Tuesday, December 5, 2017

පව්කාර වටපිටාවක පිංකම්පොළේ පිංකම


‘පිංකම්පොළ’ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ අලූත්ම කාව්‍ය සංග‍්‍රහය. පිංකම්පොළේ හතර මායිමුත්, පිංකමේ හැටි සොබාවයනුත් පිළිබඳ ව තේරුම් බේරුම් කරගන්න එහි පළමු නිර්මාණය ම වුවත් ප‍්‍රමාණවත්. තරමක් දිග කවියක් වන  ‘මහනුවර’ සම්මතය නම් වට රවුමේ හිඳින සමාජය විසින් ඉන් එපිටට තල්ලූ කරන ලද පෙම් යුවලක් පිළිබඳ කතාවක් තේමා කර ගත්තක්. කවියේ මුල් අඩ තුළම කවියා කරන්නේ මේ අසම්මත පෙම් යුවල ස්ථානගත කරන්නට අවශ්‍ය සමාජ දේශපාලනික අවකාශය භෞතික සීමාමායිම් ඇතුළේ සලකුණු කිරීම. මේ සලකුණු කිරීම තුළ මතුපිට තේමාව ඉක්මවා ගිය අතිශය පුළුල් දේශපාලනික සංකල්ප රූපයන් මතුකරන්න කවියා සමත්. විශේෂයෙන් දැනුවත් රසිකයා තුළ මේ මොහොතේ දේශපාලනය පිළිබඳවත් සමාජ සංස්කෘතික දෘෂ්ටිවාදයන් පිළිබඳව ඒ විසින් අපූර්ව ක්ෂණ රූප දාමයක් අවුලූවනවා.  

මද්දුම බණ්ඩාර හිටගෙන කුලූණක් උඩ
ඔහු මැරුම් කෑ තැනම

වෑ දිය නිල්ල නගන සර සරය
උස් පහත් වෙවී මවනවා රිද්ම රටා

කටුකම්බි වැලි ගෝනි පිරවුණු
යකඩ ද්වාර - රකිනවා
ලංකා යකුන්ගෙන්, දළදා මැදුර

අසම්මතය සමාජ සංස්කෘතීන් විසින් ඔවුන් වෙත නිර්මාණය කර දුන් එකක්. දළදා මැදුර මේ කථක පෙම්වතාගේත් ඔහුගේ පෙම්වතියගේත්, නොඑසේනම් පොදු මානව පේ‍්‍රමයේත් සංකේතයද? නැතිනම් සංස්කෘතික පේ‍්‍රමයේ උගුලද? ‘ලංකා යකුන්’ යනු අව්‍යාජ පේ‍්‍රමයට එරෙහි සංස්කෘතික අවදෘෂ්ටිවාදයන් නොවන්නේද? කවිය කියවද්දී අප සිත් තුළ මේ අදහස් නලියනවා. 

ඉසිඹු නොලබන වැවරවුමේ අනිත් අහ
සිය උරහිස මත වැටුණු වාහන
බර දරාගන්නට දරන වෙහෙස

මේ කවි කණ්ඩයත් පෙර දැක්වූ අවසන් කවි ඛණ්ඩයත් යට කීවා සේ, දේශපාලනික ග‍්‍රාහකයාට තවත් මානයක් විවෘත කරලා දෙනවා. ඒ බෞද්ධයාගේ මුදුන් මල්කඩ හැටියට සැලකෙන දළදා මැදුරත් එහි සංකේතාත්මක බලාධිකාරියත් ප‍්‍රදේශයේ නිවසන මිනිසාගේත්, සමස්ත ජීවියාගේත්, පරිසරයේත් මරණීය ඉරණම තීන්දු කරමින් සිටින උත්ප‍්‍රාසනීය යථාර්ථය. ලංකා යකුන්ගෙන් දළදාව රකින්න ගහපු කටුකම්බි - වැලිගෝනි මේ වන විට ප‍්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් සියයට හැත්තෑවක් ස්වශන රෝගීන් කරලා ඉවරයි. රටේ වායු දූෂණය වැඩිම නගරය බවට මේ මුදුන්මල්කඩ පත්කර හමාරයි. 
‘මහනුවර’ හි භෞතික අවකාශය එනමින් හඳුන්වන ප‍්‍රදේශයට අයිති වුවත් එහි සංකේතමය අවකාශය එය ඉක්මවා යනවා. මහ නුවරක් වනාහි සංස්කෘතික සහ සදාචාරාත්මක අන්‍යත්වයන්ට, ගරු කරතැ’යි සාපේක්ෂව සිතෙන තරමක් සාධනීය අවකාශයක්. නමුත් එවන් වටපිටාවක පවා මේ යුවලට අත්ව ඇති ඉරණම! 

මතකද ඔයාට, 
අපි බයේ නොගිහාන් හිටියා

හාස්කම් ඇති පත්තිනි අම්මා මුන ගැහීමට
අසල ඇති වැල් බෝධියට
පැන් කලගෙඩි හතක් පුදන්නට.
කාරණාව නොලියූ කොඩියක් ගැටගහන්නට
කපුරු පෙත්තක් දල්වා ඒ සුවඳ දුම් දෙදෙනාගෙ 
මුහුනට වද්ද ගන්නට

පත්තිනි අම්මා මුණ ගැසීමට බියව සිටින මේ යුවල කවරාකාරයේ විසම්මුතියකට අදාලද. මොවුන් කටුකම්බි වලින් ‘දළදාව’ රකින ලංකා යකුන්ගේත්, පත්තිනි අම්මලාගේ ‘ශුද්ධ’ අනුහස් තුළ අසම්මත වන්නේ කොහොමද? කවියා එයට ඍජුව පිළිතුරු නොදෙයි. මක්නිසාද රසික පරිකල්පනය ඉදිරියේ වැටක් බැඳිමට ඔහු නොරිසි හෙයිනි. 

අපි මේ කරන්නේ වරදක්ද
ඔබ ඇහුවෙ ඇහෙන යාතිකා හඬට සංවේදී වෙමින්
‘වරදක් වුන හරි දෙයක්’ මං පිළිවදන් දුන්නා

‘සංසාර ගමනේ ඉතිරි හරියත් මෙහෙම පැටලිල්ලක්ද’
ඔබ ඇහුවා හිස බර කරගනිමින් බෝ මලූවට 
කඳුළු පැන් බිඳුවක් වැටුනා ඒ විගසම
************

කෘතියෙහි නමින් ම එන ‘පිංකම්පොළ’ එවැනිම සියුම් සංකේතාර්ථයන් මතුකරන්න සමත් තවත් අගනා කවියක්. එය මතුපිට අර්ථය විනිවිදින- බුද්ධාගම සහ බුදු දහම පිළිබඳ අද්‍යතන යථාර්ථය ස්පර්ෂ කරන්නක්. ආගමේ දේශපාලනික භාවිතයත් දේශපාලනයේ ආගමික භාවිතයත් පිළිබඳ අවශ්‍ය පමණටත් වඩා අත්දැකීම් තියෙන පරපුරක් අපි.

...දානෙ සලාකෙ මදිව හැදෙන
හම් රෝග බහුල බලූ රැළ
පෙරහැරේ යන උපාසක අම්මලාට
බුරනවා.. ආපහු දුවනවා. පංසල දිහාවට
”නෙද්දකිං කෙලෙහි ගුණ නැති බල්ලො”..

‘වලාකුළු බැම්ම’ අල්තුසරියානු පංති පැවැත්ම සංකේතාත්මකව තහවුරු කරන අපූර්ව නිර්මාණයක්. වෙනත් වචනයකින් කියනවානම්, වලාකුළු බැම්ම නිෂ්පාදන බලවේග හිමි පංතිය විසින් තමන්ගේ පැවැත්ම ගොඩනගාගැනීම සඳහා නිර්මාණය කරගන්නා ලද කථිකාමය බැම්මක්. දෘෂ්ටිවාදාත්මක පරිවාරයක්. 

වෙහෙර වටකොට වැලි මලූවකි
ඒ වටකොට වලාකුළු බැම්මය.

අවටැති කුඹුරු යායේ 
බිම් නැගුම් කල
මඩ නො ඉහෙන්නට
තැනු වලාකුළු බැම්මය

අවට ඇති වෙල් යාය අයිති වෙහෙරට. අස්වැන්නත් වෙහෙරට. එය බැම්මෙන් ඇතුළට එනවා. නමුත් කෙත වපුරන ගොවීන්ගේ සිරුරෙහි තැවරි මඩ ඇතුළට එන්න මේ බැම්ම ඉඩ දෙන්නෙ නෑ. කෙත සරු කරගන්න - ? කලට එන මොනරැුන්, බණ්ඩි ඇට උරා බොන කලාමැදිරියන් කුඩිත්තන්, ලියැදි හැඩි කරන කක්කුට්ටන් ආදීන්ට මැරී වැටෙන්නම කොහොඹ දියර ඉසිනවා. නමුත් එහි බර ඇතුළට එන්ඩ වලාකුළු බැම්ම ඉඩ තියන්නෙ නෑ. බැම්මෙන් පිට සිටින ගැහැනු අනිවරතේ ගැබ් ගන්නවා. ඒ ගැබෙහි බර ඇතුළට දැනෙන්ඩ බැම්ම ඉඩ තියන්නෙ නෑ.
වලාකුළු බැම්මෙහි මධ්‍යකාලීන මුහුණුවර මහාචාර්ය රණවීර ගුණවර්ධනයන් තම ‘සිවුර සහ නගුල’ නම් මහැඟි පර්යේෂණ කෘතිය තුළ මීට කාලයකට පෙර හෙළිදරවු කළා. එහි පශ්චාත් නූතන මුහුණුවර මේ මොහොතේ අපි අත්දකිමින් ඉන්නවා. පව්කාර වටපිටාවක පිංකම් පොළ කරන පිංකමත් ඒකයි.

- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රාවය 2017 නොවැම්බර් 26