Monday, February 27, 2023

මර්යුෂ්කා


යකඩ මිරිවැඩි සඟල තුනකුත් 
යකඩ හැරමිටි තුනක් වෙනකුත්
යකඩ හිස්වැසුමන්ම තුනකුත් 
ගෙවෙන තුරු එකලාව ඇවිදින 

මුහුදු හතකට එහා
දේශ හතකින් එපිට
මංමුළා පෙම්වතා
කෝ කොයිද විමසන

කවුළු දෑලේ සැඟවුණු
තියුණු පිහි තුඩු මළපුඩු
සිදුරු කළ රාජාලි පපුතුරට
කඳුළු ඔසු තවරන්න බැරිවම

සිදුරු වූ පෙම්වන්ත හදවත
ගාලා ගිය රුහිරු දැක වැළපුන

අඳුරු වන පෙතක් අස
රුදුරු ගිරි ශිඛර මත
වංකගිරි මාවත
වාරුනැතිවද දෙපා - ඔසව ඔසවා තැබුව

නුඹට හමුවිද ඉතින්
අහිමිවුණ ආදරේ පියාපත?

මූදු හතකින් එහා මාවත 
හිත්ගත්ත ලංසුවල නොබැඳුන
දේශ හතකින් එහා පිරිපත
එකලාව තනි හිතින් විඳගෙන

මයා රැජිනගේ ඉනාවට
බැඳ  දැම්ම සංසාර ප්‍රේමය
පාවා නොදුන්
පරමාදර්ශ පෙම්වතී නුඹ 
මර්යුෂ්කා

ඔව්,
ඒ ආදරේ හුස්ම තවමමත්
එදා වාගේම දැවටිලා තියෙනවා
සුරඟන කතා පිටු වල..!

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

‘ගාඩි’ - ආදරයේ දේශපාලනය

 

ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ අද්‍යක්ෂණය කළ 'ගාඩි' සිනමා කෘතිය මම දකින්නේ, කට කතා මගින් සහ මහාවංශයවැනි වීර කථා මගින් ගේන අර්ධ ප්‍රබනධයන් ආශ්‍රයෙන් පමණක් ගොඩ නගාගන්නා ලද ජනප්‍රිය ඉතිහාසයක් සැබෑ ඉතිහාසය සේ හඟින වර්තමාන පරම්පරාව ඔළුවෙන් හිටවන සිනමා කෘතියක් විදිහට.

ලංකාවේ අවසාන රාජධානිය වන මහනුවර රාජධානියේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය ගාඩි සිනමා කෘතිය පසුබිම් වන්නේ වන අතර, ඇහැලේපොළ, පිළිමතලව්වේ, මිල්ලෑව ආදී ප්‍රභූ පිරිස ඉංග්‍රීසීන් හා එක්ව රජු පළවාහරිමින් රාජ්‍ය බලය ලබාගැනීමට වෑයම් කිරීම කතාවේ පසුබිම් දේශපාලනයයි.

1815 දී අත්සන් කෙරුණු උඩරට ගිවිසුම ඇතුළු මේ ඓතිහාසික බල පෙරළිය පිළිබඳ ලංකාවේ නූතන හුදී ජන ඉතිහාස කතාන්දරය මොකද්ද? එනම් කන්ද උඩරට ප්‍රභූන්, හිතා මතා රට ඉංගීසීන්ට පවා දුන් බවයි.!

එසේ නමුත් සැබෑ සිදුවීම ඊට වෙනස්ය. උඩරට ප්‍රභූන්ට පමණක් නොව, භික්ෂූන් වහන්සේලා, ජනතාව ඇතුළු සියලු දෙනා ඒ යුගය වන විට සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දැඩි කලකිරීමෙනි. කටකතා ඉතිහාසයේ නොදැක්වෙන, භික්ෂූන් වහන්සේලාට,  ප්‍රභූන්ට හා ජනතාවට රාජසිංහ රජු එපා වීමට බලපෑ මූලිකමූලික කරුණු තුනක් මෙසේ සාරාංශ කළ හැක.

1. නායක්කර් වංශික රජකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ දළදා වහන්සේ මෙන්ම මතු බුදුවන නාථ දෙවියන් වැඩ සිටින ශුද්ධ නගරය ආලක පුරයක් (හින්දු) කරමින් ඊට අදාල ‘කිරි මුහුද’ හෙවත් වර්තමාන මහනුවර වැව ගොඩනැගීම. මේ නිසා මල්වත්ත මහා විහාරයේ භික්ෂූන් දිනපතා උදෑසන දළදා වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණි, දළදා මාලිගයත් මල්වත්ත මහා විහාරයත් අතර තිබුණු කුඹුරු යාය (ටිගොල්ල වෙල) ගොඩ කළ අතර එහි මැද පිහිටා තිබුණු පොහොය මළු විහාරයද එතැනින් ඉවත් කිරීමට යෝජනා විය. එහෙයින් සිංහල රාජ්‍ය පාලනයේ ප්‍රධාන උපදේශකයා වූ භික්ෂූන් වහන්සේලා රජු හා උරණ විය.

2. රජු මේ වැව හා වලාකුළු බැම්ම ඉදිකිරීමට ‘රාජකාරිය’ යටතේ ගම් නියම්ගම් වල ජනතාවගේ ශ්‍රමය ලබා ගත්තේය. එසේ නමුත් රාජකාරී ක්‍රමයට අදාල නීතිය අනුව එවන් 'හුදු අලංකාරය වෙනුවෙන්' කරන ඉදිකිරීමක් සඳහා ශ්‍රමය ලබාගත හැකි වූයේ අදාල ඉදිකිරීම් සිදු කරන ගම් සීමාවේ පදිංචි ජනතාවගෙන් පමණි. ප්‍රත්‍යන්ත ප්‍රදේශවල වැසියන්ගේ ශ්‍රමය ලබාගත හැකි වූයේ ආගමික ඉදිකිරීම් කටයුත්තකට, යුධ කටයුත්තකට හෝ කෘෂිකර්මය සඳහා වන වාරිමාර්ග කටයුත්තකටය. මේ නිසා උඩරට ගැමියෝ  රජු කෙරේ දැඩි නොකැමැත්තෙන් අදාල කාර්ය සඳහා පැමිණියහ.

3. රටේ පිරිමින්ගේ ශ්‍රමය මෙවන් කටයුත්තට යොදා ගැනීමේ දී, ඔවුන්ගේ දරුපවුල් රැකීම රජයේ වගකීම වූ අතර, එනයින් රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී ගියේය. ඒ අනුව රජු ජනතාව මත අලුත් බදු පනවන්නට විය. එසේම ශ්‍රමය මේ කටයුත්ත සඳහා යොදාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ මිනිසුන් මෙතෙක් කරමින් සිටි කෘෂිකර්මය අර්බුදයට ලක් වූ අතර ආහාර හිගයක් ද ඇති විය.

මීට අමතරව නායක්කර් රජකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සුරාවට ඇබ්බැහිවීම. ඔහු ජනතාවට හා ප්‍රභූවරුන්ටත් ඔවුන්ගේ දරු පවුල්වලටත් කෲර දඬුවම් ලබා දීම, එසේ දඬුවම් ලබාදීමට දළදාමාලිගාව සහ නාථ දේවාලය අසල ශුද්ධ භූමිය යොදාගැනීම වැනි කාරණා ද  ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරේ භික්ෂූන් වහන්සේලා, උඩරට ප්‍රභුන් සහ මහ ජනතාව බිඳෙන්නට හේතු වූ බව ඉතිහාසයේ සඳහන්වේ.

ගාඩි සිනමාපටය විසින් නිවැරදි කරන්නේ, සටහන ආරම්භයේ ම දැක්වූ ‘පාවාදීම පිළිබඳ’ ඊනියා කටකතා ඉතිහාසයයි. ඒ අනුව ගාඩි කෘතිය රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා, ජෝන් ඩොයිලි ඇතුළු පිරිස විසින් කැප්පැටිපොළ ඇතූළු පිරිස උපායෙන් මුළා කිරීමේ සිදුවීම මනාව පෙන්වා දෙයි. ඔවුහු බයිබලයේ අත ගසා සිංහල ප්‍රභූන්ට දිවුරති. ඔවුන් පවසන්නේ තමන්ට අවශ්‍ය ‘උඩරටින් ලබාගන්නා කුළුබඩු කරදරයකින් තොරව තම රටට ගෙනයෑම’ පමණක් බවයි.

උඩරට සිංහල ප්‍රභූන්ට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් උඩරට භික්ෂූන්වහන්සේලාටත්, ප්‍රභූන්ටත් ජනතාවටත් එපා වී සිටි රජු පළවාහැර බලය තමන් අතට ගැනීමට මිස ඉංග්‍රීසීන්ට ලබා දීම නොවේ. නමුත් 1815 දී උඩරට ප්‍රභූන් සමග ගිවිසුමක් අස්සන් කළ ඉංග්‍රීසීන් උපායෙන් රාජ්‍ය බලය තමන් වෙතම තබාගැනීම සැබෑ ඉතිහාසය වන්නා සේම ගාඩි සිනමාපටය යළි දෙපයින් සිටුවන ඉතිහාසය ද වේ.

සිනමාව කලාව තුළ ඇති ප්‍රබලතම සංනිවේදන මාධ්‍යයක් වන නමුදු, ලංකාව වගේ රටක එය කටකතාව ඉක්මවා ගිය මාධ්‍යයක් නොවීමේ ඛේදවාචකය නොවන්නට ගාඩි වැනි කලා කෘතිවලට කළ හැකි සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය මීටත් වඩා අතිවිශාල වන බව නොඅනුමානය!

මා මෙතෙක් දීර්ඝ වශයෙන් කීවේ ගාඩි සිනමා කෘතියේ දේශපාලනික පසුබිම් කතාවයි. නමුත් ගාඩි සිනමා කෘතිය ගලා යන මතුපිට හුය, මේ අතීරණාත්මක දේශපාලන යුගයේ ගොඩනැගෙන ප්‍රේම කථාවකි. ඒ යට කී, රජුට එරෙහි කුමන්ත්‍රණයේ ප්‍රධානියා වූ ඇහැලේපොල මහ අධිකාරම (රවීන්දු රන්දෙණිය රඟයි) හා එක්වූ බුලත්ගම දිසාවේගේගේ (ශ්‍යාම් ප්‍රනාන්දු රඟයි) දෙවන බිරිඳ වූ තරුණියක හා ගාඩි රැහේ තරුණයකු අතර ඇතිවන ආදරය පිළිබඳ කතා වෘත්තාන්තය යි.

බුලත්ගම දිසාවේ රජුට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හෙළිදරව් වීම සමග ඔහු පැනගොස්ගොස් සැඟවුණත් උඩරට නීතිය අනුව ඔහුගේ බිරිඳට දරුවන්ට හා ඥාතීන්ට විකල්ප දෙකක් හිමිවේ. එකක් වන්නේ ගෙලෙහි බඳින ලද ගලක් සමග දියට පැන සිය දිවි නසාගැනීමයි. දෙවැන්න පහළම කුළයක් ලෙස සැලකෙන ගාඩි කුලය දක්වා කුලය පහත් කරමින් එහි පිරිමියකුට පවාදීමයි.

සිනමාපටයට අනුව බුලත්ගම දිසාවේගේ මව අතුළු ඥාතීන් දියට පැන දිවි නසා ගන්නා අතර අලුතින් ගෙනා තරුණ බිරිඳ (ඩිනාරා පුංචිහේවා රංගනයෙන් දායක වේ) දියට පැනීමට බිය වන්නීය. ඒ අනුව එගොඩ සිට ඈ වෙතට පළමුව පිහිනා ඒමට සමත් වූ ‘විජයා’ (සජිත අනුත්තර) නමැති ගාඩි තරුණයාට ඇයව හිමිවන අතර. වලව්වේ මැණිකේ කෙනෙක් වූ ඈ එම කුලයට අනුගත වීමටත් එම තරුණයාට පෙම් කිරීමට හිත හදාගැනීමට නොහැකි වීමත්, ගාඩි කුලයේ තරුණයකු වන ඔහුට ප්‍රභූ කුලයේ තබා සාමාන්‍ය සිංහල වැසියකු ලෙස වෙස් වලාගෙන ඈ සමග ජීවත් වීමටවත් සමාජයේ ඉඩ හසර නොලැබීමත්, විජයාට කුලය පහත් කොට තමා වෙත ලැබුණු ඇගේ හිත ගැනීමට අපහසු වීමත් කතාවේ ගලා යයි. කතාව අවසන් වන්නේ අති විශාල ඛේදවාචක රැසකට පසු තමා ගාඩි කුලයේ තරුණියක් ලෙස ජීවත්වීමට සිත එකඟ කරමින් ඇය ඔහු හා එකතු වීමෙනි.

කුල බෙදීම නම් ජනප්‍රිය ප්‍රපංචය කතාවේ මූලික ධාරාවේ පෙනුනත් ඊට එහා ගිය නිර්ප්‍රභූවාදීවාදී කියැවීමක් කළ හැකි අවස්ථා රාශියක් ගාඩි සිනමා කෘතියේ අඩංගු වේ. සමාජයේ ඇති කුල බෙදීම්, පංති බෙදීම්බෙදීම් මතුපිට තලයේ පැහැදිලිව කැපී පෙනෙන දේවල්ය. එසේ නමුත් අප විසින් ප්‍රභූ යැයි පවසන පංති තුළද හඬක් හිමි නොවනනොවන නිර්ප්‍රභූ පිරිස් සිටිති. පශ්චාත් යටත්විජිත ඉන්දියාවේ කැපීපෙනෙන චින්තකයින් වන රංජිත් ගුහා (Ranajit Guha), දීපේෂ් චක්‍රබෝර්ති (Dipesh Chakrabarty) ගයාත්‍රී ස්පිවැක් (Gayatri Chakravorty Spivak) ආදීන් ගොඩනැගූ නිර්ප්‍රභූ (Subaltern) කියැවීම මේ කාරණය තේරුම්ගැනීමට ඉතා වැදගත්ය. 

විශේෂයෙන් ගයාත්‍රී ස්පිවැක් ගේ මූලික ලේඛනයක් වන  "Can the Subaltern Speak?" වැනි ලේඛනවල එන වෙසෙසින් ස්ත්‍රී නිර්ප්‍රභූත්වය පිළිබඳ අදහස් ගාඩි සිනමා කෘතිය කියවන්න අපට යොදාගත හැකි ආලෝක රේඛාවන්ය. රජවරයකු යනු රාජාණ්ඩුවක් පවතින රටක ඉහළතම ප්‍රභූ චරිතයයි. ඒ අනුව රැජින යනුද එසේය. එසේ නමුත් අග රැජිනකට හෝ වෙනත් රැජිනකට හෝ රජ ගෙදර දරුවන්ට ඒ මාලිගය තුළ සැබෑ හඬක් ඇතිද? නැත. ඒ අනුව නිර්ප්‍රභූන් වනාහි ඉහළම ප්‍රභූ නිවසක වුවද සිටිය හැකි පිරිසක් බව නිර් ප්‍රභූ අධ්‍යනය (Subaltern study) තුළ සියුම්ව පෙන්වා දේ.

යළි ගාඩි සිනමා කෘතියට හැරෙමු, බුලත්ගම දිසාවේ යනු එදා රටේ ප්‍රභූ ධූරාවලියේ ඉතා වැදගත් ප්‍රභූ චරිතයකි. ඒ අනුව ඔහුගේ බිරිඳ ද බැලූ බැල්මට එසේ වේ. එසේ නමුත් ඒ නිවස තුළ ඇය සැබැවින්ම ප්‍රභූද? නැත. ඈ ඇගේ සැමියා වන බුලත්ගම දිසාව ළඟ නිර් ප්‍රභූය. දිසාවේ නිවසට පැමිණි විට පා දොවා ගෙට ගැනීමත්, නිවසට එන සෙසු ප්‍රභූන්ට ආහාර පිළියෙල කිරීමත් ඇ‌ගේ මූලික කාර්යන්න් අතර වන බව ගාඩි සිනමා කෘතිය සියුම්ව පෙන්වා දෙයි. දිසාවේට නිදාගැනීමට යහහන සකසන ඈ තමාට නිදාගැනීමට බිම පැදුරක් එළාගන්නීය. ප්‍රභූ වරයා ඇ‌ගෙන් බලාපොරොත්තු වන මූලිකම දේ ඔහුගේ පළමු කසාදයේ දරුවන් බලාගැනීමයි. කුල පහත හෙළනු ලැබූ ඇය ගාඩි තරුණයා සමග කතා නොකරන්නේ ඔහුගේ කුලයට ඈට අනුගත වීමට ඇති අපහසුව නිසාය. නමුත් ඈ ප්‍රභූ නිවසේදී ද බොහෝ විට නිහඬව සිටින තරුණියක් ලෙස සියුම්ව සිනමා කෘතිය පෙන්වයි. මෙවන් මතුපිට අර්ථ ඉක්මවා ගිය සියුම් දාර්ශනික, සමාජ දේශපාලනික අර්ථ සිනමා කෘතියක් මගින් ගොඩනැගීම වනාහි ප්‍රසන්න විතානගේ වැනි සිනමා කරුවෙකුට පමණක්‌ සිදු කළ හැකි නිර්මාණාත්මක ශක්‍යතාවකි.

ගාඩි සිනමා කෘතියේ සිනමා කරුවා ඒ ඒ පාර්ශ්ව වෙත හෙළන දෘෂ්ටිය ඉතා ගැඹුරු එකකි. එය කෙසේවත් පැතැලි දෘෂ්ටියක් නොවේ. රජු ඇතුළු පාර්ශ්වය සම්පූර්ණයෙන් ම හොඳ චරිත නොවනවා සේම, කැරලිකාරී පාර්ශ්වයද සම්පූර්ණයෙන් හොඳ හෝ නරක නැත. ඒ පාවාදීම යන කාරණය නිසා ම නොවේ. ඔවුන් ඉතා කෘර ලෙස තම අරමුණට එරෙහි පිරිස් මරා දමනු ලබන නිසාය. වෙනකක් තියා ඔවුහු  විජයාගේ ගාඩි රැහේ සියලු දෙනාද නිකරුණේ සමූල ඝාතනය කරති. මේ සිනමා දෘෂ්ටිය දකිද්දී අපට නිතැතින් සිහියට එන්නේ, මතබේදාත්මක හොලිවුඩ් සිනමාකරුවකු වන ඔලිවර් ස්ටොන්ගේ (Oliver Stone) නිර්මාණාත්මක දෘෂ්ටියයි. වෙසෙසින් එහිලා Heaven Earth (1993) වැනි සිනමාපටවල දෘෂ්ටිය අපට ගාඩි  සිනමාපටයේ දෘෂ්ටිය හා එකපෙළේ තබා කියවිය හැක.

සජිත අනුත්තර ද සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන නවකනවක නිළිය ඩිනාරා පුන්චිහේවා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුලු පිරිසගේ ප්‍රතිභාපූර්ණ - අපූර්ව රංගනය වෙසෙසින් මතක් කරන්න අවශ්‍යයි.

සිනමා කෘතියේ කැමරාකරණය, සංගීතය ඇතුළු බොහෝ කාරණා භාරතීය ශිල්පීන් විසින් සිදු කර ඇති අතර ඒ සියල්ල බොහෝ දුරට සාර්ථක බැව් නොකිව මනාව. ලොව විශාලතම හා දියුණුතම සිනමා සංස්කෘතියක් ඇති භාරතයේ නිර්මාණශිල්පීන් මේ කෘතියේදී භාවිත කිරීම කෘතියේ සිනමාත්මක තීව්‍රකරණයට පමණක් නොව සිංහල සිනමාවේ අභිවෘද්ධියටද ඉතා වැදගත් කරුණක් වේ.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර (2023-02-25)