Monday, April 18, 2011

එක හීනයක පියවර



එක හීනයක පියවර
ඔබ හිටිය
දෑසම වසාගෙන
කෝ නින්දකට අවසර
කූද්දන්නටමය අධිටන

නිස්කලංකෙක දලුලන
උපහාසයේ ලතු තැවරුණ
ඇත්තමයි ඔබ හිටියෙම
දෑසම තදින් වහගෙන

පැඟිරි කටුවක් ලෙල්ලක්
උල් නියක් දිය බිඳුවක්
සිහිනයක මග අවුරන
ඇසිල්ලෙක නෙත් තෙත් කර
නැතිය කිසිවක්ම ඔබ ළඟ

සිහිනෙකට කොයි අවසර
නුඹ හිටියෙ
නෙත් කෙවෙනි පාමුල

හරි අධිටනකි නුඹ වත
වැසුණු දෑසක් පවසන
මගෙ සිහිනයේ පියවර
ඇස් කෙවෙනි යටම මියැදෙන

උපහාසයක ලතු තැවරුණ
ඔබ හිටියෙ
සිහිනයක පියවර

ගෙන්දගම් පාරක
පැකිලූණු පාද අහුරන
ඒ සිහිනයේ පිරිපත
සුළැඟිලි තුඩින් පාරන

නින්දකට කොයි අවසර
හෙමි හෙමින්
යළි යළිත් පෑරෙන

ඒත් නුඹ හිටියෙම
දෑසම තදින් වහගෙන



- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

3 comments: