Monday, May 8, 2017

යාපනේ වෙසක් සහ රටේ සංහිඳියාව


ඊයෙයි පෙරේදයි යාපනේ ගිහින් විඳින්නට ලැබුණු අත්දැකීම් එක්ක කළින් සතියෙ නුවරදි වුණ මේ සිද්ධිය මතකයට ආවා. 

මං පහුගිය සතියේ මගේ මල්ලි කෙනෙක් වන ඥාති සහෝදරයෙක්ගෙ ගෙදර ගියා. මං යනකොටත් මගේ ඥාති සහෝදරයා පොඩි අටපට්ටම් වෙසක්කූඩුවක් හදමිනුයි හිටියෙ. මල්ලිලාගෙ අල්ලපු ගෙදර තියෙනවා බෝඩිමක්. ඒකෙ ගොඩක් ඉන්නේ යාපනය, අම්පාර, වව්නියාව දිහායින් ඇවිත් විදුලිබල මණ්ඩලයේ එහෙම සේවය කරන දෙමළ තරුණයෝ. ඉතිං අපි කතා කර කර ඉන්නවා දැකලා ඒ බෝඩිමේ ඉන්න අපි එක්ක ඉතාම හිතවත් අපේ වයසෙම වගේ තරුණයෙක් අපි ළඟට ආවා. ඒ වෙලාවෙ මගේ ඥාති සහෝදරයාත් අර තරුණයාත් සමග ඇතිවුණ සංවාදය මේ වගේ. (තරුණයා සේවය කරන ආයතනය කියපු නිසා ඔහුට “තරුණයා” කියලා ම කියන්නම්)

තරුණයා - මොකද කරන්නෙ, වෙසක් කූඩු හදනවද?
මල්ලි - ඔව්
තරුණයා - කූඩු කීයක් හදනවාද?
මල්ලි - මේක විතරයි.
තරුණයා - (පුදුමයෙන් මෙන්) ඉතිං “ඔයාලා” එක කූඩුවක් විතරක් හැදුවාම ඇත් ද!
මල්ලි - මේක හදන්නෙත් පොඩි එකා නිසා. පුතාට සෙල්ලම් කරන්න එපැයි. නැත්තං ඕවා හද හද ඉන්න වෙලාවක් නෑ.
තරුණයා - මං හිතුවේ කූඩු ගොඩක් හදනවා කියලා. ඔයාලා බුද්ධාගම්නෙ.
අපි කට්ටියට ම මණ්ඩලෙන් බල කළා කූඩු හදන්න කියලා. 
ඒ විතරක් නෙමෙයි අපිට සරසන්න කියලා වෙනම කෑල්ලක් වෙන් කරලා දුන්නා. 
අපි කවුරුත් වෙසක්කූඩු හදන්ඩ දන්නෙ නෑ. මං හිතුවේ ඔයා කූඩු ගොඩක් හදනවානම් එකක් දෙකක් ඉල්ලගන්න පුළුවං වෙයි කියලා. එහෙම නැත්තං බලාගන්නවත් හදන විදිහ. 
අපි කට්ටිය දැනටමත් රුපියල් හත්සිය පනහා ගානේ එකතු කළා. 
දැන් ඉතිං ඒ සල්ලි වලින් කඩෙන් හරි කූඩු ටිකකුයි කොඩි ටිකකුයි අරං සරසනවා. 
ගිහින් එන්නම්!

**** **** ****

ඉතිං යාපනේ තත්ත්වය මෙහෙමයි. අපි යනකොට ආරක්ෂක අංශ විසින් රාත්‍රී කාලයේ පාර දෙපස බෞද්ධ කොඩි කණු හිටුවමින් හිටියා. ආරක්ෂක අංශ පාර දෙපස ම අඩියෙන් අඩිය විශාල වෙසක් කූඩු නිර්මාණය කරමින් තිබුණා. වෙසක් තොරණ රාශියක් තිබ්බා. ඒ විතරක් නෙමෙයි, හැම තැනක ම භක්ති ගීත වැඩසටහන් සංවිධානය කරමින් අති විශාල වේදිකා ගොඩනැගෙමින් තිබුණා. 
මුළු යාපනේම බෞද්ධ අගනගරයක් වගෙයි. මං හිතන විදිහට කොළඹවත් එහෙම නෑ. නුවරනම් කොහොමත් ම නෑ. 
යාපනේ විතරක් නෙමෙයි නුවරින් පටංගෙන A9එක දිගේ යද්දි අපිට හම්බ වුණ වව්නියා, ඕමන්තේ, කනකරායන් කුලම්, මාන්කුලම්, මුරික්කණ්ඩි, කිළිනොච්චි, පරන්තන් වගේ, යුද්ධයෙන් බැටකෑ දෙමළ ජනතාව සිටින හැම තැනකම රජයේ ආරක්ෂක අංශ මේ බෞද්ධ අගනගරය ගොඩනැගීමේ කාර්යය සිදු කරමින් හිටියා. 
අනුරාධපුරේදී, අපි ගිය වාහනයට අත දාපු පොලීසියේ මහත්තයෙක් අපි නග්ගගත්තා. කතාකරලා බලද්දි ඔහු වව්නියාව පොලීසියේ වැඩකරන කෙනෙක්. ඔහු අනුරාධපුරේට ඇවිත් තියෙන්නේ ඔවුන්ගේ පොලීසිය වෙනුවෙන් නිර්මාණය කරමින් තියෙන වෙසක් කූඩුව ගැන බලන්න. අනුරාධපුරයේ හදන ඔවුන්ගේ වෙසක්කූඩුව වැඩ නිමවීමෙන් පසු වව්නියාවට යෑමට නියමිතව තිබුණා. 
ඒ විතරක් නෙමෙයි උතුරේ ඇතැම් රජයේ ආයතනවලත් වෙසක් සැරසිලි නිර්මාණය වෙමින් තිබුණා. 
මුළින් කිව්වා වගේ, අපි අපේ ගමන පටං ගත්තෙ මහනුවර, මාතලේ, දඹුල්ල, අනුරාධපුරය වගේ ලංකාවෙ තියෙන ශුද්ධ ම බෞද්ධ නගර කීපය පහුකරගෙනනෙ. ඒ එකකදිවත් උතුරේදී තරමට වෙසක් ඌෂ්ණෙ දැනුනෙ නෑ කියලත් පැහැදිලිව කියන්න ඕනෙ. ඉතිං “අපි වෙසක් බලන්ඩ වෙසක් දවසට යාපනේට එමු” කියලා අපි එක්ක ගියා යාලුවෝ හිනා වුණත් ඇහුණා.

විකිපීඩියාව නිවැරදිනම්, යාපනේ සමස්ත ජනගහනය 583,378 ක් (2012 සංගණනයට අනුව) . මේ අතරින් බෞද්ධාගමිකයින් ඉන්නේ 2,533ක් විතරයි. (වව්නියාව වගේ සමහර පළාත්වලනම් යුද්ධයෙන් පස්සේ ආණ්ඩුව ජන සංයුතිය ටික ටික වෙනස් කළා. ඒ සිංහල මිනිස්සු ඒ පැතිවල පදිංචි කරවලා)
එසේනම් මේ බෞද්ධයින් දෙදහස් ගානක් විතරක් ජීවත් වෙන මේ ප්‍රදේශය තුළ මෙතරම් විශාල බෞද්ධ සැරසිලි කිරීමේ අර්ථය මොකද්ද? එය සංහිඳියාව පැත්තෙන් බලපාන්නේ කොහොමද? 
මෙතනදි සොයා බලන්න අවශ්‍ය ම දේ මේ සැරසිලි දිහා යාපනයේ ජනතාව බලන්නේ කෙසේ ද කියන කාරණයයි. එය ඔවුන් ආගමික සුහදතාව වර්ධනය කරන සරල - වින්දනය කළ හැකි කාර්යයක් ලෙස ගන්නේද? එසේත් නැතිනම් ඔවුන් එය ගන්නේ යුද්ධයෙන් හමුදාව අත්පත් කරගත් තම භූමියේ, ඒ අය විසින් කරන බලහත්කාරකමක් විදිහට ද? යාපනයේ ඇති රජයේ ආයතනවලට වෙසක් සැරසිලි කිරීමට නීති පැණවෙද්දී ඒවායේ සේවය කරන අති බහුතරය දෙමළ ජාතිකයින් හෙයින් ඒ අය ඒ කරුණ ගන්නේ කොහොමද? 
මට හිතෙන විදිහට, අර මහනුවර රාජකාරී කරන බෝඩිමේ තරුණයා දක්වපු ආකල්පය මේ ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. අපි ඉස්සරහා වචනයෙන් විරෝධයපාන්න මොහු 'බිය' වුණත් ඔහුගේ ස්වරයේත් හැසිරීමෙත් පැහැදිලිව ඒක තිබුණා.
මං වෙසක් සැරසිලි සංවිධානය වෙන එක තැනක හිටි හමුදා නිලධාරියෙක් ළඟට ළංවෙලා ඇහුවා ඔයාලා හදන  කූඩු බලන්න සාමාන්‍යයෙන් ගොඩක් සෙනග එනවද කියලා. ඒකට ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්. "මොන පිස්සුද එහෙම එන්නෙ නෑ. මුන් මහා කුහක ජාතියක්"
මෙතනදී හමුදා නිලධාරියාගේ නිරීක්ෂණය හරිද? මේ මිනිස්සු මේවා බලන්නට නොඒම 'කුහකකම' වගේ සරල කාරණයක් ද? නැත. සංහිඳියාව ගැන හමුදා නිලධාරියාගේ මානයෙන් එහාට ගිහින් බලන්න අපි දැනටමත් හොඳට ම ප්‍රමාදයි කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන් යහ පාලනයයැ'යි කියාගන්නා ආණ්ඩුවක් යටතේ සංහිඳියාව මීට වඩා සංවේදී විය යුතුයි.

-ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

3 comments:

  1. තවමත් මේ තත්වය එලෙසමයිද? කවදා හැදෙයිද?

    ReplyDelete
  2. මෙතන මේ සංහිඳියාව ගැන යාපනේ දෙමළ අයගේ පැත්තෙන් විතරක් බලල කතා කරන්න බෑ. ඔක්කොටම කලින් රටේ ඉතිහාසයහරියට දැනගෙන කතා කරන්න වෙනවා (දෙමළ බෙදුම්වාදී බොරු ඉතිහාසය නොවෙයි ). ඔය උතුරෙත් ලංකාවේ නැගෙනහිරත් ජන අනුපාතය වෙනස් කරල තියෙන්නේ ලන්දේසි පාලන කාලේ දුම්කොල වගාව මෙරට ප්‍රචලිත කිරීමත් එක්ක. ලන්දේසින් දුම්කොල වවන්න දකුණු ඉන්දියාවේ කෝරමණ්ඩල ප්‍රදේශයෙන් ශ්‍රමිකයන් ගෙනැත් පදිංචි කරවලා තියෙනවා. ඒ කාලේ වෙනකොටත් යාපන අර්ධද්වීපයේ ජනගහනය ඉතා අඩු වුවත් වැඩිපුර සිංහලයන් ඉඳල තියෙනවා. ඊට අමතරව වෙළදාමේ ආපු ඉඳියානු දෙමළ හා මුස්ලිම් ජනතාව ඉඳලත් තියෙනව. පසුකාලීනව කන්ද උඩරට රාජධානියෙන් මේ ලන්දේසින්ගේ වගා පැතිරිලා තිබුණ උතුරු සහ නැගෙනහිර වෙන්කරගන්න ලන්දේසි අර දෙමළ ශ්‍රමිකයන් යොදාගත්තේ දෙමළ ජාතිවාදයටත් මුල් ගල තියන ගමන්.මේ දෙමළ ජාතිවාදයේ විකාශයත් එක්ක ඉංග්‍රීසින්ගේ කාලේ වෙනකොට යාපනේ හිටපු සිංහලයන් සුළුතරය බවට පත් උනා විතරක් නෙවෙයි බොහෝමයක් දෙමළ නාසිවාදය තුල කුලවැද්දුම් කෑව.යාපනේ සමහර දෙමළ කොටස් වල ප්‍රම්පරා මූලයන් හෙවුවොත් ඒ මුල් පරම්පරාවල සිංහලයන් හිටිය කියල හොයාගන්න පුළුවන්. අපි අද තියන බොරුවට මවපු දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පක්ෂ සංහිඳියාවෙන් ඔබ්බට ගිහිල්ල මේ ප්‍රශ්නේ දකිනවනම් වඩා හොඳයි. තව දෙයක් මත්ක් කරන්න ඕනේ. මේ රටේ කොළඹ ජනගහනය ගැන හොයල බැළුවොත් තේරෙයි කොළඹ ඉන්නෙත් වැඩිපුර සිංහලයන් නොවන බව. ඒත් කොළඹ වෙසක් සැරසිලි කරනවා.. මෙතන කොළඹද නුවරද ගාල්ලෙද යාපනේද කියන එක වැදගත් නෑ. ලංකාව කියන්නේ බෞද්ධ රටක් යාපනේ තියෙන්නෙත් ලංකාවේ නුවර කොළඹ ගාල්ල තියෙන්නෙත් ලංකාවේ. මේ රටේ කොතනක් උනත් වෙසක් සැරසිලි කරාට ඒ පලාත් වල ඉන්න අබෞද්ධ ජනයාට අසාධාරනයක්වත් මදිකමක්වත් වෙන්නේ නෑ.යාපනේ දෙමළ වෙල්ලාල උඩඟුකම ස්ථාපිත කරපු හැටි ටිකක් මතක් කරගත්තනම් මෙතන සාධාරනය හා අසාධාරනය ගැන මීට වඩා හොඳට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete