Sunday, March 6, 2022

ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා සහ අපි

 


ජර්මානු සමාජ විද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු හා දාර්ශනිකයකු වූ ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර් (Oswald Spengler) තම ‘බටහිර පරිහානිය‘ (Decline of the West) නම් පොතේ සමාජයේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායන්ට (Social cycle theories) වෙනස් ස්වරූපයේ එකතුකිරීමක් කළා. ඒ  සමාජය සර්පිලාකාරව ගමන් කරන බව. ඉන් දල වශයෙන් අදහස් වුනේ සමාජය නැගීම, පරිහාණිය හා උච්ච අවස්ථාව යන අවධින් පහුකරමින් නැවතත් ප්‍රාථමික අවධියට ගමන් කරන බව. එකී චක්‍රය නියත වශයෙන් සිදුවන බවත් එය වළක්වන්න බැරි බවත් ස්පෙන්ග්ලර් කිව්වා. සැබැවින්ම මේ පියවරයන්ගේ ගමන චක්‍රාකාර උනත්, එය සර්පිලාකාර වන්නේ කාලය නියත වශයෙන් එය ඉදිරියට ඇදගෙන යන නිසා. ඒ වනවිට බටහිර ශිෂ්ටාචාරය එහි සංවර්ධනයේ අවසන් අඩවියට ළඟා වී ඇති බවත් එහි පරිහානිය වැලැක්වීමට නොහැකි බවත් ස්පෙන්ග්ලර් පැවසුවා.

මේ න්‍යායට දැඩි ලෙස විරුද්ධ වූ පාර්ශ්වයක් වූයේ සමාජයේ සංවර්ධනීය නියත පරිණාමයක් දකින ඓතිහාසික භෞතිකවාදීන් හෙවත් මාක්ස්වාදීන්. මක් නිසාද යත් ස්පෙන්ග්ලර් පෙන්නා දෙන මේ නියතවාදී සර්පිලාකාර ගමන තුළ සමාජය සඳහා මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුකළ හැකි කාරකත්වයන් වක්‍රව බැහැර කෙරෙන නිසා. මාක්ස්වාදීන්ට අනුව මේවා ධනවාදයේ සුපහසු පැවැත්ම ආරක්ෂා කරන අතුරු න්‍යායන්.

මන්ද යත් ඉන් සිදුකෙරුණු හැඟවුම් අතර ධනවාදය සමාජ පරිණාමයේ උපරිම අවස්ථාව ලෙසත් එය බිඳ වැටුණහොත් එය යළි මිලේච්ඡත්වය / ප්‍රාථමිකත්වය කරා යන බවත් කියමින් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් නොපෙනෙන පලිහක් නිර්මාණය කිරීම නිසා.

පසුකාලීනව ෆ්‍රැන්සිස් ෆුකුයාමා The End of History and the Last Man ලේඛනය තුළ මූලික ලෙස අදහස් කළේත් ධනවාදය සමාජයේ අවසන් පරිණාමීය අවස්ථාව කියන එක. නමුත් ෆුකුයාමාට වඩා ඉසියුම් වක්‍රාකාර සහායක් තමයි ස්පෙන්ග්ලර්ගේ න්‍යායන් තුළින් සමාජගත කෙරුණේ.

හැබැයි මේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායේ සත්‍යතාව හා සප්‍රමාණතාව ලෝක දේශපාලනය හෝ මාක්ස්වාදය වැනි වෙනත් විචාර සංකල්ප අනුව කවරාකාර උනත්, දශක කිහිපයක සිට ලංකාව දිහා බලද්දිනම් සමාජය ආපහු පසුපසට ගමන් කරනවා කියන එක ඉතා පැහැදිලියි.

දැන් ලංකාවට තියෙන්නේ භෞතික හා සදාචාරමය වශයෙන් අවගමනයක්. සමාජ සදාචාර පැත්තක තියලා මිනිස්සුන්ගේ ආර්ථික හා තාක්ෂණික කාරණා බැලුවත් මේක පේනවා. අද මිනිස්සුන්ට කන්න කෑම නෑ. වාහන දුවන්න තෙල්නෑ. වැඩ කරන්න ලයිට් නෑ. (දඩිබිඩියේ මේ සටහන ලියන්නේ ලයිට් කපයි කියන බයේ!), බත් පතක් උයාගන්න ගෑස් නෑ, ගෙයක් හදාගන්න සිමෙන්ති ටිකක් නෑ, බොන්න කිරිපිටි ටිකක් නෑ, උණකට හෙම්බිරිසාවකට පැනඩෝල් කෑල්ලක් නෑ, අතේ සල්ලි නෑ, රස්සාවල් නෑ, අඩුතරමේ ගොවිතැනත් නෑ. ඒ කියන්නේ අද ළංවෙන්නේ සමාජ පරිණාමයේ මූලිකම, ප්‍රාථමික අඩවියට තමයි කියලා බැලූ බැල්මට පේනවා.

නමුත් අනික්පැත්තට බැලුවාම ඒ මතුපිට පෙනුම සම්පූර්ණයෙන්ම අප රවටන සුලුයි. මන්ද යත් බහුතරය ප්‍රාථමිකත්වය වෙත ගමන් ගද්දී තවත් කොටසක් පශ්චාත් ධනවාදයේ කරණම් ගහමිනුයි ඉන්නේ. රටේ ඇති නැති පරතරය දවසින් දවස වැඩිවෙනවා.  පැන්ඩෝරාවල, පැනමාවල ධනය ගොඩ ගැහෙනවා, විදේශ රටවල් එක්ක සිදුවන ගණුදෙනු - ඩීල් පශ්චාත් ධනවාදී ස්වරූපයේ ඒවා. රටේ අත්‍යාවශ්‍ය භාන්ඩ ගෙන්නන්න විදේශ සංචිත නැතිවෙද්දි සුඛෝපභෝගී ගුවන් සංචාර යනවා. කණ්ඩ ඉල්ලලා මිනිස්සු පොරබදද්දි අධිවේගී මාර්ග හැදනවා. ඒ අනුව පේන්නේ එකම එක දෙයයි. 

අපි තමයි ධනවාදයේ නියම සුජාත පුත්තු! 

ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා තම න්‍යාය ලිව්වේ පොත්වල. ඒවා කවදාවත් භෞතික පොළවට ආවේ නෑ. ඒත් අපේ මේ ධනවාදයේ පුත්තු ස්පෙන්ග්ලර්ලාගේ න්‍යාය භෞතික පොළවේ පැළකරනින් ගමන්, අනිත් අතට තමන් කීපදෙනෙකු විසින් ධනවාදය එහි දියුණුම අඩියේ ස්පර්ෂ කරමින් සිටිනවා.

බලන්න, ඒකෙනුත් අපි තමයි හොඳටම කළේ…!

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Friday, March 4, 2022

ආදරය (Love ~ Pablo Neruda)



සුපුෂ්පිත කුසුම් බර උයන්වල

හමා එන වසත් සුවඳවිලවුන්

වේදනා දෙවනවා

ඒ ඔබ නිසා මට


ඔබේ වත අමතකව ඇත.

ඔබේ ඔය දෑත් යුග 

තවදුරටත් මතකයේ නෑ මට,

මා ලවනත තැබූ ඔය දෙතොල හැඟුමන්?


උයන් බිම්වල නිදිකිරන

ශ්වේත පිළිරූ වෙත,

ඔව්, කිසිදාක හඬක් හා 

පෙනීමක් නැති

සුදු පිළිරූවලට පවා 

ආදරේ දැනෙනවා,

ඒ ඔබ නිසාවෙනි 


ඔබේ හඬ අමතකව ඇත.

ඔබේ කෙළිලොල් හඬ,

ඔබ දෑස් යුග පවා 

මගෙ මතකයෙන් ඔබ්බෙනි


යම් සේද සුවඳ කුසුමට, 

එනයින් ඇද බැඳ තබා ඇත මා 

නොපැහැදිලි ඔබේ මතකය.


තුවාල වේදනාවෙන් දිවි හරිනෙමි.

ස්පර්ෂ කළෝතින් හෙම ඔබ

යළි සුව නොවන වේදනා දෙනු ඇති.


ඔබේ ඔය පහස 

මා වටකරනවා නිරතුරු,

මලානික පහැ බිත්ති මත

එතී තරණය කරන වැල් මෙන්


ඔබෙ ආදරය අමතකයි මට.

එනමුදු සෑම බැල්මෙක

ඇස ගැහෙන හැම කවුලුවක් පාසා

ඇඳී ඇඳී පේන්නෙම 

ඔව් ඒ ඔබේ රුවමයි 


මත්කරන ගිම්හාන විලවුන් 

වේදනා දෙවනවා 

ඒ ඔබ නිසාවෙන්මය. 


එහෙත් යළි ලුහුබඳින්නෙමි,

ආසාවන් අවුස්සන ක්ෂණික සංඥා, 

උල්කාපාත - පතිතවන වස්තූන්..


Love ~ Pablo Neruda [Translated by: Prasad Nirosha Bandara]