Sunday, April 18, 2010

මගේ නිර්මාණවලට පාදක වන්නේ කටුක මානව පීඩනයයි



මගේ නිර්මාණවලට පාදක වන්නේ කටුක මානව පීඩනයයි


- මහාචාර්ය පියසීලී විජේමාන්න -


සම්භාව්‍ය සාහිත්‍යය ග්‍රන්ථයක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයකට ආචාර්ය උපාධිය ලබාගන්නා ඔබ මේ රටේ ඔබ වඩාත්ම ජනප්‍රිය වන්නේ කෙටිකතාකාරියක හැටියට. මේ සඳහා ඔබේ අවතීර්ණය කාහොමද?


මම පාසලේ පහළ පංති වල සිටිද්දිත් සිදුවීම් විස්තර කරන්න දක්ෂයි. ලිවීමේ හැකියාව ප්‍රකට කරන්න කළිං මම ''කියවීමට'' දක්ෂව සිටියා. කියවනවා කියන එකේ අර්ථ දෙකක් තියෙනවානෙ. පොත්පත් කියවීම ඉන් එකක්. පොත්පත් කියවන්නට දක්ෂ වෙන්න කළිං මං අනිත් කියවීමටයි දක්ෂව හිටියේ. ඒ අනුව මං සිද්ධ නොවුණු දේ සිද්ධවුණා වගේ කීමට, එසේත් නැතිනම් බොරු කීමට දක්ෂ වුණා. අවුල් වියවුල් ඇති කරන බොරු නෙමෙයි. බොරු කතා ගොතපු කතා එහෙම කියනවා. එහෙම කියලා කීපවරක්ම ගෙදරින් ගුටි කෑව. ඊට පස්සේ මගේ බොරු කතා වලට වැඩියෙන්ම ආශාවෙන් ඇහුම්කන් දුන්නෙ පංතියේ ගෑනු ළමයි. කුඩා කාලෙ බොහෝ විට මට තිබුණෙ ගෙදරටයි පාසැලටයි කොටු වූ සීමාසහිත අත්දැකීම්. ඒත් මගෙ පරිකල්පනය නිදහසේ, නිදැල්ලේ සැරිසැරුවා. ඒ පරිකල්පනයෙන් මම බොරු කිව්වා.

උදාහරණයක් කියනව නම්, අපේ පාසැලේ පොතක ''ගල් වැද්දෝ'' කියලා පාඩමක් තිබුණා. කොළ අතු ඇඳගෙන පොරෝ කරේ එල්ලාගත්තු මිනිස්සුන්ගෙ පින්තූරයකුත් තිබුණා ඒකෙ. අපේ වත්තට ඉස්සරහ පාරෙ අනෙක් පැත්තෙ විශාල වතු යායක් තිබුණා. ඕකට කවුරුත් කිව්වෙ ''ගල් කොන වත්ත'' කියලා. හේතුව තමයි ඒ වත්තෙ ඈත කොනක කන්දක් වගේ උස ගල් පර්වතයක් තිබුණු එක. ඒ ගල වටේම කැලෑව. දවසක් මගේ අය්යා කෙනෙක් මාවත් වඩාගෙන තවත් ගමේ ළමයකුත් එක්ක ඒ කැලේට ගියා ''කොරකහ අතු'' කපන්න. අපි පුංචි කාලෙ මිදුල අතුගාන ඉදල් හැදුවෙ කොරකහ ඉපල් වලින්. අය්යා මාව අර ළමයා ළඟ නවත්තලා අර ගල දිහාට ගියා. මටත් එන්න ඕනෑ කියලා ඇඬුවාම ඒ ගුහාවල ''නපුරු උන්'' ඉන්නවා කියලා අය්යා කිව්වා. ඉතිං අර ගල්වැද්දන් පිළිබඳ පාඩමයි පින්තූරයි අර ගලේ ගුහායි සම්බන්ධ කරලා පහුවදා මං පාසැල් වවේක වෙලාවෙදී කතාවක් කිව්වා. ඇත්තටම උණා වගේ.

අනෙක තමයි මම පුංචි කාලෙ ඇවිදින්න යන්න හරි ආසයි. ඒ දවස්වල මට අවට ලෝකය ගැන ලොකු කුතුහලයක් තිබුණා. මම නිතර පාසැලෙන් කට්ටි පැනලා තවත් යෙහෙළියකුත් එක්ක අවට හැතැම්ම පහ හයක වට පිටාව බලන්න යනවා. ගොයම් කපනවා බලන්න, මහ වැව වාන් දානවා බලන්න, අපි නිතරම ගියා. අනික් අතට ඔය ගමන් වලින් මම පුදුම ආශ්වාදයක් වින්දා. සමහර දවස්වල මං ආපහු ගෙදර එනකොට හැතැප්ම හතරක විතර ඈත කෙනෙක් අප්පච්චිට කියලා මං ඒ ගමේ ඇවිදිනවා දැක්කා කියලා. අප්පච්චි මගෙන් ප්‍රශ්න කළාම මම නෑමයි කිව්වා. එකකොට අප්පච්චි කිව්වා ''අර යකා වෙන කාටද රැවටිලා මේ පොඩි කෙල්ලට තේරුමක් තියෙනවයැ ඕවයෙ යන්න'' කියලා. ඉතින් මට මගේ වික්‍රම ක්‍රියා මල්ලිටවත් නංගිටවත් කියන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඔය වගේ ගමන් බිමන් හා ඒකී පරිසරය නිරන්තරයෙන් මගේ මනස තුළ පරිකල්පනයත් නිර්මාණශීලීත්වයත් ඇවිස්සුවා.


ඔබේ ලිවීම සම්බන්ධයෙන් පාසැල් ගුරුවරුන් දැක්වුවේ මොනවගේ ප්‍රතිචාරයක්ද?


මගේ රචනාවන් සම්බන්ධයෙන් පාසැලේ ගුරුවරුන්ගේ ඍජු අනුමැතියක් ලැබුණේ නැතත් වක්‍ර අනුමැතියක් ලැබුණා. ඒ කාලේ රචනා මාතෘකා දුන්නම මං වඩාත් ලස්සනට ලිව්වෙ ''ගින්නක්'' , ''වැහි දිනයක්'' , ''එඩිතර ළමයෙක්'' වගේ මාතෘකා. බොහෝවිට ගුරුතුමා හෝ ගුරුතුමිය මගේ රචනා පංතියටම ඇහෙන්ඩ කියවනවා. මගේ මතක තියාගැනීමේ ශක්තිය ඒ දවස්වලත් අඩුයි. ඉතිහාසය පාඩම්වල වර්ෂ කවදාවත් මට මතක හිටියේ නෑ. එක පන්තියකදී ඉතිහාසය උගන්නපු ගුරුතුමා දවසක් වාර විභාගයක ලකුණු ගැන සඳහන් කරමින් කිව්වා ''මේ ළමයා ලියන්නෙම බොරු. ඒත් ලකුණු නොදිත් බෑ. බොරුව හරි ලස්සනට ලියනවා'' කියලා. ඒ ගුරුතුමාගෙ නම ජයසිංහ. එතුමා අපිට චිත්‍රත් ඉගැන්නුවා. පාසැල් යන දවස්වලත් මං කෙටිකතා ලිව්වා. ඒවා කෙටිකතා වලට වඩා කතන්දර හැටියට හඳුන්වන්න පුළුවන්. අභ්‍යාස පොත්වල ලියූ එම නිර්මාණ, ප්‍රවේශම් කරලා තියා ගත්තු නැති එක ගැන මම අද දුක් වෙනවා.


නූතන කෙටිකතා ආකෘතියෙන් ලිවීම සඳහා ඔබ පෙළඹෙන්නේ කොහොමද?


පාසැල් කාලයේදීම මා තරග කිහිපයකට යැවූ මගේ කතා වලට ත්‍යාග හිමි උණා. නමුත් කෙටිකතා එකතුවක් ලෙස මුද්‍රණය කිරීම දුෂ්කර කටයුත්තක් ලෙස යි ඒ දින වල හිතාගෙන හිටියේ. විශාල මුදලක් වැයවේය සිතා ඒ ගැන පසුබට වූවා. 1982 වර්ෂයේ බුද්ධිමය දේපළ පනතින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශන අයිතිය පිළිබඳ ජාතික අවබෝධයක් ඇති කිරීමට ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමන් යටතේ වූ වෙළඳ හා නාවික අමාත්‍යාංශයෙන් දීප ව්‍යාප්ත සාහිත්‍ය තරගයක් පවත්වනු ලැබුවා. එහිදී මගේ ''පිබිදෙන ජීවිත'' කෙටිකතා අත් පිටපතට ප්‍රථමස්ථානය ලැබී එය රජයේ මුද්‍රණ අනුග්‍රහයෙන් මුද්‍රණය උණා. එහි එන ''වෙලේ ගෙදර සුගුනවතී'' අ.පො.ස උසස් පෙළ සිංහල විෂය මාලාව සඳහා 1997 සිට නිර්දේශ වෙලා තියෙනවා.

මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ පුස්තකාලයේ තිබුණු ''ඇන්ටන් චෙකොෆ්'' , ''ඡේම්ස් ජොයිස්'' , ''කැතරින් මෑන්ෆීල්ඩ්'' ආදී ලේඛකයන්ගේ කෙටිකතා ආශාවෙන් කියෙව්වා. සමහර නිර්මාණ කීප සැරයක් කියෙව්වා. ඔබ ඇහුවා වගේ, මගේ නිර්මාණ කුඩා කාලයේ තිබූ කතන්දර ආකෘතියෙන් මෙපිටට ගෙන ඒමට මං සමත් වුණේ ඒ කියැවීම් සමග ලත් ආභාසයත් එක්ක. ඒත් මගේ මුල් කාලය වන විට කෙටිකතා කියවව්වත් ඊට සාපේක්ෂ ලෙස කෙටිකතා විචාර ඒ තරම් කියවලා තිබුණේ නෑ. නවකතාවක් එකවරකට වඩා කියවන්ඩ නොසිතෙන මට ඇතැම් කෙටිකතා ආයෙ ආයෙ කියවන්න හිතුනේ ඇයි කියන ප්‍රශ්නය ගැන මං හිතුවෙ ගොඩක් කාලයකට පස්සෙ. නවකතාවකට තේමා නොවෙන, ඒ වගේම නොවැදගත්, සුළු දේ ලෙස පෙනෙන බොහෝ කරුණු කෙටිකතාවල මුඛ්‍යාර්ථය හා බැඳෙනවා. නවකතාව ප්‍රධාන හා අතුරු පාරවල් දිගේ යන ලොකු සතෙක්. එයට හසුවන්නෙ වැඩිපුරම මග දෙපස වන ලොකු දේවල්. කෙටිකතාව මකුළු දැල්වල පැටලි පැටලි දූවිලි තවරාගෙන අස්සෙ මුල්ලෙ රිංගන කුඩා සතෙක්. ලොකු සතාට නොපෙනෙන අස්සෙ මුල්ලෙ, කසළ ගොඩවල තියෙන වටිනා දේ, කවුරුත් දැකිය යුතු දේ, දැකගත යුතු දේ කුඩා සතා දකිනවා. හදිසියේ හිතට ආ මේ උපමාව ඇතැම්විට කෙටිකතාව හා නවකතාව අතර වෙනස පැහැදිලි කිරීමට සුදුසුම අදහසක් නොවන්නත් පුළුවනි.


ප්‍රවීණ කෙටිකතා කාරියක හැටියට ඔබ කෙටිකතාව හඳුනාගන්නේ (අනුභූති - 1987) මානව දරිද්‍රතාව, එසේත් නැතිනම් මානව පීඩනය නිරූපණය කරන සුවිශේෂී කලාංගයක් හැටියට. නූතන කෙටිකතාව සම්බන්ධයෙන් මෙවන් නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ කවර කරුණක් පදනම් කොට ගෙන ද?


නූතන කෙටිකතා‍ෙවන් ප්‍රධානතම වශයෙන් කෙරෙන්නේ බාහිර - අභ්‍යන්තර බලවේග වලට මුහුණ දෙන මිනිසා ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය නිරූපණය කිරීම. බාහිර බලවේග හැටියට ගන්න පුළුවන් ස්වභාවධර්මයෙන් ඇති කරන පීඩන. ගංවතුර, වැස්ස, අව්ව, සුනාමි, බඩගින්න, පිපාසය , ලෙඩ රෝග, මරණ ආදිය එකී බලවේග අතර වනවා. තවත් ආකාරයකට ඇති බාහිර බලවේග ලෙස හැඳින්විය හැකි, සිරිත් විරිත්, ජාති, ආගම්, කුල, ඇගයීම්, විශ්වාස, විවාහ සංස්ථා වැනි දේ මිනිසා විසින්ම නිර්මාණය කර ගත් දේවල්. මිනිසා තම පැවැත්ම සඳහා සකසා ගත්තද මේවා විටෙක කෙනෙකුගේ පීඩනයට හේතු වෙනවා. අභ්‍යන්තර බලවේග ලෙස මිනිස් සන්තානය හෙවත් මනස මූලික කොට ගෙන ඇති වන බලවේග හඳුන්වන්න පුළුවන්. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මසුරුකම, ඇල්ම, ලෝබය, සැකය, හීනමානය, අති මානය, පාළුව, තනිකම, බිය ආදිය ඒ අතර වනවා. හොඳ කෙටිකතාවක් මිනිස් මනස හා අභ්‍යන්තරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සජීවී චිත්‍රයක් මවනවා.

ඔබ ඉහත සඳහන් කළ ලිපියෙහි මම මගේ මතය සනාථ කරන්නට ''ෆ්රෑන්ක් ඕ කෝනර්'' දැක්වූ අදහසක් උපුටාගෙන තියෙනවා. කෝනර්ට අනුව කෙටිකතාව ඉබාගාතේ මංමුළා ව මෙන් ගැවසෙන කොන් වූ, අනාරක්ෂිත හැඟීමෙන් අසහනයට පත් පුද්ගලයන් පිළිබඳ සංකල්පගත කර ගන්නවා. තවද නවකතාවට වෙනස් ලෙසින් ඇති කෙටිකතාවට ආවේනික වූ ලක්ෂණය ලෙස කෝනර් දක්වන්නේ එහි නිරූපිත කටුක මානව තනිකම (Human Loneliness) යි. ඒ විතරක් නෙමේ, ඔහු තමාගෙ විචාර ග්‍රන්ථය හඳුන්වලා තියෙන්නෙත් ''කාන්සියේ හඬ'' හෙවත් The Lonely Voice කියලා.

ඉහත සඳහන් කළ කෘතියේදී කෝනර් තම මතය තහවුරු කරීමට විවිධ උදාහරණ ගෙන හැර දක්වනවා. ''වැලපීම'' , ''විලාපය'' ආදී ලෙස සිංහලයට පරිවර්තනය වෙලා තියෙන චෙකොෆ්ගේ කෙටිකතාව අරගෙන බලමු. එහි එන ''පොටපොප්'' නම් රිය කරුවාට සිටි එකම ඥාතියා වූ කුඩා පුතා උණ රෝගයකට ගොදුරු වී මිය යනවා. පොටපොප්ට මේ දුක දරාගන්න අමාරුයි. ඔහු තමාගෙත් තම අශ්වයාගෙත් බඩගින්න නිවීම සඳහා දුම්රිය පොලේ සිට මගීන් එහා මෙහා ප්‍රවාහනය කරනවා. ඔහු ඒ මිනිසුන් හට තම දුක ප්‍රකාශ කිරීමට උත්සහ ගත්තත් එය සාර්ථක වන්නේ නෑ. මිනිසුන් ලක්ෂ කෝටි ගණනක් මැද වුවද මිනිසා හුදකලා වන අයුරු ඒ අනුව මේ නිර්මාණය මඟින් මනාව නිරූපණය වනවා. අනෙක් අතට මේ කතාව කාල-දේශ වගේම විශ්වීය වශයෙනුත් අර්ථවත් නිර්මාණයක්. කාල - දේශ වශයෙන් එය වැදගත් වන්නේ එය රුසියානු සාර් පාලන සමයේ සමාජයේ පැති කඩක් නිරූපණය කිරීම නිසයි. අනෙක් අතට කෙනෙකුගේ දුක ඒ හැටියෙන්ම තවත් කෙනෙකුට නොදැනීම නිරූපණය කරන ආකාරය අතින් එය විශ්වීය වශයෙනුත් වැදගත් කමක් උසුලනවා.

කෙසේ වෙතත් ''කෙටිකතාව'' යන වචනය සම්බන්ධයෙන් මගේ අදහස තමයි එය ''කෙටි කතාව'' ලෙස වෙන් වෙන්ව නොලියා තනි පදයක් ලෙස හෙවත් සමාසයක් ලෙස ගෙන ''කෙටිකතාව'' යන ආකාරයට එකට ලිවිය යුතුයි කියන එක. අනෙක් අතට කෙටිකතාව යනු සංඝටිත, සංගෘහිත, සම්පිණ්ඩිත, සංක්ෂිප්ත සාහිත්‍යාංගයක් ලෙස ද අපට නිර්වචනය කළ හැකියි.


ඔබගේ කෙටිකතාවලට පාදක වන විශේෂ තේමාවන් තියෙනවාද?


මානව පීඩනයේම විවිධ ලක්ෂණම තමයි මගේ නිර්මාණ වලටත් ප්‍රධාන වශයෙන් තේමා වී තියෙන්නේ. සමහර කතා වලට කාලීන සංසිද්ධීන් විෂය වී තිඛෙනවා. නමුත් ඒවාට සියල්ලටම පොදු යම් කිසි සනාතන ධර්මයකුත් තියෙනවා. ''සැකය'' මානව සන්තානය විකෘති කරන ආකාරය මගේ ''කුළුමීමා'' කතාවේ නිරූපණය වනවා. බොහෝ ලේඛකයින් පුරුෂාධිපත්‍යය ස්ත්‍රිය පීඩනයට පත් කරන ආකාරය ගැන නිර්මාණයන් කරනවා. නමුත් මේ කතාවෙදී නිරූපණය වෙන්නේ පුරුෂාධිපත්‍යය පුරුෂයාම පෙළන ආකාරය යි. කුටුම්භයේ ප්‍රධානත්වය මෙහි එන කථානායක පිරිමියාට අහිමිව ඔහුගේ බිරිඳ වන ස්ත්‍රිය වටා කේන්ද්‍රගත වනවා.1982 වැඩ වර්ජනයට සහභාගී වීම නිසා කථකයාගේ රැකියාව අහිමි වීමත් ඉන් පසු බිරිඳ උපයන මුදලින් ඔහුට ජීවත් වීමට සිදුවීමත් නිසායි එසේ සිදු වන්නේ. ඔහුගේ ගෙදරට එන අමුත්තන්, වෙළෙන්දන්, සම්මාදම් කරුවන් පවා ඔහුව නොසලකන අතර ඔවුන් මුදල් ඉල්ලාගන්නේ පවා ඔහුගේ භාර්යාවගෙනි. මෙසේ පිරිමියා පීඩනයට පත් වන්නේ පුරුෂෝත්තම සමාජය තුළ පවුලේ ආධිපත්‍ය දැරීමට පිරිමියා හුරුව ඇති නිසයි. ඉන්දීය කෙටිකතා එකතුවක ඉංග්‍රීසියෙන් පළ වී ඇති මෙම කතාව ඉන්දියානු කෙටිකතා තරගයකින් ද ජයග්‍රහණය කළ එකක්.

මගේ ''ඔවුහු මග බලා හිඳිති'' නම් නිර්මාණය අරගෙන බැලූවොත්, එහි පරම්පරා තුනක ගැහැනු වෙරළට වී බලා ඉන්නවා මූදුගිය තම පවුලේ පිරිමින් නැවත එන තුරු. මූදු ගිය අය පැමිණෙති'යි ඔවුන් බලාපොරොත්තු වූ වෙලාවේ ඔවුන් ඉන්නේ මහත් ප්‍රීතියෙන්. ඒ වෙලාව කෙමෙන් පසු වත්ම ඔවුන් බයට පත් වෙනවා. මුහුදු ගිය අය සෙනසුරාදා හවස පැමිණිය යුතුව තිබුණ ද ඉරුදින උදාවන තුරුත් මොවුන් පැමිණෙන්නේ නෑ. සිතේ කලබලය නිසා එක් තරුණ බිරිඳක් රෝගී වෙනවා. ගර්භනීව සිටි ඇයගේ ගැබ විනාශ වන බැව් ඍජුව කතාව තුළින් කියා නැතත් ඒ බව ඉන් ඇඟවෙනවා. මේ පීඩනය ධීවරයින් සඳහා ඉදිරියටත් පවතින්නක්. මෙහිදී ලේඛක අවධානය යොමු වෙන්නෙ මුහුදු ගිය අය කෙරේ නොව ඔවුන් එන තුරු බලා හිඳිමින් සිතින් වෙදනා විඳින ස්ත්‍රීන් කෙරේ. පරම්පරා තුනක ස්ත්‍රීන් යන්නෙන් මේ දෙය එදත් අදත් හෙටත් පවතින්න යථාර්ථයක් බැව් සංකේතාත්මකව ගම්‍යමාන වනවා.


ඔබේ නිර්මාණ දෙසත් ඔබ විසින් පළ කළ ඇති ශාස්ත්‍රීය ලිපි ලේඛන දෙසත් විමසා බලන කල පෙනී යන ප්‍රධාන කරුණක් නම් නූතන සාහිත්‍යාංග අතරින් ඔබේ වැඩි අවධානයත් කැමැත්තත් නූතන කෙටිකතාව කෙරේ යොමුව තිබීම හා ඔබ වෙනත් කලා මාධ්‍යයන්ට එතරම් අත නොගසා සිටීම. මේ පිළිබඳ කතා කරනවානම්?


ඔව්. ඔබ කිව්වා වගේ මම වැඩිම ඇල්මක් අක්වන නූතන සාහිත්‍යාංගය තමයි කෙටිකකාව. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මට වැඩිම දක්ෂතාවයකින් නිර්මාණය කරන්ඩ පුළුවන් කලා මාධ්‍යය කෙටිකතාව කියලා මට හිතෙන එක. අනෙක් අතට මම වැඩියෙන්ම කියවන්න කැමති කලා මාධ්‍යය වන්නේත් කෙටිකතාව. ඇතැම්විට පද්‍යට නැගිය යුතු කාව්‍යමය අදහස් මට පහළ නොවෙනවාම නෙමෙයි. නමුත් පද්‍ය නිර්මාණයක අනිවාර්යයෙන්ම තිබිය යුතු යැයි මා විශ්වාස කරන ලය, රිද්මය, විරිත ආදිය සුරකිමින් පද්‍යයක් ගොතන්න මට අමාරුයි. නවකතා ලියන්න බැරිකමක් නෑ. මුද්‍රණය කර නැති වුණත් මං නවකතා ලියලත් තියෙනවා. නමුත් මට ඒවා ගැන එතරම් සෑහීමකට පත්වන්න නම් බෑ.


නවකතාවක් කියවා අවසානයේ ඔබ අපේක්ෂාභංගත්වයට පත් වන අවස්ථා එමට ඇති බවත්, දින කීපයක් තිස්සේ ඒ කතාව කියවීමට වැය කළ කාලය ගැන පසුතැවිල්ලක් ඔබ තුළ ඇති වන බවත්, එමෙන්ම කෙටිකතාවක් ඔබව එවැනි අපේක්ෂාභංගත්වයට ලක් නොකරන බවත්, ඔබ ඔබේ ''පටුමගක වැසියෝ'' නම් කෙටිකතා සංග්‍රහයේ දක්වා තියෙනවා?


එහි දැක්වෙන්නේ පසු කවරයකට ගැලපෙන සම්පිණ්ඩිත අදහසක්. ඒකට දීර්ඝ අට්ඨකථාවක් සපයන්න බැරිකමක් නැහැ. නමුත් ඒ කියමනෙන් කෙනෙකු තුළ ගම්‍යමාන වන, පැන නඟින, ප්‍රශ්නයකට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මොකද ඔබ මේ ප්‍රශ්නය අහන්නෙත් එකී අර්ථයෙන් නිසා.

ඔබ උපුටා දැක්වූ කියමනෙන් අදහස් වන්නෙ නෑ මා නවකතා රස විඳින්නෙ නෑ කියලා. මම ඉතාමත්ම කලාත්මක නවකතා රස විඳිනවා. මෑතකදී මම ඉංග්‍රීසියෙන් ලියැවුණු, ඒ වගේම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද සාර්ථක ඉන්දීය නවකතා රාශියක් රසවින්දා.

මම ගැටවර කාලයේ නවකතා කියෙව්වෙ ප්‍රධාන වශයෙන් ඊළඟට සිද්ධ වුණේ මොකක්ද කියන කුතුහලයෙන් ඇවිස්සිලා. මගේ පියා වුනත් පියදාස සිරිසේන ලෝලියෙක්. ඉතින් මං කුඩා කාලයේ පියදාස සිරිසේනගේ නවකතා සියල්ලම පාහේ අපේ ගෙදර තිබුණා. ඒ නිසා මට ඒවා ඒ කාලෙම කයවන්න පුළුවන් උණා. නමුත් ඒවායේ තිබුණු දීර්ඝ සංවාද, දේශන ආදිය අත්හැර සිද්ධීන් පමණයි මං කියෙව්වේ. ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාත් ඉතාම ආශාවෙන් කියෙව්වා ඒ කාලෙ. ඊට අමතරව ශබ්ද කෝෂ පාවිච්චි කරමින් ''චාල්ස් ඩිකන්ස්''ගෙ නවකතා, ඒ වගේම ''ෂේක්ෂ්පියර්ගේ'' රොමියෝ ජුලියට්, මර්චන්ට් ඔෆ් වෙනීස් වගේ නාට්‍යවල සරළ ඉංග්‍රීසි අනුවර්තන, ඒ කියන්නේ ඒකාබද්ධ කතාන්දරයක් ලෙස රචිත (simplified versions) කෘති ආදිය කියෙව්වා. ඒවායේ ඇති ආදර සම්බන්ධතා මගේ ගැටවර මනස මුසපත් කළා. ''අගතා ක්‍රිස්ටිගේ'' කතාත් මං ඒ යුගයේ ආශාවෙන් කියෙව්ව කෘති අතර වෙනවා. අභිරහස් ජනක කතාවල අද්භූත ලෝක වාගේම දෛවෝපගත සිද්ධීන්, වික්‍රම හා අභියෝග ප්‍රිය කරන මගේ ගැටවර මනසට විෂය වුණා. හරියට ළමා වියේදී සුරංගනා කතා රස වින්දා වගේ. කොහොමහරි කතන්දරය දැනගත්තට පස්සෙ මං නැවත ඒ කතා කියෙව්වෙ නෑ.

නමුත් විශ්ව විද්‍යාලයට පැමිණි පසු වඩාත් පෘථුල ලෝකයක් මට විවර වුණා. පෞද්ගලික අත්දැකීම් විතරක් නෙමෙයි. කියවන්නට ලැබුණු විශාල ප්‍රබන්ධ සාහිත්‍යයෙනුත් මගේ රස වින්දනයේ ස්වරූපය වෙනස් වුණා. මා දැන් නවකතාවක් කියවන විට මගේ සිත බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. පළමු වැන්න තමයි රසය. නවකතාවක රසයට ප්‍රධාන වශයෙන් පාදක වන දෙයක් තමයි කතාවේ සිද්ධි මඟින් ජීවිතයට සමීපතාවක් නිරූපණය වීම. මෙයින් මම අදහස් කරන්නේ නෑ සිදුවීම් තාත්වික විය යුතුමය කියා. සිද්ධීන් අතර හේතුඵල සම්බන්ධතාවයකුත් තිබිය යුතුයි. මේ සම්බන්ධයෙන් කථාවින්‍යාසය වැදගත් තැනක් ගන්නවා. ඊට අමතරව කතාව ඉදිරිපත් කෙරෙන ආකාරයෙත් මනා වූ අපූර්වත්වයක් තිබිය යුතුයි.


ඒ හැර, නවකතාවක අන්තර්ගතය පිළිබඳ වැදගත් දේ ලෙස ඔබ සලකන වෙනත් කරුණු නැද්ද?


තවත් වැදගත් කරුණක් තමයි පසුබිම. නවකතාවක එයට පසුබිම් වන කාලය පිළිබඳ පාඨකයාට ඒත්තුගැන්වෙන තොරතුරු තියෙන්න ඕනෑ කියන එක තමයි මගේ විශ්වාසය. ඓතිහාසික නවකතාකරුවාගේ කාර්යය ඒ අතින් තරමක් අසීරු දෙයක්. උදාහරණයක් ලෙස, 19 සියවසේ අග එසේත් නැත්නම් 20 සියවසේ මුල හෝ මැද කාලවකවානුව තුළ සිදුවන දෙයක් කතාවෙන් නිරූපණය වනවානම් තත්කාලීන ආර්ථීක රටාව, සාමාජික තත්වය, යම් යම් සත්‍ය සිද්ධීන්, දේශපාලන සංසිද්ධීන් ආදියෙන් අදාළ දේ සම්බන්ධ ගවේෂණයක් කරන්නට නවකතාකරුවාට සිදුවනවා.


ප්‍රබන්ධ කතාවක භාෂාව සම්බන්ධයෙන් ඔබ දක්වන මතය කුමක්ද?


ප්‍රබන්ධ කතාවක භාෂාව ආඛ්‍යාන භාෂාව හා සංවාද භාෂාව ලෙස ප්‍රධාන ස්ථර දෙකකට ඛෙදා කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ආඛ්‍යාන භාෂාවේ තියෙන්ඩ ඕනෑ සිද්ධි අඛණ්ඩව ගලාගෙන යන හැටි පෙන්වන ප්‍රාණවත් ගතියක්. ගතිකත්වයක්. කෘෂි, නාගරික, පිටිසර, කාර්යාලීය ආදී සමාජයන්හි පසුබිම හොඳින් පිළිබිඹු කරන වාක් කෝෂයක් ප්‍රබන්ධ කතාකරුවා සතු විය යුතුයි. ඒ වගේම සංවාද භාෂාව ගැන කතා කරනවානම් ඒ කතා කරන චරිතයේ වයසට, සාමාජීය හා අධ්‍යාපනික මට්ටමට ගැලපෙන භාෂාවක් තිබිය යුතුයි. ඒ වගේම පුද්ගලයා කියන දෙය ඒ කියන අවස්ථාවේ ඔහුගේ සිත් හසර පිළිබිඹු කරන්න ඕනෑ.

මීට අමතරව ආඛ්‍යානය සඳහා ලේඛන භාෂාව යොදාගන්නවානම් ඒ භාෂාව නිවැරදිව යොදන්න ඕනෑ. සිංහල භාෂාවේ සාම්ප්‍රදායික ව්‍යාකරණයක් තියෙනවා. එනම් ලේඛන ක්‍රමයක් තියෙනවා. පද සංයෝජනය, වාක්‍ය වින්‍යාසය ආදිය සම්බන්ධ නිවැරදි නිරවුල් ක්‍රමයක් තියෙනවා. මම ඒ අපේ ව්‍යාකරණයට ගරු කරනවා. මුනිදාස කුමාරතුංග, විනී විතාරණ වැනි වියතුන්ගේ මත ගරු කිරීම, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ඇම්.බී. ආරියපාල වැනි මහාචාර්යතුමන් යටතේ ලැබූ ශික්ෂණය ආදිය නිසා මම නිවැරදි න-ණ, ල-ළ භාවිතය වගේම ව්‍යාකරණානුකූල වාක්‍ය ගැළපීම පිළිබඳවත් සැලකිලිමත් වෙනවා.


බොහෝ කරුණු අතින් සාර්ථක ලෙස සැලකෙන නිර්මාණයක් වුවත් ඔබ කී ව්‍යාකරණයෙන් බැහැරව සිටියිනම් එය උසස් නිර්මාණයක් ලෙස සැලකීමට ඔබ පසුබට වන බවද ඉන් හැඟෙන්නේ?


ඇත්තෙන්ම ඔව්. එය කණගාටුවට කරුණක්. ඒත් අපේ භාෂාව රැකගැනීම අපේ යුතුකමක්. ඉංග්‍රීසි භාෂාව ලෝකයේ අමාරු භාෂාවක්. එය ඉගෙනගන්න තැනැත්තාට නොයෙකුත් ගැටළු වලට මුහුණපාන්නට සිදුවනවා. ''ඔනර්'', ''ඔනස්ට්'' වැනි වචන වල මුලට යෙදෙන ''H'' අකුර ''න්‍යුමෝනියා'' වගේ වචනවල මුලට එන ''P'' අකුර ''සට්ල්'', ''ප්ලම(ර්)'' වගේ වචන වල මැදට එන ''B'' අකුර ආදිය ශබ්ද නොවන අවස්ථා තියෙනවා. ඊට අමතරව විවිධ උච්ඡාරණ ගැටලූත් රටාවකට නැති විවිධ ව්‍යාකරණ ලක්ෂණත් ඉංගිරිසියෙහි තියෙනවා. නමුත් ඒ කියලා ඔවුන් භාෂාව සරළ කිරීමට වෑයම් කරන බවක් පේන්නට නෑ Them is going කීවොත් එය වැරදියි. ඒත් ''ඔවුන් එසේ පැවසීය'' වැනි වාක්‍ය අපට නිරන්තරයෙන් ජනමාධ්‍යය මඟින් ඇහෙන්නට දකින්නට ලැඛෙනවා. ඇතැම්විට කිසියම් ග්‍රන්ථයක මුද්‍රණ දෝෂයන් තිබීම නම් සම්පූර්ණයෙන්ම වලක්කන්න අමාරුයි. කර්තෘවරයා කොතරම් වෙහෙසවී සෝදුපත් බලා දුන්නත් ප්‍රකාශකයාගේ සෝදුපත් බලන්නන් තමන් නිවැරදි ලෙස අදහස් කරන දේ ඇතුළත් කරන අවස්ථා තියෙනවා.

විශේෂයෙන් මගේ මුල්කාලීන කෘති වලත් අක්ෂර වින්‍යාසයේ වැරදි තියෙන්ඩ පුළුවන්. සෝදුපත් කියැවීම හරියට නොකෙරුණු අවස්ථාද තිබුණා. සෝදුපත් කියවන්නන් විසින් සිදුවූ වැරදිත් තියෙනවා. උදාහරණයක් හැටියට මම මගේ එක කතාවක ''අහීමාන'' කියන වචනෙ යොදල තිබුණා. ඒ බිය ගෙනදෙන, පාළු යන අර්ථයෙන්. නමුත් කවුදෝ කෙනෙක් එය ''අභිමාන'' කරලා. දෙවන වරට සෝදුපත් බලද්දිත් මම ඒක අහීමාන ලෙස නිවැරදි කළා. නමුත් මුද්‍රිත පිටපතේ තියෙන්නේ අභිමාන කියලා!


සංවාදය: ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


රාවය -2009 - මැයි 17

Thursday, April 15, 2010

නයි බිම්මලක කතාව


නයි බිම්මලක කතාව


අරටුවෙහි නොව දිරූ පොතුමත

පිපී හිනැහෙන - බිම්මල්

දහයියා මත මුදු පහස් ලැබ

තරව බැබළෙන - බිම්මල්


සුවඳ නැතිවද අසංවේදී

පිරිවරන කෘමි - බිම්මල්

උරාගෙන හිරු රැස් ඔවුන් වෙත

හෙළන අඳුරම - අන්දම්


සුදෝ සුදු පිරුවටින් දැවටී

සිනා වගුරන - බිම්මල්

රෑ අඳුර යට විත් නයින් පිඹි

විසක්වත් නැති - අන්දම්


පැළඳ ආඩම්බර මුහුණු පොඩි

අරටුගත බව - පෙන්නන්

වූ නමුත් බිම් මලක්යැයි නුඹ

බිමට දුර වූ - අන්දම්


ප්‍රසාද් නිරෝෂ