Saturday, June 2, 2018

Brazil


ජෝර්ජ් ඕවල්ගේ 1984 නවකතාව අපිට මතකයි. Michael Radford විසින් 1984 පාදක කරගෙන එනමින් ම අපූරු සිනමාපටයක් ද නිපදවා තියෙනවා. Terry Gilliam විසින් 1985දී අධ්‍යක්ෂණය කරන ලද Brazil සිනමාපටය ඕවල්ගේ යටකී කෘතිය එක්ක පෙන්නන්නේ එක්තරා දුරකට තේමාත්මක සහ නිර්මාණාත්මකව සමීප දූරස්ථභාවයක්. 

සාපේක්ෂව බලද්දී Brazil හිටිවනම අර්ථ ගැන්වීම අසීරු, අපූර්ව චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මුලු සිනමාපටය ම විසිරුණු සහ අවපැහැ ගැන්වුණු සංකේත රාශියක්. ඒ මගින් ප්‍රේක්ෂක පරිකල්පනට තුළ අරින අර්ථ කවුලු අසීමිතයි. තේමාත්මක ඒකමිතියක් ඒ තුළ සමහර වෙලාවට අල්ලගන්න පුළුවන්. ඒත් හැම වෙලාවෙම එහෙම කරන්න බෑ. ඇතැම්  වෙලාවට ඒවා විවිධ ඉසවු කරා දුවනවා.

1984 කතා නායකයා වන ‘වින්ස්ටන් ස්මිත්’  Winston Smith) සහ Brazilහි කතානායකයා වන ‘සෑම් ලෝරි’ (Sam Lowry) කියන දෙදෙනාම එක්තරා දුරකට ඒකාධිකාරී, පීඩිත සහ අත්තනෝමතික යුතෝපියාවක ‘අහිංසක ආකාරයක්’ කියලා කියන්න පුළුවන්.

වින්සන්ට් ඔෂනියාවේ ( Oceania)  ‘සත්‍යයයේ අමාත්‍යාංශයේ’ වාර්තා අංශයේ සේවය කරනවා. ඉතිහාසය නැවත ලිවීමත් පක්ෂය වෙනුවෙන් ඇතැම් තැන් මකාදැමීම, ඡායාරූප මාරු කිරීම වගේ දේවල් ඔහුගේ රාජකාරි. Brazilහි කතානායකයාගේ කාර්යයත් එවැනියි. ඔහු රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පරිගණක පර්යන්තයේ සේවය කරනවා. 

දේශප්‍රේමයත්, පක්ෂයට සහ පක්ෂය විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධමය නායකයා වන ‘බිග් බ්‍රදර්’ (Big Brother) කෙරෙහි ජනතාව තුළ හුරු කරවන ලද පක්ෂපාතීත්වයක් සහිත සහ රටේ සියලු ජනතාව පැය විසිහතර තුළම පක්ෂය විසින් වීඩියෝ කැමරා සහ ශ්‍රව්‍ය පටිගත කිරීම් උපකරණ මගින් අධීක්ෂණය කරනු ලබන ඕෂනියාව මෙන්ම ලොරීගේ රටේත් සෑම මිනිසාම රජයය මගින් නිතර අධීක්ෂණයට ලක් වෙනවා. මිනිසුන්ගේ කාමර තුළ ඇති වැසිකිළි නළයේ, වායුසමීකරණයේ ඉඳන් රටේ සියලු දේ පාලනය වෙන්නේ සෙන්ට්‍රල් සර්විසය මගින්. සෙන්ට්‍රල් සර්විසය හරහා නිරන්තරයෙන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් කරනවා. තමං අත්තඩංගුවට ගෙන ඇතැම් මිනිසුන් මරණයට පත් කරන්නේ කරුණු වැරදියට වටහාගෙන බව දැනගත්තත් ඒ ගැන කිසිදු තැකීමක් නෑ. මිනිසුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණෙන්නේ නවාතැන්වල සීලිම කපාදමමින්. එය ඉතාමත් සංකේතාත්මකයි. ඇතැම් විට එය  කතා නායකයාගේ වාරණිත සිතිවිලිවලට ඉඟි සපයනවා.


1984දි වගේම සෙන්ට්‍රල් සර්විසය මගින් පාලනය වන අවකාශය පුරා ක්‍රියාත්මක වෙන්නෙ එක රූපවාහහිණී චැනලයයි. ඒ මගින් පාලනයේ ප්‍රචාරණ වැඩපිළිවෙළත් ජනතාවගේ මොළ සේදීමත් වනවා. ඒ වගේම රටේ හැම කෙනාගේම සෑම තොරතුරක් ම පරිගණක ගත කරලා තියෙනවා. 

වින්ස්ටන්ගේ ජීවිතය කාලකන්නි වටපිටාවක වෙලී පැවතුනත් 1984හිදී ඕවල් ඔහුට තාවකාලිකව හෝ ආදරය ලබා දෙනවා. ඒ ‘ජුලියා’ හරහා.  වින්සන්ට් තම පෙම්වතිය හා සැබැවින් ම ආදරය කරනවා. රමණයෙහි යෙදෙනවා. අවසන තමං පෙම් කිරීමට තෝරාගත්, එසේම පක්ෂයේ රහස් පරීක්ෂක කැමරාවෙන් සෑහෙන ආරක්ෂා සහිතයැ’යි මොවුන් විසින් සිතූ කාමරයේ දීම වින්ස්ටන් සහ ජුලියා හදිසි වැටලීමකට ලක් වෙනවා. පසුව මොවුන් ‘ආදරයේ අමාත්‍යාංශයට’ ගෙනයන අතර දෙදෙනා වෙන්වෙන්ව පුනරුත්තාපනය කිරීමට නියමිත වෙනවා. 

සෑම් ලෝරිගේ  ජීවිතය වින්ස්ටන්ට සාපේක්ෂව  ඊට වඩා ඉතාම නිහඬ ඒකාකාරී හා අඳුරු එකක්. ඔහුගේ මව තමංගේ පුතාට හරි හමන් රස්සාවක් නොමැතිකම ගැන නිතර අවලාද කියනවා. මේ පීඩිත සමාජයෙන් පළා ගොස් තම සිහින ස්ත්‍රිය හඹා යෑමට සෑම් ලෝරීට කල්පිත ලෝකයේදී පියාපත් ලැබෙන්නෙ ඒ නිසා. මේ රූපාන්තරණය තුළ ඔහු ඈ වෙනුවෙන් වෙනුවෙන් යෝධ සමුරායි වරයෙක් ඇතුළු මිනිස්-නොමිනිස් ස්වරූපයේ හමුදාවක් සමග සටන් කරනවා.  ස්ත්‍රියක ලුහුබැඳීම වෙනුවෙන් සෑම්ට පියාපත් ලැබීම දීර්ඝ සංකේතාත්මක කියවීමකට ප්‍රේක්ෂකයා පොළඹවනවා. එසේම ඇය දේව දූතිකාවක් හා සමපාතීව නිරූපිත වීම මේ ෆැන්ටසික ලක්ෂණය වඩාලාත් ඉස්මතු කරනවා.

අවසන සෑම්ට තම සිහින සත්‍රියගේ රූපය සැබෑ ලොවේදී නෙත ගැටෙනවා. ඒ අත්අඩංගුවක් සඳහා යොමුවූ අවස්ථාවක කපාදමන ලද සීලින් සිදුරක් තුළින්. ඇයද (ජිල් ලෙටන්) ඕවල්ගේ කෘතියේ ජුලියා මෙන් තමං පීඩාවට පත් කරනු ලබන ක්‍රමයට එරෙහිව පුද්ගලවාදී කැරැල්ලක් මෙහෙයවන්නියක්. එසේම අත්තනෝමතික අත්තඩංගුවට ගැනීම් වලට විරුද්ධව පෙනී සිටින්නියක්. ඒ වගේම ආණ්ඩුව විසින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් හා ජිල් සම්බන්ධව ඇතැයි ඈ සැක කෙරෙනවා. අවසන සෑම්ට සිහින ලොවේදී කළ අරගලය සැබෑ ලොවේදී ඈ ගලවාගැනීමට කරන්න වෙනවා. නමුත් ඔවුන්ගේ ආදරයේ කූටප්‍රාප්තිමය මොහොතේ සීලිම සිදුරු කරං පොලීසිය එනවා. 1984දී වින්ස්ටන් සහ ජුලියාට වුණා මෙන් ලෝරීටත් වෙන්නේ තමංගේ හිස විදුලි සත්කාරයකට පූජා කරන්න. ඒ පැරණි මතකයන් මකා දමා රජය මගින් අලුතින් ලියන අන්දමේ එකක්.

ඕෂනියාවේ දී වින්ස්ටන්ට සහ ජුලියාට තම ආත්ම පීඩනයෙන් මිදීම සහ පීඩාකාරී ආණ්ඩුවට එරෙහිව සියුම් වැඩපිළිවෙළක් ගෙනයෑමට රහස් සංවිධානයක් මුණ ගැසෙනවා. ඒ ඕබ්‍රයන් හරහා. කෙසේ නමුත් මේ පෙළඹුම ස්ව්‍යං මුළාවක් බවත් අදාල කණ්ඩායම ආණ්ඩුවේම නිර්මිතයක් බවත් අවසන හෙළි වෙනවා. නමුත් බ්‍රසීල් හි කථකයාට තම ක්‍රම විරෝදී නිදහස වෙනුවෙන් පළා යන්න වෙන්නේ Harry Tuttle  හරහා. ඔහු ස්පයිඩර් මෑන් වගේ දිගුරැහැන් හරහා ක්ෂණයෙන් එන ප්‍රබල සංකේතාත්මක චරිතයක්. ඔහු විසින් අවස්ථා කිහිපයකදී සෙන්ට්‍රල් සර්විසයයේ නියාමනයන් බිඳදැමීමට සෑම්ට උදවු කරනවා. 

Brazil චිත්‍රපටයේ වර්ණ තොරාගැනීම හා පසුබිම් සැකසුම පීඩාකාරී හා ඒකාධිකාරී සමාජය මෙන්ම සෑම්ගේ ජීවිතයේ යාන්ත්‍රිකත්ව්‍යද ඉස්මතු  කරනවා. එසේම සෙන්ට්‍රල් සර්විසය උසම උස කළුපැහැති ටැමක් ලෙස නිරූපණය වීම රූපකාර්ථ දනවනවා. පියාපත් ලද සෑම් තම සිහින ස්ත්‍රිය වෙත හඹා යමින් ඈට ඉතා සමීපව සිටින එක්තරා අවස්ථාවක මේ ටැඹ පොළව පළාගෙන මේ හිටිවන මතු වෙනවා. සෙන්ට්‍රල් සර්විසයේ එහි සේවක කාමර කුඩා කළු පැහැති සිර කුටි වගේ. මිනිසුන්ගේ නවාතැන් කාමර පුරා වැසිකිළි බට එල්ලෙනවා. ජලනල, විදුලි රැහැන් එල්ලී තියෙනවා. ඒ වගේම එසේම චිත්‍රපටියේ සිදුවීම් ගලා යන ධාවන වේගය සාමාන්‍යට වඩා වැඩියි. එය ද උපක්‍රමික වශයෙන් තේමාව තවදුරටත් ඒත්තුගන්නන්නට සමත්.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



(රාවය 2018 ජූනි 03)


1 comment: