‘මං ගෙදරින් කියන එකකට කැමති වෙනවා. තමුසෙ මහ තක්කඩියෙක්’
නදී විසින් එවන ලද ඒ තීරණාත්මක කෙටිපණිවිඩය ලැබුණු බවට ජංගම දුරකථනය දෙපාරක් ‘බීප්’ කියද්දි, නදීට යවන්නට හිතන් හිටි කෙටි පණිවිඩය සුසන්තගෙ නොකියා තිරය තුළ ලියවෙමිනුයි තිබ්බෙ.
‘අපි මේ සුමානෙ මුණගැහෙමු. මට මේ තරහා වෙලා හිටියා හොඳටම ඇති.’
නදීගේ පණිවිඩයෙන් තිගැස්සුණ සුසන්ත, නදීට යවන්න හිත හදාගෙන මාස ගණනාවකට පස්සේ ටයිප් කළ එකම මැසේජයේ අකුරු එකින් එක බැක්ස්පේස් කළා.
ඒ සුසන්ත නදී වෙනුවෙන් ලියපු අන්තිම කෙටි පණිවිඩය. නදී, සුසන්ත එකිනෙකාට යවනු ලැබූ කෙටි පණිවුඩ කෝටියක් අතර, ඔවුන්ගේ අට අවුරුදු ප්‍රේම වෘත්තාන්තයේ - විශේෂයෙන් අවසන් අවුරුදු දෙක තුළ, ටයිප් කළ නමුත් අනිකාට සෙන්ඩ් නොකළ මේ විදිහේ පණිවුඩ රාශියක් දෙදෙනාගේම දුරකථන තිර තුළ ඉපදෙමින් මියයමින් තිබ්බා.
******************
අපි කෙළින් ම කතාවට බහිමු,
මම සමීර දේවනාරායන. සුසන්ත රණේපුරගේ රූම්මේට්. සුසන්තයි මායි අවුරුදු දෙකක විතර ඉඳන් හිටියෙ එක කාමරේ. එකම විශ්වවිද්‍යාලයේ, එකම ෆැකල්ටියේ. එකම බැච් එකේ. ඒත් ඩිපාර්ට්මන්ට් දෙකක. සුසන්ත ෆිලෝසොපි. මම සිංහල.
සුසන්ත කැම්පස්සෙකට එනකොටත් ඌට ලවු එකක් තිබුණා. තමා ගමේ ගොඩ ගිහින් ඉන්නවා කියන එක රැග් සීසන් එකේ හැමෝම වගේ අනෙක් අයගෙන් හන්ගන් හිටියත්, මුළ ඉඳන්ම නදී සම්බන්ධ කාරණය සුසන්ත මට කියලා තිබ්බා. ඒ තරමට අපි දෙන්නා බොක්ක.
මුල් කාලෙ සුසන්තට ලියන්න කියන්න සෑහෙන උණක් තිබ්බා. මුලින්ම ලිව්වෙ කවි. පස්සෙ කෙටි කතාත් ලිව්වා. ඌ යමක් ලිව්වගමන් ඒක මගේ අතේ තියලා ඇස් දෙක උඩතියාගෙන මගේ මූණ දිහා බලන් ඉන්නවා. ‘උඹ සිංහල කරන එකානෙ. අනික උඹේ රයිටිනුත් එළ. මට කමෙන්ට් එකක් දීපං’. ඇත්තට ම මුල් කාලෙ සුසන්තගෙ කවි වල භාෂාවෙ ඉඳන් ගොඩක් දේවල් හදාගන්න තිබුණා. කෙටි කතාවල ඊටත් වඩා අවුල් තිබ්බා. මූලිකම දේ, ඌට කතාවක් කියන්න හොඳ විදිහක් තිබ්බා. ඒත් කතාවේ තේමාව ගැඹුරින් ගලපන්න බැරි, ඒ එක්කම යන දුර්වලකමකුත් තිබුණා.
මා මේ ඔබට ඉදිරිපත් කරන්න යන්නේ සුසන්තයි මායි අන්තිමට හම්බවුණ දවසින් හරියට ම අවුරුදු පහකට පස්සෙ, මගේ ආදරණීය බිරිඳ වන අචිනි දුනුවිල විසින් මා වෙත ලබා දෙන ලද සුසන්තට අයත් දින පොත් තුනකින් උපුටා ගත් කොටස්. එහෙමත් නැත්තම්, නදී - සුසන්ත ආදර කතාවේ ඇතැම් හැරවුම් ලක්ෂ ගලපගන්න උදව් වෙයි කියලා මම හිතන කොටස්. මේ කතාව උපුටා දක්වන්නේ ඒ ඒක තවත් කෙනෙක් කියවන්න වටින එකක් බව මං වගේම අචිනිත් විශ්වාස කරන හින්දා.
ඔබ මේ සටහන් ගොඩනගාගන්නේ නූතන කෙටිකතාවක් හැටියට ද නැතිනම් පිරිමින් දෙදෙනෙකුගේ ආත්ම වංචක පාපොච්ඡාරණයක් හැටියට ද කියන එක තීරණය කිරීම ඔබ සතුයි. ඒ කතාව තුළ නදීගෙන් ඈත්වීම සම්බන්ධයෙන් සුසන්තගේ හෘදසාක්ෂියේ බර තැවරිලා තියෙනවාද? මේ විප්‍රයෝගය සම්බන්ධයෙන් ඇගේ හිත හදන්න අවසන් මොහොතේ හරි සුසන්තට ඕන වුණාද? මට හොඳටම විශ්වාසයි මේ කතාව මේ විදිහට අවසන් නොවන්නට සහ අන්තිම කාලයේ උගේ ලිවීමේ චර්යාව වෙනස් නොවන්නට සුසන්ත නදීට පේන්න තමන්ගේ හෘදසාක්ෂියේ බර කවියක හෝ කෙටිකතාවක සංවේදීව තවරලා පත්තරේකට හරි ෆෙස්බුක් එකේ හරි දානවා කියලා. මේ විදිහේ දේවල් ලියලා කෙල්ලන්ට පණිවිඩ දෙන වැඩ කළිනුත් සුසන්ත කළා.
නදී යකාපාලම උඩ කෝච්චියට අහුවෙලා කෑලී තුනකට කීතු වෙලා කියන පණිවිඬේ ඒ අප්‍රේල් විසිහත්වෙනිදාවෙ අපිට ආවෙ හරියටම දවල් 1.30ට වගේ. ඒ වෙලාවෙ කාමරෙන් පිට උනාට පස්සෙ සුසන්තයි මායි ආයෙ මුණගැහුණෙ නෑ. නදීගෙ හැරයෑම සිද්ධවෙලා හරියටම සුමාන දෙකකට පස්සෙ උදෑසනක, බීඩි මිටියක් ගේන්න කඬේ පිටත් වුණ වයසක මනුස්සයෙක් හරියටම සුසන්තගෙ ගෙදරට කිලෝමීටර් දෙකක් විතර එහායින් තියෙන රේල්පාර අද්දර තුනීවෙමින් තිබුණ මීදුම අතරින් සුසන්තගෙ අලුත්ම මෝටර් බයිසිකලේ කණ්නාඩිය රීදිපාටට දිලිසෙනවා දැක්කා.
රේලි පීලිවලට එපිටින් වැටී තිබුණ සුසන්තගෙ සිරුර නදීගේ සිරුර වගේ කෑලි තුනට ඉරිලා තිබ්බෙ නෑ. ශිෂ්‍ය නායකයාගේ මරණය අසාමාන්‍ය බවත් ඔහුගේ සිරුරේ තිබුණු තුවාල දුම්රියකට හසුවී මිය ගිය කෙනෙකුගේ තුවාලවලට වඩා වෙනස් බවත්, එදා දවල් බීබීසී මාධ්‍යවේදියා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අහලා තිබ්බා. දැනට කෙරීගෙන යන පරීක්ෂණවලට අනුව මෙය සියදිවි නසාගැනීමක් බව තහවුරුව ඇති බවත්, අනාරක්ෂිත රේල් ගේට්ටුවෙන් දුම්රිය පැමිණෙන විට ඔහු තම බයිසිකලය දුම්රිය වෙත හිතාමතා මෙහෙයවා සියදිවි නසාගෙන ඇති බවත් මායා යථාර්ථවාදී අංගචලනයකින් යුතුව මාධ්‍ය ප්‍රකාශකවරයා රූපවාහිණියේ ඉදිරිපත් කළා. ඒ පැහැදිලි කිරීමට අනුව, දුම්රියේ වේගයට සාපේක්ෂව මෝටර් සයිකලය පැදවිය යුතු වේගය පිළිබඳ සුසන්තගේ කාලමානනය වැරදි වූ නිසා ඔහු කෝච්චියට යට වුණේ නෑ. ඒ වෙනුවට සිද්ධ වුණේ දුම්රියේ පැත්තකට යාන්තමින් වැදුණු බයිසිකලයෙන් විසිවෙලා ගිහින් රේල් පාර අයිනේ තිබ්බ ලයිට් කණුවේ වැදීම.
කොහොම වුණත් අවුරුදු දෙකහමාරක විතර කාලයක් තිස්සේ සුසන්ත ලියමින් ඉඳලා, නදීගේ දිවිනසාගැනීමේ ආරංචිය ලැබුණ දිනට කළින්දා රෑ අවසන් සටහන යොදා තිබූ මේ අසම්පූර්ණ දින පොත් තුනෙන් මා ඔබ වෙත උපුටා දක්වන කරුණුවල යම් නොගැලපිම් සහ අඩුවක් තියෙනවා කියලා සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේ ම අදාල කාල සීමාව තුළ සුසන්තගේ ජීවන හැලහැප්පීම් සහ විපරීතභාවයන් තුළ යථාර්ථවාදීව දරාගන්න බැරි තරමේ අතිධාවනකාරී වේගයක් ඔබට හැඟෙන්නත් පුළුවන්.
සුසන්තගේ හොඳම සරසවි මිතුරා හැටියට, විශේෂයෙන් අවුරුදු දෙකක් විතර ඔහුගේ කාමර සගයා හැටියට ඔහු සතුව තිබුණු යහපත් ගතිගුණ, ආදර පළහිලව්, දේශපාලනය, සල්ලාලකම් හා වෙනත් දුර්වලතා ගැන මා දන්නා කරුණු රාශියක් තියෙනවා. ඒත් ඒ සියල්ල වාරණයකින් තොරව ඔබ හමුවේ තියන්න බට බෑ. ඒ වගේම මගේ ආදරණිය බිරිඳ, අචිනි දුනුවිල මේ කතාවේ ජීවමානව ඉන්න වැදගත් ම චරිතයක් බව අමතක කරන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලනවා.
ඈ මේ දිනපොත් මා අත තබන්නෙම වාරණය පිළිබඳ අදහසින් සම්පූර්ණයෙන් ම මිදිලා බව ඇත්ත. ඒත් මළගිය අතීතයක් සටහන් අනවශ්‍ය පරිදි සංවේදී කරලා ජීවමාන දෙව්දුවක් වන ඇගේ හිත තවදුරටත් පාරන්න මට වුවමනා නෑ. ඇගේ අතීතයේ සංවේදී හා අතිශය පෞද්ගලික සිදුවීම් රාශියක් සටහන් ව ඇති මේ වේදනාබර දිනපොත් මටවත් නොපෙන්වා ගිනිබත් කර අතීතයේ කඳුලු පැල්ලම් බාහිර සමාජයෙනුත්, විශේෂයෙන් ඇගේ සැමියා වන මාගෙනුත් සඟවා තබන්නට ඇයට පුළුවන්කම තිබුණා නොවේද? එනමුත් මේ දින සටහන් අවංකව සහ නිර්ලෝභීව මා වෙත ලබා දෙමින් තම සැමියා වන මවෙත ඈ තැබූ විශ්වාසය ඇගේ වේදනාවක් බවට පරිවර්තනය කර දෙන්නේ කෙසේද? මං කියන්නෙ නෑ මගේ හිත මේ කාරණයේදී සම්පූර්ණයෙන් ම අපක්ෂපාතීයි කියලා. විවිධ කාරණා වලදී මගේ හිත දෙතුන් පැත්තකට ඇදෙනවා.
නදීගේ මරණය සම්බන්ධයෙන් සුසන්ත වගකියන්න ඕන කියලා මම කියන්නෙ නෑ. නමුත් ඇය තමන්ගේ ජීවිතෙන් කෲර ලෙස ඈත් කිරීම ගැන උගේ හෘදසාක්ෂිය තුළ විශාල කම්පණයක් පෙණුනා. විශ්වවිද්‍යාල ජීවිතේදි සුසන්තට ඕන තරම් පෙම්වතියො මුණගැහුණා. ඒ නිසා ‘ආදරේ කියන්නෙ මහ ලොකු බක්කක් නෙමෙයි’ කියලා හිතන තරමට සුසන්ත හැඩ ගැහිලා හිටියා. නමුත් උගේ අභ්‍යත්තරය නදී පිළිබඳ පීඩා විඳිනවා පැහැදිලිව පේන්න තිබ්බා.
අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඉඩදෙන්න. මගේ නමත් අචිනිගේ නමත් හැර මේකෙ තියෙන අනික් නම් ඔක්කොම මනක්කල්පිතයි. ඒ වගේම අපි දෙන්නට අමතරව, නදී සුසන්ත ජීවන වෘත්තාන්තයේ මැදිහත්කරුවන් වූ, මම මෙහි සටහනක් පවා නොතබන අතුරු චරිත රාශියක් මේ පොළවේ ජීවත් වෙනවා. ඒ වගේම මේ කතාව තුළ ඇතැම්විට යම් දේශපාලනික හැඟවුම් එන්නත් පුළුවන් කියලා මං දන්නවා. ඒ දුක්බර කතාව සිදුවූ කාලයත්, මං ඒක ඔබට කියන කාලයත් අතර රටේ ආණ්ඩු මාරුවීම් කීපයක් ම සිදුවුණ බව ඇත්ත. අපගේ දරු දෙදෙනාත් සමග අද විදේශ රටක පදිංචිවී සිටින මගේත් අචිනිගේත් පැවැත්ම සම්බන්ධයෙන් ගැටලුවක් නැතත්, නදී සුසන්ත ජීවන අන්දරයේ සෙසු අතරමැදි චරිතයන්ට එකී දේශපාලනික හැඟවුම් හානිදායක අයුරින් බලපෑ හැකි බැවින් මෙතන ඉඳන් ඔබ කියවන සුසන්ත රණේපුරගේ දිනසටහන්වලට අදාල වර්ෂය නොදා ඉන්න කියලා අචිනි මගෙන් ඉල්ලා සිටියා.
තව එකක්, නදීගේ මරණය සිදුවූ දවසේ ඉඳන් සුසන්තගේ සිරුර රේල්පාර අද්දර තිබී හමුවුණ උදෑසන දක්වා තමන් සුසන්තව නොදුටු බවත් අදාල කාලය තුළ ඔහුගේ දුරකථනය පවා ක්‍රියා විරහිතව තිබූ බවත් ඔබට කියන්න කියලා අචිනි මට කීවා. ඒ සුසන්ත වෙනුවෙන් අවුරුදු ගණනාවක් වැළපිලා ඇගේ ඇහේ කඳුලු වේලෙන්න පටන්ගත්තට පස්සෙ.
+++++++++++
පළමු දිනපොත
ජනවාරි 02
මා හදවත
තත් පිරිමැද
නංවයි ඔබ
මෙතෙක්කල් මා නෑසූ සංගීතය
අසනා තුරා ඔබ හඬ
දකිනා තුරා ඔබ වත
බිහිරි වී සිටියෙමි මම
අන්ධ වී සිටියෙමි මම.
Love you sooo much N...
ජනවාරි 16
මිඩ් එග්සෑම් එක දවසින් දවස කට ළඟට එනවා. මායි සමීරයයි පාඩම් කරන්න පුස්තකාලෙට ගියා. වැඩි වෙලා පාඩම් කරන්න හිත හැදුණෙ නැති නිසා උට පාඩම් කරන්න කියලා මං නැගිටලා ඇවිත් නදීට කෝල්ලෙකක් ගත්තා. හවස් වරුවෙ ජිම් ගියා වික්ටර්ගෙ ‘ස’ ප්‍රසංගය බලන්න. හොස්ටල් එකට එද්දි දොළහට ළඟයි.
ජනවාරි 21
නදී කැම්පස්එකට ඇවිත් ගියා. දවසම ලෙක්චර්ස් කට්. අපේ කතාවේ මේ විදිහේ අවස්ථා ශෘංගාරාත්මක ආදර කතාවකට ඔබන්න තිබ්බනම් ඒක බොළඳ වන එක වළක්වන්න බැරිවෙයි...
“හරි නරකයි, බොරු නේද කියන්නෙ...?“
“මං මොකටද බොරු කියන්නෙ?“
“ඔයා ඇත්තටම ආදරෙයිද මට?“
ඇය ඇහුවා ඔහු මුහුණට එබෙන ගමන්. ඈ ස්ථීර හඬින් අසරණව වූ නිසා දෝ ඔහු ගොළු ගැහුණා...
“මං දන්නව ඔයා මට ආදරෙයි කියලා. ඒත්....., මාව කවදාවත් අමතක කරන්නෙ නෑ නේද? ඔයා නැතිවුණොත් මං කොහොමද ජීවත් වෙන්නෙ - ඊට හොඳයි මැරෙණව...!“
ඔහු ඇගේ දිගැටි මුහුණ දිහා බැලුවා. තමා කෙරේ උතුරා ගලා හැලෙන නොතිත් ප්‍රේමයක සළකුණු ඈ දෑස් තුළින් කඩා හැලෙනව ඔහු දැක්කා. ඒ හා අතිනතගත් සියුම් රිද්මයකටද කොහෙද ඈ සිනිඳු තොල් පෙති සෙලවෙමින් තිබ්බා. ඈ හිස ගෙන, ඔහු තම උණුහුම් පපුව මත හොවා ගත්තා... තම ළය මත සුන්දර රටා මැවූ ඈ සිනිඳු කෙස් කලඹ තම නාස් පුඩු අග තැවරූ සිහින් සුවඳත්, තම ළය මත සටහන් කළ ඈ දෑසෙහි සීතලත් සිය සිරුර විනිවිද ගොස් කොහේදෝ අන්ධකාරයක් තුළ සියුම් කිතියකුත් සමග යළි නොමැකෙන ලෙස සටහන් වෙනව ඔහුට දැනුණා..
“ඒ...අමතක කළොත්නෙ...!“
ඈ සැලෙන දෙතොලෙහි තැවරුණු උණුසුම තමා වෙත උරා ගන්නට මෙන් ඔහු ඈ මුව මත එබුණා... දෙදෙනාගේම හදවත්හි වේගවත් නාදය එකට මුසු වී අපූර්ව සංධ්වනියක් මැව්ව. කිටි කිටියේ ඔහු තමා වෙත ඇදගැනීමට මෙන්, ඈ ඔහු උස් සිරුර හා පොර බැදුව. ඔවුන්ගේ වේගවත් සුසුම් රිද්මයානුකූල ස්වරයක් මවමින් ඈතට ඈතට ගොස් මහවැලි නදියෙහි ජල තරගයන් නගන ඉසියුම් කෙඳිරිය හා මුසු උණා.
පෙබරවාරි 03
පීඨ ශිෂ්‍ය සංගමයේ නිලවරණය අද. මායි සූප්පුවායි අතරයි තරගෙ තිබුණෙ. කොහොමෙන් කොහොමහරි සභාපතිකම ගන්න මට පුළුවන් වුණා. උඹව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කරලා තමයි අපි නවතින්නේ කියලා තමයි ගොඩක් සහෝදරවරු සුබපතනින් ගමන් කිව්වෙ.
හවස සුපුරුදු පරිදි බීමක් සෙට් වෙලා.
පෙබරවාරි 25
සති අන්තෙ ගමේ ගිය ගමන් කාලෙකින් නදීලගෙ ගෙදර ගියා. නදී ගෙදර එන්න කිය කිය නිතර බල කරනවා. ඒත් මට, එයාගෙ ගෙදර මිනිස්සුන්ගෙ ලොකුකම් බලාගෙන එහෙ යන්න එච්චර හිතක් තිබ්බෙ නෑ.
අපේ සම්බන්දෙට අවුරුදු හයක් විතර වෙන එකේ අඩුගානෙ ඉක්මනටම එන්ගේජ් කරන්න කියලා එයාගෙ ගෙදරින් කියනවා කියලා නදී නිතර කරන කන්නලව්ව අදත් කළා. මම ඇහුවා රස්සාවක් නැතිව අපිට කන්න දෙන්නෙ තමුසෙගෙ තාත්තද කියලා. මං එහෙම අහද්දි හැම වෙලාවෙම වගේ එයා කරබාගත්තා.
මාර්තු 12
ෆැකල්ටියට අලුත් බැච් එකක් ගත්තා. පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති විදිහට උන්ගෙ ඉනැගියුරේෂන් එකේ කතාවක් කරන්න මට සිද්ධ වුණා.
විශ්වවිද්‍යාලයේ පැවැත්මට ශිෂ්‍ය සංගම් දක්වලා තියෙන විශිෂ්ඨ සේවාවනුත්. අපේ පූර්වගාමී සොහොයුරන් නොහිටින්න අපි අද මේ භුක්ති විඳින කිසිදු අයිතිවාසිකමක් අපට නොලැබී යනු ඇති බවත් මං කියද්දි ප්‍රෙෂාලා ප්‍රෙෂීලගෙන් ලැබුණේ සෑහෙන විශාල අත්පොලසන් නාදයක්.
ඉනැගියුරේෂන් එකට සහභාගී වූ දෙමව්පියන් වැඩිපුරම සතුටු වුණේ මගේ කතාවේ තිබ්බ, නවකවද විරෝධී කොටසට. එතනදි මං පැහැදිලිව කිව්වා. විශ්වවිද්‍යාල නවකවදයට සියලු ශිෂ්‍ය සංගම් විරුද්ධ බවත්. යම් කිසි ශිෂ්‍යයෙකුට නවකවදය දෙන මානසික විකෘත්තියෙක් ඉන්නවානම් ඒ කෙනා නවයෙ වාට්ටුවට යවන්න ඕන කියන මතයේ ශිෂ්‍ය සංගමය හැටියට අපි ඉන්න බවත්.
මැයි 04
උදේම ලෙක්චර් ගියා. ජූනියර් බැච් එකේ ලස්සන කෙල්ලක් දවල් කන වෙලාවේ ගෙම්බ එකේදි මං දිහා කන්න වගේ බලං හිටියා කියලා සුමිතයයි, නිමලයයි මට විහිලු කළා. ඒ විහිලුව අර කෙල්ලත් දැක්කා මයෙ හිතේ. ඒකි මූණ රතු කරගෙන අහක බලාගත්තා. අපි එතනින් යනකන්ම ආයෙ මං දිහා බැලුවෙ නෑ.
රෑ බීමක් සෙට්වෙලා.
ජූලි 12
බිසී බව කියමින් මං මාසෙකින් විතර ම මුණ නොගැහුණ නිසා නදී කැම්පස් එකට එන බව ඊයෙ මැසේජ් කරලා තිබ්බා. එන්න අවශ්‍ය නෑ මං ලබන සතියෙ ගමේ එන්නම් මේ දවස්වල එග්සෑම් කියලා මං ටෙක්ස්ට් කළා. එග්සෑම් කතාව බොරුවක් වුණත්, ඉස්සරහට කරන්න රිපීට් එග්සෑම් ගොඩක් දවසින් දවස ගොඩගැහෙමින් තියෙනවා.
සැප්තැම්බර් 12
විහිලු කළ කෙල්ලන්ගෙ හිනාවට
රතු ගැහුණ පිණි මූණ හංගන්
හුරතලට කොනහලා දෙකන්මුල
පාවෙලා ගියපු හැටි ඈතටම මීදුමී
ඔය සුමුදු බඳ වටා
මිහිරි සුවඳත් ඔතාගෙන
තනිපන්ගලමෙ මගේ ලෝකෙට
ආයෙමත් කවදාද ඔබ එන්නෙ මිදුමී
ලස්සනට තිත් වැටුණ
රෝසවන් දුහුල් සළු පොරවන්
රොබරෝසියා වසන්තය ගෙන එන්න මීදුමී
මේ කුටිය සනහා නිවන
සුසුම් පොඳ නුඹ වන්න මගේ සුදු මීදුමී
පටලලා ඔය දෑස් මිණිපහන්
සංසාර කළුවරට බැට දෙන්න මීදුමී
සියුම් පියවර අරන්
මධුවිතක් වී ඇවිත්
දෙතොලතර තැවරෙන්න මීදුමී
ළය ගැහන රිද්මයට
දුහුල් සළු මුදවන්න ඔබ එන්න මීදුමී
සීතලට හිරිවැටුණු හදවතට
පණගැහෙන හාදුවක් අතුරලා
හද ගැස්ම යළි දෙන්න මීදුමී
මද්දහන ඇහැරෙන්න කළියෙන්
ආයෙමත් හැර යන්න මීදුමී
💓💓💓 M 💘💘💘
දෙසැම්බර් 04
මහා ශිෂ්‍ය සංගමේ සභාපතිකම ලැබුණා. මගේ තරගයට හිටියෙ සයන්ස්සෙකේ සාතන්. කොහොම හරි ඌව පරද්දලා ශිෂ්‍ය සංගම සභාපතිකම මට ගන්න ලැබුණ එක ගැන අපේ සෙට්එකට හෙණ ම සතුටුයි. ගෙදරට කතා කරලා පුංචිටත් කිව්වා මේ කාරණේ. ඔය දේවල් කරගත්තට කමක්නෑ හැබැයි අධ්‍යාපන වැඩ අතපසු කරගන්න එපා කියලා තමයි පුංචි අම්මා කිව්වෙ.
දෙසැම්බර් 30
සති අන්තෙ ගමේ ගිය ගමන් නදී මුණ ගැහුණා එයාගෙ ගෙදරදි. ඔය දෙන්න ඉක්මනට කසාද බඳින්න කියලා එයාගෙ අම්මා අද මගෙ මූණටම කිව්වා.
යුනිවර්සිටි වැඩ ටික ඉවරවුණ ගමන් බඳින්නම් ඇන්ටි කියලා මං ආවා. අනික තාම අක්කත් ගෙදර නෙ කියලා මම කිව්වා. අපේ සම්බන්දෙ නදීලා දිහායින් දැනන් හිටියත් අපේ ගෙදරින් ඒතරම් දැනන් හිටියෙ නෑ. ඒත් මං ඒ බව කිසිදාක නදීලට හැගෙව්වෙ නම් නෑ.
අද කොට්ටෝරුවගෙ බර්ත්ඬේ එක. හොස්ටල් ඇවිත් රෑ පාර්ටියට සෙට් වුණා. පාන්දර තුනයි නිදාගද්දි.
දෙවැනි දිනපොත
ජනවාරි 02
අනිද්දා ටෙන්ඩර් බෝර්ඩ් එකක්. කැන්ටීන් කරන මුදලාලිලා කීපදෙනෙකුයි. සැලෝන්, ටේලර්ෂොප් ගන්න ටෙන්ඩර් දාලා තියෙන කීපදෙනෙකුයි මේ දවස්ටිකේ ම මාව හම්බවෙන්න එනවා. මේ පාරත් ටෙන්ඩර් අරන්දෙන්න ශිෂ්‍ය සංගම් සහයෝගය අරන් දෙන්න කියලා.
කොහොම වුණත් අපි කියන ඒවයෙන් පිට විශ්වවිද්‍යාලෙ තීන්දු ගන්නෙ නෑ කියලා උන් දන්නවා.
අලුත් අයට ටෙන්ඩර් දෙන්න කළින් අපිට උදව් කරන හොඳ අයට අපිත් උදව් කරන්න ඕන. ශිෂ්‍ය කටයුතුවලට ආහාර, මූල්‍යම ආධාර, ෆෝන් කාර්ඩ් දෙන අය විතරක් නෙමෙයි, ශිෂ්‍ය අරගල ගැන අපි දාන හැම ලීප්ලට් එකක්ම, මැසේජ් එකක්ම අනික් අය අතර ෂෙයාර් කරන්න මහන්සි වෙන හොඳ කැන්ටින්කාරයෝ, සැලුන් කාරයෝ ඉන්නවා.
පෙබරවාරි 28
ගමේ ගිහින් එනගමන් නදීත් මං එක්ක ආවා. එක්ක එන්න කැමති නැති වුණත් එන්නම ඕන කිව් නිසා නවත්තන්න බැරි වුණා. ජීවන්තිගෙ ගෙදර යනවා කියලා ගෙදරට බොරු කියලයි එයා ආවෙ. එයාගෙ ගමෙන් කැම්පස් ආපු කේලම් කුක්කියක්ට හම්බවෙලා තිබ්බොත් හෙට උදේට එයා කැම්පස් එකේ හිටියා කියන පණිවිඬේ එයාගෙ ගෙදරට යයි කියලා මං නදීට කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.
වළේ මනමේ නාට්ටිය පෙන්නපු දවසක් නිසා ඒක බලන්න ඕනා කියලා නදී කිව්වා. නදීව දකින්න ඕනෙ නැති අය දකින්න ඕන නැති නිසා මං නාට්ටිය පටංගන්න ඔන්න මෙන්න වෙනකන් ඉඳලා, අන්තිමට ගිහින් ළමයින්ට වෙන්කරපු පැත්තට නැතිව අනික් පැත්තට වෙන්න පිටිපස්සෙන් ඉඳගත්තා. නාට්‍යය ඉවරවුණ ගමන් නදීම බැචියක් එක්ක සංඝමිත්තා එකේ එයාගෙ රූම් එකට යැව්වා.
හෙට උදේම යවන්න ඕන. මට හෙට අටේ ඉඳන් දවසම ලෙක්චර්ස්!
අප්‍රේල් 06
අලුත් ම මෝටර් සයිකලයක් ගත්තා. කැම්පස් එකේ කාටත් නෑ ඒ වගේ එකක්. බස්එකේ යන්න සල්ලි නැතිව කැම්පස් ආපු උඹ යූනියන්වලින් කරගත් සමාජවාදෙ ඕක නේද කියලා සමීරයා මට නිතර විහිලු කරනවා. මං කිව්වා මං ටියුෂන් කරලා එකතු කරගත් සල්ලිවලින් ගත්තෙ කියලා. ඒත් ඌ දන්නවා සෙකන්ඩ් යර් එකෙන් පස්සෙ මං කළ ටියුෂන් පංතියක් නෑ කියලා.
‘අලුත්ම මෝටර් සයිකලේ නැගලා වීරයා වගේ එන ශිෂ්‍ය සංගම් සභාපති දිහා නිල තුරඟුට නැගලා එන සපුමල් කුමාරයා දිහා බලනවා වගේ ෆැකල්ටියේ ඉන්න ගොං ජුන්නියෝ බලන්නෙ, ඔය බයිසිකලේ හොඳයි තොට තවත් බඩුවක් දෙකක් ගොඩදාගන්න‘ කියලා අපේ බැචියො නිතර නෝන්ඩිය දානවා.
අප්‍රේල් 11
බයික්එකේ ඇවිත් ලයිබ්රරිය පිටිපස්සෙ නවත්තලා යූනියන් වැඩකට බැංකුවට යද්දි, ගල්කණු යට ඉඳන් මං දිහා උනන්දුවෙන් බලං හිටි අලුත්ම බැච් එකේ ඇන්ටිරැගින් කෙල්ලක්ගෙ දුඹුරුපාටට හුරු දීප්තිමත් කළු ඉංගිරියාව මගේ ඇස්දෙකේ පැටලුණා. ඒකිනම් මාරම ලස්සනයි. සිංහල වචන පටල පටල අනික් අලකෑලි එක්ක ඒකි හුරතලේට කතා කරන විදිහ අහං ඉන්න මං දෙතුන් පාරක් සෙනට් එක යට එහාට මෙහාට සක්මන් කළා. කොල්ලෙක් කවද හරි බඳිනවනම් බඳින්න ඕනා ඒ වගේ කෙල්ලක්.
නමක් නැති එයාගෙ ඇත්තම නම අචිනි. අචිනි දුනුවිල.
අප්‍රේල් 12
කළින්දා පැටලුණු අචිනිගේ කළු ඉංගිරියාව රෑ එළිවෙනකම් ම මගේ ඇහැ පියවන්න දුන්නෙ නෑ. උදේම, කම්පියුටර් ක්ලාස් එකකදී යාලුවුණ ඇන්ටිරැගින් ගෑණු ළමයෙක්ගෙන් අචිනි ගැන ඇහුවා. අචිනි නුවර. තාත්තා ඩොක්ටර්. අම්මා ටීචර්. අචිනි පවුලෙ එකම දරුවා. ‘උඹ කියන විදිහට අචිනිත් උනන්දුයිනම් මං කතා කරන්න බලන්නම්’ යාලුවා කිව්වා.
‘හැබැයි මේ වැඬේ පරිස්සමට කරන්න වෙනවා. මේක අපේ උන්ට ආරංචි වුණොත් උන් කියයි, ඔයා ශිෂ්‍ය සංගමේ සභාපති. නාට්ටියක් බලන්න සරච්චන්ද්‍ර වළට ගිය අපේ කට්ටියකට ගිය මාසෙ අලයො කියලා අසූචි ගැස්සෙව්වා. දැන් අන්තිමට ලැජ්ජා නැතිව එයා අපේ එකියක්ගෙම පස්සෙන් වැටිලද? කියලා.’ අන්තිමට ඒවට උදව් කරනවා කියලා මටත් නිකරුණේ බැණුම් අහන්ඩයි වෙන්නෙ. එයා තවදුරටත් කිව්වා.
ජූනි 06
ශිෂ්‍ය සංගමේ වැඩ වලට සෑහෙන බිසී වුණා පහුගිය කාලෙම. විශේෂයෙන් පේරාදෙණියේ සභාපති හැටියට නිතර නිතර කොළඔ යන්න වුණා. ඒ විතරක් නෙමෙයි අන්තරේ වෙනුවෙන් පවත්වපු මාධ්‍ය සාකච්ඡා ගණනාවකදී මට නූතන ලාංකීය ශීෂ්‍ය ව්‍යාපාරය ගැන කතා කරන්න ලැබුණා. දවස් තුනකිනුයි අද පේරාදෙණියට ආවේ.
අචිනිට දවස පුරා ලෙක්චර්ස් තිබ්බ නිසා ගොඩක් කතා කරන්න උනේ නෑ. හරියට ම හවස 05 වෙද්දි තාත්තගේ කාර්එක ඒටි එක ඉස්සරහට ඇවිත් තිබ්බා එයාව එක්ක යන්න.
සැප්තැම්බර් 10
නදී කාලෙකින් මට මැසේජ් එකක් එවලා තිබ්බා ගෑනු චෝදනා ගොඩකුත් එක්ක. ඒ චෝදනාවන්ගෙන් බහුතරය හිතලු. මං ටියුෂන් දෙන්න යන ගෙවල්වල ළමයින්ගෙ අම්මලා එක්ක පවා යාලු වෙලා ඉන්නවා කියලයි කියලා තිබ්බෙ. මං උත්තර යවන්ඩ ගියේ නෑ.
මං දන්නවා ඔය බොරු නදීට කියන්නෙ කවුද කියලා. ඕක කරන්නෙ සෙව්වන්දි. කැම්පස් එකේ තිබිලා එළියට ආපු මගේ පොඩි පොඩි පළහිලව් ඕකි දැනන් හිටියා තමයි. නමුත් දැන් ඕකි බොරු දේවලුත් ගොතලා නදීට කියනවා. දවසක් ඕකිට බැන්න වෙලේ ඉඳන් ඕකි මං ගැන හොයනවයි, නදී අවුස්සනවයි වැඩි. නදීට උත්තර යවන්න මට හිතෙන්නෙ නෑ. එයාට මගෙ ප්‍රශ්න අදාල නෑ.
අචිනිගෙයි මගෙයි සම්බන්ධය විතරක් තවම නදීට නොගියේ අචිනි ඇන්ටිරැගින් වීමත් මම ශිෂ්‍ය සංගම් සභාපති වීමත් නිසා. මේ කාරණේදී මම සෑහෙන පරිස්සම් වුණා. අචිනිව ටික වෙලාවකට මුණගැහුණත් ඒ එළියෙදි විතරයි. ඇත්තටම කියනවානම් එස්එම්එස් තමයි අපේ ආදර සංවාද පවත්වාගෙන ගිය මූලිකම රැහැන.
ඔක්තොම්බර් 02
ගං වතුර නිසා රටෙන් කාලක් විතර අවතැන් වුණා. ඒ නිසා ශිෂ්‍ය සංගමය හැටියට අපි තීරණය කළා ‘මාගේ දේශය අවදිකරනු මැන’ ශිෂය සාහිත්‍ය උළෙල නවත්තලා දාන්න. කැටවලින් සහ වෙනත් ආධාර වලින් කලා උළෙලට එකතු වුණ ලක්ෂ ගාණක් වූ අරමුදල් ගංවතුරෙන් විපතට පත්වූ අයට දෙන්න ශිෂ්‍ය සංගමය හැටියට අපි තීන්දු කළා. සභාපති හැටියට මාත් අනික් දෙතුන් දෙනාත් මේ සල්ලි වියදම් කරන හැටි ප්ලෑන් කළා.
‘අපි අපේ අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගෙන තියෙන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන්. ඒ නිසා මේකෙන් අපි එදිනෙදා නඩත්තු වෙලා විතරක් හරියන්නෙ නෑ. අනික් වුන්ට විතරක් හෙටක් හදලා දීලා අපි නතරවෙන්නෙ කොතනද හෙට? ඒ නිසා අපේ අනාගතය ගැනත් අපි කල්පනා කරන්න ඕන‘ සූටිං සහෝදරයා, ඒකියන්නෙ ලේකම් සහෝදරයා හැම මධු සාදයකදීම වගේ සීරියස් වෙනකොට මේ කරුණ රහසින් මගේ කණට කීවත් ඒ වෙනකොටත් මට ඒක ඒත්තු ගිහින් තිබුණේ.
මොකද අචිනිගේ සම්බන්ධය දවසින් දවස මාව මහපොළවට ඇදලා දානවා.
මොකද අචිනිගේ සම්බන්ධය දවසින් දවස මාව මහපොළවට ඇදලා දානවා.
දෙසැම්බර් 10
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් හම්බ වුණා. මේක සෑහෙන කලක් මං වගේම මගේ අනික් මිතුරන් ඔක්කොම බලන් හිටි දෙයක්. හැමෝටම සතුටුයි. අපේ අයට විතරක් නෙමෙයි වෙන කැම්පස්වල අයත් සෑහෙන්ඩ සුබ පැතුවා කාලෙකින් පේරාදෙණියට මේ තනතුර ආපු එක ගැන සතුටින්.
තුන්වැනි දිනපොත
ජනවාරි 03
‘මේ තරහා වෙලා හිටියා හොඳටම ඇති. අපි මේ සුමානෙ මුණ ගැහෙමු’ කියලා මං නදීට මැසේජ් එකක් ගහන්න ගියා. ඉවසලා ඉවසලා බැරිම තැන. කොයි දේ වුණත් නදී කියන්නෙ මගේ මුල්ම ආදරේ. මට එයා අමතක කරන්න අමාරුයි. මාස ගණන් තරහ වෙලා ඉන්න එක පහුගිය අවුරුදු දෙක තුනේ ම අපි සාමාන්‍යයෙන් කළා. අන්තිමට යාලු වුණා. දෙන්නට ම ඇති වුණාම.
අචිනිගෙත් මගෙත් සම්බන්ධය එයාගෙ ගෙදරට අහු වුණාම එයාගෙ ගෙදරින් අචිනිට හොඳටම දොස් කියලා තිබ්බා. ඕයවගේ කාත් කවුරුත් නැති හිඟන්නෙක්ට දෙනවට වඩා හොඳයි ඕකිව කපලා ගගේ මුහුදේ දානවා කියලා අචිනිගෙ තාත්තා බිත්තියේ ඔළුව හප්පං කියලා තිබ්බා. අපේ සම්බන්ධය නවත්තන්න එයාටත් මටත් කොහොමටවත් බැරි වුණත්, එයාගෙ විශ්වවිද්‍යාල ගමන ගෙදරින් නවත්තන එක නවත්තන්න ඕන නිසා මං පොරොන්දු වුණා එයාට කරදර නොකර ඉන්න. ඒ දේ කොහොමත් කරන්න බැරි බවත් තමා කොහේ හරි එක්ක යන ලෙස අයදිමින් අචිනි මගේ උරහිසේ තදින් දෑස හොවාගෙන වැළපුණා.
මගේත් නදීගේත් අවුරුදු අටකට ආසන්න ප්‍රේමයේ අදට ශේෂ ව ඇති හැඟීම් තුළ, එකිනෙකා අතර තිබූ ගෞරවය හීන කරලා. හැඟීම් දියාරුවෙලා. අවංකභාවය හාස්‍යයක් බවට ලක් වෙලා. එකිනෙකා හා තරහ වී මාස ගණනක් සිටීම ක්‍රීඩාවක් වෙලා.
ඒත් ක්‍රීඩාවේ අතරමැද කාලය තුළ තාවකාලික ප්‍රේමවන්තියන්ගේ ලෝකයේ ඉසිඹුවක් ලැබීමට වැඩි අවකාශයක් විවිර කළ නිසා ඒ ක්‍රීඩාව ජීවත් කරවීමට මට දිරි දුන්නා. හැබැයි නදී එහෙම දේවලට යොමු වුණේ නෑ කියලා මම දන්නවා.
මේ ගැටලුත් එක්ක නදී ගැන ආයෙමත් සානුකම්පිතව හිතන්න මගේ හිත පෙළඹුනා.
ඒත්, මං නදී ගහපු මැසේජ්එක යවන්න යනකොටම ‘මං ගෙදරින් කියන එකකට කැමති වෙනවා. තමුස මහ තක්කඩියෙක්’ කියලා එයා මැසේජ් එකක් එව්වා. ඒක කියවද්දි මට තරහා ගියා. ඉතිං මං නිකං හිටියා. හැමදේම වෙන්නෙ හොඳට.
ජනවාරි 05
ආණ්ඩුවේත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික දූෂණ ගණනාවකත් රහසිගත ලිපි ලේඛන ගණනාවක් අපිට ලැබිලා තිබ්බා. ඇතැම් ඒවා යම් යම් පොදු ඉදිකිරීම් හා සැකකටයුතු මිළදීගැනීම් සම්බන්ධ ටෙන්ඩර් ගණුදෙනු. තවත් ඒවා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික දේපළ හා අමාත්‍යාංශ මුදලින් ඔහුගේ භාවිතය සඳහා ප්‍රශ්නකාරී ආකාරයට මිළදීගත් වාහන ආදිය ගැන ලියවිලි. ප්‍රමිතියක් නැති පෞද්ගලික විශ්වවිද්‍යාල පටංගන්න පිටරට සහ මෙරට ව්‍යාපාරිකයින්ට මුදලට ලබාදුන් අනුමැතිය සම්බන්ධ ලිපිගොණු රාශියක් ද ඒ අතරේ තිබ්බා. මාධ්‍ය මගින් මේවා එකින් එක හෙළිදරව් කරන්න අපි තීන්දු කළා.
ජනවාරි 19
අද අමුතු වැඩක් වුණා උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙ ලේකම් මට කතා කරලා කිව්වා ඉතාම වැදගත් කාරණාවකට ඇමතිතුමා මුණ ගැහෙන්න දිනයක් දෙන්න කියලා. මං එකපාර දිනයක් නොදුන්නත්, රහසිගත සාකච්ඡාවක් ඕනෙ කිවුව නිසා කාටවත් කිව්වෙ නෑ.
නදී දවස පුරා දිගින් දිගටම විකාර කිය කිය මැසේජ් කළා. මං උත්තර දෙන්ඩ ගියෙ නෑ.
ජනවාරි 26
තවත් මාධ්‍ය සාකච්ඡා ගණනාවක් තිබ්බා. උසස් අධ්‍යාපනයට වෙන් කළ මුදල් අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් කීපදෙනෙක් අවභාවිත කළ ආකාර අපි එකින් එකට සැලැස්මකට අනුව හෙළිදරව් කළා. මේවා විකෘතිකරන ලද පෞද්ගලික මඩ බවත් ඒ නිසා ඒවා මාධ්‍යවල පළ නොකරන ලෙස ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව, හිතවත් මාධ්‍යවලින් ඉල්ලා හිටිය බව අපිට ආරංචි වුණා. ඇතැම් මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්තිවලට අපේ ප්‍රෙස් කන්ෆරන්ස් එක දුන්නෙ නෑ. තවත් ඒවගෙ දුන්නෙ අතුරු ප්‍රවෘත්තිවලට. ඒත් සමහර වෙබ්සයිට් හා ඇතැම් මාධ්‍ය වලින් මේ කාරණා ඕනාවටත් වඩා එළියට ආවා.
මාධ්‍ය සාකච්ඡාවේදී දක්ෂ ලෙස කරුණු විශ්ලේෂණය කළ හැටින් ඉදිරිපත් කළ හැටිත් ගැන බොහෝ දෙනෙක් මට ප්‍රසංශා කළා.
පෙබරවාරි 10
අචිනියි මායි ඉඩමක් බලන්න ගියා ගෙලිඔය. අන්තරේ වැඩ නිසා උපාධිය පරක්කු වුණත් මගේම සල්ලිවලින් ඉඩමක් ගන්න එක ගැන එයා සතුටු ඇති.
‘ඔයා ඔහොම පාරවල් ගානෙ රස්තයාදුවෙලා, කඳුලුගෑස් කකා දුවද්දි, හැමදාම මාධ්‍ය සාකච්ඡා තිය තිය අරයා හොරකම් කළා මෙයා හොරකම් කළා කියලා කිය කිය ඉද්දි තාත්තිලාට තරහ යන එක අහන්න දෙයක්ද?. එයා කියන හැටියට, මේ ඇමතිලා හොරු වෙන්න පුළුවන් වුණත් ඔයගොල්ල ඔහොම කරන්නෙ ඔයාලට අල්ලගන්න බැරිවුණ දෙයක් ගැන වෛරයෙන් ලු. ඔයගොල්ල ඕය තැනට ආවොත් ඊට වඩා අන්ත වනවා කියලයි ඔය හැසිරීම තුළ තියෙන්නේ රටට තියෙන ආදරයකට වඩා සමාජය කෙරේ වෛරයක් කියලා හැමවෙලේම තාත්ති මට බණිනවා. ඒගොල්ලන් විශ්වවිද්‍යාලෙ ඉඳිද්දි ඕවා කළේ නැල්ලු’ ඔයදේවල් පැත්තකින් තියලා අධ්‍යාපන කටයුතු ඉස්සරහට ගෙනියන්න කියලා අචිනි බැගෑපග් වෙනවා.
තව හිතන්න වෙනවා...
පෙබරවාරි 11
ඇමතිතුමාගෙන් ආයෙමත් පණිවිඩයක් ආවා. අද ගියා ඇමතිතුමා හම්බවෙන්න. ඇමතිතුමා කියන්නේ මේ ලියවිලි මාධ්‍යවලට දීලා නිවුස් හදන වැඬේ නවත්තන්න කියලා. ඒ වෙනුවට එයා ළඟට එන ලෙස ඔහු කිව්වා. මං ගත් කටටම බෑ කිව්වා.
අඩුම ගානේ තමන්ගේ පෞද්ගලික තොරතුරු සහිත නිවුස් නවත්තන ලෙස ඇමතිතුමා ඉල්ලීමක් කළා. මං ආයෙමත් බෑ කිව්වා. බැරිනම් බලාගමු කියලා ඇමතිතුමා අඩිය බිමගැස්සුවත් මං හිනාවක් දාගෙන ගානක් නැතිව නැගිටලා ආවා.
අප්‍රේල් 13
මෝටර් බයිසිකලේ මාරු කරලා අලුතින් ම වෙන එකක් ගත්තා. කළින් තිබ්බ එක පරණ පාටයි. ටිකක් අංකල් ටයිප්. මං ඒකෙන් යන එක විකාරයි. අචිනි කවදාවත්ම නොකිව්වත් ඒක අචිනිලාට හොඳත් නෑ කියලා හිතෙනවා.
අප්‍රේල් 14
අචිනියි මායි ගෙදරට හොරෙන් එන්ගේජ් කළ බව නදීට ආරංචි වෙලා. අපේ එන්ගේජ් එකට අත්සන් කළ අපේම යාලුවෝ ඕක පතුරලා ඇති කැම්පස් එකේ. ‘ආං අපිව අන්ද අන්ද ඉඳලා අන්තිමට සුසන්ත අය්යා හොරෙන්ම අර අචිනි කියන අල කෑල්ල බැඳලා..’ ඕක සෙව්වන්දිට. එයාගෙන් නදීට.
නදී මට බැනලා මැසේජ් එව්වා. අචිනිගේ ෆෝන් නම්බර් එක හොයාගෙන, එයා මුණ ගැහෙන්න කැම්පස් එකට එන බව කියලා අචිනිටත් තර්ජනය කරලා. එයා හොඳටම බයවෙලා කොහෙවත් ඉන්න නොදන්න ගෑනියක් තර්ජනය කරද්දි. ඇයි මේ දේ අද වෙනකන් නොකිව්වෙ කිය කියා අඬනවා ගෙදරට වෙලා. අලුත් අවුරුද්ද එහෙම්පිටින්ම නැතිබංගස්ථානයි.
අප්‍රේල් 16
වැඩිපුරම හිටියෙ කොළඹ. ඇමතිගෙන් එන කෝලුත් නදීගෙන් එන කෝල් සහ මැසේජුත් සීමාවක් නෑ. ඒ නිසා මං ෆෝන් නම්බර් එක මාරු කළා.
අප්‍රේල් 23
ඊයෙ රිපීට් එකක් ලියන්න පේරාදෙණියෙ ආවා. එග්සෑම් එක ලිව්වට වැඩේ අවුල් වගේ. රෑ එළිවෙනකම් පාර්ටි. පේරාදෙණියට ආවොත් හැමදාම වගේ බෝතල් පහ හයක් සෙට් වෙලා තියෙනවා.
අප්‍රේල් 24
සමීරයගේ නොම්බරේ හොයාගෙන නදී මට කෝල් කළා. මීට පස්සෙ එයාගෙ කෝල් උස්සන්න එපා කියලා මං සමීරයට බැන්නා. නදී අහපු දේවල් එකකටවත් මට දෙන්න උත්තර තිබුනෙ නෑ. එයා කියන දේ අහං ඉඳලා වචනයක්වත් නොකියා ෆෝන්එක කට් කළා.
අපි කාටවත් ආයෙමත් හැරෙන්න බැරි තරමට දැන් සෙල්ලම දුරදිග ගිහින් ඉවරයි. ඒ සෙල්ලම මෙච්චරට දුර යනකම්ම මගේ හෘදසාක්ෂියට මේතරම් බරක් දැණුනෙ නෑ.
අප්‍රේල් 26
හෙට කැම්පස් එකට ඇවිත් හොඳ පාඩමක් උගන්නන්නම් කියලා නදී අචිනිව බය කරලා. බය නොවී ඉන්න කියලා මං අචිනිට කිව්වා. අනික දැන් අපි දෙන්නා බැඳලා නිසා එයා මොනවා කරන්නද? හෙට ආයෙමත් කොළඹ යන්න ඕනා. අපිට ලැබුණ තොරතුරු ගැන හොඳම හෙළිදරව්ව තියෙන්නෙ ලබන සතියෙ.
+++++++++++
රජයේ ප්‍රබල ඇමතිවරයකුට අයිති වූ ‘දූපත’ පුවත්පතේ පසුදින කලාපයේ මුල් පිටුවට, එහි නියෝජ්‍ය කර්තෘවරයෙක් ලියලා තිබ්බ වාර්තාව.
‘සිසු නායකයාගේ මරණය සියදිවි නසාගැනීමක්’
“ඊයේ (මැයි 11) උදෑසන ගම්පහ ගනේමුල්ල අනාරක්ෂිත දුම්රිය මගක් අසලදී හමුව තිබූ ශිෂ්‍ය නායක සුසන්ත රණේපුරගේ මරණය සිය දිවි නසාගැනීමක් බව වාර්තා වේ.
තමන් සතු නවීන අධිබලැති යතුරුපැදිය දුම්රිය දෙසට මෙහෙයවා අදාල සිසුවා සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණු අතර එහිදී විසිවී ඇති ශිෂ්‍ය නායකයා (25) අසල විදුලි කණුවක ගැටී තිබේ. එහිදී හිසට සහ පපුවට සිදුවුණු තුවාල අදාල මරණයට හේතු වී ඇති බවට සැක කෙරේ.
එසේම පසුගිය අප්‍රේල් 27වන දින පේරාදෙණිය, පැණිදෙණිය යකාපාලම අසළදී දුම්රියට පැන සියදිවි නසාගත් තරුණිය මෙම ශිෂ්‍යනායකයාගේ පෙම්වතියක බවත්, මෑතකදී ඔහු වෙනත් තරුණියක විවාහ කරගෙන ඇති බවත් පැවසෙනවා.
තරුණියගේ මරණය හේතුවෙන් මෙම ශිෂ්‍ය නායකයාට ඔහුගේ බිරිඳගේ පවුලෙන් හා සමාජයෙන් පැමිණි පීඩනය මේ සියදිවි නසාගැනීමට හේතු වී ඇත්දැ‘යි සැක කෙරෙන අතර ඒ ගැන මේ වන විට පුලුල් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.
එසේම ශිෂ්‍යනායකයා සතුව පැවති දේශපාලනික සම්බන්ධතාවන් ගැනත්, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමත්ව හිටියේද යන්න ගැනත් තම අවධානය යොමු වී ඇති බව පොලීසිය පවසයි.
මියගිය ශිෂ්‍ය නායකයාගේ සිරුර ගනේමුල්ල පළමු මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බදාදා සිදුවීමට නියමිතයි.”
රජයේ මතවාදයේත් විපක්ෂ මතවාදයේත් එකවැර සිටින, ව්‍යාපාරික දේශපාලඥයකුට අයිති වූ ‘මාතෘභූමි’ පුවත්පතේ ඊළඟ ඉරිදා සංග්‍රහයේ අතිශ්‍ය ජනප්‍රිය විශේෂාංග රචිකාවක විසින් ලියන ලද, නදීගේ හා සමන්තගේ මියගිය සිරුරුවල රූපත් ඔවුන්ගේ අතීත ඡායාරූපත් අඩංගු ඉතා සංවේදි විශේෂාංගයක් පළවෙලා තිබුණා. මියයන්නට මොහොතකට පෙර නදීට සිතුන දේ සහ සියදිවි නසාගැනීමේ තීන්දුව ගැනීමේදීත්, අවසන් හුස්ම යෑමට පෙරත් සුසන්තගේ සිතුවිලි දාමය වැඩ කරපු ආකාරය මාධ්‍යෙව්දිනිය මනෝ විශ්ලේෂණියව චිත්‍රණය කර තිබ්බා. සම්පූර්ණ පිටුවක් පුරා ලියැවී තිබූ ඒ සංවේදී විශේෂාංගයේ හිස “අනේ සිදුවුණි එවිපත නොදනිමි කාගේ දොසා” යන්න වුවත්, නූතන සමාජයේ දුක්විඳින කාන්තාව ගැන ඒ ලිපිය තුළ සමාජ විද්‍යාත්මක බරක් ලබා දී තිබුණා කියන්න පුළුවන්.
මේ එම ලිපියෙන් තෝරාගත් කොටස් කිහිපයක්.
“..මොන දේ වුණත් මේ රටට අහිමිව ඇත්තේ මිළ කළ නොහැකි තරුණ ජීවිත දෙකකි. මියගිය සුසන්තගේ බිරිඳ අද කාත් කවුරුත් නැති තත්ත්වයකට පත් වී කඳුලෙහි රස බලමින් සිටින්නීය. මේ කතාවේ අපි නොදන්න තවත් පෙම්වතියන් කීදෙනෙක් නම් සිටිය හැකිද?
..මේ තත්වයට පත්වන්නට සුසන්තට බලපෑවේ මොනවාද? ඔහු ඉතාම දිළිඳු සමාජ පංතියකින් ආ තරුණයෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවූව තම සමාජ පංතිය විසින් ගෙන ආ පීඩනයෙන් මිදෙන්නට ඔහුට බැරිවුණිද? නොඑසේනම් සුසන්තගේ මේ අධිවේගී ගමනට බලපෑ වෙනත් මානසික හා සමාජ හේතු මොනවාද?..
..අපි දිනෙන් දින මෙවන් දුක්ඛදායක ඛේදවාචකයන් අත්දකිමින් සිටිමු. දුම්රියට පනිමින්, වස පානය කරමින් ගෙල වැළලා ගනිමින් මියයන තරුණියන් සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය වැඩිවෙමින් පවතී. මේ අයුරින් මිය යන බොහෝ තරුණියන් ඇතැම්විට සල්ලාල පෙම්වතුන් අතින් විනාශ වූ අහිංසකාවියන් ය. තවත් විටක මේ සල්ලාල පෙම්වතුන් ඔවුන්ගේ කුසතුළට දරුවන් දී පලා ගොස් ඇත. තමන්ගේ සියලු ම ඥාතීන්ටත් සමාජයටත් පිටුපා ජීවහත්ත සහ දිසාලා නම් තම දරු දෙදෙන හදාගන්නට කුවේණියට හයිය තිබුණත් ඇගේ දියණියන් වන නූතන මානවිකාවට සමාජය එසේ ඉඩ දෙන්නේ නැත. ඉතිං කෝච්චියට පැනීම හැර ඈ හට කවරනම් විකල්පයක්ද?
..රටේ සාක්ෂරතාව දියුණුයැ‘යි අපි දිවා රෑ උදම් අනමු. අපේ තරම් ස්ත්‍රී නිදහසක් ලෝකෙම නැතැ‘යි පවසමු. සාක්ෂරතාව දියුණුනම් මෙවන් ඛේදවාචකයන් සිදුවන්නේ කෙසේද? විශේෂයෙන් මේ ඛේදජනක සිදුවීම බලන්න. සුසන්ත රටේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක අධයාපනය ලබන සිසුවෙක්. නදී විශ්වවිද්‍යාලයට සමත් නොවුණත් අපොස උසස්පෙළ දක්වා උගත් තරුණියක්. එසේනම් වෙමන් ඛේදවාචකවලට එවන් මානවක මානවිකාවන්ට මුහුණදෙන්න සිදුවුණේ ඇයි? අධ්‍යාපනය කියා, පාසල්වලත්, විශේෂයෙන් විශ්වවිද්‍යාලවලත් උගන්නන දේ ගැන අපි ආපසු හැරී බැලිය යුතු කාලය උදාවී නැද්ද? තමන්ගේ දරුවන් හර සුන්, සාරධර්මයෙන් බැහැර උසස් අධ්‍යාපන රටාවක අතරමං කරනවා වෙනුවට, යම් කිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දී රටටත් තමන්ටත් වැඩදායී පුරවැසියන් කිරීමට මෑතක සිට ලාංකීය දෙමව්පියන් යොමුවීමේ ප්‍රවණතාව සාධාරණ නොවේද?”
නිමි.
-ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
මේ වගේ චරිත හරියට කැම්පස් වල. ලෝකෙට පෙන්නන එකට සම්පූර්ණයෙන් වෙනස් විදිහට ඇත්ත ජීවිතේ ගතවෙන්නේ.
ReplyDeleteකතාව කියවන්නා හිස් තැන පුරවගන්න කතාවලට මම කැමතියි. තව ලියන්න!
මේ කතාවෙන් තවත් සමාජ සංස්ථා කිහිපයක් ගැන ම විචාරය කරන්න උත්සාහ කළා. උදාහරණයක් විදිහට, දේශපාලනය හා ජනමාධ්‍ය වගේ.
ReplyDeleteස්තූතියි!