Saturday, November 27, 2021

KCC Multiplex සංස්කෘතික කාන්තාරයට වැටුණු දිය බිඳක්




[නුදුරේදී විවෘත්ත වූ මහනුවර  KCC Multiplex සිනමා ශාලාවන්හි විචිත්‍ර අත්දැකීම ලැබීමට හැකිවීම හේතුවෙන් මේ සටහන ලියැවුණි]


‘සංස්කෘතිය‘ යන්නට ඉංග්‍රීසියෙන් භාවිත කරන Culture යන වචනය ‘කොලරේ‘ කියන ග්‍රීක වචනයක් ඇසුරෙන් ගොඩ නැගුණු එකක් කියලා අපි ඉගනගෙන තියෙනවා. ඒක ග්‍රීසියේදී භාවිත වුණේ කෘෂිකර්මයට සම්බන්ධව. විශේෂයෙන් ‘නඟුල් තලය‘ වගේ අර්ථයක. (දැනටත් කෘෂිකර්මයට සම්බන්ධව භාවිත කරන, agriculture - කෘෂිකර්මය, horticulture - ගෙවතු වගාව, aquaculture - මත්ස්‍ය වගාව වගේ සියලු වචන තුළ culture යන කොටස තිබීමෙන් එය කෘෂිකර්මය හා පවත්නා සම්බන්ධතාව තවත් තහවුරු කරනවා) නගුල මගින් කරන්නේ තියෙන බිම් පෙරලීම. බිම් පෙරලා ඒ මත අලුතින් වගා කිරීම.  ඒ නයින්අ බලන කල, ‘සංස්කෘතිය‘ හෙවත් 'culture' යන්නෙන් පවත්නා දේවල් ආරක්ෂා කිරීම වගේම ඒවා අලුත් කිරීමත් එකවැරම හැඟවනවා. 
අපි  මහනුවර නගරය හඳුන්වන්නේ ලංකාවේ මහා සංස්කෘතික නගරයක් හැටියටනේ. නමුත් සංස්කෘතිය පිළිබඳ ඉහත කී සැබෑ නිර්වචනයන් තුළ එය එසේමද? අපි මහා සංස්කෘතියක් ලෙස ආරක්ෂා කරන මහනුවර තුළ බොහෝ විට සංස්කෘතික කාන්තාරයක් තමයි තියෙන්නේ. 
වෙන දෙයක් තියා යෞවන ‍ප්‍රේමය පිළිගන්න පුළුවන් සංස්කෘතියක්වත් අපිට තියෙනවාද?. ඇත්තටම මේ (අ)සංස්කෘතික නගරයේ  ඉපදිච්ච අපි උපන් දා ඉඳන්  දැකලා තියෙන්නේ පෙම්වතුන්ට විසිල් ගහන රැකවලුන් ඉන්න මල් උයන්. පෙම්වතුන් වාඩිවන නිසා කළුතෙල් වක්කරනු ලැබූ බංකු සහිත වැවරවුම්. ඒ අයට වන මිලිටරිමට ගැරහුම් එරවිලි. 
විවිධ කලා සංස්කෘතික ධාරාවන් අතර, සිනමාව යනු ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයක්. එමෙන්ම මිනිසුන්ගේ විනෝදය සැපයීමේ ප්‍රධාන මාර්ගයක්. 
අපි පොඩිකාලේ මහනුවර සිනමා ශාලා කීයක් තිබුණද? ඇත්තටම විශාල සංඛ්‍යාවක්. ඒවා සියල්ලේම පාහේ සිනමාපට නැරඹීමට කුඩා කල ඉඳන් මං පුරුදු වෙලා තිබ්බා. ඒ වගේම අහවල් සිනමා ශාලාවේ නැරඹූ සිනමා කෘති මේවා මේවා කියලා අදටත් මතකයි. නමුත් මං දන්න ඉතිහාසය තුළ, මේ සංස්කෘතික නගරයේ මුළිංම ඕඩියන්ස් සිනමා ශාලාවයි වේල්ස් සිනමාශාලාවයි ඉවර වුණා. ඒ අපි සෑහෙන තරම් පොඩි කාලේමයි. ඕඩියන්ස් එක ඉවර කරලා එතන තරු හෝටලයක් හැදුවා. වේල්ස් එක ඉවර කරලා ඒ භූමියේ කාර් පාර්ක් එකක් හැදුවා (මේවා අවශ්‍ය නෑ කියලා කියන්නේ නෑ. සමබර නගරයකට ඒවාත් අවශ්‍යයි තමයි. නමුත් මේවා සංස්කෘතියට විකල්ප නෙමයි) 



ඊට පස්සේ, වෙම්බ්ලි සිනමා ශාලාව වැසී ගියා. වෙම්බ්ලි එක තමයි අපේ පාසල් සමයේ, පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබ්බ සිනමාශාලාව. පේරාදෙණියේ තුසිත සිනමාශාලාව වැසුනා. විශේෂයෙන් මං වැඩිපුරම සිනමා කෘති නරඹලා තිබ්බ රීගල් සිනමා ශාලාවත් දැන් ඉවරයි. ලෝකයේ ජනප්‍රියම විනෝද කර්මාන්තය හා වැදගත්ම සංස්කෘතික කලාපයක් වන සිනමාවට මහනුවර නගරයේ හිමි වුනේ ඒ තැන.
මහනුවර KCC හි C1. C2 කියන අති නවීන සිනමා ශාලා ආදේශ වෙන්නේ ඒ රික්තකයට. ඒ සංස්කෘතික මුඩු බිමට.
සාම්ප්‍රදායික සිනමා ශාලා ක්‍රමයට ඔබ්බට ගිහින් අති නවීන ප්‍රක්ෂේපණ ක්‍රම (film projection), අති නවීන ශබ්ද විකාශන තාක්ෂණය හා තවත් නූතන පහසුකම් රාශියක් සහිත මේ සිනමා ශාලා ඇත්තමට මහනුවර මිනිසා නැවතත් සංස්කෘතිය වෙත නැඹුරු කරගැනීමට විශාල දායකත්වයක් දක්වයි කියලා හිතන්න පුළුවන්. 


විශේෂයෙන් එක් තනි අති විශාල සිනමා ශාලාවක් වෙනුවට, එවැනිම විශාල තිරයක්  හා ඊටත් වඩා නවීන තාක්ෂණයකින් සහිත කුඩා සිනමාශාලා කීපයක් නිර්මාණය වීම ලෝකයේ නව නැම්මක් වීමටත් වඩා, නූතන ලංකික සිනමා රසික අවකාශය මනාකොට තේරුම් ගත් කටයුත්තක් ලෙස සලකන්න පුළුවන්.
මෙහි ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ එක දිනකට එක ශාලාවක සිනමා කෘති රාශියක් ප්‍රදර්ශනය කිරීම හා ඒවා බොහෝමයක් ලෝකයේ මේවනවිටත් දුවමින් ඇති නවතම සිනමා කෘතීන් වීම. (අපි මෙතෙක් බොහෝ විට අත් දැක්කේ තරමක් පැරණි ජාත්‍යන්තර සිනමා කෘති ප්‍රදර්ශනය වීමනේ) ඒ නිසා ලංකීය, විශේෂයෙන් මහනුවර රසිකයාට ලෝකයේ විවිධ සිනමා කෘති, ඒවා එළි දැක්වූ විගස නැරඹීමේ හැකියාව KCC Multiplex මගින් ලැබිලා තියෙනවා.
මේ සිනමා කෘතීන් අතර විවිධ රසික පරාසයන් වෙත ළං වෙන්න පුළුවන් විවිධ ශානර (genres) රාශියක සිනමා කෘති තිබීමත් ඉතා වැදගත්. උදාහරණයක් විදිහට මේ සටහන ලියන අද දිනයේ Action, Comedy,
Animation, Fantasy, Drama, epic වගේ ශානරයන් රාශියකට අයත් ළමා සහ වැඩිහිටි සිනමා කෘති මෙන්ම, හොලිවුඩ්, බොලිවුඩ්, සිංහල ආදී කාණ්ඩයන්ට අයත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය වීමට නියමිතයි. 
කෙසේවෙතත්, මෙම ජනප්‍රිය සිනමා කෘති සමගම තවදුරටත් ශාස්ත්‍රීය සිනමා කෘතිත් තෝරාගැනීමේ අභියෝගය නම් ඔවුන්ට තියෙනවා.


අනික් වැදගත්ම කාරණය තමයි, සාම්ප්‍රදායික සිනමා ශාලා වල තියෙනවාට වඩා වෙනත් සුවිශේෂී කාල සටහන් ක්‍රමයක් මේ සිනමා කෘති ප්‍රදර්ශනයේදී භාවිත වීම. ඒ අනුව මහනුවර නගරයේ යට ඇවිත් යම් වැඩ දෙකක් සඳහා කාලය ඉතිරිවෙන අයට රස්තයාදු නොවී, ඒ කාලයේ සුන්දර සිනමා කෘතියක් රසවිඳින්න හැකියාවක් තියෙනවා. ඉස්සරනම් අපි වගේ රසිකයින්ට පැය ගණන් සංවාදාත්මක රස්තයාදුවක යෙදෙන්න තිබුණා වයිට්හවුස්, පායිවාස් වගේ හෝටල්. කහට කෝප්පයක් අරගෙන එක මේසයක් අල්ලගෙන දවසම වුණත් කයිවාරු සංවාද කර කර හිටියට ඒවාගේ මුදලාලිලා මොකුත් කියන්නේ නෑ. නමුත් දැන් ඒ වගේ මුදලාලිලාත් නෑ. ඇත්තටම ඒකත් සංස්කෘතික අංගයක්. දැන් ඒ අංගයත් නෑ. 


වෙන එකක් තියා අපි ඉන්නේ මීට අවුරුදු පහළොවකට පමණ කළිං ගිනි ගත්ත මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරය තවමත් පෙර පරිදි ගොඩනගා මහජන අවකාශයට විවෘත්ත කරන්න බැරි තරම් සංස්කෘතික විහීනයෝ දේශපාලනය කරන, තීන්දු තීරණ ගන්න නගරයක. 
ඉතිං එවන පිරිසකට තබා, එහි සාම්ප්‍රදායික පුරවැසියන්ගෙන් බහුතරයකට සංස්කෘතිය පිළිබඳ ඉහත අපි දුන් ප්‍රතිසංස්කරණාත්මක නිර්වචන වැඩක් නෑ. මොතද නවීකරණය කරන්න තියා පවත්නා සංස්කෘතික අවකාශ ඒ අයුරින් පවත්වාගෙන යන්නත් ඒ අයට බැරි බව ඉහත උදාහරණ මගින් පේනවා.
කොහොම වුණත් පෙනී යන හැටියට KCC Multiplex සඳහා විශාල රසික ඉල්ලුමකුත් තියෙනවා. ඒ නිසා මේ වෑයම සාර්ථකව දිනෙන් දින වර්ධනය වේවි කියලා හිතන්න පුළුවන් වගේම, එහෙම ප්‍රාර්ථනා කරනවා. 
ඇත්ත. අදාල සිනමා ශාලා සඳහා වැය කර ඇති අති විශාල ඉඩ හා අති නවීන පහසුකම් සඳහා වැය කර ඇති වියදම වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වෙන් කළානම් එහි හිමිකරුවන්ට මීට වඩා ආදායමක් ලබන්න පුළුවනි. එසේ නමුත්, අදාල හිමිකරු හුදු ව්‍යාපාරිකයෙක් නොවී කලාවට, සංස්කෘතියට, සිනමාවය කිසියම් දුරකට ආදරේ කරන කෙනෙක් බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන්ගේ මේ සත් වෑයම සංස්කෘතික - ආර්ථික කාන්තාරයකට පෑයූ දිය බිඳක් ලෙස පැවසීමට නිර්ලෝභී වූයේ ඒ නිසායි.


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



Monday, October 25, 2021

ගවමස් තහනම, නූතන ඉංදියාව හා හින්දු ශ්‍රී ලංකාව



ලෝක ප්‍රකට ස්ටැටිස්ටා (statista) වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩිපුරම ගවමස් නිෂ්පාදනය කරන රටවල් අතර ඉන්දියාව 2021 වන විට ඉන්නේ හතරවෙනි තැන. ඒ අය නිෂ්පාදනය කරන ගව මස් ප්රමාණය මෙට්රික්ටොන් මිලියන 4ක් ඉක්මවා යනවා (4,250 1,000 Metric Tons) . මේ හින්දු ඉන්දියාව ඒ විදිහට නිෂ්පාදනය කරන ගවමස් මෙට්රික් ටොන් මිලියන 4ක් මෙට්රික් ටොන් මිලියන 1.4ක් පමණ ඔවුන් වෙනත් රටවලට අපනයනය කරවා. ඒ අනුව ඒ මගින් ඉන්දියාවේ ආර්ථිකයට සැලකිය යුතු ආදායමක් ලබාගන්නවා. ඉන්දියාවේ ගව පාලනය හා එහි අතුරු ඵල මගින් ජීවත්වන මිනිසුන් සංඛ්යාව ලක්ෂ ගණනක්. ඉන් බහුතරය හින්දූන් ම තමයි.

2015 වන විට මහා රාශ්ට්ර ප්රාන්ත ආණ්ඩුව, ගව ඝාතනය තහනම් කිරීමට වෑයමක් ගන්නවා. දේශපාලනික ජනප්රියත්වය උදෙසා ප්රාන්ත රජය විසින් ගනු ලැබූ මේ වෑයම සම්බන්ධයෙන් ඉන්දියාවේ දීර්ඝ සංවාදයක් පැවතුණා. එහිදී ඇතැම් විචාරකයින් හා ජනමාධ්යෙව්දීන් ප්රාන්ත බලධාරීන් නිරුත්තර කරමින් ප්රශ්න කළ මූලික කාරණයක් වූයේ ස්ත්රී දූෂණ, ලිංගික අඩත්තේට්ටම්, දුප්පත්කම ආදී ගිනිගනු ලබන ප්රශ්න රාශියක් දිනෙන් දින වර්ධනය වන ප්රාන්තයේ දේශපාලන ජනප්රියත්වය ලබාගැනීමට අදාල කාරණා අමතක කර ගව කර්මාන්තයම යොදාගන්නේ මන්ද යන්නයි. ජනතාවගේ ආගමික හැඟීම් අවිචාරශීලීව අවධිකරමින් ප්රසාදය ලබන්නට යන බලධාරීන්ගෙන් ඔවුන් තවදුරටත් ඇහුවේ ගවමස් තහනම් කරන්නට යන ඔබ මත්ස්ය කර්මාන්තය තහනම් නොකරන්නේ මන්ද යන්නයි. මකිනිසාද යත්, මත්ස්යා වනාහි දෙවියන්ගේ සමීප සත්ත්වයෙක් නොව දෙවියන්මය. ඒ මත්ස්යා යනු විෂ්ණු දෙවියන්ගේ දශ අවතාරයන්ගෙන් එකක් වන නිසාය.
එසේනම් මුස්ලිම් විශ්වාසයන්ට අනුව දැඩිව පිළිකෙව් කෙරෙන ඌරු මස් ද මුස්ලිම් මිනිසුන්ද වාසය කරන රටක තිබීම සාවද්ය වන බව ඒ අය පෙන්වා දෙනවා. ඒ අය, තව දුරටත් නූතන උදාහරණයක් ගනිමින් කීවේ, බහුතරයක් ඉන්දියානුවෝ අවිහිංසාවාදියකු වූ මහත්මා ගාන්ධිව පිළිගන්නා අතර ගාන්ධි තුමා මාංශ අනුභව නොකළ අතර එළු කිරි පානය ප්රිය කළ නිසා අවශ්යනම් එළුවාද එවන් පූජනීය සත්ත්වයකු ලෙස සලකමින් එළුමස් ද තහනම් කළ හැකි බවයි.
මෙසේ, වෙනස් ආගමික හා සංස්කෘතික කණ්ඩායම්වල විවිධ පිළිගැනීම් අනුව තව තව සතුන් ගවයාගේ තැනට ආදේශ කළ හැකි බව පෙන්වා දුන් එකී විචාරකයින් තවදුරටත් පැහැදිලි කළේ, ගවමස් තහනම සම්බන්ධයෙන් ප්රාන්ත රජය ගැනීමට බලාපොරොත්තු වන ජනප්රිය තීන්දුව කෙසේවත් ආගමික ප්රශ්නයක් නොව ලන්ෂ සංඛ්යාත ගොවියන් හා පාරිභෝගිකයින්ගේ ප්රශ්නයක් බවයි.



මක් නිසාද යත් ගව මස් නිෂ්පාදනය හුදු මස් නිෂ්පාදනය හා සම්බන්ධව පමණක් රැඳී තියෙන්නක් නොවන නිසාත් එය කිරි නිෂ්පාදනය හා ඒ ආශ්රිතව කරන අතුරු නිෂ්පාදනයන් සමගද, තවත් ජනප්රිය හා විශාල මිනිසුන් සංඛ්යාවක් ජීවිතය ගැටගහගන්නා හම් ආශ්රිත නිෂ්පාදනයන්ටද ඍජුව බලපාන්නක් බව විචාරකයින් පෙන්වා දෙනවා.
අපි දන්නා ඉතිහාසය අනුව ලංකාවේ, ගවයා පූජනීය සත්ත්වයෙක් වන්නේ ලෝකයේ හතරවෙනි ගව මස් නිෂ්පාදකයා වන ඉන්දියානුවන්ගේ සංස්කෘතික දේශපාලනික බලපෑම නිසා. විශේෂයෙන් පොළොන්නරු යුගය වන විට ඇති වූ කාලිංඝ මාඝ ආක්රමණය ඇතුළු ආක්රමණ හරහා සිදුවූ හින්දු බලපෑම මෙහිලා කැපී පේනවා. ලංකාවේ පාරම්පරික බෞද්ධ සඳකඩ පහනණහි සත්ත්ව පේලියහි වූ ගවයා එයින් ඉවත් වන්නේ ද ඒ අනුව කියන එක හැමෝම දන්න දෙයක්. එනම් පූජනීය හින්දු සත්ත්වයකු වූ ගවයා පෑගීම නුසුදුසුය යන හින්දු පිළිගැනීමේ බලපෑම අනුව. ලංකාවේ බෞද්ධ සංස්කෘතිය කියන්නේ විශේෂයෙන් හින්දු සංස්කෘතිය සමග සමාවායව යමින් එකිනෙකට සංස්පර්ෂ වෙමින් ගොඩනැගුණක්. හැබැයි ඒක නරක ලක්ෂණයක් නෙමෙයි බෞද්ධාගමේ විවෘතභාවය පෙන්නන එය ඉතා වැදගත් ලක්ෂණයක්.
කෙසේ වෙතත් මූලික බෞද්ධ සංකල්ප අනුව ගවයා අන් සතුන්ට වඩා විශේෂ ප්රාණියෙකු ලෙස බුදුන් වහන්සේ සැලකූ වගක් හා අන් සතුන් ගවයාට වඩා තමන්ගේ ප්රාණය ගැන අඩු කැමැත්තක් ඇති සතෙක් ලෙස සලකා ඇති බවක් පේන්නේ නෑ. විශේෂයෙන් ධම්මපදයේ දණ්ඩ වග්ගයේ,
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා -න හනේය්ය න ඝාතයෙ
ලෙස දේශනා කළේ මිනිසාද ඇතුළු සියලු සත්ත්වයින් ගැන. ඒ අනුව කොයි සතෙක් වුණත් ඝාතනය වීම හොඳයැයි කියන්නට බෑ. මක් නිසාද යත් උන්ටද ජීවත් වීමේ අයිතිය ඇති බැවින්. එක සතෙක් මරණයට පත් කිරීම තවකෙක් මරණයට පත්කිරීමය වඩා වෙනස්යැයි සිතීම සාවද්ය වෙන්නේ ඒ නිසා.
ලංකාව වාර්ෂිකව කිරිපිටි ආනයනය සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 40,000 ක් ඉක්මවූ මුදලක් වැය කරන බව යන බව රජයේ නිල වෙබ් අඩවියක් වන (news.lk) සඳහන් කරනවා. දේශීය වශයෙන් කිරී නිෂ්පාදනයේදී මී ගවයින් හා එළ ගවයින් භාවිත කරනවා. මේ වන විට ශ්රී ලංකාවේ මී ගව ගොවිපළ පමණක් 28,000 ක් පමණ තියෙනවා කියලයි අදාල වෙබ් අඩවිය කියන්නේ. එළ ගව හා මි ගවයින්ගෙන් 70% ක් පමණ වියලි කලාපයේත් 30% තෙත් කලාපයේත් ව්යාප්තව පවතිනවා. රටේ වාර්ෂික කිරි නිෂ්පාදනයෙන් 25% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ මේ ගොවිපළ දායකත්වයෙන්. ඒ අනුව, ගව මස් තහනම කරන්නට කළින් එම තහනම මේ සම්බන්ධයෙන් බල පාන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු වෙනවා.
ස්වභාවික සිංචනයේදී බිහිවන පැටවුන්ගෙන් සාමාන්‍යෙයන් සීයට පණහක් පිරිමි සත්තු. ගැහැනු සතුන් බිහිවන්නේ සියයට පණහක්. මීට වෙනස් විද්යාත්මක සිංචන ක්රම ඇතත් ඒවා සියයට සීයක් සාර්ථක නැත. එසේම ලංකාවේ වැඩිපුර භාවිත වෙන්නේද නෑ. එසේනම් එසේ බිහිවන ගවයින් සියයට පණහාට ගොවියා සිදු කරන්නේ කුමක්ද? කිසිම ආර්ථික වාසියක් නොමැතිව ඌට කන්නට දිදී ජීවිත කාලයක් පුරා නඩත්තු කරන එක පහසු කාර්යයක්ද? නොඑසේනම් අනික් විකල්පය උපන් වේලාවේම විනාශ කිරීමද? එසේනම් ප්රතිඵලය වෙනස්ද? එවන් පිරිමි ගවයින් නඩත්තු කරන වෙනත් ආයතන ලංකාවේ තියෙනවාද? ගවමස් පාලනයත් කිරි නිෂ්පාදනයත් දෙකම එකවැර පවත්වාගන්න අවශ්‍යනම් එක්කෝ එවන් ස්ථාන බිහි කිරීමට සිදු වෙනවා නොවේද? මේවා සදාචාරාත්මක ප්රශ්නවලට වඩා වැදගත් සමාජාර්ථික ප්රශ්නයන්ය.
පසුගියදා රජය විසින් ගනු ලැබූ තවත් ජනප්රිය තීන්දුවක් මේ කිරි නිෂ්පාදනය සඳහා බලපෑ ආකාරය අපි දැක්කා. ඒ තමයි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සෑදීමේ ව්යාපෘතිය. ඒ අනුව මේ ව්යාපෘතිය බාර ගත් ඇතැම් කල දුටුකල වළ ඉහාගන්නා ව්යාපාරිකයෝ කළේ ගවයින්ට ආහාරය සඳහා ඇති තණකොළ තොග වශයෙන් කපා පොහොර සෑදීමට යොදාගැනීම. ඒ අනුව කිරි නිෂ්පාදකයින් අනාථ වූ අයුරු ඔවුන් මාධ්ය හමුවේ කීවා.
ඒ අනුව හින්දු ඉන්දියාවේ ගව ඝාතනයට විරුද්ධව ජනප්රිය තීන්දු ගත් ප්රාන්ත රජයෙන් ඒ රටේ පුරවැසියන්, විචාරකයින් හා මාධ්යවේදීන් අහපු සියලුම කාරණා අපටත් අමතක කරන්න බෑ.
ගොවියන්ගේ, ගවමස් වෙළෙන්දන්ගේ, කිරි ආශ්රිත නිෂ්පාදන කරන්නන්ගේ සම් ආශ්රිත නිෂ්පාදන කරන්නන්ගේ සියලු ප්රශ්න එතනදී සලකා බලන්න ඕන. එසේම මේ ආශ්රිතව රටේ ඉතිරිවන මුදල මෙන්ම, යට ඇඳුමේ සිට බොහෝ අත්යාවශ්ය භාණ්ඩ කප්පාදු කළ තත්ත්වයක් තුළ, යෝජනා කරන හැටියට ගවමස් අපිට පිටරටකින් (බොහෝ විට ළඟම ඇති හින්දු ඉන්දියාවෙන්) ආනයනය කරන්නට යන මුදල් ගැනත් හිතන්න වෙනවා.
මේ තීන්දුව හරහා දේශීය කිරි නිෂ්පාදනයට හානි වනවානම් කිරි පිටි සඳහා මේ වන විට වෙළඳපොලේ ඇති අධික මිළ තවදුරටත් නිතරගයෙන් ඉහළ යෑමත්, කිරිපිටි පැකට්ටුව සුඛෝපභෝගී භාණ්ඩයක් වීමත් වළක්වන්නත් බෑ. ඒක පාරිභෝගිකයින් හැටියට විශාල ගැටලුවක්.
ගවමස් පර්භෝජනය සඳහා හුරුව ඇති පාරිභෝගිකයින් ද තවත් අතකින් ගැටලුවට ලක්වෙනවා. බොහෝ විට තරු පන්නයේ හෝටල්වලට අවශ්ය මස් පිටරටින් ආනයනය විය හැකි වුවත් සාමාන්ය පාරිභෝගිකයාගේ අත නුදුරට පැමිණීමේ ඉඩ අඩු වෙන්න පුළුවන්. ඒ අනුව ඔහුට ලබා ගත හැකි වෙනත් ආදේශක මොනවාද? ඌරුමස්ද වෙනත් මස් වර්ගයක්ද? ඒවායේ ගව මස්වලන් ලැබෙන සෞඛ්යමය ප්රතිලාභ තියෙනවාද? සෞඛ්යමය ගැටලු වැඩිද?
එසේම අපේ සාම්ප්රදායික බෙර - දවුල්, ඇඳුම් ආයිත්තම් ඇතුළු ගව හම් භාවිත කරමින් සකසන උපකරණ හා බැඳුණු බෞද්ධ සංස්කෘතික කාරණා සඳහා මේවා බලපාන්නේ කොහොමද? එකී කර්මාන්ත වලින් ජීවත්වන්නන් සඳහා ඇති විකල්ප මොනවාද?
ජනප්රිය දේශපාලනික තීන්දු ගන්න කළින් මේ සියල්ල සියුම්වත් විද්යාත්මකව සලකා බැලිය යුතු කාරණා වෙනවා.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ( අනිද්දා 2021.10.24)



Monday, October 11, 2021

අපි නොදන්න ඇටේ...!


මේ පින්තූරේ තියෙන්නේ ‘ආසියාවේ මුතු ඇටේ ‘ උඩ තියපු ලෝකයේ දියුණුම රටවල් කීපයක්. ඒ කියන්නේ වෙන කොහේවත් ඒවා නෙමෙයි ආසියාවේම ව්‍යාඝ්‍ර රටවල් (Four Asian Tigers) හැටියට සලකන Hong Kong, Singapore, South Korea, Taiwan කියන රටවල්.

ඔය, මාතර දිස්ත්‍රීක්කය උඩ රතුපාටට තියලා තියෙන චූටිම චූටි ‘රට‘ වර්ග කිලෝමීටර් 716ක් විතර වන සිංගප්පූරුව. (‘ඇටේ‘ කියන්නේ වර්ග කිලෝමීටර් 65616ක් වන ශ්‍රී ලංකාවට නිසා, ඊට වඩා අනූ ගුණයකටත් වඩා කුඩා මේ රට හඳුන්වන්න රට කියනවා මිස සිංහල භාෂාවේ හොඳ වචන ඉතිරිවෙලා නෑ!)

අර කොළඹ දිස්ත්‍රීක්කේ උඩ තියලා තියෙන ළා කොළපාට රට වර්ග කිලෝමීටර් 1104ක් විශාල හොංකොන්.

ලංකාව මැද රෝසපාටින් තියලා තියෙන්නේ ලංකාවන් බාගයක් විතර වන තායිවානය. ඒ කියන්නේ හතරවෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් එයට නිමිත්ත විය හැකි ආසන්නතම හේතුව විය හැකියැයි බොහෝ විචාරකයින් පෙන්වා දෙන රට. තායිවානය වර්ග කිලෝමීටර් 36197ක් විතර.

ඒ අනුව මේ රටවල් තුනම ශ්‍රීලංකාව කියන ආසියාවේ අමුතු ඇටේ උඩ තිබ්බත් මේ ඇටේ තවත් විශාල බව පේනවා.

අර ළා නිල් පාටින් පැත්තකින් තියලා තියෙන්නේ දකුණු කොරියාව. ඒක විතරක් ලංකාවට වඩා ටිකක් විතර විශාලයි (100,363 km2).

ලංකාව වගේ නෙමෙයි මේ රටවල් බොහෝමයක් යුරෝපීය යටත්විජිතයන්ගේ ග්‍රහණයට අමතරව ජපන් අධිරාජ්‍යෙය් සහ චීන අධිරාජ්‍යෙය් ග්‍රහණයට ලක් වුණු රටවල්. ඒ වගේම ඒවා නිදහස ලබනකොටත් බොහෝ විට පැවතුණේ අපිට වඩා පහළ මට්ටමේ සංවර්ධනයක. මේ විදිහේ ඇතැම් රටවල් තම ආර්ථික මොඩලයන් සකස් කිරීමට ලංකාව ආදර්ශයට ගත් බවත් කියවෙනවානේ! ඒ වගේම ඇතැම් රටවල් සම්බන්ධ කරගෙන අපි උපහාස කතා කියනවා නොදියුණු කම පෙන්වන්න.

අතීතය විතරක් නෙමෙයි, මේ රටවල් සියල්ලට අදද චීනය දැඩි අභියෝගයක් වෙලා තියෙනවා. ඒක අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන අපිට තියෙන බලපෑම වගේ එකක් නෙමෙයි. අනිවාර්ය බලපෑමක්. හොංකොන් කියන්නේ චීනයේ ඝෘජු පාලන ප්‍රදේශයක් කිව්වත් ගැටලුවක් නෑ. මොකද සියලු ක්ෂේත්‍රයන් සඳහා ඊනියා ස්වාධීනත්වය ලබාදීලා තිබ්බත් එහි ආරක්ෂාව තවම දරන්නේ චීනය විසින්.

තායිවානය අද වනවිට ලෝකයේ විශාලම අවධානයකට ලක්වී ඇති රාජ්‍යයක්. කළිං කීවා සේ චීනය ඒ හමුවේ දරන මැදිහත්වීම මත හතරවන ලෝක යුද්ධයක් පවා ඇතිවිය හැකි බව ඇතැම් අය කියනවා. මේ සටහන තබන වෙලාවේත් තායිවානයේ මුහුදු හා ගුවන් සීමාවන් චීනය බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් සිටින බවට චෝදනා නැගෙනවා. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඈත්වුණේ තායිවානය හමුවේ ඇති චීන මැදිහත්වීමට එරෙහිව වැඩිපුර සොයා බලන්න බවත් ඇතැම් විශ්ලේශකයින් කියනවා.

අනික් අතට දකුණු කොරියාව කියන්නේ චීනයට අමතරව තම නොහික්මුණු නිවුන් සහෝදරයා වන උතුරු කොරියාවේ අභියෝගයටද ලක්ව ඇති රටක්.

අපිටත් පස්සේ නිදහස ලැබූ (1959) මෙන්ම හැට පහේදී පමණ මැලේසියාවෙන් බිඳී වෙන්වුණ රටක් වන, ලෝකයේ දියුණුම යටිතල පහසුකම් සහිත රට ලෙස සැලකෙන සිංගප්පූරුව භූමියේ කුඩා බව සංවර්ධනයට විශාල අභියෝගයක් වූ රටක්.

මේ ව්‍යාග්‍ර රටවලත් - ව්‍යාජ ඇටයේත් 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය මෙහෙමයි.


දකුණු කොරියාව - $ 1.63 trillion

හොංකොං - $349.45 billion

තායිවානය - $668.51 billion

සිංගප්පූරුව - $ 339.98 billion

ශ්‍රීලංකාව - $80.7 billion

විස්සයි විස්සේ මෙහෙමනම් විස්සයි විසි එකේ සහ විසි දෙකේ කොහොම තියෙයිද - ඩොලර්ස්?

අන්තිමට බලද්දි අපිට ඇටේ විතරයි නේ? මුතු නෑ!!!


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Friday, October 8, 2021

සංශෝධනවාදී ගොපලු සිනමාව හා හඩ් (Revisionist Western Cinema & Hud)



‘මාර්ටින් රිට්‘ (Martin Ritt) විසින් අධ්යක්ෂණය කළ ‘හඩ්‘ (Hud) ගොපලු සිනමාවේ ඉතා වැදගත්ම කෘතියක් බව පෙණේ.

ඒ විශේෂයෙන් එය සම්භාව්ය ගොපලු (Classical Western) සිනමාවේ සම්මුතීන් තවමත් සම්පූර්ණයෙන් ගොපලු සිනමාවෙන් බැහැර නොවුණු, 1963 වගේ කාලයේදී නිර්මාණය වීම නිසා පමණක් නොවේ. ඒ වෙනවිටත් ප්රතිසංස්කරණාත්මක ලක්ෂණ ගොපලු සිනමාවේ තිබුණද, හඩ් ගොපලු සිනමාවේ - සංශෝධනවාදී නැඹුරුවෙහි තේමාවට හා ආකෘතියට පවා විප්ලවීය වෙනසක් කළ සිනමා කෘතිවත් බව සිතිය හැකි හෙයිනි.
හඩ් සිනමා කෘතියේ ප්රධාන චරිත කීපයක් වටා මූලික වශයෙන් ගොඩ නැගේ.
1. කථා නායකයා වන ‘හඩ්‘ (Hud Bannon) - [Paul Newman රඟපායි]
2. ඔහුගේ පියා වන ‘හෝමර් බැනන්‘ (Homer Bannon) - [Melvyn Douglas රඟපායි]
3. හඩ්ගේ බෑනා වන ‘ලෝනි බැනන්‘ (Lonnie Bannon) නම් ගැටවරයා - [Brandon deWilde රඟපායි]
4. හඩ්ගේ නිවසේ ගෘහ සේවිකාව වන ‘ඇල්මා බ්රවුන්‘ (Alma Brown) - [Patricia Neal රඟපායි]
ඒ අතර වැදගත් චරිත වේ.
තමා ගැනම හිතන උඬඟුවකු හා සල්ලාලයකු වන හඩ් වෙසෙන්නේ තම පියාට අයත් ගව ගොවිපොළක් මැද වූ නිවසෙහිය. එසේ නමුත් හඩ් හා ඔහුගේ පියා අතර සමීප සම්බන්ධයක් නැති බව පෙනේ. ඉවසිලිවන්ත බුද්ධිමත් මිනිසකු සේ පෙනෙන හඩ්ගේ පියා ඔහු සමග සමීප සම්බන්ධතාවක් පවත්වා නොගන්නේ හඩ්ගේ පාලනය කළ නොහැකි ක්රියාවන් නිසාම බව හැඟේ. එසේම හඩ්ගේ පියා තම මුණුපුරා වන ලෝනි, හඩ් සමග වැඩිපුර ඇසුරට යනවාට නොකැමති වේ. ඒ ලෝනි නරක්වේය යන බියෙනි.
ගොවිපලේ ගවයින් කිසියම් හේතුවක් නිසා මියයන්න පටන්ගැනීම සිදුවේ. පියා රජයේ පශුවෛ්යෛවරයා ගෙන්වීමට යයි. හඩ් ඊට විරුද්ධ වෙයි. ඔහු කියන්නේ රෝගය තවදුරටත් සතුන් අතර බෝවීමට පෙර ගවයින් වෙන කාට හෝ විකිණිය යුතු බව. රජෙය් පශුවෛද්යවරයා ගෙන්වූ පසුව හෙළිවන්නේ එය foot-and-mouth disease ලෙස හැඳින්වෙන රෝගයකින් සිදුවන බවයි. ඒ අනුව ඔවුන් වෙන්කර තැබීමට මුලදී නිර්දේශ වේ. නමුත් පශු වෛද්යවරයා පසුව කියන්නේ මේ රෝගය මේ ගොවිපොලෙන් පිටතට නොයන්නට සියලු ගවයින් මරාදැමිය යුතු බවයි. මීට හඩ්ගේ පියා දැඩිලෙස දුක්වන්නේ ඔහු තමන් හඩ් ඇතුළු යටකී පිරිසත් එහි සේවය කරන සෙසු සේවකයනුත් ජීවත් කරන තම ගවපට්ටියට ආදරේ කරන නිසාවෙනි.
හඩ්ගේ නොහික්මුණු ආත්මාර්ථකාමී ක්රියා වගේම බේබදු සල්ලාලකම් සමග කතාව ඉදිරියට යන අතර ඔහුගේ හා පියාගේ ගැටුම ද ඒ සමගම ගලා යයි. මේ අතර හඩ් පියාගෙන් ගොවිපළ තමාට පවරා ගැනීමට වෑයම් කරයි. නොයෙක් සටකපටකම් කරයි. පියාට මහළු නිසා එය පාලනය කරන්න බැරි බව කියයි. හොර පාරවල් වලින් ගොවිපළ තම නමට ලියවා ගැනීමට බලයි. ලෙඩ, මහළු හරකුන් පියාට උපමා කොට විවිධ හාස්ය වදන් කියයි.
අවසන ගවයින් මරාදැමීමට තීරණය වේ. ඒ රජයේ පශුවෛද්ය ආයතනයට අයත් කණ්ඩායමක් රයිෆල් ගෙන ඊට සූදානම් වේ. ගවයින් කපන ලද වළකට සෙලවිය නොහැකි ලෙස කිටි කිහියේ හිරවන ලෙස දක්කයි. ගොපලු වීරයාද තම රයිෆලය ගනී. සියල්ල එකතුවී සෙලවීමට පවා නොහැකිව සිටින ලෙඩ හරකුන් වෙඩි තබා ඝාතනය කරති. හඩ් සිනමා පටයේ ගොපලු වීරයාගේ වීශාලතම අවි හරඹය එයයි...!



මෙසේ හෙල්ලනේනවත් බැරිව කිටි කිටියේ ගුලිවී සිටින ලෙඩ හරක් ඝාතනය කිරීම ගොපළු වීර චරිතය සම්බන්ධයෙන් සිනමාවේ ඇති උත්ප්රාසාත්මකම අවස්ථාවක් බව කිව හැක.
සිදුවූ දෙයින් පියා දුක් වේ. ගොවිපලේ ගවයින් නැති නිසා, සේවකයින්ට රැකියාව අහිමි වේ. ඔවුන්ට නිවෙස් බලා යෑමට සිදුවේ. ගෘහ සේවිකාවද ගම බලා පිටත් වේ. ඇය ස්ටේෂමට ඇරලා එන ලෝනිට මගදී හඩ්ගේ රථයද හමුවේ. හඩ් පිටුපසින් විත් ලෝනිගේ රථය හප්පයි (විනෝදයට!). මේ අතර ලෝනි, හඩ්ගේ පියා, තම සීයා වේදනාවන් පාර දිගේ බඩගාමින් සිටිනු දකී. රේස් යමින් සිටි රථ දෙකට සීයා යටවීමට තිබුණු අවස්ථාව අමාරුවෙන් ලෝනි වලක්වාගනී.
අසනීපයෙන් හා ශෝකයෙන් හඩ්ගේ පියා මියයයි.
තමංගේ සහකරුවා ලෙස සිටින ලෙස හඩ් තම බෑනා වන ලෝනිට කියයි. නමුත් ඔහු එය ප්රතික්ෂේප කරයි. ඔහු සීයාගේ උපදෙස් අනුගමනය කරන බව හඩ් දෝෂාරෝපණය කරයි. එය නොතකා, තමා සතු කොටස බැංකුවට දමන ලෙස පවසා ලෝනි ගමින් පිටත්වේ. හඩ් තරහින් ගෙට ඇතුළුවී බියර් ටින් එකක් පානය කර සිගරට්ටුවක් දල්වා ගනී. උපහාසාත්මක සිනාවක් මවාගනිමින් ලෝනි පිටත් වූ දෙස කෙටි සංකේතාත්මත අත වැනීමක් කරයි. එහි ඇත්තේ ‘උඹලා සියල්ලම නැතුව වුවද මට හොඳට ජීවත් වෙන්න පුළුවන්‘ වැනි උද්දච්ච හැඟීමකි. සිනමා පටය නිමවේ.

ගලවාගන්නාගේ භූමිකාව
------------------------------------------
සාම්ප්රදායික ගොපලු සිනමාවේ වීරයා බොහෝ විට මිනිසා නපුරෙන් ගලවා ගන්නකු විය. ඇතැම් විට ඔහු ක්රිස්තු චරිතයේ ප්රතිනිර්මාණය ලෙස විචාරකයෝ කීහ. ( The archetypal hero of the western is a redeemer, a Christ figure who can tip the balance between good and evil..)
එසේ නමුත් පසු කාලීනව ඇතැම් සිනමාපට වල මේ චරිතය විවිධ අයුරින් ඒ තත්ත්වයෙන් මිදුණි. ඒ අනුව ඔහුට මනුෂ්ය ස්වභාවය ආදේශ විය. ඇතැම් විට වීරයෙක් වෙනුවට ප්රති වීරයෙක් විය.
High Noon (1952) සිනමාපටයේ කතානායකයා වන ‘මාර්ෂල් විල් කේන්‘ දිවි බේරාගන්නේ ඔහුගේ එදින විවාහ වූ මනාලිය වන ‘ඇමී ෆෝලර්‘ සතුරෙකුට වෙඩි තැබීම හා අවසන දුෂ්ඨයා වූ ‘ෆ්රෑන්ක් මිලර්‘ සමග පොරබදා ඔහුගේ ඉලක්කය අවුල් කිරිම නිසාය. එසේම ඔහු සටනට යන්නේද ඉතාම දුරදිග බලමින්, වෙන කළ හැකි දෙයක් නොමැති වීම නිසා මෙනි. ඔහු ‘ෆ්රෑන්ක් මිලර්‘ ඇතුළු සහචරයින් සමග සටන් කරන්නට ප්රදේශවාසීන්ගේ සහයෝගය ඉල්ලන නමුත් ඔවුන් එනකු නොවේ. Soldier blue (1970) සිනමාපටයේදී වීරයා වෙනුවට ප්රතිවීරයෙක් (Anti hero) නිර්මාණය වන අතර ‘ක්රෙස්ටා ලී‘ නම් සුරූපී තරුණියගේ චරිතය වීරයාට වඩා වඩාලාත් නැගී සිටී. The wild Bunch (1969) සිනමාපටය අවසන් වන්නේ කිසිදු වීරයෙක් මතුවීම වෙනුවට, සිනමා පටය පුරා සතුරු මිතුරු පාර්ශ්ව අතර සිදු කෙරුණු ලැබූ ප්රචණ්ඩත්වයන් හා ඝාතනයන් කෙරේ කලකිරුණු, කඩාවැටුණු ප්රතිවීර චරිතයන් ඉතිරි කරමිනි.
මේ තත්ත්වය වෙනස් කරමින් ඉහත ගලවාගන්නාගේ භූමිකාවට සාම්ප්රදායික ගොපලු වීරයා යලි ගෙන ආ පසු කාලීන වැදගත් නිර්මාණයකි ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ (Clint Eastwood) Pale Rider (1985) සිනමාපටය. එහි කතා නායකයාට නමක් නොමැති අතර සියලු දෙනා ඔහුව හඳුන්වන්නේ Preacher (දේශනා කරන්නා) යන නමිනි. එසේම ඔහු ආගමික ලෝගුවක් ඇඟලා සිටී. වැදගත්ම කාරණය වන්නේ ඔහු නපුර විසින් විනාශයට පත්ව ඇති ජනතාව අතරට එන ආකාරයයි. සතුරන් විසින් ඇතිකරන ලද පීඩනයට එරෙහිව කතා නායිකාවක වන 14 හැවිරිදි යෞවනිය, ‘මේගන් වීලර්‘ (Megan Wheeler) දෙවියන් අයදී. ඇය දෙවියන්ට කියන්නේ ඔබ ඇත්තටම ඉන්නවානම්, එකම එක ප්රාතිහාර්යයක් පා අප වෙත උදව් කරන ලෙසයි. ඒ අතර වෙන ගමනක් යන්න ගිය කථා නායකයා අහඹු සිදුවීමකින් ගමට සම්ප්රාප්ත වේ!
හඩ් සිනමා පටයේ. කථා නායක ‘හඩ්‘ අපට මුලින්ම මුණ ගැසෙන්නේ එක්තරා උදෑසනකය. ඔහු කළින් දා රාත්රිෙය් යම් මිනිසකුගේ ගෙදරකට ගොස් තිබේ. ඒ එම මිනිසා ගෙදර නැති අතර ඔහුගේ බිරිඳ හා අනියම් සම්බන්ධතාවක් පැවැතිවීමටයි. පසුදා උදෑසන ගෙදරට එන සැමියාටද මෙය හසුවේ. නමුත් ඒ වන විට හඩ් සොයා හොයා පැමිණි බෑනා වන ලෝනි යොදාගනිමින් උපක්රමශීලීව හඩ් ඇගේ සැමියාගෙන් ගැලවේ.
සාම්ප්රදායික ගොපලු සිනමාවේ ගොපලු වීරයා මෙවන්නක් සිදු කරන්නෙක් නොවේ. ඉඳහිට ඔහු ප්රේම සම්බන්ධතා පවත්වන නමුත් මෙකී ස්වරූපයේ ක්රියාවන් වලට නො පෙළඹේ. එපමණක් නොව පසු අවස්ථාවකදී ‘හඩ්‘ බීමත්ව තම නිවසේ ගෘහසේවිකාව වන ඇල්මාව දූෂණය කරන්නටද යයි. ලෝනි පැමිණ දැඩි වෑයමෙන් ඇල්මා ඔහුගෙන් බේරාගනී.
ඒ අනුව ඇත්තටම හඩ් කවුද? සිනමා පටයේ ඔහුගේ පියා, බෑනා හා ගෘහ සේවිකාව ඇතුළු පොදු සමාජය යහපත වෙනුවෙන් පෙනී සිටී. ඉන් විපරීත ලෙස හඩ් කරන්නේ වරද වෙනුවෙන් පෙනී සිටීමයි. හඩ් යනු සාතන්ගේ ප්රතිමූර්තියද ,නොඑසේනම් ධනවත්යැයි සිතිය හැකි පියකුගේ මෝඩ පුතකුගේ සැබෑ මනුෂ්ය ප්රතිමූර්තියද?

තවත් ලක්ෂණ
-------------------------
සාමාන්යෙයන් සාම්ප්රදායික සිනමා කෘතියක ගොපලු වීරයා තම කාර්යය කළ පසු එහි රැඳී නොසිටී. ඔහු පිටත්ව යයි. නමුත් හඩ් එසේ නොකරයි. අනික් අය ඔහු සමග සිටීමට බැරිව හා ගොවිපළ විනාශවීම නිසා පිටත් වෙද්දී ඔහු එහි රැඳී සිටී.
ඒද නපුරෙන් බේරාගත් ස්ථානයක නොව, රෝගයක් (නපුර) විසින් විනාශ කර දමන ලද විසල් හිස් භූමියකය.
සාම්ප්රදායික කව්බෝයි වීරයා යම් තරගයකට සහභාගී වේනම් ඒ වෙන්නේ ඔහුගේ වීරකම ඉස්මතුවන තරගයකටය. හඩ්ද වරක් තරගයකට සහභාගී වේ. ඒ සෙසු ගොපලු චිත්රපටවල වීරයින් මෙන් අසුන් මෙල්ල කිරීම වැනි පරමාදර්ශී තරගයකට නොවේ. ඌරන් මෙල්ල කිරීමටය! සැබවින්ම ඉන් හඩ් ජයග්රහණය කරයි!!
සාම්ප්රදායික ගොපලු සිනමාපටවල ගොපලු වීරයා ස්ත්රීන් දූෂකයින්ගෙන් බේරා ගනී. ඔවුන් මධුවිත පානය කළත් සීමාව ඉක්මවා එය නොකරයි. නමුත් පෙර කීවා සේ හඩ් කරටි කැඩෙන්න බීගෙන ස්ත්රීන් දූෂණය කරන්නට යයි. අනුන්ගේ විවාහක ගෑනුන් සමග ප්රසිද්ධියේ සල්ලාල සම්බන්ධතා පවත්වයි.
සාමාන්ය ගොපලු වීරයා තම රිවෝල්වරය, රයිෆලය හෝ වෙනත් ආයුධයක් එලියට ගතහොත්, ඉන් සතුරන් මැරී වැටෙන්නේ ක්ෂණයෙනි. ඔහුගේ කිසිදු ඉලක්කයක් නොවැරදේ. නමුත් හඩ් වෙඩි තියන්නේ කළින් සඳහන් කළ විදිහට, හෙල්ලෙන්නට බැරිව සිටින ලෙඩ හරක්ටය.
තවත් අවස්ථාවක ඔහු ගස්වල වසා ඇති කුරුල්ලන්ට වෙඩි තැබීමට සැරසෙයි. පියා පෙන්වා දෙන්නේ එම කුරුල්ලන්ට මැරීම නීතිවිරෝධී බව සහ උන් රට පිරිසිදුව තබාගැනීමට උදව් කරන බවයි. නමුත් නීතිය තමන්ට වදයක් බව කියමින් හඩ් ඒ නොතකා ගසේ වසා සිටින කුරුල්ලන්ට රයිෆලයෙන් වෙඩි තබාගන තබාගෙන යයි. නමුත් ඒ වෙඩි කුරුල්ලන්ට වදින බවක් පේන්නේ නැත.!




එක් අවස්ථාවක හඩ් සහ ලෝනි සමාජ ශාලාවකදී යම් රණ්ඩුවකට පැටලේ. එහිදී හඩ් සහ ලෝනි බේරෙන්නේ උපක්රම ශීලීව ප්රතිවාදීන් රවටා මිස ස්වකීය හැකියාවෙන් නොවේ. ලෝනිට ප්රතිවාදියාට පහර දීමට ඉඩ හදා පිටුපසින් ගොස් හඩ් ප්රතිවාදියාගේ කරේ එල්ලී සිටීම එවැනි එක් උපක්රමයකි!
සාමාන්ය ගොපලු වීරයකුගේ මෙන් නිර්භීත වීරත්වයක් නොව හඩ් මගින් දිගින් දිගට නිර්මාණය කරන්නේ, පැය විසිහතරේම බීගෙන විකාර නටනන ප්රතිවීර (Antihero) චරිතයකි.
හඩ් සිනමා කෘතියේ සාමාන්ය ගොපලු සිනමා පටයක තියෙන බොහෝ පසුබිම් කාරණා ඇත. කාන්තාර, කඳුවැටි, ගිජු ලිහිනියෝ, අවන්හල්, අශ්ව ධාවකයින්, මත්පැන් පානය, ලෑලිවලින් තැනූ ගොපලු සිනමාවට ආවේනික වූ ස්වරූපගේ ගෙවල් හා වීදි, පුළුල් රූප රාමු ආදී සියලු දේ ඇත. අශ්ව ගාල් වෙනුවට මෙහි ඇත්තේ හරක් ගාල්ය. සතුරන් නැති අතර කථානායකයාගේ මූලික සතුරා තම පියාය!
රිවෝල්වරය සහිත බඳපටිය නැතත්, හඩ්ගේ බාහිර ස්වරූපය හා ඇඳුම් පැළඳුම් සෙසු බොහෝ ගොපලු වීරයින්ගේ චරිතවල බාහිර ස්වරූපයට සමපාත වේ.
හඩ් සිනමා කෘතිය පලිගැනීම වැනි ආඛ්යානයක් මත ගොඩනැගුණු එකක් නොවේ. ඒ අනුව හඩ් සිනමා කෘතියේ පැහැදිලි කතාවස්තුවක් නැති තරම්ය. එවන් තත්ත්වයක් තුළ, ප්රේක්ෂක අවධානය නොබිඳෙන අයුරින්, පිය පුතු සම්බන්ධය හා හඩ්ගේ ස්වරූපය ගැන ගැඹුරු කාරණා මතු කරන ආකාරය අතිශ්ය අභියෝගකාරී වී ඇතත් සිනමාකරුවා එය ජයගනී.
හඩ් සිනමා කෘතියේ, ඇති යට සඳහන් කළ එකම එක සටන් දර්ශනය රෂෝමෝන්හි සොරාත් සමුරායි වරයාත් කළ සටනේ ස්වරූපය අනික් පාර්ශ්ව හෙළි කළ ස්වරූපයේ එකක් මිස සාම්ප්රදායික ගොපලු වීරයා කරන රෝමෝද්ගමික සටනක් නොවේ.
හඩ් සිනමා පටය ගොපලු සිනමාවට වෙනස්ම තේමාත්මක මානයක් ලබා දුන් සංශෝධනවාදී සිනමා කෘති අතරද වඩාත් කැපී පෙනෙන ඉතාමත් වැදගත්, රූපකාර්ථ කියැවීම් රාශියකට යා හැකි තීරණාත්මක සිනමා කෘතියක් බව මා පෙර සඳහන් කළේ මේ නිසාය.

- ප්රසාද් නිරෝෂ බණ්ඩාර

Thursday, October 7, 2021

பன்டோராவினதும் நிருபமாவினதும் பெட்டிகள் (Pandora's box and Nirupama's box)

 



Pandora's Box

பன்டோரா (pandora) என்பது ஒரு பெண்ணினுடைய பெயராகும். இவள் கிரேக்க புராண கதைகளில் புகழ் பெற்றவளாவாள். கிரேக்க கதைகளின் படி, உலகின் முதலாவது பெண்ணாக பண்டோரா கருதப்படுகிறாள். கிரேக்கத்தின் பெருங்கடவுளான சியஸ் மனிதர்களை பழிவாங்குவதற்காக இப்பெண்ணை உருவாக்குகிறான். ஏனென்றால் நாங்கள் எல்லோரும் கேள்விப்பட்டிருக்கிறோம் ப்ரோமதியஸ் (Prometheus) எனும் டைட்டன் சொர்க்கத்திலிருந்து மனிதர்களுக்கு நெருப்பை கொண்டு வந்து தந்தான் என்று. நெருப்புதான் கடவுளிடம் இருந்த மிகப்பெரிய பொக்கிஷம். இதனால் கோபமடைந்த சியஸ் உலகத்தின் மூலையில் ப்ரோமதியஸை கட்டிவைத்தான். மேலும் அவனது குடலை கிழித்துச் சாப்பிட பருந்தையும் உருவாக்கினான். இந்த பருந்து பகல் நேரங்களில் ப்ரோமதியஸின் குடலை கிழித்து சாப்பிடும். இரவு நேரங்களில் மீண்டும் ப்ரோமதியஸின் குடல் பழைய நிலைக்கு திரும்பும். காரணம் என்னவென்றால், ப்ரோமதியஸ் ஒரு டைட்டன். அதாவது பாதி தெய்வமும் பாதி மனிதனும் சேர்ந்த படைப்பு. எனவே, டைட்டன்களை கொல்ல முடியாது. அதனால் மனிதர்கள் மீது இரக்கப்பட்டு கடவுளின் நெருப்பை தருவித்து கொடுத்தமையினால் ப்ரோமதியஸ் தண்டிக்கப்படுகிறான்.
நெருப்பு கிடைப்பதற்கு முதல் மனிதர்கள் கற்குகைகளில் இருக்கின்ற எலிகளை போல்தான் வாழ்ந்தார்கள். ஆனால் நெருப்பானது மனித நாகரிகத்தை மாற்றமடையச் செய்தது. உணவை சமைத்து சாப்பிடவும், மண்ணை உருக்கி பொன்னாக்கவும், மண்வெட்டி, வில், அம்பு, ஈட்டி போன்றவற்றை உருவாக்கவும் மனிதனால் முடிந்தது. கற்குகைளில் புதைந்து கிடந்த மனிதர்கள் விடுதலை பெற்று புதிய மனித நாகரிகத்தை கட்டியெழுப்பிய மகிழ்ச்சியில் திளைத்திருந்த போது, நெருப்பை கொண்டு வந்த ப்ரோமதியசுக்கும் அதனை பயன்படுத்திய மனிதர்களுக்கும் பாடம் புகட்ட சியஸ் கடவுளும் அவரை சார்ந்தோரும் எண்ணுகிறார்கள். எனவேதான், பன்டோரா என்ற அழகிய மனித குல பெண்ணை இவர்கள் உருவாக்குகிறார்கள். அவளுக்கு போரின் தெய்வமான அதீனா, தெய்வ அங்கிகளை அணிவிக்கிறாள். அவளுக்கு தலையில் கிரீடமும் அணிவிக்கப்படுகிறது. இவ்வாறாக பன்டோரா ஒரு தெய்வத்தை போல அலங்கரிக்கப்படுகிறாள். அவளது கையில் ஒரு சிறிய பெட்டியும் வழங்கப்படுகிறது.
அது வெறும் பெட்டியல்ல, உலகத்தின் தீமை, அழிவு, மரணம், பொறாமை, நோய் நொடிகள், பஞ்சம், தொற்றுகள் ஆகியவை நிறைந்த பெட்டியைதான் பன்டோரவிடம் ஒப்படைக்கிறார்கள். அதை அவள் கையில் கொடுத்து தெய்வம் சொல்கிறது “இதை நீ ஒருபோதும் திறக்கக்கூடாது” என்று. அப்படிச்சொன்னால் ஆர்வத்தின் காரணமாக கட்டாயம் பன்டோரா அதனை திறப்பாள் என்று தெய்வதுக்கு தெரியும். ஆகவே, ஒரே கல்லில் இரண்டு மாங்காய்கள் என்பதை போல ப்ரோமதியஸின் சகோதரனான எபிமதியஸ் (Epimetheus) என்பவனிடம் பன்டோரா அனுப்பிவைக்கப்படுகிறாள். எபிமதியஸ் பன்டோராவை திருமணம் செய்து கொள்கிறான். பன்டோரா மனு உலகத்தில் வாழத்தொடங்கி சில நாட்கள் கழிந்த பின்னர், அவளுக்கு தெய்வம் தந்த பெட்டியினை திறந்து பார்க்க வேண்டும் என்ற ஆவல் பிறந்தாலும் தெய்வத்தின் கூற்றுக்கு கட்டுப்பட்டு அதனை திறக்காமல் விடுவதற்கு தன் மனதை தயார்படுத்தி கொள்கிறாள். எனினும் ஒருநாள் பன்டோராவிற்கு இந்த பெட்டியினை திறந்து பார்க்க வேண்டும் என்ற அவா வெகுவாக எழுகிறது. பன்டோரா அந்த அற்புத பெட்டியின் மூடியினை திறக்கிறாள். தீமை, பொறாமை, மரணம், நோய்கள் போன்ற அனைத்தும் அந்த பெட்டியிலிருந்து வெளிக்கிளம்பி உலகெங்கும் பரவுகிறது. இதனை சற்றும் எதிர்பாராத பன்டோரா உடனே அந்த பெட்டியை மூடிவிடுகிறாள். எப்போதும் திறக்க முடியாதபடி அதனை மூடிவிடுகிறாள். ஆனால் பெட்டியில் கடைசியாக ஒன்று மட்டும் எஞ்சியிருந்தது. அதுதான் “நம்பிக்கை”

நிருபமாவின் பெட்டி
----------------------------------------
எவ்வாறாயினும் கடந்த சில நாடகளுக்கு முன் உலகத்தில் இன்னுமொரு பன்டோர பெட்டி திறக்கப்பட்டது. அதுதான் “பன்டோரா பத்திரிகை” (pandora papers). இப்பத்திரிகையினை, ICIJ (International Consortium of Investigative Journalists) என்ற ஊடகக்குழு உலகத்திற்கு பகிரங்கப்படுத்தியது. உலகத்தில் அவ்வப்போது இப்படியான இரகசிய பெட்டிகள் திறக்கப்படுவது உண்டு. ஜுலியன் அஸான்ஜின்னின் (Julian Assange) விகிலீக்ஸ், பனாமா அறிக்கை போன்றவை இதற்கு முன்னர் திறக்கப்பட்ட பெட்டிகளாகும். எட்வட் ஸ்னோவ்டன் (Edward Snowden) என்பவர் இதே போன்றதொரு பெட்டியை திறந்திருந்தாலும் அது இவற்றை விட சற்று மாறுபட்டதாக இருந்தது. அமெரிக்காவின் உளவுத்துறை தொடர்பான தகவல்கள் அடங்கியதாக அது இருந்தது. எப்படியாயினும் இவ்வாறனவற்றில் எமது நாட்டின் பெயர்களும் அடிப்படுவது வழக்கமானதொன்றாகும்.
இந்த முறை திறக்கப்பட்ட “பன்டோரா” பத்திரிகையில் நூற்றுக்கணக்கான நாடுகளின், தற்போது அரசியலில் ஈடுபடுகின்ற தேசத்தலைவர்களினதும், முன்னாள் தலைவர்களினதும், அரசியல்வாதிகளின் குடும்ப உறுப்பினர்களினதும், நெருங்கியவர்களினதும், அரச அதிகாரிகளினதும், முன்னாள் அரச அதிகாரிகளினதும், பல்வேறு அமைப்பின் தலைவர்களினதும், அமைச்சர்களினதும், ஊடக தலைவர்களினதும், சட்டவல்லுனர்களினதும், வியாபாரிகளினதும் இன்னும் பலரினதும் தீமைகள் இவ்வுலகத்திற்கு அம்பலப்படுத்தப்பட்டிருக்கின்றன. இதில் பெரும்பாலானர்வகள் மிகவும் வறிய நாடுகளைச் சேர்ந்த ( இங்கிலாந்து மற்றும் செல்வந்த அரபு நாடுகள் சிலவற்றை தவிர்க்கவும்) மோசமான அரசியல்வாதிகளும் அரசியல் ஆதர்வாளர்களுமே என்பது குறிப்பிடத்தக்கதாகும்.
அதேவேளை, நாட்டு மக்கள் உள்ளாடை அணிவதை கூட விலக்கிக்கொள்ளச் செய்த, சர்வதேச ஊடகங்களில் நாட்டில் உணவுத் தட்டுப்பாடு அதிகரித்துள்ளதாக விளக்கமளிக்கப்பட்ட, நாட்டு மக்கள் பயன்படுத்துகின்ற பருப்பு, சீனி, பால்மா, கேஸ் போன்றவற்றுக்கு அதிக வரி விதித்துகொண்டிருக்கின்ற இலங்கையின் பிரதிநிதியும் இதில் இருக்கிறார். அவர்தான் நிருபமா ராஜபக்ஷ
இந்த பெட்டியில் இருந்தவை, பன்டோராவின் பெட்டியிலிருந்த சாபங்கள் போன்றதல்ல. உலகத்தில் வாழ்கின்ற அப்பாவி வறிய மக்களிடமிருந்து கொள்ளையடித்து, சுரண்டி சாப்பிட்டு ஏப்பம் விட்ட பணக்காரர்களின் சட்டவிரோத பணத்தை அம்பலப்படுத்தும் 12 மில்லியன் கட்டுரைகள்.
நாங்கள் வேண்டுமென்றால் சிறுவயதில் விளையாடுவது போல “கிரேக்க பன்டேராவிற்கும்”, “நிருபமா பன்டேராவிற்கும்” இடையிலான ஏற்றத்தாழ்வுகள் எவை என்பதை நூற்றுகணக்கில் ஆராயலாம் என்றாலும் ஒரு சிலவற்றை பார்ப்போம்.
பன்டோர பத்திரிகை உலகத்திற்கு அம்பலபடுத்தியவைகள் ஒரு விதத்தில் கிரேக்கத்தின் பன்டோரா தீமையின் பெட்டியை திறந்ததற்கு ஒத்ததாகும். இன்னொரு விதத்தில் சற்று வித்தியாசமானதாகும். பன்டோரா பத்திரிகை இதுவரை மறைந்திருந்த தீமைகளை (ஒரு பகுதியினை) உலகத்திற்கு அம்பலடுத்தியது. பன்டோரா கதையில் நடந்தது போலவே, தங்களது நாடுகள் பற்றியும், எதிர்காலம் பற்றியும் ஏதேனும் “நம்பிக்கை” மக்களுக்கு இருந்திருந்தால், அதனை மறுபடி திறக்க முடியாதளவுக்கு பூட்டப்பட்டுவிட்டது. கிரேக்க பன்டோரா தனது அறியாமையால் இந்த உலகத்திற்கு தீமையை கொண்டு வந்து சேர்த்தவள். ஆனால் நிருபமா அப்படிபட்டவர் அல்ல. நிருபமா என்றாலே அது தீமைதான். மனிதர்களுக்கு தீமைகளை பரப்புவதற்காக பிற உலகத்தவர்களான கடவுள்கள் பன்டோராவை இவ்வுலகில் உருவாக்கினார்கள். ஆனால் நிருபமா போன்றவர்களை உருவாக்குவதும், அவர்களை நடாத்துவதும், எதிர்காலத்தில் நடாத்தபோவதும் அந்த தீமைகளுக்கு இரையான மக்கள்தான். இவர்களையே நாங்கள் நாட்டுபிரஜைகள் என்கிறோம்!
கிரேக்க பன்டோரா தனது பெட்டியில் தீமை இருப்பதை அறிந்திருக்கவில்லை. ஆனால் நிருபமா போன்றவர்கள் அதனை நன்கு அறிவார்கள். பன்டோராவி்ன் பெட்டி தீமையால் நிரம்புவது திருட்டுக்குக் கிடைத்த தண்டனையின் காரணத்தால் ஆகும். ஆனால் நிருபமாவின் பெட்டி திருட்டின் பயனாகும். தண்டைனையல்ல. இன்னொருவிதத்தில் பன்டோராவின் பெட்டியில் நிரம்பி கிடந்த தீமைகள் அவளுக்குச் சொந்தமானதல்ல. கடவுளால் இரகசியமாக போடப்பட்டு பூட்டப்பட்டதாகும். அதனை திறக்கும் ஆர்வம் மட்டுமே அவளுக்குரியதாகும். ஆனால், தீமையின் பெட்டியில் நிரப்புவதற்கு இருந்த ஆர்வத்தை போலவே நிருபமாவிடம் இருந்தது அவருக்கே உரித்தான தீமையாகும். (ஒருவேளை சொல்வதை போல, அவரது குடும்பத்தாருக்கு உரியதாக இருக்கலாம்.)
பன்டோரா பத்திரிகை தீமையின் – ஊழலின் முழு பிரதிபலிப்பல்ல. ஒரு சிறு பகுதியே வெளிவந்துள்ளது. அதேபோல, இந்த நாடுகளின் அனைத்து ஊழல்களும் பன்டோர ஆவணங்களில் இன்னும் வெளிப்படவில்லை என்பது தெளிவாகிறது.
இந்த பன்டோரா பத்திரிகை தொடர்பாக ICIJ, ஊடகவியலாளர்கள் எங்களது நாட்டின் பிரதிநிதி பற்றி இப்படி குறிப்பிடுகிறார்கள்
“Nirupama Rajapaksa is a cousin of Sri Lanka’s president, Gotabaya Rajapaksa, who rose to power during a brutal civil war. She is also a former member of Parliament and served as deputy minister of water supply and drainage from 2010 to 2015.
Her husband, Thirukumar Nadesan, has worked as a consultant and hotel entrepreneur, according to a biography on his company website. In 2016, he was charged with embezzlement in connection with a real estate deal involving another member of the president’s family Basil Rajapaksa, accused of using public funds to build a villa. The case is pending; Nadesan and Basil Rajapaksa, Sri Lanka’s current finance minister, have denied wrongdoing…”
அவரின் பெட்டியிலிருந்த வந்த செய்திகள் பற்றி மட்டுமே நமக்கு இப்போது தெரியும் என்பதை நாம் நினைவில் வைத்துகொள்வோம். இதில், வெளிப்படுத்தப்படாத பகுதிகள் இன்னும் இருக்கலாம் அல்லது இன்னொரு பிரிவினருக்கு இன்னொரு பத்திரிகை இருக்கலாம்.
ஆம், உண்மையில் நிருபமா உங்களுக்கு சொல்வதற்குண்டான உவமை என்னிடமில்லை..!

இக்கட்டுரையின் மூலம் சிங்களம் மொழிக்குரியதாகும்.

சிங்களத்தில் - Prasad Nirosha Bandara ப்ரசாத் நிரோஷ பண்டார (2021.10.04)
தமிழில் – இராசையா லோகாநந்தன் (2021.10.05)


Monday, October 4, 2021

පැන්ඩෝරාගේ පෙට්ටිය සහ නිරූපමාගේ පෙට්ටිය



 Pandora's box

------------------------

පැන්ඩෝරා (Pandora) කියන්නේ ග්‍රීක මිත්‍යා කථා වල ඉන්න, දෙවියන් විසින් නිර්මාණය කරන ලද, ස්ත්‍රියක්. ග්‍රීක කතාවල සඳහන් වන විදිහට පැන්ඩෝරා තමයි මනුෂ්‍ය ලෝකයේ පළමුවන ගැහැනිය. ග්‍රීක මහා දෙවි වන සියුස්ගේ අවශ්‍යතාව අනුවයි පැන්ඩෝරාව නිර්මාණය කරන්නේ. ඒ මිනිස්සුන්ගෙන් පළිගැනීමට.

මොකද අපි කවුරුත් අහලා තියෙන ‘ප්‍රොමිතියස්‘ (Prometheus) නම් ටයිටන්වරයා මිනිස්සුන්ට දිව්‍යෙලා්කයෙන් ගින්දර හොරකම් කරලා ගෙනත් දෙනවා. ගින්දර තමයි දෙවියන්ට තිබුණු මහාර්ඝ වස්තුව. මේ නිසා සියුස් ප්‍රොමිතියස්ව ලෝකය කෙළවර බැඳලා තියනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ බඩවැල් ඇදලා කන්න දරුණු උකුස්සෙකුත් මවනවා. මේ උකුස්සා ඇවිත් දවල්ට ප්‍රොමිතියස්ගේ බඩඉරලා බඩවැල් ඇද කා දමනවා. ඌ රාත්‍රියේ ගිය පසු ප්‍රොමිතියස්ගේ බඩවැල් ආය ලියලනවා. මොකද කළිං කිව්වා වගේ ප්‍රොමිතියස් කියන්නේ ටයිටන් වරයෙක්. ටයිටන් කියන්නේ අර්ධ දේව හා අර්ධ මනුෂ්‍ය කොට්ඨාශයක්. ඉතින් ටයිටන්වරු මරන්න බෑ. මිනිස්සු කෙරේ අනුකම්පාවෙන් මිනිස්සුන්ට දෙවියන්ගෙන් ගින්දර ගෙනත් දුන්න ප්‍රොමිතියස්ට එහෙම දඬුවමක් තමයි සියුස් ප්‍රමුඛ දෙවියන් දෙන්නේ.

ගින්දර ලැබෙන්න කළිං මිනිස්සු හිටියේ ගල් ගුහාවල ඉන්න මීයෝ වගේ. අතට ලැබෙන දෙයක් හොයාගෙන කාලා. නමුත් ගින්දර මිනිස්සුන්ගේ ශිෂටාචාරය වෙනස් කරනවා. ආහාර උයලා කනවා. පස් උණුකරලා ලෝහ ආදිය ගන්නවා. ඒවායෙන් නගුල උදැල්ල. දුන්න හීය  හෙල්ල ආදී දේවල් නිර්මාණය කරනවා. ඒ අනුව ගුල් අස්සේ හැන්ගිලා හිටපු මිනිස්සු අපූර්ව ශිෂ්ටාචාරයක් ගොඩනගාගෙන ප්‍රීති වෙද්දී, ගින්දර ගිහින් දුන් ප්‍රොමිතියස්ට විතරක් නෙමෙයි, ගින්දර භාවිත කරමින් සතුටු වන මිනිස්සුන්ටත් පාඩමක් උගන්නන්න මහා දෙවි සියුස් ඇතුළු පිරිස කල්පනා කරනවා.

ඉතිං කළිං කිව්වා වගේ, ඒ සඳහා තමයි මේ පැන්ඩෝරා කියන සුරූපී මනුෂ්‍ය ස්ත්‍රිය මවන්නේ. යුද්ධයට අධිපති දෙවඟන වන ඇතීනා මේ මවනු ලැබූ පැන්ඩෝරාට දිව්‍ය සළු පළඳනවා. ඇගේ හිසට ඔටුන්නක්ද දානවා. ඒ විදිහට දෙවඟනක් වගේ පැන්ඩෝරාව සරසලා ඈ අතට ලස්සන කුඩා පෙට්ටියක් ලබා දෙනවා. ඒක නිකංම නිකං පෙට්ටියක් නෙමෙයි ඒක ඇතුළට, ලෝකේ තියෙන නපුර, විනාශය, දූෂණය, මරණය, කුහකකම්, ලෙඩ රෝග, සාගත වසංගත ආදී සියල්ල දාලා තමයි ඒක පැන්ඩෝරාට දුන්නේ. එහෙම දීලා දෙවියෝ පැන්ඩෝරාට කියනවා මේ පෙට්ටිය කවදාවත්ම විවෘත්ත කරන්න එපා කියලා. මොකද දෙවියන් එහෙම කියන්නේ ඒ කුතුහලය නිසාම පැන්ඩෝරා ඒක අරින බව දන්න නිසා. 

කොහොම උනත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න හිතපු දෙවියෝ පැන්ඩෝරාව එවන්නේ කළිං අපි කියූ ප්‍රොමිතියස්ගේ සහෝදරයා වන, එපිමිතියස් (Epimetheus) වෙත. ඉතිං එපිමිතියස් පැන්ඩෝරාව විවාහ කරගන්නවා. පැන්ඩෝරා මනුෂ්‍ය ලෝකයට ඇවිත් ජීවත් වෙලා කාලයක් යද්දී ඇයට දෙවියන් තෑගි දුන් අමුතු පෙට්ටිය මතක් වෙනවා. ඒක විවෘත්ත කරලා බලන්න ආය ආය ආසා හිතෙනවා. ඒත් ඒක අරින්න එපා කියලා දෙවියෝ දීපු අවවාදය මතක් වෙලා හිත හදාගන්නවා. එසේ නමුත් දවසක් එනවා පැන්ඩෝරාට මේ පෙට්ටිය ඇරලා බලන්නේ නැතිව ඉන්න බැරි තරමට කුතුහලය වැඩිවෙන. ඉතිං පැන්ඩෝරා අර අපූරු පුංචි පෙට්ටියේ පියන විවෘත්ත කරනවා. නපුරුකම්,  කුහකකම්, දූෂණය, මරණය, ලෙඩ දුක් ආදී සියලු දේ ලෝකයට ඒ මගින් මුදා හැරෙනවා. නොහිතූ දෙයින් කළබල වූ පැන්ඩෝරා වහාම පෙට්ටිය වහනවා. යළි අරින්න බැරිවෙන්නම. නමුත් ඒ වෙනකොට පෙට්ටිය ඇතුළේ ඉතිරු වුනේ එක දෙයයි. ඒ ‘බලාපොරොත්තුව‘ විතරයි. 


නිරූපමාගේ පෙට්ටිය

------------------------

කොහොම උනත් පහුගියදා ලෝකයට තවත් පැන්ඩෝරා පෙට්ටියක් විවෘත්ත වුණා. ඒ තමයි ‘පැන්ඩෝරා පත්‍රිකා‘ (Pandora Papers). පැන්ඩෝරා පත්‍රිකා ලෝකයට හෙළිදරව් කළේ සුවිශේෂී මාධ්‍ය කණ්ඩායමක් වන ICIJ (International Consortium of Investigative Journalists) විසින්. 

ලෝකයේ කාලයෙන් කාලයට මේ වගේ රහස් පෙට්ටි විවෘත්ත වෙනවා. ජූලියන් අසාන්ජ්ගේ (Julian Assange) විකිලීක්ස්, පැනමා පත්‍රිකා (The Panama Papers) මීට කළිං විවෘත්ත වූ ඒ වගේ පෙට්ටි. එඩ්වඩ් ස්නෝව්ඩන් (Edward Snowden) ද මේ විදිහේ පෙට්ටියක් විවෘත්ත කළත් ඒකේ තිබ්බේ මීට වඩා ටිකක් වෙනස්, ඇමරිකාවේ රහස් ඔත්තු සේවය සම්බන්ධ තොරතුරු. කොහොම උනත් මේ බොහෝමයක අපේ රටේ නමක් දෙකක් සාමාන්‍යෙයයෙන් තියෙනවා!

මෙදා පාර විවෘත්ත කළ ‘පැන්ඩෝරා ලේඛන‘ වල රටවල් 100කට පමණ අයත්, මේවනකොට දේශපාලනයේ ඉන්න ජාතික නායකයෝ, කළිං හිටි නායකයෝ, දේශපාලඥයින්ගේ පවුල්වල අය, සමීපතමයින්, රාජ්‍ය නිළධාරීන්, හිටපු රාජ්‍ය නිළධාරීන්, විවිධ සංවිධාන නායකයින්, ඇමතිවරු, මාධ්‍ය ප්‍රධානීන්, නීති සම්පාදකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු සියලු පිරිස් පිළිබඳ නිරුවත මුදාහැරලා තියෙනවා. වඩා වැදගත් වන්නේ මේ අතර ඇති අති බහුතරය  (එංගලන්තය සහ ධනවත් අරාබි රටවල් කීපයක් හැරෙන්නට) ඉතාම දුප්පත් රටවල සිටින දූෂිත දේශපාලඥයින් හා දේශපාලඥයින්ගේ නෑ හිතවතුන් වෙන එක. 

ඒ අතර රටේ පුරවැසියාගේ යට ඇඳුම් ඇඳීම පවා කප්පාදුවට ලක් කළ, රටේ ආහාර අර්බුදයක් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය නිතර, නිර්වචනාත්මකව පැහැදිලි කරලා දෙන, එමෙන්ම පුරවැසියා ආහාරයට ගන්නා පරිප්පු ටිකට, සීනි ටිකට, කිරිපිටි ටිකට, ගෑස් ටිකට පවා අධික බදු පණවමින් සිටින ලංකාවේ නියෝජිතවරියක්ද ඉන්නවා. ඒ නිරූපමා රාජපක්ෂ. 

මේ පෙට්ටියේ තිබුණේ ග්‍රීක දේව කතාවේ පැන්ඩෝරාගේ පෙට්ටියේ තිබ්බා වගේ ශාපයන් නෙමෙයි. ලෝකයේ වෙසෙන දුප්පතුන්ගේ එදාවේල සූරා කමින් මංකොල්ල කා ධනවතුන් වූ පිරිසකගේ අති විශාල නීති විරෝධී මුදල් කන්දරාවන් හෙළිදරව් කරන මිලියන 12ක් පමණ ලිපි.  

අපිට ඕනෙනං අපි අර පුංචි කාලේ කරනවා වගේ ‘පැන්ඩෝරාගේ පෙට්ටිය‘ සහ  ‘නිරූපමාගේ පෙට්ටිය‘ කියන කතා දෙකේ සම අසමානතා සිය ගණනක් උනත් හොයන්න පුළුවන්. දෙක තුනක් බලමු.

පැන්ඩෝරා පත්‍රිකා ලෝකයට විවෘත්ත වුණ එකත් එක පැත්තකින් අර කියූ ග්‍රීක පැන්ඩෝරාගේ නපුර පිළිබඳ පෙට්ටිය විවෘත්ත වුණා වගේ තමයි. තවත් පැත්තකින් ඒක ටිකක් වෙනස්. පැන්ඩෝරා පත්‍රිකා මෙතෙක්කල් හැංගිලා තිබ්බ නපුර (නපුරෙන් සුළු කොටසක්) ලෝකයට හෙළිදරව්කළා. 

ඒ විතරක් නෙමෙයි, පැන්ඩෝරා කතාවේ උනා වගේම,තම අනාගතය ගැන,  තමන්ගේ රටේ අනාගතය ගැන,  පුරවැසියන් තුළ, කිසියම්ම හෝ ‘බලාපෙරොත්තුවක්‘ තිබ්බානම් ඒවා යළි අරින්නට බැරි වෙන්න අගුලුත් වැටුණා. 

ග්‍රීක පැන්ඩෝරා කියන්නේ එයා නොදැනුවත්ව මිනිස්සු වෙත නපුර ගෙනාපු කාන්තාවක්. නමුත් නිරූපමා කියන්නේ එහෙම නෙමෙයි. නිරූපමා කියන්නේම නපුර.

මිනිස්සුන්ට නපුර බෙදන්න පැන්ඩෝරාව නිර්මාණය කරන්නේ මිනිසුන්ට පිටින් ඉන්න දෙවියන්. නමුත් නිරූපමාලාව නිර්මාණය කරන්නේත්, පවත්වාගෙන යන්නේත්, ඉදිරියට ද පවත්වාගෙන යන්නේත් ඒ නපුරට ම භාජනය වන මිනිස්සුමයි. අපි පුරවැසියන් කියන්නේ ඒ අයට!

ග්‍රීක පැන්ඩෝරා තමංගේ පෙට්ටියේ තිබ්බේ නපුර කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් නිරූපමාලා ඒක හොඳටම දන්නවා.

පැන්ඩෝරාගේ පෙට්ටිය නපුරෙන් පිරෙන්නේ හොරකමට දඬුවමක් විදිහට (දෙවියන්ට අයත් ගින්දර හොරකම් කිරීමට). නමුත් නිරූපමාගේ පෙට්ටිය කියන්නේ හොරකමේ ප්‍රතිඵලයක්, දඬුවමක් නෙමෙයි.

තවත් පැත්තකින්, පැන්ඩෝරාගේ පෙට්ටියේ පිරිලා තිබ්බ නපුර එයාට අයිති එකක් නෙමෙයි. දෙවියන් රහසෙන් දාලා වහපු එකක්. පෙට්ටිය අරින්න තිබ්බ කුතුහලය විතරයි පැන්ඩෝරාගේ. නමුත් නපුරෙහි පෙට්ටිට පුරවන්න තිබ්බ කුතුහලයට වගෙම  නිරූපමාගේ පෙට්ටියේ තිබ්බේ ඇයටම (සහ ඇතැම් විට කියවෙන හැටියට ඇගේ පවුලේ අයටම)  අයිති නපුර.

වැදගත්ම දේ, පැන්ඩෝරා පත්‍රිකා යනු නපුරේ - දූෂණයේ සියලු නියෝජනය නෙමෙයි. මේ පිරිසගේ දැනට ලීක් වූ කොටසක් පමණයි. එසේම මේ රටවල සියලු දූෂිතයින් පැන්ඩෝරා පත්‍රිකාවලින් මෙතෙක් හෙළිදරව් නොවූ බවද පැහැදිලියි. 

මේ පැන්ඩෝරා පත්‍රිකාවන් තුළ ICIJ මාධ්‍යෙව්දීන් අපගේ පැන්ඩාරා බිසව නිරූපමා ගැන දීලා තියෙන හේතුපාඨයෙන් කොටසක්..

“Nirupama Rajapaksa is a cousin of Sri Lanka’s president, Gotabaya Rajapaksa, who rose to power during a brutal civil war. She is also a former member of Parliament and served as deputy minister of water supply and drainage from 2010 to 2015.

Her husband, Thirukumar Nadesan, has worked as a consultant and hotel entrepreneur, according to a biography on his company website. In 2016, he was charged with embezzlement in connection with a real estate deal involving another member of the president’s family Basil Rajapaksa, accused of using public funds to build a villa. The case is pending; Nadesan and Basil Rajapaksa, Sri Lanka’s current finance minister, have denied wrongdoing…”

මතක තියාගන්න; අපි තාම දන්න්නේ නිරූපමාගේ පෙට්ටියේ හෙළිදරව් වූ කොටස් පමණයි. මෙතෙක් හෙලි දරව් නොවූ කොටස්ද තිබිය හැකි අතර තවත් පිරිස්වලට අයත් තවත් පෙට්ටිද තියෙන්න පුළුවන්.

ඔව්, ඇත්තමයි නිරූපමා, ඔයාට කියන්න උපමා මං ළඟ නෑ…….!!


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
        (2021.10.04)