Saturday, January 25, 2020

මගෙ කොරියානු පෙම්වතී





කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී

‘කවුරුනම් තිබ්බාද හැබෑටම ඔය නම?‘
මං හිනාවෙන හැමවිට
රතුකරගත්තු කම්මුල්, මදහාස බැල්ම
ක්ෂණික විහිදුම් එපිට බැල්මක්

සතුටින් පිරුණු අපේ ජීවිතවල ඒ දුර්ලභ හැම දවසම
අමතක කරන්නෑ කවටකම මම

කොරියානු පන්නයේ සුදු දෙකම්පෙතිවලට
ඉමිටේෂන් කරාඹුව
ඇත්තටම ගැලපෙනවද?

බොරුවට නෙමෙයි කුමූ
ඇත්තටම අපූරුයි
කොරියානු ඌරුවේ ඔය නම
කිරිගරුඪ හීන් නාසය
පැටලෙන්නම සන්කරන ඇස් දෙකේ අමුතු වර්ණය!

සංස්කෘතික කොරියාවන් නෙමෙයිද මේ
අපි අතර වැඩකරන?

දෙහදක් ගැහෙන හැඟවුම්
තේරුම් ගන්න හැකි අයෙක් ඉන්නවද?

පාලුව පිටාරගලන මොහොතක
මංගන්නවා දුරකථන ඇමතුම්
මගෙ කොරියානු පෙම්වතී අනික්පස

වල්වචන වක්කඩ කැඩෙනවා නිතරම
අනික්පස නොරිස්සුම් ස්වරයෙන්
ඔබ අහන එකම ප්‍රශ්නෙට
ඉතිං ඍජු උත්තර නෑ මට
‘ඔයාට ඕනෙ ඒකම විතරද මගෙන්?‘

ආදරේ නැතිකම නෙමෙයි කුමූ
රාගය කියන්නෙත් ආදරේ පිටාරගලන එක විදිහක්

සැක හිතෙන වාර අනන්තයි මටත්
මගෙ සරාගික මුණගැසුම් - දුරකථන ඇමතුම්
ප්‍රතික්ෂේප වෙන හැම දිනකම

කොතරම් වෙහෙසදැ‘යි මං දන්නවා
දරුවකුත් ඇස අගම ගැටගහන්
දිව විකා බර අදින - ජීවිතේ අරගලය
ඒ වුණත් මටත් සැක හිතෙනවා
ආදරේ නිසාම වෙන්න බැරිද ඒ?

මිළමුදල් - අගහිගකම්
ඔබට තරමට අඩුයි ඇත්තයි
ඒත් ඔබ හිතනහැටි වැරදියි
අපි දෙන්නම ඉන්නෙ එකම ලෝකෙක
***********
ඔබේ ආදර ලෝකයේ කිම් ජොන්ග් උන් නෙමෙයි මං
අපෙ ප්‍රේම ලෝකය වටකරලා
චීන මහාප්‍රාකාරයටත් වඩා ලොකු බැම්මක්
එහෙමනම් බඳිනවා සත්තයි
බැල්මකින් පවා රිදවන්න බැරිවෙන්න ඔයාහට
ළංවෙන්න බැරිවෙන්න කාටවත් අපේ රහස් ලෝකෙට

ඒ වුණත් පෙම්වතී
මගෙ ජීවිතේ මෙහෙයවන යතුර
මට නැතිවෙලා ටික කාලයක් වෙනවා
ඔව්, ඔයාට ඒක නැතිවුණේ
මටත් කළියෙන් බව දන්නවා

ඉතිං අපි දෙන්නට
ඉවසන්නටම වෙනවා

කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී
ඉස්පාසුවක් නැති ජීවිතේ නැතිවුණු යතුරු සොයන්නට නුහුරුයි
සංස්කෘතික කොරියානු වහල්බැමි හරි නපුරුයි

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
20.01.26

Thursday, January 23, 2020

ආයෙ එන්නෙම නැද්ද?



මොකද ඔයාට හැමදාම ඕන කළේ ලේඛකයෙක් වෙන්න. ඒත් ඒකට ධෛර්යය තිබුණෙ නැහැ. දැන් ඔයා තනි වුණාට පස්සෙ වෙලාවෙන් ප්‍රයෝජනගන්න පුලුවන්. අඩුගානෙ ඔයා පිළිගන්න ඕන මං ඔයාට කතාවක් දුන්නා කියන එක. එහෙම නෙමෙයිද මගේ කොල්ලෝ?
- මාරියෝ වාර්ගාස් ලෝසාගේ විසේකාරී (The Bad Girl) නවකතාවේ අවසානය


මං කියනදේට ඔයා දිගින් දිගට බීරිනම්, නිශ්ශබ්ද වෙලා ඉන්නවා හැර මට කරන්න වෙන දෙයක් නෑ.. 
- ඈ එවූ පණිවිඩයකින්



බිහිරිකම නෙමෙයි චංචලා 
මගෙ හදවතයි දොඩමලු


රෑදෙකක් නිදි මැරූ හීනෙක
දෙමගක ඇවිත් එක මගක ගිය උදයක
ගෙවී ගිය තීරණාත්මක තත්පර කීපය
දෙමගකට වෙන් කරන ඉරණමක් ලියවුණේ කොහොමද?


ඒ පේරාදෙණි මොහොතෙ 
හෙවණ දුන්නෙත් අපි දෙන්නට
යාපහුවෙ මුණ ගැහුණු දොඩමලු සිංහයාමයි
අමතකද? 


මං හැදුවෙ පියවරක් ළංවෙන්න 
ඒවුණත් චංචලා,  
මතකයිද තිබ්බ හැටි ඔය බරැ‘ති ‘පොත් මිටිය?
කුරිරු ලෙස අවකාශය අවුරමින් අප අතර


ඒ හඬට ගැස්සුණා හදවතම
හන්තාන මහකන්ද හිටිවනම මුල් ඇද්දා අපි අතර


පොත්වලින් හදවතක් ඇරෙනවා දැක්කාට
පොත්වලින් හැඟීමක් වැහෙනවා දැක්කමයි චංචලා


බිහිරිකමමත් නෙමෙයි චංචලා 
ඒ හදවතයි තාමත්ම දිවා රෑ මේවිදිහ


ඔව් ඇත්ත, 
කවි හිතක් කීද්දුනා තමයි
ඒත් ඒ හිත තාම හරි බරයි චංචලා


වෙලුම්පටි බැඳගත්ත සිහිනයක
දෙපාමුල නැවතෙන්න
ලේගලන හදවතක
සෙනේ ඔසු තවරන්න
සියුම්වට සියුම්වට නළල අතගාලන්න
පුලුවන්ද කවියකට?


චවන තුනකට පර්යාය හැඟිමක්
මියනොහී රැකගන්න
පුංචිම පුංචි කවියකට පුලුවන්ද චංචලා?


*****


පේරදෙණියට තාම එදාවගෙ සීතලයි චංචලා
මං තාම එ්වගෙම සිංහ රුව පාමුලම
හුස්ම වැටෙනකං ඉන්නවා


එදාවගෙ හිමිදිරියෙ 
දෙමගකින් එක්වෙන්න 
මීදුමැ‘ති නිම්නයක
එකම මගියා වෙන්න
ආයෙ එන්නෙම නැද්ද චංචලා..?


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(2020.01.23)

Tuesday, January 21, 2020

රතුපස්වල ඔටුවෝ


රතුපස්වල තැන තැන
උන්
මැරී වැටුණා


පිපාසිත පොළවට
රතු රුහිරු කාන්දුවෙමින් තිබුණා


පණ තියෙන හැම ගහම,
හැම වැලම දැවි දැවී 
සෝසුසුම් ළැව්ගින්න ගැලුවා


****


“වතුර? ඔටුවන්ට...?“
වෙඩිතියන්නට අණ ලැබිලා තිබුණා.
මූනිස්සන් වර්ෂාව
බට දිගේ අකුණු සර නැඟුවා


ඔස්ට්‍රේලියා සුදුපස
ලේරතට හැරුණා
රතුපස්වල ඔටුවො 
මැරී බිම වැටුණා


****
‘පිපාසයි ආනන්ද, පිපාසයි. 
තථාගතයන් වහන්සේට ක්ලාන්තයි. 
ආනන්ද,
ඉක්මණින් තථාගතයන් වහන්සේට විවේක ගැනීමට 
අසුනක් පණවන්න’ 


කෝටිම තිස් තුනක්
වැඩවසන්නා වූ දෙවියනී 
හඬක් නැති ඔටුවෙක්ට
සාපිපාසය දුන්නෙ ඇයි කිවමැනේ?


****

හිටිවනම බිම වැටුණු කඳුලක්
ගල් ගැහී මිහිමතින් නැඟුණා
ඒ කඳුලෙ හැඩයටම 
සුසුම්ලන දූපතක් මැවුණා


ඔස්ට්‍රේලියා සුදු පොළව රතු කරපු විනාසෙට
සාප - යාදිනී රළ 
ඒ බිමේ හැපි හැපී බිඳුණා 
දිවා රෑ ශෝක කවි ලියුණා..

- ප්‍රසාද් නිරොෂ බණ්ඩාර