Saturday, June 19, 2021

රසවාදය හා සංස්කෘතික සාපේක්ෂතාව ; මිතුරු-පසමිතුරු ප්‍රතිචාර පිළිබඳ අධ්‍යනයක් - 01


සංස්කෘත විචාර මූලධර්ම හා රසවාදය; දළ ප්රවේශයක්

සංස්කෘත කාව්‍ය විචාර කලාව කවදා ආරම්භ වීදැයි නිශ්චිතව කිව නොහැකි වුවත්, එය ඈත ඉතිහාසයකට අයත් බව පොදු පිළිගැනීමයි. මුල් යුගයේදී සංස්කෘත භාෂාව දෙවියන් උදෙසා යාගහෝම පැවැත්වීම උදෙසා භාවිත වූවක් බවත් එය ලෞකික කාව්‍යයන් සඳහා යොදා නොගත් බවත්, සංස්කෘතය බොහෝ විට බ්‍රාහ්මණයින්ට සීමා වූ බස් වහරක් වූ බවත් ‘Classical Sanskrit Literature නම් මහැඟි ග්‍රන්ථය රචනා කරමින් ‘බෙරිඩේල් කීත්’  (Berriedale Keith) නම් බ්‍රිතාන්‍ය ජාතික විද්වතා පවසයි. බ්‍රාහ්මණයින් විසින් පමණක් භාවිත කළ මෙම සංස්කෘත භාෂාව ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ ලියන ලද පාණිනීගේ ව්‍යාකරණයෙන් බැඳ තබන ලද බව ද කීත් වැඩිදුරටත් පෙන්වා දේ. (මෙය පෙදින් බුදු සිරිත බසින් වත් සිරිත් ඈ ආදි ලෙස - භාෂාමය තලයේ නොව භාවිතමය තලයේ - සිංහල සාහිත්‍ය කලාවන් පිළිබඳ සියබස් ලකර සිදු කළා වූ කාර්යය හා සසඳා බැලීම වටී) 

ඒ අනුව මුල් යුගයේ ලෞකික සාහිත්‍ය සාමාන්‍ය ජනතාව භාවිත කළ මූල ප්‍රාකෘත භාෂාවෙන් නිර්මාණය වෙන්නට ඇති බවත් දෙවියන් උදෙසා භාවිත කළ සංස්කෘතය එවන් පහත් මට්ටමේ භාවිතාවන් සඳහා යොදා නොගත් බවත් පැහැදිලිය. දැනට විශ්වාස කෙරෙන සාධක අනුව ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන යුගය පමණ වන විට සංස්කෘත භාෂාව ලෞකික කාව්‍යයන් සඳහා යොදාගැනීම ආරම්භ වන්නට ඇතැ’යි යන්න පිළිගැනීමයි. 

එසේම දැනට සොයොගෙන ඇති කෘතීන් අතර සංස්කෘත විචාර මූලධර්මයන්ට අදාල පැරණිම කෘතිය භරත මුනිවරයා විසින් රචනා කරන ලද නාට්‍ය ශාස්ත්‍රය යි. එය යට කීවා සේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසටවත් අයත්යැ’යි පිළිගැනේ. කෘතියක් හැටියට දැනට ස‍ොයාගෙන ඇති පැරණිම කෘතිය නාට්‍ය ශාස්ත්‍රය වුවද නාට්‍ය ශාස්ත්‍රයේද ඊට පෙර පැවති සෞන්දර්ය විචාර මතවාද හා පොත් පත් පිළිබඳව සඳහන් වන හෙයින්, නාට්‍යශාස්ත්‍රය ලියන්නට පෙර යුගයේ සිට භාරතය තුළ මෙකී සෞන්දර්ය විචාර මූලධර්ම තිබුණු බව පැහැදිලි ය. රස නමැති සංකල්පය ගැන කෘතියක් කෙරූ නන්දිකේශ්වර නමැත්තෙකු ගැනත්, රීති පිළිබඳ විචාර කෘතියක් සකස් කළ ස්වර්ණාභ යන විද්වතුන් මෙන්ම, මෙම විෂයට සම්බන්ධව සිටි තවත් පඬිවරුන් වූ කාශ්‍යප මුනිවරරුචි සහ මේධාවින් යන අය පිළිබඳව එසේ පසුකාලීන ග්‍රන්ථයන්හි සඳහන් වේ. තවද මෙම ශාස්ත්‍රයන් දෙවියන් විසින් ඍෂිවරුන් වෙත ලබා දෙන ලද්දක් බව සාමාන්‍ය ජනප්‍රවාදයේ විශ්වාසය විය. 

සංස්කෘත සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය වූ ‘සිංහල ගී කාව්‍ය කෙරේ සංස්කෘත අලංකාර ශ්‍රාස්ත්‍රයේ බලපෑම නම් මහැඟි නිබන්ධයට පෙරවදනක් ලියමින් මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මෙසේ පෙන්වා දෙයි. 

“ලෝකයේ විවිධ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායන් අතර භාරතීය සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි දීර්ඝකාලීනව පැවත එන වාග් විද්‍යාත්මක අධ්‍යන සම්ප්‍රදායක් මෙන්ම සෞන්දර්ය විද්‍යාත්මක සම්ප්‍රදායක්ද ඇති හෙයිනි. පාණිනී, පතඤ්ජලී ආදීන්ගෙන් ඇරඹුණු වාග් විද්‍යාත්මක ගවේශන සම්ප්‍රදාය දැන් බටහිර විද්වතුන් විසින් පවා මහත් සම්භාවනාවෙන් සලකනු ලැබේ. ඒ අතරම භරත මුනිගේ නාට්‍යශාස්ත්‍ර කෘතියෙන් ඇරඹුණු භාරතීය සෞන්දර්ය විද්‍යාව ද අද ලොවපුරා අවධානයට යොමුවී ඇත..”

තවද සංස්කෘත කාව්‍ය ක්ෂේත්‍රයේ ‘කාව්‍ය’ යන්න සැලකෙන්නේ පද්‍ය ගද්‍ය හා නාට්‍ය ආදී දේවල් හඳුන්වන පොදු නාමයක් හැටියට අපි මෙහිලා අමතක කළ යුතු නොවේ. 

ඒ අනුව සංස්කෘත සාහිත්‍ය විචාර මූලධර්ම අතර, අලංකාර වාදය, ගුණ සංකල්පය, රීති සංකල්පය, රස වාදය, ධ්වනි වාදය, වක්‍රෝත්ති වාදය, අනුමිති වාදය, ඖචිත්‍ය වාදය වැනි විචාර සංකල්ප රාශියක් වන අතර ඉන් කාව්‍යකරණය සඳහා වැඩ්මනක්ම බලපා ඇත්තේ අලංකාරවාදය ලෙසද කාව්‍ය විචාරය සඳහා වැඩිමනක්ම බලපෑම් කර ඇත්තේ රසවාදය ලෙස ද හැඳින්විය හැක. (සිංහල ගී කාව්‍ය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ බලපෑම නම් කෘතිය තුළ මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් මේ කාරණය සිංහල සාහිත්‍යට සම්බන්ධව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරයි)

කෘතියෙහි නමින්ම සඳහන් වන පරිදි භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය මූලික වශයෙන්ම නාට්‍ය හෙවත් දෘෂ්‍ය කාව්‍ය විචාරය කිරීම මූලික කොට ලියන ලද්දකි. එසේම එය පරිපූර්ණ ග්‍රන්ථයක් වන අතර, එවන් විෂ්‍යයක් සඳහා ලොව මෙතෙක් සොයාගෙන ග්‍රන්ථ අතුරින් පැරණිතය ග්‍රන්ථය වන්නේ ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයයි. මේ කෘති දෙක අතර පැහැදිලි සමානකම් මෙන්ම අසමානකම්ද තිබෙන බව ඒ පිළිබඳ තුළනාත්මක අධ්‍යනයක් කළ ආර් එල්.සින්ගල් (S.L Singal) තම ‘ඇරිස්ටෝටල් සහ භරත’ (Aristotle and Bharata)  නම් කෘතියෙහි මේසේ දක්වයි.

“භරතයන්ගේ රස සිද්ධාන්තය සහ ඇරිස්ටෝටල්ගේ භාව විශෝධන සිද්ධාන්තය යන දෙක, විශේෂයෙන් මතවාද ගැන අල්පමාත්‍ර හෝ දැනුමක් ඇති අයෙකුගේ වුව විමර්ශන චින්තනයට සැක සංකා පහළ කරයි. ඒ විචාරකයින් දෙදෙනාම ප්‍රකාශයට පත් කර ඇති අනුකරණ සිද්ධාන්තය ද ඒසේමය. නාට්‍ය විභාගය සම්බන්ධයෙන් මේ ලේඛකයින් දෙදෙනා සමාන අදහස් දරන සංකල්ප තව බොහෝය. ඔවුන් පරස්පර විරෝධී මත දරන අවස්ථාද තව බොහෝ ඇත..”

නමුත් ඇරිස්ටෝටල්ගේ කෘතිය නාට්‍ය ශාස්ත්‍රය තරම් පරිපූර්ණ කෘතියක් නොවේ. නාට්‍ය ශාස්ත්‍රයේ මූලික පදනම නාට්‍ය කාලාව වුවද කාව්‍ය කියන විෂයට අයත් හැම ඉසව්වක්ම පාහේ භරත මුනිවරයා විසින් සාකච්ඡා වේ. ඒ අනුව නාට්‍යට අමතරව කාව්‍ය, සංගීතය, නර්තනය ආදී බොහෝ විෂයයන් ගැන භරතමුනි විග්‍රහ කරන බව පෙනේ. සැබැවින්ම නාට්‍ය ශාස්ත්‍රය වනාහි පරිපූර්ණ හා දීර්ඝ කෘතියක් වේ. එහි පරිච්ඡේද තිස් හයකි. දෙපාද පද්‍ය සයදහසකි. ඊට අමතරව ගද්‍යයෙන් කෙරෙන විග්‍රහයන් ද රාශියක් වේ.


රසවාදයේ සෛද්ධාන්තික පසුබිම

භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳව මූලික කරුණු කිහිපයක් ඉහත සාකච්ඡා කළෙමු. සංස්කෘත විචාර මූලධර්ම ගොඩනැගූවන්ගේ මූලික පදනමක් විය. එනම් ආත්ම සංකල්පයයි. කාව්‍යයේ ශරීරයක් ඇති බව පිළිගත් ඒ අය තමන් පිළිගත් විචාර මූලධර්මය එහි ආත්මය ලෙස කීය.

ඒ අනුව අලංකාරවාදීන්ට අනුව කවියේ ආත්මය අලංකාර වන අතර, වක්‍රෝත්ති වාදීන්ට අනුව කාව්‍යයේ ආත්මය වක්‍රෝත්තියයි. කවියේ ආත්මය ධ්වනිය ලෙස ධ්වනිවාදීහු විශ්වාස කළ අතර එය උචිතබව යන්න ඖචිත්‍යවාදීහු කල්පනා කළහ. මේ අනුව තම තමන් අනුදත් විචාර මූලධර්මය කාව්‍යයේ ආත්මය ලෙස ඒ ඒ විචාරවාදීහු කල්පනා කළහ. ඒ අනුව භරතමුනි ප්‍රමුඛ රසවාදීන් කීවේ කවියේ ආත්මය ‘රසය වන බවයි. 

රස වාදය ගැන විමසීමේදී ‘රසය’ යන සංකල්පය නිශ්චිතව වටහාගැනීම ඉතා වැදගත් වේ. මක් නිසාද යත් ‘රස’ යන වචනයේ අරුත් කිහිපයක් දක්නට ඇති හෙයිනි. රස යන වචනයට පොදු සමාජය තුළ විවිධ අර්ථ ඇතත් සාහිත්‍ය විෂය තුළ ද දෙයාකාර අර්ථ ඊට යෙදී ඇති බව මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් තම ‘කාව්‍ය විචාර ගවේෂණ’ නම් කෘතියේදී පෙන්වා දෙයි.

“..කාව්‍ය රසය යනුවෙන් හැඳින්වනුයේ එකකි. නව වැදෑරුම් නාට්‍ය වශයෙන් ප්‍රකාශයට පත් වුණු රස සංකල්පය එකකි. දෙවැනුව කී  ස’ යන පදය පාරිභාෂික ශබ්දයක් වශයෙන් විශේෂ අර්ථ දේ.

කාව්‍ය නාටකාදී වශයෙන් සාහිත්‍ය කෘතියකින් හෝ වෙනත් කිසියම් කලා නිර්මාණයකින් හෝ සහෘදයා පොදුවේ විඳින ආනන්දමය හැඟීම් රස’ යන පදයේ පෘථුල අර්ථයයි. ශබ්ද රසය, අර්ථ රසය යනාදී වශයෙන් රසය ගැන නොයෙක් වර සඳහන් වනු දක්නට ලැබේ. කිසියම්  ශබ්ද සංකලනයකින් - කාව්‍යයකනම් උචිත පරිදි යෙදුණු අනුප්‍රාසාදී ලක්ෂණයකින් - කණ පිනවේනම් එබඳු තැන ශබ්ද රසය ඇතැ’යි කියමු. එසේම කිසියම් අලංකාරෝක්තියක් වැනි විශේෂ යෙදුමකින් සිත පිණවේනම් එබඳු තැන අර්ථ රසයක් ඇතැයි කියමු. මේ තැන්වල දී රස’ යන පදය යෙදෙනුයේ පුළුල් වශයෙන් කලාස්වාදය හැඟවීමටයි. භරත මුනීන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු රස සංකල්පය වැනි විශේෂ ගැඹුරු අදහසකින් නොවේ. රස’ යනුවෙන් හැඟවෙන හැම තැනකදීම ඒ රස සංකල්පය බලාපොරොත්තු වීම යුක්තිසහගත නොවේ”

ඒ අනුව භරත මුනි ප්‍රමුඛ කරගත් සංස්කෘත රසවාදීන් ප්‍රකාශයට පත් කිරීමට වෑයම් ගත් රස සංකල්පය කලා කෘතියකින් සහෘදයා පසක් කරගන්නා භාවමය අනුභූතියේ සූක්ෂ්ම පක්ෂය වචනයෙන් ප්‍රකාශ කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස හැඳින්විය හැක.

රස වාදීහු එය තනි සංකල්පයක් ලෙස ඉදිරිපත් කළද පසුකාලීන ධ්වනිවාදීහු රසය යනු ධ්වනිවාදය හා එකට ගනිමින් විග්‍රහ කළහ. ආනන්දවර්ධන තම ධ්වන්‍යාලෝක නම් ග්‍රන්ථයේ එම කාරණය පෙන්වා දෙන්නේ මේසේය.

“අපගේ මේ ප්‍රයත්නය ආරම්භ කරන ලද්දේ කවින්ගේ අබිමතය විය යුත්තේ සරාදිරූප වූ ව්‍යංග්‍යාර්ථයන්ගේ සමාවේශය බව තහවුරු කිරිමටයි. ඒ විනා හුදෙක් ධ්වනි යන අදහස ප්‍රතිපාදනය කිරීමට නොවේ.” ධ්වන්‍යාලෝකයට අනුව රස යනු ධ්වනියේ එක් ප්‍රබේදයක් හෙවත් මූලිකම ප්‍රබේදයයි. ඒ අනුව රසය කාව්‍ය තුළ අත්‍යාවශ්‍යයෙන්ම බැඳි ඇත කියන මතය පසුකාලීනව ඉතා ජනප්‍රිය විය.

භරත මුනිවරයා රස යන්න “විභවානුභාවව්‍යභිචාරීසංයෝගාත් රස නිෂ්පත්තිඃ” යනුවෙන් රස සංකල්පය රස සූත්‍රයකට ගෙනු කරයි. ඊට අනුව රසය උපදින්නේ විභාව, අනුභාව හා ව්‍යභිචාරීභාව යන දේවල සංයෝගයෙනි. 


I) ස්ථායීභාව

භරත මුනි රස සූත්‍රයේ දක්වා නැති, එසේම වෙනත් තැන්වල දක්වන තවත් වැදගත් භාව විශේෂයක් වේ. රසිකයා සතුව ඇති එකම භාව විශේෂය ස්ථායී භාව වන අතර, අනික් සියල්ල ඇත්තේ නලුවා තුළ ය. නොඑසේනම් කලා කෘතිය තුළ ය. ස්ථායීභාව යනු කිසියම් රසයක් නිෂ්ඨා කොට රසිකයාගේ සිතේ තහවුරුව පවත්නා හැඟීම් වේ. ඒවා ස්වභාවිකව මිනිස් සිත තුළ ඇති අතර සාමාන්‍ය අවස්ථාවන්හිදී නිලීනව පවතී. කලා කෘතියකින් කරන්නේ එකී ස්ථායීභාවයන් පුබුදුවා ඒවාට අදාල රසය ඇති කිරීමයි. භරත මුනිවරයාට අනුව ස්ථායීභාව අටක් වන අතර ඒවාට අදාල රසයන්ද අටකි. ස්ථායීභාව පැහැදිලිකරගැනීම රසවාදය පැහැදිලි කරගැනීමේදී ඉතා වැදගත් වන හෙයින් එය මුලින් විමසා බලමු.

මීට අමතරව පසුකාලීනව ශම’ නම් ස්ථායීභාවයකුත් ඒ අනුව ශාන්ත’ නම් රසයකුත් මීට එක් විය.


II) විභාව

මෙය ආලම්භන විභාව හා උද්දීපන විභාව යනුවෙන් දෙආකාර වේ. ආලම්භන විභාව යනු අරමුණ හෙවත් කිසියම් භාවයක් උපදීමට හේතු වන දෙයයි. කුස රජුගේ ප්‍රේමයට ආලම්භන විභාවය වන්නේ පබාවතියයි. 

උද්දීපනය විභාවය යනු සිතේ ඇතිවන හැඟීම් වැඩි දියුණු කිරීමට පාදක වන පරිසරයයි. මනමේ නාටකය ගතහොත් කුමරාගේත් කුමරියගේත් ආදරය උද්දීපනය කරන්නට, වනයේ සුන්දරත්වය, කෝකිල හඬ, පිපුනු නෙලුම් මල්, බඹරුන්ගේ ගුමු ගුමුව ආදිය බලපායි. 


II) අනුභාව

නලුවාට බාහිර වශයෙන් ලැබුණු, ආලම්භන හා උද්දීපන ආදී දේවලින් මතුවුන හැඟීම් චේෂ්ටාවන් වේ. සිතෙහි හටගත් හැඟිම ප්‍රේමයනම්  මිහිරිවදන්, නෙතඟ බැලුම්, නුරා තෙපුල්, ලැජ්ජාව ආදිය එහි අනුභාව වේ. ඒ අනුව හැඟීම් කේතනය කොට සහෘදයාට ලබාදීමට නලුවා - කවියා භාවිත කරන මූලික කේත වන්නේ අනුභාවයයි. 


III) ව්‍යභිචාරී භාව

ප්‍රධාන හැඟීම සමග පවත්නා වූ ද එය උද්දීපනය කිරීමට නලුවාට උපයෝගී වන්නා වූද අප්‍රධාන පරිවාර භාවයන්ය. මේවා බොහෝ විට එක ළඟ එක වශයෙන් වෙනස්වන අතුරු භාවයන් ය. ව්‍යභිචාරී භාවයන් සංචාරී භාව ලෙසද හැඳින්වේ. ප්‍රේමයේ ව්‍යභීචාරීභාව වන්නේ අමර්ෂය හා ලජ්ජාවයි. එවන් ව්‍යභිචාරීභාව තිස් තුනක් ඇති බව භරතමුණි පෙන්වා දෙයි. 

ඊට අමතරව සාත්වික භාව නම් කොටසක්ද වේ. එයින් හැඟවෙන්නේ අතිශ්‍ය දක්ෂ නලුවකුට පමණක් නිරූපණය කරන්න පුලුවන් භාව විශේෂයක් වන අතර එවන් සාත්වික භාව අටක් දක්වයි. මේවා මනස මුල්කරගෙන බිහිවන බව කියැවේ. එනම්, අශු (කඳුලු) , ප්‍රලය (කලාන්තය) , රෝමාතූඩ (ලොමුදැහැගැන්වීම) , වෙපථු (වෙව්ලීම) , ස්වේද (දහදිය දැමීම) , ස්ථම්භ (ගල්ගැසීම) , ස්වරභේද (ස්වරයෙහි වෙනස්වීම) , වෛවර්ණ්‍ය (මුහුණ රතු වීම) ආදියයි. 

ඒ අනුව අනුභාව, ව්‍යභිචාරීභාව හා සාත්විකභාව යන ඒවා නලුවා කේත විදිහට භාවිත කරමින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන අතර ඒ තුළින් ප්‍රේක්ෂකයාගේ හිත තුළ නිලීනව ඇති ස්ථායීභාව අවදි වේ. එසේ වීමෙන් පසු එකී ස්ථායී භාවයට අදාල රසය ප්‍රේකෂකයාට ලැබේ. එය රසවාදයේ මූලික හරයයි.

එක රසයක ස්ථායී භාවයක් වෙනත් රසයක ව්‍යභිචාරීභාවයක් විය හැකි බව රසවාදය කියයි. එනම් රතිය ශෘංගාර රසයේ ස්ථායීභාවයයි. නමුත් එය වීර රසයේ ව්‍යභිචාරීභාවයක් විය හැක. එසේම එක කලා කෘතියක තිබිය හැක්කේ එක් ප්‍රධාන රසයක් පමණකි. කලා කෘතියක් මගින් ස්ථායීභාව නිසිලෙසත් සම්පූර්ණ ලෙසත් පරිපෝෂණය නොවූ කල්හි ඒවා රස තත්ත්වයට පත් නොවේ. හරි හැටි රස උද්දීපනය වීමට උපකාර නොවන අනුචිත චරිත හා අවස්ථා යොදාගැනීම මෙන්ම නිවැරදි අවස්ථාවේ ස්ථායී භාව පරිපෝෂණය නොවීම ආදී කාරණා ඊට හේතු විය හැකිය. එවැනි අවස්ථාවේ හටගත හැක්කේ සැබෑ රසය නොව රසයේ ඡායාමාත්‍රයක් හෙවත් ‘රසාභාසයක්’  බව රසවාදය පෙන්වා දෙයි. 

රස වාදය තුළ මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ රස නවයක් පමණක්ය යන කාරණය ගෙන, රස වාදය සියලු කලා කෘතීන් සඳහා යෝග්‍ය නොවන බව කියන්නට බැරිය. එය ඉතා සියුම් ලෙස ඕනෑම හැඟීමක් භාවයක් අඩංගු කරගත හැකි පරිදි දාර්ශනිකව ගොඩනගා ඇති සුක්ෂ්ම දැනුම් පද්ධතියක් වේ. රසවාදයේ එකී ශඛ්‍යතාව මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් මෙසේ සාරාංශ කරයි.

“මතුපිට වාච්‍යාර්ථයෙන්ම සලකා බැලුවහොත් රසාස්වාදන ව්‍යාපාරය වූ කලී ලේබල් නවයක් රැගෙන කැමති පරිදි ඇලවීමකට සීමා නොවන බව පෙනේ. මිනිස් සිත් සතන් තුළ පහළවිය හැකි හැඟීම් නවයක් පමණ යයි ද, සාහිත්‍යයේ නිරූපණය කළ හැක්කේ එම හැඟීම් නවය පමණක් යැයිද වැනි දුර්මත රසවාදය ඉදිරිපත් කළ සංස්කෘත විචාරකයින් කිසිවිටක නොදැරූබව මෙයින් පෙනී යයි. රස යනු සංකීර්ණ වූත් සූක්ෂ්ම වූත් සෞන්දර්යාස්වාදයකි. මිනිස් සිතෙහි යම්තාක් මනෝවෘත්තීන් හටගනීද ඒ සියල්ල රසවාදයේ ක්ෂේ්‍රත්‍රයට අන්තර්ගත වෙයි” 

මතු සම්බන්ධයි..


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


No comments:

Post a Comment