Friday, November 11, 2022

කිමැයි නො අසනු මැන [Don’t Ask Me Why ~ Alexander Pushkin]

 


නොඅසන්න, දුක්මුසුම කල්පනාවල මා එකලාව මන්දැයි,
මගෙ වෙහෙසකර බැල්ම සිත් කළඹවන’යුරු කිමැන්දැයි,
ජීවිතේ සිහිනය භුක්ති නොවිඳින්නේ මා ඇයිදැයි,
නිරතුරු පිරී සිටිනෙමි වියවුලෙන් - ප්රීතිමත්ම මොහාත් වලදී පවා.
නොඅසන්න, මගෙ සතුට වියැකුණේ මන්දැයි,
මා මුසපත් කළ ආලයට තවත් පෙම් නොකරන්නේ ඇයිදැයි,
ආදරණියකු ලෙස හැඳින්විය නොහැක තවත් මට කිසිවෙක්.
වතාවක් ප්රේමයක් විඳි කිසිවෙක් නොකරනු ඇතිය යළිත් පෙම්.
මොහොතක සතුට යනු සියල්ලයි ලැබෙන අප වෙත;
යෟවනයේ සිට, සමෘද්ධිමත් - ඒවගෙම කුල්මත්ම ප්රහසන,
ශේෂ වී ඇත උදාසීනත්වය හා ශෝකයම විතරක්.
වරක් සතුටක් ලද තැනැත්තකු එහි සාරය යළිත් නොලබනු ඇත.

* Painting: The Lovers - Rene Magritte (1928)

- Translated by: Prasad Nirosha Bandara

ෆෙඩ්රික් නීට්ෂේ, නාසිවාදයට සහ නවනාසිවාදයට එරෙහිව (Friedrich Nietzsche, against narcissism and neo-narcissism)


2022 පෙබරවාරි 24 දින ව්ලැඩිමීර් පුටින් යුක්රේනය ආක්රමණය කරීමට එක් වැදගත් අරමුණක් ලෙස කීවේ යුක්රේනය 'නාසිහරණය' (denazified) කිරීමයි. යුක්රේන ආක්රමණය සඳහා බලපානු ලැබූ තවත් වැදගත් සාධකයක් ලෙස විචාරකයින් කියන්නේ යුක්රේනය අතීත රුසියානු සමූහාණ්ඩුවට අයත් භූමියක් වීමයි. ඒ අනුව රුසියාව විසින් යුක්රේන ආක්රමණය සිදුවූ අතර, ඇමරිකාව, ජර්මනිය, ප්රංශය ඇතුළු බටහිර සන්ධානය පුටින්ගේ ආක්රමණය දැඩි ලෙස හෙළා දකිමින් යුක්රේනයට විශාල වශයෙන් යුධ ආධාර දෙමින් අද දක්වා යුද්ධය පවත්වාගෙන යති!
රටේ බලශක්තියද අර්බුදයට ගෙනයමින් හා තම රට සතු ‘යුරෝපයේ විශාලතම ආර්ථිකය‘ යන්න ද අභියෝගයට ලක්කරගනිමින් ජර්මනිය රුසියානු විරෝධී ප්රතිපත්තියක් ක්රියාත්මක කරමින් සිටියදී නාසිවාදයේ ආරම්භක රට වන ජර්මනිය තුළ ම 'නව නාසි' නැඹුරුවක් ගොඩ නැඟෙමින් ඇති බව පුවත් පළ විය.
ජර්මානු පොලීසිය විසින් සිරියානු සරණාගතයෙක් ඔහුගේ කුඩා දරුවන් හා බිරිඳ බලා සිටියදීම ඉතාමත් කෘෘර අයුරු පීඩාවට පත් වීම එය හෙළිදරව් වීමේ මෑතකාලීන ආසන්නතම සිදුවීමක් විය. විශේෂයෙන් එසේ සිදු කරන්නේ 'අපි මේ රටේ අයිතිකරුවෝ, උඹලා පිටස්තරයෝ' (We are the owners of the country and you are guests!) කියමින් වීම මේ සිදුවීම තවදුරටත් ලෝකයේ විවේචනයට ලක් කෙරුණත්, මේ සිදුවීම පාදක කරගෙන ජර්මනිය තුළ සිදුවූයේ පොලීස් නිළධාරීන්ට විරුද්ධ මතයක් ගොඩනැගීමට වඩා ඔවුන්ගේ ක්රියාව සාධාරණීය කරමින් තමන්ගේ ‘ශුද්ධ අයිතිය‘ පිළිබඳ අදහසට සහාය දෙන නව නාසිවාදී රැල්ලක් ගොඩනැගීම බව කියැවේ.
ඒ අනුව එක්තරා අතකට තම රට තුළම යළි යළිත් නවනාසිවාදී ගිනි දැල් නැගෙමින් තිබියදී තවත් රටක නාසිහරණයට විරුද්ධ වීම ගොංපාර්ට් එකකි.
ඒක හරියට රටේ ස්වදේශිකයින් ඝාතනය කරමින් රට තුළට පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය ගොඩනගා ‘අස්ථාවර ලෝකයක් ස්ථාවර රටක්‘ නම් ප්රතිපත්තියේ ඉඳිමින් ලෝකයේ සුපිරිතම ජාතිය තමන් යැයි කීම වගේය. මීටත් වඩා පැරණි පැහැදිලි උදාහරණයක් කියනවානම්, රටේ මංපැහැරගැනීම් වලට හා සල්ලාලකම්වලට දඬුවමක් ලෙස හිස බූගා පිටුවහල් කළ පසු ලංකාවට පැමිණ කුවේනිය ඇතුළු ස්වදේශිකයින් ඝාතනය කර ගොඩනගාගත් විජයගෙන් ඇරඹුණු ජාතියේ මි-මී මුණුපුරන් ශූද්ධ වූ සිංහල බෞද්ධ ජාතියක් ගැනත් භූමියේ පරම අයිතියක් ගැනත් කතා කිරීමට සමානය!
කෙසේ හෝ මේ සිදුවීම් මගින් අපට කියවාගත හැකි කාරණය වන්නේ 'කන්න ඕනා විට කබරගොයාත් තලගොයා කරගන්නා' මතවාදී දේශපාලනය ගැනය. මේ සඳහා අපට ගත හැකි හොඳම උදාහරණය ඇත්තේද ජර්මනියේය. එනම් තමන්ගේම දාර්ශනිකයකුගේ අදහස් තම නාසිවාදී යුදෙව් සංහාරය සඳහා යොදාගත් අයුරුයි. එම දාර්ශනිකයා නම් ෆෙඩ්රික් නීට්ෂේ ය.

ෆෙඩ්රික් නීට්ෂේ සහ මූලික අදහස් කීපයක්
================================
‘‘ජීවිතය කියන්නේ රණ පිටියක් අපි ඒකේ සටන් වැදිලා දිනන්න ඕන..‘‘
- ෆෙඩ්රික් නීට්ෂේ
ජර්මානු දාර්ශනිකයකු වූ (1844-1900) ෆෙඩ්රික් නීට්ෂේ (Friedrich Nietzsche) කියන්නේ, පෙර කීවා සේ මේ ලෝකය විසින් යම් දාර්ශනිකයකුගේ අදහස් අවභාවිත කරානම් ඒ අතර වඩාත්ම තම අදහස් අවභාවිතයට ලක් වූ දාර්ශනිකයින් අතර මුල්තැන සිටින්නෙකි.

බලය සඳහා කැමැත්ත
Will to power (der Wille zur Macht)
—--------------------------------------------
නීට්ෂේගේ ප්රධාන සහ වැදගත්ම අදහසක් වූයේ බලය සඳහා වූ කැමැත්තයි (der Wille zur Macht). ඔහුට අනුව මිනිසා තුළ බලය සඳහා වූ අත්යන්ත කැමැත්තක් ඇත. නීට්ෂේට අනුව මිනිසා බලය සොයන්නේ තමන්ගේ ආරක්ෂාවට වඩා අනේකා මත තම බලය යෙදවීම සඳහාය. හැම විටම ලොව තුළ ඇත්තේ බලකාමීත්වය පිළිබඳ සටනකි. මෙය මිනිසුන් තුළ පමණක් නොව සත්ත්වයින් තුළ පවා දක්නට ලැබෙන්නකි.
මිලේච්ඡ යුගයේ මිනිසා අනුන්ට වධ දීමෙන් උත්සාහ කළේ බලය ලබාගන්නටය. (අද වන විට වැඩිම පිරිසක් සමූලඝාතනය කළ හැකි අවි නිපදවීම බලය ලබාගැනීමේ හා පවත්වාගැනීමේ මූලික සාධකය වී ඇත) තාපසයා තමාටම වධ දෙන්නේද තමාට බලය ලබා ගැනීමේ අරමුණිනි. නීට්ෂේ මෙම බලකාමීත්වය අතිශ්ය සියුම් අවස්ථාවල පවා දකී. 'සදාචාරය' පවා බලකාමීත්වය පිළිබඳ සටනේ පාරමිතීන්ය. සදාචාරයට අයත් ‘කෘතඥවීම‘ ගනිමු. කෘතඥවීම ලෙස අප කරන්නේ කෙනෙක් අපිට කළ උදව්වට ප්රති උපකාරයක් ලෙස, ඊටත් වඩා හොඳ උදව්වක් කිරීමයි. එවිට අප ඒ මිනිසාට වඩා උසස්යැ‘යි සියුම් හැඟීමක් අප තුළ හට ගනී. ඒ අනුව කෘතඥතාව බලකාමීත්වයට අයිති දෙයක් වන අතරම, නීට්ෂේ පවසන පරිදි කෘතඥතාව යනුම එක්තරා අතකට සියුම් පළිගැනීමකි.
තවත් මිනිසෙකු වෙත ‘බයාදුකමක්‘ පාන (නියුරෝසියා රෝගීන් වැනි අය) මිනිසුන් තුළ පවා බලකාමීත්වය පිළිබඳ හැගීමක් ඇති බව නීට්ෂේ පෙන්වා දෙයි. මන්ද යත් තමන් තුළ අනෙකාගේ අනුකම්පාව ඉස්මතු කිරීමේ බලයක් ඇති බව සිතමින් ඔහු සියුම් බලකාමීත්වය පිළිබඳ හැඟීමක් අත්පත් කරගන්නා නිසාය.
නීට්ෂේට අනුව මිනිසා අධ්යාපනය ලබන්නේත්, මුදල් රැස් කරන්නේත්, සමාජ දේශපාලන සබඳතා ගොඩනගාගන්නේත් මේ බලය පිළිබඳ සහජාශ්රය නිසාය.

උත්තර මිනිසා
Superman (Übermensch)
—-------------------------------
නීට්ෂේ ආගමික සංකල්පයක් වන ලෝකෝත්තර පරමාදර්ශ වෙනුවට උත්තර මිනිසා යන සංකල්පය ගෙනාවේය. ඔහුට අනුව මිනිසුන් අතර උත්තර මිනිසුන් හා එසේ නොවන අය ලෙස කොටස් දෙකකි. උත්තර මනුෂ්යයා සමාජ ඇගයුම්, පිළිගැනීම් ආදිය එකහෙළා පිළි නොගනී. ඔහුටම අදාල ඇගයුම් පිළිගැනීම්,විශ්වාස, චර්යාවන් ඔවුන්ට ඇත. ඇතැම් විට ඔහු අනුකම්පා විරහිත වූත්, කෲර වූත්, කපටි වූත් පුද්ගලයෙකි, ඔහු හුදෙක් තම බලය ගැන සැලකිලිමත් වන අතර, ඔහු තමා යුතුකම් ඉටුකළ යුතුයැයි සිතන්නේ තමා මට්ටමේම අයට ය.
ඔහු මේ උත්තර මිනිසා ට උදාහරණයක් ලෙස ගත්තේ නැපෝලියන් බොනපාර්ට් (Napoleon Bonaparte) වැනි අති විශේෂ බලකාමීන් ය. සාමාන්ය මිනිසා මෙවන් ශ්රේෂ්ඨයෙක් නොව නිවට හා අදක්ෂ ගති ගුණවලින් යුතු අය බව නීට්ෂේ කියයි.

නාසිවාදය හා ෆෙඩ්රික් නීට්ෂේ දර්ශනය
—----------------------------------------------
ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන්ට එරෙහිව තම සංහාරයත්, බල ව්යාප්තියත් ආරම්භ කරද්දී නීට්ෂේගේ අදහස් විකෘති ලෙස ගෙන භාවිත කළ බව කියැවේ.
විශේෂයෙන් ජර්මානු නාසීන් විසින් නීට්ෂේගේ සදාචාරය, දෙවියන්ගේ පැවැත්ම, ආගම්, බලකාමීත්වය ආදී විශාල දාර්ශනික සංකල්ප රාශියක් එසේ අවභාවිත කෙරුණි. ඔවුන්ට මෙසේ කිරීම සඳහා එය පහසු වීමට එක් හේතුවක් වූයේ නීට්ෂේගේ දාර්ශනික අදහස් තරමක් පැටලිලි සහගත වීමයි. ඊට හේතුව වන්නේ පූර්වගාමී දාර්ශනිකයින් මෙන් ‘පැහැදිලි දාර්ශනික පද්ධතියක්‘ ගොඩනැගීමට නීට්ෂේ නොකැමති වීමයි. එවන් පද්ධතියක් ගොඩනැගූ විට තමාගේ සියලු අදහස් එකී පද්ධතියට අනුකූල ලෙස ගොඩනගන්නට සිදුවන බව නීට්ෂේ සිතීය. ‘‘මුල් බැසගත් අදහස් යනු හිරගෙවල් සමූහයක්‘‘ ලෙස ඔහු කීවේ එහෙයිනි.
එසේම නීට්ෂේ පසුකාලීනව උමතුබවට පත් වීමෙන් පසු ඔහුගේ සියලු කෘතීන්ගේ හා අදහස් වල ඔහුගේ සොහොයුරිය පවරා ගැනීමත් නීට්ෂේගේ අදහස් අවභාවිත වීමට හේතු වූ බව කියවේ. ඇය උග්ර නාසිවාදිනියක වූ අතර ඇගේ සැමියා යුදෙව්වන්ට එරෙහි නාසිවාදී ව්යාපාරයේ ප්රබල සාමාජිකයකු බව කියැවේ. ඒ අනුව නීට්ෂේගේ අදහස් විකෘති කොට නාසිවාදී ව්යාපාරය සඳහා උණු පැණක් ලෙස භාවිත කළත් නීට්ෂේගේ සැබෑ අදහස් ඇතැම් වියතුන් ඒවනවිටත් හදාරා තිබීම තුළ එකී වෑයම පසුකාලීනව නිෂ්ප්රභ විය.
නීට්ෂේ නාසිවාදියකු නොවූවා පමණක් නොව ඔහු තමා ජර්මානුවකු ලෙස හැඳින්වීමට පවා නොකැමති විය. එසේම ඔහු තමා පොලන්ත ජාතිකයකු ලෙස හැඳින්වීමට වඩා කැමති බව කියැවේ. එසේම ඔහු බයිබලයේ නව තෙස්තමේන්තුව ප්රිය නොකළ අතර යුදෙව්වන් විසින් පරිහරණය කරන පැරණි තෙස්තමේන්තුවට ප්රිය විය.
නීට්ෂේ සමාජයේ සුපිරි මිනිසුන් හා එසේ නොවන්නන් සිටින බව කීවත්, සුපිිරි මිනිසුන් තම බලය පිළිබඳ කැමැත්ත අත්පත් කරගද්දී අනික් මිනිසුන් විනාශ කළ යුතු බවක් ඔහු නොකීය. නමුත් නීට්ෂේ වැදගත් දාර්ශනිකයකු බව හුවා දක්වමින් හිට්ලර් ප්රමුඛ නාසිවාදීහු, තමා ගොඩනගන්නට යන උත්තර මිනිස් ආර්ය ජාතිය සඳහා යුදෙව්වන් කෲර ලෙස සමූල ඝාතනය කළහ.
අනික් අතට, නීට්ෂේගේ උත්තර මිනිසා යනු ජීවවිද්යාත්මකව උසස් එක් ජාතියකට, ලෙයකට අයිති අයෙක් නොවීය. නීට්ෂේගේ උත්තරීතර මිනිසා යනු අධික අධිෂ්ඨාන ශක්තියක්, බලකාමීත්වයක්, වැඩි ධෛර්යයක් ඇත්තන් ය.
මේ අනුව නාසි හරණය, නාසිකරණය, නව නාසිකරණය, මානව හිමිකම්, යුධ නීති ආදී සියල්ල පමණක් නොව ලොව පවතින සියලු දැනුම් පද්ධතීන්ද අද පවා කෑමට ඕනෑ වන විට බලකාමියා අත තල ගොයා කරගත් කබරගොයෙක් වන අයුරු පැහැදිලි නොවේද?

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර