නිවස අව්‍යාජ සංගීතමය අසපුවකි. සුපුනුත් සජිනිත් අතර අප‍්‍රකාශිත
පේ‍්‍රමයක් දලූලමින් ඇති බව පේනනට තිබේ. මේ අදෘෂ්‍යමාන චරිත දෙක විටින් විට පැමිණ නාට්‍යය
එහි මතුපිට තලයේ සිට විවිධ අභ්‍යන්තරික අර්ථයන්ට රැගෙන යෑම සඳහා කවුලූ සපය යි. විටෙක
ඔවුන් මතුවන්නේ ලාංකීය තාරුණ්‍යය හා සිංහල මනස තුළ අනෙකා පිළිබඳ පවතින අතාර්කික විචාරයන්හි
තරම පෙන්වා දෙන්නටය. විටක බටහිර සහ ඉංගීසි භාෂාවට එරෙහිව ඇති ඊනියා ජාතිකත්ව මානසිකත්වයේ
හිස්බව පෙන්වා දෙයි. තවත් විටක මොවුන් දෙපෙළ සැබෑ සංගීතයේ හා සංස්කෘතියේ නියෝජනයන්
ය.
සුපුන් ස්ටාර් තරගයට සූදානම් වන බොහෝ වේලාවට සජිනි
මතක් කරයි. මේ තරගය නවතා නැවතත් පියානෝ පුහුණුවට යා යුතු බව කියයි. තවත් විටක සජිනි
ඔහුගේ නිවසටත් මිත‍්‍රයින්ටත් දුරකථන ඇමතුම් ලබා දේ. අවසන ඇය ඔහු නමට ලිපියක් එවයි.
සුපුන්ගේ මව ඒ ලිපිය දෙස අවධානය යොමු නොකරම පසෙකට තබයි. මන්ද යත් ඒ වනවිට ඇයගේ අවධානය
යොමුව ඇත්තේ “ආධ්‍යාත්මික රියැලිටිය” දෙස හෙවත් වානිජ සංස්කෘතිය තුළින් මවා දුන් දෙය දෙස ය. පෙර
කීවා සේ, සජිනි සහ ඇගේ මව නාට්‍යය
පුරාවටම ප‍්‍රාග්ධනය මත දුවන එකී වාණිජ සංස්කෘතියත් සැබෑ (සම්භාව්‍ය හෝ ජනප‍්‍රිය)
සංස්කෘතියක් අතර ඝට්ඨනය පෙන්වන ප‍්‍රබල රූපකයක් සේ මතුවේ. නොඑසේනම් සැබෑ කලාවෙත් ප‍්‍රාග්ධනය
කෝටිගණන් යට කරමින් නිෂ්පාදනය කරන වෙළඳ කලාවෙත් පරතරය පෙන්වා දෙයි. සුපුන් තුළ සජිනිට
ඇති ඇල්ම, ධනවාධයත් එකී යාන්ත‍්‍රණයටම
හසු වූ තම පවුලේ අයගේත් මිත‍්‍රයින්ගේත් බලපෑම මගින් තමාව බලහත්කාරයෙන් ඈත් කර ඇති ඔහුගේ ආධ්‍යාමීය පියානෝවට හෙවත් සැබෑ කලාවට ඇති
පේ‍්‍රමයේ රූපකයක් වන්නටත් බැරිද?
දෙවැන්න ධනවාදීය දේශපාලනික
සංස්කෘතිය යි. දේවල් පිළිබඳ හිතලූ කිවීමෙන් එහා ගිය සැබෑ අවබෝධයක් ඒ තුළින් නොයිල්ලයි.
රටේ වැදගත් පැරණි දේශපාලඥයින්ගේ නම් පමණක් දැන හිටියද කම් නැත. එසේ නොවුනා කියා ද ගැටලූවක්
නැත. තම යාලූවාගේ සුපිරි සිහිනයෙන් ගොඩ යෑමට බැරි වූ සුපුන්ගේ මිත‍්‍රයාට ඊළඟට ගොඩයෑමට
ඉතිරි වන්නේ වයඹ මැතිවරණයට වැඩ කිරීමට ය. රියැලිටි වැඩසටහනට යෑම සඳහා කුළියට ගෙන සුපුන්
ඇතුළු පිරිස ගමන් කළ වාහනයෙන් හැප්පෙන්නේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඩ‍්‍රයිවර්ගේ
පියා ය. එසේ හෙයින් සුපුන්ලාට ඉන් ගැලවෙන්නට අමාරු බව කියැවේ. දෙවැන්න ඔවුන් කුලියට
ගත් වාහනය ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානියකු හයර්එකට දාපු එකකි. රිය අනතුරින් පසු එහි
වන්දිය ගන්නට සුපුන්ගේ නිවසට කඩාපනින්නේ උකුස්සාගේ
කට්ටියයි. මෙය ලාංකීය ධනවාදී දේශපාලන සංස්කෘතියේ මුහුණක් නැති පාතාලමය ශරීර සංකේතයයි.
- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර (PRASAD NIROSHA BANDARA)
( රාවය 2015 ජූනි 14)