සාමාන්‍ය පිළිගැනීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුළුණු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳි පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්යෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත් සැබෑ ප්‍රජාතාන්ත්‍රීය රටක (විධායකය විසින් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අල්ලේ නටවන ලංකාව වගේ රටක නෙවේ) ප්‍රබල සංවරණ හා තුලන (checks and balances) ක්‍රමවේදයන් පවතී.
එවන් රටක සිවුවැනි ආණ්ඩුවය කියන (Fourth State) ප්‍රබල භූමිකාව හිමි වන්නේ ඒ රටේ ජනමාධ්‍යයට ය. ඉන් අදහස් කරනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට පසුව රටක් පාලනය කරන ඊළඟ ආණ්ඩුව ඒ රටේ ජනමාධ්‍ය යන්නයි. ලංකාව වැනි (වචනයෙන් මිස, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බොහෝ දුරට වියෝ වූ) රටක සිව්වැනි ආණ්ඩුව වශයෙන් මාධ්‍යයට ඇති වැදගත් කම ඊටත් වඩා වැදගත් බව පෙනේ. නව පාලකයෙක් බලයට පත්වූ වහාම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් තමං වෙත නතු කරගැනීමටත් පෙර රටේ සමස්ත මාධ්‍යත් පුමුඛ මාධ්‍යකරුවනුත් තමන්ට නතුකරගැනීමට වලිකන්නේ ඒ නිසා ය. කොටින්ම කියනවානම් මහජන මතයත් මහජන චින්තනයත් හැසිරවීමේ ප්‍රම්‍රඛ සාධකය රටේ ජනමාධ්‍යය වන නිසා ය.
කෙසේ වුවත් ලංකාවේ ජනමාධ්‍ය රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන සුබසිද්ධියත් වර්ධනය කරන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවාද? ඔවුන් සිවුවන ආණ්ඩුවේ ස්වකීය භූමිකාව හඳුනාගෙන තම එදිනෙදා කටයුතු හසුරන්නේ ද? තමන් වෙත නතු කර ගත නොහැකි වූ එක දෙකකට වඩා නැති ලාංකීය ජනමාධ්‍ය ආයතන සඳහා පවත්නා ආණ්ඩු විසින් ගෙන එන අසාධාරණ සංවරණයන් හැරෙන්නට මහජන සුබසිද්ධිය වෙනුවෙන් මාධ්‍ය ආයතන විසින් තමංම නිර්මාණය කර ගත් ස්වයං සංවරණයන් තිබේද? ඊටත් අමතරව, පෙර කීවාක් සේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අභියෝගයට ලක්කරමින් පාලකයින් විසින් ජනමාධ්‍යට පහර දෙද්දී ඊට එරෙහිව නැගී සිටින මුද්‍රිත හෝ වේවා විද්‍යුත් හෝ වේවා ජනමාධ්‍ය ආයතන කීයක් ලංකාවේ වේද? පිළිතුර එවන් ආයතන අතේ ඇඟිලිවලටත් වඩා නැතිය යන්න යි.
ජනමාධ්‍යයයේ මේ කියූ නූතන හැසිරීම බැලූ බැල්මට පෙනී යන ප්‍රමුඛතම සාධක කිහිපයක් වේ. ඉන් පළමුවැන්න වන්නේ ආපස්සට හැරී බැලූ කල බහුතර වගකීමක් ජනමාධ්‍යට ද පැටවෙන, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නින්දාසහගත පිරිහීම යි. දෙවැන්න හෙවත් මෙහිලා අප ඉස්මතු කරන වැදගත්ම සාධකය වන ස්වකීය වගකීම් අමතක කරමින් ආර්ථික අභිප්‍රායන් පමණක් ප්‍රමුඛ කොටගත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිව තිබීම යි.
තමං වෙතට එන තරුණියන්ගේ කන්‍යාභාවය අහිමි වී ඇති බව පවසමින් තමන් සමග රාත්‍රියක් ගතකරන ලෙසත් එසේ වුවහොත් තමන් සතු ගුප්ත බලය හේතුවෙන් එකී කන්‍යාභාවය නැවත සැකසෙන බවටත් පවසමින් තරුණියන් මුළා කරන වේයන්ගොඩ, කළගෙඩි හේන ප්‍රදේශයේ හොර කපුවෙක් පිළිබඳ කුණු රසය තැවරුණ කතාවක් මේ දිනවල රටේ සියලු ජනමාධ්‍ය තලුමරමින් සිටී. තවත් එක්තරා ජනමාධ්‍යයක් කීවේ තම 'CIA මාධ්‍ය කණ්ඩායම' මුළින්ම මේ හොර කපුවා පිළිබඳ පුවත අනාවරණය කරගත් බවත් එහි ගෞරවය එහෙයින් හිමිවන්නේ තමන්ට බවත් ය. පසුගිය කාලය තුළම රටේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා විසින් ගෙනයනු ලබන මෙවැනි CIA මෙහෙයුම් සහිත ජනප්‍රිය වැඩසටහන් මගින් වේයන්ගොඩ කපුවාට සමානම භික්ෂූන් වහන්සේලා, පූජකවරු වැනි විශාල පිරිස් රටට හෙළිදරව් කිරීමේ මහා මෙහෙයුම් ගෙන ගියහ. හොරුන් හෙළිදරව් වන තරමටම, රටේ විශාලතම මාධ්‍ය කෙරුවාව කරන්නේ තමන් බවත් එයින් රටට කෙරෙන සේවය ඉමහත් බවත් අනකා අභිබවා පවසමින් හොඳ නම දිනීමටත්, මේ CIA වැඩසටහන්වලට රටේ නූගත් ජනයා ඇබ්බැහි කරමින් ඒ මත තම ගුවන්කාලයේ වටිනාකම සහතික කරගනිමින් වැඩිගානට වෙළඳ දැන්වීම් විකුණා තම හොද්ද බොර කරගැනීමටත් මේ මාධ්‍ය කරුවෝ අමතක නොකළ හ.
වේයන්ගොඩ හොර කපුවා හසුකරගැනීම වැරදි බව අපි කිසිවිටකත් නොකියමු. එවන් හොරුන් රටට හෙළි කරමින් ඔවුන් කෙවිටෙන් තලා බැහැර කළ යුතු බව ඇත්ත ය. එසේ නමුත් මහා හයියෙන් අඬබෙර ගසා කරන මේ මාධ්‍ය කෙරුවාවල අපිට මගහැර යන්නට බැරි තරම් ගැටලු ඇති බව නොකියා බැරි ය. පළමුවැනි කරුණ වන්නේ, මොවුන්ම කියන ආකාරයේ මෙවැනි මාහා විමර්ශනාත්මක CIA මෙහෙයුම් මගින් මෙතෙක් වැටලූයේ කවුරුන් ද යන්න ය. කොටින්ම කියනවානම්, ඒ කොහේ හෝ ඉන්න හොර කපුවෙක්, හුදකලා හිමිනමක්, හුදකලා පූජක වරයෙක් හෝ හුදකලා තක්කඩියෙක් පමණ ය. මේ මහා CIA මෙහෙයුම් මගින් එළිපිට පවා හොරමැරකම්, වංචා දූෂණ සහ මිනී මැරුම් කරන බලවතකු හෙළිදරව් කළ අවස්ථා කීයක් වේද? මෙවන් CIA කණ්ඩායම් රහසේ කැමරාවක් සඟවාගෙන ගොස්, පාලක රෙජීමයේ, මැති ඇමති වරයකුගේ, එහෙමත් නැත්නම් අඩුම තරමේ ඇමති ලේකම්වරයෙකුගේ හෝ නිවසකට ගොස් ඔවුන්ගේ වංචා දූෂණ සූක්ෂමව පටිගත කොට, විකාශනය කළ අවස්ථා කීයක් පසුගිය වසර කීපය තුළ තිබේද? උත්තරය එකක්වත් නැත යන්න ය. මෙයින් පෙනී යන්නේ ආපසු තමන්ට අභියෝගයක් එල්ලවිය හැකි සහ තම වාණිජ පරමාර්ථයන් අර්බුදයට ලක්විය හැකි තරමේ තැන් වලට මේ මහා විමර්ශනශීලී ජනමාධ්‍යය අභියෝග නොකරන බව ය. එසේනම් මේවා මහා රැඩිකල් මාධ්‍ය කෙරුවාවන් වන්නේ කෙසේ ද?
අනෙක් අතට වේයන්ගොඩ හොර කපුවෙක් බිහිවන්නටත්, තවත් තැනත හොර චීවරධාරියකු හෝ පූජකවරයකු බිහිවන්නටත් ප්‍රබලතම සාධකය වන්නේ මේ කියන රැඩිකල් මාධ්‍යයන්ම නොවේ ද? අද්‍යතන ශ්‍රීලාංකීය විද්‍යුත් මාධ්‍ය දිනය ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේම මෙවැනි හොර කපුවන්ට, හඳහන් කරුවන්ට, ෆෙන්ෂුයි කාරයින්ට, ධනාත්මක චින්තන කාරයින්ට සහ මන්තරකාරයින් වැන්නවුන්ට හොර ව්‍යාපාර ගෙනයෑම සඳහා වේදිකාව සකසමින් නොවේද? ඒවා දිනය ආරම්භ කරන්නේ ම මෙවැනි හොරුන් මහා බලවතුන් සේ රූපාන්තරණය කොට, ඔවුන් වෙත යෑම සඳහා රටේ සාමාන්‍ය ජනතාවගේ ඔළු සකසමින් නොවේද? වෙනකක් තබා මේ කියන මාධ්‍ය අද වන විට බෞද්ධාගමික පිරිත් සහ සූත්‍රයන් පවා ඒවායේ සැබෑ අධ්‍යාත්මික හරයන්ගෙන් ඈත්කොට, ඒවායේ අර්ථය වසා දමා ඒවා කියවීමෙන් සහ ඇසීමෙන් විවිධ ලෞකික ආශාවන් මුදුන්පත් කරගත හැකි හැකි ගුප්ත මන්ත්‍රයන් බවට කියමින්, ඒවා වැඩි වැඩියෙන් ප්‍රචාරණය කිරීම මගින් ජනතාව ග්‍රහණය කරගැනීමේ තරගයක නියැලී ඇතුවා නොවේද?
අද මුද්‍රිත මාධ්‍යයේ කාර්යය වුවත් මෙයම නොවේ ද? සතිඅන්ත පුවත්පතක් ගෙන බලන පාඨකයාට වැඩිපුර දක්නට ඇත්තේ හොල්මන් කතා, දේව හාස්කම්, භූත දෝෂ, ජීවක කපුවන්, සහ ලෝකය අතැඹුලක් සේ දකිනා හොර හඳහන් කාරයින්, ෆෙන්ෂුයි කාරයින් හා ධනාත්මක චින්තනකාරයින්ගේ මිථ්‍යාමය කෙරුවාවන් නොවේද? ඔවුන් පළ කරන දැන්වීම් වල ඇත්තේ, ඉහත පිරිසම ලබා දෙන, ලිංගය ලොකු කර දෙන, සිතැත්තිය ගෙන්වා දෙන, මන්ත්‍ර බලයෙන් බීමත් කම මගහරවන, විභාග සමත් කර දෙන, කාසි දෙක මෙට්ටෙ උඩ තියාගත්තාම දරුවන් නැති අයට දරුවන් ලැබෙන මෙවැනි හොරුන්ගේ දැන්වීම් නොවේ ද? මෙවන් දැන්වීමක් ලැබුණු කල එහි දිග පළලත් ඉන් ලැබෙන ආදායමත් පිළිබඳ මිස තමා පළකරන දැන්වීමෙහි ඇත්ත නැත්ත විමසා බලන එක මාධ්‍යයක් හෝ ලංකාවේ තිබේද? මේ ක්‍රියාදාමය තුළින් එක් පැත්තකින් වෙළඳ දැන්වීම් කඩාගැනීමත්, අනෙක් පැත්තෙන් බහුතර ජනයා ඉල්ලන සරලමතික කුණු රසය මාර්කට් කර තම ග්‍රාහකයින්ගේ හිස්ගෙඩි සංඛ්‍යාව වැඩි කරගැනීමත්, ඊටත් වඩා මෙවැනි කුණු ගොඩවල් වලින්ම එදා දවස ගෙවාදැමීමට හැකිවීම නිසා පාලකයින්ගේ සිත් රිදවීමට ඇති අවස්ථා අඩු කරමින් ඔවුන්ගෙන් වරප්‍රසාද ලැබීමත් සිදු කරමින් එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් නොව කීප දෙනෙක් මරාගන්නට තරම් මේ මාධ්‍යය මුදලාලිලා සූක්ෂ්ම වෙති.
සියයට අනූවකටවත් සාක්ෂරතාවක් නැති ගොවියන් පිරිසක් සිටින තම රටෙහි පොත් කඩ වල තිබිය යුත්තේ අල ළූණු වගාව පිළිබඳ සරල බසින් ලියැවුණු පොත් මිස පුෂ්කින්ගේ, තොල්ස්තෝයිගේ පොත් නොවන බවත්, ඒ අනුව පුෂ්කින්ලා සහ තොල්ස්තෝයිලා ස්වභාවධර්මයට විසංවාදී බවත් එක්තරා ප්‍රාග් විප්ලවීය රුසියානු විචාරකයෙක් කියද්දී, ලෙනින් කීවේ එය එසේ නොවන බව ය. රටේ ජනතාවගෙන් සියයට අනූවටත් වඩා සිටින්නේ සාක්ෂරතාවක් නැති සරල රසවින්දනය සහිත අය නම් කළ යුත්තේ විප්ලවීය අධ්‍යාපනයක් මගින් ඔවුන් සාක්ෂර කිරීමත් ඔවුන්ගේ රසවින්දන මට්ටම ඉහළ දැමීමත් මිස ජනතාවගේ රසිකත්වය ඉල්ලන දේ කිරීම නොවන බව ලෙනින්ගේ අදහස විය. එදා රුසියාවේ එවන් තත්ත්වයක් තිබියදී, ලොව ඉහළතම සාක්ෂරතාවක් හෙබියැ’යි පුරාජේරු කියන ලංකාවේ හතරවෙනි ආණ්ඩුවේ මේ රැඩිකල්යැ’යි කියාගන්නා වාණිජමය CIA කෙරුවාවල් අප තේරුම්ගතයුත්තේ කෙසේද?
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
(2014)