ආර්ජන්ටීනියානු සිනමා ඉතිහාසයේ වඩාත් සාර්ථක කෘතියක් ලෙස විචාකයින් හඳුන්වන Wild Tales සිනමාකරුවකු වන Damián Szifron විසින් (2014) අධ්‍යක්ෂණය කරන ලද්දක්. මෙය එම වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේදී හො ඳම විදේශීය චිත්‍රපටයට හා ඒ වසරේ Cannes සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට (Palme d'Or) ද නිර්දේශ වෙමින් තවත් ප්‍රධාන පෙළේ සම්මාන රාශියක් දිනාගන්නවා.
සිනමාපටය දිගඇරෙන්නේ එකිනෙකට වෙනස් උප කතා හයක් පදනම් කරගනිමින්. නමුත් ඒ කතාංග සියල්ල සතු තේමාත්මක ඒකීයත්වය සමස්ත කෘතිය ඒක් ධාරණාවක් සහිත තනි සිනමා නිර්මාණයක් හැටියට බැඳතබනවා. ඒ කෝපය වෛරය හා පළිගැනීම කියන හුය හරහා.
මිනිත්තු හතක පමණ කුඩා කාලයක් තුළ දිගහැරෙන පළමු කතාංගය තුළම Damián Szifron මේ හුය අල්ලගන්න අවශ්‍ය තේමාත්මක උපකරණ ප්‍රේක්ෂකයාට ලබාදෙනවා. එය දිගහැරෙන්නේ ගමන් ඇරඹූ ගුවන් යානයක යාබද අසුන් දෙකක සිටින විලාසිතා නිරූපණ ශිල්පිනියකුත් සංගීත විචාරකයෙකුත් වැටෙන අහඹු කතාබහක් මත. තමන්ට ගේබි්‍රයල් පස්තර්නැක් නම් සංගීතයට නැඹුරු පෙම්වතෙකු සිටිබව කතාව අතර තුර ඇය කියනවා. මෙයින් විමතියට පත්වූ විචාරකයා කියන්නේ තමන් ද පස්තර්නැක්ව හඳුනන බවත්, ඔහුගේ සංගීත දිවියේ එක්තරා තීරණාත්මක අවස්ථාවක ඉදිරිපත් වුණ නිබන්ධනයක් තමං විසින් ප්‍රතික්ෂේ්‍රප කළ බවත්. මේ කතාවට සවන්දීගෙන සිටින ඉදිරි අසුනේ වාඩිවී සිටින කාන්තාවක් මේ අහම්බය තවදුරටත් තීව්‍ර කරනවා. ඇය පස්තර්නැක්ගේ පාසල්වියේ ගුරුවරියක බවත් ඔහු තම පංතියේ හිටි එපාම කළ ශිෂ්‍යයෙක් බවත් ඇය කියනවා. ඒ වගේම ගුවන් යානය තුළ සිටින බහුතරය පස්තර්නැක්ගේ ජීවිතයේ විවිධ කඩයිම් තුළ ඔහු අඳුරාගත් අය බව හෙළි වෙනවා. ඒ අතර පස්තර්නැක් සේවය කළ ආයතනයක කළමණාකරුවෙක් ද පස්තර්නැක්ට ප්‍රතිකාර කළ මනෝවෛද්‍ය වරයෙක්ද වෙනවා. මුලු ගුවන්යානයම භීතියෙන් ඇළලීයන්නේ තමන් ද ඇතුලු හැම දෙනාම මේ ගුවන් ගමන යන්නේ තමන්ගේම සැලසුම්වලට නෙමෙයි ඔවුන්ට සම්බන්ධ වෙනත් ආයතන විසින් එවන ලද සංචාරයන්ට බව හෙළිවීමත් සමග. ඇතැම් අයට දිනුම් ඇදීමක් මගිනුයි මේ සංචාරය ලැබිලා තිබ්බෙ.
මේ අහම්බ භීතිකාව යථාර්ථයක් බව පසක් වන්නේ බියෙන් ඇළලුණු ගුවන් සේවිකාවක විසින් ගේබි්‍රයල් පස්තර්නැක් මෙම ගුවන්යානයේ සේවකයකු බවත්, යානය ගුවන්ගත කළ පසු ඔහු නියමු කුටියට කෝපි රැගෙන ගිය බවත් එතැන් සිට නියමු කුටිය අගුලු ලා ඇති බවත් හෙළිකිරීමත් සමග.
සමස්ත සිනමාපටය පුරාවට දක්නට ඇති ප්‍රකට කාරණය වන අඳුරු අවිනිශ්චිතතාව ඉදිරි තත්පර කීපය තදින් වෙළා ගන්නවා. ඉන් එපිටට දිගහැරෙන්නේ පාපොච්චාරණයට හා නියමු කුටියේ සිටනවායැ’යි කියන පස්තර්නැක්ට තම ජීවිත බේරා දෙන ලෙස කරන අයැදීම්වලට. පස්තර්නැක් මේ තත්ත්වයට පත් වුණේ ඔහුගේ ම දෙමව්පියන් නිසා බවත්, ඒ අය ඔවුන්ගේ සියලු බලාපොරොත්තු කඩවීම් පස්තර්නැක් පිට යැවූ බවත්, ඒ සඳහා ගුවන් යානයේ ඉන්න අය වගකිව යුතු නැති බවත් මනෝ වෛද්‍යවරයා නියමු දොරට ගසමින් අයදිනවා. එසේම ඔහු අන් අයට භීතියෙන් යුතුව පාපොච්ඡාරණය කරන්නේ තමං පස්තර්නැක්ගේ ප්‍රතිකාර සඳහා අයකරන ගාස්තුව වැඩි කළ බවත් ඉන්පසු පස්තර්නැක් තමං හා අමනාප වූ බවත්. තමං ගේබි්‍රයල්ගේ පෙම්වතිය ව සිටියදී ඔහුගේ මිතුරකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව නිරූපණ ශිල්පිනිය හෙළි කරනවා. අදාල තරුණයා ද යානයේ ඉදිපස අසුනක ඉන්නවා! කළමණාකාරවරයා කියන්නේ පස්තර්නැක් ගණුදෙනුකරුවන් සමග හොඳ සම්බන්ධයක් නොපැවැත්වීම නිසා තමන්ට ඔහුව රස්සාවෙන් ඉවත් කරන්නට සිදුවූ බව. කතාව අවසන් වෙන්නේ ගුවන් යානය වේගයෙන් පොළව දෙසට ගමන් කරලා පස්තර්නැක්ගෙම නිවසෙහි මිදුලමත වැටීමෙන්. ඒ මිදුලෙහි විවේකගනිමින් සිටින ඔහුගේ මව හා පියා ද යට කරමින්.
කතාවේ කොතනකදීවත් ගේබි්‍රයල් පස්තර්නැක් නම් තැනැත්තෙක් පෙන්නන්නෙ නෑ. එවැන්නෙක් මේ ගුවන් යානයේ සේවය කරන්නෙකු කියලා ගුවන් සේවිකාව හෙළිවෙනවා විතරයි. පළිගැනීමට ලක්වන අහඹු මගීන් කණ්ඩායමක් සිටීම, මුහුණක් නොමැති පළිගන්නෙක් සිටීම, සහ පළිගැනීම ගුවන්යානයකදී සිදුවීම පැහැදිලි සංකේතාත්මක අර්ථ දනවනවා. ඒ මේ කුඩා කතාංගයට විතරක් නෙමෙයි මුලු කෘතිය පුරා දුවන වෛරය, කෝපය සහ පළිගැනීම වැනි විචාරයට බඳුන්කරන්න බැරි පොදු මිනිස් ගුණාංගවලට. පළිගැනීම තමංගේම මිදුලෙන් තමංගේම දෙමව්පියන් මත අවසන් වීමත්, මේ මූහුණක් නැති මිනිසා මානසික අසමතුලිතභාවයෙන් පෙලුණුබවට ඉඟි සැපයීමත් ඒ ඒ කාරණයට තවදුරටත් අර්ථ සපයනවා.
අතීතයේ දී තම පියාගේ දිවි නසාගැනීමට වග කිව යුතු මෙන්ම තම මව දූෂණය කිරීමට ගිය මැරයෙකු හා හෝටල් සේවිකාවක අතර කතාංගය, අනාචාරවත් රියපැදවීම ඔස්සේ රියදුරන් දෙදෙනෙකු අතර සිදුවන පළිගැනීමේ සිද්ධිය, මාර්ගයෙහි නවතා ඇති වාහන අහේතුකව ඇදගෙන ගොස් ඒවාට දඩ අයකරන සමාගමට එරෙහිව ඉංජිනේරුවාගේ කෝපය, රිය අනතුරක් කර පළා ආ තම පුත්‍රයා බේරාගන්න ධනවත් පියා කළ සැලසුම හා මියගිය අයගේ සැමියාගේ කෝපය, තම විවාහ සංවත්සර දිනයේදී මුළාවට ලක්වූ කාන්තාවකගේ පළිගැනීම ආදී වශයෙන් උසකා Wild Tales සෙසු කතාංගයන් දිගහැරෙන්නේ එකී නියාමයන් මත.
කතා තේමාවෙහි ඒකීයත්වයක් තිබුණත් එය අවසන් වන්නේ ඒකාකාරීත්වයක් මත නෙමෙයි. මෙකී මිනිස් ගුණාංගයන්ගේ සියලු පැතිකඩ සිනමාපටය තුළ නව්‍ය මානයන් මගින් නිරූපණය කරනවා. එක් කතාවකදී නොකියූ දෙයක් ඊළඟ කතාවෙදී කියනවා. ඇතැම් පළිගැනීමේ අවසානන වන්නේ වීරත්වය මුණගැසීම තුළින්, තවත් තැනකදී පලිගන්නා හා පලිගැනීමට ලක්වෙන්නා යන දෙදෙනාටම විනාශය ගේනවා, තවත් පළිගැනීමක අවසානය අවිනිශ්චිතයි, තවත් පළිගැනීමක් අවසාන වන්නේ පළිගන්නා සහ පළිගැනීමට ලක්වන්නා යන දෙදෙනා තුළ ගැඹුරු ප්‍රේමයක් මෝදු වීමෙන්. ඒ වගේම ඇතැම් පළිගැනීම් සිදුවන්නේ ඒ වෙලාවේ ඇතිවන ක්ෂණික කෝපය මත. තවත් ඒවා කාලාන්තරයත් තිස්සේ පැළපදියම් වූ සැලසුම් මත. තමන්ට අදාල නැති වෙනකෙක්ට සිදුවුණු අසාධාරණයක් අසා ඇතැම් පළිගැනීම් සිදුවනවා. සමහර ඒවාට නිශ්චිත හේතු සපයන්න ම බෑ. ෘ්පසටිබ Damián Szifron බොහෝවිට කතාවන්හි කූටප්‍රාප්තිය සැළසුම් කරන්නේ වින් වින් අවස්ථාවේ හෝ ලොස්ට් ලොස්ට් අවස්ථාවේ. කිසිදු තනි පාර්ශ්වයකට ජයග්‍රහණයක් හෝ පරාජයක් හිමි වෙන්නෙ නෑ.
Wild Tales නිරූපණය කරන්නේ ආර්ජන්ටිනාවේ සදාචාරාත්මක සහ මනෝවිද්‍යාත්මක පැතිකඩ විතරක් නෙමෙයි. ධනවාදී, තාක්ෂණික ලෝකය විසින් පීඩාකාරී මිනිසා මත පටවන පීඩනයන්හි වපසරියත් ඒකී පීඩනය ඔහු විසින් මුදාහරින අතාර්කික ආකාරයන් පිළිබඳවත් තියෙන්නේ විශ්වීය සාම්‍යයක්. ඒක ලතින් ඇමරිකානු අනන්‍ය යථාර්ථයක් නෙමෙයි. සදාචාරාත්මකව බංකොලොත් ධනවතුන්, මුදල් ඉපයීමට පුරවැසියන් සඳහා නිස්කාරණේ දඩ ගහන පාලන උපව්‍යුහයන්, අහේතුකව අනුන් වෙනුවෙන් පළිගන්න මිනිසුන්, අනාචාරරමත් රිය පැදවීම් තුළින් ගහමරාගන්නා මිනිසුන්, මෙන්ම පාලනයේ දුර්දාන්තකමට එරෙහිව සිතින් වෛර කරනා පුරවැසියන් පිළිබඳව අපි එදිනෙදා අත්විඳිනවා.
කොටින්ම කියනවානම් Wild Tales තුළ නිරූපණය වන්නේ කුටුම්භය, සමාජය සහ පාලන තන්ත්‍රයන්ට එරෙහි මිනිස් ප්‍රචණ්ඩත්යේ සහ කෝපයේ ආකාරයන්. එහිදී ප්‍රේක්ෂක මනස පළිගන්නාගේ හෘදසාක්ෂිය තුළ ද පළි ගැනීමට ලක්වන්නාගේ හෘදසාක්ෂිය තුළ ද දෝලනය කිරීමට චිත්‍රපටකරුවා සූක්ෂ්ම වෙනවා.
මේ සන්ථානයන් හේතුඵල නියාමයත් ඒක්ක ගලපන්න බැරි බව සිනමාකරුවා විසින් අසම්බන්ධිත කතා දාමය අනියමින් ගැටගසන්නට භාවිතකරන උපක්‍රමික මෙවලම් තුළින් සංකේතගත වෙනවා. Damián Szifronගේ මේ සිනමාත්මක සූක්ෂමත්වය ඔහුගේ තවත් ජනප්‍රිය සිනමා පටයක් වන On-Probation තුළ පවා ඉව කරන්න පුලුවන්.
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
රාවය 2018 ජූනි 24