Saturday, January 25, 2020

මගෙ කොරියානු පෙම්වතී





කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී

‘කවුරුනම් තිබ්බාද හැබෑටම ඔය නම?‘
මං හිනාවෙන හැමවිට
රතුකරගත්තු කම්මුල්, මදහාස බැල්ම
ක්ෂණික විහිදුම් එපිට බැල්මක්

සතුටින් පිරුණු අපේ ජීවිතවල ඒ දුර්ලභ හැම දවසම
අමතක කරන්නෑ කවටකම මම

කොරියානු පන්නයේ සුදු දෙකම්පෙතිවලට
ඉමිටේෂන් කරාඹුව
ඇත්තටම ගැලපෙනවද?

බොරුවට නෙමෙයි කුමූ
ඇත්තටම අපූරුයි
කොරියානු ඌරුවේ ඔය නම
කිරිගරුඪ හීන් නාසය
පැටලෙන්නම සන්කරන ඇස් දෙකේ අමුතු වර්ණය!

සංස්කෘතික කොරියාවන් නෙමෙයිද මේ
අපි අතර වැඩකරන?

දෙහදක් ගැහෙන හැඟවුම්
තේරුම් ගන්න හැකි අයෙක් ඉන්නවද?

පාලුව පිටාරගලන මොහොතක
මංගන්නවා දුරකථන ඇමතුම්
මගෙ කොරියානු පෙම්වතී අනික්පස

වල්වචන වක්කඩ කැඩෙනවා නිතරම
අනික්පස නොරිස්සුම් ස්වරයෙන්
ඔබ අහන එකම ප්‍රශ්නෙට
ඉතිං ඍජු උත්තර නෑ මට
‘ඔයාට ඕනෙ ඒකම විතරද මගෙන්?‘

ආදරේ නැතිකම නෙමෙයි කුමූ
රාගය කියන්නෙත් ආදරේ පිටාරගලන එක විදිහක්

සැක හිතෙන වාර අනන්තයි මටත්
මගෙ සරාගික මුණගැසුම් - දුරකථන ඇමතුම්
ප්‍රතික්ෂේප වෙන හැම දිනකම

කොතරම් වෙහෙසදැ‘යි මං දන්නවා
දරුවකුත් ඇස අගම ගැටගහන්
දිව විකා බර අදින - ජීවිතේ අරගලය
ඒ වුණත් මටත් සැක හිතෙනවා
ආදරේ නිසාම වෙන්න බැරිද ඒ?

මිළමුදල් - අගහිගකම්
ඔබට තරමට අඩුයි ඇත්තයි
ඒත් ඔබ හිතනහැටි වැරදියි
අපි දෙන්නම ඉන්නෙ එකම ලෝකෙක
***********
ඔබේ ආදර ලෝකයේ කිම් ජොන්ග් උන් නෙමෙයි මං
අපෙ ප්‍රේම ලෝකය වටකරලා
චීන මහාප්‍රාකාරයටත් වඩා ලොකු බැම්මක්
එහෙමනම් බඳිනවා සත්තයි
බැල්මකින් පවා රිදවන්න බැරිවෙන්න ඔයාහට
ළංවෙන්න බැරිවෙන්න කාටවත් අපේ රහස් ලෝකෙට

ඒ වුණත් පෙම්වතී
මගෙ ජීවිතේ මෙහෙයවන යතුර
මට නැතිවෙලා ටික කාලයක් වෙනවා
ඔව්, ඔයාට ඒක නැතිවුණේ
මටත් කළියෙන් බව දන්නවා

ඉතිං අපි දෙන්නට
ඉවසන්නටම වෙනවා

කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී
ඉස්පාසුවක් නැති ජීවිතේ නැතිවුණු යතුරු සොයන්නට නුහුරුයි
සංස්කෘතික කොරියානු වහල්බැමි හරි නපුරුයි

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
20.01.26

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete