Thursday, March 18, 2010

තවත් මිත්‍යා කතාවක්

















තවත් මිත්‍යා කතාවක්




''කියකිගාර්ඩ් ලෞකික ලෝකයේ ඇති ප්‍රධානතම ලක්ෂණ දෙකක් ලෙස ඉච්ඡාභංගත්වය හා සන්තාපය හැඳින්වීය. ලෞකික ජීවිතය ගොඩ නැගෙන්නේ අපට සැපක් ලබා ගත හැකිය යන විශ්වාසය මතය. නමුත් අප බලාපොරොත්තු වන සැපයන් සැප හැටියට පෙනෙන්නේ ඒවා අප වෙත ළඟා වන තුරු පමණි. යමක වටිනාකම වැඩි වන්නේ එය අප වෙත නැති වන ප්‍රමාණයටය...''






කාමරය අසළ ඇති පාරෙන් ගිය වෑන් රථයකින් නැඟි ගොරහැඬි ශබ්දය සමන්තගෙ දැහැන එකවැර බිඳ දැම්ම. ඒ හඬ ඔහුට දැනුනෙ වේගවත් දුම්රියකින් පිටවන, දරාගත නොහැකි කඨෝර දෙදරුම් හඬක් වග. ඉමක් කොනක් නොමැති අතාර්කික සිතිවිලි කොහේද අන්ධකාර ගුහාවෙක සිට නයි-පොලඟුන් වගේ පැමිණ නිර්දය ලෙස තම හදවතේ එල්ලෙනව සමන්ත බලාගෙන. එක්තරා චමත්කාර ජනක අතීතයෙක, ජීවිතය මුසපත් කළ ඒ සොඳුරු සිතුවිලි අද වන විට තමන්ගෙන් පළි ගන්නෙ අමනුෂ්‍යයින් වගේ නේද කියල ඔහුට හිතුණ. වෙනද ඉතාමත් ආශාවෙන් කියවන ''සාංදෘෂ්ටිකවාදය'' නම් දාර්ශනික කොටස පවා දියෙහි ඇඳි ඉරක් මෙන් තමා වෙතින් පලා යන ආකාරය, ඔහු තුළ ඇති කළේ ඉවසාගත නුහුණු පුදුමයක්. නිර්දය අයුරින් තමා වෙලා පවත්නා මේ විපරීත සංතාපයන් සහ අතීරණයන් සුණු විසුණු කර, විභාගය පිළිබඳ කටයුතු කිරීමේ තිර අධිටනින් දෝ, සමන්ත සිය දෑස් නැවත පොත වෙත යොමු කළා...






''මිනිසා එකිනෙකා ආශ්‍රය කරන්නේ යන්ත්‍ර සූත්‍ර ලෙසිනි. මේ නිසා ඇතැම් වෙලා වලදී තමන් හුදෙකලා ජීවිතයක් ගතකරන බව සිතේ. මානුෂික සම්බන්ධකම් වලට එතරම් අවකාශයක් නූතන සමාජයේ නොයෙදේ. මුළු ලෞකික ජීවිතයම අර්ථ ශූන්‍ය මිත්‍යාවක් ලෙස කැමූ පැහැදිලි කළේය. උදේ ඉඳන් රෑ වන තුරු මහන්සි වෙමින් අප වෙහෙසෙනිනේ එතරම් අර්ථ සම්පන්න දෙයක් සඳහා නොවේ...''






ඔහුගෙ හිස හිටි හැටියෙ කකියන්න ගත්ත. සමන්තට රෑ එළිවෙනකම් පාඩම් කරල පුරුද්දක් තිබුණෙ නෑ කවදාවත්ම. තමන්ට තියෙන ලොකුම දුර්වලතාව ඒක කියල සමන්තත් දැනන් හිටිය. අනෙක, විභාගෙකට දවසක් දෙකක් තියෙද්දි පාඩම් කරන එකයි ඔහුට පුරුදු - ඒත් දවසට පැයක් දෙකක්. අනිත් දවසට කරන්නෙ අතට අහුවෙන ඕනම පොතක් ආසාවෙන් කියවන එක. කවි, නවකතා, කෙටිකතා, දේශපාලනය, දර්ශනය වගෙ පොත් ඒ අතරෙනුත් තමාගෙ හිත වැඩියෙන් ගන්නා බව සමන්තට කල්පනා උණා. එක අතකට, තමන්ගේ දැනුම අනිත් ශිෂ්‍යයින්ට වඩා වැඩියි නේද කියල ඔහුට හිතුණු අවස්ථාත් නැතුවම නෙමෙයි. ඒත් ඒ මළහිලව් දැනුමෙන් විභාග පාස්කරන්ඩ වන පිටිවහලක් ඇත්තෙ නෑ...! ලයිබ්රරියටවත් ගියානම් හිත එකලස් කරන් පාඩම් කරතහැකි - සමන්තට හිතුණ. ''හිතනම් එකලස් වෙයි, ඒත් මේ පාළු කාමරයේ තරම්වත් හිත පොතේ රඳවාගන්ඩ පුළුවන්යැ පුස්තකාලෙ?''. හිස කකියන ගතිය වැඩි වුණ නිසා දෝ ඔහු තම හිස තියාගත්ත හීන්සීරුවේ පෙරලලා තිබුණු පොත උඩ...






අම්මල මට මේ විදිහට සලකන්නෙ ඇයි කියල හිතාගන්ඩ බෑ... එයාල කියන විදිහට මං කොහොමද නදී අමතක කරන්නෙ...? නැත්තම්, ගෙයක් දොරක් අම්මෙක් අප්පෙක් නෑ කියල හිතන්ඩලු... අම්ම හොඳටම දන්නව මං නදීට කළින් කාටවත් ආදරේ කරල නෑ කියලා... මං කොහොමද ජීවත් වෙන්නෙ නදී අමතක කරල... අනික එයාට දීපු පොරොන්දු...!






* * * * * * * * *






මා හදවත



තත් පිරිමැද



නංවයි ඔබ



මෙතෙක්කල් මා නෑසූ සංගීතය



අසනා තුරා ඔබ හඬ



දකිනා තුරා ඔබ වත



බිහිරි වී සිටියෙමි මම



අන්ධ වී සිටියෙමි මම...




සමන්ත නදීගේ කන් පෙති මත මුමුණව්ව.











''හරි නරකයි, බොරු නේද කියන්නෙ...?''






''මං මොකටද බොරු කියන්නෙ?''






''ඔයා ඇත්තටම ආදරෙයිද මට?'' නදී ඇහුව සමන්තගේ මුහුණට එබන ගමන්. ඈ ස්ථීර හඬින් අසරණව වූ නිසා දෝ ඔහු ගොළු ගැහුණ...






''මං දන්නව ඔයා මට ආදරෙයි කියලා. ඒත්....., මාව කවදාවත් අමතක කරන්නෙ නෑ නේද? ඔයා නැතිවුණොත් මං කොහොමද ජීවත් වෙන්නෙ - ඊට හොඳයි මැරෙණව...!'' සමන්ත නදීගෙ දිගැටි මුහුණ දිහා බැලූව. තමා කෙරේ උතුරා ගලා හැලෙන නොතිත් ප්‍රේමයක සළකුණු ඈ දෑස් තුළින් කඩා හැලෙනව සමන්ත දැක්ක. ඒ හා අතිනතගත් සියුම් රිද්මයකටද කොහෙද ඈ සිනිඳු තොල් පෙති සෙලවෙමින් තිබුණ. ඈ හිස ගෙන, ඔහු තම උණුහුම් පපුව මත හොවා ගත්ත... තම ළය මත සුන්දර රටා මැවූ ඈ සිනිඳු කෙස් කලඹ තම නාස් පුඩු අග තැවරූ සිහින් සුවඳත්, තම ළය මත සටහන් කළ ඈ දෑසෙහි සීතලත් සිය සිරුර විනිවිද ගොස් කහේදෝ අන්ධකාරයක් තුළ සියුම් කිතියකුත් සමග යළි නොමැකෙන ලෙස සටහන් වෙනව සමන්තට දැනුණ.



''ඒ අමතක කළොත්නෙ...!''



ඈ හිස තැවරුණු මුදු සුවඳ තම නාස්පුඩු අග නොරැඳ පෙම්වතුන්ගේ මාවත ඉක්මවා සමස්ත සරසවි භූමිය පුරා පැතිර ගොස් වෙනකෙකුට දැනෙති'යි සමන්තට බය හිතුණ. ඒ උණුසුම් සුවඳ තමා වෙතින් කිසිදා පලා නොයන'යුරු තම පුළුල් ළය තුළ තව තවත් ගුලිකොට සඟවාගන්න ඒ බිය ඔහුට බල කළා. ''ඒ...අමතක කළොත්නෙ...!'' ඈ සැලෙන දෙතොලෙහි තැවරුණු උණුසුම තමා වෙත උරා ගන්නට මෙන් සමන්ත ඈ මුව මත එබුණා... ඔහුගේ හා ඇයගේ හදවත්හි වේගවත් නාදය එකට මුසු වී අපූර්ව සංධ්වනියක් මැව්ව. කිටි කිටියේ සමන්ත තමා වෙත ඇදගැනීමට මෙන්, නදී ඔහු උස් සිරුර හා පොර බැදුව. ඔවුන්ගේ වේගවත් සුසුම් රිද්මයානුකූල ස්වරයක් මවමින් ඈතට ඈතට ගොස් මහවැලි නදියෙහි ජල තරඟයන් නඟන ඉසියුම් කෙිරිය හා මුසු උණා...







* * * * * * * * *






පොත්පත් ඉහිරිලා තිබුණ අුරු කාමරය හැම තැනම. ඇර දමා තිබුණු කවුළුව තුළින් ගලා ආ දුබල එළිය සමන්තගෙ මේසයවත් හරියට එළිය කළේ නෑ. දින කිහිපයක් පුරා කිලිටි වුණ ඇුම් කාමරය පුරා ගොඩගැහිල තිබුණ අපිළිවෙළට තැන් තැන්වල. කාමරය පුරා බැ තිබුණු මකුළු දැල් හමා ආ සුළඟට අතවනනව වග ඒ අතට මේ අතට හෙලවෙන්න පටංගත්ත. ජනේලයත් වහලත් අතර තියෙන හිස් අවකාශය තුළ මකුළුවෙක් ලහි ලහියේ අලූත් දැලක් වියනව සමන්ත දැක්කෙ එතකොට. ඌ තම කුඩා පාදයන් ඉතා සියුම්ව එහා මෙහා කරමින් නිර්මාණශීලීව දැල බින විදිහට සමන්තට පුදුමයි. හරියට ඌ එතැනම දැල බින්නෙ ඒ හිස්තැන පුරවන්ඩ වගේ නේද කියල සමන්තට හිතුණ. එක අතකට මකුළුවෝ තමයි මේ පාළු බෝඩිමට ආ දවසෙ ඉඳන් ඔහුගෙ තනි නොතනියට හිටි එකම ජීවන සහකරුව...



''උන් දිහා බලන් ඉන්ඩ පුළුවන් දවසම උනත් කිසි කම්මැලියක් නැතුව...!''





''ලෝකයේ පවතින වස්තූන් දෙආකාරයකට පවතින බව සාත්‍රේගේ අදහස විය. සමහර වස්තූන් තමන් සඳහාම පවතී. සමහර වස්තූන් පවතින්නේ වෙනත් දේ සලකාගෙනයි. පුටුවක් පවතින්නේ පුටුව සඳහා නොව යම් කිසි මිනිසකුගේ ප්‍රයෝජනය සඳහාය. මිනිසා පවතින්නේ පුටුව මෙන් නොවේ. මිනිසා පවතින්නේ තවකෙක් සඳහා නොව මිනිසා සඳහාමය. මෙහිදී ඇතිවන ගැටලූවක් නම් සමහර අවස්ථා වලදී මිනිසුන් ද පුටු වැනි බාහිර වස්තූන් මෙන් සැලකෙන්නට පෙළඹෙනු දකින්නට තිබීමයි. හෝටලයක වැඩ කරන වේටර් කෙනෙකුගේ පැවැත්ම කෙබු ද ? ඔහු තමන්ට නිශ්චිත, ක්‍රමානුකූලව සකස් කරන ලද වැඩ කොටසක් කරයි. ඔහු ක්‍රියා කරන්නේ යංත්‍රයක් මෙනි. ඔහු පවතින්නේ ද අනුන් සඳහාය...''



නදී පොත තුළින් එබුණ සමන්ත දිහාවට. ඇගේ මුහුණ සීතලින් සුදුමැළිව ගොස් තියෙනව සමන්ත දැක්ක. ඈ දෙකොපුල් රූරා ගැලු සීතල කුලූ බිුවක් ඔහු කියවමින් සිටි පොත මත වැටී රිදී තිතක් වගේ මද සුළඟට සෙලවෙමින් දිලිසුණා. නදී ඔහු දෙස එක එල්ලේ බලා හිටියෙ හරියට කවදාවත් පිළිතුරක් සොයාගන්ඩ බැරි ප්‍රශ්නයක් අහන්න වගෙ. සමන්ත බිම බලා ගත්ත - ඈ අහන්න යන ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ බැරුවද කොහෙද...



''මෙච්චර කාලයක්... මේ සම්බන්ධය දැනන් හිටියෙ නෑ අපේ ගෙදරින්...'' බිුණු හින් සමන්ත කිව්ව.
''ඒ වුණාට අපේ ගෙදරින් දැනන් හිටිය''





"ඔව්..., ඔයාල ගෙදරින් දැනන් හිටිය''





''ඔයා අපේ ගෙදරට ආව... ගොඩක් පාරක් - අපෙ අම්මටයි අප්පච්චිටයි මං කිව්ව ඔයා මාව කසාද බිනව කියල - ගමේ මිනිස්සු කිව්වෙ මං චාරයක් නැති වල් කෙල්ලක් කියල... එක එකාව ගේ අස්සට දා ගන්නව කියල - බින්ඩත් කළිං...!''





නදී දිග සුසුමක් හෙළුව.





''ඔයා දන්නවද...?''





''මොනවද?''



''ගමේ මිනිස්සු අපෙ අම්මගෙන් ඇහුවලූ - කෝ දැං පහුගිය දවස් වල ගෙදර ආපු ගියපු කොල්ල - ඇයි දැන් දුව එයත් එක්ක නෙමෙයිද කියල... උන් එහෙම කියද්දි - අම්ම ගෙදර ආවෙ අඬ අඬ...!''






නදී ඉකි බින්ද, හරියට අහිංසක පුංචි දරුවෙක් වගෙ. සමන්තගෙ ඇඟ වෙව්ලූම් ගත්ත ඒ ඉකිබිඟමෙ රිද්මයටද කොහෙද. කොහේදෝ සිට හදිසියේ කාමරයට කඩා ආ සුළං රොඳක් ඈ සීරුවට පීරූ කෙහෙරැලි සිපගනිමින් ඒවා ඒ මේ අත අවුල් කළා. තමන් වෙත එබුණු ඒ දීප්තිමත් දෑස් දෙස සමන්ත බලාන හිටිය හැඟීම් විරහිත හිස් බැල්මකින්.





''ඇයි කතා නැත්තෙ?''





සමන්ත ඈ දෙස බලන් හිටිය හරියට ඈ හඬේ තිබුණ දුකක්ද තරහක්ද කියල හොයාගන්ඩ වගෙ.



''ඇයි කතා නැත්තෙ...!?''





නදීගෙ වේගවත් හ තම කන් පෙති විනිවිද ගොස් හදවතේ කිඳාබැස නැවතෙනව සමන්තට දැනුණ. ඔහුගේ මිටි කළ දෑත වේගයෙන් ගොස් නැවතුණු මේසය දෙදෙරුන් දුන්න. තමාගේ කෝපයට ඇයගෙන් ලැබන ප්‍රතිචාරය කුමක් වෙයිද කියල ඔහු හිතන්ඩ උත්සහ කළත් ඔහුට අදහසක් තිබුණෙ නෑ ඒ ගැන.



* * * * * * * * *







මම කොහොමද අමතක කරන්නෙ නදී... එයා දුප්පත් විත්තිය ඇත්ත අම්මල කියනව වගෙ... මට වඩා වැඩිමහල් විත්තියත් ඇත්ත. ඒත් කිසිම කෙල්ලක් ළඟ නැති අහිංසක කමක් තියෙනව එයා ළඟ. වයස - සල්ලි වග භෞතික මිණුම් දු වලට පුළුවන්ද මනින්න ආදරේ දිග පළල... ඒවායෙන් මැන්නොත් පෙනේවි අපේ ආදරේ වෙළඳ වටිනාකම යහමින්... ඒ කියන්නෙ ශූන්‍ය බව... එක අතකින් අම්මල කියන එකත් ඇත්ත... නදී බැඳල මට පස්සෙ දුක් වෙන්ඩ උණොත්...?





''ඇයි උඹට කැම්පස් එකෙන්වත් හොයා ගන්ඩ බැරිවුණාද හොඳ කෙල්ලෙක් ඕකි හැර - අපිට ගැලපෙන විදිහෙ?''





එහෙමයි අම්ම කිව්වෙ නිතරම. එක අතකින් මට හොයා ගන්ඩ බැරිද නදීට වඩා ලස්සන පෝසත් කෙල්ලෙක් ලේසියෙන්ම - කෝසලා නංගි වගේම...? අම්ම පොරොන්දු වුණාලූ මාමට මාව කෝසලා නංගිට බන්දන්න... එයා නදීට වඩා ලස්සනයි - ඇත්ත. නදීට වඩා දඟකාරයි - ඒකත් ඇත්ත. විකාර... මං කොහොමද කෝසලා දිහා ඒ විදිහට බලන්නෙ. කෝසලා, පොඩි කාලෙ ඉඳන් කාලා බීලා සෙල්ලම් කරලා එකට හැදුන කෝසලා...








මං විහිලූවක් කළාම, රතු පාට වුණ මුහුණ හංගගෙන, මාව හුරතලේට කොනිත්තලා ඈ ගෙට දුවනව මට තවමත් මතකයි... කෝසලා... ඔබ ආවා... ඔය සුමුදු බඳ වටා එතුණු මිහිරි සුවඳත් අරන්, ඔබ පාවෙලා ආවා... ලස්සනට මල් වැටුණ රෝස පාට ගවුමකුත් ඇඳන් ඔබ ආවා, සිනා මල් පොකුරක් දෑතින් අරන්, මේ කුටිය සනහා නිවන්ට, ඔබ ආවා... ඔය දෑසේ කාන්තිය මගේ ලොවට ඇරන් මගේ ලෝකය එළිය කරන්නට... ඔබ ආවා මා ළය ගැහන රිද්මයට සියුම් පියවර තබමින්... පොපියන දෙතොලෙහි උණුසුම අරන්, ඔය දෙතොලෙන් මා ළය මත මුද්‍රා තබන්නට ඔබ ආවා... කෝසලා... ඒත්... ඒත්... අපි...






* * * * * * * * *






මකුළුවා තාමත් දැල වියනව සමන්ත බලාගෙන. ඌ ඒ වැඩේ කරන්න කිසිම කම්මැලි කමක් නැතුව. ''දැන් ඒක ගොඩක් දුරට හදල ඉවරයි''. සමන්ත කියවමින් සිටි පොතේ කළු අකුරු ඔහු දෑස පටල ගත්ත අහම්බන් වගේ නැවතත්.






''...මිනිසා බාහිර වස්තුවක් මෙන් තවත් දෙයක් සඳහා පවතින්නක් විය නොහැකිය. මිනිසා අවශ්‍යයෙන්ම සලකනු ලබන්නේ තමන්ගේම නිෂ්ඨාව ලෙසයි. බාහිර වස්තුවකට නොකළ හැකි බොහෝ දෑ මිනිසාට විතරක් කළ හැකි වන්නේ මිනිසා ඒ බාහිර වස්තුවට වඩා වෙනස් බැවිනි. මිනිසාට තමන්ට අවශ්‍ය ලෙස තමා වෙනස් කර ගැනීමේ හැකියාව තිබේ...''





සමන්තගෙ ඇස් පොතේ කළුපාට අකුරු දිගේ ඒකාකාරී රිද්මයෙන් ගමන් කළා. ඒත් බොඳවෙලා තිබුණු ඒ අුරු පාටට එහා ගිය අර්ථයක් ඔහුට හඟවන්ඩ ඒ කළුපාට අකුරු වලට පුළුවන් කමක් තිබුනෙ නෑ... සමන්ත තවත් පිටුවක් හෙමින් පෙරලූව - ඉස්සරහට නෙමෙයි ආපස්සට. අම්ම උසට උසේ තමන්ගෙ ඉස්සරහට වෙලා තමා දෙස බලාගෙන ඉන්නව සමන්ත දැක්කෙ එතකොට. ඇගෙ බැල්මට බයෙන් ද කොහෙද සමන්ත හෙල්ලිලා ගියා කවදාවත් නැති විදිහට. ඒ නිසාමද කොහෙද ඔහුට පුළුවන් කමක් තිබුණෙ නෑ කෙළිං බලන්න අම්මගෙ මූණ දිහා.





''මොකද උඹ ගෙදර ආවෙ නැත්තෙ, ඉරිද-සෙනසුරාදවත්?''





සමන්ත නිශ්ශබ්දව හිටිය හරියට නෑහුනා වගේ.





''ඇයි... උඹට අරකිත් එක්ක රෝන්ද ගහන්ඩ පුළුවන්නෙ හොඳට - මෙහෙ ඉඳන්!''





''දැන් උඹට අපිව ඕනෙ නෑ...''





ඈ දිග සුසුමක් හෙලූළුව. හැර දමා තිබන කවුලූව තුළින් මද අුර හා දියවුණ සිහින් සීතල සුළඟක් කඩා වදිමින් තිබුණ කාමරයට. සමන්ත හිස ඔසවලා අම්ම දිහා බැලූව. අම්මගෙ මූණ රතුවෙලා තිබුණ ගින්දර වගේ - කේන්තියෙන්. ඔහු ආයෙත් බිම බලාගත්තෙ අම්මට නොදැනෙන්ඩ.





''ඇයි උඔ අපි කියන දේ අහන් නැත්තෙ? අප්පච්චියි මායි කොච්චර දුක් වින්ද ද උඹ මේ තත්වෙට ගන්ඩ ...?






* * * * * * * * *



සමන්ත ජනේලෙන් එළිය දිහා බැලූව. හීන් සිරිපොදක් වැටෙමින් තිබුණ සීතල සුළඟකුත් එක්ක. ''මේ වැස්ස අල්ලල යයි කාලෙකට, දැන් වැස්ස කාලෙනෙ'' සමන්තට හිතුණ. ජනේලෙන් ආපු හුළං වැස්ස හිටි හැටිය කඩා පැන්න ඔහුගෙ මූණට - හීන් ඉදිකටු වලින් අනින්නා වගෙ.





''සිසිෆියස්ගේ මිත්‍යා කතාව නම් ඉපැරණි ග්‍රීක මිත්‍යා කතාවක් තුළ ශ්‍රේෂ්ඨ සාංදෘෂ්ටිකවාදී දාර්ශනික ඇල්ඛෙයා කැමූ තම දර්ශනය හකුළා දක්වයි. සිසිෆියස් කළ වරදක් නිසා ඔහුට දෙවියන් වහන්සේ විසින් දුවමක් ලබා දෙයි. සිසිෆියස් හට ලැබුණු දුවම අනුව ඔහු විශාල කළු ගලක් කර තබා ගොස් ත්‍රිකෝණාකාර බෑවුමක් සහිත පර්වතයක් මුදුනින් තැබිය යුතුය. සිසිෆියස් මේ ගල කරතබා කන්ද මුදුනට යත්ම ගල නැවත කන්ද පහළට වැටේ. ඔහු නැවතත් එසේ ගල ඔසවාගෙන ඉහළ නගිත්ම ගල නැවතත් කු බෑවුමට පතිත වේ. සිසිෆියස් නැවත නැවතත් මේ වැඩය කරයි. නමුත් ගල පර්වත මුදුනින් තැබීමට ඔහු නොසමත් වේ. කැමූට අනුව සාමාන්‍ය මිනිසාද සිසිෆියස්ට සමාන වේ. ඔහුද යම් කිසි අරමුණක් හඹාගෙන යෑමේදී එය සාර්ථක වුවහොත්, ඒ කෙරේ තිබුණු ආශාව නැති වී ඒ තැනට තවත් අරමුණක් පැමිණේ. අසාර්ථක වුවහොත් දුක් විිමින් තව තවත් ඒ සඳහා වෙහෙස වේ...''





''උඹ අපි කියන දේ කරන් නැත්තන් මීට පස්සේ අපි මැරිල කියල හිතාගනින්... උඹ ඉගනගත්තු ළමයෙක් නේද?''






අම්මගෙ වේගවත් වචන සමන්ත තිගැස්සුවා. ඈ උසට උසේ තාමත් තමා ඉස්සරහ ඉන්නව සමන්ත දැක්කෙ එතකොට. ඇගේ උසම උස හෙවණැල්ල ඔහු කියවමින් සිටි පොතෙහි අකුරු තව තවත් බොඳ කරමින් පැතිරිල තිබුණ.





''අම්මා, නදී හැර වෙන කාවවත් මට බින්ඩ බෑ''






අම්මට ඔහුගේ වචන ඇහුණු බවක් පේන්ඩ තිබුණේ නෑ - නැත්තම් ඇහුණු බවක් පෙන්නුවෙ නෑ.






''මං අද හොඳට දෙකක් කියලා ආව - ඒකිගෙ ගුබ්බෑයමට ගිහින්...! ''





''අම්මා මට...''





''තවත් කතා එපා... උඹ ඒකි කසාද බඳින්නෙ නෑ එච්චරයි. අන්න ඒක හොඳට මතක තියාගනින්!''





''අම්මා මට...'' සමන්ත මොනවදෝ කියන්ඩ හිතුවත් ඒ මොකක්ද කියල ඔහුට අමතක වෙලා තිබුණ.






* * * * * * * * *





'' ...පර්වතය මුදුනින් ගල තැබීමට සිසිෆියස් ගන්නා වෙහෙසත් සාමාන්‍ය මිනිසා විවිධ අරමුණු පසුපස හඹා යෑමට ගන්නා නොතිත් වෙහෙසත් එක හා සමාන වේ. එහෙත් හාස්‍යට කරුණ වන්නේ, සිසිෆියස් සාමාන්‍ය මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ වීම යි. මක්නිසාද යත්, සිසිෆියස් තමා විඳින්නේ දුවමක් බවත්, තමා ගල පර්වතය ඉහළට ගෙන ගිය කල එය නැවත කඳු පහළට වැටෙන බවත් දනී. නමුත් සාමාන්‍ය මිනිසා තමා විින්නේ දුවමක් බවත් තමා මෙසේ අරමුණු පිටුපස හඹා යෑම කිසිදා තෘප්තිමත් නොවන බවත් නොදනිති...''





හුළං වැස්ස ගෙට කඩාගෙන න නිසාදෝ සමන්ත එළිය බැලූව ජනේලෙ වහන්ඩ හිතාන වගෙ. එතකොටයි ඔහු දැක්කෙ නදී ජනේලෙ ළඟ ඉන්නවා. ඉර බැහැගෙන ගිහින් මුලූ පළාතම රතුපාට වෙලා තිබුණ. බැසයන ඉරෙන් පරාවර්තිත සියුම් ආලෝක කදම්බයක් නදීග කම්මුල හරහා වැටී තිබුණ රතට රතේ. ඇගෙ මුහුණ හොඳටම තඩිස්සි වෙලා වගෙයි සමන්ත දැක්කෙ. ඈ දෑසෙහි වෙනදා තිබුණු සුන්දරත්වය කම්මුල් දිගේ බැස ගිහින් තිබුණ. සමන්ත ඈ දෙස හිනා වුණා ලාවට. එතකොට නදිත් හිනා වුණා. ඉර එළිය හොඳටම අඩුවෙලා තිබුණ නිසාදෝ ඇගේ හිනාව ඔහුට පෙණුනෙ අනවා වගෙ. අුර තුළින් එකපාරට සට සට ගා ඇදී ආ මාවවුලෙක් තම කාමරය පුරා ඉගිලී ගොස් මෙතෙක් වේලා බිමින් සිටි මකුළුදැල විනිවිද යනව සමන්ත බලාගෙන.






* * * * * * * * *






ශේෂ වූ පාඩම එහෙමම තිබුණ සමන්තගෙ මේසය මත හුදෙකලා වෙලා.







- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

No comments:

Post a Comment