Tuesday, June 16, 2015

සිරිවර්ධන පවුල අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස



සිරිවර්ධන පවුල

අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස


සිරිවර්ධන පවුල බලන්නට යනවාය කී පසු මාගේ හිතවතෙක් කීවේ රාජිතගේ මෙදා පොටේ නාට්‍යනම් එතරම් හොඳ නැති බව ය. හොඳ සහෘදයකු ලෙස මා තුළ විශ්වාසයක් ඇති ඔහු කී ඒ වදනින් මාගේ බලාපොරොත්තු තරමක් බිඳී ගියේය. ඒ, යුගයේ ප‍්‍රමුඛතම නාට්‍යකරුවකු මෙන්ම කවදාත් වෙනස් වැඩක් කරන්නකු යන රාජිත දිසානායක පළිබඳ අප තුළ ගොඩනැගී තිබූ විශ්වාසය නිසා ය. කෙසේ වෙතත්, බලන්නට කළිං කෘතිය පිළිබඳ විචාරයක් අහන්නට නුවමනා මම මිතුරා එසේ කීවේ මන්දැ'යි ප‍්‍රතිප‍්‍රශ්න නොඅසාම කරබාගතිමි.

              නාට්‍යය නැරඹීමට වාඩි වූ මොහොතේ සිට ම මා මිත‍්‍රයා කියූ දෙය එතරම් සාධාරණ නොවන බව ක‍්‍රමයෙන් වැටහෙන්නට විය. ඔහු කියූ කතාවෙහි කිසියම් සත්‍යයක් තිබුණිනම් ඒ කතාවේ මතුපිට අර්ථයෙන් පමණ ය. කතාවේ මතුපිට අර්ථය කිසියම් සරලභාවයක් පෙන්නුම් කළ ද ඒ තුළින් ඉඟි කරන සංකේතමය අර්ථයන් පශ්චාත් ධනේශ්වරයේ සහ එහි ම අතුරු පළයක් වන වෙළඳ මාධ්‍යයකරණයේ සියුම් තැන් ගැඹුරින් ස්පර්ශ කරනවා පේන්නට තිබුණි.

රාජිතගේ නාට්‍යය කලාව අල්පෝත්තිමය ලක්ෂණයන්ගෙන් හෙබි සුවිශේෂී එකක් ලෙස ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් හඳුන්වා දී තිබුණේ, ඔහුගේ නාට්‍ය කලාව සතු මතුපිට සරල ලක්ෂණයන් අතික‍්‍රමණය කරන එකී සියුම් හුයවලට ඉඟි කරන්නට ය. ඒකී හුය නිසි පරිදි දිගහැර පූර්වාපර සංධි ගලපාගන්නට බැරි වීම හේතුවෙනි මාගේ යට කී මිත‍්‍රයා සිරිවර්ධන පවුල පිළිබඳ ඔහුගේ තක්සේරුවට ඇවිත් තිබුණේ.

                වෙළඳ මාධ්‍යයකරණය විසින් නිර්මාණය කර දෙන ලද අවශ්‍යතා හා පරමාදර්ශයන්ට අවනත කෙරුණු පහළ මධ්‍යම ප‍්‍රාන්තිකයැ'යි කල්පනා කළ හැකි පවුලක ඛේදවාචකය මේ නාට්‍යෙයහි උඩු පෙළ ඔස්සේ ගලා යයි. පවුලේ මව ගුරුවරියක වන අතර පියා ද විශ‍්‍රාම ලත් රාජ්‍ය නිළධාරියෙකි. තමන්ට වඩා තම දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහළ තැනකට ගෙනයෑම ආධ්‍යාශ කොටගත් ඔහු වාමාංශික නැඹුරුවක් සහ මනා දේශපාලනික සවිඥානයකින් හෙබි අයෙකි. මේ පවුලේ සෙසු සාමාජිකයින් වන්නේ රූමත් තරුණ දියණිය සහ සුපුන් නම් බාල පුතා ය. සම්භාව්‍ය සංගීතයටත් පියානෝ වාදනයටත් ආධ්‍යාත්මිකව නැඹුරුව සිටි සුපුන් කුමන හෝ හේතුවක් නිසා ඉන් විතැන් කර වානිජ ස්ටාර් තරගයක තරග කරුවකු දිහාවට තල්ලූ කර ඇත. කෙසේ වෙතත්, සුපුන් ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කිරීම තම පවුල ගොඩයෑමේ එකම මාර්ගය බව ඔහුගේ මව මෙන්ම අක්කාද තරයේ විශ්වාස කරති.

                වාණිජ රියැලිටියේ ආක‍්‍රමණය කොතරම් බිහිසුණු සහ සූක්ෂ්ම එකක්දැ'යි පෙන්වා දෙන්නට සරුවපිත්තල වහන්තරාවන්ගෙන් ඈත් වී මහපොළවේ යථාර්ථයත් සමග ජීවත් වන පියෙකු සහ තරමක් හෝ විචාර ශක්තියකින් හෙබියැ'යි සිතිය හැකි ගුරුවරියක විසින් මෙහෙය වන මෙවන් පවුලක් තෝරාගැනීම සූකර ය. කතාව ආරම්භයේදීම දියණිය තම මවට කියන්නේ මල්ලීගේ ජනප‍්‍රිය වීමත් එක්ක ගෙදර ඇති පරණ පුටු සෙටි එක වෙනුවට අලූත් පුටු සෙටියකුත් ටීවී එකකුත් මිළදී ගත යුතු බවය. එසේනම් ඉන් ඉඟි කරන්නේ මේ රියැලිටි කුණාටුව හඹා ගොස් ඇත්තේ රූපවාහිණී යන්ත‍්‍රයක්වත් භාවිත නොකරන නිවසකට බවද? මේ ධනවාදී වෙළඳ කුණාටුවට ලාංකිකයින් සැබෑවටම කොතරම් හසු වුණේද යත්, එල්ටීටීඊ සංවිධානය තම ගුවන් ප‍්‍රහාරයන් බාධාවකින් තොරව සිදුකිරීමට ලාංකිකයින් රියැලිටි සයුරේ කිමිදුණු රාත‍්‍රීන් තෝරාගත් බවට ඒ දවස්වල කියැවුණා මතකය.

සුපුන් රියැලිටි තරගයක තරග වදිනවාට පියා මුල්කාලීනව දැඩි සේ විරෝධය දක්වයි. වැඩකට නැති දේවල් නොකර අධ්‍යාපනය කරා යොමුවිය යුතු බව ඔහු නිතර අවධාරණය කරයි. ඔහුගේ සිත සෑදිමට මවත් දියණියත් කොතරම් උත්සාහ කළත් ඔහු ඊට කණ් නොදේ. එසේ නමුත් හදිසියේ පිටතදී දැනුණ ප‍්‍රතිචාර ඔහු හාත් පසින් වෙනස් කරයි. මුළු රටම ඔහුගේ පුතා ගැන කතා කරන අතර, වෙනදා කතා නොකරන යාලූ මිත‍්‍රයින් පවා වාහන නවතා ඔහු සමග කතාබස් කරයි. ඔහුව බලහත්කාරයෙන් වාහනයට නංවාගෙන ඇරළවයි. වෙනකක් තබා ඔහු අවසන ඔහු එන්නේ කරන්නට ගිය වැඩය ද අමතක කරමිනි. මෙය එක්තරා අතකට, ධනවාදයේ තාවකාලික සංතෝෂම්වලින් උත්තේජනය වී කරන්නට යන රාජකාරිය ද අමතක කර ධනවාදයෙහිම ව්‍යාවෘත වන අද්‍යතන ලාංකික වාමාංශයේ ඛේදනීය ඉරණම සිහිකවරයි.

රටට පරමාදර්ශ ගොඩනගා දෙන මාධ්‍යයේ එකම පරමාදර්ශය ලාභයයි. මෙතෙක් කල් තම පරමාදර්ශන් ලෙස හුවාදක්වමින් රට හමුවේ තහවුරු කළ ඊනියා පරමාදර්ශයන් ලාභය හමුවේ  වෙනස් කරන්නට ඔවුන්ට ගතවන්නේ මොහොතක් පමණි. එහිදී අඩු තරමේ සදාචාරාත්මක විළියක්වත් ඔවුන්ට නොදැනේ.  අදාල ආයතනය තම ප‍්‍රධාන ව්‍යාපෘතිය වන සුපුන් සහභාගී වූ රියැලිටි තරගයට එකවැර තාවකාලිකව නවත්වන්නේ ක‍්‍ර‍්‍රිකට් මැච් එක විකාශනය කිරීම ඊට වඩා වාසිසහගත හෙයිනි. වෙනස් පුද්ගලයින් සේ පෙනී ඉඳීම, මොස්තර කිරීම, ඇහැ පිනවීම, ආකර්ශනය සහ රියැලිටිය සිය ධර්මය සේ පෙන්වූ මාධ්‍ය ආයතන නියෝජිතයා වන ජයන්ත සර් එකරැයින් වෙනස් වී කටට දිවට නොදැනෙන්න ඒවා වැඩක් නැති දේවල් බව පවසයි. ඔහු පවසන්නේ දැන් තමා කල්පනා කරන්නේ ආධ්‍යාත්මික අතින් ගොඩයෑමට බවයි.  ජීවිතයේ සැබෑ රියලිටිය එය බව ඔහු පවසයි.

ජීවිතයේ සැබෑ රියලිටිය දන්නා මේ ධනවාදී නියෝජිතයා ධනවාදයේ ඇඟිලිකරු අතරින් ගිලිහෙන දෙයක්වත් පිටතට යන්නට ඉඩ නොදේ. ජනතා ආකර්ශනය ලබමින් රියැලිටි තරගයන්ගෙන් දිනන්නනම් හම් සපත්තු කුට්ටම් හතක්වත් තිබිය යුතු බව ඔහු තරගකරුවන්ට නිර්දේශ කරයි. දෙවනුව, තමංම ලෙදර් සපත්තු කඩයක් ආරම්භ කරන ඔහු එයින් සපත්තු ගන්නට ඔවුන් පොළඹවයි. තවත් අතකින්, හිසේ ජෙල් ගා - හම් සපත්තු පැළලඳ ජයගත හැකි ගායන රියැලටි තරගයේ  රියැලටිය ගැන මෙහිදී පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල උත්ප‍්‍රාසයක් මතු කරයි.

කොටට ලස්සනට අලූත් මෝස්තරේට ඇන්දාම හැඩට පේන නිසා ස්ටාර් තාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ගැලපෙනවායැ'යි කළිං කී සුපුන්ගේ අක්කාටම ජයන්ත සර් මේ අධ්‍යාත්මික වැඩසටහන ඉදිරිපත් කරන්නට ආරාධනා කරයි. අවසන එහිදී ඔහු තම පුතා තරුවක් කිරීමේ සිහිනය පසුපස හඹාගොස් රටට ලෝකයට ණය වී හෙම්බත්ව සිටින සිරිවර්ධන පවුලට නිර්දේශ කරන්නේ ආගමක් වැනි හරවත් ආධ්‍යාත්මික මාර්ගයකටත් වඩා මෙරට මාධ්‍ය ආයතන විසින් උදේ හවස අති අවධාරණය කරන (විකුණනු ලබන) ඊනියා ධනාත්මක චින්තන අභ්‍යාසයක් ය. නාට්‍යය අවසන් වන්නේ, තම පවුල ගොඩගැනීමේ ඊළඟ විකල්පය මේ කියන ආධ්‍යාත්මික රියලැටිය ලෙස විශ්වාස කරන තරමට සිරිවර්ධන පවුල ධනවාදී මාධ්‍යයේ එකී තහවුරුව ද වැළඳ ගැනීමට සූදානම් වන තැනිනි.

නාට්‍යයේ යටි හුයෙහි ගමන් කරන තවත් වැදගත් චරිත දෙකක් වන්නේ සජිනි සහ ඇයගේ මවයි. සුපුන් පියානෝව ඉගනගන්නේ සජිනිගේ මවගෙනි. ඇගේ නිවස අව්‍යාජ සංගීතමය අසපුවකි. සුපුනුත් සජිනිත් අතර අප‍්‍රකාශිත පේ‍්‍රමයක් දලූලමින් ඇති බව පේනනට තිබේ. මේ අදෘෂ්‍යමාන චරිත දෙක විටින් විට පැමිණ නාට්‍යය එහි මතුපිට තලයේ සිට විවිධ අභ්‍යන්තරික අර්ථයන්ට රැගෙන යෑම සඳහා කවුලූ සපය යි. විටෙක ඔවුන් මතුවන්නේ ලාංකීය තාරුණ්‍යය හා සිංහල මනස තුළ අනෙකා පිළිබඳ පවතින අතාර්කික විචාරයන්හි තරම පෙන්වා දෙන්නටය. විටක බටහිර සහ ඉංගීසි භාෂාවට එරෙහිව ඇති ඊනියා ජාතිකත්ව මානසිකත්වයේ හිස්බව පෙන්වා දෙයි. තවත් විටක මොවුන් දෙපෙළ සැබෑ සංගීතයේ හා සංස්කෘතියේ නියෝජනයන් ය.



 සුපුන් ස්ටාර් තරගයට සූදානම් වන බොහෝ වේලාවට සජිනි මතක් කරයි. මේ තරගය නවතා නැවතත් පියානෝ පුහුණුවට යා යුතු බව කියයි. තවත් විටක සජිනි ඔහුගේ නිවසටත් මිත‍්‍රයින්ටත් දුරකථන ඇමතුම් ලබා දේ. අවසන ඇය ඔහු නමට ලිපියක් එවයි. සුපුන්ගේ මව ඒ ලිපිය දෙස අවධානය යොමු නොකරම පසෙකට තබයි. මන්ද යත් ඒ වනවිට ඇයගේ අවධානය යොමුව ඇත්තේ ආධ්‍යාත්මික රියැලිටිය දෙස හෙවත්  වානිජ සංස්කෘතිය තුළින් මවා දුන් දෙය දෙස ය. පෙර කීවා සේ, සජිනි සහ ඇගේ මව නාට්‍යය පුරාවටම ප‍්‍රාග්ධනය මත දුවන එකී වාණිජ සංස්කෘතියත් සැබෑ (සම්භාව්‍ය හෝ ජනප‍්‍රිය) සංස්කෘතියක් අතර ඝට්ඨනය පෙන්වන ප‍්‍රබල රූපකයක් සේ මතුවේ. නොඑසේනම් සැබෑ කලාවෙත් ප‍්‍රාග්ධනය කෝටිගණන් යට කරමින් නිෂ්පාදනය කරන වෙළඳ කලාවෙත් පරතරය පෙන්වා දෙයි. සුපුන් තුළ සජිනිට ඇති ඇල්ම, ධනවාධයත් එකී යාන්ත‍්‍රණයටම හසු වූ තම පවුලේ අයගේත් මිත‍්‍රයින්ගේත් බලපෑම මගින් තමාව බලහත්කාරයෙන් ඈත් කර ඇති  ඔහුගේ ආධ්‍යාමීය පියානෝවට හෙවත් සැබෑ කලාවට ඇති පේ‍්‍රමයේ රූපකයක් වන්නටත් බැරිද?


දෙවැන්න ධනවාදීය දේශපාලනික සංස්කෘතිය යි. දේවල් පිළිබඳ හිතලූ කිවීමෙන් එහා ගිය සැබෑ අවබෝධයක් ඒ තුළින් නොයිල්ලයි. රටේ වැදගත් පැරණි දේශපාලඥයින්ගේ නම් පමණක් දැන හිටියද කම් නැත. එසේ නොවුනා කියා ද ගැටලූවක් නැත. තම යාලූවාගේ සුපිරි සිහිනයෙන් ගොඩ යෑමට බැරි වූ සුපුන්ගේ මිත‍්‍රයාට ඊළඟට ගොඩයෑමට ඉතිරි වන්නේ වයඹ මැතිවරණයට වැඩ කිරීමට ය. රියැලිටි වැඩසටහනට යෑම සඳහා කුළියට ගෙන සුපුන් ඇතුළු පිරිස ගමන් කළ වාහනයෙන් හැප්පෙන්නේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඩ‍්‍රයිවර්ගේ පියා ය. එසේ හෙයින් සුපුන්ලාට ඉන් ගැලවෙන්නට අමාරු බව කියැවේ. දෙවැන්න ඔවුන් කුලියට ගත් වාහනය ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානියකු හයර්එකට දාපු එකකි. රිය අනතුරින් පසු එහි වන්දිය ගන්නට සුපුන්ගේ  නිවසට කඩාපනින්නේ උකුස්සාගේ කට්ටියයි. මෙය ලාංකීය ධනවාදී දේශපාලන සංස්කෘතියේ මුහුණක් නැති පාතාලමය ශරීර සංකේතයයි.


 - ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර (PRASAD NIROSHA BANDARA)
      

( රාවය 2015 ජූනි 14)

Monday, September 1, 2014

ලාස්‍යය දිස්වන තාණ්ඩව




තම දෙවැනි කාව්‍ය සංග්‍රහය සඳහා ඉසුරු චාමර සෝමවීර බැවහර කරන නම තාණ්ඩවයි. ඒ දළ, රළු සහ වේගවත් අංග චලනයෙන් යුතු පුරුෂ නර්තනයට අදාළ ඉසියුම් ගතිකයන් හැඟවුම් කිරීම සඳහා නර්තන සම්ප්‍රදාය තුළ භාවිත වන්නකි. ඉන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණයන්ගෙන් යුතු ස්ත්‍රී නර්තනය තුළ ඇති සියුම්කම හැඟවුම් කැරෙන්නේ ලාස්‍ය යන වදනිණි. ඉසුරුගේ පොතේ නම තාණ්ඩව වුවද එහි එන නිර්මාණයන් තුළින් බැලූ බැල්මට දිස්වන්නේ ලාස්‍යයට හිමි සියුම් ලක්ෂණයන්ය. ඔහුගේ කවිය ගලායන්නේත් එය අත්පත් කරගන්නේත් එකී ලාස්‍යයට අයත් රිද්මයයි. එසේ නම් මේ පොත සඳහා තාණ්ඩව යන නම යෙදීම අර්ථවත් වන්නේ කෙසේද? සැබැවින්ම එය සොයා ගැනීම සඳහා ඔහුගේ පොතෙහි මුද්‍රිත අක්ෂරයන්හි එන පඨිතමය අර්ථයන් ඉක්මවමින් එහි සියුම් තැන් හඳුනා ගැනීමට සහෘදයා ඉවසිලිමත් විය යුතුය.

උඩු තොලෙහි ඩහ බිඳු නැඟි
කළු කෙසඟ කෙල්ලන් දකිද්දී
තවමත්... 
තිගැස්සෙනවා මගෙ හිත

වරදක් වුණා ඇත්තයි
මතකද ඒ දවස්වල
උහුලන්න බැරි හීතල
විසාලෙට පායපු හඳ

සිවි පැහැය රන්වන්
සම කුල මගෙ කුමාරි
යුගල යහනෙහි
තනිවම ගැඹුරු නින්දක

සිහිනෙන් දකිනවා ඇති ඇය
පැටියෙකු තුරුලු කර 
නැඟ මැදුරු මතු මහලට
පහළ සිරි නරඹන හැටි

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට
අරගෙන සොහොන් පාළුව

තාණ්ඩව කාව්‍ය සංග්‍රහයේ එන ‘කුවේණි මට සමාවෙයන්’ නම් මේ නිර්මාණයෙහි පඨිතමය අර්ථය තුළ බැලූ බැල්මට ගලා යන්නේ කුවේණිය අතහැර සමකුල කුමරියක පාවාගත් විජයගේ හෘදය සාක්ෂියයි. නො එසේ නම් තම අතීතය සිහිවන විට ඔහු තුළ මතුවන අසීමිත පශ්චාත්තාපයයි. එසේ නමුත් එකී සංයුක්ත පුවත තුළ තම නිර්මාණයෙහි පඨිතමය අර්ථය පවා සිරකර තැබීමට කවියා සූදානම් නැත. එය එකී ඓතිහාසික හා සමාජ වපසරියෙන් උගුලා අද්‍යතන ලෝකයේ දිවි ගෙවන මානව මානවිකාවන්ගේ හෘදය සාක්ෂියද ඒ තුළ හකුළා දැක්වීමට කවියා යුහුසුලුවන්නේ එහෙයිනි. පුරුෂෝත්තමවාදී සමාජ ව්‍යුහයක් තුළ සමස්ත පුරුෂයා සතු හෘදය සාක්ෂිය ද සමස්ත ස්ත්‍රිය අත්විඳින අනවරත ඛේදවාචකය ද කවිය තුළ එකිනෙක පරයමින් ඉස්මතු වේ. 

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට 
අරගෙන සොහොන් පාළුව

නම් පද්‍ය ඛණ්ඩය තුළ කවියා හකුළා දක්වන්නේ එකී අර්ථයයි. නොඑසේ නම් එකී අර්ථය අත්පත් කරගැනීම සඳහා පාඨකයා පොළඹන ප්‍රධාන ප්‍රවේශ දොරටුව එකී පද්‍ය ඛණ්ඩයයි. ඒ විසල් හඳ තවමත් එබීම තුළ නිරූපණය වන්නේ ඓතිහාසික වශයෙන් කොතරම් පරිණාමයට පත්වුවද මානව චිත්ත සන්තානය, සමාජමය කථීකාවන් විසින් නිර්මිත ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදයෙන් සහ එකී කඩතුරාවෙන් වැසී ඇති හෘදය සාක්ෂිය පිළිබඳ ගැටුමයි. 

ස්මෘතිය නම් වූ ඒ විසල් හඳ එබෙන කවුළුව අන් කවරක්වත් නොව යම් යම් දේ දැකීම සඳහා සංස්කෘතිය විසින් නිර්මිත සංස්කෘතිමය කවුළුවයි. කුටිය වනාහි හෘදය සාක්ෂියයි. 

කුවේණි මට සමාවෙයන් නම් තම නිර්මාණය සමස්තාර්ථය යටකී අරුත තුළ ගොනුකර තම තේමාත්මක ලුහුබැඳීම එතැනින් නතර කිරීමටද කවියා සූදානම් නැත. ඉනිදු නොනැවතෙන ඔහු තම නිර්මාණය තුළ ඇති සංකේතමය අරුත ලිහාගැනීම තුළ තමන් හැඟවුම් කරනා තේමාත්මක අර්ථයට තවත් මානයක් ලබාදීම සඳහා ඉවසිලිවන්ත සහෘදයා සඳහා තම නිර්මාණය තුළ තවත් ප්‍රවේශ දොරටු විවර කරයි. 

උඩු තොලේ ඩහ බිඳු නැගි
කළු කෙසඟ කෙල්ලන් දකිද්දී
තවමත්... 
තිගැස්සෙනවා මගේ හිත

යන්නෙහි එන කළු බව හා කෙසඟ බව තුළින් අද්‍යතන සිංහල සමාජයේ සංස්කෘතික මනස තුළ ඇති සංකල්පමය නැමියාවන් ප්‍රශ්න කිරීමට කවියා සමත් වේ. එකී සංස්කෘතිකමය බැවහරය තුළ කළු බවට සහ කෙසඟ බවට හිමි ඇගැයුම් ස්ථීතික වේ. ඊට අනුව කළු බව සහ කෙසඟ බව යනු දුප්පතාට මිස පොහොසතාට අයිති ලක්ෂණයක් නොවේ. දෙමළාට මිස සිංහලයාට අයිති ලක්ෂණයක් නොවේ. එකී කළු බව හා කෙට්ටු බව අශිෂ්ටයාට මිස ශිෂ්ටයාට හිමි ලක්ෂණයක් ලෙස පරිකල්පනය කිරීමට එකී සංස්කෘතිකමය මනස තුළ ඉඩ ප්‍රස්ථා නැත. දෙමළ මිනිසකු පරිකල්පනය කරන කුඩා දරුවකුට පවා ඔහු සාපේක්ෂ වශයෙන් සුදු (තළෙළු) මිනිසකු විය හැකියැ’යි පරිකල්පනය කිරීමට ඔහුගේ මනස තුළ ගොඩනැගී ඇති කථීකාමය දෘෂ්ටිවාදයන් ඉඩ සලසන්නේ නැත. දුප්පතකු පරිකල්පනය කරන විට ඔහු සුදු උස මහත පිරුණු කෙනෙකි’යි මොහොතකුදු පරිකල්පනය නොවේ. ‘උඩුතොලේ දහබිඳු නැගීම’ ඇය සතු අසරණභාවය සහ වහල්භාවය ඉස්මතු කිරීමට තවදුරටත් ඉවහල් වේ. 

එසේ නම් මේ පද්‍යයෙහි දෙවැනි ඛණ්ඩය තුළ සඳහන් ඔහුගේ සිතේ තිගැස්ම තුළින් කවියා හැඟවුම් කරන්නේ කුමක්ද? ඔහු තුළ මේ තිගැස්ම ඇතිවන්නේ තමතින් සිදුවුණ වරද සිහිවීමෙන්ද? නොඑසේ නම් ඇයට ලබාදී ඇති මේ අන්‍යත්වය තමන් තවදුරටත් නොඉවසන හෙයින්ද? ‘තවමත්’ යන්න වෙනම ගෙන තිබීම තුළ සියුම් උත්ප්‍රාසයක් මතුකිරීමට කවියා දක්වන සවිඥානික චාතූර්යය ප්‍රසංශනීය වේ. ලෝකය මෙතරම් ඉදිරියට ගොස් තිබියදී මතවාදීමය වශයෙන් තවමත් එකතැන පල්වන්නකුගේ හෘදය සාක්ෂියේ බර දැක්වීමට එකී උපක්‍රමය පිටිවහල් සපයයි. නොඑසේ නම් අද්‍යතන ශ්‍රී ලාංකීය සමාජය අත්පත් කරගන්නා චින්තනමය සහ මතවාදීමය දරිද්‍රතාව ඉස්මතු කිරීමට එය ප්‍රබල උපක්‍රමයක් වේ. 

කුවේණිය යන්න පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ තරුණියක ලෙස පරිකල්පනය කර බැලුවහොත් (එය කවියේ මතුපිට අර්ථයෙන් සියයට සියයක් නොගැළපෙන බව සැබවි. නමුත් ස්ත්‍රිත්වය සහ සංස්කෘතිමය අන්‍යත්වය අතින් ඇය ස්ථානගත වන්නා වූ ස්ථානය විජය ඇතුළු ආර්යය පිරිස විසින් කුවේණිය ස්ථානගත කළ ආස්ථානයම හාත්පසින් විපරීත නැත.) තවමත් යන්න තුළින් කවිය හඟවන්නේ යුද්ධය අහවර වූ පසුවවත් එකී සංකල්පයන් අත්හැර ගැනීමට නොහැකි ශ්‍රී ලාංකික සංස්කෘතික මනස තුළ පවත්නා බෙලහීනභාවය පිළිබඳ උත්ප්‍රාසයද? 

සංස්කෘතිමය වශයෙන් අන්‍යත්වයට පත්වූ ඇයට කවර වරදක් තම'තින් සිදුවුවද ඒ සඳහා අව්‍යාජ ලෙස සමාව ගැනීමට ඔහු සතු අධිකාරී ආත්මීය මනස ඉඩ නොදේ. වරදක් වුණා ඇත්තයි කියා මතුපිිටින් පවසා තම දෑත් පිසදා ගැනීමට ඔහු පෙළැඹෙන්නේ එහෙයිනි. 

සිවි පැහැය රන්වන්
සම කුල මගෙ කුමාරි
යුගල යහනෙහි
තනිවම ගැඹුරු නින්දක

ඇයට ‘කුවේණිය’ ලෙස අමතන ඔහු සිවිපැහැය රන්වන් සමකුල බිරිඳට ‘මගේ කුමාරි‘ ලෙස අමතයි. ඔහුගේ සංස්කෘතිකමය ලෝකය තුළ කුමරියක වීමේ හැකියාවක් කුවේණියකට නම් කවරදාවත් හිමිවේද? 

සිහිනෙන් දකිනවා ඇති ඇය
පැටියකු තුරුලු කර
නැඟ මැදුරු මතු මහලට
පහළ සිරි නරඹන හැටි

සමකුල කුමරිය සිහිනෙන් පවා දකින්නේ මතුමහලට නැගී පහළ සිරි නරඹන හැටිය. තමන් අත්පත් කරගෙන සිටින ආර්ථීකමය, සංස්කෘතිකමය සහ සමාජමය මතු මහල තුළට හැමවිටම අන්‍යත්වය පෙනෙන්නේ පහළ දෙයක් ලෙස පහළිනි. ඇය දකිනා සිහිනය කුවේණිය හමුවේ හෙළි කිරීම, සමකුල කුමරියක වන ඇය ඉන්නා තැන කුවේණිය නම සිහිපත් කිරීම සහ අඩුම තරමේ එවැනි ‘සිහිනයක්වත්’ දැකීමට තම ආත්මීයත්වය තුළ කුවේණියට ඉඩක් විවර නොවන බව අවධාරණය කරයි. 

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට
අරගෙන සොහොන් පාළුව

මේ ගලා එන්නා වූ පාළුව එක්තරා අතකට තම හදවත තුළ ඇති දුකක් නිසා හෝ ආදරයක් නිසා ඇතිවන්නක් නොව, තම සංකල්පමය අධිරාජ්‍යය හෙවත් සංස්කෘතික ආත්ම කේන්ද්‍රීයත්වය තුළින් අන්‍යත්වය මිහිදන් කරනු ලැබුවා වූ සොහොනින් ගලා එන්නා වූ හෘදය සාක්ෂිමය කාන්සිය වේ. 

තම කවිය තුළින් අත්පත් කරගැනීමට උත්සාහ කරන තේමාත්මක ලුහුබැඳීම සඳහා විජය සහ කුවේණිය කතා පුවත පදනමක් කොට තිබීම තවත් අතකින් කවියා සතු ඉසියුම් පරිකල්පනය සහ ප්‍රතිභානය තවදුරටත් විශද කරයි. මන්දයත් හිස බූගා රටින් පිටුවහල් කරන ලද චෞරත්වය සහ සල්ලාලත්වය යටපත් කරමින් විජය සතු සිවි පැහැය රන්වන් (?) ආරිය බව පමණක් උත්කර්ෂයට නංවමින්, එයම හිසමත තබාගෙන දිවිහරින ඔහුගේ මී මුණුබුරු අද්‍යතන ශ්‍රී ලාංකීය පරම්පරාවට සහ ඔවුන් සතු ආත්මීයත්වයට ඉන් ලබාදිය හැකි උත්ප්‍රාසාත්මක අතුල්පහර අතිවිශිෂ්ට වන හෙයිනි. 

ඒ ඉසුරු චාමර සෝමවීරගේ පොතෙහි එන එක් කවියක් වන කුවේණි මට සමාවෙයන් නම් නිර්මාණයේ මූලික හැඩරුවයි. ඔහුගේ සමස්ත කවිය තේරුම් ගැනීමට එම කවිය තුළ ඔහු දක්වන ප්‍රතිභාගය හා චාතූර්යය පමණක් වුව ප්‍රමාණවත් වේ. ඔහුගේ නිර්මාණයන්හි පඨිතමය අරුත අත්පත් කරගන්නා ලාසස තුළින් තාණ්ඩවත් සොයා යෑමේදී තම කවිය පිළිබඳ ඉවසිලිසහගත කියැවීමක් කවිය, විසින් සහෘදයාගෙන් බලාපොරොත්තු වේ. මන්ද ඔහුගේ කවිය ගලා යන්නේ පඨිතමය ලාස්‍යය සහ ව්‍යංග්‍යාත්මක තාණ්ඩව ලක්ෂණයන්හි ගැටුම තුළින් මතුවන්නා වූ සැබෑ සමෝධානයෙනි. සැබැවින්ම ඔහුගේ කවිය පරිසමාප්තියට පත් කරනුයේ එකී දයලෙක්තිකයයි.

Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

http://www.boondi.lk/article.php?ArtID=2051

Friday, August 22, 2014

පුරාණෝක්තියකට අලූත් අර්ථයක් දීම පරණ බෝතලයකට අලූත් වයින් දානවා වගේ



පුරාණෝක්තියකට අලූත් අර්ථයක් දීම පරණ බෝතලයකට 

අලූත් වයින් දානවා වගේ


- මහාචාර්ය මර්ලින් පීරිස්


මානව ශිෂ්ටාචාරය සඳහා ග්‍රීකයින් දායාද කළ අමරණීය දායාදයන් සියල්ල ඔවුන්ගේ සහජ බුද්ධිය හේතුකොට, හුදෙක් ඔවුන් තුළ හිටිවනක් පැනනැඟුණු ඒවා නොව ඔවුන් ඒ සඳහා අන්‍ය ශිෂ්ටාචාරයන්හි නොමඳ ආභාසය ලබාගන්නා බව පේනවා. ග්‍රීක දර්ශනයේ පීතෘවරයා ලෙස ඇරිස්ටෝටල් විසින් පවා හැඳින්වෙන තේල්ස් සූර්යග්‍රහණය පිළිබඳ අනාවැකි පළ කරන්නේ ඔහුගේ සහජ බුද්ධියට වඩා ඔහු බැබිලෝනියානුවන්ගෙන් ලබාගත් ආකාශ වස්තූන්ගේ චලිතය පිළිබඳ තොරතුරු පදනම් කරගෙන?

ග්‍රීකවරුන් සෙසු ශිෂ්ටාචාරයන් සමඟ නිරන්තර ඇසුරක් පැවැත්වීම තත්කාලීන යුගයේ සිදු වුණු දෙයක් තමයි. ඒ අනුව ග්‍රීකයින් ඔවුන්ගෙන් යම් යම් දේ ඉගන ගත්තා පමණක් නෙමෙයි ඔවුනුත් ග්‍රීරකයින්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තා. නමුත් මෙහි තියෙන විශේෂත්වය වන්නේ අවුරුදු සීයක පමණ ඉතා කෙටි කාලයක් තුළ ග්‍රීකවරුන් ඒ දේවල් හිතාගන්ඩ බැරි තරමට, පුදුමාකාරලෙස දියුණු කිරීම. උදාහරණයක් ගත්තාම මිසරය කියන්නෙ ඉතා පැරණි ශිෂ්ටාචාරයක්නෙ. මිසරයේ ඓතිහාසික යුගය පටන්ගන්නෙ ක්‍රිස්තු පූර්ව 3200 තරම් ඈත යුගයක.

වෙනකක් තියා ඉතිහාසයේ පියා ලෙස සැලකෙන හෙරාඩෝටස් කියන ග්‍රීක ඉතිහාසඥයා කියනවා මිසරයේ මිනිස්සු ''උඔලා අපිට කුඩා දරුවන් වගේ'' කියලා ග්‍රීකයින්ට කිව්වා කියලා. අපිට මිසරය ගැන කතා නොකර ග්‍රීසිය ගැන කතා කරන්ඩ බැරි තරම් ඔවුන් ග්‍රීසිය කෙරෙහි හැම අතින්ම බලපෑවා. මිසර මූර්ති කලාව ගත්තම එහි බොහෝවිට තිබ්ඛෙ හිටිවන රූප. එක්තරා අතකට මිසරයින් මේ ශෛලිගත රූප හදන්නේ යම්කිසි ආගමික අරමුණක් ද ඇතිව. ග්‍රීකයින් තම මූර්ති කලාව සඳහා ආභාසය ගන්නෙ මිසරයෙන්. නමුත් ඔවුන් මිසරයේ තිබුණු මේ ශෛලිගත රූප තම මූර්ති කලාවට ආභාස කොට ගත්තත් ඒවා නොසිතූ විරූ පරිදි දියුණු කළා. ඒ අනුව ඔවුන් විසින් නිර්මිත මූර්ති හුස්ම ගන්නවා වගේ පේන තරමට තාත්වික වුණා. මිනිසාගේ සියුම් මාංශ පේශීන් පවා ඉතා තාත්විකව නිරූපණය කරමින් නිර්මාණය වුණු මේ මූර්ති තැනීමේදී ඔවුන් විශාල ආගමික නැඹුරුතාවක් පෙන්නුවේ නෑ.

අනෙක් කරුණ තමයි. මිසර රූප වල කෙටි සරම තිබුණා. ඔවුන් ගැහැනු, පිරිමි රූප නිර්මාණය කරව්වෙ නෑ නිරුවත්ව. නමුත් මේ රූප බලලා ග්‍රීකයින් නිර්මාණය කරන්නෙ අතිශ්‍ය තාත්වික නිරුවත් රූප. ඇත්තවශයෙන්ම නිරුවතින් ක්‍රීඩා කිරීමේ පුරුද්දක් ග්‍රීකයින් සතුව තිබුණා. ඒ සඳහා ඔවුන්ට ආගමික තහංචි බලපාන්නෙ නෑ විතරක් නෙමෙයි, එක්තරා අතකට ඔවුන් මලල ක්‍රී‍ඩාව කරන්නෙම ආගම වෙනුවෙන්. ''ජිම්නේසියම්'' කියන වචනෙ තේරුම ගත්තත් ඒ තුළ නිරුවත්ව ක්‍රීඩා කිරීම කියන අර්ථය අඩංගු වෙනවා. ''ගුම්නද්සෝ'' කියන වචනයේ අර්ථය වුණේ I remove my clothes කියන එක. ඒ අනුව ජිම්එකට ගියාම ක්‍රීඩා කරන්ඩ ඕනෙ නිරුවතින්. නිරුවත්ව ක්‍රීඩා කරන තැන කියන අර්ථය එන ''ගුම්නාසියෝනි'' කියන වචනෙන් තමයි ''ජිම්නේසියම්'' වෙන්නෙ. ක්‍රීඩා කරනවානම් ස්ත්‍රීන් පවා මෙසේ නිරුවත්ව ක්‍රීඩා කළ යුතුයි කියලා ප්ලේටෝ කියනවා.

සැබැවින්ම ක්‍රීඩාව කියන්නෙ ග්‍රීක වරුන්ගෙ ජීවිතයෙන් කොටසක්. සොක්‍රටීස් ගත්තම ඔහු අපූර්ව නැටුමක, එසේත් නැතිනම් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක ආකාරයේ එක්තරා සුවිශේෂී ව්‍යායාමයක් කරනවා හැමදාම. ඔහු ඉතාමත් ශක්තිමත් පුරුෂයෙක්. පොදුවේ ගත්තම ග්‍රීකයින් සතුව තිබුණේ ඉතාමත්ම ලස්සන සිරුරු. මේ කරුණු නිසා මානව ශරීරය පිළිබඳ ග්‍රීකයින් සතුව අතිවිශාල අවබෝධයක් තිබුණා. ඔවුන් මිනිස් සිරුර පිළිබඳ බාහිර හා අභ්‍යන්තරික වශයෙන් විශිෂ්ට හැදෑරීමක් කළා. ඒ විතරක් නෙමේ මිනිස් සිරුරේ පවතින අති සියුම් අංග චලනයන් පවා මොවුන්ගේ හැදෑරීමට බඟන් වුණා. ඒ අනුවයි ඔවුන්, මං කළිං කිව්වා වගේ හුස්මගන්නවා වගේ පේන මූර්ති නිර්මාණය කරන්නෙ. ග්‍රීක ජ්‍යාමිතිය ගන්ඩ, තේල්ස් මිසරයේ මිනිස්සුන්ට පෙන්නලා දෙනවා පිරමීඩයේ උස මනින ක්‍රමයක් එහි හෙවණැල්ල මඟින්.

පිරමීඩය හදන්න තරම් දියුණු තාක්ෂණයක් තිබුණු මිසරයින්ට එහි උස මනින්ඩ කියලා දෙන එක බැලු බැල්මට විහිලූවක් වගේ පේන්ඩත් පුළුවන්. මිසරය සතුව තිබුණු ගෘහනිර්මාණ තාක්ෂණය අති විශිෂ්ටයි. ඇත්තටම බලපුවාම ග්‍රීසිය සතුව නෑ එවන් විශිෂ්ට නිර්මාණ. කොහොම වුණත්, මිසරය සතුව තිබුණු අති විශිෂ්ට ගෘහනිර්මාණ තාක්ෂණය ඉගෙනගත්තු ග්‍රීකයින් එහි තියෙන සියුම් සිද්ධාන්ත එකිනෙකට වෙන් කරමින් හා විශ්ලේෂණය කරමින් ඒවා සයන්ස් එකක් හෙවත් විද්‍යාවක් බවට පත් කරනවා.

ඒ නිසා ග්‍රීකයින් ඔබ කීවා වගේ විවිධ ජාතීන් හා මුසුව ඔවුන්ගෙන් විවිධ දේවල් ඉගෙනගත්තත් ඒවාට නැඹුරු වෙලා ඒවා ඒ විදිහටම තියා ගන්නෙ නෑ. ඔවුන් ඒවා අතිවිශිෂ්ට අයුරින් වෙනස් කරමින් දියුණු කරනවා ඉතා ටික කාලයක් තුළ.

• බොහෝවිට එකිනෙකා සමග ඊර්ෂ්‍යාවෙන් හා තරහින් පෙළුණු ග්‍රීක පෞර රාජ්‍යයන් අතර ඒකාත්මික බවක් ඇතිකිරීමට පොදු සම්භවය (හෙලන් නමැත්තාගෙන් තමන් සියලූ දෙනා බිහි වූ බවට වූ විශ්වාසය), පොදු භාෂාව සහ සාහිත්‍ය මෙන්ම වසර හතරකට වරක් පැවැත්වුුණු ඔලිම්පික් වැනි ක්‍රීඩා තරග බලපාන්නෙ කොහොමද?

ඒ සඳහා ඔය සංකල්ප සියල්ලම ඉතා වැදගත් වුණ බව ඇත්ත. එක අතකින් ග්‍රීක් කියන අදහසෙන් අපි සලකන්නෙත් එක භාෂාව, එක ආගම, එක ජාතිය සහිත ජනතාවක්ම තමයි. ඔය කරුණු වලට අමතරව, නිරන්තර ඇතිවුණු සතුරු ආක්‍රමණත් එක්තරා අතකට මේ පෞර රාජ්‍යන් අතර එකමුතුකම වර්ධනය කෙරුවා. ක්‍රීඩා උළෙලවල් ගත්තම, ග්‍රීසියේ තිබුණෙ ඔලිම්පික් උළෙල විතරක් නෙමෙයිනෙ. ග්‍රීසියේ ප්‍රධාන වශයෙන් එවැනි ක්‍රීඩා උළෙලවල් හතරක් තිබුණා. එකක් තමයි සියුස් දෙවියන් උදෙසා පැවැත් වුණ ඔලිම්පික් උළෙල, අනෙක තමයි ඩෙල්ෆි කියන නගරයේ, ඇපලෝ දෙවියන් වෙනුවෙන් පැවැත්වුණු ''පිතියන්'' කියන උත්සවේ. මේ උත්සව දෙක පැවැත් වුණා සෑම අවුරුදු හතරකටම සැරයක්. තව ක්‍රීඩා උත්සවයක් තිබුණා ''ඉස්ත්මියන්'' කියලා. ඒක පැවැත්වුණේ මුහුදට අධිපති දෙවියන් ලෙස සැලකුණු පොසීඩියන් වෙනුවෙන්. අනෙක තමයි හර්කියුලිස් දෙවියන් වෙනුවෙන් පැවැත් වුණ ''නිමියන්'' කියන ක්‍රීඩා උත්සවය. අන්තිමට කියූ ක්‍රීඩා තරග දෙක පැවැත්වෙන්නෙ වසර දෙකකට සැරයක්. නමුත් ඒ දෙක පැවැත්වුණේ අවුරුදු දෙකක මිස එක අවුරුද්දෙ නොවන නිසා හැම අවුරුද්දෙම වගේ ඉතා වැදගත් ක්‍රීඩා උළෙලක් ග්‍රීකයින්ට තිබුණා. ඇපලෝ දෙවියන් වෙනුවෙන් පැවැත්වුණු පිතියන් උත්සවේ ප්ලේටෝ පවා රෙස්ලින් ක්‍රීඩා කළා. ඇත්තටම ග්‍රීක දාර්ශනිකයෝ කියන්නෙ නිකම් පණ නැති මිනිස්සු පිරිසක් නෙමෙයි. ඔවුන් හිතාගන්න බැරිතරම් ශක්තිමත් පුරුෂයෝ. සොක්‍රටීස් ගත්තම ඔහු ඉතා ක්‍රීඩාශීලී සහ ශක්තිමත් පුරුෂයෙක් කියලා මං කළිනුත් කිව්වනෙ. ඇරිස්ටෝටල් වුණත් එහෙමයි ඔහු ක්‍රීඩාශීලී වුණා විතරක් නෙමෙයි, ඔහු එක්තරා මලල ක්‍රීඩකයකුගේ වියහියදම් පවා දැරුවා. ඉතිං මේ උත්සව වලට සියලූම ග්‍රීකයින් ආවා. ඔවුන් එක්තරා අතකට ඒවා සැලකුවේ ආගමික හා ජාතික උළෙලවල් හැටියට. ඒවාට සහභාගී නොවුනොත් ඔහු ග්‍රීකවරයෙක් ලෙස සැලකුවෙ නෑ. උදාහරණයක් විදිහට, මැසිඩෝනියන්වරු ගත්තම ඔවුන්ට ඔලිම්පික් නියෝජනය කිරීමේ වරම හිමි වුනේ නෑ. අඩුගානෙ ඇලැක්සැන්ඩර්ට පවා. සැබැවින්ම මැසිඩෝනියානුවන්ටත් තිබුණේ ග්‍රීක සම්භවයක්. නමුත් ඔවුන් සතුව තිබුණෙ වෙනම ආණ්ඩු ක්‍රමයක්. ඔවුන් බොහෝවිට රජවරුන් යටතේ පාලනය වුණා.

• නමුත් ග්‍රීක පෞර රාජ්‍ය තුළත් එක්තරා යුගයක ඔය කියන රාජාණ්ඩු ක්‍රමය තියෙනවා?

ආරම්භක යුගය වන විට ග්‍රීසිය සතුවත් රාජාණ්ඩු තිබුණා. ඒත් ඒවා එතරම් ජනප්‍රිය නොවීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම බිඳවැටුණා. ඉන් පසුව ප්‍රධාන වශයෙන් ග්‍රීසිය පාලනය වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, රදළ වාදී ක්‍රමය හා ඒකාධිපති ක්‍රමය වැනි පාලන තන්ත්‍රයන් තුළින්. ඇත්ත වශයෙන්ම ග්‍රීසියේ තිබුණු පෞර රාජ්‍යය ගණන හාරසීයට වැඩියි. නමුත් ඒහි තිබුණු විශේෂත්වය වුණේ ඒ හැම පෞර රාජ්‍යයකටම පාහේ වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණු එක. ඇරිස්ටෝටල් ගත්තම, ඔහු ඉන් පෞර රාජ්‍ය තුන්සීයක විතර ව්‍යවස්ථාව ඉතා හොඟන් අධ්‍යනය කරනවා. ඒ හැදෑරීමත් එක්ක තමයි ඔහු ''පොලිටික්ස්'' කියන පොත ලියන්නේ. ඇතැම් ග්‍රීක පෞර රාජ්‍යන් තුළ පැවති ඒකාධිපති ක්‍රමය වැනි පාලන තන්ත්‍රයන්ට මිනිස්සු එතරම් කැමති නොවීම ආදී කරුණු නිසා ග්‍රීසිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වැඩියෙන් ජනප්‍රිය වීමත්, ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් වැඩි වැඩියෙන් වර්ධනය වීමත් දක්නට තිබුණා.
ග්‍රීකවරුන් විසින් ලොවට දායාද කරන ලද මේ ප්‍රජාතන්ත්‍රවායේ ප්‍රධාන වශයෙන් ඉතා වැදගත් සංකල්ප තුනක් තිබුණා. ඒ අතර පළවෙනි සංකල්පය තමයි ''ඉසොමොයිලියා'' කියන එක. එයින් කියැවුණේ සම පංගු කියන අදහස. ඒ අනුව සෑම මිනිසාම දේශපාලනයේදී සම බව පිළිගැනුණා. දෙවැනි සංකල්පය තමයි ''ඉසොනොමියා'' කියන එක. එයින් අදහස් වුණේ නීතිය ඉදිරියේ සෑම දෙනාම එක සමානයි කියන එක. ''පර්රේෂියා'' කියන තුන්වෙනි සංකල්පයත් ඉතා වැදගත් එකක්. ඉන් ග්‍රීකයින් අදහස් කළ දේ තමයි භාෂණයේ නිදහස කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයට පදනම දැමූ නායකයා ලෙස සැලකෙන මහා පෙරික්ලීස් පවා කියනවානෙ යම් කිසි මනුෂ්‍යකුට අදහසක් තිබුණට වැඩක් නෑ ඒක ප්‍රකාශ කරන්ඩ බැරිනම් කියලා. අපි කරන්නෙ ග්‍රීසියෙන් ලැබුණු මේ ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් මෙහෙට ගෙනත් ඒවා විනාශකරන එක. ඇත්තම අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන නියමිත අදහසක් නෑ. අපි මුල ඉඳලා, ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි දෙවන එලිසබත් දක්වාම ඉන්නෙ රජවරු යටතෙනෙ. එක්තරා අතකට, ලොව කිසිම ජාතියක් ඉඳලා නැති තරමට අපි රජවරුන් යටතේ ඉඳලා තියෙනවා. ඉතිං අපි ළඟ ඒ නින්දාසහගත වහල්භාවය තාමත් තියෙනවා. ඒ නිසා අපි තවමත් හොයන්නෙ රජවරු.

• ග්‍රීසිය සෙසු ජාතීන් හා රාජතාන්ත්‍රික ගණුදෙනු පැවැත්වීමේදී ''බාබේරියන්'' කියන සංකල්පය ඉතා දැඩි සේ බලපාන බව පේනවා. ඇතැම් විට ඒ ''ඇන්ටිපන්'' වැනි විතණ්ඩවාදීන් ඇතුළු බොහෝදෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වුවත් එහි බලපෑම අඩු වන බවක් පේන්නෙ නෑ. මෙකී බාබේරියන් සංකල්පය සංස්කෘතික සංස්පර්ශ කාර්ය කෙරේ බලපාන්නෙ කොහොමද?

 ''බාර්බාර්රොස්'' කියන්නෙ තේරෙන්නෙ නැති භාෂාව කියන එක. ඒ නිසා විදේශිකයින් සියල්ලටම බාබේරියන් කියලා කිව්වා කිසිඳු පාච්චල් කිරීමකින් තොරව. ඒ ඔවුන්ගේ භාෂා නොතේරුණු නිසා. නූතන විචාරකයින් කියන්නා වගේ ඔය වචනෙ ''මිලේච්ඡයා'' කියන අර්ථයේ දැඩි හෙළා දැකීමේ ස්වරයකින් එදා භාවිත වුණේ නෑ. එක්තරා අතකට පසුකාලීන යුගය වන විට ග්‍රීසිය හා පර්සියාව අතර දැඩි තරහක් ඇතිවනවනෙ. ඒ නිසා ග්‍රීකයින් පර්සියානුවන් සඳහා ඔය වචනය යම්තාක් දුරකට තරහින් භාවිත කළා. නමුත් පර්සියානුවන් කියන්නෙ ඒ වන විට අති විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ කොටසක්. අනෙක මුල්කාලීනව පර්සියාව ජනාවාස කරන්නෙත් ආරියන්වරු. ග්‍රීකවරු ගත්තාම ඔවුනුත් ආරියන්නෙ. වැඩිය ඕනෙ නෑ, ඇලෙක්සැන්ඩර් රජුට ඕනෙ වුණා පර්සියාවෙ රජ වෙන්ඩ. ඒ විතරක් නෙමෙයි ඔහු පර්සියානු රජුගේ රොක්සානා කියන දියණියත් සමඟ පවා විවාහ වුණා. ඊට අමතරව ඔහු තමන්ගේ මිනිස්සු ඔක්කොටම කිව්ව පර්සියානුවන්ගෙයි අපෙයි වෙනසක් නෑ ඒනිසා පර්සියන් ස්ත්‍රීන් සමඟ විවාහ වෙන්ඩ කියලත්. ඒ අනුව බාබේරියන් කියන සංකල්පය අපි හිතං ඉන්න තරම් විවේචනාත්මක අයුරින් ඒ යුගයේදී භාවිත වුණේ නෑ. ඒක පසුකාලීන විචාරකයින් ගොඩනඟාගත් වැරදි අදහසක් විතරයි.



• තත්කාලීන යුගය වන විට ලොව සියලූම පාහේ ජාතීන් සතුව නාට්‍යකලාව ආදී දියුණු කලාවන් තියෙන්නට ඇති බවත්, ග්‍රීකයින් සතුව තිබූ දියුණු ලේඛන කලාව හා ඔවුන් තුළ නිතැතින් වූ ලිවීමේ පෙළඹීම නිසා ග්‍රීක නාට්‍යාදිය අද දක්වා ශේෂව පැවතින බවත් ඒ පිළිබඳ ඇතැම් ප්‍රාමාණික උගතුන් අප සමග අදහස් දක්වා තියෙනවා. ඒ අර්ථයෙන් ඇත්තටම ග්‍රීසිය සතුව තිබුණේ මෙකී භාෂාමය සුවිශේෂීතාව පමණද?

දියුණු නාට්‍ය කලාවක් බොහෝවිට ඇතැම් ජාතීන් සතුව තියෙන්ඩ පුළුවන්කම තියෙනවා. නමුත් සෑම ශිෂ්ටාචාරයක් සතුවම එහෙම තිබුණා කියලා කියන්ඩ අමාරුයි. බැබිලෝනියාව තුළ තිබුණා ඉතා කෙටි කතන්දර හා ප්‍රස්තාපිරුළු. ඊට අමතරව ඔවුන්ට තිබුණා ''ගිල්ගමේෂ්'' වගේ වීරකාව්‍ය. නමුත් බැබිලෝනියානුවන්හට නාට්‍ය කලාවක් තිබුණා කියලා සඳහන් වෙන්නෙ නෑ. මිසරයෙත් තිබුණා නාට්‍යට සමාන දේවල්. නමුත් ඒවා නාට්‍යමයි කියලා හඳුන්වන්ඩ අමාරුයි.


ග්‍රීසිය ගත්තාම, විශේෂයෙන් දියෝනියස් වැනි දෙවිවරුන් සඳහා කරනු ලැබූ උත්සව වල එන භක්තිගීතාදිය තුළින් ස්වභාවිකවම නාට්‍ය කලාවක් බිහිවනවනෙ. ඒ නාට්‍ය තමයි ක්‍රමයෙන් දියුණු වෙමින් ලොව අති විශිෂ්ටතම නාට්‍යන්හි මට්ටමට පත් වෙන්නෙ. ග්‍රීක නාට්‍යයේ ආරම්භක අවධියේ තිබුුණු නිර්මාණ වල කොරස් එක හෙවත් අත්වැල හිටියෙ ප්‍රේක්ෂකයා දෙස බලාගෙන. නමුත් පසුකාලීනව මේ කොරස් එක වේදිකාව දෙසට හැරෙනවා. ඒක ග්‍රීක නාට්‍ය වර්ධනයේ සුවිශේෂී අවස්ථාවක්. ඒ හැරීමත් සමඟ තමයි අත්වැල සහ නළුවන් අතර කෙරෙන දෙබස් බිහිවෙන්නෙ. ඊළඟට ''ඊස්කිලස්'' විසින් වේදිකාවට දෙවැනි නළුවා ගැනීමත්, ''සොෆොක්ලීස්'' විසින් තුන්වෙනි නළුවා ගැනීමත් ග්‍රීක නාට්‍ය තවදුරටත් නාට්‍යමය ස්වරූපයෙන් වර්ධනය වීමේදී ඇතිවුණු ප්‍රධාන කඩයිම්. නමුත් මේ ග්‍රීක සිද්ධාන්ත රෝමයට යෑමේදී ''හොරස්'' වැනි අය විසින් වරද්දගන්නවා. ඒ අනුව හොරස් ඔහුගේ ''ආර්ස් පොයට්රිකා'' කියන ග්‍රන්ථයේ කියනවා නළුවන් තුන්දෙනාට වඩා නාට්‍යකට නොගත යුතුයි කියලා. වේදිකාව මත පරිපූර්ණ නාට්‍ය නිර්මාණයක් කිරීමට නළුවන් තුන්දෙනෙකුයි කොරස් එකයි හොඳටම ප්‍රමාණවත් වුණා තමයි. නමුත් අවශ්‍යනම් තවත් චරිත වේදිකාවට ගැනීමේ හැකියාව ද තිබුණා. ඒ හැර හොරස් කිවුවා වගේ නළුවන් තුන් දෙනෙකුට සීමා විය යුතුයැයි නීතියක් තිබුණෙ නෑ. රෝමවරු තම නාට්‍ය වලදී වේදිකාවට අලි, අශ්ව කරත්ත පවා ගෙනාවා. මෙසේ ඇස පිනවන නාට්‍ය තැනීමෙන් නාට්‍ය කලාව දියුණු වුණේ නෑ. ''කණට හිමි තැන ඇස විසින් හොරකම් කළාම එතන නාට්‍යයක් නෑ'' කියලා ඇරිස්ටෝටල් කියන්නෙ ඒකයි. රෝමන්වරු ග්‍රීසියෙන් නාට්‍යාදී කලාවන් ගත්තත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට කලාව පිළිබඳ ඒහැටි හැකියාවක් තිබුණේ නෑ. ඔවුන්ට තිබුනෙ වෙනම දක්ෂතා. විශේෂයෙන් ඒ පරිපාලනය, දේශපාලනය හා නීතිය වගේ දේවල් පිළිබඳව. එක්තරා අතකට ග්‍රීක නාට්‍යන්හි පැවැත්ම සඳහා එහි තිබුණු අති විශිෂ්ට ලේඛන සම්ප්‍රදායත් බලපාන්ඩ ඇති. මිසරය ගත්තම ක්‍රිස්තු පූර්ව 3200දීත් ඔවුන් ලිවුවා. නමුත් ඔවුන් බොහොවිට ලිවුවෙ මරණින් පසු ජීවිතය ආදිය ගැන.

කළිං කිව්වා වගේ, ග්‍රීක නාට්‍ය වැනි දේවල් භක්ති ගීත ආදියෙන් ආරම්භ වී ක්‍රමයෙන් දියුණු වුණත් අපේ නාට්‍ය කලාවට වෙන්නෙ එහෙම නෙමයිනෙ. අපිටත් තිබුණා දියුණු වෙමින් පවතින ඉතා වැදගත් ගැමි නාට්‍ය බීජයන්. බලන්න අපි ලඟ තියෙන වෙස්මූණු. ඇත්තටම නාට්‍යකට අවශ්‍ය හැම චරිතයකටම අදාළ වෙස් මූණු තිබුණා මේ රටේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පුස්තකාලෙ ගත්තත් එතැන තියෙනවානෙ එවැනි වටිනා වෙස්මූණු ගණනාවක එකතුවක්. නමුත් අපි රෙඩිමේඩ් නාට්‍යනෙ ගේන්නෙ ඉන්දියාවෙන්. නූර්තිය වැනි සුපීරියර් නාට්‍යක් ගෙනල්ල එකපාරට සමාජය තුළට අතහැරිය එක තුළින් ඇත්තටම වුණේ මේ රටේ දියුණු වෙමින් තිබුණු නාට්‍යන්ට දියුණු වෙන්ඩ බැරි වුණ එක. ඒ අනුව ඒවා යට ගිහින් විනාශ වුණා.

• ග්‍රීක නාට්‍ය කරුවන් තම නිර්මාණයන් සඳහා කොතරම් දුරට පුරාණෝක්ති පදනම් කර ගත්තත් ඔවුන් ඒවා භාවිත කරන්නේ බොහෝවිට සියුම් තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් නිරූපණය වන ආකාරයට. උදාහරණයක් විදිහට, යුරිපිඩීස් තම ''ට්‍රෝජන් ගැහැනු'' සඳහා පුරාණෝක්ති වල ආභාසය ගත්තත් ඔහු ඒ තුළින් ස්පාටාව හා තමන් විසූ ඇතැන්සය අතර දීර්ඝකාලීනව පැවතුනු ''පෙලපෙනීසියානු යුද්ධය'' පිළිබඳ තම යුඟ විරෝධී දැක්ම නිරූපණය කරනවා?

 ග්‍රීසියෙන් ලොවට ලැබුණු විශාලතම දායාදයක් තමයි පුරාණෝක්ති. ඒවා හුදෙක් බොරු කතන්දර නෙමෙයි ඒවා සතුව ඉතා ගැඹුරු අර්ථයන් තිබුණා. එවන් පුරාණෝක්තියක් අවශ්‍යනම් අද බිහිවන නූතන නාට්‍යක් සඳහාද යොදා ගන්ඩ පුළුවන් ඉතාම පහසුවෙන්. විශේෂත්වය කියන්නේ මේ පුරාණෝක්ති සියල්ලම පාහේ සුළු සුළු වෙනස්කම්, සංස්කරණයන් සහිතව කිහිප ආකාරයකින් දක්නට ලැබීම. ඊඩිපස් පුරාවෘත්තය ගත්තම, එහි එක් සංස්කරණයක තියෙනවා ඊඩිපස් විසින් ස්වකීය පියා වන ''ලාය්යුස්'' රජු මරණයට පත් කෙරෙන්නේ ඔහුගේ කරත්තය ඊඩිපස්ගේ කකුළ උඩින් ගිය නිසා කියලා. නමුත් සොෆොක්ලීස් තම ඊඩිපස් නාට්‍යය සඳහා ගන්නෙ ඊඩිපස් පසුපස හැරී යනවිට ලාය්යුස් ඔහුට හෙල්ලකින් ඇනීමට උත්සහ ගැනීම නිසා ඊඩිපස් විසින් ලාය්යුස් මරණයට පත්වන බවට වන කතාව. ඒ අනුව ඒ ඒ නාට්‍ය කරුවාහට තමන්ටම සුවිශේෂී වූ දර්ශනය ඉදිරිපත් කිරීමට, තමන් තෝරාගත්ත පුරාණෝක්තියේ ඉතාමත් උචිත සංස්කරණය යොදා ගැනීමේ පහසුව තිබුණා. ඒ නිසා එකම නාට්‍ය, නාට්‍යකරුවන් කිහිප දෙනෙක් අතින් නිෂ්පාදනය වුණා විතරක් නෙමෙයි, එක නාට්‍යකරුවෙක් විසින් එකම පුරාණෝක්තියක ඇති විවිධ සංස්කරණ භාවිත කරමින් නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කෙරුණු අවස්ථා ද තිබුණා.


ඇත්තටම ග්‍රීක පුරාණෝක්ති වලින් නිර්මිත නාට්‍ය ගත්තම, ඒවායේ එන දෙවිවරු බොහෝවිට රදළවරුන් පිරිසක් අහසට ඔසවා තබමින් නිර්මාණය කෙරුණු අයනෙ. ඒවා තුළ ඉන්නා දෙවිවරු නිතරම වැරදි කරන, එමෙන්ම කිසිම හේතුවක් නැතිව හා සත්‍ය අසත්‍ය නොසලකමින් තම හිතවතාට යහපතත් තම හතුරාට අයහපතත් සලකන අය. ඒ තුළින්ම ලැඛෙනවනෙ ඒවට යම්කිසි සමාජ වටිනාකමක්. ග්‍රීක නාට්‍ය කරුවන් තම නිර්මාණ මඟින් බොහෝවිට කළේ තමන් සතු එවැනි ගොරහැඟ මිත්‍යා කතා වලට සියුම් අර්ථයක් හා ප්‍රාණයක් එක් කර දුන් එක. එවන් පුරාණෝක්තියකට නාට්‍යක් තුළින් නව අරුතක් හා ප්‍රාණයක් දීම එකඅතකට පරණ බෝතල් වලට අලූත් වයින් දානවා වගේ වැඩක්. ඔබ කිවුවා වගේ, යුරිපිඩීස් තම ''ට්‍රෝජන් ගැහැනු'' තුළින් තම යුඟ විරෝධය පෙන්වනව විතරක් නෙමෙයි, ඔහු එතුළින් ස්ත්‍රීන් හා දරුවන් කෙරෙහි තමා තුළ වූ අව්‍යාජ අනුකම්පාව හා දැක්ම නිරූපණය කිරීම ද කරනවා. ඇත්තවශයෙන්ම කියනවානම්, යුරිපිඩීස් තරම් කාන්තාවන් හා දරුවන්ගේ ප්‍රශ්න අව්‍යාජව වටහාගත් තත්කාලීන වෙනත් නාට්‍ය කරුවකු නැති තරම්.



යුරිපිඩීස් ස්ත්‍රි විරෝධියකු ලෙස හංවඩු ගැහුණු බව පසුකාලීන විචාරකයෝ බොහෝමයක් සැලකුවත් ඒක නෙමෙයි ඇත්ත. ඔවුන් බොහෝවිට මේ අදහස ගන්නෙ ''ඇරිස්ටොපනීස්ගෙන්''නෙ. ඇරිස්ටොපනීස් කියන්නෙ හුදෙක් විහිළුකාරයෙක් විතරයි. යුරිපිඩීස්ලා ඇරිස්ටොපනීස්ලා කියන්නේ ඇත්තටම සැබෑ මිතුරෝ. මොවුන් කන්නෙ බොන්නෙ පවා එකට. එකට ජීවත් වෙන්නෙ. බලන්න දැන් සොක්‍රටීස්ගෙ ''මධුසාදයේදී'' ඉන්නවනෙ ඔවුන් ඔක්කොම. යුරිපීඩීස් තම නිර්මාණවලින් ගණිකාවන්, දුක්විඳින ගැහැනුන් ගෙනාව වේදිකාවට. එතකොට ඇරිස්ටොපනීස් විහිළුවට කියනව මේන් මෙයා නරක ගෑනු වේදිකාවට ගේනවා කියලා. අනිත් අතින් ඇරිස්ටොපනීස් කොච්චර පහර දෙනවද සොක්‍රටීස්ට තමන්ගෙ නාට්‍යන් තුළ. ඇත්තටම ඒවා කිසිම කෝන්තරයකින් තොරව කෙරුණු නිකම් කවටකම් නොහොත් කුඩා රැගින් විතරයි. නමුත් ඇරිස්ටොපනීස්ගේ සමහර විහිළු නිසා ඇතැම්විට තමන් පිළිබඳ එතරම් නොදන්නා මිනිසුන් තමා පිළිබඳ වරදවා වටහා ගැනීමෙන් තමාට යම් කිසි හානියක් වුණා කියලා සොක්‍රටීස් ඔහුගෙ නඩුවිභාගය වගේ තැන්වලදී කියනවා. ඇත්තටම ඔය නාට්‍ය රඟපාද්දි බොහෝවිට සොක්‍රටීස්ලා, යුරිපිඩීස්ලා වගේ හැමෝම ඒ රඟහලේ ඉඳන් ඒ නාට්‍ය බලනවා. අන්තිමට ඔවුන් කරන්නෙ හිනාවෙවී ගෙදර යන එක. එච්චරයි. ඒ නිසා අපි විහිළුව විහිළුවක් වගේ ගන්ඩ ඕනෙ.

• පසුකාලීනව, ඇරිස්ටෝටල් වැනි විචාරකයින් අතින් වෙසෙසින් නාට්‍ය ආකෘතිය හේතුකොටගෙන යුරිපිඩීස් වැනි නිර්මාණකරුවන්ගේ ඇතැම් නිර්මාණ ප්‍රතික්ෂේප වෙනවා?

ඇරිස්ටෝටල් කියන්නෙ දොස්තර කෙනෙක්ගෙ පුතෙක්නෙ. ඉතිං ඔහුගේ ඇඟේ වැඩකළේත් කලාව නෙමෙයි වෛද්‍ය විද්‍යාව. යම්කිසි විද්‍යාත්මක පරීක්ෂණයකදී ප්‍රධාන වශයෙන් භාවිත වූ ක්‍රම දෙක තමයි genetic සහ analytic කියන ක්‍රම දෙක. මින් පළමු ක්‍රමයේදී වුණේ යමක් බීජාවස්ථාවේ සිට ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරමින් ඒ පිළිබඳ සිද්ධාන්ත සකසා ගැනීම. දෙවැන්නෙදී හෙවත් analytic ක්‍රමයේදී සිදු වුණේ දෝෂ රහිත, එමෙන්ම හොඳින් වැඩුණු නිදර්ශනයක් ගෙන එය කුඩා කැබලි වලට විච්ඡේදනය කරමින් ඒ හැම එකක්ම ඉතා සියුම්ව පරීක්ෂණය කිරීම මඟින් ඒ පිළිබඳ සිද්ධාන්ත සැකසීම. ඉතිං ඇරිස්ටෝටල් තම නාට්‍ය සිද්ධාන්තයන් බිහිකරද්දිත් ප්‍රධාන වශයෙන් ගන්නෙ තම විද්‍යාවෙ තියෙන මේ ඇනලටික් කියන ක්‍රමය. එවන් පරීක්ෂණයකදී කකුල් තුනක් තියෙන ගෙම්බෙක් අරන් වැඩක් නෑනෙ. ඒ නිසා ගන්ඩ ඕනෙ පරිපූර්ණ නිදර්ශකයක්. ඇරිස්ටෝටල් තම නාට්‍ය විචාරයේදී කළේත් මෙසේ තමන් සර්ව සම්පූර්ණ නාට්‍ය ලෙස සැලකූ නිර්මාණය ගෙන, එය කැබැලිවලට ඉරමින් එවායේ වන සියුම් ලක්ෂණයන් හොඳන් නිරීක්ෂණය කිරීමට උත්සහ ගැනීම. ඉතිං ඇරිස්ටෝටල්ගේ ජීවවිද්‍යාත්මක ක්‍රමයෙන් සොයාගත් සිද්ධාන්තයන්ට නොගැලපුණු නාට්‍ය ඔහු අතින් ප්‍රතික්ෂේප වීම සාමාන්‍ය දෙයක්. එය ඒ නාට්‍යයේ හෝ නාට්‍ය කරුවාගේ දුර්වලතාවක් කියලා කියන්ඩ බෑ. යුරිපිඩීස් ගත්තම ඔහු සැබැවින්ම නව්‍ය හා අපූරු ආකෘතියක් භාවිත කළ නාට්‍ය කරුවෙකනේ. ඇත්තටම ඇරිස්ටෝටල් කියන්නෙ කලා කරුවෙක් නෙමෙයි, ජීව විද්‍යාඥයෙක්.

 ඇරිස්ටෝටල් ශතවර්ෂ දාහතරක් යුරෝපයේ නහයෙන් ඇදන් ගියා කියලා කතාවක් තියෙනවානේ. මොකද ඇරිස්ටෝටල් ගැන කතා නොකර බටහිර ශිෂ්ටාචාරය ගැන කිසිම දෙයක් කතා කරන්ඩ අපිට බෑ. හොඳට හෝ නරකට ඔහු කියූ දේවල් ගන්ඩම වෙනවා. අන්න එතනයි තියෙන්නෙ ඔහුගෙ විශිෂ්ටත්වය. ඔහු සතු ඥානය හිතා ගන්ඩ බැරි තරම් පුළුල් එකක්. වෙන එකක් ඕනෙ නෑ, ඔහු අලි ගැන දැනන් හිටියා අපේ රටේ ඒ පිළිබඳ විශේෂඥයකුට වඩා. ඔහු අප්‍රිකානු අලින් ගෙන්නගෙන කැපුවා. ඒ විතරක් නෙමෙයි, ඔහු කියලා තිබුණා මොකෙක් හරි අමුතු සතෙක් ලැබුනොත් තමන්ට ගෙනත් දෙන්ඩ කියලා. ඒ අනුව ඇරිස්ටෝටල් සත්තු ගැන පොත් ගණනාවක් ලිව්වා. ඔහු ලියූ ඒ පොත් සතුන්ගේ ජීවවිද්‍යාත්මක පැත්ත විතරක් නෙමෙයි ඔවුන්ගේ හැසිරීම් හා ඔවුන්ගේ අති සියුම් චලනයන් පිළිබඳ තමා විසින් කෙරුණු නිරීක්ෂණයන් දැක්වීම සඳහා පවා වෙන් වුණා. නමුත් එසේ දියුණුව තිබුණු ඥානය ඉතා ඉක්මනින් පිරිහුණා ග්‍රීසියෙන්.

• ග්‍රීක නාට්‍ය කරුවන් අතින් භාවිත මෙවන් පුරාණෝක්ති බොහෝවිට ජනතාව අතරේ ඉතා ජනප්‍රිය වූ ඒවා වීමෙන් සිදුවන දේ තමයි එවන් ජනප්‍රිය කතා වස්තුවක් ආශ්‍රයෙන් නිර්මිත නාට්‍යක් තුළ ප්‍රේක්ෂක කුතූහලය රැකීමට අපහසු වීම හා ඒ හේතුකොට ප්‍රේක්ෂකයා නාට්‍ය කෙරේ ඇද බැඳ තබා ගැනීමට අපහසු වීම. මෙවන් කරුණු නිසා, ග්‍රීක නාට්‍ය කරුවා තම නාට්‍ය නිර්මාණ සඳහා ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබාගත හැකි වෙනත් සියුම් නාට්‍ය උපක්‍රම සෙවීම සඳහා වෙහෙසෙන්නෙ කොහොමද?

මේ පුරාණෝක්ති පිළිබඳ හැමෝම දැනසිටියා කියලා කියන්ඩ අමාරුයි. මොකද පසුකාලීන යුගය වන විට ප්‍රේක්ෂකයින් තුළ තිබුණු දැනුම පිරිහී තිබුණා නොයෙකුත් හේතු මත. අනෙක තමයි යුරිපිඩීස් වැනි නාට්‍ය කරුවෙක් ගත්තාම ඔහු භාවිත කළේ තරමක් දුර්ලභ පුරාණෝක්ති. මං කළිං කිව්වා වගේ එකම පුරාණෝක්තියේ විවිධ සංස්කරණයන් තිබීමත් මෙතනදී වැදගත් වුණා. කොමඩි නාට්‍ය ගත්තාම ඔයිටවඩා වෙනස් තත්වයකුයි තිබුණේ. එවන් හාත්සයෝප්පාදක නාට්‍ය බොහෝවිට ඒ අවස්ථාවේම ක්ෂණිකව ලියැවුණා. ඇරිස්ටොපනීස් ගත්තාම ඔහු ඉතා ඉක්මනින් නාට්‍ය රචනා කළ කෙනෙක්.

ග්‍රීසියේ තිබුණනෙ නාට්‍ය උළෙලවල් දෙකක්. එකක් තමයි ''ග්‍රේට් ලෙනයියා'' කියන ශෝඛාන්ත නාට්‍ය සඳහා තිබුණු තරගය. ඒකට එක් නිර්මාණ කරුවෙක් නිර්මාණ තුනක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. අනෙක් උළෙල තමයි ''ස්මෝල් ලෙනයියා'' කියන එක. ඒක සුඛාන්ත නාට්‍ය සඳහා පැවැත්වුණේ. ඒ සඳහා එක් රචකයෙක් ඉදිරිපත් කළ යුතුව තිබුණේ එක් නිර්මාණයක් විතරයි. මිනැන්ඩර් වගේ ''නව ප්‍රහසන'' නාට්‍ය කරුවෙක් ගත්තාම ඔහු තම නාට්‍ය සඳහා අමුතුම අනුභූතීන් භාවිත කළා. ඇත්තටම මිනැන්ඩර් විසින් විශාල නාට්‍ය සංඛ්‍යාවක් රචනා වුණත් දැනට සම්පූර්ණයෙන් ඉතිරිවෙලා තියෙන්නේ ''කිපෙනසුලූ මිනිසා'' කියන නාට්‍යය විතරයි. මිනැන්ඩර් තමයි පෞද්ගලික මිනිස් චරිත. එහෙමත් නැතිනම් පවුල හා සාමාන්‍ය මිනිසා ප්‍රථම වතාවට වේදිකාවට ගෙන එන්නේ. මෙසේ ක්‍රමයෙන් නාට්‍යමය අනුභූතීන් නව්‍ය ප්‍රස්තුතයන් කරා ව්‍යාප්ත වීමත් ග්‍රීක නාට්‍යන්හි අපූර්වත්වය තවත් අයුරකින් ආරක්ෂා කළා.


                                                                                 Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


රාවය - 2009 ඔක්තෝම්බර් 17


Thursday, July 31, 2014

දුවන උන්


    තවත් උදෑසනකි. දිව යන දෙදෙනෙකි. එකෙක් තරය. ප්‍රෞඪය. නිරෝගී පෙනුමක් ඇත්තේය. සැපට ආරපු සිරුරෙහි මාංශ පේෂි පා තබන තබන පියවර අනුව චලනය වේ. අනෙකා සිහින්ය. පළමු වැන්නාට හාත්පසින් වෙනස්ය. සිරුර කෘෂය. දුර්වලය. කුස පොත්ත පිටෙහි ඇලෙනා තරම් ය. හති දමමින් ඉතා අපහසුවෙන් දිව යන ඔහු අත බෝතලයකි. තුවායකි. ඒ කිසිවක් ඔහුගේ  භාවිතය සඳහා නොවේ.

පළමු වැන්නා ස්වාමියාය. අනෙකා සේවකයාය. පළමුවැන්නා දුවන්නේ තම පෘෂ්ඨීමත් සිරුරේ මේදය අඩු කර ගැනීමටය. දෙවැන්නා එසේ නොවේ. ඔහුගේ සිරුරේ අඩු කරගැනීමට තරම් මේදයක් නැත. ඔහු දුවන්නේ තම ස්වාමියාගේ උදව්වටය. ස්වාමියාගේ තනියට ය. ස්වාමියා වෙනුවෙන් ඔහුගේ වතුර බෝතලයත් තුවායත් ඔසවාගෙන යෑමටය. කොටින්ම කීවොතින් ඔහු දුවන්නේ නොමැරී ජීවත් වන්නටය. තම එදා වේල පිරිමසා ගන්නටය. ඒ ධනංජය කරුණාරත්නගේ දුවන උන් දෙදෙනෙක් නාට්‍යයේ සරල කතා වස්තුවය.
                වර්තමාන ලංකාවද මේ වගේය. අධිවේගී මාර්ග ඉදිවේ. වෝකින් පාර්ත් නිර්මාණය වේ. සී ප්ලේන් ගොඩබසී. කැසිනෝ ශාලා, රෙඩ්ලයිට් ස්ට්‍රිට්ස් පිහිටුවයි. මහජන මුදල් මිලියන ගණනනින් වියදම් කොට කෙසෙල්කොළ බස්නැවතුම්පළ පිහිටුවයි. විනෝද උයන්, නෙළුම් කුළුණු, නෙළුම් පොකුණු ගොඩනැගේ. මේ සියල්ල තිබියදී එදාවේල සොයාගන්නට බැරිව රටේ අති බහුතරයක් ජනතාව සුසුම් හෙළති.
                ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති සමීක්ෂණ ආයතන (Food Policy Research Institute) වාර්තාවට අනුව බඩගින්න වෙනුවෙන් ශ‍්‍රීලංකාවට මේ වසරේ ලැබී ඇති ලකුණු ප‍්‍රමාණය 15.6කි. එය පසුගිය වසර තුළ තිබූ 14.4ක් වූ කුසගින්නෙහි තීව්රත්වය තවදුරටත් උග්‍රවීමකි. මේ ප‍්‍රතිඵලවලින් අනියමින් පවසන්නේ රට තුළ මන්දපෝෂණයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව විශාල බවය. දෛනිකව මෙලොව උපදින දරුවන්ගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් වයස අවුරුදු පහට කළින් මියයන බවය. තවත් සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩු බරින් යුක්තව උපදින බවය. සමීක්ෂකයින් වැඩිදුරටත් පවසන්නේ ශී‍්‍රලංකාව රටක් වශයෙන් අනතුරු දායක මට්ටමක සිටින බවය. එසේනම් මේ කියන ආශ්චර්යය අත්වි`දින්නේ කවුද? බාහිර සාටෝපය කා වෙනුවෙන්ද?
                  මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට කටුනායක අධිවේගී මාර්ගයේ එක් කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා වූ වියදම රුපියල් බිලියන 1.8කි. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයක් සෑදීම සඳහා වැයවුණු මුදල මෙන් දෙගුණයකි. කුමන මාර්ගය සෑදුවත් මේ මුදලින් වැඩිමනක් උපයා ගන්නේ විදෙස් ණය මතය. මේවායෙන් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට මවා පෙන්වන තරමේ ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි කල්පනා කළ හැකිද? මේවා විවෘත කිරීමට ප‍්‍රථම, මහ ඉහළින් ප‍්‍රචාරය කරමින් උත්සව පවත්වා මහජනතාව වෙත ප‍්‍රදර්ශනය කිරීමේ සැ`ගවුණු උත්ප‍්‍රාසය කුමක්ද? හයිවේ සවාරි තබා එදිනෙදා උග‍්‍රවන ජීවන වියදම හමුවේ දෛනික බස් ගාස්තුවවත් දරාගැනීමට නොහැකිව දස අතේ කල්පනා කරන සාමාන්‍ය ජනතාවට නාමිකව මිස මින් මතු මේවා අයිති නැති බවද?
                  ඓශ්චර්යය කෙසේ වෙතත් රටේ දුප්පත් කමත් ඇති නැති පරතරයත් දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. කොලස්ටරෝල් අඩුකරගැනීමට දුවන වරප‍්‍රසාද ලත් පිරිසගේ තුවායත් වතුර බෝතලෙත් ඔසවාගෙන හති ලමින් පසුපසින් දිවීමට සාමාන්‍ය ජනතාවට සිදුව තිබේ. තම ස්වාමියා අත්විඳින අධිවේගී මාර්ග, නෙළුම් කුළුණු, සී ප්ලේන්, වෝකින් පාර්ත්, ගුවන්තොටුපල සහ කැසිනෝ ශාලා ආදිය දෙස හොරැුහින් බලා සතුටු වීමට ඒ ගමනේදී ඔවුන්ට හැකිය. 


                                                                          - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

                                                                                                                               

Wednesday, April 9, 2014

අභය මුද්‍රාව






ඒ අවාසනාවන්ත දවසට එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි ඔහුගෙ ස්වර්ණමය සිහිනය බොල් බවට හැරිල තිබ්බ. . . 

එදා දවසට එළිය වැටුනෙ පොලිසියට පුංචිබණ්ඩගෙන් සමාව අරගන්ඩ සිද්ධ කරල. එහෙම වුනත් තමංගෙ ස්වර්ණමය සිහිනය දියකරල දාල තමා පාරට වට්ටන ක්‍රමවේදයත් ඒ සමාව ගැනිල්ල ඇතුළෙම සියුම් විදිහට ලියවිලා තියෙයි කියල ඔහුට හීනෙකින්වත් හිතුනෙ නෑ. මේක පොලිසිය එකතු වෙලා හිතා මතා කරපු නාට්‍යයක් බව අනික් කාටත් වඩා පුංචිබණ්ඩ තේරුම් ගත්ත. ඒ නාට්‍යය ඇතුළෙ තමං විතරක් නෙමෙයි ප්‍රදේශයේ ඇමතිවරය පවා මුළාවෙහි දැමුණු හැටි ඔහු විශ්මයට පත් කළා. 

ඒ මොකක් වුණත් ඔහුට ඕනෙ කළේ නිර්දෝෂි මිනිහෙක් විදිහට සුදුහුණු තවරගෙන, පාරට බහින්ඩ නම් නෙමෙයි. තමංට හිමි දේ ආරක්ෂා කරගන්ඩ. මෙච්චර දවසක් තමංගෙ ඇස් කෙවෙනි යට දුක් විඳ විඳ තිබ්බ හීිනෙ කොල්ල කන්ඩ නොදී හැබෑවක් කරගන්ඩ. ඇත්තටම පුංචිබණ්ඩට කරගන්ඩ බැරිවුණෙත් ඒ ටිකම තමයි. 

***************

කන්නට වහින වැස්ස කලට වේලාවට වැස්සත් නැතත් මෙදා දොහේනම් ගොවිතැන් කටයුතු නියම වෙලාවට, කොහොම හරි කරන්ඩ පුංචිබණ්ඩ තීරණේ කරං හිටිය. ඒ සුමනවතී හතරවන පාරටත් බඩ වුණ හින්ද විතරක් නෙමෙයි. දවසින් දවස කටවල් ගාන වැඩි වෙන එකත් ප්‍රශ්නයක් තමයි. ජීවත්වෙන්ඩ දරන්ඩ ඕන වෑයම දවසින් දවස අමාරු වන බව පුංචිබණ්ඩගෙ අතපය හතරට හොඳට තේරුණා. ඉස්සරනම් අක්කරයක වී බුසල් සීයක් හමාරක් පැහුන. පොළවත්තෙක්ක කොච්චර ඔට්ටු වුණත් දැන්නම් හැත්තෑව පන්නන්ඩ බැරි බව පුංචිබණ්ඩ හොඳටම දැනගෙනයි හිටියෙ. කුඹුරු කෑල්ලත් තමංගෙ ජීවිත වගෙම හොඳටම නිසරු වෙලා කියල හිත හිත සුමනවතී සුසුං හෙළනව ඔහු නිතර දෙවේලෙ බලාගෙන. 
කන්න වැස්සට අහවල් දෙයක් වුණත් ඉස්සරනම් මේ විදිහට උඩ බලාගෙන හූල්ලන්ඩ උනෙ නෑ කියල තාත්ත කියනව පුංචිබණ්ඩට මතකයි. ඒ මහ ඇලේ වතුර අවුරුද්ද පුරාවටම වේලෙන්ඩ ඉඩ නොදී කෙත් වතු යායම තෙත් කරපු හිංද. ඒත් මහ ඇලට ඒ අනුහස දරාගන්ඩ පුළුවන් වුනෙ මහවැලියෙන් නව ජය ගඟ කපනකං විතරයි. අලුත් ජය ගඟ කැපුවත් එක්ක වුණෙ නියෙඟට වහින වැස්සක් වගෙ මහ ඇලත් ඉඩෝරෙත්තෙක්කම හිඳිල යන එක. 

කොහොමෙන් කොහොම වුනත් ඒ ස්වර්ණමය සිහිනය පෑදෙන්ඩ නම් මේ හැම කරුණක්ම විවිධාකාර විදිහට බලපෑම් කළා. . . 


ගොවිතැන්බතට මෙතුවක් කාලයක් නොගත්ත 'මහහුඹහ' ඉඩමත් එළි කරන්ඩ ඕනැ කියල පුංචිබණ්ඩ තීරණේ කළා. ඒ දවසින් දවස ජීවන අවශ්‍යතා දික්වෙද්දි අස්වැන්න හැකිලිල යන එක උහුලගෙන ඉන්ඩ බැරිම තැන. ඉඩම කට්ටි කරල තාත්ත පුංචිබණ්ඩටත් අනික් සහෝදරයින් පස් දෙනාටත් බෙදල දෙද්දි මහහුඹහ අයිති වුණෙ ඔහුට. මහහුඹහ මුවවිටට වෙනකම්ම පුංචිබණ්ඩගෙ තාත්ත ඒ වන විටත් ගොවිතැන්බතට යොදවල තිබ්බ. ඒත් මහහුඹහට අත තියන්න තාත්තවත් සූදානම් වුණෙ නෑ. ඒක සුදු නයෙක් විසින් ආරක්ෂා කරන භූමියක් හැටියටයි කවුරුත් පිළිගත්තෙ. ඉතිං මහහුඹහ එදා ඉඳන්ම පාලුවට යන්න ඇරල තිබ්බ. පුංචිබණ්ඩත් පුංචි කාලෙ දැකල තියෙනව මේ සුදු නයා දිගට දිගේ හුඹහ වටකරන් ඉන්නව පෙනෙත් පුප්පගෙන. 

කොහොම වුනත් පහුගිය අවුරුදු විස්සක තිහක කාලෙ නම් කවුරුවත්ම සුදු නයා දැකල තිබ්බෙ නෑ. ඒත් ඒ විශ්වාසෙ පුංචිබණ්ඩලාගෙන් පලාගියෙත් නෑ. මොන දේ වුනත් ඒ ඉඩමත් වගාවට ඈඳගන්නවා හැර කරන්ඩ වෙන විකල්පයක් මේවනවිට නම් පුංචිබණ්ඩට ඉතිරිවෙලා තිබ්බෙ නෑ. අලුත් පොළව හිංද අක්කර බාගෙ වුණත් සෑහෙන්ඩ සාරවත් වෙයි කියල තමයි කවුරුත් කල්පනා කෙරුවෙ. 


*************


මහහුඹහට උදැල්ල තියල දෙහෝරාවක් යන්ඩත් කළියෙන් ඒ ස්වර්ණමය සිහිනය උදලු තලේ හැප්පෙන හඬ ඔහුගෙ සවනට වැටුණ. ඒ දෛවෝපගත "චරස්" හඬ පුංචිබණ්ඩ එකෙනෙහිම අධෛර්යමත් කළා. පොළොව යටින් විසාල තිරුවාන තලාවක් පෑදෙනවය කියලයි ඔහුට හිතුණෙ. ඒත් එතනින් පෑදෙන්නෙ ගල් තලාවක් නෙමෙයි අඩියක් විතර දිග දඹ රන් බුදු පිළිමයක් කියල තේරුම් යන්න පුංචිබණ්ඩටයි සුමනවතීටයි වැඩි වෙලාවක් ගියෙ නෑ. 

අභය මුද්‍රාවත්තෙක්ක තිබ්බ දකුණු අත උදලු පාරට දෙකඩ වෙලා තිබ්බ. සිහි එළවගන්ඩ බැරිව පුංචිබණ්ඩත් සුමනවතිත් විනාඩි කිහිපයක් ගල්ගැහුණ. මහ පොළවෙන් තමංට ලැබුණු නිධානෙ කාටත් නොපෙනෙන්ඩ ගෙට ගන්ඩ ඕනෙ කියල දෙන්නටම කල්පනාවෙද්දි හිස් මුදුනට ඉර මුදුන් වෙන හෝරාව මුවවිටටම ඇවිත් තිබ්බ.. 


*************


"සිරිසේන මල්ලියේ... මේ වත්ත වටේට බැම්මක් ගහන්න කීයක් විතර යයිද හැබෑට?"

පුංචිබණ්ඩගෙ කතාවට සිරිසේන ගැස්සිල ගියා. කැමැත්තකින් නොවුනත්, කෝන්ගහ හෙවණට තැපැල්නයින්ටිය හරවන්ඩ අන්තිමේදි සිරිසේන කල්පනා කළා. ඇත්තටම ඔහුට පුංචිබණ්ඩගෙ පයිත්තියන්වලට කංදෙන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. කුරුණෑගලට පංති ගිහින් මගට එන පොඩි කෙළිත් කැටුං ඔහු පාරට අලි එන්ඩ කළියෙන් ආපහු ආ යුතුව තිබ්බ. කොහොම වුනත් පුංචිබණ්ඩ බයිසිකලේට අතත් දැම්මට පස්සෙ කතා නොකර ඉන්ඩ සිරිසේනට හිත දුන්නෙ නෑ. මොන දේ වුණත් පුංචිබණ්ඩයිය හිත හොඳ මනුස්සය කියන එක තමයි සිරිසේනගෙ කල්පනාව. 

"මේක වටේ බැම්මක් ගහන එක උඹලට - අපිට ලේසි වෙන එකක් නෑ පුංචිබණ්ඩයියෙ.. !"

"අඩු ගානෙ ලක්ෂ හත අටක්වත් යයි මයෙ හිතේ. අද පුච්චපු ගලක් වුණත් කීයද?" 

"එච්චර යයි ද? - නෑ මං නිකමට ඇහුවෙ." 

තමං අත හිටි හැටියෙ මුදල් ගැවසෙන විත්තිය ගමේ අය දැනගත්තොත් සිද්ධවිය හැකි විනන්බෑසිය ගැන පුංචිබණ්ඩට කල්පනා වුණා. අනෙක් අතට තවවෙනතුරුත් පිළිමෙ විකුණගන්ඩ ක්‍රමයක් පෑදුනෙත් නෑ. බිඳී ගිය අත කමලසිරි මාර්ගෙන් විකුණගත්තත් ඉන් ඔහුගෙ සියලු බලාපොරොත්තු ඉටු කරන තරම් මුදලක් ලැබුන්නෑ. වත්ත වටේට බැම්මක් ගහන එක පුංචිබණ්ඩගෙ අවශේෂ බලාපොරොත්තුවක් විතරයි. ගේ ඉස්සරහින් කඩ කෑල්ලක් දාගන්ඩ ඕනෙ බව ඔහුට ඒත්තු ගැන්නුවෙ සුමනවතී. සුමනවතීගෙ කතාව ඇත්ත. කඩ කාමරයක් හදා ගත්තොතින් කවදාවත් ලබාගන්ඩ බැරි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් නිකරුණේ මහපොළවත්තෙක්ක ඔට්ටුවෙන එක නවත්තන්ඩ පුළුවන්. තමංගෙත් සුමනවතීගෙත් දරුවන්ගෙත් සියලු දුක්ඛ දෝමනස්ස ඇකිල මැකිල යන්ඩ තව වැඩි කලක් නෑ. කඩේටම අල්ලල වී මෝලක් පටංගන්ඩ පුළුවන්නම් තමංටත් සිරිසමන් මුදලාලි වගෙ සල්ලි කාරයෙක් වෙන්ඩ පුළුවන් බව පුංචිබණ්ඩගෙ යටි හිතට ආව. ගමේ එව්වො කියන හැටියට කසිප්පු පෙර පෙර හිටි සිරිසමනයා, ගමෙනුත් අතුරුදන්වෙලා සිරිසමන් මුදලාලි හැටියට කළඑළි බහින්නෙ විහාරමහදේවින්නාන්සෙ ගොඩනන්වපු පුරාණ විහාරෙක තිබ්බ නිධානයක් ගොඩ අරංලු. 


*************


පිළිමෙ ආරක්ෂා සහිතව හංගල තිබුණත් ඒක එකපාරට විකුණගන්ඩ පුංචිබණ්ඩට බය හිතුණ. ඒ ගැන දැන් කමලසිරිත් දන්න නිසා ඒක තියන් ඉන්ඩත් බයයි. පුංචිබණ්ඩ කමලසිරි ළඟට ගියෙ මේ වගෙ වැඩක් කරල තමන්ට පුරුදු නැති නිසා. ඒ විතරක් නෙමෙයි ඒ වගෙ දෙයක් කරන්ඩ තරම් ආත්ම ශක්තියක් තමන්ට නැති හිංද. කොහොම වුණත් පුංචිබණ්ඩ කමලසිරිට පිළිමෙ කතාව කිව්වෙ නෑ. ඔහු කමලසිරිට දුන්නෙ අභය මුද්‍රාව සහිත බිඳුණු අත විතරයි. ඒත් කමලසිරි පුංචිබණ්ඩගෙ කටින් එහෙම පිටින්ම කතාව අල්ලගත්ත. දැං කමලසිරි ඒ කතාවෙ දන්නෙ නැති එක කොටසයි තියෙන්නෙ. පිළිමෙ හංගල තියෙන්නෙ ගෙදර බිත්තියක් ඇතුළෙ කියන එක විතරයි. මොන දේ කළත් තමංගෙ මලයගෙ හොඳම යාලුව වෙච්චි කමලසිරි තමංගෙ පවුලට ලෙංගතුබව පුංචිබණ්ඩ තදින් විශ්වාස කළා. බිඳුණු අත විකුණන වැඩේදි වුණත් කමලසිරි අවංක වුණා කියල තමයි ඔහුට හිතෙන්නෙ. 

මොන දේ වුණත් කාරණේ ඉක්මන් කරන්ඩ ඕනෙ කියල පිළිමෙ හම්බවෙලා හරියටම දවස් හතක් පිරෙන දවසෙ හැන්දෑවෙ ඔහු කමලසිරිට කිව්ව. පසු දිනම ගණුදෙනුකරුවෙක් එවන බවත් ඔහු සමග ගනුදෙනුව කතා කරගන්නා ලෙසත් කමලසිරිත් පුංචිබණ්ඩට පොරොන්දු වුණා. ඇත්තටම පිළිමෙ විකුණන්ඩ ඉක්මන් කරන එකට බලපාපු තවත් ලොකු හේතුවක් තිබ්බ. ඒ තමයි කළිං දවසෙ රෑ එකම වෙලාවට පුංචිබණ්ඩත් සුමනවතිත් එකම සමාන හීන දෙකක් දැක්ක එක. තවදුරටත් පිළිමෙ ගේ අහලක නොතියන හැටියට දිගින් දිගටම ඇවිටිලි කරන්ඩ සුමනවතී ඒ හීනෙත්තෙක්ක පටංගත්ත. 

පෙනේ පුප්පගත් සුදුම සුදු නාග රාජයෙක් අභය මුද්‍රාව සහිත කැඩුණු අතක් වටේ ඒ හීනෙදි දරණ ගසාගෙන හිටිය . . . 


*************

අල්ලපු ගමේ වැවකින් නිධානයක් මතු වුණ බවත්, හිටිහැටියෙ මහ රෑ පියාඹගෙන ආපු හෙළිකොප්ටරයක් ඒක අරගෙන ගිය බවටත් පහුගිය දවස්වල ගමේ මිනිස්සු අතර කසුකුසුවක් තිබ්බ පුංචිබණ්ඩට මතක්කුණා. චොපර්රෙක ගියෙ කොළඹ පැත්තට කියලයි විශ්වාස කෙරුණෙ. නිධන් හාරන්ඩ ආව කියල තවත් ගමක මිනිස්සු වගයක් විසේසකාර්ය බලකායෙ සෙබළු එක්ක ආරෝවක් ඇතිකරගත් සිද්ධියත් ඒත්තෙක්කම ඔහුගෙ මතකෙට ආව. අරවගෙ හෙළිකොප්ටරයක් ඇවිත් තමංගෙ හීනයත් අරගෙන කොළඹ දිහාවට ඉගිලෙයි කියල හිතෙද්දි පුංචිබණ්ඩගෙ යටිපතුලෙ ඉඳන් හිස් මුදුන දක්වා හීන් වෙවුළුමක් ඇදුණ. 

'පොළොවෙ තියෙන හැම නිධානයක්ම රජයටයි අයිති, ඒ අය කොයිම විදිහකින් ඒව ගත්තත් කිසිම ගැටලුවක් නෑ' කියල පාර්ලිමේන්තුවටත් ගිය පුරාවිද්‍යාව පිළිබඳ මහ උගත් හාංදුරුකෙනෙක් මේ ළඟකදි රේඩියෝ එකෙන් කියනව පුංචිබණ්ඩට අහම්බෙන් වගෙ ඇහිල තිබ්බ. ඒ කසිප්පු පැකට්ටෙකක් ණයට ඉල්ලගන්ඩ හිතාගෙන සුදුමල්ලිගෙ තිප්පොළ ළඟ ටැග්ගැහිගැහි ඉද්දි පුෂ් බයිසිකලයක් පාගගෙන ඒ දිහාවට ආපු, ගමට වාසනාව අරන් එන ලොතරැයි මණ්ඩලේ ලවුස්පීකරෙන්. (ජාතියට වාසනාව ගේනව කියල ජනාධිපති තුමාගෙ ලොකු රූපෙකුත්තෙක්ක ගමට ප්‍රවේශ වෙන හැම හන්දියකම මණ්ඩලෙන් බැනර් ගහල තිබ්බත්, ඒ විදිහට වාසනාව පෑදුනු කෙනෙක් අහල ගම් හතකවත් ඉන්නවද කියල පුංචි බණ්ඩ දැනගෙන හිටියෙ නෑ. ගමේ කාට හරි වාසනාව පෑදුනානම් ඒ ඉතිං නිධානෙකින්ම තමයි.) ඒ වගේ උගතෙක් මේ වගේ කතාවක් කියද්දි පුංචිබණ්ඩගෙ බය තව තවත් වැඩි වුණා. පොළවෙ තිබිල හම්බවුණ දේ වුණත් ආණ්ඩුවට නොදුන්නොත් ඒක ලොකු හොරකමක්ය කියල උන්නාංසෙගෙ කතාවෙ ගැබ්බෙලා තිබ්බ. පොළොවෙ තිබිල හම්බුවන දේවල් ලැබුණ කෙනාට අයිතියි කියල තමන් මෙතෙක් කල් හිතං හිටි දේ කොයි තරං වැරදිද කියල ඔහුට තේරෙන්නෙ දැන්. රජය කියන්නෙ මොකටද කියල පුංචිබණ්ඩට ලොකු අදහසක් තිබ්බෙ නැති වුණාට ඒ කියන්නෙ මේ මේ අයට වෙන්ඩ ඇති කියල පුංචිබණ්ඩ හිතාගත්ත. කොහොම උනත් උන්නාන්සෙ කිව්ව කතාවනම් වරදින්න බෑ කියල ඔහුට විශ්වාසයි. 

තමංගෙ හීනෙ හංගලා තිබ්බ ඒ බිත්ති පළුව උඩින් ඇලවූ සීවලී හාංදුරුවන්ගෙ පින්තූරෙට අන්තිමේදි ඔහු හඳුන්කූරක් පත්තු කළා. . . 



*************


"මේකට ලක්ෂ හතළිහක් දෙන්නම්"

මුදලාලි පිළිමෙ දිහා බැලුවනම කිව්ව. පිළිමෙ ලස්ස හතළිහක් වටිනව කියල මේ වෙනකම්ම පුංචිබණ්ඩ දැනගෙන හිටියෙ නෑ. ඔහුට එහෙම හිතුනෙත් නෑ. ඇත්තටම මුදලාලිගෙ කතාවෙන් පුංචිබණ්ඩ පුදුමෙනුත් පුදුමෙට පත් වුණා. ලස්ස හතළිනහට මේ ගණුදෙනුව එකවරම තුන් ඈවර කරන්ට ඔහුට හිතුනත්, දොර රෙද්දෙන් එබිල බලාගෙන හිටපු සුමනවතීගේ සන්කිරීමත්තෙක්ක තුන් ඈවරය දෑවරයටත් කළියෙන්ම ඈවර වුණා. 
"ලක්ස හතළිහට නම් දෙන්ඩ එපා. දැක්කෙනැතෙ'යි ඒ මිනිහ පිළිමෙ දැක්ක ගමන්ම ගාන කියු හැටි - ඒක ඊට වඩා ගොඩක් මිළ ඇති "
සුමනවතීගෙ කතාව ඇත්ත වෙන්ඩ පුළුවං කියල එවෙලෙම පුංචිබණ්ඩට හිතුණ. සැබැවින්ම මෙය මීට වඩා වටිනවා විය යුතුය. මෙතරම් ලොකු දඹරන් පිළිමයක් වටින්නෙ ලස්ස හතළිහක් කියල හිතන්නෙ කොහොමද? සමහරවිට ඒ වගෙ දෙතුන් ගුණයක්වත් වටිනවා විය හැකිය. බැරිවෙලාවත් ඒ මිළට පොරොන්දු වුණානම් සිද්ධවෙන්නෙ ලොකු නස්පැත්තියක් බව ඔහුට කල්පනා වුණා. 

"ඒ ගානටනම් බෑ මුදලාලි. මේක තනිකර දඹ රං!"

"එහෙනං, පුළුවන් ගානක් තමුංම කියන්ඩකො"

"නෑ, මුදලාලිම ඉල්ලන්ඩ. මං කියන්නම් හාද බෑද කියල"

"හරි, මට ලොකු ප්‍රොෆිට් නෑ තමයි. කමක් නෑ, අන්තිම හතළිස් පහක් දෙන්නම්"

ඒ ලංසුවත් පුංචිබණ්ඩගෙ හිත ගත්තෙ නෑ. කටට ආවට කිවුව මිසක ප්‍රමාණවත් මිළක් වැඩි කළේ නැති බවයි පුංචිබණ්ඩට හිතුනෙ. ඒ හිංදමද කොහෙද ඒ මුදලට ගණුදෙනුව නොකරන ලෙස සුමනවතිත් කාමරේ ඉඳන් ඔළුව වැනුව පුංචිබණ්ඩ බලාගෙන. පුංචිබණ්ඩත් ඒත්තෙක්කම ඔළුව වැනුව. 

"ලක්ෂ පණහයි - ලාස්ට් ප්‍රයිස් පණහයි ඕකේ.."

මුදලාලි බරට බරේ නෝට්ටු මිටියක් මේසෙ උඩට විසි කළා. ක්‍රමයෙන් තීව්‍රවෙන හදගැස්මෙහි හඬ තමංගෙ කන් පෙති අස්සෙන්ම රිංගනව පුංචිබණ්ඩට තේරෙන්ඩ ගත්ත. ඔහු තම බිරිඳ දිහාවට දෑස යොමුකළත් ඒ මූණෙත් පේන්න තිබ්බෙ විසාල තැතිගැන්මක්. ගැඹුරුම ගැඹුරු අතීර්ණයක්. 

හැබෑවටම පිළිමෙ මීට වඩා වටිනවාද? නැතිනනම් ලස්ස පණහ සාධාරණයි ද? අනෙක් අතට මේසෙ උඩ තියෙන මේ සල්ලි ඇත්තම ඒවාද? ඒවා බොරු සල්ලි වෙන්න බැරිද? මොහු තමන්ව රවටනවා වෙන්න බැරිද? "ඉස්මයිල් කාරය තම්බිය වුණාට හොඳ බිස්නස්මන්. එයා ඕක සාධාරණ ගානකට ගයි" කමලසිරි කිවු කතාව පුංචිබණ්ඩගෙ මතකෙට ආව. 

"මේව ඇත්තම සල්ලි නේද?"

පුංචිබණ්ඩගෙ කථාවට මුදලාලිගෙ මූණ බලාගෙන ඉද්දිම රතුපාටට හැරුණ. 

"ෂී.. ෂී.. ඔහෙලට ෂුවර් නෑනම් මං බැංකුවටම ෂල්ලි දාල දෙන්නම්. ඔහොම කථා එපා.. අපි ළඟ මේ වගෙ වැඩවලදි එහෙම හොර නෑ. අපි ගැන ෂුවර් නැත්තම් අහන්ඩ කමලසිරි මල්ලිගෙන්. එයත් එක්ක අපි වැඩ කරල තියෙනව ඉස්ෂර ඉඳං.."

තමන්ගේ සිහිනවල බරත් මේසෙ උඩ තියෙන ලස්ස පණහෙ බරත් සමපාත වන්නේද? තමා මෙතෙක් මැවූ සිහිනවල බර ඊටත් වඩා ඉහළ නොවන්නේද? ඇතැම් විට කමලසිරිත් මුදලාලිත් දෙදෙනාම එකතු වී තමාව රවටනවා වෙන්ඩ බැරිද? හොර සල්ලි ළඟ තියනන් හිටිය කියල කමලසිරිව දවසක් පොලිසිය කුදලන් ගිය විත්තිය ගැන තමං අහල තිබ්බ ඒත්තෙක්කම පුංචිබණ්ඩගෙ මතකයට ආව. 

"අපි පස්සෙ කියන්නම් මුදලාලි පණිවිඩේ - කමලසිරි මල්ලි අතෙම. . ."

ඒ නිශේධිත ගණුදෙනුව ඔහුගේ සිනහිනයෙන් උදුරා ඔහු අන්ධකාරය දෙසට තල්ලු කර තිබුණි. . . 


*************


එදා එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි පුංචිබණ්ඩගෙ දෙපා පටලවාගත් නාගයා පොලිස් කූඩුවේ කූරු අස්සෙන් ඉව කරල බලල ඔහුගෙ හිස් මුදුනට දශ්ඨ කළා. . . 

ඉහ මුදුනෙ ඉඳන් විෂ ශරීරය පුරා උඩුදුවන්න දුවන්න හැමදේම වෙනස් වෙන්ඩ ගත්ත. හිටි ඉරියව්වෙන් වැඩසිටි උන්නාන්සෙ ඉඳි ඉරියව්වට මාරු වෙලා හිටිය. කැඩිල තිබුණ අත වෙනුවට අලුත් අතක් දලුදාල තිබ්බ. අභය මුද්‍රාව විතර්කෙට මාරු වුණා. කොටින්ම කියනවානම් ඒ අවාසනාවන්ත දවසට එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි දඹ රන් පිළිමෙ පිත්තලට හැරිල තිබ්බ. ඒ විතරක් නෙමෙයි පුංචි බණ්ඩගෙ ශරීරෙ පුරා තිබ්බ තුවාල සියල්ල ඇදුම්කන්නත් පටංගෙන තිබ්බ. 

ඒ මොන දේ වුණත්, නිධානයකින් හොරකම් කරපු දඹරං පිළිමයක් හංගන් ඉන්නව කියල හිතල අත්තඩංගුවට ගත්ත එක වෙනුවෙන් එදා පාන්දරට එළිවෙද්දි පොලීසිය පුංචිබණ්ඩගෙන් සමාව ගමින් හිටිය. කළින් දා රෑ පොලිසිය පුංචිබණ්ඩයි පිළිමෙයි දෙකම අත්තඩංගුවට අරං තිබ්බෙ ගණුදෙනුව කරගන්ඩ බැරි වුණ ඉස්මයිල් මුදලාලි පොලිසියට දීල තිබ්බ ඔත්තුව පස්සෙ ඇවිත්. වැඩකට නැති පිත්තල පිළිමයක් හිංද මේ සිද්ධවුණ ඇබැද්දියට ගොඩාක් සමාවෙන්ඩ කියල ඕඅයිසී මහත්තයත් ඇවිත් කටපුරාවට සමාව ඉල්ලුව. 


*************

දවසක් කමලසිරි එක්ක මරංචි ගැහිල්ලට ගිය හැටි පුංචිබණ්ඩට මතක් වුණා. එදා පුංචිබණ්ඩ බිලී පිත්තකුත් අරං වැව දිහාවට ගියෙ මාළු වැලක් දෙකක් හදාගන්ඩ පුළුවන් වුණොත් එදා දවස ගොඩ කියන අදහසින්. වැව් බැම්ම උඩට වෙලා බීඩියක් උර උර හිටි කමලසිරි පුංචිබණ්ඩට කතා කළේ ඒ යන අතර. කමලසිරිගෙ නහයට නාහන වැඩ ගැන අහල තිබ්බත් ඒ ගැන ලොකු අවබෝධයක් පුංචිබණ්ඩට තිබ්බෙ නෑ. තමං එක්ක ආවොත් ගානක් දෙන බව කමලසිරි කියද්දි නොගිහින් ඉන්ඩ තරම් හිතක් තිබ්බෙත් නෑ. අනික තමන්ගෙ මැරිච්චි මල්ලිගෙ හොඳම යාලුවා වුණ කමලසිරි ගැන ඔහුට විශ්වාසයක් තිබ්බ. 

බන්ටෙක පහුකරල කැලෑව ඇතුළට මීටර් සීයක් යනකොට අලුත්ම අලුත් කැබ්බෙකක් නවත්තල තිබ්බ. ඒකෙන් ආපු මහත්තුරු දෙන්න කමලසිරි දැක්ක ගමන් ඉස්සරහට ඇවිත් අතට අත දුන්නෙ කාලාන්තරයක් තිස්සෙ අඳුරනව වගෙ. කමලසිරි කලිසම් සාක්කුවෙ හංගන් හිටි මල්ලක් එලියට ගන්නව පුංචිබණ්ඩ දැක්කෙ එතකොට. මල්ල ඇතුලට අත දාපු කමලසිරි කරවිල ඇට වගයක් එළියට ගත්ත. ඒ 'වරාගම්' විත්තිය පුංචිබණ්ඩට එක පාරම තේරුන් ගියා. ඒව තමන් දෙන්නට නිධානෙකිං ලැබුණු බව කමලසිරි මහත්තුරුන්ට පැහැදිලි කරද්දි පුංචිබණ්ඩගෙ උගුර කට වේලිලා ගියා. ඒත් ඒ කීම ඇත්තක් බව හඟවන්ඩ ඔහුටත් ඔළුව වනන්ඩ වුණා. තමං විතරක් නෙමෙයි කමලසිරිත් - ඊටත් වඩා අර මහත්තුරු දෙන්නත් ඒ මොහොතෙ හිටියෙ කලබලෙන් බව පුංචිබණ්ඩට තේරුන් ගියා. 

මල්ලට අත දාල ඒකෙ තිබ්බ වරාගම් කලවම් කළ කමලසිරි අහම්බෙන් එක ඇටයක් අරන් ඉස්සරහ හිටි මහත්තයෙක් අතේ තිබ්බ. ඔහු කළේ ඒක ගිරයකින් දෙකට කපන එක. වරාගම් සියල්ල රත්තරං කියල තහවුරු කරගන්ඩ ඒ අයට ඒ ඇටේ විතරක් ප්‍රමාණවත් වුණා. වාහනෙන් ගත්ත සල්ලි මිටියක් කමලසිරි අතේ තිබ්බ මහත්තුරු වරාගම් මල්ලත් අරං ඉගිල්ලිල ගියා. 

ඇත්තටම එතන සිද්ධ වුණ දේ පුංචිබණ්ඩ තේරුන් ගත්තෙ ඊටත් පස්සෙ. ඒ නිධානෙ ගත්තෙ කොහෙන්ද කියල කමලසිරිගෙන් අහද්දි. 

"මං ගත්තු නිධානයක් නෑ පුංචිබණ්ඩයියෙ. උන්ට දුන්නු වරාගමකුත් නෑ. මයෙ හිතේ උඹ සීන් එක දන්නවා ඇති කියල... කපල පෙන්නුව වරාගම් ඇටේ විතරයි ඇත්ත. ඒකනම් අපේ යාලුවො කට්ටියක් කළිං ගොඩදාපු එකකින් ගත්තු එකක්."

"ඉතිං උඹ ඒක මල්ල කලවම් කරලනෙ ගත්තෙ?"

"උඹත් ඉතිං පුංචිබණ්ඩයියෙ අරුං වගෙ පල් මෝඩයෙක් වෙන්ඩ හදනවනෙ. මං ඒක හංගගෙනයි හිටියෙ මගෙ ඇඟිලි අස්සෙ, මල්ලට අත දාන්ඩත් කළිං ඉඳන්ම. උන් නිකම්ම නිකම් සල්ලි කාරයො විතරයි. උන් රත්තරං ගැන දන්නවා. ඒත් අපේ සබ්ජක්ට් ගැන දන්න ඉටිගෙඩියක් නෑ. හොර නිධාන ලාබෙට ගන්න හිතාගෙන හිතේ තියෙන තණ්හාවට පාට කරපු ඊයම්වලටත් අහුවෙනව..." 

කමලසිරිගෙ කතාව පුංචිබණ්ඩගෙ හදගැස්ම තවත් වේගවත් කළා. මොන තරම් අපහසුවට පත් වුණත්, මෙතනින් ඔක්කොම අවසන්ය කියලයි ගණුදෙනුව ඉවර වුණු වෙලේ පුංචිබණ්ඩ හිතුවෙ. ඒත් මේ යන විදිහට ප්‍රශ්නෙ පටංගන්නෙ දැං. කමලසිරි කිව්ව වගෙ ඒ අයට දුන්නෙ රත්තරං ගාපු ඊයන් නම් ඒ බව දැනගත් විගස ඔවුන් කමලසිරිත් තමාත් ලුහුබඳීන බව ඔහුට තේරුණා. ඒ වගේ දේවලින් ගැලවෙන්ඩ කමලසිරිට පුරුද්දක් තිබුණත් එදා වේල හොයාගෙන ජීවත්වෙන තමං වැනි අයෙක් එහෙම දෙයක් කරන්නෙ කොහොමද කියල පුංචිබණ්ඩ කල්පනා කළා. 

"උඹ දැන් කල්පනා කරන්නෙ උන් ආය අපිව හොයාගෙන එයි කියලද පුංචිබණ්ඩයියෙ?"

කමලසිරිගෙ කටහඬ පුංචිබණ්ඩව ආයෙත් පොළවට ඇදල දැම්ම. 

"උඹ බයවෙන්ඩ එපා. අපි එච්චරම මෝඩ නෑ. මේවට අපි ගන්ඩ පුළුවන් හැමෝගෙන්ම සපෝර්ට් එක අරගෙනයි තියෙන්නෙ. උඹ දන්නෙ නැතිවුණාට මම දැනටමත් මැසේජ් එක දීලයි තියෙන්නෙ ඕඅයිසී මහත්තයට. ඒ අයගෙ පංගුව යවන එක විතරයි අපිට කරන්ඩ තියෙන්නෙ... සමහරවිට අරුන්ව මෙලහකටත් පොලිසියෙන් අල්ලල ඇති. සල්ලිවලට වරාගම් ගන්ඩ ගියා කියලා. කොහොම කොහොම හරි උන්ට වෙන්නෙ අර වැඩකට නැති ඊයම් පතුරු ටිකත් නැතිවෙන එක. ඒව ආපහු උදේට අපි ළඟ.." 

පුංචිබණ්ඩගෙ හදගැස්ම එකපාරට නතර වුණා. තමන්ගෙ කම්මුල් හරහාත් ඇස් බැමි හරහාත් සට සට ගා උණන දාඩියෙහි උණුසුම ඔහුට තේරුණා. සාමාන්‍ය හොරකමක් විදිහට බැලූ බැල්මට පේන්න තිබුණු මේ ගණුදෙනුව කොතරම්නම් සියුම්ද? ඒ යට තියෙනවා කියන සම්බන්ධතා ජාලය ගැන කල්පනා වෙද්දී ඔහුගේ දෑස් නිලංකාර වුණා. 

කමලසිරි තමංගෙ අතේ තිබ්බ දාහෙ කොළ ටික පුංචිබණ්ඩ කරුණාවෙන් ප්‍රතික්ෂේප කළා. 


නොකා නොබී නිදි පැදුරෙම ගෑනියි දරුවනුයි එක්ක මැරිල ගියත් ආයෙත් ආයෙනම් ඒ වගේ දේකට සම්බන්ධ වෙන්නෙ නෑ කියල එදානම් ඔහු තදින් හිතට ගත්ත... 


*************

"ඒක ඇත්ත පිළිමයක් සර්.."

"ඇත්ත පිළිමයක් තමයි ඕයි. ඒත් රත්තරං නෙවෙයි" ඕඅයිසී මහත්තය කිව්ව.

"රත්තරං සර්, ඒක දඹ රත්තරං"

ඕඅයිසී මහත්තය තමං පිටිපස ඉන්න යම් කෙනෙක්ට තම උරහිසට උඩින් සන් කරනව ඔහු දැක්ක. ඒත්තෙක්කම පොලිස් රාලහාමි කෙනෙක් විතර්ක පිළිමෙ මේසෙ උඩින් ගෙනත් තිබ්බ. 

"මේ තියෙන්නෙ... මේක පිත්තල මිනිහො. තමුසෙට පේන්නෙ නැද්ද? "

"ඕක පිත්තල වෙන්ඩැති සර්. ඒත් මගෙ පිළිමෙ ඕක නෙවෙයි. ඒක දඹ රං.. !"

"තමුසෙ නිකරුණේ මැරුන් කන්ඩයි හදන්නෙ. පව් කියල එළියට දැම්මම ගෙදර යන්නෙ නැතිව... දැං තමුසෙ හදන්නෙ අපිව හොරු කරන්ඩද?" ඕඅයිසී මහත්තය ගෙරෙව්ව. 

"නෑ සර්. මං කියන්නෙ මේක මගෙ පිළිමෙ නෙමෙයි කියල. මගෙ පිළිමෙ දකුණු අත තිබ්බෙ නෑ"

"දකුණු අත තිබ්බෙ නෑ... එහෙනම් මේ තියෙන්නෙ අහවල් එකක්ද යකෝ... !"

"අනේ බුදු සර්... තරහ ගන්ඩ එපා. මං දන්නව මගෙ පිළිමෙ ගැන. සර් එහෙනං ඒක සර්ල තියාගන්ඩ. මටත් ලස්ස හතළිහක් දෙන්ඩ. මං කාටවත් කියන්නෙ නෑ..."

"වහපිය කට..." "තෝ අපෙන් මැරුම් කන්ඩයි හදන්නෙ. පරය... එනව පොලිසිය එක්ක බිස්නස් කතා කරන්ඩ"
ඕඅයිසී මහත්තය පුංචිබණ්ඩගෙ කමිසෙන් අල්ලලා හෙළෙව්ව. ඔහුට හොඳටම තරහ ගිහිනුයි හිටියෙ. 

"අනේ සර්, ඒකෙ අතක් තිබ්බෙ නෑ. තිබුණ එක කැඩුන. අනික ඒකෙ තිබ්බෙත් අභය මුද්‍රාව. . . විතර්කෙ නෙමෙයි."
පුංචි බණ්ඩගෙ ඇස් දෙකෙන් කදුලු පැන්න. දෙතොල් වේදනාවෙන් බර වුණා. 

"අභය නෙමෙයි යකෝ පරාක්‍රමබාහු වුනත් අපිට කමක් නෑ. අපේ දෑහට නොපෙනෙන්ඩ පණ බේරං මෙතනින් පල" 

"කැඩුණු අත මං විකුණ්න සර්. ඒකට ලස්ස පහක් ගත්ත... ඒක දඹ රං සර්..."

පුංචි බණ්ඩ ඉකිගහන හඬට ඕඅයිසී මහත්තයගෙ කාමරයට තවත් නිලධාරීන් පිරුණ. ඒ අය බොහෝමයක් කළිං දා රෑ ඉඳං හිටි අය බව ඔහුට මතකයි. 
"අනේ සර් එහෙනම් ලස්ස විස්සක් දෙන්ඩ..."

"පරය... දැං අපි තොට කිව්වනෙ. දැක්ක නේද, මේක හොරෙක් තමයි. පව් කියල එළියට දාන්ඩ වටින එකෙක් නෙමෙයි. මේක ගාව ඇති නිධන් ගත්තුවා. ඒව ලක්ෂ ගණන්වලට විකුණල තව බයනැතිව අපිටත් කියනව.."

"යකෝ මේ පිළිමෙ විතරයි අපි ළඟ තියෙන්නෙ. මේක තමයි උඹේ මහලොකු පිළිමෙ. ඕනෙනම් මේකත් අරං තොලොංචි වෙයන්..."

"අනේ සර්... ලස්ස හයක්... කඩකෑල්ලක් දාගන්ඩවත්..."

වේගයෙන් ආපු තුවක්කු බන්දක් පුංචිබණ්ඩගෙ යටිබඩේ හැප්පුනා. කටට ලේ උණන රස ඒත්තෙක්කම ඔහුට තේරෙන්ඩ ගත්ත. ඔහුගෙ ඇස් දෙකම කාකි පාටට ටිකින් ටික නිලංකාර කෙරුව. පිස්තෝල කටක් ඔහුගෙ හිසට තදවුණා. කුණුහරප ගොඩක ගෝරනාඩුව කන් බෙරේ වැදිල පරාවර්තනය වුණා. තම බෙල්ලෙන් අල්ලගත් රාලහාමි කෙනෙක් තමාව එළියට ඇදල දානව යාන්තමට වගෙ ඔහුගෙ මතකෙ තිබ්බ. . . 

*************

පුංචිබණ්ඩට කරකියාගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. දහඅතේ කල්පනා කරල කරල අන්තිමට කමලසිරි ළඟට ගියා. 'ඇමතිතුමා හම්බවෙන්ඩ යමු'යි කියල කමලසිරිත් යෝජනා කළා. තමංට මුළු කතාවම කියන්ඩ කියල ඇමති තුමා කිව්ව. පුංචිබණ්ඩත් මුළු කතාවම කිව්ව. ලොකු උනන්දුවකින් අහං හිටිය ඇමතිතුමා කතාව ඉවර වුණ ගමං පුටුවෙන් නැගිට්ට. පුංචිබණ්ඩ එක්කම ගිය ඇමතිතුමා ඕඅයිසී මහත්තයට කිව්ව වහාම දඹරං පිළිමෙ තමංට බාර දෙන්ඩ කියල. ඕඅයිසී මහත්තය ඇමතිතුමාව පිළිමෙ ළඟට එක්කන් ගිහිං ''මේක කිසි වටිනාකමක් නැති පිත්තල පිළිමයක්, මේ බූරුවට පිස්සු" කියල ගත් කටටම කිව්ව. "ඕනෙනම් මේක ඇරං යන්ඩ ඇමතිතුමෝ" කියලත් අන්තිමට කිව්ව. 


ඇමතිතුමාට මුළු කතාවම කිව්වත් ඒ කතාව ඇතුළෙදි සුදු නයා ගැන විස්තරේ විතරක් හිතා මතා ලොප් කරල තිබ්බ...


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර   (Prasad Nirosha Bandara)