Saturday, December 9, 2023

කන්‍යාවන් ලවා කිරි කළ නාවාගත් පාලකයින් සිටි රටක 'රහස් කියන කඳු'



ලෝක සිනමාවේ විශාල සංඛ්‍යාවක් සිනමා ශානරයන් හා උප ශානරායන් සහ අතුරු ශානරයන්ගෙන් විචිත්‍ර වූවකි. එසේ නමුත් නුතන සිංහල සිනමාව බොහෝ විට රැඳි පවතින්නේ ජනප්‍රිය ශානරයන් දෙක තුනක් පදනම් කරගෙනය. ක්‍රියාදාම, හාස්‍ය, ආදර, ඓතිහාසික, භීත වැනි සිනමා ශානර ඒ අතර කිහිපයකි. චින්තක ධර්මදාසගේ ඇවිලෙන සුළුයි වැනි චිත්‍රපට මෑත කාලයේදී එකී ඒකත්වයෙන් ඔබ්බට සිංහල සිනමාව ඔසවා තැබීමට ගත් වෑයමක් වූ අතර එය ලෝක සිනමාවේ අපි අත්වින්ද Mad Max, Death Proof වැනි Road Thriller ශානරය සිංහල සිනමාවට හඳුන්වා දීමට ගත් වෑයමක් විය. ඒ අර්ථයෙන් බැලූ කල ජගත් මනුවර්ණගේ රහස් කියන කඳුසිනමා පටය ද කිසියම් ආකාරයකට පෙර කියූ සිංහල සිනමාවේ සුලභ ඒකමානීය ශානරයන්ගෙන් මෙන්ම ඒකමානීය තේමාවන්ගෙන් තරමක් ඔබ්බට ගිය සිනමා කෘතියකැයි හැඳිනවීම සාවද්‍ය නැත. සැබැවින්ම රහස් කියන කඳු සිනමාපටය Black Comedy / Drama උප ශානරයන්ට අයත් සිනමා කෘතියක් ලෙස හැඳින්වීම වරදක් නැත.

මෙය අඩ සියවසක කාලයක ලාංකීය ඉතිහාසයේ පැවති කැරලි හා සිවිල් යුද්ධ පාදක කරගත් සිනමා කෘතියක් බව සිනමාපටය ආරම්භයේදී සඳහන් කර ඇත. එසේම රහස් කියන කඳු සිනමාපටය ගැන සාකච්ඡා කළ බොහෝ විචාරකයින් ද එය හඳුන්වා දුන්නේ 88/89 වැනි කැරැලි මෙහි මුඛ්‍ය තේමාව බවයි. නමුත් මා දකින හැටියට එම සිදුවීම් සිනමාවේ ඓතිහාසික පසුබිම මිස එහි මුඛ්‍ය තේමාව නොවේ.

කන්‍යාවන් හත් දෙනෙකු ලවා කිරිවලින් නාවගත්තු පාලකයෝ, රනින් කළ අසුන් වල වාඩිවී දෝෂ මැකීමට උත්සාහ කළ පාලකයෝ, සද්දන්ත ඇතුන් මරා දළ අරන් යතුකර්ම කළ පාලකයෝ ගැන අපි අසා, කියවා  ඇත. රහස් කියන කඳු සිනමාපටයේ ඉන්නේත් නට්ටටම කෙලවිච්ච තම රජය ගොඩගන්ඩ තරුණයින් බිලිදෙන එවන් පාලන තන්ත්‍රයකි. වෙනත් වචන වලින් කියනවානම් තරුණ තරුණියන් විස්සක් මරා ඔවුන් ගේ සිරුරු රැගෙන ගොස් කන්දක් උඩ වැළලීමට සූදානම් කර, විසි එක්වැන්නා පණ පිටින් අර සිරුරු විස්ස ඉදිරියට ගෙන ඔහුව කිරෙන් නහවා මරණයට පත් කිරීමත්, පසුව සිරුරු විසි එකම වැළලීම තුළින් රටට ඇතිවී තියෙන දෝෂය මකන්න හැකිය යන මිත්‍යා දෘෂ්ටික විශ්වාසයෙන් යුතුව කටයුතු කරන පෙරකී සැබෑ පාලකයින්ට සමාන වූ ම පරිකල්පනීය රජයක් ය. මෙය පරිකල්පනීය සිදුවීමක් වුවද ලංකාව වගේ රටක සිදුවිය නොහැක්කක් නොවේ.

එකී දුර්දාන්ත පාලනය මේ කෲර ඝාතන ක්‍රියාදාමය පළාත් කිහිපයකම ගෙනයයි. අතුරුදන්වන තරුණ තරුණියන් ගැන සමාජයෙන් එන ප්‍රශ්න කිරීම්වලින් ගැලවීමට එකී බලධාරීන් ගොඩ නගන මතවාදය වන්නේ තරුණයින් අතර උග්‍ර මානසික රෝගයක් බෝවෙමින් ඇති බවත්, එහෙයින් ඔවුන් සිය දිවි නසාගන්නා බවත් ය. මේ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ ද සහාය යොදාගනී. ඝාතනය කිරීමට පෙර ඇතැම් තරුණයින්ට පහර දී තමන් සියදිවි නසාගන්නා බවට වන වීඩියෝ නිර්මාණය කරගනී. මෙය විසාලා මහනුවර වූ අමනුෂ්‍ය උවදුර වන්නක් බවට හිතවත් භික්ෂූන් ලවා කියවාගනී. ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරයි. තවද මේ මර්ධනකාරී රජය මේ ව්‍යාපෘතිය සඳහා මිනිස් සමූලඝාතනයේ මහා සලකුණ වන හිට්ලර්ගේ ස්වස්තිකයට සමාන සලකුණක් නිර්මාණය කරගන්නා අතර, එම සලකුණ සඳහන් ස්ථානයන් වෙත යෑම මිනිසුන්ට තහනම් කරයි. මන්ද යත් එම ස්ථාන ඔවුන්ගේ යට කී ව්‍යාපෘතියේ ඝාතකාගාර වන නිසාය.

ඇතැම් විචාරකයින් කියන පරිදි, රජයේ අරමුණ කැරැලි කරුවන් ඝාතනය කිරීම නම් සිනමාපටය තුළ කථානායක තරුණයා (ජගත් මනුවර්ණ රගන) අනික් තරුණයා හා පැන ගිය පසු, මළ සිරුරු පටවාගෙන ආ කිසිදු දේශපාලනයක් නැති ලොරියේ රියදුරු විසි එක්වැන්නා වෙනුවට මරන්නට යෝජනා කරන්නේ ඇයි? අවසන මේ ව්‍යාපෘතිය පැවරුණු අතුරු හමුදාවේ ම සාමාජිකයා (සම්පත් ජයවීර රගන) මිය ගිය පසු. ඔහු විසිඑක්වැන්නා ලෙස ගණන් කර අදාල මිත්‍යා යාතුකර්මය අවසන් කරන්නේ ඇයි? ඒ අනුව මෙම සිනමා පටයේ මුඛ්‍ය තේමාව යට සඳහන් කළ කාරුණ මිස කැරලි හෝ අරගල පිළිබඳ ඍජුව පැවසීම නොවන බව පැහැදිලි වේ.

ඕනෑම විදිහේ පාලක දෘෂ්ටිවාදී වයපෘතියකට, එකී දෘෂ්ටිවාදයම දැන හෝ නොදැන උසුරුවමින් ඊට සෙත් පතමින් බණ කියන ආගමික සංස්ථාවත්, මෙවන් අතිරණාත්මක භිම සමයක් තුළ පවා සැටලීමක් විකිණීමට වෙහෙස ගන්නා ශික්ෂු චරිතය තුළින්, හාස්‍යයත්, උත්ප්‍රසායත්, ඛේදයත් එකවැර ගෙන ඒමට සිනමාකරුවා සමත් වේ. එසේම  සැටලිම විකුණා දෙන්න කියා ඝාතකයාටම කීම පාලකයාත් ආගමත් අතර ඇති ගණුදෙනුවේ ස්වරූපය මනාව හෙලිකරයි. ජනපප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයකු වන ලක්මාල් ධර්මරත්න මේකී භික්ෂු චරිතයට අපුර්ව ලෙස පණ පොවන බව නොකියා බැරිය.

සිනමාකරුවා කතාව ගැටගැහීමට යොදාගන්නා අනික් වැදගත් සිවිල් චරිතයනම් බෙර කරුවාගේ ය. ඔහු සිහි විකල් වුවේකි. පියෙකි. පෙනී යන විදිහට ඔහුගේ පුතාද අතුරුදන්ව සිටී. තම දරුවා නිවාස තුළ ඇතැයි සිතමින් ඔහු තනිවම කතා කරයි. තම මියගිය බිරිඳට අයත් වූ දෙයක් හෝ තමා හරි හම්බකරන් කන හරකා බාන හෝ විකුණා තම එදිනෙදා සුරා කොටාව පිරිමහගන්නා එක ඔහුගේ ජිවන ක්‍රමයයි. ඝාතක කල්ලිය කන්ද උඩ සිට තරුණයින් වළදැමීම සඳහා රාත්‍රියේ බැකෝ යන්ත්‍ර යොදා වළවල් හාරති. කඳු බඳේ ජිවත්වන ඔහු ඈතින් පෙනෙන එම බැකෝ එළි දකින්නේ කාලෙකින් කන්දට වැඩපු දේවතා එළිලෙසයි. ඔහු බෙරේ ගසා (ඇතැම් විට තම පුතාව ද මිහිදන් කරමින් සිටින) ඝාතකයින්ගේ වාහන ලාම්පු එළි හෙවත් ඔහු දකින දේවතා එළිවලටසාදුකාර දෙයි!

මේ සිහිවිකල මිනිසා වනාහි නුතන ලාංකික පුරවැසියාගේ සංකේතීය නියෝජනය නොවේද? යට දැක්වූ සියලු චරිත ලක්ෂණ මිත්‍යාදෘෂ්ටික හා අදේශපාලනික නූතන පුරවැසියාගේ සැබෑ ලක්ෂණයන්ට ජීවමාන උදාහරණ නොවේද? ඔහුගේ අතට බෙරයකුත් ලබාදී තිබීම තවදුරටත් උත්ප්‍රසය තීව්‍ර කරයි. පාලක මිත්‍යාමතිකයන් හා දෘෂ්ටිවාදයන් කොතරම් තදින් වැළඳ ගන්නවාද යන්න පමණක් නොව ඒවා ප්‍රචාරය කිරීමේද ලාංකික පුරවැසියාගේ පිළිවෙත ඉන් ඉඟි නොවේද?

රහස් කියන කඳු සිනමා කෘතියේ සිනමා රූප විශිෂ්ටයි. සංගීතයත්. සරත් කොතලාවල, ජගත් මනුවර්ණ ඇතුලු සියලු නලු නිලියන්ගේ රංගනයත් එසේම ය. එසේ නමුදු තේමාත්මකව වෙනස් වුවත්, මේ කෘතියේ ඝාතකාගාරය සහ මිත්‍යාදෘෂ්ටික යාතුකර්ම (Rituals) තුළ The Silence of the Lambs හෝ The Human Centipede වැනි සිනමා පටයක ඇති භීතිය ගෙන එන්නට සිනමාකරුවා සමත් වූවානම් අපුරුය. තරුණ තරුණියන් විස්සක් ඝාතනය කිරීමත් පණපිටින් ගෙනගොස් තවත් කෙනෙක් අවසන මැරීමත් යන්න නිකම්ම නිකම් කවියක පේලි දෙක තුනකින් නොකියා මීට වඩා ප්‍රබල ලෙස කුළුගන්වන්න තිබුනානම් තවත් අපූරුය.

සිනමා කෘතිය තුළ කතාවේ මූලික තේමාව ඉස්මතු වෙනවා මදි බවක් පෙනේ. ඇතැම් විට ඒ රහස් කියන කඳු අඩු වියදම් සිනමා පටයක් වීම නිසා ද විය හැකිය. එසේ නමුත් සැටලීමේ කතාව, කාන්තාවක විසින් කතානායකයා බේරාගෙන ඔහුව නෑවීම ආදී කතාවේ මුලික තේමාව කුළුගැන්වීමට එතරම් ඉවහල් නොවන සිදුවීම් ඉවත්කර හෝ තවදුරටත් නිර්මාණාත්මකව සංස්කරණය කර අදාළ ඉඩ හදාගන්නට නිර්මාණකරුවාට අවකාශ තිබුණි.

සිනමාපටයක් තුළ ඇවැසිනම් අධ්‍යක්ෂවරයකුට ඉතා නිර්මානාත්මකව ද භාවිත කළ හැකි අසැබි වදන් අතිශය ගහණ කිරීමෙන් සිනමාකරුවා රහස් කියන කඳු සිනමාපටයට ගන්නට වෑයම් කළ අලංකාරය ද, තේමාව කුළුගැන්වීමට වැඩි අවධානය දුන්නෙනම් ලැබී ඇති සීමාකම් සහිත අවකාශයේ වුවද නිර්මාණකරුවට වෙනත් ලෙසකින් සපුරාගත හැකිව තිබුණි.

සිනමාවේ භාෂාව රූපයයියන්න ඕනාවට වඩා පැරණි නිර්වචනයකි. වැඩිමනක් නිහඬ රූප යොදාගනිමින් ප්‍රබල ලෙස හැඟීම් නිරූපණය කිරීම ඇතැම් නූතන සිනමාපටයක පවා විශේෂ උපක්‍රමයක් විය නොහැකි බව ඉන් හැඟවෙන්නේ නැත. නමුත් මේ සිනමාපටයේ තේමාව මීට වඩා දෙබස් අයැද සිටින බව පෙනේ. විශේෂයෙන් නාමල් ජයසිංහ වැනි අති ප්‍රබල වේදිකා නාට්‍ය රචකයකු මෙහි තිර පිටේ සම රචයකුද වී තිබීම තුළ එසේ වීම තවදුරටත් කණගාටුවකි. කෙසේවෙත් රහස් කියන කඳු වැනි වෙනස් සිනමා පටියක් සිංහල සිනමාවට එකතු කිරීම ගැන අධ්‍යක්ෂ වරයා ඇතුලු සියලු එහි පාර්ශ්වකරුවන්ට අපි ස්තුතිවන්ත විය යුතුම ය.

 
✍️  ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
     'අනිද්දා' පුවත්පත (2023.12.03)




Wednesday, December 6, 2023

සියක් ගැහැනු වෙති මා පෙම් කරන ( A hundred women I adore ~ Rasul Gamzatov)


සියක් ගැහැනු වෙත් මා පෙම් කරන

හැමතැනකම, ඔව් සැම විටකම සිටිති ඔවුහු.

පිබිදෙම් - නිදා වැටෙනෙම්, සිහිසුන් වෙම් - යළිත් නැගිටිම්

එනමුදු මැකිය නොහැකිමය ස්මරණ උන් ගැන.


මතකයි බොහෝ කලකට පෙර,

පාවහනකුදු නොපැළඳි ගම්බද කොල්ලෙක් 

වසත් කල එළඹිවිට මුණගැසුණුහැටි

කිසිදා මා මතකයෙන් නොමැකෙන

කුලුඳුලේ මහද මුසපත් කරපු ඒ කෙල්ල.


දිය ඌල මත නැවී හෙමි හෙමින් දියදෝන 

තම අතැ‘ති බඳුනට ද වඩ වඩා නූස් ලෙස

ඈත සිට පෙණුනාය ඈ මට.

ඈ දෙදණ හෙවූ දිය සිහිලස් ය මම දතිමි.

සිහිලස්ද? නැත!

දවා ඇත ඈ මා ගින්නෙන්

උපහාසයක් සැඟවුණ, ඒ ක්ෂණික බැල්මෙන්. 

මම ඇයට තවමමත් පෙම් කරමි.


පරෙවි අළු පැහැගත්තු කැස්පියන් වෙරළ මත 

ඉබාගාතේ ගියෙමි පසු දිනෙක

පෙම් කරපු තවත් කෙල්ලක නිසා

එනමුදු කෝල විය තට්ටුකරනට ඈ දොරට

සැරිසැරීමි එහෙයින් ඒ නිවස වටා මම්.

ඈ දිවි ගෙවූ දෙවන මහලේ

ජනෙල් මත වතුල ඈ සෙවණැල්ල දැකුමට

නැගිමි උස් වූ මේපල් තුරකට. 

තවමත්ම පෙම්කරමි මම ඒ තරුණ කෙල්ලට.



එක මැදිරියක හිඳ මොස්කව් බලා යා වුන

තව ගැහැනු ළමයෙකි, දුම්රියේ මුණගැහුණ

ආයෙමත් දකින්නට නිරන්තර හිත කියන.


ඉතිං තුති නොවී කොහොමද මුදල් අයකැමිට මම

ඈ වෙත මා අසල අසුනක් ම වෙන් කළ

ඇස් බැලුම් දල්වමින් එකිනෙකා දෙස ද

විසල් වූ භූ දැකුමන් ද විඳගමින් යන්නට!

තබා ඈ දෙපා මුල මගේ මුළු ජීවිතය

සත්තමයි, සිටියා මම ඈ සමග යන්නට.


මම තවම පෙම් කරන නපුරු කෙල්ලක් සිටියි

හැම විමට පරස්පර දේ කියයි

හැම විටම කෝපයෙන් රත් ගැහෙයි

ඔව්, ඈ මගේ කවි පවා ඉරා දැම්මා.

මම ඇයට තවමමත් පෙම් කරමි.


මා පෙම් කරන තවත් කෙල්ලක් සිටියි 

ප්‍රීතිමත් දිලිසෙන දෑස් දල්වා

සියක් වතාවක් හෝ නැතිනම් ඊටත් වැඩියෙන්

අහසක් උසට වර්ණනා කළා ඈ 

මා ලියූ කවි.


ඊර්ශ්‍යාසහගත කෙල්ලකට මම පෙම් කරන්නෙමි,

සරල ගැහැනු ළමයෙක්ටත් මම පෙම් කරන්නෙමි,

කෝලවන්තියකටත් මම පෙම් කරන්නෙමි,

සංවේදී කෙල්ලකට මම පෙම් කරන්නෙමි,

විමසුම්වන්තියකටත් මම පෙම් කරන්නෙමි,

ලෙන්ගතු කෙල්ලකට,

ඒ වගේම ප්‍රීතිමත් යුවතියකට,

මුරණ්ඩු කෙල්ලකටත් මම පෙම් කරන්නෙමි.


හැම ගමකම, හැම නගරයකම

මම ආදරේ කරන ගෑනු ළමයෙක් ඉන්නවා.


මම ගැහැනු සීයක්ට ආදරෙයි ඔව් ඇත්ත, 

නමුත් ඒ හැම කෙනෙක්ම ඔබ!

Translated by: Prasad Nirosha Bandara



* Painting : Frank Bernard Dicksee (Romeo and Juliet)

Saturday, November 18, 2023

දර්මපුරම් - රසික තල බිඳ දමන නවකතාවක්


ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරගේ සම්මානිත නවකතාවක් වන 'ප්‍රේමානිශංස' ගොඩ නැගෙන්නේ, ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ සුවිශේෂි කලා සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියන ප්‍රභූ පවුලක් වන ආනන්ද කුමාරස්වාමි ද අයත් වූ පවුලේ මිනිපිරියක් වන තරුණියක වටාය. ප්‍රවීණ ලේඛිකා මනෝරි සිලිකා වික්‍රමආරච්චිගේ 'දර්මපුරම්' කතාවේ කතා නායිකාව වන ‘සෙන්නි’ගේ චරිතය ද කතාව අවසානය දක්වා නොවිසඳුණු සෙන්නිගේ ද්‍රවිඩ ජාතික පියා මෙන්ම ඇගේ සැබෑ මව ද කේන්ද්‍ර කරගනිම්න් ගොඩ නැගී තිබේ. පරම්පරා කිහිපයකට පෙර රේන්ද ව්‍යාපාරය ආදී කුප්‍රකට ව්‍යාපාර තුළින් නැගී ආ වාණිජ - නමුත් කුලීන නොවූ පහත රට පරපුරක තරුණයෙකුත් අර කී කුලින, දෙමළ සම්භවයක් ඇති තරුණියත් අතර ඇති වෙන ප්‍රේම වෘත්තාන්තයත් මගින් සමාජ පන්ති පිළිබඳ විශාල විග්‍රහයක් ප්‍රේමානිශංස නවකතාවෙන් ගෙනේ. දර්මපුරම් නවකතාවේ කතා නායිකාව වන සෙන්නි නම් හිතුවක්කාර ස්වරූපයේ තරුණියගේ මව ද කුලීන, ඉඩම් හිමි, උගත් සහ වැදගත් පරපුරක තරුණියක් වන අතර අනෙක් අතට ද්‍රවිඩ ජාතික පියා ඊට වඩා වෙනස් කෙනෙක් බව කතා අවසානයේ හෙළිවේ. ඒ අනුව දර්මපුරම් මගින්ද අති විශාල සමාජ දේශපාලනික විමසුමක් දිග හැරේ. ඒ අර කියූ ආකාරයේ කුලය පදනම් වූ පන්තිය ගැනට වඩා විවිධ කුප්‍රකට ජාවාරම්, පාවාදීම් හා භීෂණයන් මගින් තම බලය ගොඩනගාගැනීමට හා රැකරැකගැනීමට එකි නෙකා සූක්ෂ්මව භාවිත කරන දේශපාලන හා ව්‍යාපාරික පන්තිය ගැන ය.

දර්මපුරම් නවකතාවේ කතා නායිකාව ‘සෙන්නි’ ලෙස කීවද සැබැවින්ම මේ කතාවේ කතා නායිකාවන් දෙදෙනෙක් ඇතැ’යි කීම සාවද්‍ය නැත. එනම් ගැටවර වියේ සිට තරුණ විය දක්වා ගලා යන සෙන්නිගේ චරිතය සහ කතාවේ අවසානය තෙක්ම ඇගේ පුංචි අම්මා ලෙස හඳුනාගැනෙන ‘නේරංජනා’ නම් කාන්තාවගේ චරිතයයි. නේරංජනා බොහෝ විට විග්‍රහවන්නේ සෙන්නිගේ දෘෂ්ටිය හරහා ය. නමුත් ගැඹුරින් විමසා බැලීමේදී දර්මපුරම් නවකතාවේ වඩාත් කැපී පෙනෙන කාන්තා චරිතය නේරංජනා වන බව පෙනේ. කතාවේ සංකීර්ණම චරිතය ද නේරංජනා ය.

එසේම කතාවේ චරිත හා සිදුවීමුත් සෙන්නිගේ සිතිවිලි ඔස්සේත් හුයක් සේ ගැටගැසී ඇති තවත් ප්‍රධාන චරිතයක් ඇත. එනම් කතාව අවසානය තෙක් හෙලිදරව් නොවන, මුහුණක් නොමැති චරිතය වන ‘චේ’ හෙවත් ‘චේදරම්’ය. කතාවේ මුල් අඩ බොහෝ විට සෙන්නිගේ ළමා වියේ හා තරුණ වියේ සිතිවිලි ඔස්සේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ගොඩ නැගේ. අවසන් කොටසේ විටින් විට නේරංජනාගේ දෘෂ්ටිකෝණයට ද මාරු වේ. ඒ ඈ විසින් ලියන ලද දින පොතක් හරහා ය. කතාවේ ඇතැම් තැන් ප්‍රථම පුරුෂයෙන් තැබීමට ලේඛිකාව පියවර ගනී. ඒ අනුව දර්මපුරම් නවකතාව තුළ දෘෂ්ටිකෝණය සම්බන්ධයෙන් ලේඛිකාව ඉතා වැදගත් තාක්ෂණික අත්හදාබැලීම් රාශියක් සාර්ථකව සිදුකරන බව පෙනේ. 

කතාව ආරම්භ වන්නේ චේ නම් මෙම පුද්ගලයාගේ පෟරාණික නිවස මෙන් ම ඒ තුළ ඇති, ඇත් දළ, පිළිම, මූර්ති, කැටයම්, සිතුවම්, බඳුන් වැනි විවිධ පුරාවිද්‍යාත්මක හා කලාත්මක කෘතීන් වර්ණනා කරමිනි. ඒ අනුව මුල් පරිච්ඡේදය කියවද්දී චේ යනු එවන් කලාගාරයක් වැනි නිවසක් අරා සිටි මහා කලාකාමී මුණිවරයකු වනු ඇතැයි හැඟේ. එනම් ප්‍රේමානිශංස නවකතා අවකාශය තුළ සිටින අර කුමාරස්වාමි පවුලේ ජනකාන්ත උගත් මිනිසකු සේ ම පාඨකයාට හැඟී යයි. නමුත් චේ යනු කවරෙක්දැ’යි හෙළිදරව් වෙන්නේ කතාවේ අවසාන පරිච්ඡේද දෙක තුන වන තුරු පාඨකයාට ඉවසා සිටීමට සිදු වේ. කතාව ගැටගසන ප්‍රධානතම හුයද එයයි.

චේ හෙවත් චේදරම් නම් කුප්‍රකට පුරා වස්තු එකතු කරන්නා ගේ රැවවටීමට ලක්වූ නේරංජනානම් නව යොවුන් දැරිවිය ගැබ් ගැනීමත්. ඉන් ඒ හේතුවෙන් ඇගේ දෙමව්පිය දෙදෙනා මියයයෑමත්, පසුව චේ තම අනියම් බිරිඳවන නේරන්ජනා තම දේශපාලනික සම්බන්ධතා වෙනුවෙන් හිතවත් ඇමතිවරුන්ට දූෂණය කරන්නට ඉඩ දීමත්, පසුව නේරංජනා තම දියණියත් තම නිවසේ වූ ‘මාතම්මා’ නම් සේවිකාවත් සමග පලාගොස් තම පියාට අයත් වූ දෝතලු වත්ත නම් ග්‍රාමීය ඉඩමක වූ නිවසක නිර්ණාමිකව වෙසීමත්, දියණිය වන සෙන්නි ඉතා කුතුහලයෙන් යුතුව සිට අවසන සියලු සත්‍ය සොයාගැනීම හා පසුව ඇයද ගෙළ වැළලාගෙන මිය යාමත් වටාමේ කතාව දිවේ. මා ඒ කීවේ කතාවේ කාලාවකාශී පිළිවෙළට වුවත් නවකතාව තුළ එය දිගහැරෙන්නේ ඊට වඩා වෙනස්ම ආකාරයකට කාලාවකාශ පිළිවෙළ සම්මිශ්‍රණය කරමින් ඉතා නිර්මාණාත්මකව ය. 

සෙන්නිගේ සැබෑ පියා කවුද? සෙන්නිගේ සැබෑ මව කවුද? චේ යනු කවරෙක්ද ආදී කුහුල කථාරම්භයේ සිට අවසානය තෙක් පාඨකයා එක සේ බැඳ තබාගන්නට සමත් වේ. මේ කෘතියේ  තවත් සුවිශේෂීත්වයක් වන්නේ එකී සැඟවුණු කාරණා මගින් කතා වස්තුවේ කුහුල ආරක්ෂා කරනවා සේම ඉදිරියට වෙන්නට යන දේ කළින්ම කීමේ උපක්‍රමය (foreshadow) ද එක සේ නිර්මාණාත්මකව භාවිත වීමයි. 

කතාවට පසුබිම් වන ඓතිහාසික කාල පරාසය ඉතා අතීරණාත්මක එකකි. එනම් රාජ්‍ය භීෂණය, දෙමළ ජාතිකයින්ට එරෙහි අපරාධ, එමෙන්ම දකුණේ තරුණයින් දෙවැනිවරට ඇති කළ කැරැල්ල ආදිය සහිත දශක දෙක කිහියපයක් සහිත  අතීරණාත්මක යුගයයි. එසේම ඒ සියලු කාරණා මේ කතාව හා ඍජුව ගැටගැසේ. එවන් අතීරණාත්මක යුගයක් තුළ විය නොහැකි දෙයක් නොමැති වේ. එනිසා අනවශ්‍ය පරිදි යථාර්වාදීව නවකතාවට එළඹෙන පාඨකයෙක්ට ඇතැම්විට එකවැර පිළිගන්න අමාරු ස්වරූපයේ ඇතැම් සිදුවීම් වලට මෙකී අතීරණාත්මක කාලය අර්ථ සපයයි. 

Willing suspension of disbelief යනු ප්‍රකට කවියෙකු සහ සෞන්දර්ය වේදියකු වූ එස්.ටී.කොල්රිජ් (Samuel Taylor Coleridge) යම් කිසි ආඛ්‍යානයක ඇති අවිනිශ්චිතභාවය, හා රසිකයා ඒ වෙත එළඹිය යුතු ආකාරය පිළිබඳ ගෙනා ප්‍රකට සංකල්පයකි. ඉන්  කියවුනේ ‘විශ්වාස කළ නොහැකි බව’ නම් පූර්ව විනිශ්චය රසිකයා යම් කෘතියට ප්‍රවේශ වීමේදී අත්හිටුවිය යුතුය යන්නයි. සරල උදාහරණයක් කියනවානම් හින්දි සිනමා කෘතියක් නරඹන්නට වාඩිවන ප්‍රේක්ෂකයා ඒ තුළ ඇති ගීත කොටස් වලදී එක් ගසක සිට තවත් ගසක් ළඟට නර්තනයේ යෙදෙමින් නලු නිළියන්ගේ ඇඳුම වෙනස් වීම විය නොහැක්කක් ලෙස පූර්ව විනිශ්චයක සිටිය යුතු නොවේ. මන්ද යත් එසේ වුවහොත් ඒ සිනමා කෘතිය ඔහුට විඳින්නට සිදු වන්නේ නැතිය. එහෙයින් කලා කෘතියක යථාර්ථය වනාහි බාහිර ලොව තියෙන දෙයකට වඩා අදාල කලා කෘතිය තුළ ම තිබෙන දෙයකි. 

දර්මපුරම් හි නේරංජනා චේ ගෙන් පැන යන්නේ තම දරුවා පමණක් රැගෙන නොවේ. ඇය චේගේ විවාහ බිරිඳගේ දරුවා ද තමාව දූෂණය කළ මැති ඇමතිවරුන්ගේ දරුවන් ද රැගෙනය. එය රටේ විශාලතම ළමා මංකොල්ලය ලෙස කියැවේ. තම නිවසේ මෙහෙකාරිය තම මව ලෙසද, චේගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති හා තමාගේත් චේගේත් දියණිය වන සෙන්නි පිට රට ගිය තම වැඩිමහලු සහෝදරියගේ නිවුන් දියණියන් ලෙසද ආදී ඉතා විශාල කතාවක් ගොඩනවමිනි. එසේම සෙසු දරුවන් ළමා නිවසක් සදා ඇය අප්‍රකටව හා නිරුපද්‍රිතව දශකයක් ඉක්මවා ජීවත් වේ. මෙය නවකතාවේ යථාර්ථයට නොඑළඹී බාහිර යථාර්ථය සමග නවකතාව කියවන්නෙකුට විය නොහැක්කක් ලෙද පෙනීයා හැකිය. නමුත්  කොල්රිජ් කීවා සේ එය බාහිර යථාර්ථයට වඩා නවකතාකාරිය නිර්මාණය කරන කතාවේ යථාර්ථය තුළ ඉතා පහසුවෙන් අර්ථ ගැන්වෙන්නකි. එසේම පෙර කියූ අතීරණාත්මක හා අරාජික දේශපාලනික වටපිටාව තුළ එය බහිරයථාර්ථය සමගද කිසියම් අයුරකින් ඇවැසිමනම් ගැටගසාගන්නට යම් අයෙකුට හැකියාව තිබේ. ලේඛිකාව පාඨකයාව කතාව තුළට ප්‍රවේශ කරන්නේ ම දෝතලු ඉඩමේ තලමල පිපීමේ සුබ අසුබ විශ්වාසයකින් ලකුණකින් ලකුණක් සමගය. එසේම සෙන්නිගේ ඇතැම් අධියථාර්ථවාදී සිතුවිලි ධාරාවන්, සහ චර්යාවන් (සියඹලා ගසකට සහ ගල් පර්වතයකට පණ ඇතැයි සලකා ප්‍රතිචාර දැක්වීම වැනි) ඔස්සේය ක්‍රමයෙන් ඉදිරියට ගෙන එන්නේ පාඨකයාට නවකතාවේ ම යථාර්ථයකට එළඹීමට ආරාධනා කරමිනි.  

දර්ම පුරම් කතාව අවසානය වන විට එකම ඉරණමක් තුළ නේරංජනා සහ සෙන්නි යන අදීන ගැහැනුන් දෙදෙනාගේ ම ඉරණම එකම විදිහට ගැටගැහේ. ඒ ඔවුන් දෙදෙනාටම ගෙළ වැළලා මියයෑමට සැලැස්වීමයි. එසේම නේරංජනා විසින් සාදාගනු ලැබූ චේදරන්ගේ සහ ඔහුගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති ද උත්ප්‍රාසාත්මක ඛේදාන්තයකට ගොදුරු වේ. එනම් තම පියා වන චේරන් ඇතුලු කණ්ඩායම අතින් දූෂණය වීමයි. කතාව තුළ ලේඛිකාව සමාජයේ බොහෝ තැන් වලට සියුම්ව පරහ දේ. තම පැවැත්මත් තමා විසින් කරන ලද අපරාධ නිසා ඇතිවන පශ්චාත්තාපයෙන් ගැලවීමටත්, ඇතැම්විය සමාජය නොමග යැවීමටත් දේවාල වල පිහිට පැතීමයි. අනික් අතට එසේම තම ජීවන මාර්ගය සඳහා මිනිසුන් දේවාල පැවැත්වීමමින් මුසා දෙසමින් දිනෙන් දින දියුණු වන දේවාලත්, අනවශ්‍ය පරිදි දේශපාලනයට ළංවීම නිසාම නිසා අවසානයේ ඒවා විනාශයට යෑමත් ය.  

මනොරි සිලිකා වනාහි ජනප්‍රිය තලයේ නවකතා ලිවීම සඳහා වැඩිමනක් ප්‍රසිද්ධව ඇති ලේඛිකාවකි. එසේ නමුත් ඈ සතු ව්‍යුත්පත්තියත් ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් ඈව ජනප්‍රිය කෘති බිහිකිරීමෙන් ඔබ්බටද ගෙන යන බව දර්මපුරම් සාක්ෂි සපයයි. ජනප්‍රිය තලයේ කතා ලිවීම සරල දෙයකැ’යි ඉන් අදහස් නොවේ. ඒවා ලිවීම වෙනම වැඩකි. කතුවරිය ජනප්‍රිය තලයේ කෘති ලිවීමට වඩාත් ප්‍රකටව ඇති නිසාම ඇගේ මෙවන් නවකතා සමාජයේ කතා බහට ලක් නොවීමටද ඉඩ ඇති බවයි. තවත් පැහැදිලිව කියනවානම් මේ ජනප්‍රිය විධග්ද බේදය නිසා අහම්බෙන් මුණ ගැසුනොත් හැර විධග්ධයැ’යි කියාගන්නා විචාරකයින්ගේ දෑස්වලට දර්මපුරම් වැනි අපූරු නවකතාවක් මුණ නොගැසෙන්න ඇති ඉඩ වැඩි බවයි. සැබැවින්ම දර්මපුරම් වනාහි සරල රසික තල බිඳ දමන අපූර්ව නවකතාවකි.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ( 2023.11.19 අනිද්දා පුවත්පත)

Monday, October 23, 2023

ප්ලේටෝනියානු හා ඇරිස්ටෝටලියානු සෞන්දර්ය විද්‍යාව - තුළනාත්මක අධ්‍යනයක් (පළමු කොටස)


බටහිර සෞන්දර්යය ඉතිහාසයේ පමණක් නොව, බටහිර ශිෂ්ටාචාරයේ සම්භාව්‍ය යුගය ද ග්‍රිීසිය පදනම්කොට ගොඩනැඟී ඇතැ’යි කීම සාවද්‍ය නැත. මිසරයෙන් හා මෙසපොතේමියාවෙන් උකහාගත් සභ්‍යත්වය ග්‍රීකයින් අත විශ්මයසහගත ලෙස පරිපූර්ණත්වයට පත්වූ අයුරුිබර්ට්‍රන් රසල්’ පඬිවරයා තම බටහිර දර්ශන ඉතිහාසය නම් මහැඟි කෘතියේ මෙසේ පෙන්වා දෙයි.

“සමස්ත ඉතිහාසයෙහි, ග්‍රීසියේ සභ්‍යත්වයේ හදිසි නැඟීම තරම් මවිතකර හා හේතු ප්‍රත්‍ය දැක්විය නොහැකි කිසිවක් නොමැත. සභ්‍යත්වය ඇතිකරවන දැයින් වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් අවුරුදු දහස් ගණනක් මිසරයෙහි ද මෙසපොටේමියාවෙහි ද පැවතී එම ප්‍රදේශවලින් අසල්වාසී ප්‍රදේශවලට ව්‍යාප්ත වී ගොස් තිබුණේය. එහෙත් යම් යම් අංග ග්‍රීකයින් විසින් සපයා සම්පූර්ණ කරන තෙක් ඌනව පැවැත්තේය. කලාව හා සාහිත්‍යය අතින් ඔවුන් ඉෂ්ඨකරගත් දෑ සැමදෙනාම හොඳින් දනිති. එහෙත් හුදු බුද්ධිමය ක්ෂේ්‍රත්‍රයන්හි ඔවුන් කළ දෑ වඩා විශිෂ්ඨය. ඔවුහු ගණිතය විද්‍යාව හා දර්ශනය ද නිපදවූහ. හුදු පුරාවෘත්ත නොව, ඉතිහාසය පළමුවෙන් ලිවූහ. උරුමයෙන් ආ කිසි සාරධර්මිකත්වයකට නොබැඳී ලෝකයේ ස්වභාවය හා ජීවිතයේ පරමාර්ථ ගැන ඔවුහු නිදහස් ලෙස විමර්ශනය කළහ. සිදුවූ දැය කොතරම් මවිතකරද යත් ඉතාම මෑතක් වන තුරු ග්‍රීක බුද්ධි ප්‍රභාව ගැන කට අයා සිටීමට හා  අභිරහස් ලෙස කතා කිරීමට පමණක් මිනිස්සු පොරොන්දු වී සිටියහ.”

ග්‍රීක අර්ධද්වීපයේ බිහිවූ ග්‍රීක ශිෂ්ටාචාරය ඒජියන් දූපත්වලත් ඇනටෝලියාවේ වෙරළ දිගේත් කලු මුහුදු වෙරළ දිගේත් සිසිලියේ සහ දකුණුදිග ඉතාලියේත්, ප්‍රංශයේ දකුණු වෙරළේත් ස්පාඥය දක්වාත් විහිදී ගියේය. සැලකිය හැකි මට්ටමේ පෞර රාජ්‍ය ගණනාවකින් යුක්ත වූ ග්‍රීසියේ ඒ ඒ පෞර රාජය සඳහා තමන්ටම අනන්‍ය ආණ්ඩුක්‍රමයන් පැවතුණි. එසේම මේ කුඩා පෞර රාජ්‍යන් අතර නිතර නිතර ගැටුම් පැවති අතර, ඊට අමතරව බාහිර රාජ්‍යයන් සමගද ගැටුම් ඇතිවිය. මෙම ගැටුම් ද ග්‍රීක දේශපාලනික සංස්කෘතික හැඩරුව සැකසීමේලා මූලික සාධකයක් විය. 

පැරණි ග්‍රීසිය

මෙවන් පසුබිමක් තුළ ග්‍රීක සම්භාව්‍ය යුගය හෙළි කරන්නට, පිළිවෙළින් හිරු තුනක් පෑයුවේය. ඒ සොක්‍රටීස්, ප්ලේටෝ, සහ ඇරිස්ටෝටල්නම් දාර්ශනිකයින්ය. මේ ලිපියේ මූලික පදනම වන්නේ ඉන් ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ සෞන්දර්යය න්‍යාය ගැන හෙවත් ඇරිස්ටෝටල් තම “කාව්‍යශාස්ත්‍රය” (Poetics) නම් සුප්‍රකට ග්‍රන්ථය ලීවේ කලාවට එරෙහිව ප්ලේටෝ ගොඩනැගූ තර්කයන්ට පිළිතුරක් ලෙසදැ’යි තුලනාත්මකව විමසා බැලීමටයි. 

ප්ලේටෝ තමාගේ සුහද මිත්‍රයෙක් බව ඇරිස්ටෝටල් කියයි. “නමුත් තමා සත්‍යය’ සමග ඊටත් වඩා මිතුරුබව” ඔහු තවදුරටත් පෙන්වාදෙයි. මේ අනුව බලන කල ඇරිස්ටෝටල් මතවාදීව ප්ලේටෝට ප්‍රතිවිරුද්ධ බව ද ඔහුගේ අදහස් මූලිකව ප්ලේටෝගේ අදහස් සමග ගැටෙන බව ද අපට මූලික වශයෙන් අනුමාන කළ හැක. එකී කාරණය තවදුරටත් විමර්ශනය කිරීම ප්ලේටෝ, ඇරිස්ටෝටල් හා කාව්‍ය ශාස්ත්‍රය යන මූලික කරුණු පිළිබඳ දල අදහසක් ද තිබිය යුතු වේ.


ප්ලේටෝ



සම්භාව්‍ය ග්‍රීක යුගයේ විසූ මහා දාර්ශනිකයින් තිදෙනාගෙන් දෙවැන්නා වූ ප්ලේටෝ ඉන් පළමුවැන්නා වූ සොක්‍රටීස්ගේ ශිෂ්‍යයාත්, තෙවැන්නා වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයාත් විය. ඇතන්ස්හි පාරම්පරික රදල පවුලකට අයත්වූ ඔහු සැලකිය යුතු ධනයක් හිමිකරගෙන සිටි අයෙක්ද විය. ප්ලේටෝ ජීවත් වූ කාල පරාසය පිළිබඳ විද්වතුන් තුළ එකඟතාවක් නැති අතර, ඔහුගේ උපත ක්‍රිස්තු පූර්ව 429/427 කාලය තුළ සිදුව ඇති බවත්, මරණය ක්‍රිස්තු පූර්ව 348/347 කාලය තුළ සිදුව ඇති බවත් කියැවේ.

    සොක්‍රටීස් මෙන්ම ප්ලේටෝද තම දර්ශනය බොහෝවිටිවිතණ්ඩවාදීන්ගේ’ (Sophists) අදහස්වලට එරෙහිව මෙහෙයවීය. “සත්‍ය” කියා දෙයක් ලොව නොමැති බව විතණ්ඩවාදීහු කීය. ඔවුන්ට අනුව තමා සිතන දේ තමන්ට සත්‍යයක් වන අතර, වඩා වැදගත් වන්නේ තමන් සිතන දේ අන් අය තුළ තහවුරු කිරීමේ ක්‍රමවේදයයි. නමුත් ප්ලේටෝ කීවේ පොදු සත්‍යයක් පිළිබඳ මිස එකිනෙකාට අදාල එකක් නොවේ. ප්ලේටෝට අනුව ශරීරය හා ඒ ආශ්‍රිත හැඟීම් එකී පොදු සත්‍ය වටහාගැනීමට බාධාවන් වන අතර, එය වටහාගත හැක්කේ “බුද්ධියට” මුල්තැන දීමෙන් පමණකි.

ප්ලේටෝ දාර්ශනිකයකු පමණක් නොව සියුම් කවිත්වයක් හිමි කලාකරුවෙක්ද විය. කවිය, එසේත් නැතිනම් කලාව පිළිබඳ (පසුවට සාකච්ඡා කිරීමට නියමිත) ඔහු හෙලූ දෘෂ්ටිය කවරාකාර වුවද, ඔහු සතු සියුම් කවිත්වය ඔහුගේ කෘතිවලින් පෙනෙන බව විචාරක මතයයි. එසේම ඔහුගේ පූර්වකාලීනයා වූ සොක්‍රටීස් කිසිවක් නොලියූ අතර, සොක්‍රටීස් පිළිබඳව ලෝකයට තතු දත හැක්කේද ප්ලේටෝ විසින් ලියන ලද සෑහෙන තරමක් වන සංවාද හා සෙසු ග්‍රන්ථයන් තුළිනි. මේවා බොහෝවිට ප්ලේටෝ නිර්මාණය කළ අධ්‍යාපන ආයතනය වූ ඇකඩමිය තුළ ඉගැන්වීමේදී භාවිත වූ අතර, ඒ නිසාම ඒවා අද දක්වා ආරක්ෂාවී පැවතිණි.

ප්ලේටෝගේ සමස්ත චින්තනයම වෙනස් කිරීමට තදින්ම බලපෑ මූලික සාධකයක් වූයේ සොක්‍රටීස්ගේ (ක්‍රි.පූ 470-399) මරණ දඬුවමයි. වස (අත්තන යුෂ) පානය කිරීමට සොක්‍රටීස්ට සිදුවන කාලය වන විට ප්ලේටෝ ඔහු යටතේ කාලයක් තිස්සේ අධ්‍යාපනය හදාරමින් හිටි සමීප ශිෂ්‍යයකු විය. තම ගුරුවරයා මෙන්ම ඇතන්ස් නගරයේ ශ්‍රේෂ්ඨතම පුරවැසියා, ඇතන්ස් පාලනය විසින් මේ අයුරින් මරණයට පත් කිරීම ප්ලේටෝට ඉතා සංවේදනාත්මක කාරණයක් විය. ඒ අනුවිපවතින සමාජය හා පරමාදර්ශී සමාජය අතර වෙනස පෙන්නන’ ඉතාම තීරණාත්මක තැනක් ලෙස සොක්‍රටීස්ව මරණයට පත්කිරීම ප්ලේටෝ දුටුවේය. එම මරණය මෙන්ම, සොක්‍රටීස්ගේ අදහස් ප්ලේටෝනියානු සමස්ත දාර්ශනය සැකසීම කෙරේ තදින් බලපානු ලැබුවේය.

සොක්‍රටීස්ගේ මරණයෙන් පසු එක් අතකට ප්ලේටෝට ඇතන්ස් නගරය එපා විය. අනෙක් අතට, ප්ලේටෝ වැනි සොක්‍රටීස්ගේ සමීප හිතවතුන් වෙත ද යම් යම් තර්ජන එල්ලවන්නට වූ බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. මේනයින් ප්ලේටෝ ඇතැන්ස් නුවර හැර ගිය අතර නැවත ඇතන්සයට පැමිණියේ වසර දහයක් පමණ ගෙවී ගිය පසුව ය. 

ප්ලේටෝ විසින් ලියන ලද දාර්ශනික සංවාද විසි නවයක් පමණ අදට ඉතිරිව ඇති අතර ඊට අමතරව ඔහු විසින් ලියන ලද ලිපි දහතුනක් පමණ ද අදට ශේෂව තිබේ. එසේම ඔහුගේ මහා කෘතිය ලෙස සැලකෙනිජනරජය’ ද අදටත් ශේෂව ඇත. ප්ලේටෝ දාර්ශනික සංවාද ලියා ඇත්තේ තම ගුරුවරයා වූ සොක්‍රටීස්ගේ මරණය සදානුස්මරණීය කිරීමට බැව් ඇතැම් අය පවසති. එසේම ප්ලේටෝ විසින් රචිත සියලු කෘති කාල තුනක් යටතේ වර්ග කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් අවස්ථා හා ද තුලනය කරමින් වටහාගන්නට ඇතැම් විද්වත්හු කටයුතු කර ඇත.

            I) මුල් යුගයට අයත් කෘති - සොක්‍රටීස් ජීවත්ව සිටි අවසාන කාලයේ හා ඔහු මරණ දණ්ඩනයට මුහුණදුන් කාලයට ආසන්නව ලියැවී ඇති කෘති. බොහෝ විට සොක්‍රටීස් ඉදිරිපත් කළ අදහස් හා බැඳෙන අතර මේවායේ මූලික චරිතය ලෙස නිරූපණය වන්නේ සොක්‍රටීස්ය. දාර්ශනික අතින්ට වඩා සාහිත්‍යමය අතින් මේ කෘති ඉතා වැදගත් වේ. 

                II) දෙවන යුගයට අයත් කෘති - ප්ලේටෝගේ විදේශ සංචාරයට අයත් කාලය තුළ ලියවූ කෘතීන් වේ. ආකෘති පිළිබඳ දර්ශනය හඳුන්වා දෙන්නේත් ක්‍රමයෙන් ගොඩනැගෙන්නේත් මේ කෘතිවල. මේ දාර්ශනික වෑයම නිසාම මුල් යුගයේ කෘතිවල තරමටම මේවායේ කලාත්මක භාවය දකින්නට නොලැබෙන අතර, පරෙස්සමට ඉදිරිපත් කරන ලද තර්ක හා ක්‍රමානුකූලව ගොඩනගන ලද දාර්ශනික න්‍යායන් දකින්නට තිබේ.


                III) තෙවන යුගයට අයත් කෘති - වයසින් මුහුකුරා ගිය ප්ලේටෝ අතින් ලියවෙන ලද කෘති ය. මේ වන විට ඔහු තම දර්ශනය ගොඩනගා හමාරව සිටි අතර එකී දර්ශනය මිනිසා තුළ ව්‍යාප්ත කිරීමේ වෑයමක යෙදී සිටියේය. මේ නිසා මේ කෘතිවල ගැඹුරු අදහස් මෙන්ම කලාත්මක භාවයද එක් සේ රැකී ඇත.  


තම පරම රාජ්‍යය වන “යුතෝපියානු” සමාජයට කවියා හෙවත් කලාකරුවා වැද්දනොගැනීමට ප්ලේටෝ කටයුතු කරයි. සංගීතය හා ජිම්නාස්ටික් පමණක් වැදගත් විෂ්‍යයන් සේ අදාල සමාජයේදී සැලකේ. ඔහුට අනුව කවියා නිර්මාණය කරන්නේ “ආවේශයෙන්” හෙවත් දේවානුභාවයෙනි. ඔහු නිර්මාණකරණයෙහි නියැලෙන වේලාවෙහි කවියට අධිපති මියුසස් දෙවියා කවියාගේ ප්‍රකෘති සිහිය ඉවත් කරයි. ඒ නිසා තමා රචනා කරන දෑ පිළිබඳව කවියා කිසිදු වගකීමකට බැඳී නොමැති බව ප්ලේටෝ කියයි. 

එසේම කවියට මිනිසුන් නොමග යැවීමේ සුවිශේෂී බලයක් ඇති බව පවසන ප්ලේටෝ දක්ෂ සාහිත්‍යකරුවකුට ජනමතය වෙනස්කිරීමට හැකි බවද පවසයි. ඒ මගින් රටේ පාලකයින් පවා නොමග යා හැකි බව පේටෝ ජනරජයෙහි මෙසේ කාව්‍යාත්මකව ලියයි. 
“අහිතකර තණබිම්වල නිදහසේ උලා කා බාරකාර පාලකයින්ගේ මනස විකෘති වෙනවාට මම කැමති නෑ..”

 කෙසේවෙතත් ප්ලේටෝගේ සෞන්දර්යාත්මක අදහස් පිළිබඳව සලකා බැලීමේදී පරෙස්සමට වෙන් කර ගත යුතු කාරණා කිහිපයක් වේ.

              01. මේ යුගය වන විට තමාද අයිතිවන දාර්ශනිකයින්ට සමාජය තුළ තිබුණ ස්ථානය අහිමි වී තිබීම හා ඒ වෙනුවට කලාකරුවන්ට වැදගත් තැනක් හිමිව තිබීම.

            02. සොෆොක්ලීස් වැනි නාට්‍යකරුවන්ගේ ‘සොක්‍රටීස්’ වැනි නාට්‍ය නිසා තම ගුරුවරයා වූ සොක්‍රටීස්ට විශාල ගැටලුවකට මුහුණදෙන්න සිදුවීම හා අවසන මරණ දඬුවම ද හිමිවීම.

         03. තමා ඇතුලු දාර්ශනිකයින්ට අහිමි වූ තැන සහ බලය නැවත ලබාගැනීමත්, ඔවුන් වෘත්තීමය වශයෙන් තම පෞර රාජ්‍ය තුළ නගා සිටුවීමට ප්ලේටෝට අවශ්‍ය විය. 

ප්ලේටෝ ප්‍රධාන වශයෙන් විඥානවාදියෙකි. ඇරිස්ටෝටල් ඊට සාපේක්ෂකව යථාර්ථවාදියෙකැ’යි කිව හැක.


ඇරිස්ටෝටල් හා කාව්‍ය ශාස්ත්‍රය


ක්‍රිස්තු පූර්ව 384දී උතුරු ග්‍රීසියේ මැසිඩෝනියාවට නුදුරින් පිහිටිිස්තගිර’ නම් කුඩා නගරයේ උපන් ඇරිස්ටෝටල් වයස අවුරුදු පහළොවේදී ප්ලේටෝගේ ඇකඩමියට බැඳී අධ්‍යාපනය ලැබීය.
තනි මිනිසකුට ග්‍රහණය කර නොහැකි පරිදි විවිධ විෂය පරාසයක් අතැඹුලක් සේ හදාල ඇරිස්ටෝටල් එදා මෙදා තුළ ලොව තුළ විසූ දාර්ශනිකයින් හා විද්‍යාඥයින් අතර වඩාත් පෘථුල ඥානයක් හෙබි අය කීපදෙනා අතර මුල්පෙළේ වැජඹෙයි. 

ඇරිස්ටෝටල් සතු වූ මේ අචින්ත්‍ය හැකියාව පිළිබඳ හෙන්රි තෝමස් නම් විචාරකයා සිදුකරන්නාවූ ප්‍රකාශයක් ආර්.එල් සිංගල් (R.L Singal) විසින් තමිඇරිස්ටෝටල් සහ භරත’ (Aristotle And Bharata) නම් මහැඟි ග්‍රන්ථය තුළ මෙසේ උපුටාදක්වයි.

“ඔහු අදහාගත නොහැකි තරමේ පාණ්ඩිත්‍යයක් හා බුද්ධියක් ප්‍රදර්ශනය කළේය. එක් චිත්ත සන්තානයකින් ඒසා ඥාන ක්ෂේ්‍රත්‍ර සංඛ්‍යාවක් අන්තර්ග්‍රහණය කළ හැකි සේ විවර කර තබාගැනීම අතිදුෂ්කර කාර්යයකි. දේශපාලනය, නාට්‍ය, කාව්‍යය, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, ඡන්දශ්ශාස්ත්‍රය, තර්කශාස්ත්‍රය යන විෂයයන් ඉගෙනගැනීමේ බලවත් පිපාසයෙන් පෙළුණ මේ තරුණ ශිෂ්‍යයා භුක්ති විඳීමට සැරසුණ නානාවිධ ආහාර වර්ගවලින් හෙබි උත්සවයේදී සන්තර්පණය වීමට සිතූ ව්‍යංජන ස්වල්පයකි. ස්වකීය විද්‍යායතනය ‘සියලු ශිෂ්‍යයින්ගේ ශරීර හා ඇරිස්ටෝටල්ගේ මොළය’ යන කොටස් දෙකින් සමන්විත වී ඇති බව ප්ලේටෝ වරෙක විහිලුවට මෙන් පවසා ඇත..” (සිංගල් ආර්.එල් - ඇරිස්ටෝටල් සහ භරත - සුරවීර ඒ.වී පරි, 24-25 පිටු)

ඇකඩමියේ දක්ෂම ශිෂ්‍යයාත් ගුරුවරයාත් අතර මතවාදී අරගල පුපුරායෑම සාමාන්‍යයෙන් විය හැකි එකක් වුවද ප්ලේටෝගේ මරණය දක්වා ඇරිස්ටෝටල්, තම මතවාද බොහෝ විට තම හිත තුළම තබාගනිමින් ඔහු හා සමග සුහදව කටයුතු කළේය. එසේ නමුත් ඔහු ඒ කාලය තුළ ඔහු තම ගුරුවරයාගේ ගැටලුකාරී තැන් සඳහා මනෝමය වශයෙන් පිළිතුරු ගොඩනැගූ බව පෙනේ.
ඇරිස්ටෝටල් විසින් ලියන ලද ලේඛන එකසිය හැත්තෑවක් ගැන පුරාණ ග්‍රන්ථයන්හි විස්තර මුණගැසේ. අද වන විට ඒවායින් ඉතිරිව ඇත්තේ හතළිස් හතක් වන අතර ඒවාද සම්පූර්ණ කෘති නොවේ. ඉන් බොහෝමයක් ඔහුගේ දේශන සටහන් ය. 

ඇරිස්ටෝටල් “කාව්‍ය ශාස්ත්‍රය” (Poetics) ලියූවේ කවර වර්ෂයේදැයි නිශ්චිත නැත. නමුත් එය ඇරිස්ටොටල්ගේ ජීවිතයේ අවසාන කාලයේ ලියැවී ඇතැ’යි ඇතැම් විද්වත්හු ප්‍රකාශ කරති. කාව්‍ය ශාස්ත්‍රයට අමතරව කාව්‍යය පිළිබඳව යම් යම් වගවාසගම් ඇති ටොපිකා (Topica) නම් කෘතියකුත්, අලංකාර ශාස්ත්‍රය (Retorica) නම් කෘතියකුත් ඇරිස්ටෝටල් විසින් ලියා ඇත. එසේම අලංකාර ශාස්ත්‍රය ගැන කාව්‍ය ශාස්ත්‍රය තුළ සඳහන් හෙයින් කාව්‍යශාස්ත්‍රය අලංකාර ශාස්ත්‍රයට පසුව නිර්මාණය වී ඇතැ’යි ද සැලකේ. එසේම දැනට අස්ථානගතව ඇති මේ කෘති තුළ ද ප්ලේටෝගේ කාව්‍ය පිළිබඳ අදහස්වලට අමතරව වාගාලංකරණ ශාස්ත්‍රය හා කථිකත්වය වැනි කාරණාවන් වෙත පිළිතුරු ලබා දී ඇතැ’යි සැලකේ. 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් දෙදනෙකු වූ ඩීගඒ රසල් (D.A. Russell) සහ එම්ග වින්ටර්බෝටම් (M.Winterbottom) විසින් ‘Ancient Literary Criticism’  කෘතියෙහි සඳහන් කරන පරිදි ඇරිස්ටෝටල්ගේ කාව්‍යශාත්‍රය, විවිධ නිර්වචනීය ගැටලුවලට මුහුණ දී තිබුණත් අදාල විෂය පිළිබඳ එදා මෙදා තුර ලියන ලද වැදගත්ම කෘතිය විය හැකි බව පෙන්වා දේ. 

(Aristotle’s Poetics is  probably  the  most  important  single  book  that  has  ever been written about poetry, both for what it says  and for what it has been take to  say. Various factors make it a work singularly easy to misinterpret, and  misinterpretations  have  been  just  as  seminal  in  the  development  of aesthetic theory and, at some periods, of  poetry itself as  a correct understanding of  it.(Ancient Literary Criticism, Page – 85)

 එසේම කාව්‍ය ශාස්ත්‍රය වනාහි ඇරිස්ටෝල් විසින් ලියන ලද විධිමත් කෘතියක් නොව ඔහුගේ දේශන සටහන් බවට ද ඇතැම් අය තර්ක කරති. එසේම මෙම මුල් කෘතියිසිරියැක්’ භාෂාවට ද, පසුව අරාබි භාෂාවන්ටද පරිවර්තනය වූ අතර පසුව එකී පරිවර්තන හරහා නැවතත් ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ අතර පසුකාලින නැවතත් ග්‍රීක භාෂාවට පවා පරිවර්තනය වන්නේ ඒ අරාබි පරිවර්තනයන් ය. මේ හේතුවෙන් කාව්‍ය ශාස්ත්‍රය එදා මෙදාතුර ලෝකයේ නන් දෙස කලාවට හා සෞන්දර්යයට බලපෑ ආකාරය පැහැදිලි අතර, තවත් අතකට මුල් කෘතිය අස්ථානගතවී මෙකී පරිවර්තන හරහා එය ලෝකය හඳුනාගැනීමේදී ඇතැම් සංකල්ප පිළිබඳ ඇරිස්ටෝටල් දැක්වූ මුල් අර්ථකථන සංධිග්ධතාවට ලක්වී ඇති බවටද අදහසක් ඇත.

කාව්‍ය ශාස්ත්‍රය කෘතිය තුළ ප්‍රධාන වශයෙන් කථිකාවට භාජනය වන කාරණා මූලික වශයෙන් කොටස් කීපයකට බෙදා දැක්විය හැකියි. 

            I) Theoria  - දැනුම ලබාගැනීම
            II) Praxis - ක්‍රියාවන්
            III) Poiesis - නිර්මාණකරණය

මීට අමතරව පරම ආකෘතිය (Ideal form) සහ අනුකරණය (Mimesis) වගේ වැදගත් කාරණා රාශියක් පිළිබඳ කෘතියෙහි ප්‍රාමාණික විස්තරයක් දැකිය හැක.

ඇරිස්ටෝටල් ග්‍රීසියේ ප්‍රකට වෛද්‍යවරයකුගේ පුත්‍රයකු වූවා පමණක් නොව ඔහුම ද වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විද්‍යාවන්හි ව්‍යාවෘත වූ මෙන් ම ඒ පිළිබඳ ග්‍රන්ථකරණයෙහිද යෙදුණු පඬිවරයෙක් විය.ිඅමුතු’ ආකාරයක සත්ත්වයෙක් දුටුවහොත් තමා වෙත ගෙන එන ලෙස ඇරිස්ටෝටල් ඔහුගේ හිතවතුන්ට දන්වා තිබුණි. එසේම අප්‍රිකාවෙන් අලි ගෙන්වා ඔවුන් කපා, ජීවවිද්‍යාත්මක අධ්‍යනයන් කළ බව වාර්තා වේ. මේ අනුව ඇරිස්ටෝටල් ව්‍යාවෘත වූ සියලු විෂයන් තුළ ඔහු සතු වූ එකී විද්‍යාත්මක ශික්ෂණය දක්නට ලැබුණි.

සම්භාව්‍ය ග්‍රීක යුගය වන විට විද්‍යාත්මක පර්යේෂණයක නියැලෙන විධික්‍රමයන් දෙකක් තිබුණි. ඒ Genetic ක්‍රමය සහ Analytic ක්‍රමය යි. Genetic ක්‍රමය තුළදී සිදුවූයේ යම් කිසි දෙයක් බීජාවස්ථාවේ සිට ක්‍රමයෙන් වැඩී වර්ධනය වි අවසානය දක්වා ගමන් කරන හැටි සියුම්ව නිරීක්ෂනය කරමින් දැනුම ගොඩනැගීමයි. Analytic ක්‍රමයේදී සිදුවුණේ වඩාත් පරිපූර්ණ ලෙස ගැනෙන නිදර්ශකයක් සියුම්ව කැබලිවලට ඡේදනය කර පද්ධතිය සැකසී ඇති අයුරු පිළිබඳවත් ඒ ඒ ක්ෂුද්‍ර කොටස් පිළිබඳවත් සියුම්ව විමසා බලමින් දැනුම ගොඩනැගීමයි. ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය ලිවීමේදී ද යොදා ගත්තේ මින් දෙවැනි ක්‍රමය වන ඇනලිටික් ක්‍රමයයි. (ඇරිස්ටෝටල් විසින් ලියන ලද ප්‍රකට දේශපාලන විද්‍යා කෘතිය වන Politics ලිවීමේදී ඔහු ග්‍රීක පෞර රාජ්‍යයන් වල තිබුණු ව්‍යවස්ථා 100ක් විශ්ලේෂණය කර ඇත) එහිදී ඔහු පරිපූර්ණ නාට්‍ය නිදර්ශනය සේ ගත්තේ සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස්’ නාට්‍යයයි. එකී නාට්‍යයේ අංග ප්‍රත්‍යාංග සියුම් කොටස්වලට කඩමින් ඒවා සියුම්ව නිරීක්ෂණය කරමින් හොඳ නාට්‍යයක් තිබිය යුතු හා නොතිබිය යුතු කාරණා පිළිබඳ ඇරිස්ටෝටල් සටහන් තබන්නේ යටකී විද්‍යාත්මක ශික්ෂණයකින් යුතුව ය.

කාව්‍ය කලාව බැහැර කළ ප්ලේටෝ වඩාත් කාව්‍යාත්මක හා නාටකීය ස්වරූපයකින් තමන්ගේ කෘති ලිවීය. නමුත් කාව්‍ය හා කලාව වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඇරිස්ටෝටල් තමන්ගේ කාව්‍ය ශාස්ත්‍රය ඇතුලු කෘති වඩා ශාස්ත්‍රීය හා විද්‍යාත්මක ශෛලියකින් නිර්මාණය කර තිබීමේ උත්ප්‍රාසය ඇතැම් විචාරකයෝ මතුකරති.

ප්ලේටෝට එරෙහිව ඇරිස්ටෝටල්

තමා ප්ලේටෝගේ මිත්‍රයකු බවත්, එසේ නමුත් තමා “සත්‍ය” සමග ඊටත් වඩා  මිතුරු බවත් ඇරිස්ටෝටල් කී බව අපි ඉහත දුටීමු. එමෙන්ම තම ගුරුවරයා වූ ප්ලේටෝ මියයන තෙක්ම ඔහුගේ මතයන්ට එරෙහි මතවාද ඇරිස්ටෝටල් විසින් අණාවරණය නොකළ නමුත් ඔහු ඒවා සිතින් ගොඩ නගමින් සිටි බවත් දුටිමු. එසේනම් අපි මෙහිලා ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය ප්‍රමුඛකරගනිමින් ප්ලේටෝගේ “ජනරජය” (Republic) නම් කෘතිය තුළ මූලික වශයෙනුත් “මධුසාදය” ^The Symposium) , “යුතිෆ්‍රෝ” (Euthyphro), “විත්තියට කරුණු” (The Apology) , “ක්‍රිටෝ” (Crito) , ෆීඩෝ (Phaedo)  ආදී ප්ලේටෝගේ සෞන්දර්යාත්මක අදහස් ගොණුවන සංවාදයන්හි දක්වා ඇති එකී අදහස් වලට එරෙහිව ඇරිස්ටෝටල් විසින් මතවාද ගොඩ නගා ඇත්ද එසේනම් ඒ මොනවාද යන්න විමසා බලමු. ඇරිස්ටෝටල් ප්ලේටෝට විරුද්ධව අදහස් ගොඩනැඟුවේද, එසේනම් ඔහුගේ පරමාර්ථය වූයේ කුමක්ද යන්න පිළිබඳව ආචාර්ය කමනී ජයසේකර තම “ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර” නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් තබයි.

“ඇරිස්ටෝටල් ප්ලේටෝට විරුද්ධව මත දැරුවේයැ’යි කිවහොත් එය සාවද්‍ය කියමනකි. ඇරිස්ටෝටල් ප්ලේටෝගේ හොඳම ගෝලයා වශයෙන් හැඳින්විය හැක. ඔහුගේ සම්පූර්ණ දර්ශනයම ප්ලේටෝ හඳුන්වා දුන් ආකෘති මත ගොඩනැංවීය. එනමුදු ඇරිස්ටෝටල් උත්සාහ කළේ ප්ලේටෝගේ දර්ශනයෙහි ඇති අඩුලුහුඩුකම් මගහරවා දර්ශනයෙහි හරවත් අංශයන් වැඩිදියුණු කිරීමට ය..”

පෙර ද සඳහන් කළ පරිදි ප්ලේටෝ තම ඥානවිභාගය සම්බන්ධයෙන් කී වැදගත් කාරණයක් වූයේ දැනුම ලබාගත හැක්කේ මනේන්ද්‍රිය මගින් ය යන්නයි. ඒ අනුව ප්ලේටෝ භෞතික ද්‍රව්‍ය හා කරුණු පිළිබඳව එතරම් උනන්දු වූයේ නැත. අප ස්වභාවධර්මයේ දකින සියලු දේ “සබන් බුබුලකට” සමාන බව ඔහු ගේ විශ්වාසය විය. පංචේන්ද්‍රියන්ගෙන් දකින ලෝකයේ තියෙන කිසිම දෙයක් නිශ්චිත නැත. විනාශ වී යෑමට නියමිතය. නිතර වෙනස්වන ස්වභාවයක් ඇති එවන් දේ ගැන අපට සැබෑ ඥානයක් ලබාගත නොහැකි බව ප්ලේටෝ කියයි. ඔහුට අනුව බුද්ධියෙන් වටහාගත හැකි දේ පිළිබඳව පමණි අපට සැබෑ ඥානයක් ලබාගත හැක්කේ.  

නමුත් ඇරිස්ටෝටල් පංචේන්ද්‍රියන් තුළින් ලැබෙන ඥානය පිළිගනී. පංචේන්ද්‍රියන් හරහා අපට දැනුම එන බවත් පංචේන්ද්‍රියන් නොවන්නට මනේන්ද්‍රිය හිස් විය හැකි බවත් ඔහු කියයි. එසේ නමුත් ඔහු මනේන්ද්‍රිය බැහැර කරන්නේද නැත. පංචේන්ද්‍රියන් මගින් ලැබන දැනුම විශ්ලේෂණය කිරීමට මනේන්ද්‍රිය ඉතා වැදගත් බව ඇරිස්ටෝටල් කීය.  එපමණක් නොව ඇරිස්ටෝටල් පංචේන්ද්‍රියන් මගින් ලබන තොරතුරුිහොඳ’ ඒවාදිහොඳ ඒවා නොවේද’ යන කාරණය පවා සියුම්ව විමසා බලයි. 
මේ කාරණය පැහැදිලි කරන්නට ප්ලේටෝ මෙවන් එක්තරා පුරාණෝක්තිමය උපමාකතාවක් ඉදිරිපත් කරයි; 

    “අත් කකුල් ගැටගහපු මිනිස්සු කිහිපදෙනෙක් පොලව යට ගුහාවක ජීවත් වෙති. ඒ අය ගුහාවේ ඇතුළට හැරී සිටින අතර ඔවුන්ට පේන්නේ ගුහා කටට විරුද්ධ දිශාවේ ඇති ඇතුළත බිත්තිය පමණකි. ඒ අයට නිතර ගුහාවේ ඇතුල් බිත්තියේ පතිතවන යම් යම් හෙවණැලි චලනය වනු පෙනේ. ඒ ගුහා කටට එපිටින් එහෙ මෙහෙ යන මිනිස්සුන්ගෙ සෙවණැලියි. නමුත් ගුහාව තුළ සිටින මිනිස්සුන්ට උපන්දා සිට පේන්නේ ඇතුලු බිත්තියේ සටහන් වන අර හෙවණැලි පමණි. ගුහාවෙන් එපිට ඇති නිදහස් මිනිස්සු නොපෙනේ. ඒ නිසා ඒ අය හිතන්නේ ඇත්තටම පවතින්නේ හෙවණැලි විතරක්ම බව. 

    යම් අවස්ථාවක, ගුහාව ඇතුළේ ඉන්න මිනිස්සු අතරින් එක් මිනිසෙක් තමාගේ බැමි ලිහාගෙන ගුහා කට දෙසට ගමන් කර එපිට ඇති නිදහස් ලෝකය දකී. ඔහු ගුහා කට අසල ඇති තාප්පයෙන් පැන එපිටට යෑමට සමත් වුවහොත් ඔහු හැම දෙයක්හි ඇති ලස්සන දැක පුදුම වන බවත්, ගුහාවේදී තමා දුටු ප්‍රතිබ්ම්බ අසම්පූර්ණ බවත්, ඒවායේ සැබෑ රූප එපිට ලෝකයේ ඇති බවත් අවබෝධ කරගන්න බව ප්ලේටෝ කියයි. ඔහු ඒ දේ අත්වින්දද ඔහුට ගුහාව ඇතුළේ මෙතෙක්කල් තමා සමග සිටි සෙසු මිනිසුන් සිහිවේ.  ඔවුන් ගැන සිතා ඔහු නැවත ගුහාව තුළට පැමිණේ. එසේ පැමිණ ඔහු අනික් අයට කියන්නේ ඔවුන් මේ ඇතුලු බිත්තියේ දකින ප්‍රතිබිම්බ හෙවණැලි බවත් සැබෑ ලොව මෙය නොවන බවත් ය. ඒත් ඔවුහු ඔහුගේ බස විශ්වාස නොකරති. අවසන ඔවුන් එකතුව මේ මිනිසාව මරා දමති.”

මේ උපමා කතාව එක්තරා අතකට සැබෑ ඥානය ලබන්නේ දාර්ශනිකයින් බවට වන ප්ලේටෝගේ ප්‍රවාදය තහවුරු කරනක් හැටියට ගත හැකියි. තවත් පැත්තකින් කලා කරුවාගේ ක්‍රියාව පිළිබඳ ඔහුගේ දර්ශනයද යම් අයුරකින් මේ තුළ හකුලා දක්වයි. අවසන් වශයෙන්, ඇත්ත පෙන්වීමට ගිය තම ගුරුවරයා වූ සොක්‍රටීස්ට සිදුවූ ඛේදනීය ඉරණම පිළිබඳ පුවත ද තුළ හකුළා දක්වන්න ප්ලේටෝ සමත් වෙයි. 

ප්ලේටෝගේ සෞන්දර්ය විද්‍යාවත්, දර්ශනයත් පදනම් කරගත් මූලික පිළිගැනීමක් වූයේ භෞතික පරිසරයේ ඇති ස්පර්ශක ද්‍රව්‍ය සෑම දෙයම “ගලන” හෙවත් වෙනස්වන බවට ඇති පිළිගැනීම. භෞතික ලෝකයට අයත් සියලු දේ සැදී ඇත්තේ කාලය ගතවීමේදී ගෙවී යා හැකි ද්‍රව්‍යන්ගෙන්. නමුත් ඒ සෑම ගලන දෙයක්ම සෑදී ඇත්තේ අකාලික “අච්චුවකින්” බව ප්ලේටෝ කීවේය. එය සදාකාලික හා නිත්‍ය වන අතර මනේන්ද්‍රිය මගින් අත්දැකිය යුතු මේ සියලු ආකෘතීන් අතර “පරම යහපත” නම් එක ආකෘතියක් ද තිබේ. ඒ උත්තරීතර ආකෘතිය දෙවියන් වහන්සේ බව ප්ලේටෝ කියයි. එම්පිඩොක්ලීස් (ක්‍රි.පූ 494-434) හා ඩෙමොක්‍රීටස් (ක්‍රි.පූ 460-370) යන දාර්ශනිකයින් දෙදෙනාද ස්වභාවික ලෝකයේ හැම දෙයක්ම “ගලන” බව පිළිගත්හ. ඔවුන්ට අනුව කිසිදා වෙනස් නොවන පදාර්ථය හතරමහා භූතයන් හා පරමාණු විය. ඒ අනුව ප්ලේටෝගේ ආකෘතිවාදී පැහැදිලි කිරීම මීට වඩා වෙනස් වේ.

වඩුවෙක් විසින් සාදන ලද “ඇඳක්” වනාහි දෙවියන් වහන්සේ විසින් නිර්මාණය නරන ලද කාල්පනික ඇඳක (ආකෘතියක) අනුකරණයයි. වඩුවා විසින් සාදන ලද ඇඳේ කාර්යයසිද්ධිය තීන්දුවන්නේ මිනිස් සිරුරේ ස්වභාවය, නිදාගැනීමේ අවශ්‍යතා ආදිය පදනම්කරගනිමිනි. ඒ අනුව එකී ඇඳට කිසියම් භාවිත වටිනාකමක් හිමිවන අතර නිර්මාණ කුසලතාවේ සාමාර්ථය අනුව බැලූ කල එකී ඇඳට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි. නමුත් චිත්‍රකරුවා නිර්මාණය කරන්නේ වඩුවා විසින් ගොඩනගන ලද ඇඳෙහි අනුකරණයයි. ප්ලේටෝට අනුව එය යථාර්ථයෙන් තවදුරටත් ඈතය. සැබැවින්ම ඒ කලාකෘතිය යථාර්ථයෙන් දෙවරක් ඈත් වූවකි.

ප්ලේටෝ විසින් “නිත්‍ය සදාකාලික ආකෘතික ලෝකය” හා “අනිත්‍ය තාවකාලික චලනය හා සම්බන්ධ ධර්මතාව” එකවිට පිළිගැනීම අවිසංවාදී න්‍යාය උල්ලංඝනය කරන සුලුයැ’යි ඇරිස්ටෝටල් කියයි. මීට සාපේක්ෂකව ඇරිස්ටෝටල් මෙකී ගැලීම විශ්වීය ආකෘති රාශියක් වෙනුවටිතමා චලනය නොවී අන් අය චලනය කරවන’ එක් අචල චාලක’ බලයක් (Unmoved Mover)  හා සම්බන්ධ කර දක්වයි.

‘අශ්වයා’ යන්න අධි භෞතික පරම ආකෘතියක හෙවණැල්ලක් නොව, සංකල්ප අශ්වයා යනු හුදෙක්ම අශ්වයින් කිහිපදෙනෙක් දැකීම තුළින් මිනිසුන් වන අප විසින් නිර්මාණය කරගත් සංකල්පයක් බව ඇරිස්ටෝටල්ගේ අදහසයි. වෙනත් වචනයකින් කිවහොත් ආකෘතික අශ්වයෙක් යනු අධිභෞතික පදනමක් ඇත්තක් නොව සියලු අශ්වයින්ට පොදු ලක්ෂණ අනුව නිර්මාණය කරගන්නක් වන අතර ඒ අනුව ප්ලේටෝගේිසහජ සංකල්ප’ පිළිබඳ අදහස ඇරිස්ටෝටල් ප්‍රතික්ෂේ්‍රප කරයි. ඉන්ද්‍රියන් මගින් අත්දැකීම් ලබා නොගත් කිසිවක් මිනිසාගේ විඥානයේ නැති බව ඇරිස්ටෝටල් තවදුරටත් පෙන්වා දෙයි. එසේම ප්ලේටෝගේ මේ ආකෘති විග්‍රහය ගැන කියමින්ිප්ලේටෝ ද්‍රව්‍යවල සංඛ්‍යාව ද්විගුණ කළා’ යැයි ද ඔහු වැඩිදුරටත් පවසයි. 

සාහිත්‍ය කෘතියක කාර්යය අනුකරණයක් (Mimesis) බව ප්ලේටෝ කියයි. ඒ අනුව කලා කරුවා සිදු කරන්නේ මිනිසාගේ සිතුම්පැතුම්, ස්වභාවධර්මය හා ක්‍රියාවන් පිටපත් කිරීමකි. “ප්ලේටෝ අනුකරණය (Mimesis) යන වචනය යෙදුවේ වෙනත් අයකුගේ ක්‍රියාවක්, නැවත වෙන අන් කෙනෙක් මගින් ප්‍රකට කිරීම යන අරුතිනි. කවියා වෙනත් අයකුගේ මුවින් කරන අනුකරණය Mimesis යනුවෙන් හැඳින්වූ අතර, කවියා තමාගේම බසින් යමක් ඉදිරිපත් කිරීම ඔහු හැඳින්වූයේ Diegesis නමිනි. මේ අරුතින් ගත්විට නාට්‍ය මුලුමනින්ම අනුකරණාත්මක වෙයි. වීර කාව්‍ය එහි පාත්‍රවර්ගයාගේ දෙබස් දිරිපත් කරන විට අනුකරණාත්මක වන අතර, කවියා කෙළින්ම තම අදහස ඉදිරිපත් කරන විට Diegesis තත්ත්වයට පත්වේ. ප්ලේටෝ අනුකරණයත්, අනුකරණය පදනම්කරගත් නාට්‍යයත් දෙකම ප්‍රත්ක්ෂේප කරයි.” ( රණවීර ආරියවංශ, බටහිර විචාර විධි, 15 -16 පිටු)

අනෙක් අතට ප්ලේටෝට අනුව කලා කෘතිය අත්‍යන්තයෙන් ම ඇත්තේ යථාර්ථයට පියවර දෙකක් ඈතින් ය. එසේ නමුත් ඇරිස්ටෝටල් මේ මතය ඒ අයුරින්ම පිළි නොගනී. ඔහුට අනුව නාට්‍ය යනු උත්තම වර්ගයේ සත්‍යයකි (Higher kind of Truth). එය කරන්නේ හුදෙක් එළිපිට පෙනෙන කරුණු ඉදිරිපත්කිරීමක් නොව ජීවිතයේ පොදු ධර්මතා විමර්ශනය කිරීමකි. 

මිනිසා ස්වභාවයෙන්ම අනුකරණයට ලැදි බවත් එය මිනිසා අන් සත්ත්වයින්ගෙන් වෙනස්වන වැදගත් හේතුවක් බවත් ඇරිස්ටෝටල් කාව්‍යශාස්ත්‍රයේදී කියයි. ඒසේම කවියා අනුකරණය කරන්නේ ක්‍රියාවන් බව ඔහු පෙන්වා දෙයි. “කවියා පද්‍ය රචකයකුට වඩා කථා වින්‍යාසය ගලපන්නකු බව පැහැදිලි වේ. ඔහු කවියකු වන්නේ අනුකරණ කාර්යයෙහි යෙදීම හේතුවෙනි. එසේම ඔහුගේ කාර්යය ක්‍රියා අනුකරණයයි” (කාව්‍ය ශාස්ත්‍රය ඒ.වී.සුරවීර පරි- 09 පරිච්ඡේදය, 85 පිට)
    
ප්ලේටෝ කියන්නා සේ අනුකරණය හුදු ‘මේ වනවිටත් පවතින’, ‘භාවිත වටිනාකමින් ඈත’ දෙයක් නොවන බව ඇරිස්ටෝටල් කියයි. “කවියාගේ කාර්යය වන්නේ ඇත්තවශයෙන්ම සිදුවූ දෑ විස්තර කිරීම නොව සිදුවෙති’යි සැලකිය හැකි, එනම් ඒ ඒ අවස්ථාව අනුව සිදුවිය හැකි හා සිදුවිය මනා දෑ ඉදිරිපත් කිරීමය.” (කාව්‍ය ශාස්ත්‍රය - 09 පරිච්ඡේදය, 84 පිට) මේ අනුව ප්ලේටෝ විසින් බැහැර කළ කලාවක් වන කවියට ඇරිස්ටෝටල් සැබෑ වටිනාකමක් ලබා දේ. 

එසේම කවියා අනුකරණය කරන්නේ කොතරම් වේදනාකාරී විෂයයක් වුවද එමගින් රසිකයාට ඉමහත් ආස්වාදයක් ලැබෙන බව ඇරිස්ටෝටල් කියයි. මක්නිසාද යත් එමගින් රසිකයා තම සැබෑ ජීවිතයට කිසියම් සමානකමක් දැක ඉන් යමක් ඉගනගැනීමට උත්සාහ කරන නිසාය. ඒ අනුව අනුකරණය වනාහි  මිනිසා දැනුමත්, සතුටත් ලබාගන්නා ප්‍රධාන මාර්ගයක් බව ඇරිස්ටෝටල් කියයි. 

අනුකරණය කාර්යයක වැදගත්කම ඇත්තේ කවියා අනුකරණ කාර්යයේදී දක්වනා හැකියාව (Skill) මතය. කවියා ඕනෑම ජුගුප්සාජනක දෙයක් අනුකරණය කර තිබෙනවා විය හැක. නමුත් අපි එහි වටිනාකම මැනිය යුත්තේ, අනුකරණයට ලක්වූ වස්තුව ගැන සිතා නොව එකී අනුකරණයේදී කවියා දක්වා ඇති දක්ෂතාවය මතයි.

ප්ලේටෝ කීවේ කවියා තුළ භාවිත ඥානය හෙවත් කාර්මිකයා විසින් සිදුකරන මූලික අනුකරණ කාර්යය කිරීමේ ඥානය නොමැති බව ය. “කවියා ඔහු ලියන දේ ගැන දැන සිටියානම් ඔහු ඒ වැඩේ කරාවි, ඒ ගැන ලියන්නේ නැතිව. ඇයි ඔහු අනුන්ව පැසසුමට ලක්කරන්නේ තමාට ප්‍රශංසා ලබාගන්න පුලුවන්කම තියෙද්දී?” “හෝමර් යුද්දේ ගැන දැන සිටියානම් ඔහු යුද නිලධාරියෙක් වේවි කවියකු වෙන්නෙ නැතිව” (ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්ප හා නිර්මාණ - 27/28 පිට) යනුවෙන් ප්ලේටෝ නිර්දය විචාරයක යෙදේ. නමුත් ඇරිස්ටෝටල් පෙන්වා දෙන්නේ “කවියාට තමා තුළ නැති නැව් තැනීම හෝ යුද්ධ මූලෝපාය පිළිබඳ ඥානය හෝ තමා තුළ තිබෙන සේ දැක්විය හැකි වුවත්, පුද්ගලයින්ගේ මානසික තත්ත්වයන් පිළිබඳ ඥානය තමා තුළ නැතිව එය තමා තුළ තිබෙන සෙයක් මවා පෙන්විය නොහැකිය” ( සෞන්දර්ය විද්‍යා ඉතිහාසය, ගම්ලත් සුචරිත - 46 පිට) යනුවෙනි.
කලාවේ ඇති ‘නරක’ හොඳ මිනිස්සු විසින් අනුකරණය කිරීමේදී ඔවුන් ගැටලුවට පත්වන බව ප්ලේටෝ කීය. විශේෂයෙන් ප්‍රභූචරිත සහ දෙවිවරුන් වැනි චරිත සදාචාරාත්මක නොවන ආකාරයෙන් නිරූපණය කිරීම හානිදායකයි. දෙවිවරුන් මනුෂයයින් ලෙස ඉදිරිපත් කර තිබීම නිසා සමාජය එය පිළිගැනීමට ඉඩ ඇත. මනුෂ්‍ය දුර්වලකම් දෙවිවරුන් ළඟ තිබේනම් ඔවුන් දෙවියන් වන්නේ කෙසේදැ’යි ප්ලේටෝ අහයි. නාට්‍ය ආදී සකලවිධ කලාවන් තුළ පුදපූජා, යාතිකා ආදියෙන් දෙවිවරු තමා වෙත නම්මාගත හැකි බව නිරූපණය කිරීම හානිදායක බව කියන ප්ලේටෝ කලාව සදාචාරාත්මක විය යුතු බව කියයි.

නමුත් ඇරිස්ටෝටල් මේ කාරණය පිළි නොගනී. “අනුකරණය කරන්නන් විසින් ක්‍රියාවෙහි යෙදි සිටින පුද්ගලයන් අනුකරණය කරනු ලබන හෙයින් මොවුහු සැබෑ ජීවිතයේදී අප දන්නා පුද්ගලයින්ට වඩා හොඳ හෝ උසස්, එසේත් නැත්නම් නරක හෝ පහත්, එසේත් නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ ගතිගුණ ඇත්තෝ විය යුත්තාහ” (කාව්‍ය ශාස්ත්‍රය - 02 පරිච්ඡේදය, 63 පිට) පේලේටෝට විපරීත ලෙස ඇරිස්ටෝටල් කියන්නේම ශෝකෝත්පාද නාට්‍යයකදී සාමාන්‍ය පුද්ගලයින්ට වඩා හොඳ පුද්ගලයින්ද, හාස්‍යෝත්පාදක නාට්‍යයකදී පියවි මිනිසාට වඩා පහත් ගති ඇත්තන් ද අනුකරණයට ලක් විය යුතු බවයි. 

ඇරිස්ටෝටල්ට අනුව, ඊඩිපස් රජු කොයිතරම් ඛේදජනක දේවල් සිදු කළද ඔහු තමා කළ දේවල් දැනගැනීමේදී ඇති කරගන්නා ලද මනෝභාවාත්මක කම්පණය විශාලය. අවසානයේ ඊඩිපස් අනුකම්පනීය පුද්ගලයෙක් බවට පත් වේ. ඒ අනුව නාට්‍ය  විකාශනය තුළ ඊඩිපස් කළ නපුරු ක්‍රියාව ශුද්ධ පවිත්‍ර වේ. ඔහු අතින්ිරුධිර දූෂණ’ අපරාධය සිදුවුවද ඊඩිපස් පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ ඇතිවන්නේ අනුකම්පාවකි. මේ අනුව ප්‍රේක්ෂකයා නොමගයෑමකට වඩා සිදුවන්නේ ඔහුගේ නරක භාව විශෝධනය වීමයි.  

 එමෙන්ම ඛේදාන්තය මගින් ප්‍රේක්ෂක සන්තානය තුළ එක්තරා සුවිශේෂී සංවේදනාවක් ඇති කළ යුතුය. එනම් කරුණාව හා භය යි. කාරුණ්‍යය යනු හුදෙක් ආවේගාත්මත චිත්තවේගයක් නොව බිය සමග මුසුවුණ එකක් බව ඇරිස්ටෝටල් පෙන්වා දෙයි. ඇරිස්ටෝටල් ප්ලේටෝ මෙන් මිනිස් සංවේදනා (Emotions) මිනිස් භාවිතයට හානිකර ඒවා ලෙස නොගත් අතර ඒවා මිනිස්බවේ ස්වභාවික ගතිලක්ෂණයන් ලෙස දකී.

ඇරිස්ටෝටල් ප්ලේටෝ මෙන් මනුෂය හැඟීම් උද්දීපනය කිරීම පිළිබඳ බියක් නොදැක්වීය. හැඟීම් යටපත්කරගෙන සිටීම මානසික ආතතියට තුඩුදිය හැකි බවත්, එය භයානක ප්‍රතිඵල ගෙන දෙමින් යම් නුසුදුසු අවස්ථාවක නුසුදුසු අන්දමකට පිටවිය හැකි බවත් ඔහු කීය. නාට්‍යයකින් මේ හැඟීම් පිරිපහදු කළ හැකි අතර (Catharsis) ඉන් මිනිසා යම් කිසි සහනයක් ලබන බව ඔහු පෙන්වා දේ. 
ඇරිස්ටෝටල් කාව්‍ය කලාව ඉතිහාසයෙනුත් දර්ශනයෙනුත් වෙන් කර දක්වයි. “ඉතිහාසකාරයා හා කවියා අතර සැබෑ වෙනසනම් පළමුවැන්නා සිදුවූ දෑ පවසන අතර දෙවැන්නා සිදුවිය හැකි දෑ පැවසීමයි. මේ අනුව කාව්‍යය වඩාත් දාර්ශනික ස්වරූපයක් භජනය කරන අතර ඉතිහාසයට වඩා උසස් තත්ත්වයක් දරයි” (කාව්‍ය ශාස්ත්‍රය - 09 පරිච්ඡේදය, 84 පිට) එසේම දර්ශනය නිරන්තරයෙන්ම තර්කණය පදනම් කරගෙන න්‍යායාක්මක පදනමක් සහිතව ගොඩ නැගී ඇති බවත් කාව්‍ය යනු මිනිසාගේ අත්දැකීම් පදනම් කරගෙන ගොඩනැගී ඇති බවත් ඇරිස්ටෝටල් පවසයි. කලාව තුළ වඩා සාර්වික සත්‍යයක් (Universal Truth) ගොඩනැගේ. මේ පැහැදිලි කිරීම ද හුදෙක්ිඅනුකරණය’ පදනම් කරගෙන කලාව පහත මානයක ස්ථානගත කිරීමට ගිය ප්ලේටෝගේ ඉගැන්වීම්වලට ඍජුව පිළිතුරු දෙමින් කවිය ඉහළට ඔසවාතැබීමට ඇරිස්ටෝටල් ගත් වෑයමකි. 

මේ අනුව පැහැදිලි වන්නේ ඇරිස්ටෝටල් විශේෂයේන් තම කාව්‍ය ශාස්ත්‍රය මගින් කලාවට එරෙහිව ප්ලේටෝ ගොඩනැගූ තර්කයන්ට සවිඥානිකව පිළිතුරු සැපයීමක් සිදු කරන බව හා එය තම ගුරුවරයා වෙත ඇති භක්තිය පෙරදැරිකොට, ගුරුවරයාගේ දර්ශනයෙහි ඇති අඩුලුහුඩුකම් මගහරවා දර්ශනයෙහි හරවත් අංශයන් වැඩිදියුණු කිරීමේ ආධ්‍යාසයෙන් යුතුව සිදුව ඇති බවයි. 

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
     (2021 සැප්තැම්බර් හා ක්තෝම්බර් මස 'රාවය' පුවත්පතේ කලාප තුනක පළවූ ලිපියකි)

'ආසු' - කලාත්මකය හා සංවේදීත්වය අතර දෝලනය වන සිනමා කෘතියක්ද?


සංජීව පුෂ්ප කුමාරගේ සිනමාකරණයේ අපි දකින මූලික ලක්ෂණයක් නම් ඔහු බොහෝ විට තම සිනමාව සඳහා තරමක් අමුතු, අපුර්ව කතා වස්තුවක් තෝරාගන්නට නිරන්තරව යුහුසුලු වීමයි. ඉගිළෙන මාළුවෝ මෙන්ම දැවෙන විහඟුන් වැනි ඔහුගේ පූර්ව සිනමා කෘතීන්හි කතාවස්තූන් දෙස බලන කල එය පැහැදිලි වේ. එපමණක් නොව, මෙතෙක් නරඹා නැති ඔහුගේ විහඟ ප්‍රේමය(Peacock Lament) නම් කෘතියේ පූර්ව ප්‍රචාරණ පට නැරඹීමේදී ද මේ කරුණ පෙනේ. ඒවාට සාපේක්ෂකව ගත්කල ‘ආසු’ සිනමා පටයේදී සංජීව තෝරාගන්නා කතා වස්තුව එතරම් අපුර්ව එකක් නොවන බව පැහැදිලිය. එය සිනමා කරුවාට ආසු සිනමා කෘතියේදී මුහුණ දීමට සිදුවන මූලික ම අභියෝගයයි. එසේ නමුත් ඔහු ප්‍රේක්ෂක නෙතට කඳුළු රැගෙන ඒමට සරිලන තරමේ සංවේදී සිනමා කෘතියක් නිර්මාණය කිරීමට සමතව ඇති බැව් ආසු සිනමාපටය මාත් සමග නැරඹූ ප්‍රේක්ෂකාගාරය තුළිත් මට පැහැදිලි විය.

හිටපු කතා නායක කරූ ජයසුරිය මහතාගේ ආදරණිය දියණිය වූ ඉන්දිරා ජයසුරිය පිළිකා රෝගය හා පොරබැඳිමින් මියයෑම ආසු සිනමා පටයේ මුලික කතා පුවතයි. ඇයට එසේ ඉක්මනින් මිය යන්නට සිදුවන්නේ ගර්භනියක වූ ඇය තමා පිළිකාරෝගයෙන් පීඩා විඳින බව හඳුනාගත්තත්, පිළිකා රෝගය සඳහා ලබා දෙන ඇතැම් ප්‍රතිකාර නිසා කුස තුළ සිටින දරුවාට හානියක් සිදුවන බව සිතා ප්‍රතිකාර මග හැරීමයි. ආසු සිනමාපටය දිව යන සරල මූලික තේමාව එයයි. 

ඉන්දිරා ජයසූරිය යනු යකඩ ගැහැනියක බව සැබෑවකි. විශේෂයෙන් ඉහළ මධ්‍යම පාන්තික පරමාදර්ශීය චරිතයක් බවද සැබවි. ඉන්දිරාගේ ශෝචනීය හැරයෑම සමග ඇගේ පියා, සොහොයුරු නෑසියන් එකතුව පිළිකා රෝගීන් වෙනුවෙන් ඉන්දිරා ජයසූරිය පදනම බිහිකර මේ රටට කරන සේවයද අනූපම වේ. එනමුදු දියට හෝ වලට ගොස් එන අතර ප්‍රසුත වේදනා හටගෙන හිටි තැනම දරුවා බිහිකර, දරුවා ද දිය කළය හෝ දරමිටියද දෙකම ඉන හොවාගෙන ගෙදර එන අප්‍රිකානු මව්වරු ගැන කතා ඕනෑතරම් අප ආසා ඇත. ඊට සමාන ශ්‍රීලාංකික මව් වරුන්ගේ කතා ද අසා ඇත. තම දරුවාට අනාර්ථයක් වේයැ‘යි බියෙන් ඖෂධ නොගෙන සිට ජීවිතය කැපකිරීම වැනි දෙයක් ඉන්දිරා අයිති ඉහළ මධ්‍යම පන්තිය තුළ තරමක අමුතුම දෙයක් ලෙස පෙනී යා හැකි මුත් එය මාතෘත්වයේ පොදු ලක්ෂණක් ම වේ. ආසු සිනමා පටයේ තේමාව එතරම් අපුර්ව එකක් නොවෙනවා යැ’යි කළින් කිවේ ඒ අර්ථයෙනි.


ප්‍රේක්ෂකයින් බොහෝ දෙනා කළින්ම දන්නා ඉන්දිරාගේ එම කතාව පාදක සංජීව පුෂ්ප කුමාරට ගොඩනගන්නට සිදුවන්නේ වාර්තා චිත්‍රපටයක් නොවේ. එය ඔහු මුහුණ දෙන ඊළඟ අභියෝගයයි. යම් සිනමාකරුවෙකුට ලැබෙල තේමාවේ නොහොත් කතා වස්තුවේ එවන් සීමිතතා තබේනම්, එවැන්නක් ආශ්‍රයෙන් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කරන්නනම් ඔහුට දෙවැනුව භාවිත කළ හැකි මූලිකම උපකරණයක් වන්නේ ඒ සඳහා තරමක් අපූර්ව ආකෘතියක් භාවිත කිරීමයි. නමුත් ආසු සිනමා පටය දිගහැරෙන්නේ මුළ සිට අගට සරලරේඛීයව ගලා යන සාම්ප්‍රදායික කතා ආකෘතියක් තුළ වීම ද විශේෂත්වයකි.

පෙර කීවා සේ ඉන්දිරා ජයසූරිය යනු ලංකාවේ සිටින පරිණතම දේශපාලඥයකු වන කරූ ජයසූරිය මහතාගේ දියණියයි. එවන් පියෙකුගේ දියණියක ලෙස සිනමාපටයේ දැක්වෙන පැතලි, පෞද්ගලික ජීවන කාරණාවන්ට අමතරව ඇගේ ජීවිතයේ විශාල දේශපාලනික පදාසයක්ද තිබෙන්නට ඇති බව නිසැකය. ඉන්දිරා ජයසූරියගේ මාතෘත්ව ප්‍රකරණයත් මක්සිම් ගෝර්කීගේ අම්මා නවකතාවේ අම්මාගේ මාතෘත්ව ප්‍රකරණයත් වෙනස් බව සැබවි. එසේ නමුත් ගෝර්කිගේ අම්මා තම ජීවිතය කැප කරන්නේ තමාගේ දරුවාගේ සුබ සිද්ධිය සඳහාම පමණක් නොව. එය ඊටත් වඩා පරාර්ථකාමී වූ විශ්වීය ප්‍රේමයකි. ඒ අර්ථයෙන් සිනමා කරුවා ඉන්දිරාගේ එකී සමාජ දේශපාලනික පසුබිම ද මද වශයෙන් හෝ කෘතියට යොදාගෙන තිබුණානම් වඩා හොඳ බවයි අපගේ හැඟීම.


ආසු සිනමා කෘතිය තුළ පැහැදිලිව කැපී පෙනුන දුර්වලතාවක්නම් අනවශ්‍ය තරමට ඇතැම් සිදුවීම් යළි යළි ඉදිරිපත් වීමයි. උදාහරණයක් විදිහට බුදු පිළිමයක් නැවත නැවත පෙන්වීම, සස ජාතකය දේශනා කරන භික්ෂූන් වහන්සේ හා සා රුව නැවත නැවත බොහෝ වතාවක් පෙන්වීම ගත හැක. අධ්‍යක්ෂවරයා සිනමා පටය ආරම්භ වීමට පෙර පැවති කෙටි අදහස් දැක්වීමේදී කීවේ මෙය සාමාන්‍යයෙන් තමා අධ්‍යක්ෂණය කරන සිනමා කෘතියකට වඩා වෙනස් එකක් බවයි. එය ඔහුට සිනමාව ගැන ‘ඇජෙන්ඩා’ එකක් නැතිකමට උදාහරණයක් ලෙස ඔහු දැක්වීය. කලා කරුවකුට න්‍යායපත්‍ර තියෙනවාද නැතිද යන්න වෙනම කතාවකි. නමුත් කලාකරුවාට පැහැදිලි දර්ශනයක් තිබිය යුතු වේ. එය ඔහුගේ කලා කෘතියෙන් කෘතියට වෙනස්වන්නක් විය හැකි නොවේ. නිතර නිතර බුද්ධ රූප දැක්වීම වැනි උපක්‍රම කතාවේ ඒකාකාරී හැඩය නැති කිරීමේදී වැදගත් විය හැකිව තිබූ නමුදු ඒවා යළි යළි බොහෝ වාරයක් පෙන්වීම තුළ ප්‍රේක්ෂකයා වෙහෙසකාරී වනවා සේම ඒවා කතාව ශරීරයට කෘත්‍රිමව ඔබ්බනු ලැබූ සර්වපිත්තල ආභරණයන් තත්ත්වයට පත්වේ. 

ආසු සිනමා කෘතිය නරඹන්නට යන ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළ වාඩි වෙන්නේම ඉන්දිරාගේ ජයසූරියගේ කතාව පිළිබඳ පූර්ව අබබෝධයක් ඇතිවය. සිනමාපටය ගොඩ නැගීම සඳහා මැදිහත් වන ඉන්දිරා ජයසූරිය පදනමද බොහෝ විට තම පූර්ව ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ වැඩිමනක්ම මතු කරන්නේ ඉන්දිරා ජයසූරියගේ සත්‍ය කතාවයි. එය වරදක් නැත. නමුත් කතාවේ අවසානය කළින්ම දැනගෙන සිනමාහලට යන ප්‍රේක්ෂකයාට, කතා නායිකාවගේ අසනීපය ක්‍රමයෙන් වර්ධනය වෙමින්  වැඩි වැඩියෙන් ලේ වමනය වීම වැනි දර්ශන නැවත නැවත පෙන්වීමට වැඩි කාලයක් ගැනීම ද ඉතා වෙහෙසකර වේ. මන්ද යත් ඔහු මේ බලන්නේ කතාවේ අවසානය නොදන්නා සිනමාපටයක් නොවන නිසාය. ඇය මිය යාද නොයාද යන පූර්ව අවබෝධයක් නොමැති රසිකයකුටනම් එවැනි දර්ශන තම කුතුහලයත් සංවේදනාත් කුලුගැන්වීමට ඉවහල් වනු ඇත.

කතාවේ ප්‍රධාන චරිතය රඟපාන උදාරි වර්ණකුල සූරිගේ රංගනය අති විශිෂ්ඨ වන අතර, ඩිනාරා පුංචිහේවා, ශ්‍යාම් ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න ආදී සියලු නළුනිලියන්ගේ රංගනය කතාවට උපරිම සාධාරණයක් ඉටු කරන බව නොකිව මනාය. සිනමා පටය සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන තවත් කාරණා දෙකක් වන්නේ වේශ නිරූපණය හා සංගීතයයි. කතාවේ සියුම් සංවේදනාවන් මතු වන්නට සංගීත සංරචකයින් දෙදෙනා දක්වන සියුම් දක්ෂතාව අමතක කරන්න බැරිය. විශ්ව නාරද තොටගමුවගේ වේශනිරූපණය ද අති විශිෂ්ඨ වේ. විශේෂයෙන් කතා නායිකාව අධික ලෙස අසනීපව මරණාසන්නව සිටීම නිරූපණය කරන හැටි ඇදහිය නොහැකි තරම්ය. ප්‍රේක්ෂකාගාරය වඩාත් සංවේදී කරන්නේ රංගනය, සංගීතය හා වේශනිරූපණය නම් මේ සියලු කාරණාවන්ගේ සමාවාය බව පැහැදිලි ය.

දිනෙන් දින සිනමාවෙන් ඈත්වන ප්‍රේක්ෂකාගාරය යළි සිනමාව කෙරේ ආශක්ත කරගැනීමට ආසු වැනි සිනමාපට වලින් වන සේවය ඉතා වැදගත් වේ. මේ සිනමා කෘතියේ ප්‍රචාරණ වැඩ පිළිවෙළ හා එහිදීම සංවිධානය කර ඇති රචනා තරග ආදිය ද ඒ ගමනේ තීරණාත්මක හා වැදගත් කාරණාවන් ය.

   - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

           (අනිද්දා පුවත්පත -  2023.10.22)

    

Saturday, June 3, 2023

අරියාද්නේ ; ප්‍රේමය ගැන අසමාන කවි


කවියකුට පබඳින්න, ලේඛකයකුට ලියන්නට, නාට්‍යකරුවෙකුට, සිනමාකරුවෙකුට, සිත්තරෙකුට නිර්මාණකරණය සඳහා වස්තූවිෂය කරගන්නට ප්‍රේමය තරම් වෙනත් අත්දැකීමක් ඇත්ද? ලොව බිහිව ඇති මහා නවකතා, සිනමාපට, කාව්‍ය ආදී යට කී සකලවිධ කලාවන්ගේ මහා නිර්මාණයන් අති බහුතරයකට වස්තු විෂය වී ඇත්තේ මේ උත්තුංග ප්‍රේමයම නොවේද? එදා මෙන්ම අදත් හෙටත් මේ විශ්වීය දහම එලෙසින්ම පවතිනවා නොඅනුමානය. කලාවත් ප්‍රේමයත් අතර ඇති මේ අත්‍යන්ත බැඳිම පිලිබඳ මගේ සිහිය යළි අලුත් කරනු ලැබුවේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ සිවුවන කාව්‍ය සංග්‍රහය වන ‘අරියාද්නේ’ කියවද්දී ය.

අරියාද්නේ කෘතියේ සංගෘහිත කාව්‍ය අතරින් අති බහුතරය ප්‍රේමය පසුබිම්කොට ගත් ඒවාය. යම් කවියෙක් එකම තේමාවක් මත නිර්මාණ කිරීමේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ එවන් නිර්මාණ අතර නිරායාසාත්මකව ඇතිවන ඒකරූපී භාවයයි. එවන් ඒකරූපී නිර්මාණ කෘති අතර තිස් අවුරුදු යුද්ධය - ජනවාර්ගිකත්වය පදනම් කරගනිමින් පසුගිය කාලය තුළ ලංකාවේ නිර්මාණය කෙරුණු ඇතැම් කාව්‍ය කෘති ඇති බව මගේ සිහියට ඒ. 

ප්‍රේමය වනාහි රටක හෝ කලාපයක පවත්නා යුද්ධයකට වඩා පෘථුල විශ්වීය දහමක් බව ඇත්තය- එසේ වුව අති සූක්ෂ්ම නොවූ කලාකරුවෙක් අතින් එවැන්නක් පවා පුනරුක්තිමය ඒකාකාරීභාවයකට පත් වීමට අති ඉඩ ඉතාමත් වැඩිය. කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ අරියාද්නේ කෘතිය සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රේමය පදනම් කර ගත් නමුත්, එකී  නිර්මාණ සමුච්චයේ එකදු කවියක් හෝ අනිකකටකට සමාන නොවීම විශේෂත්වයකි. ඒ ප්‍රේමයේ ඉසියුම් මානයන් තම කවිය තුළ ස්පර්ශ කරන්නට කිවිඳිය දක්වන ප්‍රතිභානය හා වියුත්පත්තිය නිසාය. 

ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සතු යටකී අනිර්වචනීය, අනූපමේය සහ අපරිමිත ගුණය කිවිඳිය මෙසේ දක්වයි. 

සීරුවට ඉසියුම්ව කියෙව්වත් 

සිතක සිතුවිලි කන්ද 

‌ප්‍රේමයට වග වාසගම් දෙන්න

ඔබට මට පුළුවන්ද


දැනෙන තැන - මනින ඉම තියෙන්නේ

මනිනු බැරි දුරකින්ද

තනිව හිඳ දැවෙන විට නිවන අත

ගිහන්නේ හිතකින්ද

(විමසා දැන පසිඳ, නැවත විමසන විට පවා - අරියාද්නේ 21පිට)


ස්ත්‍රී පුරුෂ සිත්වලට ආදරය කාන්දුවන්නේ කොතනින්ද? ප්‍රේමය යනු හුදෙක් මනසේ රසායනයන් මගින් ඇති කරවන හැඟීමකට දෙන අන්වර්ථ නාමයක්ද? නොඑසේනම් අශ්පර්ෂීය හදවතක් තුළින් (හෘද වස්තුව නොවේ) එය පැණ නගිනවාද? ප්‍රේමයේ පැණනැඟීම මෙන්ම ප්‍රේමය බිඳී ගිය පසු ඇති කරවන විප්‍රයෝග වේදනාව හා එය කාලයත් සමග සුව වීම යනු අර කියූ රසායනයන් විසින්ම ඇතිකරන ක්‍රියාදාමයක්ද? නොඑසේනම් එය වචනයන්ගෙන් පහදන්න බැරි අර කියූ අශ්පර්ෂීය හදවතක පොර බැඳීමක්ද?

කෙසේ වුවද මන මෝහනීය අයුරින් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයක් නොසිතූ අයුරින්, එක් පාර්ශ්වයක් විසින් අනෙකාට දුන් සියලු‍ පිළින සුන්කොට නිමා කළහොත්, අනෙක් කෙනා ඊට දක්වන ප්‍රතිචාර විවිධාකාර වන බව පැහැදිලිය. එවන් අවස්ථාවකදී කෙනෙකු අනික් පාර්ශ්වය කෙරේ සදාතනික වෛරයෙන් අනෙකා පිහි ඇනුමකින් මරා දැමීමට හෝ තමාම සිය දිවි නසාගැනීමට පෙළඹෙන ආකාරයද ඇතැම්විට පෙනේ. තවත් කෙනෙක් එවන් හද බිඳුමක්, වේදනාවත් සමග පොර බදිමින් කාලයක් සිට කාලයට ඉඩදී අමතක කරයි. තවත් කෙනෙකුට පෙම් සබඳතාවක් බිඳීම යනු සැලකිය යුතු තරම් දෙයක් නොවීමටද පුළුවන. එය එකිනෙකාගේ දරාගැනීමේත්, විඳවීමේත්, ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමේත් ධාරිතාව මත රැඳී ඇත. කල්පනාගේ මේ කවිය බලන්න,


සදාකාලික පිළිණ සුන් කොට

කතා බස් නිමා කොට

කුණාටුව හමා ගොස්

අනන්තය ගෙවී ගිය තැන

උදා වෙයි ඒ මොහොත


දේදුන්න මැකී ගොස්

අළු පැහැය පමණක් ශේෂව

නිම්නාද නැවතී

නිහඬ බව පැතිරී

අක්ෂර ශබ්ද ඉක්මවූ බසකින්

කතාබස් ඇරඹෙන

මන්ද්‍ර ස්වර තන්තු අවදි ව

ඉසියුම් කේශනාලිකා විමසන

හදෙහි අත්‍යන්ත ගැඹුරෙහි

ඔබ නැවත ඉපදෙන

ඒ මොහොත!


කාලයට සහ 

ආලයට ඉහළින්

ඒ මොහොතමොහොත

(ඒ මොහොතත - අරියාද්නේ 24පිට)


මෙහිදී ඉඟි කෙරෙන්නේ අනෙකා වඩාත්ම දැනෙන, හැඟෙන, තේරුම් යන මොහොත උදාවන්නේ එකී සියලු උස් පහත්වීම්වලින් පසු එළඹෙන පශ්චාත් වියෝග සමයේ දී බවයි. එය කාලයට හා ආලයට ඉහළින් ඇති මොහොතකි. එය හරියට කාමසුඛල්ලිකානු යෝගී වෘත්තයටත්, අතතකිලමථානු යෝගී වෘත්තයටත් දෙකටම පසුව උතුම් බුද්ධත්වය ලැබුවා සේ සියල්ලට ඉහළින් ඇති උත්කෘෂ්ඨ වූ දෙයක් විය නොහැකිද? මෙකී මානව හිතවාදී දැක්ම පිහි අමෝරා පෙම්වතිය පස්සෙන් යන හෝ විඳව විඳවා තමාගෙන්ම පළිගන්නා අන්තවාදයන්ගෙන් සමාජය ඔසවා තබන්නක් ම වේ.

මිනිස් අත්දැකීම්  සහ කල්පනාවන් බොහෝ විට සැකසෙන්නේ ඔහු හෝ ඇය එදිනෙදා අත්දකින දේවලිනි. අලු‍ත උපන් දරුවාගේ මනස සුදු පැහැති හිස් කොළයක් මෙන් වන බවත් එය පරිසමාප්ත බවට පත්වීමේදී එහි සටහන්වන සිතුවම් හෝ අකුරු දරුවා වැඩිවියට පත්වීමත් සමග ලබන අත්දැකීම් වන බවත් ජෝර්ජ් ලොක් කීවේ එහෙයිනි. සාමාන්‍ය අත්දැකීම් අත්වින්දෙකු ලෝකය දකින ආකාරයත් සුවිශේෂී අත්දැකීම් ඇත්තන් විසින් ලෝකය දකින, විඳින ආකාරය තුළත් පැහැදිලි වෙනසක් තිබේ. ඒ අතරිනුත් සාහිත්‍ය පොත්පත්, සිනමා කෘති, නාට්‍ය, සංගීතය ආදී සකලවිධ පරිකල්පනීය කලාවන් අත් විඳින කෙනෙකු ලෝකය දකින, විඳින හා ඔහු ලෝකයෙන් ඉල්ලා සිටින දේ සියලු‍ දෙනාටම වඩා ඉහළින් තිබීම සාමාන්‍ය දෙයකි. මන්ද යත් යටකී කලාවන් ස්පර්ශ කිරීමත් සමග ඔහුගේ හෝ ඇයගේ පරිකල්පනීය ලෝකයද  ඒ සමග පුළුල් වන නිසාය. 

ගැටලු‍ව ඇත්තේ එදිනෙදා ජීවිතයේදී මෙකී පරිකල්පනයන් කොතෙක් දුරට යථාර්ථයක් බවට පත් කර ගන්නට ඔහුට හෝ ඇයට හැකියාව තිබේද යන්න තුළයි. අනෙක් කාරණය වනේනේ එක සමාන පරිකල්පනීය ලෝකයන් දෙකක් ඇති පුද්ලයින් දෙදෙනෙක් මුණගැසීමට ඇති ඉඩ කොතෙක් අල්පද යන්නයි. එවන් විපුලිත පරිකල්පනීය ලෝකයක් ඉල්ලා සිටින ස්ත්‍රියකට හෝ පුරුෂයකුට එවැනිම පරිකල්පනීය ලෝකයක ජීවත් වෙනවා වෙනුවට - මහපොළවේ  යථාර්ථය සමග ජීවත්වන, පණගැහෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ආලය කළහොත් ඔහුගේ හෝ ඇගේ ආලයට කුමක් උරුම වේවිද? එවන් පුද්ගලයකු සමග විවාහ වුවහොත් ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය කවරාකාර වේවිද? බලන්න අරියාද්නේහි එන මේ කෙටි සහ බැලූ බැල්මට සරල කව එවන් පරිකල්පනීය මානයක්  ඔස්සේ රසිකයා රැගෙන යන දුර.


හිත්වල තිබුණු 

වැඩි ම ඉඩ අරගත්තෙ

පොත්වල කවි කතාවල

උත්තුංග පෙම්වත්තු


ඒ අයට ඉඩ දිදී

ඉතිහාසගත නොවී

අඩුපාඩු අස අසා 

හෙමි හෙමින් මිය ගියේ

ළඟ රැඳුණු  පණ ගැහුණු 

ප්‍රේමයේ දළ ඇත්තු

(අදිසි  - අරියාද්නේ 66 පිට)


කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ අරියාද්නේ කෘතියේ මා දකින තවත් විශේෂත්වයක් වන්නේ කෘතියෙහි සංගෘහිත බොහෝ නිර්මාණ එහි උපරිම අර්ථයෙන් වින්ඳනය කිරීමට කවිය විසින් යම් කිසි මූලික සුදුසුකම් හෙවත් පූර්ව කියැවීම් ප්‍රමාණයක් රසිකයාගෙන් ඉල්ලා සිටීමයි. මක් නිසාද යත් මෙහි සංගෘහිත බොහෝ නිර්මාණ වෙනත් කවියක්, නවකතාවක්, කලා කෘතියක්, ගීතයක් හෝ ඇතැම්විට තවත් කලා කරුවකුගේ ජීවන පුවතක් වැනි දේවල් හා බැඳී තිබීමයි. උදාහරණයක් ලෙස කෘතියෙහි නම සඳහන් අරියාද්නේ නම් කව ග්‍රීක මිත්‍යාකතාවල එන අරියාද්නේ කුමරියගේ පුවත පාදක කරගෙන තිබේ. එසේම කොළරා කාලේ ආලේ, ගොළු හදවත, මළගිය ඇත්තෝ, ඇට මැස්සා, වදරින් හයිට්ස්, ගම්පෙරළිය වැනි දෙස් විදෙස් කෘති මෙන්ම ඇතැම් ගීත පවා කිවිඳිය තම කවි සඳහා අනුභූති කොට ඇත. මෙය ව්‍යුත්පත්තිය සහිත සීමිත කවි කිවිඳියන් කීපදෙනෙකු සතුව පමණක් ඇති ගුණයක් වේ- එමෙන්ම මෙවන් වියුත්පත්තියෙන් යුතු නිර්මාණකරුවන් කීපදෙනෙකු හෝ කාව්‍යකරණයේ ව්‍යාවුර්තව සිටීම, සමාජ මාධ්‍ය ඔස්සේ විවර වී ඇති කවි ලිවීම සඳහා හැමට ඉඩ විවරවීම නම් සත් ගුණයත් එක්කම නැතිව යමින් ඇති ලියන්නට පෙර කියවා හැදෑරිය යුතුය යන ගුණයට අභියෝග කරන්නකි. එසේම අරියාද්නේ තුළ ඇති මේ කවි අදාල අනුභූතිලත් කෘති පරිශීලනය නොකළ අයෙකුට විඳීමේ බාධාවක් නැති බව ද කිව යුතුමය.

-ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

'අනිද්දා' පුවත්පත. 2023.05.28

Monday, February 27, 2023

මර්යුෂ්කා


යකඩ මිරිවැඩි සඟල තුනකුත් 
යකඩ හැරමිටි තුනක් වෙනකුත්
යකඩ හිස්වැසුමන්ම තුනකුත් 
ගෙවෙන තුරු එකලාව ඇවිදින 

මුහුදු හතකට එහා
දේශ හතකින් එපිට
මංමුළා පෙම්වතා
කෝ කොයිද විමසන

කවුළු දෑලේ සැඟවුණු
තියුණු පිහි තුඩු මළපුඩු
සිදුරු කළ රාජාලි පපුතුරට
කඳුළු ඔසු තවරන්න බැරිවම

සිදුරු වූ පෙම්වන්ත හදවත
ගාලා ගිය රුහිරු දැක වැළපුන

අඳුරු වන පෙතක් අස
රුදුරු ගිරි ශිඛර මත
වංකගිරි මාවත
වාරුනැතිවද දෙපා - ඔසව ඔසවා තැබුව

නුඹට හමුවිද ඉතින්
අහිමිවුණ ආදරේ පියාපත?

මූදු හතකින් එහා මාවත 
හිත්ගත්ත ලංසුවල නොබැඳුන
දේශ හතකින් එහා පිරිපත
එකලාව තනි හිතින් විඳගෙන

මයා රැජිනගේ ඉනාවට
බැඳ  දැම්ම සංසාර ප්‍රේමය
පාවා නොදුන්
පරමාදර්ශ පෙම්වතී නුඹ 
මර්යුෂ්කා

ඔව්,
ඒ ආදරේ හුස්ම තවමමත්
එදා වාගේම දැවටිලා තියෙනවා
සුරඟන කතා පිටු වල..!

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර