Friday, August 13, 2010

ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ සොයා ගනිමු


ඇන්ටිගනි,


ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ සොයා ගනිමු


- පි‍්‍රයංකර රත්නායක




ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?


නාට්‍ය රචකයින් විසින් රචනා කරන නාට්‍ය වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. ඉන් පළමු වර්ගය තමයි නාට්‍ය රචකයා තමා ජීවත් වන සමාජයේ දේශපාලන මතුපිට ස්පර්ශ කරමින් ඒ පිළිබඳ රචනා කරපු නාට්‍ය. තවත් පිරිසක් නාට්‍ය රචනා කිරීමේදී පවත්නා දේශපාලනයේ මතුපිට ස්පර්ශ කරනවා වෙනුවට මිනිස් සමාජය සහ ජීවිතය ඉතාමත් සියුම් ලෙස ගවේෂණය කිරීමට උත්සාහ ගන්නවා. ග්‍රීක නාට්‍යකරුවා ගත්තාම ඔහු තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඔවුන් රාජ්‍ය තන්ත්‍රය කෙරේ තියෙන බල අරගලයේ මතුපිට ස්වභාවය දකින ගමන්, ඒ ස්වභාවය ඇතුළේ ඇති මිනිස් ජීවිතය, මිනිස් සිත සහ මිනිස් ඥානය පිළිබඳව සියුම් ගවේෂණයකට යෑම.

ඇන්ටිගනී නාට්‍ය ගත්තාම ඒකෙදි මතුවන කරුණක් තමයි බලය පිළිබඳ නීතිය සහ දේවත්වය පිළිබඳ නීතිය කියන ගැටුම අතරේ මනුෂ්‍යයා කොහොමද පීඩාවට පත් වෙන්නෙ කියන එක. මෙසේ මනුෂ්‍යයා මූලික කොට බිහි කළ නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නෙ මානව හැඟීම්. ඒ අනුව මානව හැඟීම් කියන කරුණ තුළ එදා සහ අද අතර විශාල සාම්‍යයක් දක්නට තිබෙනවා. ආදරය සහ ඊර්ෂ්‍යාව වගේ කරුණු ගත්තාම ලෝකයේ සෑම මනුෂ්‍යයාටම එදා සහ අද ඒ හැඟීම් දැනෙන්නෙ එකම විදිහකමයි. මේ වගේ තත්ත්වයක් එක්ක ගත්තාම ග්‍රීක නාට්‍යවල තියෙන ස්වභාවය තමයි ඒවා විශ්ව සාධාරණීය වීම. ඒ හේතුකොටගෙන ඒවා රෝම නාට්‍යයට බලපානවා. රෝම නාට්‍ය ශේෂ්ක්පියර් නාට්‍යවලට බලපෑවා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නූතන නාට්‍ය සඳහා බලපෑවා. නමුත් දේශපාලන මතුපිට තලය පමණක් ස්පර්ශ වුණු නාට්‍ය, එකී මතුපිට දේශපාලන කරුණු සමාජය කෙරෙන් විතැන්වීමත් සමග ඉතා ඉක්මනින් අවලංගු වෙනවා. ඒ අනුව නිර්මාණ ස්වභාවය ඉක්මවාගිය ග්‍රීක නාට්‍යය හැමදාම එකසේ වලංගුයි.


ස්පිල් බර්ග්ගේ 'ඇවටර්' වගේ චිත්‍රපටියක් ගත්තාම, තව වසර ගණනක අනාගතය තුළ ක්‍රියාත්මක වන, ස්වභාව ධර්මය එමෙන්ම දෙවියා සහ මනුෂ්‍යයාගේ සිතුවිලි අතර මෙන්ම, නීතියේ බලය සහ රාජ්‍ය බලය වැනි කරුණු අතර ගැටුමනෙ. ඒ අනුව එවන් අනුභූතියක් පාදක කොට බිහිවන නිර්මාණ සදාකාලිකයි. මේවායේ හැඩතල සියුම් ලෙස වෙනස්වීම විතරයි සිදුවිය හැක්කේ.

ඇන්ටිගනී නාට්‍යය දයලෙක්තිකව කියැවීමට උත්සාහ දැරීමත් එක්ක එය ලොව පවතින හොඳම ඛේදාන්ත නාට්‍යය ලෙස හේගල් වැනි විචාරකයෝ හඳුන්වනවා. ඇන්ටිගනී සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව මොකක්ද?

ඇරිස්ටෝටල් තම නාට්‍ය ක්ෂේත්‍රයේ පරමාදර්ශී නාට්‍ය විදිහට ගන්නේ ඊඩිපස්. ඊඩිපස් නාට්‍ය ගත්තාම එයත් බලය පිළිබඳ සංකල්පය ඇතුළේ පුද්ගල ඛේදවාචකයක් නිරූපණය කරන්නෙ. ඇන්ටිගනී නාට්‍ය ගත්තාම එය එහි තවත් දිගුවක් ලෙස සලකන්න පුළුවන්. එහි මිනිසා තමාව පාලනය කර ගැනීමට නිර්මිත නීතිය සහ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරගත් නීතිය අතර ගැටුමක්නෙ තියෙන්නෙ. නමුත් ඊඩිපස් නාට්‍යයේ ගැටුමට සහ වස්තුවිෂයට වඩා ඇන්ටිගනී නාට්‍යයේ වස්තුවිෂය ඉතා සංකීර්ණයි. සරල උදාහරණයක් ගතහොත් ඊඩිපස් නාට්‍යයේ ඛේදාන්ත වීරයා කව්ද කියන කාරණය ඉතා පැහැදිලියිනෙ. නමුත් ඇන්ටිගනී නාට්‍ය තුළ කවුද සැබෑ ඛේදාන්ත වීරයා කියන එක පැහැදිලි නෑ. එය ඉතාමත් සංකීර්ණයි.


මං අහලා තියෙනවා බ්‍රෙෂ්ට් මේ නාට්‍යයේ ක්‍රියොන් හිට්ලර්ට උපමා කරලා ප්‍රතිනිර්මාණය කළා කියලා. ඒක බ්‍රෙෂ්ට්ගේ ඉතාමත් අසාර්ථක කියවීමක් කියලයි මම නම් හිතන්නෙ. ක්‍රියොන් කියන්නේ හුදෙක් ඔහුගේ උවමනාවට අනුව බලය ක්‍රියාත්මක කරන කෙනෙක් නෙමෙයි. සම්ප්‍රදාය විසින්ම ඔහුට පවරලා තියෙනවා රාජ්‍යයේ බලය රැකගැනීම සඳහා මේ ක්‍රියාමාර්ග ඉටු කිරීමට. ඒ නිසා ක්‍රියොන් කියන්නෙ එක පැත්තකින් රාජ්‍ය බලය කියන නීතියේ ගොදුරක්. ඇන්ටිගනී ගත්තාම ඇයත් එක්තරා ගොදුරක්. ඇය ස්වභාවධර්මය හෙවත් අපි දෙවියන් ලෙස හඳුන්වන නීතියෙන් මනුෂ්‍ය නීතියත් අතර අරගල කරනවා. ඒ අනුව ඇන්ටිගනි නාට්‍යයේ ඛේදාන්ත වීරයා ක්‍රියොන් ද ඇන්ටිගනී ද කියල හිතන එක සංකීර්ණ කටයුත්තක්.

ඇත්තටම ඇන්ටිගනී නිෂ්පාදනය කළාට පස්සෙ මටත් හිතුන දෙයක් තමයි මෙය එක්තරා විදියකට පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය කරන කෙනෙකුට කරන්න පුළුවන් අන්තිම නාට්‍යයද කියලා. මොකද ආපසු තවත් නාට්‍යයකට යනවා නම්, මින් එහා ගිය මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරක් ඇති නාට්‍යයක් තියෙන්න ඕන. නමුත් එහෙම එකක් නැද්ද කියලා හිතෙනවා ඇන්ටිගනී බලනකොට. අනික තමයි මේ නාට්‍යය කියවද්දී, එය නිෂ්පාදන කිරීම සඳහා නළුවන් සමග ගනුදෙනු කරද්දී, එහි ප්‍රාසාංගික ගුණය ගොඩ නගා ගනිද්දී, සංගීතය ගොඩ නගා ගනිද්දී අපිට තවදුරටත් පරිපූර්ණ නාට්‍යයකට යන්න බෑ. ඒ අනුව ඇන්ටිගනී තුළ කථා කරන මනුෂ්‍යයා පිළිබඳ යථාර්ථය අපිට මැරෙනකම් ග්‍රහණය කරගන්න බැරිවෙයි. එය ඒ තරමට අරුත් බර, දවසින් දවස විවිධ කියැවීම්වලට භාජනය කළ හැකි සර්වකාලීන නාට්‍යයක්. ඒ අනුව ඔබ කිව්වා වගේ හේගල් ඇන්ටිගනී පිළිබඳ කළ තක්සේරුව ඉතාමත් සාධාරණ එකක් කියලා කියන්න පුළුවන්.


ග්‍රීක නාට්‍ය බොහෝමයක් ගත්තම ඒවා අයත් වන්නේ 'ලිරික් ඩ්‍රාමා' ගණයට. ඒවා තුළ බොහෝ විට නාට්‍යෝචිත ක්‍රියාවන් සහ ගැටුම් අවමයි. එවන් නාට්‍යයක් නූතන වේදිකාව තුළට ගෙන එද්දී අත්විඳීමට සිදුවන තත්ත්වයන් මොනවාද?

කාව්‍යමය ගුණය කියන එක බොහෝවිට ලෝකයේ තියන හොඳ නාට්‍ය සියල්ලම තුළ පාහේ තියෙන ලක්ෂණයක් කියලයි මම නම් හිතන්නේ. උදාහරණයක් විදිහට ඉබ්සන්ගේ නාට්‍යය බැලූ බැල්මට ස්වාභාවිකයැයි පෙනුණත් ඒවා ඉතාමත්ම කාව්‍යාත්මකයි. මොකද එක්තරා අතකට ඉබ්සන්ගේ භාෂාව හරි සංක්ෂිප්තයි. ඒවා තුළ තියෙන ව්‍යංගාර්ථ බහුලයි. ඊට අමතරව ඒ වායේ යටිපෙළ ඉතාම ගැඹුරුයි. ඔහුගේ නාට්‍ය පෙළක් ගත්තාම ඒක අපිට දිගින් දිගටම විග්‍රහ කරන්න පුළුවන්.

ඔබ කිව් විදිහට කාව්‍යාත්මක බව එක්තරා අභියෝගයක් තමයි. නමුත් නූතනය වන විට නාට්‍ය කලාව දියුණුයිනෙ. ග්‍රීක නාට්‍යකරුවා නාට්‍ය කළේ දිවා ආලෝකය තුළ. ඒ අනුව ග්‍රීක නාට්‍යකරුවාට ආලෝකය කියන කරුණ මිනිස් ජීවිතය සහ හැඟීම් සොයා යන ප්‍රබල භාවිතයක් ලෙස යොදා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් අද වන විට අංගරචනයන් දියුණුයි. රංග තාක්ෂණයත් දියුණුයි. ඒ නිසා නාට්‍යයක් තුළ තිබෙන කාව්‍යාත්මක භාවය නිසා ඇතිවිය හැකි අර්බුදය ජයග්‍රහණය කරන එක අද වන විට තරමක් පහසු කරුණක්.

අනෙක් කරුණ තමයි, පරිවර්තනය කෙරෙන නාට්‍යයක් එහි මුල් ස්වභාවයෙන් තැබීම. එසේත් නැතිනම් එයට අයත් මූලික සමාජ දේශපාලන මතම පමණක් නොතබා පරිවර්තනය කෙරෙන සමාජයේ මිනිස් ජීවිත සමග ගොනු කළ හැකිනම් එතනදි ඔබ කියූ බොහෝමයක් ගැටලු විසඳා ගැනීමට අසීරු වෙන්නෙ නෑ.

කෝරස් එක සහ වේදිකාව අතර පවතින දැඩි සම්බන්ධතාව ග්‍රීක නාට්‍ය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණයක්. ඔබේ ගොඩනැගීම තුළ මේක වැදගත් වෙන්නෙ කොහොමද?

ඇත්තටම ග්‍රීක නාට්‍ය තුළ එදා කෝරස් එක නිවැරදිව යොදාගන්නෙ කොහොමද කියලා පැහැදිලි නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විචාරකයින් දක්වන්නෙ විවිධ අදහස්. නමුත් ග්‍රීක නාට්‍ය තුළ ඇති විශේෂ කරුණක් තමයි ඒවායේ කෝරස් එක නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාව, මහල්ලන්, වැනි අය බොහෝ විට සිටීම. නමුත් අපි අපේ නාට්‍ය තුළ දී මේ සඳහා යොදා ගන්නේ බොහෝ විට තරුණ පිරිස්.


ග්‍රීක නාට්‍යයක් තුළ කෝරස් එක එක් පැත්තකින් අවශ්‍යතා ගණනාවක් පිරිමසනවා. ඉන් එකක් තමයි චරිත තුළින් උත්කර්ෂයට නංවන සිද්ධියක යටි පෙළ කෝරස් එකේ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම. එය එක්තරා විදියකට තවත් ගැඹුරු සංවාදයක් කරා නාට්‍ය යොමු කිරීම සඳහා වන අන්තර් විරාමයක් ලෙස ද භාවිත වෙනවා. චරිත අතර තියෙන වාද විවාද ගැඹුරු සංවාද ආදියෙහි බර ප්‍රේක්ෂකයා තුළට නොදී ඔහු ඊළඟ අවස්ථාව කරා සකස් කිරීමත් තවත් විටෙක කෝරස් එකේ කාර්යයක් වෙනවා. ඊට අමතරව ප්‍රාසාංගික කොටස් ඉදිරිපත් කිරීමේදී ඒ සිද්ධියේ ඇති ගැඹුර මඟහැරී යා නොදී ප්‍රේක්ෂකයා හට දැන්වීම සහ ඔහු සිද්ධිය කෙරේ බඳවා තබා ගැනීමත් කෝරස් එකේ තවත් කාර්යයක් වෙනවා.

විශේෂයෙන් තාක්ෂණික කරුණු කාරණා කිහිපයක් පදනම් කොටගත් වෙස් මුහුණු භාවිතයත් අනිවාර්ය අංගයක් ලෙස ග්‍රීක නාට්‍ය කලාව තුළ තියෙනවානෙ. මේක කොහොමද ඔබේ නාට්‍ය තුළට ගන්නෙ? මේ කවර අරමුණු ඇතිවද?

ඔබ කිව්වා වගේ, ග්‍රීක නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිතා කෙරුණේ ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයින් තිස් හතළිස් දාහක් ආවරණය කරමින් ඔවුන්ට චරිතයෙහි මුහුණ පෙන්වීම කියන කරුණ උඩනෙ. ඊට අමතරව ප්‍රේක්ෂකයා කරා හඬ සම්ප්‍රේෂණය කිරීමටත් වෙස් මුහුණ තුළ සැකසුණු සුවිශේෂී නාට්‍යයකුත් භාවිත වුණා. නමුත් අපි නාට්‍ය කරන්නේ ග්‍රීසියේ වගේ දහස් ගණනක් සෙනගකට නෙමෙයිනෙ. අපි නාට්‍ය කරන්නෙ ප්‍රේක්ෂකයින් තුන් හාරසියයක් සඳහා. ඉතින් නූතන නාට්‍ය තුළ නළුවන්ගේ මුහුණ හරි වැදගත්. අපිට ආලෝක භාවිතය තුළින් ඒ මුහුණ හා ඒවායේ පවතින හැඟීම් ඉතාමත් සියුම්ව මතු කරලා ගන්න පුළුවන්.

ඔබ ඇහුව වගේ මගේ නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිත වෙන්නෙ ග්‍රීක නාට්‍යකරුවා භාවිත කළ අරමුණු සපුරා ගැනීමට හෙවත් ප්‍රේක්ෂකාගාරයට නාට්‍යය පැහැදිලි කිරීමේ උපකරණයක් විදිහට නෙමෙයි. අපි ප්‍රධාන වශයෙන් මේ තුළ වෙස් මුහුණ භාවිත කරන්නේ මනුෂ්‍යත්වයේ දෙබිඩි ස්වභාවය පැහැදිලි කරන්න. වැරදි කරන අය වැරදි කරනවානෙ. තමන්ගෙම මුහුණ කැටපතක් කරගෙන. අපේ ඇත්ත ජීවිතයේ පිටුපස හැම වෙලේම වෙස් මුහුණක් තියෙනවා. මේ සමාජය තුළ දේශපාලනික වශයෙන් සිදුවිය යුත්තේ කුමක්ද කියලා අද හැමෝම දන්නවා. නමුත් ඔවුන් සැබෑ ජීවිතයේදී ඒ සඳහා අරගල කරන්නේ නෑ. ඒ ඔවුන් ඉතා දෙබිඩි නිසා.


මගේ නාට්‍යයේ ක්‍රියොන් එක්ක ඉන්න සෙනට් එක තමන්ගේ මුහුණ පිටුපස හැමවෙලේම වෙස් මුහුණක් තියාගෙන ඉන්නෙ. ඔවුන් අවශ්‍ය වෙලාවට විතරක් ඒ වෙස් මුහුණ පැළඳ ගන්නවා.

ඊට අමතරව මේ නාට්‍ය තුළ එක් අවස්ථාවක් තියෙනවානෙ ඇන්ටිගනී මරණයට පත්වීමට පෙර ඇය මළවුන්ගේ ලෝකය පරිකල්පනීයව දකින. ඇය දකින එම මළවුන්ගේ ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අපි වෙස් මුහුණු භාවිත කරනවා. ඒ අනුව මේ නාට්‍ය තුළ විවිධත්වයකින් යුතුව, එහි ගැඹුරු තැන් උද්දීපනය කිරීමට වෙස් මුහුණ සංකේතාත්මකව භාවිත කෙරෙනවා.

ඔබ ඇන්ටිගනී සඳහා යොදා ගන්නෙ ප්‍රවීණ ලේඛක ආරියවංශ රණවීරයන් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටිගනී නාට්‍ය පිටපත. ඔබේ නිෂ්පාදනය ඇතුළේ ඒ පිටපත වෙනස් වෙන්නෙ කොහොමද?

ඇත්තටම මෙතනදි මං ගත්තෙ රණවීර මහතා විසින් කරන ලද ඇන්ටිගනී දෙවැනි පරිවර්තනය. රණවීරයන් තුළ තිබුණු අදහසක් තමයි ග්‍රීසියේ නාට්‍යයක් පැය තුන හතරක් රඟ දැක්වුවත් නූතන නාට්‍යයක් එවන් දීර්ඝ කාලයක් ගත යුතු නෑ කියන එක. එමනිසා එම නාට්‍යය සියුම් වෙනස්කම්වලට බඳුන් විය යුතුයි කියලා එතුමා විශ්වාස කළා. පරිවර්තකයා තුළින්ම එවැනි නිදහසක් ලැබෙන එක හරිම පහසුවක්නෙ නාට්‍ය කරුවෙකුට. ඉතිං මගේ නාට්‍ය තුළ ඇතැම් අවස්ථාවල රණවීරයන්ගේ නාට්‍ය පිටපතේ තිබුණු දේවල් නාට්‍යෝචිත පරිදි වෙනස් වුණා.

සංවාදය - ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

[රාවය - 2010.07.25]

No comments:

Post a Comment