Monday, July 4, 2022

අරගලයේ තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවයයි (Velvet Revolution & current Sri Lankan struggle)


ලංකාවේ උද්ගතව ඇති වත්මන් අරගලයට සමාන අරගල ගණනාවක් ලෝක ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්. ඊයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හැරෙන්නට, ඉතා සාමකාමී අරගලයක් වූ මේකට ඉතා සමාන විප්ලවයක් තමයි චෙකොස්ලෝවැකියාවේ ‘විල්ලුද විප්ලවය‘ (Velvet Revolution). මෙය Gentle Revolution ලෙසද හැඳින්වූයේ එය සාමකාමී අරගලයක් (non-violent struggle) වුණ නිසාමයි. 


අරගලයට අදාල හේතු රටේ කාලාන්තරයක් තිස්සේ තිබ්බත්, 1989 නොවැම්බර් 17 වෙනිදා සිට නොවැම්බර් 27 දක්වා ගිය විල්ලුද විප්ලවයේ මූලික ගිණි පුළිඟු දැල්වූයේ එරට විශ්වවිද්‍යාල ශිෂයයින්. (ලංකීය අරගලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වූයේද ඇඳිරිනීතිය දින ලංකාවේ ශිෂ්‍යයින් ගෙන ගිය අරගලය කියන්න පුළුවන්. ඊට පෙර සිටද හුදකලා අරගල තිබුණත්, නිර්භීතව එදා පාරට බහින්න රට පුරා හැමෝටම ධෛර්යය දුන්නේ ඒක.) 

කොහොම උනත් ඒ ධෛර්යය නිසා  චෙකොස්ලෝවැකියාවේ විවිධ දෙසින් මිනිස්සු මේ විප්ලව වලට එකතු වුණා. හන්දියක් හන්දියක් ගානේ ඒ අරගලය බෝ වුණා. 

එහෙම වුණත් රජයන් ඒ සඳහා කිසිදු සැලකිය යුතු ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඒ අය විප්ලවය දියකර හරින්නට හැකිතාක් වෑයම් ගත්තා. මිනිසුන් මිය ගියා.  

නමුත් රජයට නොසලකා නොහැර බැරි දෙයක් ඊළඟට සිදුවුණා. ඒ මේ විල්ලුද විප්ලවයට රජයේ නිලධාරීන් එකතුව මහා වැඩවර්ජනයක් ආරම්භ කිරීම.  අවසානයේ චෙකොස්ලෝවැකියානු රජයට ඊට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි වුණා. (අපේ අසූවේ වැඩවර්ජනයේ ප්‍රථිඵල මීට වෙනස්) ඒ අනුව පාලකයින් නිරුත්තර වුණා. ඒ අයට වේදිකාවෙන් බැස යන්න සිදු වුණා. 


ඒ නිසා ඕනෑම විප්ලවයක තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවය කියන්න පුළුවන්....

හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි, වෙල්වට් විප්ලවය මගින් සිදු කළේ එක් කෙනෙක් බලයෙන් පහ කරලා ඒ ක්‍රමය යටතේම තව කෙනෙක් බලයට ගේන එක නෙමෙයි. ඒ අය ඊට වඩා වැදගත් ක්‍රමවේදමය වෙනසක් සිදු කළා. ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගියා... 

තම මූලික අරමුණ ගැන සියලු අරගලකරුවන් දේශපාලනිකව දැනුවත්වීමේ, දැනුවත් කිරීමේ වැදගත්කම තියෙන්නේ එතනයි. විශේෂයෙන් ඒකීය නායකත්වයකින් තොරව, විවිධ තැන්වල ජන අරගලයක් ලෙස නැගී සිටිද්දී ගැටලු මතුවන්න තියෙන ඉඩ එතකොට අඩුයි....