Saturday, August 4, 2018

Abraham Lincoln: Vampire Hunter



ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්ගේ චරිතය පාදක කරගෙන නිර්මාණය කෙරුන සිනමා පට රාශියක් තියෙනවා. Abraham Lincoln (1930) , Abe Lincoln in Illinois (1940) , The Lincoln Lawyer (2011) සහ Lincoln (2012) ඒ අතරින් ජනප‍්‍රිය කෘති කිහිපයක්. Timur Bekmambetov  විසින් (2012) නිර්මාණය කරන ලද Abraham Lincoln: Vampire Hunter සිනමාපටය සුවිශේෂී වන්නේ ලින්කන් වෘත්තාන්තයට ඒ යටතේ සිනමාකරුවා වෙනම ෆැන්ටසික මානයක් දීලා තියෙන නිසා. මුලින් සඳහන් කළ සියලු කෘතීන් Biography / Drama / History කියන ජාත්‍යන්තර සිනමා වර්ගීකරණයන් තුළ සලකුණු වී ඇති නමුත් Abraham Lincoln: Vampire Hunter සිනමා කෘතිය Action / Fantasy / Horror වර්ගීකරණයන් යටතේ නම්කර ඇත්තේ ඒ නිසා.
සමස්ත කතාව ගලා යන්නේ කුඩාකල සිට ලින්කන් විසින් අත්දකින ලද වහල් ක‍්‍රමයත් ඒ මගින් මිනිසා පෙළන ආකාරයත් පිළිබඳ සැබෑ සිදුවීමුත්, ඔහු ක‍්‍රමයෙන් වර්ධනය වී වහල්භාවයට විරුද්ධව කටයුතු කිරීම හා අවසන ඇමරිකානු ජනාධිපති වී වහල්ක‍්‍රමය අහෝසිකිරීම දක්වා සැබෑ සිදුවීමුත් මත.
මිනිසාටත් මිනිස්කමටත් එරෙහි එම කාරණා වැම්පයර් සංකේතයක් විදිහට සිනමාකරුවා ගොඩනගනවා. ඒ අනුව මේ කෘතියේදී ලින්කන් දේශපාලඥ භූමිකාවට අමතරව රිදී ආලේපිත විශාල පොරවක් ගෙන රාත‍්‍රියේදී වැම්පයරුන් දඩයම් කරන රණශූරයෙක් විදිහටයි නිර්මාණය වන්නේ. (මේ අර්ධය ගොඩනැගීමේදී සිනමාකරුවා විශාල ෆැන්ටසික රූපරචනයක් කරනවා. ඇතැම් සටන් අවස්ථාවන් බොහෝවිට සිහිගන්වන්නේ Quentin Tarantinoගේ සිනමාපට වල එන තාක්ෂණික උපක‍්‍රම)
කතාව පටන්ගන්නේ 1818 ඉන්ඩියානාවෙන්. අවුරුදු නවයක පමණ කොලූ ගැටයෙක් වන ලින්කන් පියාගේ වඩු මඩුවේ උදවු කරමින් ඉන්නවා. මෙහිදී ඔහුගේ සම වයස් මිතුරකු වන විලීට (William Johnson)  ප‍්‍රභූවරුන් පිරිසක් පහර දෙන අතර විලීගේ දෙමව්පියන් එසේ නොකරන ලෙස වැළපෙනවා. ලින්කන් මේ මැදට පැන තම යහලූවාට පහරදෙන්නන් සමග පොරබදනවා. මෙයින් කෝපයට පත් ඔවුන් පෙරලා ලින්කන්ට පහරදීම නිසා ලින්කන්ගේ පියාටද ගැටුමට මැදිවෙන්න සිද්ධවෙනවා. ඊට පළිගැනීමක් වශයෙන් එදින රාත‍්‍රියේ ඔවුන් විසින් ලින්කන්ගේ මව ඝාතනය කරනවා.
කතාවේ මුල් අඩ දිව යන්නෙ තම මව මැරූ පුද්ගලයාගෙන් පළිගැනීමට තරුණ ලින්කන් ගන්න උත්සාහය මත. පියා ජීවත්ව සිටියදී ඔහු ඊට ඉඩ නොදෙන අතර එසේ නොකරන ලෙස ලින්කන්ගෙන් පිළින ගන්නවා. ඒ අනුව පියා මිය ගිය පසු ඔහු තම සැලැස්මට යුහුසුලූ වනවා.
නමුත් ඔහු තමන් පළිගන්න ඉන්න පුද්ගලයා වැම්පයරයෙක් බව ලින්කන් දන්නේ නෑ. ඒ ඔහුගේ මිතුරා වන හෙන්රි ස්ටජස්  (Henry Sturges)  කියන තුරු. වැම්පයරුන්  වනාහි සැබෑ ලෝකයේ නොසිටින මිත්‍යාවක් ලෙයසි ඔහු කල්පනා කරන්නේ. (එසේ නමුත් මව ඝාතනය කරන වෙලාවේ නින්ද ගොස් සිටින ඇගේ අතින් අදාල වැම්පයරයා ලේ උරාබොනවා කුඩා ලින්කන් දකිනවා. එසේම ඔහුගේ දිලිසෙන බියකරු දෑස්ද මොහොතකට ඔහු දකිනවා. නමුත් ඒ වැම්පයරයෙක් කියා ඔහුට හිතෙන්නෙ නෑ) හෙන්රි ද කළකට ඉහතදී වැම්පයරයන්ට එරෙහිව සටන් කළ මිනිසකු වන අතර වැම්පයරයින්ගේ ආක‍්‍රමණයකින් වැම්පයරයෙකු වූ අයෙක් බව පසුව අනාවරණය වෙනවා.  නමුත් ඔහු ඉන්නේ තම මනුෂ්‍ය ජීවිතය විනාශ කිරීම සහ බිරිඳගේ ලේ උරාබී ඇය ඝාතනය කිරීම ගැන වැම්පයරයන් හා වෛරයෙන්.
වැම්පයරයන් විනාශ කිරීම වැම්පයර් කෙනෙක්ට ම කරන්නට බෑ. ඒ නිසා හෙන්රි මේ සඳහා තෝරාගන්නේ මිනිසකු වන ලින්කන්ව. මක් නිසාද යත් අදාල පුද්ගලයා වැම්පයරයෙක් ලෙස නොදැන වුවද ලින්කන් එක් වැම්පයරයෙකූ ගැන වෛරයෙන් පසුවන බව ඔහු දන්නවා.  ඒ අනුව හෙන්රි වැම්පයරයන් ඝාතනය කරන සටන් ක‍්‍රම සහ රහස් ලින්කන්ට දෙනවා. රිදී ආයුධයකින් මිස අන් කිසිම අවියකින් වැම්පයරුන් විනාශ කරන්න බැරි බව ඔහු ලින්කන්ට උගන්නවා.
තම මව මැරූ කෙනාට එරෙහිව ලින්කන් තුළ වූ එක පුද්ගලයෙක් පිළිබඳ ගැටලූව, සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන් සියලූ වැම්පයරයන්ට එරෙහිව ගොඩනගාගන්නා ලෙස පුළුල් පරමාර්ථයක් ලින්කන්ට ලබා දෙන්නෙ ස්ටජස්. ඒ අනුව ලින්කන්ට හෙන්රිගේ සැලැස්මකට අනුව එක එක වැම්පයරයන් විනාශ කරමින් තම මූලික අරමුණ දිහාවට යන්න සිදුවෙනවා. එසේ නමුත් මිනිසුන් අතර සැඟවී වැම්පයරයන් සිටීම තහවුරු වීමත් ඔහුවුන්ගෙන් සියලූ මිනිසුන්ට හානි සිදුවන බව තහවුරු වීමත් නිසා ලින්කන් ඒ පරමාර්ථය ගැන අවබෝධාත්මක වෙනවා. එහෙම වුනත් මිනිසුන් අතර හෙන්රි නොපෙන්වන ආකාරයේ තවත් සියුම් සතුරන් ඉන්න බව ලින්කන්ට ප‍්‍රත්‍යක්ෂ වනවා.
වරකෙ ලිංකන් සහ ඔහුගේ කළු ජාතික මිතුරා වන විල් (William Johnson) වැම්පයරුන්ට කොටු වෙනවා. එහිදී වැම්පයරුන්ගේ නායකයා ලෙස කටයුතු කරන, අවුරුදු පන්දාහක් වයස ඇඩම් (Adam) ඔහුට කියන්නේ වහල් භාවය දෙවියන් විසින් මිනිසුන් මැවූ දිනයේ සිට තිබූ එකක් බව. ඊජිප්තුවේ ඓශ්චර්යය ගොඩනැගුවේ වහල්භාවය පාදක කරගනිමින් බවත්. ක‍්‍රිස්තියානීන් මිනිසුන්ව සිංහයන්ට කන්නට දෙනවා තමන්ගේ දිගු ජීවිත කාලය තුළ තමන් දුටු බවත්, අප‍්‍රිකානුවන් තමන්ගේම මිනිසුන් යුරෝපයට විකුණනවා තමන් දැක්ක බවත් වැම්පයර් නායකයා කියනවා. තමන්ට අවශ්‍ය තමන්ගේ වර්ගයාගේ දියුණුව පමණක් කියන ඔහු තමන්ගේ සහ මිත‍්‍රයාගේත් ජීවිත බේරාගැනීමට අවශ්‍යනම් ලින්කන්ට උදවුකරන වැම්පයර් මිතුරා වන රෙන්රි ස්ටජස් මරණයට පත් කරන්න කියලා කියනවා. කෙසේ හෝ ඒ තීරණාත්මක අවස්ථාවේ ලින්කන්ගේ තවත් මිත‍්‍රයකු වූ ස්පීඩ්ගේ (Joshua Speed) මැදිහත්වීම මත පලායෑමට ලින්කන්ට හා විල්ට හැකිවනවා.
මේ මේ සියලූ ගැටලූ නැතිකිරීමට මිනිසුන් දැනුවත් කිරීම කළ යුතු බව ඔහුට වැටහෙනවා. (ඒ ගැන සම්පූර්ණයෙන් විශ්වාස තැබූ ඔහු වැම්පයරුන් දඩයම් කිරීම නවතා තම පොරව පෙට්ටියක දමා වසා තබනවා) ඒ සඳහා නීතිඥයකු ද වන තමාගේ චතුර කථිකත්වය භාවිත කරන අතර ඔහු දිනෙන් දින මිනිසුන් අතර ජනප‍්‍රිය වනවා. ක‍්‍රමයෙන් දේශපාලනය කරා ගමන් කරමින් සිටි ලින්කන් රටේ ජනාධිපති වරයා වනවා. වහල්භාවයේ ප‍්‍රශ්නය අසිපතින් විසඳනවාට වඩා පෑනෙන් විසඳිය  යුතු බව ඔහු කියනවා. ඒ වනකොට හල් භාවය අහෝසි කරන වැඩ පිළිවෙළට එරෙහිව වැම්පයරුන්ගේද උදවු ඇතිව යුද්ධයක් (ඇමරිකානු සිවිල් යුද්ධය) ආරම්භ කරලයි තියෙන්නේ. එයින් රට විනාශ වෙමින් තිබෙන අතර වැම්පයරුන්ගේ පහරදීම් හමුවේ මිනිස් සොල්දාදුවන් අසරණ වෙනවා.
මේ අතර වැම්පයර් නායක ඇඩම්ගේ සොහොයුරිය වන වැඩොමා (Vadoma) ධවල මන්දිර සේවිකාවක ලෙස වෙස් වලාගෙන විත් ලින්ක්න්ගේ පුත‍්‍රයා වන විලී ලින්කන්ව ලේ උරාබී ඝාතනය කරනවා. වැම්පයරුන්ට එරෙහිව උපක‍්‍රමශීලීව නැවතත් අවි අතට ගැනීමට අවශ්‍ය බව ලින්කන් හිතට ගන්නේ මේ මොහොතේ. ඒ අනුව උපක‍්‍රම ශීලීව වැම්පයරුන්ට එරෙහිව ලින්කන් ඇතුළු කණ්ඩායම සටන් කරනවා. ඒ රිදී ආයුධ සහ උණ්ඩ භාවිත කරමින්. අවසන වහල් භාවය අහෝසිකරන ලින්කන් රටට සාමය ගෙන එනවා. කතාව අවසන් වන්නේ ලින්කන් තමා ගේ දිනපොත හෙන්රිට දී බිරිඳ සමග නාට්‍යයක් බලන්නට පිටවීමෙන්.
වහල් ක‍්‍රමය පවත්වාගෙන යන්නන් අනුන්ගේ රුධිරය උරා බී ජීවත්වන නොමැරෙන වැම්පයරුන් කොටසක් හැටියට නිරූපණය කිරීම ඉතාමත් අර්ථාන්විතයි. මේ අය අනුන්ගේ රුධිරය උරා බී ජීවත් වෙනවා පමණක් නෙමෙයි තමං ලේ උරා බීපු ‘මිනිස්සු’ වැම්පයරුන් බවට පත් හරවගන්නත් පුළුවන් වීම වහල්ක‍්‍රමයේ දෘෂ්ටිවාදී මෙහෙයුම නිරූපණය කරන අපූර්ව සංකේතයක්.
Abraham Lincoln: Vampire Hunter මිනිස් සාරය උරා බී තර වෙන සදාතනික වැම්පයරුන්ගේ වර්ගවාදී භෞතික චර්යාවන් හා මතවාදී මෙහෙයුම පිළිබ`ද සත්‍යය සහ ප‍්‍රබන්ධය අතර ගෙතූ අපූර්ව උපමා කතාවක් කියන්න පුළුවන්.

- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2018 ගෝස්තු 05)


No comments:

Post a Comment