Saturday, May 2, 2020

කලාව, නිල කලා ඉතිහාසය සහ Cave of hands


Cave of hands (La Cueva de las Manos) කියන්නේ ආර්ජන්ටිනාවේ පින්ටුරාස් නිම්නය අසබඩ තියෙන, පෞද්ගලිකව අපගේ සෞන්දර්යාත්මක හැඟීම මුසපත් කරන, ඉපැරණි ගුහා සිතුවම් තියෙන තැනක්. නමුත් කුමක්දෝ අවාසනාවකට කේව් ඔෆ් හෑන්ඩ්ස් ලංකාවේ කලා - චිත්‍ර කලා විද්‍යාර්ථයින් අතර පවා ජනප්‍රිය නෑ. ඒ වගේම මේ විශ්මිත කලා නිර්මාණයන් ගැන, අප කියවා ඇති කිසිම පොතක නාමිකවවත් තිබිලා හමුවෙලාත් නෑ!. නමුත් කේව් ඔෆ් හෑන්ඞ්ස් මතක් වන හැම වෙලාවකම කලාවත්, කලා ඉතිහාසයත්, කලා අධ්‍යාපනයත් ගැන ප්‍රශ්න මතුවෙනවා.

එක පැත්තකට කේව් ඔෆ් හෑන්ඞ්ස් කියන්නේ, අපේ සීගිරි කැටපත්පවුර වගේ තැනක්. එහි තියෙන සිතුවම් මීට අවුරුදු 13,000ක විතර අතීත කාලෙක ඉඳන් 9000ක් පමණ කාලයක් දක්වා වර්තමානයට එන, ලෝක ඉතිහාසයේ එක්තරා හරස්කඩක් නියෝජනය කරමින් අඳිනු ලැබූ ඒවා. 
 
කේව් ඔෆ් හෑන්ඩ්ස් අත්වල විශ්මිත හා ආන්න්දනීය කාරණයක් වන්නේ මේ සිතුවම් ඔවුන් විසින් අඳිනු ලැබූ ක්‍රමයේ ඇති වෙනස. මේවා සාම්ප්‍රදායික විධි ක්‍රමය අනුගමනය කරමින්, සත්ත්ව හෝ ශාඛ හෝ කෙඳිවලින් සාදා ගන්නා ලැබූ පින්සල් භාවිතයෙන් අඳිනු ලැබූ සාම්ප්‍රදායික සිතුවම් නෙමෙයි. මේ ශිල්පියා මේ සිතුවම් අඳින්නේ සත්ත්ව ඇටකටු ආශ්‍රෙයන් සාදාගන්නා ලද බටවලින්. තමන්ගේම ක්‍රමයකට අනුව රතු, දම්, සුදු, කළු සහ කහ වැනි වර්ණ සකසාගන්නා කේව් ඔෆ් ද හෑන්ඞ්ස් සිත්තරා මුළින්ම සත්ත්ව ඇටකමගින් සදාගත් තම සුවිශේෂි පින්සල (බටය) මුවෙහි හොවාගෙන ඒ තුළට සියුම් ප්‍රමාණවලින් සායම් ඇදගන්නවා. දෙවනුව තමන්ගේ අත ලෙන් තලාවේ තබා තම සිත්තම් නලයෙහි වූ සායම් සියුම්ව අත මතුපිටට පිඹිනවා. ඒ අනුව කේව් ඔෆ් හෑන්ඞ්ස්හි බොහෝ විට දකින්නට තියෙන්නේ සිත්තරාගේ එක් අතක (බොහෝවිට දකුණුපස අතෙහි) සිතුවම පමණයි. මක්නිසාද යත් ඔහු තම අනෙක් අත සායම් විදීමේ කාර්යය සඳහා සියුම් ලෙස භාවිත කරන නිසා.
කේව් ඔෆ් ද හෑන්ඞ්ස්හි සිතුවම්වලට අපි වැඩිමනත් කැමති වෙන්නේ එහි ඇති සිතුවම් සාම්ප්‍රදායික ගුහා සිතුවම්වලට සාපේක්ෂව කිසියම් වියුක්ත ස්වරූපයක් ගැනීම නිසාම නෙමෙයි. ඒවා අපේ බොහෝමයක් කලා නිර්වචනයන් හා වර්ගීකරණයන් තුළට හසුකරගන්න අසීරු නිසා. නොඑසේනම් ඒවා ප්‍රශ්න කරවන නිසා.

සම්මත විචාර ඉතිහාසය තුළ බොහෝවිට ඈත කාලීන කලාව කලාවක් විදිහට හඳුනාගන්න මැලි වෙනවා. මොකද ශිෂ්ටාචාරය පටන්ගන්නේ මෙතනින් සහ කලාවේ ආරම්භය මේයැයි කියා ඊනියා තනි ඉරකින් මානව සංස්කෘතිය වෙන් කරන භව්‍යතාවක් ඒ තුළ තියෙන නිසා. ප්‍රංශයේ ලැස්කෝවලත් ස්පාඥයයේ අල්ටමීරාවලත් පණ ගැහෙන සිතුවම් නිර්මාණ බිහිවෙද්දී, ඒවා පූර්ණ ආත්මයක් සහිත කලා නිර්මාණ හැටියට ගන්න මේ න්‍යායවාදයන් තුළ ඇතැම්විට මැලි  වෙනවා. මුලින්ම මේ සිතුවම් සොයාගත් පසු, මේ අතීත සිත්තරාගේ ප්‍රතිභානය විශ්වාස කරන්න බැරිවූ නිල කලා විචාරකයින් ඒවා නූතන ශිල්පියකු විසින් ලෝකය මුළා කරන්නට කරනු ලැබූ කවටකමක් විය හැකියැයි සිතූ හැටි අපිට අමතක කරන්න බෑ. යුරෝපානු ශිෂ්ටාචාරයටම අයත් එම සිතුවම්වලට එසේ වීනම්, ලතින් ඇමරිකානු කේව් ඔෆ් හෑන්ඞ්ස් වලට, එහෙමත් නැත්තම් ඉන්දුනීසියාවේ  හිරිගල් (Lubang Jeriji Saléh) සොයාගන්නා ලද අවුරුදු හැටදහසක් පමණ පැරණි සිතුවම්වලට නිල කලා ඉතිහාසය තුළ හිමිවන ආස්ථානය ගැන අපිට හිතාගන්න පුලුවන්.

ලැස්කෝ අල්ටමීරා සිතුවම් වැනි මුල්කාලීන කලාව, කලාව යන නාමකරණයෙන් විතැන් කරීම සඳහා පාදක කරගන්නා එක් තර්කයක් නම් ඒවා හුදෙක් එතිහාසික මිනිසාගේ ශ්‍රමයේ නිරූපණයක්ය කියන කාර්ය ය. නොඑසේනම් ඒවා, තමං ජීවත් වූ ගුහාවන්ට සතුන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් අඳින ලද ප්‍රාථමික රූපයන් සේ වර්ග කරනවා. ශ්‍රමය යනු සෞන්දර්යයෙන් අත්‍යන්තයෙන් වෙනස් කාරණයක්ද සහ සෞන්දර්යය වස්තුවක් යනු ශ්‍රමයේ අතුරුඵලයක් නොවේද යන්නත් එහිදී වෙනම සාකච්ඡා කරන්න වෙනවා. කොහොම වුණත්, පොදුවේ අර කියූ නිල බෙදුම් මායිමෙන් එපිට ඇති සකලවිධ පණගැහෙන කලා කෘති, බැරිම වුණොත් ප්‍රිමිටිව් ආර්ට්ස් හැටියට හෝ දඩයක්කාරයාගේ කලාව වැටියට හෝ ගොවි කලාව හැටියට හෝ එවන් වෙනත් පරිපූර්ණ කලාවෙන් එහා ඇති කිසියම් අනු වර්ගීකරණයක් යටතට ස්ථානගත කරනවා. කොහොම වුණත් ඇල්ටොමීරා ලැස්කෝ වැනි සිතුවම් හුදු නිෂ්පාදන ක්‍රමවේදයේ අතුරුඵළයක් විදිහට ගලපගද්දි කේව් ඔෆ් හෑන්ඞ්ස් හි අත්ඒ විදිහට වර්ග කරන්න අසීරු වෙනවා.

ආර්ථික සාධකයට අමතරව මේ ගර්හිතත්වය ගොඩනැගීම වෙනුවෙන් නිල කලාව තුළ භාවිත කරන ඊළඟ ප්‍රමුඛ නිර්ණායකය වන්නේ පූජා විදි හා ඇදහිලි කියන නිර්ණායකය. මිසර කලා කරුවන් නිර්මාණය කළ සියුම් මූර්ති හා සිතුවම් නිල කලාවෙන් ඈත් කිරීමය ඇතැම්විට තර්කයක් හැටියට භාවිත කරන්නේ, මිසර භාෂාව තුළ කලාවත් කලාකරුවාත් හඳුනාගැනීමට වෙනම වචන නොතිබීමට අමතරව, මෙම අපූර්ව නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දැකගත නොහැකි පරිදි අඳුරු සොහොන් ගැබ්වල සඟවා තිබූ අභිචාර විධි හැටියට.

කලාව යන වචනය පවා නූතන අර්ථයෙන් තෝරාගන්නා ලද සුවිශේෂි අංගයන් (කලාවන්)  සඳහා භාවිත වෙන්නේ ඉතාමත් මෑත යුගයකදීය. කලාවට පර්යාය පදයක් වූ Techne යන්න ඕනෑම ශිල්පයක් නොඑසේනම් නිපුණතාවක් හැඳින්වීම සඳහා, අනිකුත් අංගයන්ගෙන් කලාව වෙන්කිරීමට සුවිශේෂී වෑයමක් දැරූ ප්ලේටෝ යුගයේ පවා භාවිත වූ වග අමතක කළ යුතු නැත. සෞන්දර්යය යන පදයේත් සංකල්පයේත් ඉතිහාසය එසේම ය.
Venus of Willendorf

වසර තිස්දහසක් පමණ පැරණි විලෙන්ඩෝෆ් වීනස් (Venus of Willendorf) ඔස්ට්‍රියානු පොළවෙන් මුණ ගැහෙද්දී, ඊට සමාන ග්‍රොටෝ දූ වීනස් (Grottes du Venus) ප්‍රංශයෙන් හමුවෙද්දී, එහෙමත් නැත්නම් චෙකොෆ්ලෝවැකියානු පොළවෙන් වෙස්ටොනිස් වීනස් (Venus of Dolní Věstonice) මතුවෙද්දී, ඒවා ප්‍රාථමික කලා නිර්මාණයන් හැටියට හෝ දඩයක්කාරයාගේ කලාව හැටියට ගර්හිත වන අතර, ඊටම සමාන ජගන්මාතා - විශ්වමාතා රූප ඉන්දු නිම්නයෙන් හමුවද්දී ඒවා මාතෘ මූලික ඇදහිලි උපකරණ හැටියට නිල කලාවෙන් විතැන් කරනවා. 

Venus of Dolní Věstonice

Mother godes of  Indunimna

කේව් ඔෆ් හෑන්ඩ්ස් පන්නයේ තිත්වලින් සෑදුන අපූර්ව කලා නිමැවුම්, ශ්‍රේෂ්ඨ පශ්චාත් උපස්ථිතිකවාදී සිත්තරකු වූ ජෝර්ජ් සුරේ (Georges Seurat) විසින් ඉතා මෑතක (1859-1891) Pointillism හැටියට උත්කර්ෂයට නැගීමෙන් පසු, එහි කර්තෘත්වය නිර්ලෝභීව පවරද්දී ලක්ෂ්‍යවාදීන් සඳහා කේව් ඔෆ් හෑන්ඞ්ස් වැනි තැන් වලින් (නලයකින් සායම් පිඹින ලද කලාවෙත් සුරේගේ කලාවෙත් විධික්‍රමික වෙනසක් තිබුණත්) අනුප්‍රාසය ලැබුණාද නැද්ද කියලා හිතන්නවත් අපිට ඉස්පාසුවක්වත් අවශ්‍යතාවක්වත් නෑ.

The Seine and la Grande Jatte – Springtime 1888

Georges-Pierre Seurat

නිලකලා අධ්‍යාපනයේ මේ ගැටලුව එක් පාර්ශ්වයකින් වටහාගන්න, අපිට පෙරදිග යටත්විජිත අධ්‍යාපනයට පදනම දැමූ මැකොලේ සාමිගේ (Thomas Babington Macaulay) ප්‍රකාශයක් ආලෝකය කරගන්න පුලුවන්. (එය මහාචාර්ය ලියනගේ අමරකීර්ති ස්වකීය අමුතු කතාවේ අපූර්ව ලෙස පෙන්වා දී තියෙනවා). මැකොලේට අනුව, ‘යුරෝපීය පුස්තකාලයක එක් රාක්කයක ඇති පොත්, සංස්කෘත, අරාබි සහ පර්සියානු යන භාෂා තුනේ සියලුම සාහිත්‍යට වඩා උසස්මැකොලේ මේ විදිහට කියන්නේ සංස්කෘත, අරාබි සහ පර්සියානු භාෂාවෙන් ලියැවී ඇති පොත් සියල්ල කියවා ද? නැත. එසේනම් ඔහුට මේ දෘෂ්ටිවාදාත්මක බලය ලැබෙන්නේ ඔහුගේ යටත්විජිතවාදී දේශපාලනික ප්‍රවාහය හරහා.

Makole

මෙකී නිල කලා බෙදුම්කරණයේ ඛේදනීය ම තත්ත්වය වන්නේ මේ මහා දෘෂ්ටිවාදාත්මක බෙදුම්කඩනයන් හරහා ගර්හිත වන්නේ අන්‍ය සංස්කෘතීන් පමණක් නොවේ. තම රටවල ඉතිහාසයේ විසූ ඇතැම් ජාතීන්ට අයත් සංස්කෘතික ප්‍රවාහයන් පවා ඒ යටතේ අව වරප්‍රසාදිත වනවා. තවත් අතකින් යුරෝපය කේන්ද්‍රකොට ගොඩනැගුණු මේ නිර්වචන ක්‍රමය තම තම රටවල කලා ඉතිහාසයන් ගොඩනැගීමේදී ඒ ඒ රටවල කලා ඉතිහාසඥයින් විසින් අවිචාරාත්මකව භාවිත කරීම මේ කාරණය තව දුරටත් ගැටලුසහගත කරනවා.


-              ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර