Friday, June 14, 2024

ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන චින්තනය යටතේ දේශපාලනය දකින්න අපි හුරු වෙලා නැහැ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



ඉතිං ප්‍රසාද්….අපි මේ කතා බහ බොහොම සරල තැනකින් ආරම්භ කරමු. ‘මගෙ කොරියානු පෙම්වතී’ කවි පොතේ එන කවි ඔබ නිර්මාණය කළේ කෘතියක් උදෙසාමද නැතිනම් ඒවා තැනින් තැන පළ වූ ඔබේ නිර්මාණවලින් නිකුත් කළ එකතුවක්ද?

වේගයෙන් කවි ලියන එක මං අතින් කවදාවත් වෙන්නෙ නෑ. කොළයකුයි පෑනකුයි අරන් වාඩි වෙලා දැන් මං කවියක් ලියනවා කියලා හිතලා කවියක් ලියන්න හැකියාවක් මට කවදත් නෑ. ඉතිං පොතක් ගැන හිතලා කවි ලියනවා කියන එක කවදාවත් මං අතින් වෙන්නෙ නෑ.

නමුත් වසරකට කවි පොත් දෙක තුනක් පවා ලියලා පළ කරන සමහර කවියෝ ඉන්නවා. ඒ වගේම සමාජ ජාලවල මං දකිනවා දිනපතා කවියක් ලියලා පළකරන අය පවා. එහෙම කරන එක වැරදි කියලාවත්, ඒක කරන්න බැරි දෙයක් කියලාවත් නෙමයි මං කියන්නෙ. ඇත්තටම ඒ අයගේ හැකියාව ගැන මට පුදුමයි. ඒ විදිහේ වේගයෙන් ලියලාත් ඒ ඇතැම් අයගේ කවි ඉතාම හොඳ නිර්මාණ.

ඇත්තටම මේ පොතේ තියෙන්නෙ කාලයක් තිස්සෙ මං අතින් ලියැවුණු නිර්මාණ. වෙනත් විදිහකට කියනවානම් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අවසන් වසරේ දෙකේ ඉඳලා පොත පළවෙන දා වෙනකම් විටෙන් විට ලියැවුණ ඒවා. ඒ සමහර ඒවා පත්තරවල පළ වුණා. සමහර ඒවා ලංකාවේ කවීන්ගේ නිර්මාණ එකතු කරලා පළකළ ප්‍රකට කාව්‍ය සංග්‍රහවල පළවුණා. තවත් ඒවා ෆේස්බුක් එකේ පළවුණා. මේ පොතේ පමණක් පළවුණු නිර්මාණ කිහිපයකුත් ඒ අතර තියෙනවා.


මා සමඟ සංවාදයේ යෙදී තිබෙන බොහොමයක් කවියන් කියලා තියෙන දෙයක් තමයි ප්‍රසාද් දේශපාලනික නැතිනම් කවිය කවියක් නෙමෙයි කියලා. ඔබ ඉන්නෙත් ඒ මතයෙමද? මං අහන්නෙ ප්‍රසාද් කවිය දේශපාලනික විතරක් නෙමේ දාර්ශනිකත් වුණොත් කොහොමද?

ඒ දෙකමත් නැතිව කවියක ප්‍රබල භාවාත්මක තැවරුමක් පමණක් වුණත් තියෙන්න පුළුවන් කියලයි මං හිතන්නෙ. උදාහරණයකින් කියනවා නම් එකපාරට ඈත අහසේ දැල්විලා අවට ලෝකය එළිය කරලා නිවිලා යන අකුණු පහරක් වගේ යම් කවියකට පුළුවන් අවශ්‍යනම් රසිකයාගේ හදවතේ නිලීන වෙලා තිබුණ සියුම් භාවයක් ක්ෂණිකව දල්වලා අතුරුදන් වෙලා යන්න.

ඒවගේ නිර්මාණයක දේශපාලනය හරි ගැඹුරු දාර්ශනික චින්තාවක් හරි කැටි වෙලා තිබුණේ නෑ කියලා ඒක කවියක් නෙමෙයි කියලා අපි කියනවානම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි කියලයි මම හිතන්නෙ. අනික් කාරණය තමයි බැලූ බැල්මට දේශපාලනික හෝ දාර්ශනික නිර්මාණයක් නොවන කවියක උනත් දේශපාලනික හා දාර්ශනික යටි අරුත් තියෙන්න පුළුවන්.

ඒක ඒ ඒ රසිකයාගේ සියුම් කියැවීමේ හැකියාව හා ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම්වලට අනුවයි සිදුවන්නේ. මේ පොතේ තියෙන මගෙ කොරියානු පෙම්වති කියන නිර්මාණය උනත් බොහෝ අය හුදු ආදර කවියක් විදිහට ගන්න කැමති උනත් ඒ යටින් කියැවෙන සමාජ දේශපාලනික කතාවකුත් තියෙනවා කියලා කියන්න පුළුවන්.

ලංකාව තුළ බොහෝ විට ඔබ ඇසූ දේශපාලන සංවාදය මතු වෙන්නෙ කලාවේ භෞතිකවාදය හා විඥානවාදය ගැන කාලයක් තිස්සේ අපේ රටේ ආපු සංවාදය නිසා. ඒ සංවාදයේ ඒ ඒ පැත්තට වැඩිය කැමති රසිකයින් කලාවේ හරය තමන් දකින මානයෙන් දකින්න උත්සාහ කළා. ඒ සංවාදය අපේ රටේ සාහිත්‍ය කලා ආදියට විශාල සේවයක් කළා තමයි. එහෙම උනත් තවත් පැත්තකින් කලාවේ බහුවිධත්වය දකින්න තියෙන නැඹුරුව විචාරශිලීත්වය තරමක් දුරට අඩු රසිකයාගෙන් ඈත් කරන්නත් ඒක පාදක වෙලා තියෙනවා.

වෙනත් රටවල එහෙම නෙමෙයි. ඒ අය කලාවේ කාර්යයන්, ශානරයන් වගේ සියල්ල කෙරේ විවෘත මනසකින් බලනවා අපිට සාපේක්ෂව.හැබැයි විශාල දේශපාලනික හා දාර්ශනික අරුත් සහිත කවි විඳින්න මං උනත් වැඩිපුර කැමතියි කියන එක මෙතනදි කියන්න ඕන.


මේ මොහොතේ ලංකාවේ දේශපාලනය පුරවැසියෙක් විදියට ඔබ දකින්නෙ කොහොමද??? මං අහන්නෙ මෑත අතීත ලංකාව ගැන නෙමේ. මෑත අතීත ලංකාවේ දේශපාලනය ගැන ඔබේ අදහස මම මේ ලිපියේ ප්‍රවේශය තුළින්ම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මං අහන්නෙ මේ දැන්…මේ මොහොත ගැන…

ලංකාවේ දේශපාලනය කියන්නෙ කවදත් අවුල් සහගත දෙයක්. පුරවැසියන් විදිහට අපි හුරුවෙලා ඉන්නේ දේශපාලනය කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි වෙනත් අය අපි වෙනුවෙන් කරන දෙයක් හැටියට හිතන්න. ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන චින්තනය යටතේ ඒ දේ දකින්න අපි හුරු වෙලා නෑ. යම් පිරිසකට බලය පවරලා ඒ අය කරන ඕනෑම දෙයක් යථාර්ථය විදිහට පිළිගන්නයි අපි හුරුවෙලා ඉන්නේ.

වෙන එකක් ඕන නෑ, මේ තරම් බංකොලොත් කළ රටක ඉන්න එදා වේල හොයාගන්න බැරි දුප්පත් මනුස්සයෙක් එක්ක කතා කරලා බලන්න. ඒ අයගෙන් බහුතරය හිතන්නේ තමන් දුප්පත් වෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන් තමංගේ වරද නිසා කියලා. නැතිනම් තමන්ගේ කරුමෙ නිසා කියලා ඒක ආගමික අර්ථයෙන් ගන්නවා. දියුණු ලෞකික සමාජ සාධකයන්ගෙන් තියා රටේ පුරවැසියා මූලික අවශ්‍යතාවන්ගෙනුත් විතැන් කරලා තියෙන එකේ දේශපාලනික සම්බන්ධය ඒ අය දකින්නෙ නෑ.

යම් පැලැන්ති දෙක තුනකින් එහා රටේ දේශපාලන අනාගතයක් දකින්න අපි හුරු වෙලා නැත්තේත්මේ සැබෑ පුරවැසිත්වයෙන් ඈත් උන දුප්පත් චින්තනය නිසාම තමයි. තවත් පැත්තකින් ඕක අපිට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ බොහෝ රටවල තියෙන නිධන්ගත රෝගයක් කියන්නත් පුලුවන්.

ඇත්තටම බැලුවොත් ජ්‍යොතිෂය, ධනාත්මක චින්තනය වගේ දේවලුත් මේ ක්‍රමය පවත්වාගෙන යන්ඩ විශාල වශයෙන් උදව් කරනවා. මොකද ඒ අය තමයි උගන්නන්නෙ මේ ගැටලුවලට මුළ ග්‍රහ තාරකා මිස දේශපාලනය නෙමෙයි කියලා. එහෙම නැතිනම්, මේ ගැටලු කවුරුත් නිසා නෙමෙයි මේවා ඇති වෙලා තියෙන්නේ තමන්ගෙම හිත නිසා කියලා. ඉතින් දිවා රෑ දෙකේ යන මේ මැතිරිලිවලට හුරුවෙලා ඉන්න මේ වගේ රටවල මිනිස්සුන්ගේ පුරවැසි භූමිකාව ඒ අයට හුරු කරනවා කියන එක ඉතාම අමාරු දෙයක්. මොකද මේ වැරදි දෘෂ්ටිවාදයන් පෙවිලා තියෙන්නෙ කිරිත් එක්කමයි.

සිනමාව පිළිබඳ අධ්‍යනය කරන්න ඔබ පෙළඹුණේ කොහොමද? ‘සිනමා ශානර මීමංසා’ නමිනුත් ඔබ කෘතියක් නිකුත් කරලා තියෙනවා නේද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයන් සිංහල විශේෂවේදී ගෞරව උපාධියක් ගත්තු මගේ මූලික අධ්‍යන විෂය උනේ භාෂාව හා සාහිත්‍යය. එතනදි සිනමාව සම්බන්ධ පොඩි පොඩි පාඨමාලාවනුත් ඇතුළත් උනා. තව පැත්තකින් ඒ වගේ විෂයක් හදාරන්න බෑ අනික් කලාවන් සම්පූර්ණයෙන් අයින් කරලා. නමුත් සිනමාව කියන විෂයට අවබෝධයෙන් යුතුව මම තදින්ම එළඹුනේ ඊටත් පස්සේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ මම ජනමාධ්‍යවේදියෙක් විදිහට රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ වගේම මව්බිම පුවත්පතේ ආරම්භක කර්තෘමණ්ඩලයේත් වැඩ කළා. ඒ කරද්දී ප්‍රවෘත්ති සහ විශේෂාංග වගේ දේවලට අමතරව සාහිත්‍ය විචාර වගේම සිනමා කෘති සම්බන්ධ විචාරයනුත් මං අතින් ලියැවුණා. මේ සඳහා සිනමා කෘති නරඹන්න නරඹන්න මං සිනමාව ගැනත් මීට වඩා ශාස්ත්‍රීයව හදාරන්න ඕන කියන කාරණය මට හිතුණා.

ඒ වගේම මෙතෙක්කල් ලියමින් සිටි සිනමා විචාර සාහිත්‍ය විචාර ස්වරූපයෙන් බැහැරව, තව දුරටත් සිනමාව ගැන අවබෝධයෙන් කරන්න ඕන කියලා මට හිතුණා. ඒ අතර මං සිනමාව ගැන තව තවත් කියවන්නත් සිනමා කෘති නරඹන්නත් ගත්තා.

ඔය අතරේ මං දර්ශනපති උපාධිය කරද්දී එතනදිත් සිනමාව ගැන පාඨමාලාවක් මට හදාරන්න පුළුවන් උනා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශයේ. කොහොම උනත් සිනමා ශානර මීමංසා කෘතිය ලියන්න මූලික වශයෙන් ප්‍රයෝජන උනේ මගේ පොතපත කියැවීම ඇතුළු ස්වයං හැදෑරීමෙන් ලබාගත්තු දැනුම කියලා කියන්න පුළුවන්.

මේ පොත ලියන්න තවත් මූලික හේතුවක් උනේ සිනමාව ගැන සිංහලෙන් ලියැවිලා තියෙන කෘති ඉතා අල්ප වීමත්, විශේෂයෙන් මේ කෘතියේ කතා කරන මාතෘකා බොහෝමයක් ගැන සිංහලෙන් ලියැවිලාම නැති තරම් වීමත් කියන කාරණය ඒ හැදෑරීම් උත්සාහයේදී මට දැනුන එක.

ඒ වගේම මේ පොත ලියමින් ඉන්න කාලේ වොජිත් කරුණානායක වගේ සිනමාව ගැන විශාල අවබෝධයක් තියෙන යාලුවෝ මට මුණ ගැහුනා. සිනමාව ගැන තවදුරටත් හැදෑරීමටත් මේ කෘතියේ වැඩ සම්පූර්ණ කරගැනීමටත් ඒ මිත්‍රත්වය එක්ක ආපු පෙළඹුම වැදගත් වුනා.

කොහොම උනත් සිනමා ශානර මීමංසා කෘතියත් වසර තුන හතරක් තිස්සේ මහන්සියෙන් ලියපු එකක්.

ප්‍රසාද් අපි ආයිත් කවියට එමුකො. ප්‍රසාද් මට ඔබේ කවිය හරි ප්‍රබල විදියට දැනෙනවා. ඇත්තටම ඔබ කොහොමද ඒ තරම් ප්‍රභල ප්‍රස්තූත විෂයන් අක්ෂර අතර හසුරුවාගන්නෙ. ඒ කියන්නෙ ඔබ හිතට දැනෙන දේ එක පාරටම ලියලා ඉවර කරනවද? නැතිනම් කාලයක් අරගෙන ක්‍රමයෙන් නිර්මාණය පෝෂණය කරනවද?

මේ පොතේ තියෙන බොහෝ කවි වලට ප්‍රස්තුත වෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීම්. එහෙමත් නැතිනම් පුරවැසියෙක් හා විශේෂයෙන් මාධ්‍යෙව්දියෙක් ලෙස මම ලැබුව සමාජ දේශපාලනික අත්දැකීම්. ඔබ කියූ ලෙස මේ කවි ඔබට දැනෙනවා නම් ඒකට මූලික හේතුවක් වෙන්න පුළුවන් ඒක. මොකද මේවා හිත හිතා ලියපු කවි නෙමෙයි, මොකක් හරි අත්දැකීමකින් ඇතිවූ කම්පණයක් නිසා ඉබේම ලියැවුණු ඒවා.

තමන්ගේ මූලික භාව ප්‍රකාශන මාධ්‍ය කවිය කරගත්තාම සමහර අත්දැකීම් තියෙනවා කවියක් ලියන්නෙ නැතිව ඉන්න අමාරු. ඒ වගේ අවස්ථාවක මටත් කවියක් ලියැවෙනවා හදිස්සියෙන් වගේ. එහෙම ලියලා හිතනවා මේක ලිව්වා හදිසි වැඩියි, ඒ නිසා පස්සෙ හදන්න ඕන කියලා. නමුත් පස්සෙ දවසක අරං බලද්දී ඒක තියෙනවාට වඩා හොඳට හදාගන්න බෑ. මොකද ඒ අත්දැකීම ඒ මොහොතේ දැනුනු විදිහට පස්සෙ දැනෙන්නෙ නෑ. ඒ නිසා සංස්කරණය කරන්න උත්සාහ ගත්තත් බොහෝ විට පසුකාලීනව ලොකුවට සංස්කරණය වෙන්නෙ නෑ මගේ කවි.

නිර්මාණකරණය හදාරද්දි අපි මූලික වශයෙන් ඉගනගන්න දෙයක් තමයි කලාකරුවා හා අනුභූතිය ගැන. එතනදි සාම්ප්‍රදායිකව කියැවෙන්නේ කලාකරුවාට යම් අනුභූතියක් ලැබුණාම ඒක වසර ගණනාවක් ඔහුගේ මනසේ පැහැව පැහැව තිබිලා පරිපාකයට පත් වෙලා තමයි අවසානයේ එක් මොහොතක කවියක් හෝ වෙනත් නිර්මාණයක් බවට පත් වෙන්නේ කියලා. නමුත් මේ පොතේ කවි දිහා බලද්දි මට හිතෙන දේ තමයි මේවා බහුතරය ඒ අත්දැකීම් ලත් විගසම වගේ තමයි මගේ අතින් ලියැවුනේ. එහෙම නැති කවිත් කිහිපයක් තියෙනවා. එගොඩවැල්ලේ ඇන්ටනී කියන්නේ එහෙම කවියක්. නමුත් ඒකත් පෞද්ගලික විඳීමක්. ඉතිං මේ කවි බහුතරය අත්දැකීමෙන් කම්පණය වූ විගසම වගේ ලියැවුණු ඒවා කියන උත්තරේ තමයි නිවැරදි.

මේ කවි එකතුවේ කල්පනා ඇම්බ්‍රෝස් සහ වොජිත් කරුණානායක පරිවර්තනය කරපු කවි දෙකකුත් අන්තර්ගත වෙනවා. ඇත්තටම ඔවුන් කොහොමද මේ වැඩේට සම්බන්ධ වුණේ?

ඒ දෙදෙනාම මුණ ගැහෙන්නෙම මගේ ලේඛන හරහා. ඇත්තම කියුවොත් මාලතී කල්පනා කිවිඳිය මගේ සමීප මිතුරියක් වන්නේම මේ පොතේ තියෙන පරිවර්තනය නිසාමයි. ප්‍රොමිතියස්ගේ නික්මයෑම කියන ඔය කවිය ලියන්නේ මං රාවය පත්තරේ වැඩ කරන කාලේ. ඉතිං ඊටත් කළින් ඉඳන්ම මං ඉතාම ජනප්‍රිය සහ වැදගත් කලා වෙබ් අඩවියක් වූ බූන්දියට කවි, විචාර ආදිය ලියනවා. පත්තරේ පළකරන සමහර සම්මුඛ සාකච්ඡා වගේ දේවලුත් බූන්දියට දානවා. මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කියන නම මං මුළින්ම දන්නෙත් බූන්දිය හරහා.

ඒ මුල් දවස්වල ගෙවල්වල අන්තර්ජාල පහසුකම් තිබ්බෙ නෑනේ. ස්මාර්ට් ෆෝනුත් නෑ. ඉතින් ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් තමයි බූන්දිය පවා බලන්නේ. අනික ඒ දවස්වල රාවය පුවත්පතේ වෙබ් පිටුව අප්ඩේට් කළේත් මම. සතියේ දවස් පහේ රාවයේ වැඩ කරලා, සති අන්තේ නුවර ඇවිත් කැෆේ එකට යනවා වෙබ් එක අප්ඩේට් කරන්න. එහෙම දවසක් මාලතී මට ඊමේල් එකක් දාලා තිබ්බා එයා මගේ ප්‍රොමිතියස්ගේ නික්මයෑම කියන කවියට ගොඩාක් කැමතියි ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පර්මිෂන් දෙනවාද කියලා. ඉතිං ඒ කවිය ඇය පරිවර්තනය කරලා බූන්දියේ දැම්මා වගේම එදා ඉඳන් ඇය මගේ සමීපතම මිතුරියක් උනා.

වොජිත් මුණ ගැහෙන්නේ ඊට පස්සෙ කාලෙක. ඒත් අන්තර්ජාලය හරහාම තමයි. විශේෂයෙන් මං ලියන ඒවාට ඔහු ඉතා වැදගත් කමෙන්ට්ස් දානවා. විශේෂයෙන් සිනමාව ආදිය ගැන ඔහුට පුදුම හිතෙන දැනුමක් තියෙන බව මට තේරුණා. ඉතිං දවසක් මං කතා කළා ඔය වගේ මොකද්ද වැඩකට. මොකද ඒ වන විට මං සිනමා කෘතියේ වැඩ කරමිනුයි හිටියේ. අද වන විට ඔහුත් මගේ සමීපතම මිතුරෙක් වගේම මගේ බොහෝ ශාස්ත්‍රීය වැඩවලට ඔහුගේ දායකත්වය ඉහළින්ම ලැබෙනවා. මේ කවිත් ඔහු එහෙම තෝරගෙන පරිවර්තනය කළ ඒවා.

අපි දැන් මේ සාකච්ඡාව නතර කරමු. අන්තිමටම අපිට කියන්න ඊළඟට පාඨකයන්ට ඔබව මුණ ගැහෙන්නෙ කොහොමද?

මං මුළින්ම කියපු විදිහට මට කවි ලියැවෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා අලුත් කවි පොතකින්නම් මෑතකදී මාව මුණ ගැහෙන්නෙ නෑ කියන එක විශ්වාසයි. මගේ ඊළඟ පොත විදිහට එළි දකින්න නියමිත ඇතුල් වියමන් කියලා ශාස්ත්‍රීය කෘතියක්. ඒක නූතන කවිය සම්බන්ධව ලියැවිලා තියෙන්නේ. ඉගන ගන්න ළමයින්ට වගේම පොදු පාඨකයාටත් වැදගත් වෙයි කියලා හිතන ඇතුල් වියමන් මේ අවුරුද්දේ අග පළවේවි.

මේ වනවිට වැඩ ඉවර කරමින් තියෙන අනික් කෘතිය බටහිර කාව්‍ය පරිවර්තන කෘතියක්. ඒකත් මේ වසර අග හෝ සමහරවිට ලබන වසර මුළ පළවෙයි. ඒ වගේම මගේ කෙටිකතා පොතක් සහ තවත් ශාස්ත්‍රීය ලිපි එකතුවකත් වැඩ මේ වනවිට කරමින් තියෙනවා. ඒවා බොහෝවිට අර කෘතිවලට පස්සේ තමයි පළවෙන්නේ.

රාවය සහ මව්බිම පුවත්පත්වල කර්තෘමණ්ඩලවලින් ඉවත් උනාට පස්සේ එදා ඉඳන් මම දිගටම වගේ නිදහස් මාධ්‍යෙව්දියෙක් විදිහට වැඩ කරනවා විවිධ පුවත්පත් සමග. ඉස්සරහටත් එහෙමයි. ඉතිං පාඨකයින්ට ඒවායෙනුත් කියවන්න පුළුවන් වේවි මගේ ලියමන්.

~ සාකච්ඡාව

බාසුරු ජයවර්ධන


https://sinhala.lankanewsweb.net/06/13/116226/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR3oGMH8l_ec-5uiKn8LHjnEvabh7x3SIHo_7F7o5oU8pgNB5lstYTb-p2w_aem_AUsYYEaXzlWPT87li1O90JIgm3rXwCdH7KTxw432pPskUILoxSg7D5KkkQ7QMfR2ctFAn3eOQpYrynZrmA2PH2Dl