Friday, October 11, 2019

RoundUp*


රවුන්ඩ්අප්
මම නුඹට පෙම් කරමි


තණ බිඳක්වත් නැති ලොවකට
පෙම් හිතක් නැති හදකට
මගෙ ඇල්ම
පිරිනමයි නුඹ


මකාදමන්න
ආදරේ දියසීරා සියල්ල
රිංගන්න මගෙ හදවතේ
හැම කේෂනාලිකාවකටම


මුළ තෙක්ම තැවරෙන්න
වේදනා දෙවයි හැම රුධිර නාලයම


ප්‍රේමයක් නැති ලොවකට
ආදරේ බර වැඩියි හරියට


රවුන්ඩ්අප් නුඹ මගේ
සදාතන පෙම්වතී වී ඉන්න


වේලන්න වේලන්න සියුම්වට
කුඩා අනුකුඩා හැම උල්පතම
වේදනාවෙන් තැවුණු නෙත්කෙවෙනි
වියෝගෙන් යට කරන් ගලායන


නිදිනොමැති මගෙ ලොවට සමුදෙන්න
තුරුලුකර ගන්නෙමිය හදවතට


ශෛලයෙන් ශෛලයට හදවතේ
සියුම්වට සියුම්වට අඩිතියන් ඔබ එන්න
ඉස්මරණ කොනහන්න පෙර දෑස වහගන්න
කාලවන් දුහුල් සලු ගලවන්න


පෙම් තිතක්වත් නොමැති මගේ පොළව
ඉක්මනින් ඉක්මනින් සිපගන්න


මූණක් නොමැති ඔය කොපුල්තල මත
අවසාන හාදුවත් තවරන්න ඉඩ දෙන්න


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


* රවුන්ඩ්අප් (Roundup) යනු ග්ලයිපොසේට් අඩංගු, ලෝකයේ භාවිත වන ඉතා ජනප්‍රිය වල් නාශකයක වෙළඳ නාමයයි. එය කොළ සහ රිකිලි හරහා ඇතුළත විනිවිද ගොස්, ශාඛ පටකයන්ට ඇතුල් වෙමින් එහි හුස්ම ගැනීම (ප්‍රභාසංස්ලේෂණය) වළක්වා ශාකය සියුම් ලෙස මරණයට පත් කරන බව කියවේ. මෙය ශාඛයේ මතුපිට ස්ථරය තුළ පමණක් නොව මුල් දක්වාම විහිදී ක්ෂණිකව නොව, දින කිහිපයක් තුළ ඉතා සියුම්ව සිදුකරන නාටකීය මරණයකි.
ඕනෑම තණ බිමක් ටක්කටම මුඩු බිමක් බවට පෙරලන නිසා ගොවියන් අතර ඉතා ජනප්‍රිය රවුන්ඩ්අප් සියදිවිනසාගැනීම සඳහා භාවිත කර ඇති බවට වාර්තා වී ඇත්තා සේම, දීර්ඝ කාලීන භාවිතයෙන් මිනිස් සෞඛයට හානි සිදුකරන බවද ඇතැම් අය කියති.

No comments:

Post a Comment