Saturday, August 8, 2020

එගොඩවැල්ලේ ඇන්ටනී

 


එදා ඒ මළගමට ජාතික පුවත්පතක මාණ්ඩලික මාධ්‍යෙව්දියකු හැටියට කවියාට සහභාගීවන්නට සිදුවුණි. මේ පුවත්පතේ පළ නොවූ කොටසයි.



සුව සෙත සියලුම සතහට වදහළ මුනි ගැන පළමුව නැමද බැතින්

අව පුරයට සත නොම යන විලසට දෙසු සදහම සිහිකරමි සිතින්


නිවනට එම දම් විස්‌තර කර දුන් අට අරි සඟ පෙළ නැමැද මෙතින්

ඉව සුව නොම දෙන දුක්‌මුසු පුවතක්‌ කවියෙන් විස්‌තර කරමි ඉතින්



සකල සිරින් පිරි සිරිලංකාවේ එකමත් එක කාලෙක මිතුරූ

දේශ ප්‍රේමයෙන් කල්ගෙවනා ඒ පොළොවෙක වූ මහතෙක නපුරූ


සිදුවූ මෙපුවත කවි කර කියනට අයදිමි යළි මහතුනේ වරම් එනමුත් දුටු දේ පවසනු කෙලෙසද නොදනිමි නිතියෙන් සිතේ හැඟු‍ම්

** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** **

වැල්ලේ ඉපදුනු වැල්ලේ දිවි හැරි කොල්ලෙක් සිටි ඇන්තනී නමිනී

වසක් දොසක් නෑ සවිශක්තිය ගෙන යන්තං තිස්පස් විය ගෙවුනී


වැල්ලට රැල්ලට හබලට ඔරුවට ජීවන මහමග හුරු කෙරුණා

කාටත් කරදරයක් හෙමනෑ තනිවම දිවි දිවිමග සරි කෙරුණා


තිස්පහකින්නැගි ඉන්ධන මිළ ගැන රජයට සංදේශය යැව්නා

නෑසූක් ඇති පිළිවෙත දැක දැක අසරණ මිනිසුන් මග වැටුණා


රට පෙරලන්නට නොවේය මහතුනි අඹුදරු සුසුමන් හද පෙලුනා

පල්ලියෙ පාදිලි තුමා පෙරටු කොට ඇන්ටනි හඬනගනට යෙදුනා


දෙස්පෙම් රජයෙන් ලැබේය සහනය ධීවර හද නිතියෙන් පැතුවා

එනමුත් සුහදිනි සිදුවුනෙ අනෙකකි දෙස්පෙම් අවියෙන් දුම් නැගුණා


සොහොයුරු ධීවරයින් හය සමගින් ඇන්ටනි වැල්ලෙහි පතිත වුණා

ඔළුව දෙපලු වී හුස්ම නතර වී එසැණින් ඔහු දෙව් ලොව ඇදුණා

** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** **

‘නිකං නොවේ, පොලු මුගුරු අරං මුන් අප මරණට ආ හැටි නපුරූ

පත්තු වෙලා ගිනි අවියක් වැරදී නොදනිමි කාගෙද දොස මිතුරූ‘


ඩීඅයිජී තැන විග්‍රහ කර දුනි විස්තර අප පිළි ගෙන සොඳුරූ

කැඳවා වටයක් පෙන්වා දුන්නා එකතු වෙලා තිබු පොලු මුගුරූ 


අතින් අතට විසිවූ ගල් කැට ගැන නිවැරදි ගාණත් ගැන තිබුණා

පොලිසිය වට කළ ද්‍රෝහී පිරිසෙහි අතැ‘ති මුගුරු ගාණත් ලියුණා


‘වැල්ලෙ උපන් මුන් යක්කුම නොවේද‘ කවුදෝ කියනව මට ඇසුනා

සට සට ගා පින්තූර වදිද්දී පට පට ගා විස්තර යැවුණා

** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** **

මාගෙ දෙපා මටවත් නොදැනිමම ටික ටික ටික වැල්ලට ඇදුනා

ගෙවල් පෙළක් කොණ කුඩා පැලක් ළඟ මගෙ හදවත ගල් වී වැටුණා 


දරුවන් දෙදෙනෙකි වැළපෙන බිරිඳකි සෙනෙහෙ පහන මේ දැන් නිවුණ

දියණිය දෙණ ළඟ වැළපුණි කිරිකැටි දරුවා මව අත ගුලි ගැහුණ


පැල්පත ඉඩමදි මරණෙ තබන්නට ඇන්තනි වෙන තැනකට යැව්නා

සත්තයි සුහදිනි කිසි බසකට බෑ ඒසෝ පුවත විස්තර කරනා


ශෝකී ජනගඟ දිගට ගලද්දී යාගිනි දුක් ගී හඬ ඇසුනා

කරින් කරට සෙනෙහස පැතිරෙද්දී යමපල් හිත තුළ සැක දැනුනා


දෙවැනි කැරැල්ලක් එනු එනු නියතිය ලහි ලහියේ කඳවුරු බැඳුණා

කටු කම්බිද යුධ ටැංකිද ගිනි අවි දුක්පත් පැල්පත් වටකෙරුණා


උද්ඝෝෂණ බෑ විරෝධතා නෑ නීතියෙ දෙවඟන ඇස් ඇරුණා

දැක යුධ කෙළි දැක සෙන් සෙබෙස්තියන් මුණි සුරුවම කම්පිතවී සැලුණා

** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** ** **

අපිට රජෙක් ඕනෑය කියා අපි හඬනා ඒ කාලය මහරූ

එරුණේ රංකිරි දෙතනට නොවේය මහතුනි දෑසනි මේ අයුරූ


ඡන්දෙන් ඡන්දෙට ඉපදුන අන්ටනි ඡන්දෙන් පසු ස්වර්ගෙට යැවුනූ

තනිවූ බිරිඳකි දරුවන් දෙදෙනෙකි තවමත් ඒ වැල්ලෙහි හැපුණූ - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


No comments:

Post a Comment