ලුවී අල්තුසර් හා අල්තුසරියානු දෘෂ්ටිවාදී යාන්ත්‍රණ - 01

 



ඇල්ජීරියාවේ ඉපිද ප්‍රංශයට පැමිණි ‘ලුවී අල්තුසර්’ (Louis Althusser 1918-1990) මාක්ස්වාදී දාර්ශනිකයක් මෙන්ම සමාජ න්‍යායවාදියක් ද විය. ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියා කළ පියා නිසාත්, ලිංගික වශයෙන් පීඩාවට පත් වූ මව නිසාත් ඔහුගේ කුඩා කල වේදනාක්මක එකක් වූ බව කියැවේ. එසේම කතෝලික පරිසරයක හැදුණු වැඩුණු ඔහුට ජර්මන් සිරකරුවකු ලෙස කාලයක් සිටින්නට සිදු විය. පැරීසියේ École normale supérieure අධ්‍යාපන ආයතනයට සිසුවෙකු ලෙස අල්තුසර් එක් වුණේ එකී සිර දිවියෙන් පසුවය. ශිෂ්‍ය සමයේම කොමියුනිස්ට් පක්ෂයට එක් වෙමින් එහි නායකයින් හා සාමාජිකයින් සමග නිතර නිතර වාදයන්ට එළඹීම අල්තුසර් සිදුකළ දෙයකි. 

පසුකාලීනව කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභිකයකු වූ අල්තුසර් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. එසේම මාක්ස්වාදී ප්‍රතිසංස්කරණ තුළ ‘ජෝර්ජ් ලුකාෂ්, (György Lukács), ‘අන්තෝනියෝ ග්‍රාමිස්චි’ (Antonio Gramsci),  ‘ජුගන් හබමාස්’ (Jürgen Habermas) වැනි අය මෙන්ම අල්තුසර්ද ඉතා වැදගත් ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙස පසුකාලීනව සැලකෙන්නට විය.

කාර්ල් මාක්ස් හා ව්ලැඩිමීර් ලෙනින් මෙන්ම අන්තෝනියෝ ග්‍රාමිස්චිගේ අදහස්, ආධුනිකයකු වශයෙන් දර්ශන විෂය කෙරේ තම ලලාසාව වර්ධනය කරගැනීමේදී තමාට  බලපෑම් කළ  ආකාරය පිළිබඳව මෙන්ම, තම මුල්කාලීන ලේඛන සිය සගයින් සමග සාකච්ඡා කළ  ආකාරය අල්තුසර් තම ‘Lenin And  Philosophy And  Other  Essays’  නම් ග්‍රන්ථයේ මෙසේ පෙන්වා දෙයි.

Once  I  had a  better understanding of Marxist-Leninist politics,  I  began to have a passion for philosophy too, for, at last, I began to understand the great thesis of Marx, Lenin, and Gramsci:  that philosophy is fundamentally political. Everything that  I  have written,  at first alone,  later in collaboration with younger comrades and friends, revolves, despite the  'abstraction'  of our essays,  around these very concrete questions. (Lenin And  Philosophy And  Other  Essays - P. 12)

අල්තුසර් විසින් ලියන ලද ප්‍රධාන ග්‍රන්ථ අතරින් එකක් වන ‘මාක්ස් වෙනුවෙන්’ (For Marx) නම් කෘතිය තුළ අල්තුසර් කාර්ල් මාක්ස්ගේ සමස්ත ඉගැන්වීම් කොටස් කිහිපයකට බෙදා ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරයි. 


1. 1840-44: the Early Works

2. 1845: the Works of the Break.

3. 1845-57: the Transitional Works.

4. 1857-83: the Mature Works.

                                                 (for Marx - P.35)

මේ අනුව කාර්ල් මාක්ස්ගේ සමස්ත දුර්වලතා හා ප්‍රබලතා ‘මාක්ස් වෙනුවෙන්’ කෘතියෙහිදී විධිමත් න්‍යායාත්මක පදනමක් සහිතව පෙන්වා දෙන අල්තුසර්ගේ කාර්යය මාක්ස් ලෝක ඉතිහාසය තුළ නැවත ස්ථාපනය කිරීමක් ලෙස පැවසිය හැක. ‘අල්තුසර් විසින් මාක්ස් නැවත සොයාගන්නා ලදී’ යනුවෙන් විචාරකයින් හඳුන්වන්නේ එහෙයිනි. 

අල්තුසර් මාක්ස්ගේ කෘති සම්බන්ධයෙන් යෝජනා කළ  කාරණය වූයේ ඒවා විචාරාත්මකවත් බැරෑරුම්වත් කියවීම ය. මාක්ස්ගේ ඉගැන්වීම් ඒ අයුරින්ම නොගෙන මාක්ස් තුළම තිබෙන න්‍යායාත්මක දුර්වලතා, නොපැහැදිලි තැන්, දෘෂ්ටිවාදාත්මක ගැටලු හඳුනාගනිමින් සහ එම ඉගැන්වීම්වල ඇති සැබෑ විද්‍යාත්මක කාරණා ද වෙන් කරගනිමින් සමීප කියවීමක් කිරීම (symptomatic reading) ‘මාක්ස් වෙනුවෙන්’ කෘතියේ මූලික අරමුණ විය.  එසේම Lenin And  Philosophy And  Other  Essays නම් ග්‍රන්ථය තුළ ද අල්තුසර් මාක්ස්ගේ මෙන්ම ලෙනින්ගේද මතවාද ඉතා තදින් අනුමත කරයි. 


ජෝර්ජ් ලුකාෂ්

මෙසේ “ව්‍යුහවාදී මාක්ස්වාදයට” පදනම් දමන ලද අල්තුසර් තරුණ මාක්ස්, හේගලියානු බලපෑමකට ලක්වූ අයුරු පෙන්වා දෙන අතර, එසේම තරුණ මාක්ස්ගේ ඉගැන්වීම්වලට වඩාත් අනුගත වෙමින් ව්‍යුහවාදී මාක්ස්වාදයට පටහැනි සෙසු මානුෂීයවාදී මාක්ස්වාදීන් හේගලියානු උරුමය කරපින්නාගත් නිර්මාක්ස්වාදීන් ලෙස නම් කළේය. මාක්ස්, හේගල්ගේ බලපෑමෙන් ඈත්වී තමාගේම විද්‍යාවක් ගොඩනගා ගත් යුගය මාක්ස් කියවීම තුළ වැඩි වටිනාකමක් ඇති බව අල්තුසර් කියයි. එසේම මාක්ස්ගේ 1857න් පසු යුගය ‘ඥාන වීමංසාත්මක ඛණ්ඩනයක්’ (Epistemological Rupture) බව අල්තුසර් පෙන්වා දුන් අතර එම අදහස අල්තුසර්ගේ මූලික අදහස් අතර වේ.

මෙසේ කාල් මාක්ස් නැවත කියවිය යුතුය යනුවෙන් කල්පනා කිරීමට අල්තුසර් ඇතුලු පශ්චාත් මාක්ස්වාදීන්ට බලපෑ මූලික සාධක කිහිපයක් තිබුණි.


1‍. මාක්ස්වාදී මූලික ඉගැන්වීවලට අනුව විප්ලවය සිදුවන්නේ ධනවාදී සමාජයක වුවද, රුසියාව තුළ එය ධනවාදයට නොගොස් කිසියම් වැඩවසම් සමාජ ලක්ෂණම දරන කාලයක සිදුවීම.

2. එක්සත් ජනපදය හා යුරෝපයේ නූතන ධනවාදය උපරිම මට්ටමට වර්ධනය වි තිබුණද එහි මූලික මාක්ස්වාදයේ ඉගැන්වෙන ආකාරයට ප්‍රති අරගලයක් වර්ධනය නොවීම.

3. ස්ටාලින් වාදයට එරෙහිව රුසියාවේම පැනනැඟුණු ගැටලුකාරී තත්වය හේතුකොට මාක්ස්වාදයේ කිසියම් අවලංගුතාවක් පෙනී යෑම.

4. ශ්‍රමය පිළිබඳ සංකල්පය මිනිසාගේ සංස්කෘතික හා දේශපාලනික ජීවිතය අවබෝධ කර දීමට අපොහොසත් විම.

5. සම්භාව්‍ය මාක්ස්වාදය තුළ තිබුණු ගැඹුරු න්‍යායාත්මක පිළිවෙත පසු කාලිනව‍‍, කොමියුනිස්ට් පක්ෂවල නිල මත නිසා දියාරුවී තිබීම. 

6. සම්භාව්‍ය මාක්ස්වාදය මගින් උපරිව්‍යුහය නොසලකා හැර ඇතැයි වැටහීම.

7.විවිධාකාරයෙන් මාක්ස්වාදී න්‍යාය කිලිටි වීමත් එය පශ්චාත් ස්ටාලින් සෝවියට් සංගමය තුළ ප්‍රතික්ෂේප වන තත්වයක් තුළ සැබෑ මාක්ස්වාදය ඇත්තේ කොතනදැයි සෙවීමට අල්තුසර් තුළ ඇතිවුණ කුතුහලය.

 

ආදී කරුණු ඒ අතර විය. මාක්ස්වාදය රුසියාවෙන් පවා බැහැර වෙමින් පවතින විට ඊට විකල්පයක් හැටියට බොහෝ උගතුන් කළේ මානුෂවාදී මාක්ස්වාදය ඉස්මතු කිරීමයි. මිනිසා තම ක්‍රියාවන් සිදු කරන්නේ තමන්ගේ කැමැත්තට හෙවත් ස්වච්ඡන්දතාවට අනුව යැයි මානුෂවාදී මාක්ස්වාදීහු කීහ. නමුත් අල්තුසර් මීට විරුද්ධ විය. ඔහු කීවේ සිය කැමැත්තට අනුවම ක්‍රියා කිරීමේ හැකියාවක් මිනිසාට නැති බවයි. ඒ අනුව සමාජයේ පවතින නිෂ්පාදන සම්බන්ධතා, සමාජ පන්ති, මතවාද, රජය සහ දේශපාලන බලසම්බන්ධතා මිනිසාගේ ස්වායත්තතාව සීමා කරන බවයි. නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් අල්තුසර් ස්වකීය න්‍යායගතකිරීම් තුළ මනුෂ්‍ය කර්තෘකයා ඉවත් කරමින්, මාක්ස්වාදී න්‍යාය විකෘති කරන බව වශයෙන් මානුෂීයවාදී මාක්ස්වාදීහු කීහ.  

මේ අනුව අල්තුසර් විසින් ගොඩනගනු ලැබූ මාක්ස්වාදය ‘ව්‍යුහවාදී මාක්ස්වාදය’ ලෙස ජනප්‍රිය විය. ව්‍යුහවාදය යන්නෙහි පොදු අදහස වූයේ, මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය මනුෂ්‍ය කර්තෘකයන්ගේ මනෝමූලික අභිලාෂයන්ගෙන් නොව ඔවුන්ට සහ ඔවුන්ගේ මනසට ස්වාධීනව පවතින ව්‍යුහයන්ගේ ක්‍රියාකාරීත්වයන් මත අවබෝධ කර ගත යුතු බවයි.  එසේම ව්‍යුහාත්මක මාක්ස්වාදය දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය හා සංස්කෘතික අධ්‍යනය යන බොහෝ ක්ෂේත්‍රයන්ට තදින් බලපෑම් කළේය. නමුත් තමා ව්‍යුහවාදයේ බලපෑමට හසු වී ඇති බව අල්තුසර් ඍජුව ප්‍රතික්ෂේප කළේය. ඔහුට අනුව ව්‍යුහවාදය යනු හුදෙක් එක් මතවාදයක් පමණි. 

ව්‍යුහවාදී මාක්ස්වාදය ගොඩනැගීමේදී අල්තුසර් හා දායක වූ සෙසු විද්වතුන් අතර ග්‍රීක සම්භවයක් සහිත ප්‍රංශ සමාජ විද්‍යාඥයකු වු ‘නිකෝෂ් පුලන්ෂන්’ (Nicos Poulantzas), සහ ප්‍රංශ මානව විද්‍යාඥයකු වූ ‘මෞරිස් ගොඩ්ලියර්’ (Maurice Godelier) වැන්නෝ වැදගත් වූහ. ඔවුන්ට අනුව ව්‍යුහවාදය මුලින්ම සමාජ යථාර්ථය අධ්‍යනය සඳහා ගෙනාවේ ස්විට්සර්ලන්ත වාග්විද්‍යාඥයකු වූ ෆර්ඩිනැන්ඩස් සොසූර් (Ferdinand de Saussure)  නොව කාර්ල් මාක්ස් ය. 

එසේම අල්තුසර් විසින් සංකල්පගත කළ  තවත් වැදගත් අදහසක් ලෙස සැලකෙන්නේ Overdetermination Of Contradictions යන්නයි. ඔහු එකී සංකල්පය ගොඩනැගීමේදී සිඩ්මන් ෆොයිඩ්ගේ මනෝ විශ්ලේශන වාදය ද ප්‍රයෝජනයට ගත්තේය. 

සම්භාව්‍ය මාක්ස්වාදයේ ඇති ඓතිහාසික භෞතිකවාදය නම් මූලික සංකල්පය උගන්නන්නේ සමාජයේ ප්‍රතිවිරෝධතා දෙකක් ඇතිවී ඒවා අතර ඇතිවන ගැටුමක් ගැනය. එසේ වුවත් සමාජ ප්‍රතිවිරෝධතාව නිෂ්පාදන බලවේග හිමි හා අහිමි යන කොටස් දෙක තුළ පමණක් ඇතිවන්නක් ලෙස අල්තුසර් නොසලකයි. ඒ වෙනුවට ඔහු එම ප්‍රතිවිරෝධතා දෙස තවදුරටත් උනන්දුවෙන් බැලීය. ඔහුට අනුව සම්භාව්‍ය මාක්ස්වාදය කී මූලික ප්‍රතිවිරෝධතා ඇත. එසේම සමාජයක් තුළ තවත් අතුරු ප්‍රතිවිරෝධතා රාශියක් පවතී. වාර්ගික කණ්ඩායම් අතර, වයස් කණ්ඩායම් අතර, ධනවාදයේම විවිධ කල්ලි අතර, නිෂ්පාදන බලවේග අහිමි කොටස්වල විවිධ කණ්ඩායම් අතර පවා ප්‍රතිවිරෝධතා ඇති බව අල්තුසර් කියයි. ඒ අනුව සමාජය විප්ලවයකට සේන්දු වීමේදී මේවාද අතිශ්‍ය වැදගත් සාධක බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රතිවිරෝධයන් අධිනිශ්චය වීම හෙවත් Overdetermination of Contradictions සංකල්පය තුළින් අල්තුසර් පැහැදිලි කළේ එයයි.

ජුගන් හබමාස්

ලුවී අල්තුසර් විසින් සිදු කළ තවත් වැදගත් සංස්කරණයක් වූයේ සම්භාව්‍ය මාක්ස්වාදයේ දේවභාෂිතයක් සේ පිළිගැනුනු ‘ආර්ථික නියතිවාදය විචාරයට ලක් කිරීමයි. මෙම අදහස පිළිගත් අය සිදු කළේ සමාජ දේශපාලන හා සංස්කෘතික තලයේ සිදුවන සියලු දේවල් කෙලින්ම ආර්ථික පදනමේ සිදුවන දේවල ප්‍රතිඵල හෝ ප්‍රකාශනයන් හැටියට සැලකීමයි. නමුත් අල්තුසර්ට අනුව සමාජයක් ගොඩනැගෙන්නේ ව්‍යුහ ගණනාවක් හේතුවෙනි. ආර්ථික ව්‍යුහය ඉන් එකක් පමණකි. එය හැරුණුකොට මතවාදීමය, දේශපාලනමය, ආගමික හා න්‍යායාත්මක හෝ විද්‍යාත්මක ව්‍යුහයන් ඇති අතර, ඒවාද සමාජ සංරචනයේදී ආර්ථික ව්‍යුහය තරමට ම වැදගත් ය. ඒ අනුව සමාජයකට ඇති වන්නේ ආර්ථික ව්‍යුහයේ බලපෑම පමණක්යැයි උපකල්පනය කිරිම සාවද්‍ය වේ. ඒ පිළිබඳ අල්තුසර් මෙසේ කියයි.

“ප්‍රශ්නය වන්නේ, මාක්ස් විසින් ඔහුගේ ආර්ථික න්‍යායට සැසඳිය හැකි ආකාරයට, උපරි ව්‍යුහය පිළිබඳ න්‍යායක් වර්ධනය නොකිරීමයි. සමකාලීන මාක්ස්වාදීන් විසින් ඉටු කළ  යුතු ඉතාම ක්ෂණික අත්‍යාවශ්‍ය කටයුත්ත වනාහි, දේශපාලනය හා මතවාදය පිළිබඳ න්‍යායන් සංවර්ධනය කිරීම මගින් මාක්ස්වාදයේ මෙම දුර්වලතාවය නිවැරදි කිරීමයි..”

ලුවී අල්තුසර් නම් සුවිශේෂි දාර්ශනිකයා ගැනත්, ඔහු දර්ශනය විෂය කෙරේ දැක්වූ නැඹුරුතාව ගැනත්, ඔහු විසින් ගොඩනගනු ලැබූ ව්‍යුහවාදී මාක්ස්වාදය ගැනත්, කාර්ල් මාක්ස්ව නැවත කියවීම සඳහා අල්තුසර්ට මෙන්ම සමකාලීන තවත් ප්‍රතිසංස්කරණවාදී මාක්ස්වාදීන්ට හේතු වූ මූලික කාරණා ගැනත් ආදී ලුවී අල්තුසර්ගේ මූලික කිහිපයක් පිළිබඳ අපි සොයා බැලීමු. අල්තුසර්ගේ තවත් ප්‍රධාන මෙන්ම වැදගත්ම අදහසක් වූ දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණය (The cultural ISA) හා රාජ්‍යයන් කලාව තම අවශ්‍යතාවන් සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳ භාවිත උදාහරණ සහිතව මෙතැන් සිට විමසමු.


දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ අල්තුසරියානු යාන්ත්‍රණය


සම්භාව්‍ය මාක්ස්වාදයේ විවිධ අදහස් රාශියක් අල්තුසර් විසින් ප්‍රශ්න කිරිමත් ඒවා සංස්කරණය කිරීමත් ගැන අපි ඉහතදී සාකච්ඡා කළෙමු. මාක්ස් අලුතින් සොයාගත්තා සේ ඇතැම් විචාරකයින් විසින් හැඳින්වූ අල්තුසර්, තමන් විසින්ම එක් කළ වැදගත්ම සංකල්පයක් වූයේ දෘෂ්ටිවාද මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණය හෙවත්, ‘Ideological state apparatuses’ පිළිබඳ සාකච්ඡාවයි.

සම්භාව්‍ය මාක්ස්වාදීන් අධිපතිවාදී බලය දුටුවේ නිෂ්පාදන බලවේග හිමි සමාජ පංතිය අනිකුත් සමාජ පංතීන් මත යටපත් කරමින් ඒවා මත පවත්වාගෙන යන බලයක් ලෙසය. ලෙනින් කීවේ, පාලක ධනේෂ්වර පංතිය පීඩිත පංතීන් වෙත මර්දනකාරීව ආධිපත්‍ය පවත්වාගන්නා බවයි. රජය යනු ධනපති පංතියේ මර්දනයේ ප්‍රධාන උපකරණය ලෙස ලෙනින් නම් කළේය.

නමුත් ලුවී අල්තුසර් මෙම අදහසට විකල්ප අදහසක් ගෙනේ. ඒ දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණයයි. මෙම විග්‍රහය ගොඩනැගිමේදී අල්තුසර්හට ප්‍රකට ඉතාලි චින්තකයා යූ ‘අන්තෝනියෝ ග්‍රාමිස්චිගේ’ අදහස් බලපෑ බව පෙනේ. එසේම කාල් මාක්ස්, ලෙනින් මෙන්ම ග්‍රාමිස්චි ද තම අදහස් සඳහා බලපෑ බව කී අල්තුසර්ගේ ප්‍රකාශයක් අපි ඉහත උපුටා දැක්වීමු.

ඉතාලි ෆැසිස්ට් රජයට එරෙහිවීම නිසා විසි අවුරුදු හිර දඬුවම් විඳිමින් අවුරුදු හතළිස් හයේදී මියගිය ග්‍රාමිස්චි, හිරගෙදරදී ලියමින් රහසේ පිටත්කර හරින ලද පිටු තුන්දහසක් පමණ දිග සටහන් පොත් තිස් තුනක් අතරින් තෝරාගත් ලිපි ආශ්‍රයෙන් පළ වුණු Prison Notebooks කෘතියට අනුව ඔහු ද රජයේ පාලනය කිරීමේ යාන්ත්‍රණය සඳහා සම්භාව්‍ය මාක්ස්වාදීන් කී බලෙන් යටපත් කිරීමට එහා ගිය නිර්මාණශීලී හෙලිදරව්වක් කළේය. එනම් ‘හෙජමොනිය’ (Hegemony) නම් සංකල්පයයි. 

අන්තෝනියෝ ග්‍රාමිස්චි

ඒ අනුව කියවුනේ සෑම පාලක පන්තියක්ම සමාජය මත බලහත්කාරය පවත්වාගන්නේ නැත යන්න සහ මිනිසුන් තම කැමැත්ත මත පාලනය වනවාය යන්නයි. නොඑසේනම්, එක්තරා අනන්‍යතාවක, පංතියක හෝ සමාජ ශ්‍රේණියක සුවිශේෂීතාවන්ට ඔබ්බට ගොසින් ඒ අයගේ ‘සහානුමැතිය’ දිනාගැනීමේ දේශපාලනය හෙජමොනියයි. ඒ මගින් ගොඩනගාගන්නා බලය මර්දනය මගින් ගොඩනගාගන්නා බලයට වඩා ස්ථාවරය. මෙසේ විවිධ පංතිවල කොටස් පාලක පන්තිය හා හෙජමෝනිකව එක්වීම නිසා ‘ඓතිහාසික බල හවුලක්’ (Historical Block) ගොඩනැගෙන බව ග්‍රාමිස්චි කියයි. නමුත් එකී ඓතිහාසික බල හවුල් පවා ඒවායේ ඒකත්වය අහෝසිවී විනාශවී යෑමට පුලුවන.

අල්තුසර් තම මතවාදය ගොඩනගාගැනීමේදී ග්‍රාමිස්චිගේ ආභාසය ලැබීය. නමුත් ඔහු පෙන්වා දෙන අදහස් පද්ධතිය වඩාත් පුලුල් එකක් ලෙස හැඳින්විය හැක. ලුවී අල්තුසර් පෙන්වාදෙන ආකාරයට රජය තම ආධිපත්‍ය පවත්වාගෙන යෑම සඳහා විධික්‍රම දෙකක් භාවිත කරයි.


1. මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ (Repressive State Apparatus) = RSA

2. දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ (Ideological state apparatuses) = ISA

 

යම් පාලන අධිකාරයක් බලය පාවිච්චි කර පැවැත්ම තහවුරුකරගැනීම මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයක් හෙවත් RSA මගින් අදහස් වේ. සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය බොහෝවිට සංකල්පගතව ඇත්තේ මර්දනකාරී යාන්ත්‍රණයක් හැටියට බව අල්තුසර් පෙන්වා දෙයි. අල්තුසර්ට අනුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයට අයත් වන්නේ පොලීසිය, යුධ හමුදාව, සිරගෙවල්, උසාවිය වැනි බලහත්කාරී හා මර්දනකාරී බලය සමාජය මත පවත්වාගෙන යන ආයතන වේ.

(අට වසරක පාලන කාලය තුළ දල වශයෙන් ලක්ෂ හතරකට වැඩි පිරිසක් ඝාතනය කළ, රටේ අග්‍ර විනිශ්චයකාර තුමාටත් අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේත් කටට සියතින්ම වෙඩි තැබමින් මරා දැමූ, තමා මිනී මස් අනුභව කර ඇති බවත් ඒවා ලුණු  රසයෙන් වැඩි බවත් කී සහ තමා විසින් ඝාතනය කළ මිනිසුන්ගේ හිස් ශීතකරණවල තබාගත්, හැටලක්ෂයක් යුදෙව් ජනයා මැරූ හිට්ලර් වෙනුවෙන් පිළිරුවක් තැනූ එකම පාලකයා වූ, ලක්ෂ ගණන් ජනතාව සාගින්නේ මිය යද්දී තම රටට අයත් එකම ගුවන් යානය එංගලන්තයේ සිට ගෙන්වාගෙන තමාගේත් තම පවුලේත් භාවිතය සඳහා යොදාගත් කුප්‍රකට පාලකයා වූ උගන්ඩාවේ ඉඩි අමීන්ගේ පාලනය බොහෝ විට මේ ලක්ෂණ දැරූ බව කිව හැක. එසේම හමුදා පාලනයක් සහිත බොහෝ අප්‍රිකානු රාජ්‍ය මීට මතුපිට තලයේ පැහැදිලි උදාහරණ ලෙස ගත හැක.

මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණය මෙවන් සියයට සියයක් මර්දනීය ස්වරූපයෙන් නොව සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුන්වන ඒවායේ පවා තිබිය හැක. ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කලු ජාතික ඇමරිකානුවාට ඇමරිකානු පොලීසිය විසින් හිමි කර දුන් මරණය ගත හැකිය. එසේම ඊට එරෙහිව රට පුරා ඇවිල යමින් ඇති උද්ඝොෂණයන්ට විරුද්ධව, රබර් උන්ඩවලින් වෙඩි තියමින්, බැටන් පොලුවලින් මෙන්ම අතින් පයින් පවා පහර දෙමින්, ජල ප්‍රහාර එල්ල කරමින් සහ අත්අඩංගුවට ගනිමින් ඇමරිකානු රජය මේ මොහොතේ ගෙන යන මර්දනීය ස්වරූපය ද මීට හොඳම උදාහරණ වේ.

ජෝන් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක් කළ  ලංකාවේ පිරිසකට ලංකා ආණ්ඩුව විසින් දැක්වූ මර්ධකතාරී ප්‍රතිචාරයට පාදක වූයේ නිරෝධාන නීති බිඳීමයි! එසේ නමුත් ප්‍රකට දේශපාලඥයකුගේ මළගමකට රැස් වී පොදි කෑ ලක්ෂ සංඛ්‍යාත ජනයාට එම නිරෝධාන නීති ක්‍රියාත්මක නොවීම රජයන් තම අවශ්‍යතා සඳහා මර්දනීය උපකරණ භාවිත කිරිමට පැහැදිලි නිදර්ශනයි.)

ලුවී අල්තුසර්ගේ වැදගත්ම එකතුකිරීම වන්නේ RSA හෙවත් දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණයයි. ලොව බොහෝ රාජ්‍ය ඉහත කී පරිදි මර්දනකාරී ලෙස ආධිපත්‍ය පවත්වාගන්නේ නැත. ඔවුන් ආධිපත්‍ය පවත්වාගෙන යන්නේ ඊට වඩා සියුම් මෙන්ම පහසුවෙන් කඩා නොවැටෙන ආකාරයට හෙවත් දෘෂ්ටිවාදී යාන්ත්‍රණය මගිනි. එය ආධිපත්‍ය පවත්වාගැනිමට වඩාත්ම සුදුසු ක්‍රමයයි.

“නිර්ධන පංතිය තුළින් කිසිම ආකාරයක විප්ලවයක් බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද ඒ අය මේ වන විටත් ධනපති පංතියේ උගුල තුළ සුරතල්වන මිනිස්සු කණ්ඩායමක් වී හමාරයි” යනුවෙන් පසුකාලීනව ජුගන්හ බමාස් ද කීවේ මේ හේතුවෙනි.

අල්තුසර් සිය Lenin and  Philosophy and other Essays කෘතියේ පස්වන ජරිච්ඡේදය වන Ideology and  Ideological State Apparatuses (Notes towards an Investigation) හි දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ කිහිපයක් දක්වයි. 


1) ආගමික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Religions ISA)

2) අධ්‍යාපනික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Educational ISA)

3) පවුල නමැති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Family ISA)

4) නෛතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Leagal ISA)

5) දේශපාලන මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (දේශපාලන පක්ෂ) (The political ISA)

6) වෘත්තීය සමිති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Trade union ISA)

7) සන්නිවේදන මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (පුවත්පත් ගුවන්විදුලිය රූපවාහිණිය ආදී) (The communication ISA)

8) සංස්කෘතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (සාහිත්‍ය කලා ක්‍රීඩා ආදී) (The cultural ISA) 

 

අල්තුසර්ට අනුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයන්හි හා දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණයන්හි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයකි.




මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන්නේ පාලක මතවාදය වුවද, එය සදාකාලිකව අල්ලාගෙන යාමට නොහැකි බව අල්තුසර් කියයි. මන්ද මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරන ආකාරයට  මතවාද පාලනය කිරීම බලය හිමි පන්තියට අසීරු වීම හේතුවෙනි.

මතු සම්බන්ධයි...

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර 


ආශ්‍රිත මූලාශ්‍ර ස්වල්පයක්


  • Althusser Louis - FOR MARX (Translated by Ben Brewster) 

  • Althusser Louis - Lenin and Philosophy and  other Essays (Translated by Ben Brewster)
  • Althusser Louis & Balibar Étienne - Reading Capital (Translated by Ben Brewster) 
  • අපනාසියෙව් වී.ජී - මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම (අනුවාදය දැදිගම වී රුද්‍රිගු) 
  • ඊගල්ටන් ටෙරී  - මාක්ස්වාදය සහ සාහිත්‍ය විචාරය (පරි.ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි)
  • චාමින්ද සුමිත් - අන්තෝනියෝ ග්‍රාමිස්චි 
  • මාක්ස් කාර්ල් එංගල්ස් ෆෙඩ්රික් - තෝරාගත් කෘති වෙලුම 3 
  • රණවීර ආරියවංශ - බටහිර විචාර විධි 
  • විජේගුණසිංහ පියසීලී - සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යනයක් 







Comments

  1. ඉතා හොද ලිපියක්
    අල්තුශරියානු දෘශ්ටිවාදී උපකරණ පිලිබද අදහස නම් දැන් යට ගිහිල්ලා
    මම හිතන්නේ මාක්ස්ගේ අදහස මානවවාදී ස්වරුපයෙන් බැහැර කරල (සාරයන් රහිත කර) ව්‍යුහාවාදිව බැලියි යුතුයි කියල තමා අල්තුශර් කිවුවේ මේක තමා මම හිතන්නේ සම්භාව්‍ය මාක්ස්වාදයේ හැරවුම් ලක්ශය

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දරු නැළවිල්ල

ගිහින් එන්න කානිවල් - විචාරශීලී සමාජීය ප්‍රවේශයක්