Thursday, December 29, 2022

ප්‍රේමයට ඇරයුම් [Invitation To Love ~ Paul Laurence Dunbar]



ඔබ එන්න, බබළන කල්හි තරුවලින් රාත්‍රී,

නොඑසේනම් මෝදු වන විටදි සඳ.

කහ පැහැති පිදුරු පිට්ටනි මතට

හිරු තමන් රන් කිරණ ඉසින විට පැමිණෙන්න. 

මෘදු හා අළු පැහැති හවස් වරුවේ එන්න, 

රාත්‍රියේදී හෝ නැතිනම් දහවලේ ඔබ එන්න.

අහෝ ප්‍රේමය, ඔබට හැකි හැමවිටම පැමිණෙන්න

සාදරෙන් මම ඔබව පිළිගනිමි, ඔබ එන්න. 


ආදරණීය ප්‍රේමය, මිහිරියි නුඹ - ඔව් ආදරණීයයි

මෘදුයි නුඹ පරවියෙකු මෙනි කූඩු තනනා.

සම්ප්‍රාප්ත වන’යුරු කුරුල්ලකු තම කැදැල්ලට 

සපැමිණ මා හදට නිවාලනු මැනව එය.


මගේ හිත දුකින් පිරි වෙලාවක පැමිණෙන්න

එසේ නැතිනම් මසිත සතුටු වුණ වෙලාවල.

තුරුපත් පතිත වන වෙලාවක හෝ

රත් පැහැ ගැන්වෙද්දි චෙරි ඵළ ඔබ එන්න.

අවුරුද්දේ පළමුවෙන් මල් පිපෙන විට එන්න

නැතිනම් ගිමන්කල දිදුලද්දි පැමිණෙන්න.

ශීත කල පාවෙනා හිම කැටිති හා එන්න

සාදරෙන් මම ඔබව පිළිගනිමි, ඔබ එන්න.


Translated by: Prasad Nirosha Bandara

Saturday, December 17, 2022

ලිලීට [To Lily ~ Alexander Pushkin]

 


ලිලී, ලිලී… මම සුසුම් හෙළමි
භග්නාශාවන්ගෙන් හා සුන් පැතුම් සහිතව
පීඩාවෙන් මිරිකී මියයමින් හිඳිනෙමි
මගේ ආත්මයේ එළිය මට අහිමි වී ඇත 

එනමුදු මගේ ප්‍රේමය නොකැඳවිය අනුකම්පාව
මා සෝචනීයයැ’යි හඟිනවා ඇත ඔබ 
ඔව්, දිගටම සිනාසෙන්න - ලස්සනයි ඔබ
අනුකම්පා විරහිතම නිමේෂයන්හිදී පවා

- Translated by: Prasad Nirosha Bandara