Friday, March 4, 2022

ආදරය (Love ~ Pablo Neruda)



සුපුෂ්පිත කුසුම් බර උයන්වල

හමා එන වසත් සුවඳවිලවුන්

වේදනා දෙවනවා

ඒ ඔබ නිසා මට


ඔබේ වත අමතකව ඇත.

ඔබේ ඔය දෑත් යුග 

තවදුරටත් මතකයේ නෑ මට,

මා ලවනත තැබූ ඔය දෙතොල හැඟුමන්?


උයන් බිම්වල නිදිකිරන

ශ්වේත පිළිරූ වෙත,

ඔව්, කිසිදාක හඬක් හා 

පෙනීමක් නැති

සුදු පිළිරූවලට පවා 

ආදරේ දැනෙනවා,

ඒ ඔබ නිසාවෙනි 


ඔබේ හඬ අමතකව ඇත.

ඔබේ කෙළිලොල් හඬ,

ඔබ දෑස් යුග පවා 

මගෙ මතකයෙන් ඔබ්බෙනි


යම් සේද සුවඳ කුසුමට, 

එනයින් ඇද බැඳ තබා ඇත මා 

නොපැහැදිලි ඔබේ මතකය.


තුවාල වේදනාවෙන් දිවි හරිනෙමි.

ස්පර්ෂ කළෝතින් හෙම ඔබ

යළි සුව නොවන වේදනා දෙනු ඇති.


ඔබේ ඔය පහස 

මා වටකරනවා නිරතුරු,

මලානික පහැ බිත්ති මත

එතී තරණය කරන වැල් මෙන්


ඔබෙ ආදරය අමතකයි මට.

එනමුදු සෑම බැල්මෙක

ඇස ගැහෙන හැම කවුලුවක් පාසා

ඇඳී ඇඳී පේන්නෙම 

ඔව් ඒ ඔබේ රුවමයි 


මත්කරන ගිම්හාන විලවුන් 

වේදනා දෙවනවා 

ඒ ඔබ නිසාවෙන්මය. 


එහෙත් යළි ලුහුබඳින්නෙමි,

ආසාවන් අවුස්සන ක්ෂණික සංඥා, 

උල්කාපාත - පතිතවන වස්තූන්..


Love ~ Pablo Neruda [Translated by: Prasad Nirosha Bandara]

1 comment:

  1. ඉමිහිරි සංවේදනා ඇති කරන විශිෂ්ට පදපෙළක්..අපූරුයි ..ජය වේවා..

    ReplyDelete