යුද්ධය නිමවීම හේතුවෙන් එක් අතකින් ජයපැන් පානය කරන රජය තවත් අතකින් හදිසි නීතිය තව දුරටත් දීර්ඝ කරනවා. කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානයට තවදුරටත් මිලිටරිමය අනාගතයක් මෑත ඉතිහාසය තුළ තියෙයි කියලා පේන්නට නෑ. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
එල්ටීටීඊ සංවිධානය පරාජය වූ ආකාරය දිහා බලනකොට පේන්ඩ ලැබෙන දෙයක් තමයි, ඔබ කියූ ලෙස එම සංවිධානයට මෑත කාලීන මිලිටරිමය අනාගතයක් නැති බව. නමුත් දේශපාලනික වශයෙන් හෝ එම සංවිධානය ඒ නමින්ම හෝ වෙනත් නමකින් හෝ ඉදිරියට මතුවීම තීරණය වන්නේ රජයේ ක්‍රියා කලාපයත් එක්ක. දැනට අපිට කියන්ඩ පුළුවන් එය තාවකාලිකව යටපත් වුණා කියලා සහ එයට මෑත කාලීන මතුවීමක් නෑ කියලා විතරයි. එකී තාවකාලික යටපත් වීම ඇතැම්විට දීර්ඝකාලීන හෝ සදාකාලීන හෝ එකක් වීමේ හැකියාව තිබුණත් එය අපිට නිශ්චිතව කියන්ඩ පුළුවන්කමක් නෑ. එසේ මිලිටරිමය වශයෙන් පරාජයට පත් කළ එල්ටීටීඊ සංවිධානය ඉතාමත් බුද්ධිමත් ලෙස දේශපාලනික වශයෙන් ද පරාජය කිරීමයි දැන් කළ යුතු වන්නේ.
එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ පසුබිමක් මත ගොඩ නැගී ඇති ප්‍රධානතම කතිකාව වෙලා තියෙන්නේ උතුරට ලබා දිය යුතු දේශපාලනික විසඳුම කවරාකාර එකක් විය යුතුද යන්නයි. ඒ පිළිබඳ ඔබේ විශ්වාසය කුමක්ද?
එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය වී ඇති තත්වයක් තුළ පැහැදිලි දේශපාලනික විසඳුමක් ගැනීම සඳහා එම සංවිධානය මගින් මෙතෙක් ඇතිකරනු ලැබූ විශාලතම බාධාව මේ වන විට ඉවත් වෙලා තියෙනවා. ඒ අනුව මේ මොහොත වෙන විට රජයට අතිවිශාල නිදහසක් හා ඉඩ වපසරියක් විවෘත වෙලා තියෙනවා දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න හා අභිමතාර්ථ ප්‍රධාන කොට ගත් ප්‍රාමාණික විසඳුමක් කරා යෑමට. දෙමළ ජනතාව සමාන අයිතිවාසිකම් ලැබිය යුතු පිරිසක් හැටියට පිළිගනිමින් භාෂාව පිළිබඳ ප්‍රශ්නයට හා රාජ්‍ය සේවයට බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් හැටියට මේ වනවිට රජය ගෙන යන වැඩ පිළිවෙළ තුළ යම් පමණක සාධනීය ලක්ෂණයනුත් දක්නට ලැබෙන බව කිව යුතුයි.
උතුරට ලබාදිය යුතුයි සැලකෙන දේශපාලනික විසඟම් අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වන එකක් තමයි 13 ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන පළාත් සභා ක්‍රමය. එය ද්‍රවිඩ ජනතාවගේ හිත දිනා ගැනීමට මෙන්ම උතුර මනා සංවර්ධනයක් කරා ගෙන යෑම සඳහා ප්‍රාමාණික විසඳුමක් හැටියට ඔබ දකිනවාද?
ඇතැම්විට එය පරිපූූර්ණ විසඳුමක් නොවෙන්නට ඉඩ තියෙනවා. නමුත් රජය මේ මොහොතේ කළ යුත්තේ නව විසඳුම් සොයමින් කල්මැරීමට ප්‍රථම පවත්නා දේශපාලනික අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් 13 ව්‍යවස්ථා සංශෝධනය කි්‍රයාවට නැඟීමයි. පවත්නා ව්‍යවස්ථා ප්‍රතිපාදන ඉවහල් කරගනිමින් උතුරට ලබා දිය හැකි කඩිනම් වැඩ පිළිවෙළක් හැටියට පළාත් සභා ක්‍රමය මං දකිනවා. අප රටේ දේශපාලන ක්‍රමය තුළ අතිවිශාල බල තල රාශියක් කේන්ද්‍රගතව තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව මත නිසා පළාත් සභාව මතම නොරැඳු මධ්‍යම රජයත් උතුරේ සංවර්ධනය හා දෙමළ ජනයාගේ හිත දිනාගැනීම සඳහා ඍජු ලෙස මැදිහත් වෙමින් කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාව තියෙනවා. නමුත් පළාත් සභා ක්‍රමය දිය යුතුයි කියලා මුලදී පැවසූ රජය, මේ වන විට එය ඊළඟ ජනාධිපති වරණය තෙක් කල් දැමිය යුතු බවට කරන හැඟවීම් තුළ දේශපාලනික විසඳුම කරා රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නකාරී, දෙබිඩි ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඔවුන් මේ ප්‍රශ්නය පසුගිය ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් කරනවා. ඒ නිසා තවත් මැතිවරණයක් තුළින් මෙම විසඟම සඳහා මහජන මතය විමසා බැලීමක් කරනවා නම් ඉන් සිදුවන්නේ හුදෙක් ව්‍යාජව හා වංකව කෙරෙන කල්මැරීමක් විතරයි. අනෙක තමයි 13 සංශෝධනය කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙන දෙයක්. ව්‍යවස්ථාවේ තියෙන දෙයක් ක්‍ර්‍රියාවට නැංවීමට අමුතුවෙන් මහජන මතයක් විමසීමේ අවශ්‍යතාවක් නෑ.
13 ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන පළාත් සභා ක්‍රමය උතුරට ලබාදිය යුතු කඩිනම් දේශපාලනික වැඩ පිළිවෙළක් හැටියට ඔබ විශ්වාස කරනවා. 13 ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දි වැඩිපුරම විවාදයට ලක්වෙන දෙයක් තමයි එය පූර්ණ ලෙස බලාත්මක කළ යුතුද නැතිද යන ගැටලුව. උතුර සම්බන්ධයෙන් පළාත් සභා ක්‍රමය ක්‍රියාවට නැඟීමේදී පොලිස් සහ ඉඩම් බලතලද සහිතව එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ යුතු අයුතු භාවය පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?
මම කළිං කිව්වා වගේ 13 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්. එහි පැහැදිලි ලෙස කියලා තියෙනවා පොලිස් හා ඉඩම් බලතල ගැන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දෙයක් ලබා නොදීමේදී තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ. දැනටමත් අපි දන්නවා බස්නාහිර පළාත් සභාව යම් ප්‍රමාණයකට ඉඩම් බලතල බුක්ති විඟන බව ඔවුන්ම සකසාගත් ක්‍රමයකට අනුව. ඒසේ එක් පිරිසක් බුක්ති විඟන වැඩ පිළිවෙළක් තව කෙනෙකුට නොදීම හොඳ දෙයක් නෙමෙයි. මෙතනදී අපි කරන්ඩ ඕනෙ කුහක පිළිවෙතක් අනුගමනය නොකර අවංක වැඩ පිළිවෙළකට යෑමයි.
මෙහිදී මතුවෙලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි රජය ඇතැම් අන්තවාදී බලවේගයන් සමග බද්ධව තිබීම. මේ අනුව ජනාධිපතිවරයා සතු පුළුල් දේශපාලනික විසඟමකට යෑමේ හැකියාව තරමක් දුරට ඇහිරිලා තියෙනවා. නමුත් මේ රටේ අනාගතය පිළිබඳ අවංක හැඟීමක් ඔහු තුළ වෙනවානම් මේ අන්තවාදී හඳුවලට කන් නොදී කටයුතු කිරීමේ හැකියාව එතුමා සතු විය යුතුයි. ජනාධිපතිවරයාගේ අරමුණු හෙළ උරුමයේ අරමුණු නම්, ජනාධිපතිවරයාගේ අරමුණු ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු නම්, ජනාධිපතිවරයාගේ අරමුණු එවැනි වෙනත් පක්ෂයක අරමුණු නම් ප්‍රශ්නයක් තියෙන්නේ අන්න එතනයි.
යුද්ධයේ නිමාවීමත් සමග විවර වූ, දේශපාලනමය වශයෙන් යම්තාක් දුරට සහනශීලී අවකාශයක් තුළ, රට කළ යුත්තේ සමස්ත දේශපාලන ක්‍රමයේම සංශෝධනයක් කරා යොමු වීම බව ඇතැම් දේශපාලන විචාරකයින් පවසනවා. ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා විපක්ෂයේ ද පූර්ණ සහය ලබා දෙන බවට විපක්ෂයේ පාර්ශවයෙනුත් ඇතැම් විට අදහස් ප්‍රකාශ වෙනවා. මෙසේ ව්‍යවස්ථා සංශෝධනයක් කරා යොමුවීම කෙතරම් දුරට රටේ යහපත පිණිස පිටිවහල් වෙනවාද?
පැහැදිලි වශයෙන්ම අපි ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු බව තමයි මගෙත් මතය. නමුත් මේ අවස්ථාවේ අප පළමුවෙන් කළ යුත්තේ මේ වන විට පවතින අවකාශය ප්‍රයෝජනයට ගනිමින් 13 ව්‍යවස්ථා සංශෝධනය උපරිම බලය බෙදීමක් තුළ කි්‍රයාත්මක කිරීමයි. අපි මුලින්ම කළ යුත්තේ අපිට කළ හැකි පහසු දේවල්. අමාරු දේවල් මූලික කොටගෙන කිරීමට හැකි දේවල් නොකර සිටීමෙන් සිදුවන්නේ අනවශය කල් මැරීමක් විතරයි. දැනට පවත්නා ව්‍යවස්ථාවේ අඩු ලුහුඩුකම් ඉවත්කරන ආකාරයේ, ප්‍රජාතාන්ති්‍රක අවකාශය පුළුල් කරන ආකාරයේ, සියලු ජන කොටස් පුළුල් ලෙස පාලනයට හවුල් කරගන්නා ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයකට අප ඉන් පසුව යා යුතු වෙනවා.
පවතින ව්‍යවස්ථාව සෑදීමේදී ඇතිවෙලා තියෙන ප්‍රධාන දුර්වලතාවක් තමයි නීතීඥයින් මත පමණක් අනවශ්‍ය පරිදි බර තැබීම. මොවුන්ට බි්‍රතාන්‍ය කැබිනට් ආණ්ඩුක්‍රමය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණත්, ඇමරිකානු ජනාධිපති ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය හෝ ප්‍රංශයේ තිබෙන දෙමුහුන් ආණ්ඩුක්‍රමය
^ dual executive system & පිළිබඳ හෝ පුළුල් අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට ලැබෙන්නේ නෑ. ඊට අමතරව ඔවුන් තුළ රටේ දේශපාලන සංස්කෘතිය, ආර්ථීකය, සංස්කෘතිය ආදිය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබුණේත් නෑ. නමුත් ඇමරිකානු ව්‍යවස්ථාව වගේ ව්‍යවස්ථාවක් සකසන කල ඊට රටේ විවිධ ප්‍රදේශයන්හි සිටි බොහෝ ක්ෂේශ්ත්‍රයන්ට අයත් වියතුන් සහභාගී කර ගත්තා. රටේ මිනිසාගේ සංස්කෘතික අරමුණු, ආර්ථීක අරමුණු, දේශපාලනික අරමුණු ආදී සියල්ල ඒ අනුව ඔවුන් තුළින් නියෝජනය වීමක් සිදු වුණා. නොදියුණු කෘෂිකාර්මික සංස්කෘතියක් පැවති 1787 වැනි යුගයක නිර්මාණය වූ එම ව්‍යවස්ථාවම ලොව ආර්ථීක බලවතා, දේශපාලනික බලවතා, මිලිටරිමය බලවතා හා තාක්ෂණික බලවතා වන අද දින තුළත් අඛණ්ඩව වසර දෙසිය විසි ගණනක් පුරා සංශෝධන 27ක් සමග පවත්වා ගෙන යෑමට හැකි වෙලා තියෙන්නේ ඒ නිසා. අපේ රටේ වගේ, දේශපාලඥයින්ගේ පටු අරමුණු සපුරා ගැනීම මූලික කර නොගනිමින් සෑදූ එම ව්‍යවස්ථාව මෙන්ම ව්‍යවස්ථා සංශෝධනයන් රටේ සියලු මිනිසුන්ගේ ආශාවන් නියෝජනය කළා. ඇමරිකානු ව්‍යවස්ථාවේ අවසාන සංශෝධනය හෙවත් 27 වන සංශෝධනය එන්නේ 1991 දී. එයින් මූලික වශයෙන් කියැවුණේ හැන්ද තිබුණට හිතුමතික ලෙස බෙදා ගන්න බෑ කියන දේ හෙවත් කොන්ග්‍රස් සභිකයින්ට සාධාරණ හේතු මත තම වැටුප් වැඩි කරගැනීමේ හැකියාව තිබුණද එම වැඩිකිරීම් වලංගු වන්නේ එම නීති සෑදූ කොන්ග්‍රසයට නොව ඊට පසු බලයට එන කොන්ග්‍රසයට වන බවයි. නමුත් මේ රට කවදා ඒ වගේ තත්වයකට එයිද කියලා හිතන්නත් බෑ. අපේ රටේ 13, 17 වැනි සංශෝධන කිහිපයකදී හැර අනිත් සියලු සංශෝධනයන් මගින් සිදු වුණේ විධායකයේ බලය තව තවත් වැඩි කිරීම විතරයි.
අප රටේ පවතින්නේ ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඉක්මවා ගිය පුළුල් බලතල සහිත විධායක ක්‍රමයක්. ඇතැම් පිරිසක් පැවසුවේ රටේ යුද්ධයක් පවතින තත්වයක් තුළ මෙවන් බලතල සහිත විධායකයක් රටට අත්‍යවශ්‍ය බව යි. මේ විධායක ක්‍රමය ගැන ඔබ හිතන්නේ කෙසේද සහ වර්තමානයේ පවත්නා සාමකාමී තත්වයක් තුළ එවන් අසීමාන්තික බලතල සහිත ක්‍රමයක් සාධාරණීකරණය කළ හැකිද යන්න දැනගන්න කැමතියි?
එක්තරා අතකට යුද්ධය ඇතුළුව මේ රටේ පවත්නා සහ පැවතුණු බොහෝමයක් ප්‍රශ්නයන් හා උද්වේගතර අවස්ථා ආරම්භ වන්නේම මේ විධායක ක්‍රමය ඇතුළෙනෙ. ඉතින් ඒකෙන්ම පේන දෙයක් තමයි විධායක ක්‍රමය මෙරටට කොහෙත්ම නොගැලපෙන බව. ඔබ කිව්වා වගේ මේ ක්‍රමය තුළ විධායකය ගොඩ නගලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඉහළින් තබලා. විශේෂයෙන් සොල්බරි ව්‍යවස්ථාව ආදී පූර්ව ව්‍යවස්ථාවන් තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතනයන් තුළ තිබූ බල තුලනය 78 ව්‍යවස්ථාවේදී වෙනස් වෙලා තියෙනවා ඉතාමත් අයහපත් ආකාරයට. ලොව කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක නොමැති තරම් බලතල ජනාධිපතිවරයා වටේ කේන්ද්‍රගතවීම මේ රටේ බොහෝ ගැටලු වලට මූලික වෙලා තියෙනවා. ඒ නිසා යළි ඇතිකරන ව්‍යවස්ථා සංශෝධනයකදී ප්‍රධාන අරමුණක් විය යුත්තේ මේ ආයතනයන් අතර බල තුලනයක් ඇති කිරීම.
විශේෂයෙන් ඉතාමත් අහිත කර බලයක් තමයි ජනාධිපති වරයා සතු මුක්තිය පිළිබඳ බලය. මේ බලයට අනුව අපේ රටේ කිසිම ජනාධිපති වරයකු විසින් කළ හෝ නොකළ හෝ පැහැරහරින ලද වගකීම් හා වැරදි සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිඟ උසාවියකින් තීරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නෑ. ඒ තුළ ජනාධිපති නීතියට ඉහළින් තබා තිබෙන අතර පාලකයාට හා පාලිතයාට නීතිය එක සමානව ක්‍රියාවේ යෙදිය යුතුයිි යන නීතියේ ආධිපත්‍යය නම් දේශපාලනික සංකල්පය එයින් ඉතාමත් පැහැදිලි ලෙස උල්ලංඝනය වී තියෙනවා. මේ පැතිරුණු මුක්තිය
(blanket immunity) කියන සංකල්පය සාධාරණීය කරණය කළ හැක්කේ නාමික විධායකයක් සඳහා මිස මෙවන් ක්‍රමයක් පිණිස නෙමෙයි. උදාහරණයක් විදිහට 1972 ව්‍යවස්ථාව තුළත් ජනාධිපති වරයාට මේ මුක්තිය තිබුණා. බි්‍රතාන්‍ය රැජිනටත් තවත් නාමික විධායකයන්ටත් මේ මුක්තිය තියෙනවා. නමුත් ඔවුන් සියල්ලන් දරන්නේ විධායක බලතල තමන් වටා කේන්ද්‍රගත නොවුණු නාමික නිලතලයන් පමණයි. මෙරට වර්තමාන ජනාධිපති වරයා කියන්නේ දේශපාලන පක්ෂයක නායකයෙක්, ආණ්ඩුවේ නායකයා, ති්‍රවිධ හමුදාවේ නායකයා, රජයේ නායකයා. ඒ අනුව එවන් පුද්ගලයකු තුළ මෙවන් පැතිරුණු මුක්තියක් ගොණු කර තිබීම බරපතල දේශපාලන අර්බුධ ඇති කරනවා. බි්‍රතාන්‍යයේ රජුට හෝ රැජිනට මේ බලතල පවරාදී තියෙන්නේ ඔහු හෝ ඇය කිසිඟ වරදක් නොකරයි කියන විනිශ්චය හෙවත් නසබට ජ්බ ාද බද අරදබට කියන විශ්වාසය මත ඉඳලා. නමුත් දේශපාලන පක්ෂයක නායකයකු වන විධායක බලතල සහිත ජනාධිපති වරයකු සම්බන්ධයෙන් එවන් විශ්වාසයක් තියන්ඩ බෑ. අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තම, 1985 මහර අතුරු මැතිවරණයේදී ජනාධිපති ඡේ.ආර් ජයවර්ධන මහතාට විරුද්ධවත්, ඉතා මෑතක වර්තමාන ජනාධිපති වරයාට විරුද්ධවත් කිරීමට සූදානම් වූ නීතිමය මැදිහත්වීම් මේ මුක්තිය නිසා ව්‍යර්ථ වුණු ආකාරය අපිට දකින්නට ලැබුණා.
ඇත්තටම මෙවැනි ප්‍රජාතන්ත්‍ර වරෝධී සම්ප්‍රදායන් ඇමරිකාව වගේ රටවල දකින්නට නෑ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ කටයුතු විමසා බැලීමේ හැකියාවක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. එරට අධිකරණය වරක් ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් ජනාධිපති වරයාගේ කි්‍රයාකාරකම් ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කිරීම කළා. නමුත් අපේ රටේ අධිකරණය දිගින් දිගටම කරලා තියෙන්නේ විධායකයේ බලය තව තවත් ශක්තිමත් කිරීම විතරයි. අනෙක් අතට අපේ රටේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තිය සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන වැනි සංවිධාන පවා කරලා තියෙන්නේ ජනාධිපති බලය විවේචනය නොකර ඉතා වංක ලෙස ඒවාට සහය දීම විතරයි. ඒ හේතුකොට අධිකරණය ප්‍රධානකොට ගත් මේ සියලු දෙනා එක්තරා අතකට මේවාට වගකිව යුතු වෙනවා.
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සිදුවන ගනුදෙනුව මේ ක්‍රමය යටතේ වන, විධායකය සතු අධික බලතල නිරූපණය කරෙන එක් තැනක්. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවත්නා එකී සම්බන්ධතාව ඔබ දකින්නේ කොහොමද?
මගේ විශ්වාසය අනුව ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට වග කියන තත්වයකට ගතහැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු වනවා. ජනාධිපති වරයා පාර්ලිමේන්තු රැස්වීම් වලට යනවා, සංදේශ යවනවා, සාකච්ඡා කරනවා, ප්‍රතිපත්ති සම්පාදනය කරනවා, අගමැති පත්කරනවා, ඇමති මණ්ඩලය පත් කරනවා, ඇමති මණ්ඩලය ඉවත් කරනවා, ඒ විතරක් නෙමෙයි ඇමති මණ්ඩලයේ නායකයා වෙන්නෙත් ජනාධිපති. මේ වන විට පේන්ඩ ලැබෙන දෙයක් තමයි රජයට සම්බන්ධ කිසිඟ ප්‍රතිපත්තියක් ජනාධිපතිගේ අනුමැතියෙන් තොරව ක්‍රියාවට නොනැන්වෙන බව. ඒ අනුව ඔහු පාර්ලිමේන්තුව සම්බන්ධ අනවශ්‍ය මැදිහත් වීම් කරනවා විතරක් නෙමෙයි ඒ කුමක් කළත් පාර්ලිමේන්තුවට වගකියන්නේත් නෑ. ඇමති වරුන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි හා උත්තර දිය යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් ඇමති වරුන්ගේ නායකයා වන ජනාධිපති පාර්ලිමේන්තුවට උත්තර දිය යුතු බවට සඳහනක් නෑ. නිවැරදි ක්‍රමයකට අනුවනම් ජනාධිපති කරන, නොකරන හෝ පැහැරහරින දේවල් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට තිබිය යුතු වෙනවා. එසේ ජනාධිපති දෙන පිළිතුර කෙරෙහි පාර්ලිමේන්තුවට සෑහීමට පත් විය නොහැකිනම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල කරලා ඔහුව ධූරයෙන් පහ කිරීමේ හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් සතු විය යුතුයි. එක්තරා අතකට මේ ව්‍යවස්ථාවේ පවත්නා වයවස්ථාමය වැල්වටාරම් වලට අනුව දෝෂාභියෝගයකින් ජනාධිපති වරයකු පහ කිරීම ප්‍රායෝගික නෑ. අනෙක් අතට ජනාධිපති වරයා සතු, ව්‍යවස්ථාදායකයේ කටයුතු වලට අතගැසීමට ඇති ඉහත කී අසීමිත හැකියාව නිසා ව්‍යවස්ථාදායකය තුළ තිබිය යුතු ස්වාධීනත්වය නැතිවීමත් ඒ හේතුකොට තමන්ට ප්‍රබල බලපෑමක් කළ හැකි ව්‍යවස්ථාදායකය තමන් ප්‍රශ්න නොකරන තැනට ගැනීමේ හැකියාව ජනාධිපති සතුවීමත් මෙහිදී දක්නට ලැබෙනවා. අනෙක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ජනාධිපති වෙත සපයා ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය. ඇමරිකානු ජනාධිපති ගත්තාම ඔහුට ව්‍යවස්ථාදායකය හෙවත් කොන්ග්‍රස් මණ්ඩලය විසුරුවා හැරීමේ බලයක් නෑ. ඒත් අප රටේ දේශපාලන ක්‍රමයට අනුව ඉතා සරළ කොන්දේසි කිහිපයක් සපුරා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට හිමි වෙලා තියෙනවා.
78 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාහට ලැබී ඇති පාර්ලිමේන්තු සැසිවාරයක් කල් දැමීමේ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
ඇත්තටම ඒකත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔය බලය නිසාත් බොහෝවිට සිදුවන්නේ තම ප්‍රතිපත්තීන්ට පැහැදිලි අභියෝගයක් වන වැඩ පිළිවෙළක් පාර්ලිමේන්තුව තුළ සිදුවන්නේය යන හැඟීම ජනාධිපතිට ඇතිවුවහොත් මේ බලය කි්‍රයාත්මක කර පාර්ලිමේන්තු සැසිවාරයන් කල් දැමීම. මේ කල්තැබීම තුළ අසංවිධානාත්මක සභිකයින් සමග පුද්ගලික ගණුදෙනුවක් ඇතිකරගැනීම තුළින් ඔවුන් තමන්ට අවශ්‍ය තැනට ගැනීමේ හැකියාව ජනාධිපති සතු වෙනවා. 1991දී මේක සිදුවුණා ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වුණු අවස්ථාවේ. එහිදී ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ පාර්ලිමේන්තු සැසිවාරයන් කල් දමමින් තම අරමුණු මනාව ඉටු කර ගන්න එක.
17වන ව්‍යවස්ථා සංශෝධනය විධායකයේ බලය සංවරණය කිරීම සඳහා කොතරම් දුරට ප්‍රමාණවත් හා වැදගත් වන්නේද යන්න සහ එය කි්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඔබේ මතය කුමක්ද?
මං කළිං කිව්වා වගේ මේ අවස්ථාවේ අපි ප්‍රථමයෙන් කළ යුතු දේ තමයි පවත්නා දේශපාලන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් 13 සහ 17 ව්‍යවස්ථා සංශෝධනයන් ක්‍රියාවට නැඟීම. විධායකයේ බලතල සංවරණය කිරීමට 17 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රාමාණික විසඟමක් හැටියට කොහෙත්ම සලනන්න බෑ. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ යම් යම් කොමිෂන් සභා ආදියෙහි තනතුරු පත්කිරීමට ජනාධිපති සතුව ඇති හැකියාවන් සීමා කිරීම පමණයි. එයින් එම කොමිෂන් සභාවන්හි අපක්ෂපාතීත්වය යමතාක් දුරට ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා තමයි. නමුත් එතුළින් ජනාධිපති සතු අවශේෂ බලයන් සංවරණය වෙන්නේ නෑ විතරක් නෙමෙයි ජනාධිපති විසින් කෙරෙන පත්කිරීම් අතරිනුත් හමුදා ප්‍රධානීන්, තානාධිපතිවරුන්, කැබිනට් ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි තනතුරු වලට කෙරෙන පත්කිරීම් මේ මගින් සීමා වෙලා නෑ. තවත් අතකින් බලපුවාම 17 ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රජාතන්ත්‍රවාදියි. මෙහිදී ව්‍යවස්ථා සභාවට අදාළ පිරිස පත් කිරීම සඳහා ජනාධිපති, අගමැති, විරුද්ධපක්ෂ නායක ආදීන්ගේ පමණක් නෙමෙයි සුළු පක්ෂ සියල්ල ආදියෙහි අවසරයද අවශ්‍ය වනවා. නමුත් මේ රටේ පවත්නා පක්ෂ ක්‍රමය හා ඒවා තුළ පවත්නා විෂම අදහස් බලපුවාම එක් අතකින් එවැනි අනුමැතියක් ලැබීම එතරම් ප්‍රායෝගික නෑ. එහෙත් මේ මොහොතේ සිදුවෙලා තියෙන්නේ ජනාධිපතිතුමා අදාළ නිළධාරීන් පත් නොකර කරන්නාවූ ව්‍යවස්ථා උල්ලංඝනය තුළින් එය ජනාධිපති මුක්තිය හා ගැටීමයි.
අපේ ව්‍යවස්ථා ඉතිහාසය තුළ විධායකයේ බලතල සංවරණය කිරීමේ විධිවිධාන තිබුණේ සෝල්බරි ව්‍යවස්ථාවේ පමණයි. 78 ව්‍යවස්ථා සම්පාදනය සඳහා ඡේ.ආර්. ජයවර්ධන ඇමරිකානු හා බි්‍රතාන්‍ය ආදී ව්‍යවස්ථාවන් ආදර්ශයට ගෙන තිබුණත් ඒවායේ ඇති විධායක බලය ශක්තිමත් කරන අංග මිස එකී බලය සංවරණය කරන අංග ඔවුන් අපේ ව්‍යවස්ථාවට යොදා ගත්තේ නෑ. ඒ අනුව එකී ව්‍යවස්ථාවන්ගෙන් අපි ඇරගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නරක දේවල් විතරයි. මහ ලොකුවට බටහිරට බැන්නත් ඔවුන් තුළ තියෙන යහපත් දේවල් ගන්නට අපි උනන්දුවෙලා නෑ. ඇමරිකානු ජනාධිපතිවරයා විදේශ ගිවිසුමක් අත්සන් කිරීමේදී සෙනට් මණ්ඩලයේ අවසරය ගත යුතු වෙනවා. නමුත් අපේ රටේ ජනාධිපතිට පුළුවන් තම හිතුමතික ලෙස ඒ කාර්යය කරන්ඩ. 1987දී අත්සන් කෙරුණු ඉංදු ලංකා ගිවිසුම එවැන්නක්. ඊට අමතරව ඉහළ නිලතල වලට නිලධාරීන් පත් කිරීම, යුද්ධය ප්‍රකාශ කිරීම, සාමය ඇති කර ගැනීම ආදී කරුණු සඳහාද ඇමරිකානු ජනාධිපති හට සෙනට් මණ්ඩලයේ අවසරය අවශ්‍ය වෙනවා. පූර්වාදර්ශකොට ගත් ව්‍යවස්ථාවල නරක පැත්ත පමණක් ගත් නිසා ඒ සියල්ල අපේ රටේ ජනාධිපතිට හිතුමතිකව කරන්ඩ පුළුවන් කම තියෙනවා.
අගමැතිවරයාගේ භූමිකාව ගැන ඔබ කොහොමද කල්පනා කරන්නේ?
ඉතා සුළු කාරණා කිහිපයකදී හැර විශාල භූමිකාවක් මේ ව්‍යවස්ථාව තුළින් අගමැති වරයාට හිමිවී නෑ. අද ඔහුත් ජනාධිපති වරයාගේ බලතල වලට යටත්ව ඔහුට අනුව කටයුතු කරන තවත් එක්තරා පාර්ලිමේන්තු ඇමති වරයෙක්ම වගේ. නමුත් ඔය තත්වය වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ජනාධිපති නියෝජනය කරන දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක් ව්‍යවස්ථාදායකය තුළ බලවත් වෙලා සිටිද්දි. ව්‍යවස්ථාව තුළ කුමන ප්‍රතිපාදන තිබුණත් එවිට ටික කාලයක් හරි පවත්නා තත්වයට අනුගතව ඉන්නට ජනාධිපතිටවරයා හට සිදුවෙනවා. ඇත්ත වශයෙන්ම මේ ව්‍යවස්ථාව ගොඩ නගා තියෙන පදනමේම විශාල වරදක් තියෙනවා. ඒ තමයි මේ ව්‍යවස්ථාව ගොඩනගලා තියෙන්නේ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයටම හැම විටම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබයි කියන වැරදි විශ්වාසය මත වීම. මෙසේ විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ බලයට එකිනෙකට විරුද්ධ පක්ෂ දෙකක් උරුමකම් කියන විට රට දැඩි දේශපාලනමය අස්ථාවරත්වයකට පත්වීමට ඉඩ තියෙනවා.
ඊට අමතරව මේ ක්‍රමයේ තියෙන ප්‍රබල දුර්වලතාවක් ලෙස මම දකින දෙයක් තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. මේ ක්‍රමය නිසා ජන මතය පාර්ලිමේන්තුව තුළ මනා ලෙස නිරූපණය වීමේ හැකියාවක් තිබුණද එහි ඇති නරක පැත්ත ඊට වඩා වැඩි බවයි මම දකින්නේ. මේ අනුව ජනතා පරමාධිපත්‍යය බොහෝවිට පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන්නේ ප්‍රකෘති ආකාරයට වඩා විකෘති ආකාරයකට. මේ ක්‍රමයට අනුව යම් කිසි ඡන්ද කොට්ඨාශයක වැඩිම මනාප ලත් පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමිවෙනවා. ඒ තත්වය තුළ සුළු පක්ෂවලට එරෙහිව විශාල වශයෙන් ප්‍රධාන පක්ෂ ශක්තිමත් කිරීමකුයි සිදු වෙන්නේ. එය සමානුපාතික නියෝජන ක්‍රමයේ මූලධර්ම වලට විශාල වශයෙන් පටහැනියි. මැතිවරණ දෙකක් අතර අතුරු මැතිවරණ නොපැවැත්වීම තවත් අතකට ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් මෙන්ම ජනතා පරමාධිපත්‍ය විශාල වශයෙන් උල්ලංඝනය කෙරෙන ලොකු දුර්වලතාවක්. ඊට අමතරව මේ යටතෙහි වන මනාප ක්‍රමය විශාල වශයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ කි්‍රයා සඳහා පෙළඹවීම් ඇති කරනවා.
මේ ක්‍රමය තුළ තියෙන තවත් සලකා බැලිය යුතු අවාසියක් තමයි මෙහිදී මැතිවරණයක් තුළින් කිසිඳු පක්ෂයකට ස්ථාවර බලයක් ලබාගැනීමට නොහැකිවීම හා ඒ අනුව විශාල වශයෙන් සභාග ආණ්ඩු පිහිටුවීමට සිදු වීම. එහිදී කේවල් කිරීම හරහා පාලනයට දායක වීමේ අනවශ්‍ය බලයක් අන්තවාදී කුඩා පක්ෂයන්ට හිමි වීම දක්නට ලැබෙනවා. විශේෂයෙන් බහුවාර්ගික සමාජයක් තුළ මෙවන් සභාග ආණ්ඩු ඇතිවීම රටේ පරිපාලනය ක්‍රමවත් ලෙස සිදු කිරීම සඳහා ගැටලුකාරී තත්වයක් ගෙන එනවා. වර්තමාන ලංකාව ගත්තත් යුද්ධයෙන් පසු උතුර සඳහා ගතයුතු දේශපාලනික විසඟම කවරාකාර විය යුතුද කියා රජයට ඍජුව තීරණය කිරීමට නොහැකි වී ඇත්තේ එවන් අන්තවාදී කුඩා පක්ෂයන්හි බලපෑම් නිසා බැව් පේන්ඩ තියෙනවා.
සංවාදය : ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
රාවය - 2009