සංජීව පුෂ්ප කුමාරගේ සිනමාකරණයේ අපි දකින මූලික ලක්ෂණයක් නම් ඔහු බොහෝ විට තම සිනමාව සඳහා තරමක් අමුතු, අපුර්ව කතා වස්තුවක් තෝරාගන්නට නිරන්තරව යුහුසුලු වීමයි. ඉගිළෙන මාළුවෝ මෙන්ම දැවෙන විහඟුන් වැනි ඔහුගේ පූර්ව සිනමා කෘතීන්හි කතාවස්තූන් දෙස බලන කල එය පැහැදිලි වේ. එපමණක් නොව, මෙතෙක් නරඹා නැති ඔහුගේ විහඟ ප්‍රේමය(Peacock Lament) නම් කෘතියේ පූර්ව ප්‍රචාරණ පට නැරඹීමේදී ද මේ කරුණ පෙනේ. ඒවාට සාපේක්ෂකව ගත්කල ‘ආසු’ සිනමා පටයේදී සංජීව තෝරාගන්නා කතා වස්තුව එතරම් අපුර්ව එකක් නොවන බව පැහැදිලිය. එය සිනමා කරුවාට ආසු සිනමා කෘතියේදී මුහුණ දීමට සිදුවන මූලික ම අභියෝගයයි. එසේ නමුත් ඔහු ප්‍රේක්ෂක නෙතට කඳුළු රැගෙන ඒමට සරිලන තරමේ සංවේදී සිනමා කෘතියක් නිර්මාණය කිරීමට සමතව ඇති බැව් ආසු සිනමාපටය මාත් සමග නැරඹූ ප්‍රේක්ෂකාගාරය තුළිත් මට පැහැදිලි විය.
හිටපු කතා නායක කරූ ජයසුරිය මහතාගේ ආදරණිය දියණිය වූ ඉන්දිරා ජයසුරිය පිළිකා රෝගය හා පොරබැඳිමින් මියයෑම ආසු සිනමා පටයේ මුලික කතා පුවතයි. ඇයට එසේ ඉක්මනින් මිය යන්නට සිදුවන්නේ ගර්භනියක වූ ඇය තමා පිළිකාරෝගයෙන් පීඩා විඳින බව හඳුනාගත්තත්, පිළිකා රෝගය සඳහා ලබා දෙන ඇතැම් ප්‍රතිකාර නිසා කුස තුළ සිටින දරුවාට හානියක් සිදුවන බව සිතා ප්‍රතිකාර මග හැරීමයි. ආසු සිනමාපටය දිව යන සරල මූලික තේමාව එයයි.
ඉන්දිරා ජයසූරිය යනු යකඩ ගැහැනියක බව සැබෑවකි. විශේෂයෙන් ඉහළ මධ්‍යම පාන්තික පරමාදර්ශීය චරිතයක් බවද සැබවි. ඉන්දිරාගේ ශෝචනීය හැරයෑම සමග ඇගේ පියා, සොහොයුරු නෑසියන් එකතුව පිළිකා රෝගීන් වෙනුවෙන් ඉන්දිරා ජයසූරිය පදනම බිහිකර මේ රටට කරන සේවයද අනූපම වේ. එනමුදු දියට හෝ වලට ගොස් එන අතර ප්‍රසුත වේදනා හටගෙන හිටි තැනම දරුවා බිහිකර, දරුවා ද දිය කළය හෝ දරමිටියද දෙකම ඉන හොවාගෙන ගෙදර එන අප්‍රිකානු මව්වරු ගැන කතා ඕනෑතරම් අප ආසා ඇත. ඊට සමාන ශ්‍රීලාංකික මව් වරුන්ගේ කතා ද අසා ඇත. තම දරුවාට අනාර්ථයක් වේයැ‘යි බියෙන් ඖෂධ නොගෙන සිට ජීවිතය කැපකිරීම වැනි දෙයක් ඉන්දිරා අයිති ඉහළ මධ්‍යම පන්තිය තුළ තරමක අමුතුම දෙයක් ලෙස පෙනී යා හැකි මුත් එය මාතෘත්වයේ පොදු ලක්ෂණක් ම වේ. ආසු සිනමා පටයේ තේමාව එතරම් අපුර්ව එකක් නොවෙනවා යැ’යි කළින් කිවේ ඒ අර්ථයෙනි.
ප්‍රේක්ෂකයින් බොහෝ දෙනා කළින්ම දන්නා ඉන්දිරාගේ එම කතාව පාදක සංජීව පුෂ්ප කුමාරට ගොඩනගන්නට සිදුවන්නේ වාර්තා චිත්‍රපටයක් නොවේ. එය ඔහු මුහුණ දෙන ඊළඟ අභියෝගයයි. යම් සිනමාකරුවෙකුට ලැබෙල තේමාවේ නොහොත් කතා වස්තුවේ එවන් සීමිතතා තබේනම්, එවැන්නක් ආශ්‍රයෙන් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කරන්නනම් ඔහුට දෙවැනුව භාවිත කළ හැකි මූලිකම උපකරණයක් වන්නේ ඒ සඳහා තරමක් අපූර්ව ආකෘතියක් භාවිත කිරීමයි. නමුත් ආසු සිනමා පටය දිගහැරෙන්නේ මුළ සිට අගට සරලරේඛීයව ගලා යන සාම්ප්‍රදායික කතා ආකෘතියක් තුළ වීම ද විශේෂත්වයකි.
පෙර කීවා සේ ඉන්දිරා ජයසූරිය යනු ලංකාවේ සිටින පරිණතම දේශපාලඥයකු වන කරූ ජයසූරිය මහතාගේ දියණියයි. එවන් පියෙකුගේ දියණියක ලෙස සිනමාපටයේ දැක්වෙන පැතලි, පෞද්ගලික ජීවන කාරණාවන්ට අමතරව ඇගේ ජීවිතයේ විශාල දේශපාලනික පදාසයක්ද තිබෙන්නට ඇති බව නිසැකය. ඉන්දිරා ජයසූරියගේ මාතෘත්ව ප්‍රකරණයත් මක්සිම් ගෝර්කීගේ අම්මා නවකතාවේ අම්මාගේ මාතෘත්ව ප්‍රකරණයත් වෙනස් බව සැබවි. එසේ නමුත් ගෝර්කිගේ අම්මා තම ජීවිතය කැප කරන්නේ තමාගේ දරුවාගේ සුබ සිද්ධිය සඳහාම පමණක් නොව. එය ඊටත් වඩා පරාර්ථකාමී වූ විශ්වීය ප්‍රේමයකි. ඒ අර්ථයෙන් සිනමා කරුවා ඉන්දිරාගේ එකී සමාජ දේශපාලනික පසුබිම ද මද වශයෙන් හෝ කෘතියට යොදාගෙන තිබුණානම් වඩා හොඳ බවයි අපගේ හැඟීම.
ආසු සිනමා කෘතිය තුළ පැහැදිලිව කැපී පෙනුන දුර්වලතාවක්නම් අනවශ්‍ය තරමට ඇතැම් සිදුවීම් යළි යළි ඉදිරිපත් වීමයි. උදාහරණයක් විදිහට බුදු පිළිමයක් නැවත නැවත පෙන්වීම, සස ජාතකය දේශනා කරන භික්ෂූන් වහන්සේ හා සා රුව නැවත නැවත බොහෝ වතාවක් පෙන්වීම ගත හැක. අධ්‍යක්ෂවරයා සිනමා පටය ආරම්භ වීමට පෙර පැවති කෙටි අදහස් දැක්වීමේදී කීවේ මෙය සාමාන්‍යයෙන් තමා අධ්‍යක්ෂණය කරන සිනමා කෘතියකට වඩා වෙනස් එකක් බවයි. එය ඔහුට සිනමාව ගැන ‘ඇජෙන්ඩා’ එකක් නැතිකමට උදාහරණයක් ලෙස ඔහු දැක්වීය. කලා කරුවකුට න්‍යායපත්‍ර තියෙනවාද නැතිද යන්න වෙනම කතාවකි. නමුත් කලාකරුවාට පැහැදිලි දර්ශනයක් තිබිය යුතු වේ. එය ඔහුගේ කලා කෘතියෙන් කෘතියට වෙනස්වන්නක් විය හැකි නොවේ. නිතර නිතර බුද්ධ රූප දැක්වීම වැනි උපක්‍රම කතාවේ ඒකාකාරී හැඩය නැති කිරීමේදී වැදගත් විය හැකිව තිබූ නමුදු ඒවා යළි යළි බොහෝ වාරයක් පෙන්වීම තුළ ප්‍රේක්ෂකයා වෙහෙසකාරී වනවා සේම ඒවා කතාව ශරීරයට කෘත්‍රිමව ඔබ්බනු ලැබූ සර්වපිත්තල ආභරණයන් තත්ත්වයට පත්වේ.
ආසු සිනමා කෘතිය නරඹන්නට යන ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළ වාඩි වෙන්නේම ඉන්දිරාගේ ජයසූරියගේ කතාව පිළිබඳ පූර්ව අබබෝධයක් ඇතිවය. සිනමාපටය ගොඩ නැගීම සඳහා මැදිහත් වන ඉන්දිරා ජයසූරිය පදනමද බොහෝ විට තම පූර්ව ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ වැඩිමනක්ම මතු කරන්නේ ඉන්දිරා ජයසූරියගේ සත්‍ය කතාවයි. එය වරදක් නැත. නමුත් කතාවේ අවසානය කළින්ම දැනගෙන සිනමාහලට යන ප්‍රේක්ෂකයාට, කතා නායිකාවගේ අසනීපය ක්‍රමයෙන් වර්ධනය වෙමින් වැඩි වැඩියෙන් ලේ වමනය වීම වැනි දර්ශන නැවත නැවත පෙන්වීමට වැඩි කාලයක් ගැනීම ද ඉතා වෙහෙසකර වේ. මන්ද යත් ඔහු මේ බලන්නේ කතාවේ අවසානය නොදන්නා සිනමාපටයක් නොවන නිසාය. ඇය මිය යාද නොයාද යන පූර්ව අවබෝධයක් නොමැති රසිකයකුටනම් එවැනි දර්ශන තම කුතුහලයත් සංවේදනාත් කුලුගැන්වීමට ඉවහල් වනු ඇත.
කතාවේ ප්‍රධාන චරිතය රඟපාන උදාරි වර්ණකුල සූරිගේ රංගනය අති විශිෂ්ඨ වන අතර, ඩිනාරා පුංචිහේවා, ශ්‍යාම් ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න ආදී සියලු නළුනිලියන්ගේ රංගනය කතාවට උපරිම සාධාරණයක් ඉටු කරන බව නොකිව මනාය. සිනමා පටය සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන තවත් කාරණා දෙකක් වන්නේ වේශ නිරූපණය හා සංගීතයයි. කතාවේ සියුම් සංවේදනාවන් මතු වන්නට සංගීත සංරචකයින් දෙදෙනා දක්වන සියුම් දක්ෂතාව අමතක කරන්න බැරිය. විශ්ව නාරද තොටගමුවගේ වේශනිරූපණය ද අති විශිෂ්ඨ වේ. විශේෂයෙන් කතා නායිකාව අධික ලෙස අසනීපව මරණාසන්නව සිටීම නිරූපණය කරන හැටි ඇදහිය නොහැකි තරම්ය. ප්‍රේක්ෂකාගාරය වඩාත් සංවේදී කරන්නේ රංගනය, සංගීතය හා වේශනිරූපණය නම් මේ සියලු කාරණාවන්ගේ සමාවාය බව පැහැදිලි ය.
දිනෙන් දින සිනමාවෙන් ඈත්වන ප්‍රේක්ෂකාගාරය යළි සිනමාව කෙරේ ආශක්ත කරගැනීමට ආසු වැනි සිනමාපට වලින් වන සේවය ඉතා වැදගත් වේ. මේ සිනමා කෘතියේ ප්‍රචාරණ වැඩ පිළිවෙළ හා එහිදීම සංවිධානය කර ඇති රචනා තරග ආදිය ද ඒ ගමනේ තීරණාත්මක හා වැදගත් කාරණාවන් ය.
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
(අනිද්දා පුවත්පත - 2023.10.22)
No comments:
Post a Comment