Friday, September 24, 2021

දකුණේ දේශපාලනය උතුරේ දේශපාලනයට වෙනස් නෑ


• ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඔබ කොහොමද විචාරය කරන්නේ?

 ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විදිහට දෙමළ මිනිස්සු ඉල්ලා හිටියේ වෙන මොකුත් නෙමෙයි. ස්ව පාලනයක් කියන එක. මොකද මෙච්චර කාලයක් දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු යටතේ හිටි නිසා. ඒත් ඔවුන්ට කිසිම අයිතිවාසිකමක්- සිංහලයන් යටතේ දිනාගන්න බැරි වුණා. ඒ නිසා තමයි දෙමළ මිනිස්සු වෙනම රාජ්‍යයක් ඉල්ලා හිටියේ. නමුත් අවසානයේ සිද්ධ වුණේ දෙමළ මිනිස්සුන්ගේ අරගලය ඉතාමත් කෲර ලෙස අවි බලයෙන් මර්දනය කිරීම. යුද්ධය ඉවුර වුණා කියලා ජාතික ප‍්‍රශ්නය විසඳිලා නෑ. ඒක එහෙමම තියෙනවා. දෙමළ මිනිස්සුන්ගේ තිබුණු ප‍්‍රශ්න එකකටවත් අද වෙනතුරු පිළිතුරු ලැබිලා නෑ. යුද්දෙට කලින් ආණ්ඩුව කිව්වා ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලෙස විවිධ දේවල් ලබා දෙනවා කියලා. නමුත් ඒක රැවටිල්ලක් විතරයි. ඒ නිසා යුද්ධය අවසන් කිරීම කියන එක මර්දනයක් සහ රැවටිල්ලක් විතරයි.

 • අද තියෙන දේශපාලන සමාජ වපසරිය ඇතුළේ ජාතික ප‍්‍රශ්නයට ගන්න පුළුවන් හොඳම විසඳුම මොන ආකාරයේ එකක් වෙන්න ඕනෙ කියලද ඔබ අදහස් කරන්නේ? 

 මම දකින විදිහට නම් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු යටතේ ඉන්න බෑ. මම කලින් කිව්වා වගේ දැන් අවුරුදු 61ක් තිස්සේ දෙමළ ජනතාවගේ ජාතික අයිතීන්, භාෂා අයිතීන් සහ ප‍්‍රජාන්ත‍්‍ර‍්‍රීය අයිතීන් සියල්ල මර්දනය සිංහල ආණ්ඩු විසින් මර්දනය කරලා තියෙන්නේ. ඒ නිසා මීට තියෙන හොඳම විසඳුම එක්කෝ සිංහල මිනිස්සුන්ට තියෙන සියලූ අයිතිවාසිකම් දෙමළ මිනිස්සුන්ට දෙනවාය ඔවුන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන්න කවුරුහරි උත්සාහ දරනවා නම් ඒ සඳහා දරුණු දඬුවම් පමුණුවනවාය කියලා ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන්න ඕනෙ. තවමත් මේ රටේ මනුෂ්‍යයකුට දෙමළෙන් වැඩක් කරගන්න බෑ. සිංහල මනුෂ්‍යයෙකුට රැස්වීමක් පවත්වන්න පුළුවන්කම තිබුණත් දෙමළ මනුෂ්‍යයකුට එහෙම දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. ඉතිං ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න අපිට බැරි නම් අපි ඒ මිනිස්සුන්ට වෙන්වෙලා වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනෙ. නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් දෙන්න සැබෑ වුවමනාවක් තියෙනවා කියලා පේන්න නෑ. ඔවුන් කරන්නේ මේ රටේ සිංහල මිනිස්සුන්වයි දෙමළ මිනිස්සුන්වයි දෙගොල්ලම රවටන එක විතරයි. 


 • ජාතික ප‍්‍රශ්නය කියන එක මොහොතකට අමතක කරලා දකුණේ දේශපාලනය අද වන විට ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බැලූවොත්? 
දකුණේ දේශපාලන තත්ත්වය කියන එක වුණත් උතුරේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් වෙනස් නෑ. දැන් දකුණේ තියෙන්නේත් උතුරේ තියෙන තත්ත්වයම තමයි. අද වන විට දකුණේ තියෙන්නේ යහපාලනයක් නෙමෙයි මැර පාලනයක්. මේ පාලනයට විරුද්ධව කිසියම් කෙනෙක් කතා කළහොත් සුදු වෑන්වලින් ඇවිත් පැහැර ගන්නවා. මීට විරුද්ධව ලිව්වොත් අතුරුදන් කරනවා. රටේ යහපාලනය කියන එක තියෙනවා නම් ආණ්ඩුවට එරෙහිව කතා කරන්න. ලියන්න රට තුළ අයිතිය තිබිය යුතුයි. ඒ නිසා අද වන විට රැස්වීමක් තියාගන්නත් බැරිවන තත්ත්වයක් ලංකාව තුළ උදාවෙලා තියෙන්නේ. අඩුගානේ අද ප‍්‍රමාණවත් ආර්ථික වැඩපිළිවෙළක්වත් නෑනෙ. තැන්තැන්වල බිල්ඩිමක් හදවා පාරක් හදනවා වෙන්න පුළුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය එක බිංදු මාත‍්‍රයකින්වත් පහසු වෙලා තියෙනවාද? නෑනෙ. මේ රටේ මනුෂ්‍යයකුට තමන් කරන රැකියාවකින් තම එදිනෙදා ආහාර වේල පිළිබඳ ප‍්‍රශ්නයක්වත් විසඳා ගන්න පුළුවන්කමක් නෑ. රටක ආර්ථිකයේ කිසියම් සංවර්ධනයක් වෙනවාද කියන එක සම්බන්ධ තිබිය යුතු නිශ්චිත සාක්‍ෂිය තමයි මිනිස්සුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් දියුණුවක් තියෙනවාද නැද්ද කියන එක. හම්බන්තොට වරායක් හදලා තියෙනවානෙ. මම මෑතක ගියා ඒක බලන්න වෙන ගමනක් යමින් ගමන්. එතැනදී මට කතා කරන්න වුණා එහි වැඩ කරන කිහිපදෙනෙක් එක්ක. ඒ මිනිස්සු කියන විදියට මේ වරාය නිසා අඩුගාණේ හම්බන්තොට මිනිස්සුන්ටවත් රැකියාවක් ලැබෙන්නේ නෑ. අනෙක් අතට මේ වරායට එක නැවක්වත් එන්නෙත් නෑ. මහින්ද රාජපක්‍ෂ රජයේ මූලික ව්‍යාපෘතිය කියලා හැමවෙලේම කතා කරන් හම්බන්තොට වරායේ තත්ත්වය ඕක නම් මේ රජය ගෙනයන සමස්ත ආර්ථික වැඩපිළිවෙළ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ. 


 • වත්මන් දේශපාලනය තුළ වාමාංශික පක්‍ෂවල සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම ඔබ කොහොමද දකින්නේ? 

 මේ රටේ වත්මන් දේශපාලනය දිහා බලද්දී දකින්නට ලැබෙන ප‍්‍රධානතම ලක්‍ෂණය තමයි ඒ සම්බන්ධයෙන් මේ රටේ කම්කරු පන්තිය පැත්තෙන් කිසිම මැදිහත්වීමක් දක්නට නැතිකම, කම්කරු පන්තියේ පක්‍ෂ කියලා තිබුණු ඒවා, මේ වන විට රාජපක්‍ෂ ආණ්ඩුවට පැනලා ඉවරයි. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකාට බලයට එන්න උදව් කළා විතරක් නෙමෙයි, මහින්දට බලයට එන්නත් උදව් කළා. එහෙම උදව් කරලා දැන් එළියට ඇවිත් කෑගහනවා වෙන දෙයක් කියලා. එහෙම කළා කියලා ඔවුන්ට මේ දේවල්වලින් ගැලවෙන්න බෑ. මහින්ද රජය කරන හැම දෙයකටම ඔවුනුත් වගකියන්න ඕනෙ.


• නමුත් යළි පදිංචි කිරීම ඇතුළු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වැඩිපුරම කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ? 
 ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනයා සම්බන්ධයෙන් අද කටයුතු කරන ආකාරය තුළ තියෙන්නේ වෙන කිසිවක් නෙමෙයි වංචාව, ඔවුන් දැන් දෙමළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා වගේ පෙන්වන්න පුළුවන්. නමුත් කිසියම් දවසක දෙමළ මිනිස්සු කිසියම් ස්වාධීන ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වුණොත් එදාට බලාගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ කොතැනද කියලා. එහෙම අවස්ථාවක් ආවොත් ඔවුන් මහින්ද රජයත් එක්ක එකතුවෙලා දෙමළ මිනිස්සුන්ට විරුද්ධව කටයුතු කරන එක කවදාවත් වළක්වන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා දෙමළ මිනිස්සුන් පිළිබඳ කතා කළාම, ඔවුන් ගැන හඬා වැළපුණාම ඊළඟ ඡුන්දෙදි දෙමළ මිනිස්සු ඔවුන්ට ඡුන්දය ලබාදෙයි කියලා. ඒ නිසා මොවුන් කරන්නේ වංචාවක්. ඒ වුණත් ඒ වංචාව තුළ ජනතා විමුක්ති පෙරමුණ මුලාවෙලා ඉන්නේ. මොකද දෙමළ මිනිස්සුන්ට කිසියම් මතකයක් තියෙනවා නම් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට කිසිම ඡුන්දයක් ලබාදෙන්නේ නෑ. දෙමළ මිනිස්සු මරන්න උද්ඝෝෂණය කළ, ඔවුන් විනාශ කිරීමට අවශ්‍ය දෘෂ්ටිවාදයන් සැපයුව ප‍්‍රධානතම පක්‍ෂයනෙ ජනතා විමුක්ති පෙරමුණ. ඒ දිනවල මේ කාර්යභාරය කරගහගෙන කළේ විමල් වීරවංශ වගේ අය. ඉතින් අද ඔවුන් කරන මේ ක‍්‍රියා හුදෙක් මුලාවක් විතරයි. ඔවුන් දෘෂ්ටිවාදාත්මකව කිසිම වෙනසකට භාජනය වෙලා නෑ. 

 • සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වර්තමාන රජය ගෙනයන ක‍්‍රියාපාටිපාටිය ඔබ කොහොමද තේරුම් ගන්නේ? 

 සරත් ෆොන්සේකා සම්බන්ධ ප‍්‍රශ්නය මට අනුව නම් එතරම් වැදගත් එකක් නෙමෙයි. මෙතන ඉන්නේ හොරු දෙගොල්ලක්. එකට හොරකම් කරලා මේ දෙගොල්ල දැන් ගහගන්නවා. සරත් ෆොන්සේකා කියන්නේ සැලකිල්ලක් දැක්විය යුතු සාධු ජනයෙක් නෙමෙයි. මේ රටේ දෙමළ තරුණයන් මර්දනය කරපු, ඔවුන්ව මරපු මනුෂ්‍යයෙක් තමයි ඔහුත්. නමුත් වර්තමාන රජය නීති විරෝධී සරත් ෆොන්සේකාට හරි කාටහරි විරුද්ධව කටයුතු කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනෙ. ඒ සරත් ෆොන්සේකා ගැන හිතල නෙමෙයි. මොකද ඒ වගේ නීති විරෝධී දඬුවම් ක‍්‍රමයම කවදාහරි අපට විරුද්ධවත් භාවිත වෙන්න පුළුවන් නිසා. 

සංවාදය - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

 [රාවය| 2010.03]

No comments:

Post a Comment