Monday, July 2, 2018

Three Billboards Outside Ebbing, Missouri


Martin McDonagh විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2017 වසරේ තිරගත වුන Three Billboards Outside Ebbing, Missouri අද වන විට මෙය ජාත්‍යන්තර IMDB දර්ශකයේ 8.2ක් පමණ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තියෙනවා. 2018 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානය මෙහි ප්‍රධාන චරිතය සඳහා රඟපාන Frances McDormand දිනාගත් අතර, හොඳම සහාය නලුවාට හිමි සම්මානය Sam Rockwell දිනාගත්තා. ඊට අමතරව Woody Harrelson,  Peter Dinklage වැනි සම්භාවනාවට පාත්‍ර වූ තවත් නලු නිලියන් රාශියක් මේ සිනමා පටයෙහිදී රංගනයෙන් දායක වනවා. එසේම Three Billboards Outside Ebbing, Missouri හොඳම චිත්‍රයටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුලු තවත් ප්‍රධාන පෙළේ සම්මාන රාශියක් දිනාගැනීමට සහ නිර්දේශ වීමට සමත් වුණ සිනමා පටයක්.
බොහෝදුරට යථාර්ථවාදී ආඛ්‍යාන ක්‍රමය අනුගමනය කරන මේ සිනමාපටය ඉහළ රසික ප්‍රසාදත්වයකට පත්වී ඇති ප්‍රමුඛ සාධකය තේමාත්මක  අපූර්වත්වය කිව්වොත් නිවැරදියි. Mildred Hayes තම සැමියාගෙන් දික්කසාදව ඇති දෙදරු මවක්. කතාව ආරම්භවන මොහොත වන විට ඇගේ දියණිය වන Angela Hayes දූෂණයට ලක්ව ඝාතනය වී මාස කිහිපයක්. කතා ආඛ්‍යානය දිගහැරෙන්නේ තම දියණිය ඝාතනය කළ සැකකරුවන් මෙතෙක් නීතිය ඉදිරියට නොගෙනීම පිළිබඳව මවක හැටියට දක්වන ප්‍රතිරෝධතාවන් මත.
තම දියණියට එරෙහි අපරාධය වැළලී යා නොදී එයට සමාජයේ ඇස් යොමු කිරීමත් William Bill Willoughby නම් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලීසිය පරීක්ෂණ දෙසට තල්ලුකිරීමත් මවක හැටියට මේ මොහාතේ තමා කළයුතු එකම කාර්යය බව ඈ තමාට ම සපථ කරගන්නවා. මේ සඳහා ඈ අවසන් උපක්‍රමය හැටියට තෝරා ගන්නේ දියණිය ඝාතනයට ලක් ව තිබූ ස්ථානය අසළ මහා මාර්ගයට යාබදව පිහිටුවා ඇති විශාල වෙළඳ ප්‍රචාරණ පුවරු (Billboards) තුන.  Ebbing  නම් අදාල වෙළඳ ප්‍රචාරණ ආයතනයට ගොස් ඇය මසක කාලයකට අදාල ප්‍රචාරණ තුනෙහි ප්‍රචාරණ අයිතිය මිළදීගන්නවා. ඒ අනුව ‘RAPED WHILE DYING’ " ‘STILL NO ARRESTS’ iy ‘HOW COME, CHIEF WILLOUGHBY?’‍ යන වැකි ඈ අතින් ප්‍රචාරණය වෙන්නේ. මේ සඳහා අදාල දැන්වීම් ප්‍රචාරණ ආයතනයට ගෙවීමට අවශ්‍ය විශාල මුදල ගෙවන්නට ඇයසතු වාහන අමතර උපංග ඇතුලු දේපළ පවා විකුණන්න ඇයට සිද්ධ වෙනවා. තම මියගිය දරුවා පිළිබඳ ඇගේ ආධ්‍යාශය එතරම් ම බරයි. මේ පුවරු ඉවත්කරගන්නා ලෙස කියන ඇගේ දන්ත වෛද්‍යවරයාගේ ඇඟිල්ලක් සිදුරුකිරීම, පූජකවරයාට බැණ නිවසින් පිටත්කිරීම වගේ වැඩ දක්වා නෙමෙයි පෙට්‍රල් බෝම්බ ගසා පොලීසියට ගිනි තැබීම වැනි ක්‍රියාවන් කිරීම දක්වා ඇගේ මේ හෘදසාක්ෂියේ බර මුල්බැහැලා තියෙනවා.
චරිත නිරූපණයයෙහි ගැඹුර පිළිබඳ සිනමා කරුවා විශේෂයෙන් සැලකිල්ලක් දක්වා ඇති බව පේනවා. ඔහු පැතලි චරිත නිර්මාණය කරන්නෙ නෑ. හැම චරිතයක් ම කළු සුදු දෙබෙදුම අතර නිර්මාණය වෙනවා. තම දියණියගේ මරණයට වගකිවයුත්තන් තවමත් අල්ලාගැනීමට නොහැකිවීමට ගැන ඈ තුළ පොලීසියට එරෙහිව ක්‍රෝදයක් තියෙනවා තමයි. එසේම ඒ මරණයට තමන්ද වගකිව යුතු බවට ඇගේ හෘදසාක්ෂිය මගින් ඇය වෙත වේදනා දෙනවා. තමාත් තම දියණියත් අතර නිතර ඇතිවූ මතවාදී අඩදබර පිළිබඳ ඇගේ සිතේ මනෝරූප නිර්මාණය වනවා. (සැමියා විසින් ලැබූ නිරන්තර පහරදීම් සහ ඔහු හැරගිය පසු දරුවන් බලාගන්නට ඈ විඳන කම්කටොලු මේ සඳහා හේතුපාදක වෙන බව ප්‍රේක්ෂකයාට පැහැදිලියි. දූෂණයට සහ මරණයට ලක්වුණ දවසේ දියණිය තම මවගෙන් කාර් රථය ඉල්ලුවද ඇය ලබා දෙන්නෙ නෑ. දියණිය පයින් යන්නේ ඒකයි. එසේම ඇතැම් විට ඇගේ දික්කසාද සැමියා ද දියණියගේ මරණයේ වගකීම ඇගේ මූණට දමා ගසනවා. ඍජුව නොකීවත් ඇගේ පුත්‍රයා ද ඔහුගේ මව ද මේ දේට වගකිව යුතු බව අනියමින් ඉඟි කරන අවස්ථා තියෙනවා.
මවකගේ පැත්ත මෙන්ම ඇයගේ විවේචනයට භාජනය වන පොලිස් නිලධාරීන් ගැනත් සිනමාපටය තුළ මානුෂිකව නිරූපණය වනවා. මවගේ වේදනාව ගැන ශෝකයක් සහ ඇගේ උත්සාහයන් ගැන පැහැදීමක් ඇතිවුණත් ප්‍රේක්ෂකයා තුළ පොලීසිය ගැන වෛරයක් හිතෙන්නෙ නෑ. ‘උන් කරන්නේ ක්‍රිස්පි කකා කාර් පාර්ක්වල ස්කේටින් පදින පොඩි උන්ව අල්ලන එකයි, වර්ණ බේදවාදය හිසට අරං කළු උන්ට වද දෙන එකයි විතරයි’ කියලා ඇගේ පාර්ශ්වයෙන් කියවෙනවා. ඒත් ඒක සිනමාපටය ඒ විදිහට ම පෙන්නන්නෙ නෑ. නමුත් සිද්ධි ගලායෑමට සලසන වේගය සහ පසුබිම් ප්‍රයෝග තුළ පොලිසිය පාර්ශ්වයේ යම් කිසි උදාසීනභාවයක් ඇති බව පමණක් ප්‍රේක්ෂකයාට හැඟෙනවා.  
William ‘Bill’ Willoughby නම් පොලිස් ප්‍රධානියාගේ චරිතයත් ඉතාමත් ගැඹුරිනුයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඔහු මාරාන්තික පිළිකාවකින් පීඩා විඳිනවා. ඒ මදිවට ඇයගේ තුන්වන ප්‍රචාරණ පුවරුවේ ඔහුගේ නම ඍජුව සඳහන් වෙනවා. මේ සිදුවීම පිළිබඳ රූපවාහිණිය මගින් විශේෂාංග ගෙනඒම තුළ මේ ඝාතනය සහ ඇය පිළිබඳ මෙන්ම ඔහු පිළිබඳ මුලු රටේම අවධානය යොමුවෙනවා. ඒ ඇතැම් අවස්ථාවල ඔහුට ක්ෂණිකව තරහා යනවා. නමුත් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වී රාජකාරිය සමබරව ඉවසීමෙන් සිදුකරගෙන යෑමට උත්සාහ ගන්නවා.
මේ පරීක්ෂණයේදී පවා ඔහු දැනටමත් ඇගේ මරණයෙන් සොයාගත් සියලු සාධක සූක්ෂමව පරීක්ෂා කරලයි තියෙන්නෙ. අදාල ඩීඑන්ඒ පොලීසිය හඳුනාගෙන සිටින සියලු අපරාධකරුවන්ගේ ඩීඑන්ඒ එක්ක සංසන්දනය කරනවා. නමුත් මේ කාරණය විසඳගන්නට ඔහුට හැකිවෙන්නෙ නෑ. ඒ සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා බවයි පේන්නේ. අවසානයේ තම බිරිඳටත්, මිය ගිය තරුණියගේ මවටත් තම හිතවත් නිලධාරිකු වන Jason Dixongටත් ලිපි තුනක් ලියා සිය දිවි නසා ගන්නවා. ඒ තම පිළිකාවෙන් ගැලවීමට සහ රාජකාරී පීඩනයෙන් මිදීමට. කිසි ම ලිපියක වෛරයවත් චෝදනාවක්වත් තැවරෙන්නෙ නෑ.
 ඔහු යටතේ වන අනික් නිලධාරියා Jason Dixon ප්‍රශ්න විසඳන්න ස්වරූපය ඊට වෙනස්. ඔහු තම ඉහළ නිලධාරියා වන William Bill Willoughbyට සැබවින්ම පක්ෂපාතයි. ඒක ආයතන ප්‍රධානියා වෙත මවාගත් ඊනියා පක්ෂපාතීත්වයක් නෙමෙයි.  ඔහුගේ මැදිහත්වීම ඇතැම්විට මේ ගැටලු තවත් සංකීර්ණ කරනවා. ඔහු  ඇයට තර්ජනය කරනවා, බිල් බෝර්ඩ්ස් ගිනි තියනවා, දැන්වීම් ප්‍රචාරණ ආයතනයට සහ එහි හිමිකරුට පහර දෙනවා. William Bill Willoughby ජීවත්ව සිටිනකම් තම යටත් නිලධාරියාව මේ දේවලින් ඈත් කරන්න වෑයම් කරනවා. නමුත් ඔහු මියගිය පසු එන අලුත් ස්ථානාධිපතිවරයා අතින් ඔහුගේ සේවය අවසන් වෙනවා. කතාව අවසන් වන්නේ Jason Dixon සත්‍ය වටහාගෙන තම දියණියගේ මරණය ගැන ශෝකවන Mildred Hayesට උදවු කිරීමට සිතාගෙන ඒ ගමන සඳහා ඇගේ ගමන් සගයා වෙමින්.
කතාව අවසන් වෙන්නේ Jason Dixon, Mildred Hayes සමග ගිනිඅවියකුත් ඇතිව ස්ත්‍රීදූෂකයෙක්ට දඬුවම් දීමට පිටවීමෙන්. තමන් කළ ස්ත්‍රී දූෂණයක් ගැන ඔහු තැබෑරුමක Jason Dixon ඇහෙන්නට ඇහෙන්නට අදාල පුද්ගලයා කටමැත දොඩා තිබුණත්, ඔහු මේ සිදුවීමට සම්බන්ධ නෑ කියලා ඔවුන්ගේ තොරතුරු විමර්ශනය කරන පොලීසිය කියනවා.  මේකට සම්බන්ධ නැතත් ‘ඔහු දූෂකයෙක්’ කියන එකයි මවගෙත් සේවයෙන් පහ කළ පොලිස් නිලධාරියාගෙත් තක්සේරුව. කතාව ඔවුන්ගේ පිටත්වීමත් සමග මේ විදිහට අවසන් කිරීම එකවැරම ප්‍රේක්ෂකයා තුළ රික්තකයක් නිර්මාණය කරනවා. නමුත් එම නැවතුම විචාරශීලී රසිකයාට තවත් පරිකල්පනීය මානයන් කීපයක් විවර කරලා දෙන බව පැහැදිලියි.
කල්ලන්ට වදදෙනවායැ’යි ඇය විසින් චෝදනා කරන පොලිසියේ ප්‍රධානියා ලෙස විලියම් බිල් මිය ගියාට පස්සේ පත්වන්නේ කළු ජාතික නිලධාරියෙක්. ඒ කැඳවීම සිනමා කරුවා සවිඥානිකව කළ සංකේතාත්මකව ඉතා වැදත් උපක්‍රමයක්. ඒ වගේම ඔහු යටතේ මේ අපරාධය හෙළි වනු ඇතැයි ප්‍රේක්ෂකයාට බලාපොරොත්තුසහගත භාවයක් ඇති වෙනවා. නමුත් ඒ යටතේ පවා හෙළි වෙන්නෙ නෑ. එකපැත්තකින් එය දිවිනසාගත් බිල් ඇතුළු පොලීසියේ නිර්දෝෂීකම හෙළි කරනවා
සිනමා කෘතිය පුරා සංගීතය භාවිත කර ඇති ආකාරයත්, චරිතයන්හි සංවාද සඳහා භාවිත වචන තුළත් මොවුන්ගේ මනසේ සංකීර්ණකම තවදුරටත් ඉස්මතු කරනවා. එසේම මැය ජීවත්වන  සහ බිල්බෝර්ඩ්ස් පිහිටුවා ඇති නිහඬ පාලු පරිසරය මවගේ ශෝකය නිරූපණය කරන ජීවමාන සාධක විදිහට සමස්ත කෘතිය පුරා ඉස්මතු  වෙනවා. ඒ  විතරක් නෙමෙයි ඝාතනයේ සාක්ෂි විරහිත ගුප්ත බවත් ඒ තුළම කැටිවෙලා තියෙනවා.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


         රාවය 2018 ජූලි 01


2 comments:

  1. මටත් ඕක බලන්න ඕන කම තිබුනට තාම හොයාගන්න බැරි උනා. හොද විස්තරයක්

    ReplyDelete
  2. තුති! මේක හොයාගන්න අමාරුවන එකක් නෑ. හොයාගෙන බලන්න

    ReplyDelete