Sunday, March 28, 2010

අමතක වූ කතා කලාවක් දෙස ආපසු හැරී බැලීමක්‍


අමතක වූ කතා කලාවක් දස ආපසු හැරී බැලීමක්‍


සාහිත්‍යමය පඨිතයක කියැවීමේ කාර්යයේ වැදගත් කම සහ බරසාරත්වය පිළිබඳ නූතන සාහිත්‍ය විචාර කතිකාව තුළ, වඩාලාත් අවධාරණයට ලක් කළ විචාරකයින් අතර ආචාර්ය ලියනගේ අමරකීර්ති හට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයක්. පශ්චාත් යථාර්ථවාදී ප්‍රබන්ධ කථාවක් වෙත ආඛ්‍යාන න්‍යායික රචනා සංගෘහිතයක් ලෙස නිර්මිත ''අමුතු කතාව'' සහ හිම දිගුවක් ලස ගත හැකි "සහෘද සාක්ෂිය" යට කී ස්වාර්ථය සාධනය කරගනු වස් ඔහු විසින් රචිත මහඟු විචාර ග්‍රන්ථද්වයක් ලෙස හැඟන්විය හැක. පරෙස්සම් සහගත හා නිර්මාණශීලී සාහිත්‍ය කියැවීම් තුළින් විචාරකයකු ලෙස ස්වකීය යුතුකම් ඉටුකරන ලියනෙග අමරකීර්ති, ප්‍රවීණ කෙටිකතා කරුවකු, නවකතා කරුවකු පමණක් නොව පරිවර්තකයකු ලෙස ද සිංහල සාහිත්‍යයට ම වන විටත් දායාද කළ නිර්මාණ සංඛ්‍යාව රාශියකි. පඨිතය විසින් බැ තබන සරල වාච්‍යාර්ථමය තලයන් ඉක්මවා ගිය අතිසියුම් සංකතමය හුයවල් රාශියක් විසින් පාඨක පරිකල්පනය අවුලවාලීම හා කිතිකැවීමට අමරකීර්තිග කතා කලාව බවිට සමත් වීමත්, කී ශක්‍යතාව තත් පඨිතය තවදුරටත් සියුම් කියැවීමේ කාර්යයකට බුන් කිරීම සඳහා අප නිතැතින් පෙළඹීමත්, තවද විචාරකයකු ලෙස නවලහා ස්වකීය කාර්යය ඉටුකරන ඔහුගේ නිර්මාණයන් (විදේශගතව සිටීම නිසාදෝ) සිංහල සාහිත්‍ය විචාර කතිකාව තුළ සසු විචාරකයින් විසින් ඇගයීමට ලක්වූවා ප්‍රමාණවත් නොවේදෝ'යි අපතුළ වන්නාවූ සාධාරණ විචිකිච්ඡාවත් අමරකීර්තිග කෙටිකතා කලාව පිළිබඳ මෙම සරල සටහන තැබීම අප මුඛ්‍ය පළඹුමයි.


නූතන ලෝක කෙටිකතා කලාවේ නව නැමියාවන්ගෙන් මෙන්ම සම්භාව්‍ය කෙටිකතා කලාවේ ආභාසයන් යෙහෙන් අවශෝෂණය කර ගනිමින් තම නිර්මාණයන් මනා කොට පෝෂණය කරගන්නා ලියනගේ අමරකීර්ති මේ වන විටත් නිර්මාණය කර ඇති හයක් පමණ වූ කෙටිකතා සංග්‍රහයන් අතරින් මෙහිලා අප වෙසෙසි අවධානය ''මම දැන් නිදමි'' සහ ''විල සහ මල'' නම් ග්‍රන්ථද්වය කරා යොමු වේ. අනෙක් අතට වර්තමාන සිංහල කෙටිකතාකරුවන් අතර ඔහු සතු ආස්ථානය හා නූතන සිංහල කෙටිකතාකරුවකු ලෙස ඔහුගේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සුඳහා මෙම කෙටිකතා සංග්‍රහයන් දෙක පමණක් වුවද අතිශ්‍ය ප්‍රමාණවත් වේ. රීතිමය වශයෙන් ගත් කල යථාර්ථ වාදය හා එය ඉක්මවා ගිය, යථාර්ථවාදයම දිගුවක් ලස සැලෙකන අධි යථාර්ථවාදී රීතිය ස්පර්ෂකරන මහඟු නිර්මාණ රාශියකින් යට ඇක්වූ ග්‍රන්ථද්වය සංගෘහිතව තිබනු දක්නා ලැබේ. මම දැන් නිදමි කථා සංග්‍රහයේ එන, වැව සහ නුගරුක, මිස්ට ජයන්තගේ සිනාමුසු මරණය, තනියා, ගිනි කිරිල්ලී යන නිර්මාණයන් ද විල සහ මල කතා සංග්‍රහයේ එන, විල සහ මල, මගේ පුංචි පෙම් කතාව, ජිනදාසගේ දරුවෝ, හා කළු පොකුට සහ රතු පොකුට යන නිර්මාණ අප සිත් ගත් නිර්මාණ වෙසෙසින් කැපී පෙණ.


අන්ත ග්‍රාමීය සමාජ ව්‍යුහයේ සිට උපරිම නාගරික සමාජ ව්‍යුහය දක්වා තමා සතුව පවත්නා විපුලිත සහ පොහොසත් අනුභූතිමය වපසරිය, ස්වකීය සාහිත්‍යමය ප්‍රතිනිර්මාණකරණයේදී ලේඛකයා විසින් බැවහරිත ආකාරයේ ප්‍රශන්සනීයත්වය සමස්තයක් ලෙස අමරකීර්තිග කතා කලාව තුළ දක්නා ලැබන වැදගත් ලක්ෂණයකි. තවද තමා සතුව පවත්නා විපුලිත විෂය වපසරිය, සතතාභ්‍යාසිත සාහිත්‍යමය බුහුටිභාවය සහ සූක්ෂ්ම සාහිත්‍යමය භාවිතයන් හේතුකොට අමරකීර්ති තම නිර්මාණ භාවිතය තුළ ලබන අස්වැසුම ද අති මහත් බැව් ඔහුගේ කතා කලාව විචාරශීලීව පිරික්සීමේදී පෙණේ. තවද යටකී අව්‍යාජ ජීවන ශ්‍රෝතශයන් විසින් කතුවරයා හට අත් පත් කර දෙනු ලබන භාෂාමය බුහුටිභාවය හා ඊට අමතරව තැම්විට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය හැදෑරීමෙන් අමරකීර්ති ලද පන්නරයත් නූතන සිංහල සාහිත්‍යයෙන් හා සුභාවිත කටවහරින් ගෙන තමා තුළ ගොඩනගාගත් භාෂාපටුත්වයත් තම ප්‍රස්තුතයට රිසි පරිදි මැටිපික් ලෙස හනා වනා කවියකු සේ සුභාවිත කිරීමට ඔහු දක්වන චාතූර්යය, මෙම නිර්මාණයන් කියැවීමේදී නිතැතින් පාඨක සිත් ගනී.


තවද, යට කීවා සේ විශ්ව සාහිත්‍යයේ නව නැමියාවන්ගෙන් තමා ලත් මනා ආලෝකයත් සම, තම කතා කලාව තුළ අත්හදා බැලීම් කිරීමට අමරකීර්ති විසින් ගත් සවිඥානික උත්සහයන් ගේ සත් ඵලයන් ලෙස බිහිවූ බැව් පෙනීයන මෙම නිර්මාණ බොහෝමයක් එකී කරුණ හතුකටගනම අතිශ්‍ය නැවුම් සුවඳක් නූතන සිංහල කෙටිකතා කලාව තුළට වහනය කිරීමට සමත් වනවා පමණක් නව, තවද ඒවා පාඨක පරිකල්පනය හා චින්තන ශක්තිය මනා ලෙස විලවීමට සමත් සාර්ථක ප්‍රබන්ධයන් හට හිමි ස්ථානයන් නිතැතින් සමතික්‍රමණය කරයි. කලාකරුවකු ලෙස ලියනගේ අමරකීර්තිගේ කෙටිකතා කලාවේ සැටි මේයැ'යි සම්පූර්ණ අවබෝධයක් ලබා නොදුන්නා වුව ද ඔහුගේ කතා කලාව පිළිබඳ සරල හෝ හැඟීමක් ලැබීමට පිටිවහල් වනු ඇතැ'යි හඟින හෙයින් "විල සහ මල" නම් කතා සංග්‍රහයේ පළමු නිර්මාණය ලෙස එන ''කළු පොකුට සහ රතු පොකුට'' නම් නිර්මාණය මහිලා සංක්ෂිප්ත කියැවීමේ කාර්යයකට බුන් කරමු.


රතු පොකුට නම් අධිමානුෂික පුද්ගලයකුගේ පුත්‍රයා ලෙස සමාජය විසින් පිළිගැනෙන කළුපොකුට නම් කතා නායක චරිතය කේන්ද්‍ර කොට ගත් මෙම නිර්මාණය බැලු බැල්මට යථාර්ථවාදය ඉක්මවා ගිය නිර්මාණයක් බව වාච්‍යාර්ථමය කියැවීමක් තුළදී එකවැර පෙනී යා හැකි වුව ද, වාච්‍යාර්ථය ඉක්මවාගිය අති ප්‍රබල සංකේතර්ථයක් හකුළා දැක්වන එහි, එසේ යටින් දිවෙන අර්ථය තුළ වඩාලාත් යථාර්ථවාදී ලක්ෂණ දක්නා ලැඛෙන බැව් අපගේ අදස යි. මෙසේ, කළු පොකුටගේ පියා ලෙස සැලකෙන රතුපොකුට කෙම්මුර දවස් වලට පන්සලේ මහ බෝක්කුව උඩ සිටින බැව් ගැමි විශ්වාසය යි. විවිධ වේශයන්ගෙන් සිටින මෙම පුද්ගලයාගේ ද්වේශයට ලක් වන මිනිසුන් ඔහු විසින් පහර දීම නිසා හෝ ලෙඩ රෝගයකට බුන් කිරීම නිසා හෝ මරණයට හෝ පීඩාවට හෝ පත්වේ යැයි තවත් විශ්වාසයකි.


නමුත් කුඩා දරුවන්ට ආදරය කරන රතු පොකුට, ඇතැම් ස්ත්‍රීන්ගෙන් දරුවන් සොරකම් කරන අතර, පසුව දරුවා සදා ගැනීමට ඉතා යහපත් තැනකට බාර දේ. කළු පොකුට නම් කතා නායකයා ද එ සේ සොරකම් කර පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාර දුන් දරුවකු බව පෙණේ. මේ අනුව ඔහු හදාගනු ලබන්නේ ලොකුහාමුදුරුවන් විසිනි.


මෙසේ සාදාගන්නා කළු පොකුට ''වැව් විදානේගේ'' දියණිය වන ''නීලමනී නෝනා'' සමග පෙම් සබඳතාවක් ඇතිකර ගනී. අවසන එය ද අසාර්ථක වන අතර තදනන්තරව, නීලමනී නෝනා හමුදා සෙබළෙකු අතින් අනාථ වී පිටස්තර ලෝකයට රහසේ පියෙකු නොමැති දරුවෙකු බිහි කරයි. එසේ, දරුවා ගමින් පිට බිහිකර ටික දිනක් යෑමෙන් පසු වැව් විදානේ හා හාමිනේ රාත්‍රියර රහසේම තම දියණිය හා ඇගේ දරුවා ගෙදරට ගෙන්වා ගනී. නමුත් පසුව එම දරුවා ද රතු පොකුට විසින් සොරකම් කරයි! අවසන තරුණ විය ගෙවී ගිය නීලමනී නෝනා කළු පොකුට හට ම හිමිවේ. ඒ ''කළු පොකුට සහ රතු පොකුට'' නම් කතාවේ අති සරල සාරාංශය යි.


මුල සිට කතාව කියවන පාඨක මනස අධි යාර්ථවත් ලෝකයක් තුළ හා යථාර්ථවත් ලෝකයක් තුළ නිතැතින් දෝලනය කිරීමට කථාව පඨිතය නිතැතින් සැදී පැහැදී සිටී. තවද මෙකී සරල යථාර්ථය ඉක්මවා ගිය පරිකල්පනීය ලෝකයක ජීවත් වන පාඨකයා ගේ සිත නිරන්තරයෙන් කළු පොකුට හා රතු පොකුට යනු සැබැවින්ම කවරෙකු දැයි දැනගනු වස් කුතුහලයෙන් වෙලී යයි. එකී පාඨක කුතුහලය අවසානය දක්වා රැගෙන එන කතා කරුවා කී කුතුහලය සන්සිීම සඳහාත් තම කථාව යටි අරුත කියැවීම සහාත් බුද්ධිමත් පාඨකයා හට දරටු විවර කරමින් අවසන ප්‍රථම ඉංගිතය සපයා දයි. කතුවරයා සපයන ලද කී හුය හරහා ගස් කතාව පසු කියැවීමටත් ඉන් මතුවන සියුම් අර්ථ සූක්ෂම ලස ග්‍රහණය කරගැනීමටත් පාඨක මනස ඒතැන් සිට බුද්ධිමත් පාඨකයා හට බල කරයි. එස කතාව අවසන ලබාදන සූක්ෂ්ම හුය අන් කවරක්වත් න, නීලමනී නොනාගේ දරුවා ද රතු පොකුට විසින් සොරකම් කිරීම යි.


නීලමනී නොනා යනු අන් කවරක්වත් න''වැව් විදාන'' යන, ග්‍රාමීය අධිකාරීත්වයට හා සමාජ නිර්වචනයට හිමිකම් කියන ඉහළ පංතියට අයත් වලව්වේ දියණියකි. මෙසේ පිට දී පියෙකු නැති දරුවකු බිහි කරන ඇයව වැව් විදාන සහ ඔහු බිරි රහසේ ගෙදරට ගෙන්නා ගන්නේ යම් කිසි රහසිගත වැඩක් කිරීමේ අරමුණිනි. ඒසේ තිබියදී රතුපොකුට විසින් ම අවජාතක දරුවා සොරකම් කිරීමෙන් පෙනී යන්නේ රතු පොකුට යන්න සමාජ නිර්වචනීය බලය හිමි ඉහළ පැලැන්තිය විසින් බිහි කළ දෘෂ්ටිවාදාත්මක මිත්‍යා කථාවක් බව යි. ඒ අනුව මෙ නිර්මාණය වාච්‍යාර්ථය ඉක්මවා ගිය දෘෂ්ටිවාදයන් පිළිබඳ අති සූක්ෂ්ම විශ්වීය යථාර්ථයක් කතාවහි යටි තලය තුළින් හකුළා දක්වයි.


යට කීවා ස සතු යථාර්ථය සරල ලෙස තල දෙකක පිහිටුවා කියවීමට බුන්කළ හැක. එනම්, කළු පොකුට යනු රතු පොකුට නම් දෘෂ්ටිවාදාත්මක මිත්‍යා විශ්වාසය ඉවහල් කර ගනිමින් අධිකාරීත්වය හිමි පංතිය විසින් තම ලජ්ජාවන් වසා ගැනීම වස් සූක්ෂම ලෙස කුඩා කලදීම තමන්ගෙන් ඉවත් කළ තවත් මිනිසකු ලෙස ගෙන කියැවීම යි. අනෙක නම් කළු පොකුට යන්න ද දෘෂ්ටිවාදයන්හි ආරම්භය හා විපරිණාමය අතික්‍රමණය කරන සංකේතයක් ලෙස ගෙන කියැවීම යි. කෙසේ කියවූව ද ස්ඵූට වන්නා වූ එකම යථාර්ථය දෘෂ්ටිවාදයන් පිළිබඳවම වූවක් හෙයින් මෙකී ස්ථර දෙකම ඒ ඒ අවස්ථාවට අනුව ගනිමින් තව දුරටත් කියවා බලමු.


බලය හෙවත් අධිකාරීත්වය හිමි පරපුර විසින් තම බලය හා පැවැත්ම තහවුරු කරනු වස් අති සූක්ෂම ලෙස නිර්මාණය කරමින් සමාජය වෙත උපරි ආරෝපණය කළ මිත්‍යා විශ්වාස, සාරධර්ම හා හර පද්ධතීන් යන සියල්ල දෘෂ්ටිවාදයන් ගනයට වැටේ. මෙවන් දෘෂ්ටිවාදයන් සතු තවත් වැදගත් යථාර්ථයක් නම් ඒවා කාලයත් සම සමාජය තුළ පරම යථාර්ථීකරණය වීමයි. මෙසේ වීම හේතුකොට ඒවා නිෂ්පාදනය කළ පැලැන්තිය සඳහා ඒවා සදාතනික පිටිවහලක් සපය යි. සාමාන්‍ය ජනතාවගේ ඇස් මෙවන් දෘෂ්ටිවාදයන්ගේ මායාමය තිරපටින් සදාකල් බැඳ තබා පරම යථාර්ථය දෙස විචක්ෂණව බැලීමට ඔවුන් සතු හැකියාවන් අවුරා තැබීම මගිනි එසේ කරනුයේ. ''භාණ්ඩ නිෂ්පාදනය හා ඛෙදාහැරීම පාලනය කරන්නන් විසින්ම අදහස් නිෂ්පාදනය හා බදාහැරීම ද පාලනය වේ'' යනුවෙන් මාක්ස්වාදී දෘෂ්ටිවාද විවරණය තුළ දැක්වෙන්නේ දෘෂ්ටිවාදයන් පිළිබඳ යට දැක්වූ යථාර්ථයන් හේතුකොට ගෙන ය.


අවජාතක දරුවකු බිහිකිරීම නිසා තමන් වෙත එන්නා වූ අවනම්බුව අකා මකා දමා තම පැලැන්තියේ සුජාත භාවය තවදුරටත් ආරක්ෂා කරනු වස් අධිකාරී පැලැන්තිය විසින් මිත්‍යාමය දෘෂ්ටිවාදයක් වන රතුපොකුට නම් සංකල්පය බිහි කෙරී ඇති බව යට කීමු. නමුත් මෙහිලා තම සංකේතමය භාවිතය තුළ කතා කරුවා හකුළා දක්වනුයේ සමස්ත දෘෂ්ටිවාදයන්හිම විචලනය පිළිබඳ විපුලිත යථාර්ථයක් මිස සීමිත වූවක් නොවේ.


''රතු පොකුට දැකපු අයට ඉන්නෙ ලෝකු හාමුදුරුවොයි. එකැස් වෙද මහත්තය යි, දෙල්ගහ යට ගෙදර චිට්ටි සීය යි විතරයි. ඔය තුන්දෙනාම ගජ යාළුවෝ හින්දා තරුණපාහේ උදවිය කියන්නෙ, රතු පොකුට කියන්නෙ ඒගොල්ලන්ගෙ ප්‍රබන්ධයක් කියල. රතු පොකුටව ඇහින් දැකපු තව අය නොහිටිය නෙමෙයි. ඒ සමහර අය මැරිල. අනික මේකනෙ, දැක්කකෙනෙක් කියන්නෑ දැක්කකියල. බයට''


ගජමිතුරු අධිකාරී පැලැන්තිය විසින් සූක්ෂම ලෙස දෘෂ්ටිවාදයන් බිහි කිරීම පමණක් නොව, එකී දෘෂ්ටිවාදයන්හි නිරුවත් බව ඇතැමෙක් දුටුවද ඒ හෙළි කිරීමට ඔවුන් දක්වන බිය පිළිබඳව ද මෙහිලා ඉඟිකෙරේ. ඒ අනුව සමාජ නිර්වචනීය ශඛ්‍යතාව හා බලය හිමි ඉහළ පැලැන්තියේ අධිකාරීත්වය හා ඒ සඳහා විරුද්ධව යෑමට අන්‍යයන් හට ඇති නොහැකියාව පිළිබඳ විශ්වීය යථාර්ථය සූචිත ය. නූතන අධ්‍යාපනය ලැබූ තරුණයින් කිහිප දෙනෙක් පමණි කථාවට හෝ ඒ සැක කිරීමට සමත් වනුයේ.


දෘෂ්ටිවාද නිර්මාණය හා ව්‍යාප්ත කිරීමේ ආගමික සංස්ථාවන් සතු කාර්යභාරය හා දායකත්වය පිළිබඳ ලේඛකයා ඉතා බුද්ධිමත්ව ඉඟිකරන අයුරු ''කළු පොකුට'' යන සංකල්පය ද දෘෂ්ටිවාදයන් නිරූපණය කෙරෙන සංකේතමය හකුළා දැක්වීමක් ලෙස ගෙන කියවන කල මනා කොට ස්ඵූට වේ. කළු පොකුට රතුපොකුට නම් අධිමානුෂික බලවේගය මගින් පන්සලේ දමා ගිය පසු රැක බලා ගන්නේ ලොකු හාමුදුරුවන් ය. තව ද රතු පොකුට දැක තිබූ අය අතර ලොකු හාමුදුරුවන් ප්‍රධාන වේ.


''ලොකු හාමුදුරුවෝ බෝධි බැම්මට උඩින් බෝධි කොටුවට බැට්ටිය ගහනකොට කළු පොකුටගෙ ඇස් රතුපාටට දිලිසුනා... ඔය විස්තරේ ලොකු හාමුදුරුවෝ බණකට ඈඳලා කියු නිසා දැන් කවුරුත් දන්නවා...''

''කළු පොකුටට පන්සලේ බත අල්ලලා ගියා උගේ ඇඟ දාලා යකඩ වගේ හැදුණා...''


යනු එකී යථාර්ථය මනාව චිත්‍රණය කරන සංකේතයන් අතුරින් කිහිපයකි. කෙම්මුර දවස්වල කළු පොකුට පන්සල් වතතේ මහ බෝක්කුව උඩ ඉඳගෙන සීටීම, වරදක් කළ හොත් කළු පොකුටට ලොකු හාමුදුරුවෝ ධම්මපදය උගන්නන වේවැලෙන් පහර දීම ආදි සංකේත තවදුරටත් එකී සංකල්පය පිළිබඳ පාඨක පරිකල්පනය තීව්‍ර කරයි. දෘෂ්ටිවාදයන් බිහිකිරීම මින් ආගමික සංස්ථාවන් විසින් සාමාන්‍ය මිනිසා මුළාකරති'යි යන පිළිගැනීම හේතුකොටගෙන ආගම මිනිසාට අබිං යැයි කී මාක්ස්වාදී කියැවීම ද මෙහිලා සිහිවේ.


දිගුකලක් පැවතීම නිසා හා ඒවා නිර්මාණය කර සමාජගත කරන ආකාරයේ සූක්ෂමභාවය නිසාම මෙවන් දෘෂ්ටිවාදයන් කල් යත්ම පරම යථාර්ථය ලෙස සමාජමය මිනිසා තුළ යට කී සේ ශරීර ගත වේ. අනතුරුව මිනිසා හැසිරෙනුයේ එවන් දෘෂ්ටිවාදයන් තව තවත් තහවුරු වන ආකාරයට මිස ඒවා තම අයහපත පිණිස බලපාන සංකල්පයන් ලෙස දුරස්ථව තබාගනිමින් නොවේ. එක් මිනිසකුගේ ඇස් රතුවී ඔහු මියයෑම රතුපොකුටගේ පාට ගැනීම නිසා සිදුවූවක් බවත්, රතු ලුලකු මරාගෙන කෑ අරක්කු පෙරන සුනිල්හට මාස තුනක් බඩ එළියයෑම හැලි අරක්කු බීම නිසා වූ බව රෝහලෙන් කීවද ගැමියන් ඒ විශ්වාස නොකර රතු ලුලා යනු රතුපොකුටගේ ආත්මය නිසා මෙසේ වූ බව විශ්වාස කිරීමත් කරනුයේ ද එහෙයිනි. තවද එකැස් වෙදමහත්මයා පවසන්නේ ද රතුපොකුටට මෙවන් ආත්ම රාශියක් ඇති බව යි! මෙම යථාර්ථයම තවදුරටත් හකුළා දක්වන සංකල්පයකි කළු පොකුටට කිරිදීම. කළු පොකුට ලොකු හාමුදුරුවන් හැදුවද ඔහුට කිරි දෙනුයේ කිරිමැණිකෙ ඇතුළු ගැමි ගැහැණුන් ය. ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදයන් කෙසේ වුව බොහෝවිට කටකතා හා දෘෂ්ටිවාදයන් පැතිරීම හා පෝෂණය කිරීම සඳහා ග්‍රාමීය සමාජය තුළ ස්ත්‍රිය දක්වන පුරුෂයා ඉක්මවා ගිය සක්‍රියත්වය පිළිබඳ සාමාන්‍ය යථාර්ථය මෙකී සංකේතයන් තුළින් හකුළා දැක්වේ.


ඉහළ සමාජය විසින්ම නිර්මිත දෘෂ්ටිවාදයන් එකී සමාජය සඳහාම කඹුරන අයුරු තවදුරටත් කළු පොකුට පිළිබඳ සංකේතමය කියැවීමක් කිරීමේදී පෙණේ.


''...කළු පොකුටට බිම රස්සා හරි ගියෙම නෑ. මිනිහට ඕනෑ වුණේ මොකක්හරි ක්‍රීඩාශීලී රක්ෂාවක් - වීර පරාක්‍රම වලින් යුතු රස්සාවක් - ඒ හින්දයි කළු පොකුට උස ගස් වල පොල් කඩන්ඩ පටන් ගත්තෙ. ගමේ පරණම පොල් ගස් තියෙන්නෙ පංසල් වත්තේ...'' ''වැව් විදානෙ මහත්තයාගේ ඉඩමේ තමයි ලොකුම පුවක් වැට තිබුණෙ...''

මෙසේ අධිකාරී බලතල හිමි ඉහළ සමාජය විසින් නිර්මිත දෘෂ්ටිවාදයන් උස ගස් හෙවත් ඉහළ සමාජයේම යහපත හා පැවැත්ම උදෙසාම සේවය කරන බැව් පෙණේ. අවසන වලව්වේ දියණිය වන අනාථවූ හා වැහැරගිය නීලමනී සහ රතුපොකුට විසින් සොරකම් කළ ඇගේ දරුවායැයි සිතිය හැකි ''පොඩි පොකුට'' ද කළු පොකුට හට බාරගැනීමට සිදුවීම මෙම යථාර්ථයේ උපරිම අවස්ථාව සූචිත සංකේතයකි.
ලේඛකයා මෙසේ තම නිර්මාණාත්මක භාවිතය තුළ හකුළා දක්වන ආගමික සංස්ථාවන් පිළිබඳ යථාර්ථයේම එක්තරා පැතිකඩක් තවදුරටත් ස්ඵූට කරනු වස්, ශ්‍රීලාංකීය විහාරස්ථ සම්ප්‍රදාය හා එහි ආර්ථීක පාර්ශවය පිළිබඳ මහඟු අධ්‍යනයක නිරතවෙමින් මහාචාර්ය රණවීර ගුණවර්ධනයන් විසින් රචිත ''සිවුර සහ නගුල'' නම් ග්‍රංථයෙන් ගත් ඉතා සංක්ෂිප්ත උපුටා දැක්වීමක් සෝදාහරණකොට දක්වමු. මධ්‍යතන යුගයේ මුල් භාගය මෙම අධ්‍යනය සඳහා කේන්ද්‍රගතව තිබුණද ඉන් සූචිත යථාර්ථය එකී කාලාවකාශ වපසරිය අතික්‍රමණය කරන්නකි.
''නව වැනි හා දහ වැනි සියවස්වල ශ්‍රීලංකාවේ විශාල විහාරස්ථාන වලට ස්ථීර ආදායම් මර්ග තිබිණ. ඒ අතර ඒවායේ නිවැසි සමහර භික්ෂූහු විශේෂ වැටුප් හා පුද්ගලික ආදායම් ලබමින් සැප පහසු ජීව්ත ගත කළහ. මේ විපර්යාසයන් නිසා විනය නීති සම්බන්ධයෙන් පවත්නා තත්වයට අනුකූල ආකාරයක නව අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීමට අටුවාචාරීන්ට සිදුවිය. ශ්‍රීලංකාවේ ඉඩම් හා දාසයන් අයිතිව සිටීමට විරුද්ධ තහනම් නියෝග වලට අත්වූයේ ද මධ්‍යතන ෛක්‍රස්තව පූජක සංවිධානය තුළ අධික හා අයුතු පොළී අයකොට මුදල් ණයට දීමේ ව්‍යවහාරයන්ට එරෙහිව පැණවූ තහනම් නියෝග වලට අත්වූ ඉරණම ම බැව් පෙණේ. පරමාදර්ශය හා ව්‍යවහාරය අතර ඇති වූ මේ පරතරය හා වෙනස මගින් නියෝජනය වූයේ වෙනස්වෙමින් පැවති සමාජ පරිසරයට ගැලපෙන සේ ශාසනය හැඩගැසීම යි. මේ අනුව, යුගයට ගැලපෙන සේ පරමාදර්ශයන්ට නව ස්වරූපයක් දීමෙන් ද පරිචයෙන් ලත් අත්දැකීම් වලට අනුකූල වන සේ ඒවාට අලුත් නිර්වචන සැපයීමෙන් ද යථා තත්වයට පිළිගැනීමට ඒත්තු ගැන්වූ පාලි අට්ඨකතා මගින් ඉටුකෙරුනේ වැඩදායක කර්තව්‍යයක් බැව් පෙණේ.''
(සිවුර සහ නගුල -351-352 පිට)


වාච්‍යාර්ථයේ සීමාවන් අතික්‍රමණය කරන යථාර්ථයක් ප්‍රබල සංකේතමය හකුළා දැක්වීමක් තුළ සඟවා තබන මෙම මහඟු කෙටිකතා නිර්මාණය පිළිබඳ අප කළාවූ යට කියැවීම ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ කෙටිකතා කලාව මේයැයි යන්න පිළිබඳ සරල හැඟීමක් ජනිත කරනු ඇත. තව දුරටත් කියැවීමකට බුන් කළ හැකි මෙම නිර්මාණය අපගේ මූලික අරමුණට ඇවැසි ලෙස තලා පෙළා සංක්ෂිප්ත කර ගැනීම, මෙම ලේඛකයාම ස්වකීය අමුතුකතාවේ පෙන්නා දෙන පරිදි පඨිතය මත අනවශ්‍ය ලෙස කරනම් ගැසීමක් නොවනු ඇතැයි ද අවසන් වශයෙන් හිමු.


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

No comments:

Post a Comment