Tuesday, January 11, 2011

උමතු පෙම්වතියකට



උමතු පෙම්වතියකට

සරා සඳ අවානක්* නෙමෙයි
නුඹ
තුරුලූ කර ළමැඬියෙහි
උණුහුමට
සිසිර දුස්ස්වප්නයෙක
නිදි බිඳින

හිරු පෑයු - නොපෑයූ හැම පැයක
ඉනොගෂිර රිය පොළම
කළු ගැහුණ
දෑස් නොපියා බලන ක්ෂිතිජයෙක
ලූණු රසට නෙත් කෙවෙනි
ඉරි තලන

නිහඬ බව තුඩින් ගිලිහුණ
කවෙක
පේ‍්‍රමයක කහට
පැල්ලම් ගැසෙන

නොබලන්න
නුහුරු ලෙස මා වුවන
නොකියන්න මා නුඹේ නොවන වග
ඇටසැකිල්ලක් වෙලා ඇස් ගිලූණ
වේදනා කැටකැබලි
සඳ නිවන

දෑතින්ම
හදක් උගුලා දැමුණ
රිදී වන් රාමුවෙක තත් සිඳුණ
තැවරුණිද නුඹේ රුව
මදහසෙක

උමතු තරුණියක ලෙද
පෙම බිඳුණ
ලූහුබඳින තෙලිතුඩක සිතුවමක

ජීවිතේ ග‍්‍රීස්මෙක
තෙත සිඳුණ
පපු කූඩුවම පත්තු වී
දැවෙන
සිසිර දුස්ස්වප්නයෙක
හිම මිදුණ
සරා සඳ අවානක් නෙමෙයි නුඹ

⋆චීන රජ මාලිගයෙහි සේවය කළ හන්ජො නම් තරුණිය සමග රජු පේ‍්‍රමයෙන් බැඳී සිටියේය. නමුත් ටික දිනකින් රජු විසින් ඈ අමතක කර දමනු ලැබුවාය. මෙයින් දැඩි ලෙස වියෝවට පත් වූ ඇය තමා සරත් ඍතුවෙහි අවානකට සමාන කරගනිමින් කාව්‍ය බන්ධනය කළාය. සරත් ඍතුව උදාවීමත් සමඟ සීත කාලය ආරම්භ වේ. එකල්හි විජිනිපතකින් කවර නම් ඵල ද?

මෙම කවියට පාදක වූ "උමතු තරුණිය" නම් නාට්‍යය සඳහා මිෂිම යුකිඔ නම් ජපන් නාට්‍ය ශිල්පියාහට පසුබිම් වන්නේ මෙකී සංකල්පරූපය යි. පේ‍්‍රමයෙහි සළකුණක් ලෙස තම පෙම්වතාගෙන් ලද, මිදුණු හිම කැටයම් කළ අවානක් ළය හොවා කවදා හෝ තම පෙම්වතාගේ පැමිණීමත්, අවානේ කැටයම් කළ හිම දියව ගොස් ගිම්හානයේ පැමිණීමත් පතමින් ඉනොගිෂර නම් එක්තරා ගම්බද දුම්රිය පොළෙක බංකුවක වාඩි වී බලා සිටින රූමත් උමතු තරුණියක පිළිබඳ පුවත මෙකී නාට්‍යයෙහි දිගහැරේ. තමා හුන් බංකුවෙන් නැගිට දුම්රියෙන් බැස එන හැම තරුණයාගේම මුහුණ දෙස කුතුහලයෙන් යුතුව බලන ඈ කඩවුණු බලාපොරොත්තුවෙන් යුතුව නැවතත් වාඩි වන්නීය. හතළිස් හැවිරිදි අවිවාහක සිත්තරියක විසින් යැපෙන මැයට ඇගේ පෙම්වතා මුණගැසීම වැළැක්වීමට මෙන්ම ඇගේ වේදනාව සිතුවමට නගමින් සම්මාන ලැබීමටත්, පේ‍්‍රමය වෙනුවෙන් ඇය විඳින වේදනාව නරඹමින් සියුම් සතුටක් ලබා ගැනීමටත් එකී සිත්තරිය උත්සහ ගනී. අවසන තම පෙම්වතිය සොයා ඔහු පැමිණියත් ඇයට ඔහු හඳුනාගත නොහැකි වූ හෙයින් ඔහුට ආපසු හැරී යෑමට සිදුවේ.

No comments:

Post a Comment