Wednesday, December 16, 2020

දරු නැළවිල්ල

 


දොයි  දොයි  දොයි  දොයිය             බබෝ

බයි  බයි  බයි   බයිය                      බබෝ

 

නිදහස මහ මුහුදක්                             වේ

එහි උල්පත පුත! නුඹ                         වේ

ඒ ගැන සිහිකොට මෙලො                  වේ

නුඹේ වැඩක් බල, සුබ                        වේ

 

බියගුලුකම නිවට කම                           යි

රැකවරණෙට හොඳම මග                      යි            

එලෙසට වැඩ කරනු නිම                       යි

නුඹයි මමයි ගොඩම තම                        යි

 

ගැමුණු අබා රජ්ජුරු                           වෝ

දෙස බස රැස මුර  කෙරු                    වෝ

පුතුනේ නූතන මරු                            වෝ

එ් සදිසි  වෙන්න වෙර දැරු                 වෝ

 

ඇතිනම් මා අත කඩුව                          ක්

මට සක් දෙව් කෙරෙයි කුම                  ක්

මෙබස කියූ සිහල පුතෙ                        ක්

උඹට පුතේ වෙයිද මත                          ක්

  

ලක් වැසියන් කෙරෙහි නැ                     මී

චීනෙන් මහ වෙළඳ හි                            මි

ණය කන්දක් ලැබෙයි හෙ                      මී

පුත නුඹටත් එණය හි                             මී

  

දොයි  දොයි  දොයි  දොයිය             බබෝ

බයි  බයි  බයි   බයිය                       බබෝ

 

එක විරුවෙක් ගස් කප                        තේ

තවත් එකෙක් වැලි කණි                     තේ

බාර් සූදු පොල අරි                               තේ

නුඹට කිමැයි නුඹ නිද                          තේ

 

තමන් ලැබූ දිවි පෙවෙ                        තේ

කොටසක් නෑසියන් වෙ                     තේ

නොම දුන්නොත් හොරෙන් පු            තේ

උන් නොට්ටිගෙ පුතුන් වෙ                 තේ

 

කුල බේදය ලියලන්                           නේ

ජාතිවාද දලු ලන්                               නේ

මේ රට මේ හැටි යන්                         නේ

උඹත් පුතේ වැඩ ගන්                         නේ

 

හිතමින් සස්නට  විප                           තා

පල්ලිවලට ගිනි තැබෙ                        තා

ඒ ගැන දුක් වුනොත් පු                        තා

අවජාතන වනු නිය                              තා

 

සතුරුව පෙරමුණට එතො                     ත්

කොට්ට කඳක් සමග වුව                       ත්

මිතුරු වෙයන් පුතේ නුඹ                       ත්

ඒකයි හරි නුවන සම                             ත්

  

නිරිඳෙක් නීතිය හද                            තේ

තවකෙක් නිර්වචන දෙ                       තේ

උන් සේරම ඒ කඩ                             තේ

තොටත් මටත් එහිමි නැ                      තේ

 

දොයි  දොයි  දොයි  දොයිය             බබෝ

බයි  බයි  බයි   බයිය                       බබෝ


දෙන දිවි මුත් රට වෙනු                    වෙන්

ජාතික දරුවන් ලැබු                       වෙන්

මිදී නොයෙක් සතුරු මු               වෙන්

ලක් මව් විසුවාය සු                       වෙන්


එබදු උතුම් ලංකා                               වේ

ඝාතන කුඩු දූෂණ                               වේ

මේ ගැන වැඩ කළොත් ලො                වේ

නුඹට සොහොන් කොත් ඉදි                වේ

 

ඉල්ලුම ඇති දේ මතුය                         න්

බල බල උනනිව් කිසිය                        න්

අසමත් වූවොත් නොසිත                      න්

ලොව මෙතෙකැයි කියා පුතු                 න්

 

ඉදිකොට පුර-මග මහ                          රූ

අප නිරිඳුන් රජ කුම                             රූ

කොන්ත්‍රත් ජය ගත් අයු                        රූ

නුඹට පුතේ වේ මියු                             රූ

 

රජ මැති කැඳවාන සො                         ඳා

පච කෙලිතියි එතරු වෙ                        දා

ඒ ගැන වැඩ කළොත් මෙ                     දා

නුඹට කේතු ලැබෙයි ස                         දා

 

උස්තැන් දැක හැකිලෙන්                   නේ

මිටිතැන් දැක පුප්පන්                        නේ

වියතුන් බව සිතමින්                          නේ

මගේ පුතා ලොකු වෙන්                     නේ

 

-  ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

    (2020.12.16)