[නුදුරේදී විවෘත්ත වූ මහනුවර KCC Multiplex සිනමා ශාලාවන්හි විචිත්‍ර අත්දැකීම ලැබීමට හැකිවීම හේතුවෙන් මේ සටහන ලියැවුණි]
‘සංස්කෘතිය‘ යන්නට ඉංග්‍රීසියෙන් භාවිත කරන Culture යන වචනය ‘කොලරේ‘ කියන ග්‍රීක වචනයක් ඇසුරෙන් ගොඩ නැගුණු එකක් කියලා අපි ඉගනගෙන තියෙනවා. ඒක ග්‍රීසියේදී භාවිත වුණේ කෘෂිකර්මයට සම්බන්ධව. විශේෂයෙන් ‘නඟුල් තලය‘ වගේ අර්ථයක. (දැනටත් කෘෂිකර්මයට සම්බන්ධව භාවිත කරන, agriculture - කෘෂිකර්මය, horticulture - ගෙවතු වගාව, aquaculture - මත්ස්‍ය වගාව වගේ සියලු වචන තුළ culture යන කොටස තිබීමෙන් එය කෘෂිකර්මය හා පවත්නා සම්බන්ධතාව තවත් තහවුරු කරනවා) නගුල මගින් කරන්නේ තියෙන බිම් පෙරලීම. බිම් පෙරලා ඒ මත අලුතින් වගා කිරීම. ඒ නයින්අ බලන කල, ‘සංස්කෘතිය‘ හෙවත් 'culture' යන්නෙන් පවත්නා දේවල් ආරක්ෂා කිරීම වගේම ඒවා අලුත් කිරීමත් එකවැරම හැඟවනවා.
අපි මහනුවර නගරය හඳුන්වන්නේ ලංකාවේ මහා සංස්කෘතික නගරයක් හැටියටනේ. නමුත් සංස්කෘතිය පිළිබඳ ඉහත කී සැබෑ නිර්වචනයන් තුළ එය එසේමද? අපි මහා සංස්කෘතියක් ලෙස ආරක්ෂා කරන මහනුවර තුළ බොහෝ විට සංස්කෘතික කාන්තාරයක් තමයි තියෙන්නේ.
වෙන දෙයක් තියා යෞවන ප්‍රේමය පිළිගන්න පුළුවන් සංස්කෘතියක්වත් අපිට තියෙනවාද?. ඇත්තටම මේ (අ)සංස්කෘතික නගරයේ ඉපදිච්ච අපි උපන් දා ඉඳන් දැකලා තියෙන්නේ පෙම්වතුන්ට විසිල් ගහන රැකවලුන් ඉන්න මල් උයන්. පෙම්වතුන් වාඩිවන නිසා කළුතෙල් වක්කරනු ලැබූ බංකු සහිත වැවරවුම්. ඒ අයට වන මිලිටරිමට ගැරහුම් එරවිලි.
විවිධ කලා සංස්කෘතික ධාරාවන් අතර, සිනමාව යනු ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයක්. එමෙන්ම මිනිසුන්ගේ විනෝදය සැපයීමේ ප්‍රධාන මාර්ගයක්.
අපි පොඩිකාලේ මහනුවර සිනමා ශාලා කීයක් තිබුණද? ඇත්තටම විශාල සංඛ්‍යාවක්. ඒවා සියල්ලේම පාහේ සිනමාපට නැරඹීමට කුඩා කල ඉඳන් මං පුරුදු වෙලා තිබ්බා. ඒ වගේම අහවල් සිනමා ශාලාවේ නැරඹූ සිනමා කෘති මේවා මේවා කියලා අදටත් මතකයි. නමුත් මං දන්න ඉතිහාසය තුළ, මේ සංස්කෘතික නගරයේ මුළිංම ඕඩියන්ස් සිනමා ශාලාවයි වේල්ස් සිනමාශාලාවයි ඉවර වුණා. ඒ අපි සෑහෙන තරම් පොඩි කාලේමයි. ඕඩියන්ස් එක ඉවර කරලා එතන තරු හෝටලයක් හැදුවා. වේල්ස් එක ඉවර කරලා ඒ භූමියේ කාර් පාර්ක් එකක් හැදුවා (මේවා අවශ්‍ය නෑ කියලා කියන්නේ නෑ. සමබර නගරයකට ඒවාත් අවශ්‍යයි තමයි. නමුත් මේවා සංස්කෘතියට විකල්ප නෙමයි)
ඊට පස්සේ, වෙම්බ්ලි සිනමා ශාලාව වැසී ගියා. වෙම්බ්ලි එක තමයි අපේ පාසල් සමයේ, පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබ්බ සිනමාශාලාව. පේරාදෙණියේ තුසිත සිනමාශාලාව වැසුනා. විශේෂයෙන් මං වැඩිපුරම සිනමා කෘති නරඹලා තිබ්බ රීගල් සිනමා ශාලාවත් දැන් ඉවරයි. ලෝකයේ ජනප්‍රියම විනෝද කර්මාන්තය හා වැදගත්ම සංස්කෘතික කලාපයක් වන සිනමාවට මහනුවර නගරයේ හිමි වුනේ ඒ තැන.
මහනුවර KCC හි C1. C2 කියන අති නවීන සිනමා ශාලා ආදේශ වෙන්නේ ඒ රික්තකයට. ඒ සංස්කෘතික මුඩු බිමට.
සාම්ප්‍රදායික සිනමා ශාලා ක්‍රමයට ඔබ්බට ගිහින් අති නවීන ප්‍රක්ෂේපණ ක්‍රම (film projection), අති නවීන ශබ්ද විකාශන තාක්ෂණය හා තවත් නූතන පහසුකම් රාශියක් සහිත මේ සිනමා ශාලා ඇත්තමට මහනුවර මිනිසා නැවතත් සංස්කෘතිය වෙත නැඹුරු කරගැනීමට විශාල දායකත්වයක් දක්වයි කියලා හිතන්න පුළුවන්.
විශේෂයෙන් එක් තනි අති විශාල සිනමා ශාලාවක් වෙනුවට, එවැනිම විශාල තිරයක් හා ඊටත් වඩා නවීන තාක්ෂණයකින් සහිත කුඩා සිනමාශාලා කීපයක් නිර්මාණය වීම ලෝකයේ නව නැම්මක් වීමටත් වඩා, නූතන ලංකික සිනමා රසික අවකාශය මනාකොට තේරුම් ගත් කටයුත්තක් ලෙස සලකන්න පුළුවන්.
මෙහි ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ එක දිනකට එක ශාලාවක සිනමා කෘති රාශියක් ප්‍රදර්ශනය කිරීම හා ඒවා බොහෝමයක් ලෝකයේ මේවනවිටත් දුවමින් ඇති නවතම සිනමා කෘතීන් වීම. (අපි මෙතෙක් බොහෝ විට අත් දැක්කේ තරමක් පැරණි ජාත්‍යන්තර සිනමා කෘති ප්‍රදර්ශනය වීමනේ) ඒ නිසා ලංකීය, විශේෂයෙන් මහනුවර රසිකයාට ලෝකයේ විවිධ සිනමා කෘති, ඒවා එළි දැක්වූ විගස නැරඹීමේ හැකියාව KCC Multiplex මගින් ලැබිලා තියෙනවා.
මේ සිනමා කෘතීන් අතර විවිධ රසික පරාසයන් වෙත ළං වෙන්න පුළුවන් විවිධ ශානර (genres) රාශියක සිනමා කෘති තිබීමත් ඉතා වැදගත්. උදාහරණයක් විදිහට මේ සටහන ලියන අද දිනයේ Action, Comedy,
Animation, Fantasy, Drama, epic වගේ ශානරයන් රාශියකට අයත් ළමා සහ වැඩිහිටි සිනමා කෘති මෙන්ම, හොලිවුඩ්, බොලිවුඩ්, සිංහල ආදී කාණ්ඩයන්ට අයත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය වීමට නියමිතයි.
කෙසේවෙතත්, මෙම ජනප්‍රිය සිනමා කෘති සමගම තවදුරටත් ශාස්ත්‍රීය සිනමා කෘතිත් තෝරාගැනීමේ අභියෝගය නම් ඔවුන්ට තියෙනවා.
අනික් වැදගත්ම කාරණය තමයි, සාම්ප්‍රදායික සිනමා ශාලා වල තියෙනවාට වඩා වෙනත් සුවිශේෂී කාල සටහන් ක්‍රමයක් මේ සිනමා කෘති ප්‍රදර්ශනයේදී භාවිත වීම. ඒ අනුව මහනුවර නගරයේ යට ඇවිත් යම් වැඩ දෙකක් සඳහා කාලය ඉතිරිවෙන අයට රස්තයාදු නොවී, ඒ කාලයේ සුන්දර සිනමා කෘතියක් රසවිඳින්න හැකියාවක් තියෙනවා. ඉස්සරනම් අපි වගේ රසිකයින්ට පැය ගණන් සංවාදාත්මක රස්තයාදුවක යෙදෙන්න තිබුණා වයිට්හවුස්, පායිවාස් වගේ හෝටල්. කහට කෝප්පයක් අරගෙන එක මේසයක් අල්ලගෙන දවසම වුණත් කයිවාරු සංවාද කර කර හිටියට ඒවාගේ මුදලාලිලා මොකුත් කියන්නේ නෑ. නමුත් දැන් ඒ වගේ මුදලාලිලාත් නෑ. ඇත්තටම ඒකත් සංස්කෘතික අංගයක්. දැන් ඒ අංගයත් නෑ.
වෙන එකක් තියා අපි ඉන්නේ මීට අවුරුදු පහළොවකට පමණ කළිං ගිනි ගත්ත මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරය තවමත් පෙර පරිදි ගොඩනගා මහජන අවකාශයට විවෘත්ත කරන්න බැරි තරම් සංස්කෘතික විහීනයෝ දේශපාලනය කරන, තීන්දු තීරණ ගන්න නගරයක.
ඉතිං එවන පිරිසකට තබා, එහි සාම්ප්‍රදායික පුරවැසියන්ගෙන් බහුතරයකට සංස්කෘතිය පිළිබඳ ඉහත අපි දුන් ප්‍රතිසංස්කරණාත්මක නිර්වචන වැඩක් නෑ. මොතද නවීකරණය කරන්න තියා පවත්නා සංස්කෘතික අවකාශ ඒ අයුරින් පවත්වාගෙන යන්නත් ඒ අයට බැරි බව ඉහත උදාහරණ මගින් පේනවා.
කොහොම වුණත් පෙනී යන හැටියට KCC Multiplex සඳහා විශාල රසික ඉල්ලුමකුත් තියෙනවා. ඒ නිසා මේ වෑයම සාර්ථකව දිනෙන් දින වර්ධනය වේවි කියලා හිතන්න පුළුවන් වගේම, එහෙම ප්‍රාර්ථනා කරනවා.
ඇත්ත. අදාල සිනමා ශාලා සඳහා වැය කර ඇති අති විශාල ඉඩ හා අති නවීන පහසුකම් සඳහා වැය කර ඇති වියදම වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වෙන් කළානම් එහි හිමිකරුවන්ට මීට වඩා ආදායමක් ලබන්න පුළුවනි. එසේ නමුත්, අදාල හිමිකරු හුදු ව්‍යාපාරිකයෙක් නොවී කලාවට, සංස්කෘතියට, සිනමාවය කිසියම් දුරකට ආදරේ කරන කෙනෙක් බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන්ගේ මේ සත් වෑයම සංස්කෘතික - ආර්ථික කාන්තාරයකට පෑයූ දිය බිඳක් ලෙස පැවසීමට නිර්ලෝභී වූයේ ඒ නිසායි.
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර