Thursday, July 1, 2021

අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළෙදපොළෙන් ලොකු කුට්ටියක් කඩාගත හැකි කෙක්කක් විදියට


ඇමරිකානු දර්ශන විද්‍යා මහාචාර්යවරයකු වන අර්වින් එඩ්මන්ගේ ‘කලාව සහ මිනිසා’ මහාචාර්ය ලියනගේ අමරකීර්ති අතින් පරිවර්තනය වූ නවතම කෘතියයි. කලාවේ ස්වභාවය, කලා වින්දනය, කලාවේ දාර්ශනික පසුබිම ආදී කරුණුත් සෞන්දර්ය විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කමත් පිළිබඳ විවිධ කලාවන් ඇසුරින් ඉසියුම් විචාරයකට ලක් කරන එඩ්මන්ගේ මෙම කෘතිය මහාචාර්ය අමරකීර්ති ලාංකික පොළව මත තබන්නේ අනන්‍ය පසුබිමක් තුළ සුවිශේෂාර්ථ ගන්වමින්. මේ කලාව සහ මිනිසා සහ පරිවර්තකයා විසින් එය ආස්ථානගත කිරීමට යුහුසුලු වන සංධර්භමය කාරණා පිළිබඳව කරන ලද සංවාදයකි. 


‘කලාව සහ මිනිසා’ වගෙම කළින් පළ කළ ‘කලාව කුමකටද’ කියන කෘති දෙකම ඔබ සමාජගත කරන්නේ අධ්‍යාපනය සම්බන්ධ යම් සමාජ දේශපාලනික අරමුණක් පෙරදැඩිව?

ඔව්. අධ්‍යාපනය කියන එක අපි ලංකාවේ තුළ ගන්න විදිහේ යම් සංකල්පමය දරිද්‍රතාවක් තියෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගන්නෙම කරණීය තර්කණය තුළ ඉඳලා. අධ්‍යාපනය තුළින් අපිට භෞතිකව මොකද්ද ලැබෙන්නෙ කියන එක තමයි ලංකාවෙ අය බලාපොරොත්තු වෙන්නෙ. 

නමුත් අධ්‍යාපනය අපේ විඥානය ප්‍රසාරණය කරන උපකරණයක් සහ අපේ ආචාරධාර්මික තර්කණය වර්ධනය කරන මෙවලමක් වෙන්නයි අවශ්‍ය. ඒ වගේම ඒක අපේ භාවමය ධාරිතාව වර්ධනය කරන පුහුණුවක් වෙන්න ඕන. නමුත් අපි දැන් ඒක ගැන හිතන්නෙ ඒ විදිහට නෙමෙයි. අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළඳපොළෙන් ලොකු කුට්ටියක් කඩාගන්න පුලුවන් කෙක්කක් විදිහට. අධ්‍යාපනය මේ කියන කරණීය තර්කණයට ඌනනය වෙලා තියෙන නිසා තමයි වෛද්‍ය පීඨයට යන්ඩ, ඉංජීනේරු පීඨයට යන්ඩ සහ කළමණාකරණ වගේ පීඨවලට යන්ඩ ළමයින්ගෙ සහ දෙමව්පියන්ගෙ මෙච්චර ලොකු උනන්දුවක් තියෙන්නෙ. වෛද්‍ය පීඨයට යන්න ඒ උනන්දුව එන්නෙ සෞඛය සම්පන්න ජාතියක් ගොඩනගන වත් තවත් මනුෂ්‍යකුගේ සුව දුක් වෙනුවෙන් කැපවන්නවත් නෙමෙයි. ඉංජිනේරු පීඨයට යන්න ඒ උනන්දුව ඇතිවෙලා තියෙන්නේ ශිෂ්ටාචාරය ගොඩනගන්න නෙමෙයි. කළමණාකරණ පීඨයට යන්න උනන්දුව ඇතිවෙලා තියෙන්නෙ මූලික වශයෙන් වඩා හොඳ මානව කළමණාකරණයක් ඇති කිරීම නෙමෙයි. මේ හැම දේකම මූලික අභිමතාර්ථය වෙලා තියෙන්නෙ රැකියා වෙළඳපොළෙන් හොඳ කුට්ටියක් කඩාගැනීම. 

ඔබ ඇහුවා වගේ, ඉස්සෙල්ලා මං පරිවර්තනය කළ කලාව කුමකටද කියන පොතෙයි, කලාව සහ මිනිසා කියන පොතෙනුයි මං සමාජගත කරන්න උත්සාහ කරන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන සංකල්පමය දරිද්‍රතාව පුලුවන් තරම් තුනී කරගන්නෙ කොහොමද කියන එක. ඒක පොත පත ලියලා විතරක් කරන්න අමාරු බව ඇත්ත. ඒකට අධ්‍යාපනය සම්බන්ධයෙන්  ඊට වඩා විශාල සමාජ පුනරුදයක් අවශ්‍යයි.  


මේ කියන කරණීය තර්කණය සඳහා වැඩි වශයෙන් නැඹුරුවීමට යම් රටේ ආර්ථික පදනම බලපාන්නෙ නැද්ද?

ඔව්. යම් විෂයයන් කීපයක් පදනම් කරගෙන මිනිසුන් කොටසකට  විතරක් අභිමානවත්  සහ ගෞරවනීය ජීවිතයක් ලබාගැනීමට ඉඩ සලසන ආර්ථික පසුබිමක් තමයි අපේ වගේ රටවල තියෙන්නෙ. ඉතින් කළින් කිව්වා වගේ ඒ ආර්ථික දේශපාලනික පැත්තට ශාස්ත්‍රවන්තයෙක් විදිහට උත්තර දීලා විසඳන්න අමාරුයි. හැබැයි එහෙම නොකරත් බෑ. 

අපි හිතමුකො වෛද්‍යවරයාටයි, විශ්වවිද්‍යාල ආචාර්යවරයාටයි, පාසල් ගුරුවරයාටයි, කවියාටයි එකම මට්ටමේ ආදායමක් තියෙන ආර්ථිකයක් තිබුණා කියලා. ඒ විදිහට වෛද්‍යවරයාගෙයි කවියාගෙයි ආර්ථික පරතරය අඩු සමාජයක වුනත් අර කියන සංකල්පීය දරිද්‍රතාව තියෙන්න පුලුවන්. මොකද ඒ වගේ සමාජයක වුනත් කවියා ඉන්නෙ මොකටද කියලා තේරෙන්නෙ නැති වෙන්න පුලුවන්.   


අධ්‍යාපනයේ වෙළඳපොළ අවශ්‍යතාව කියන එක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුලුවන් කාරණයක්ද?

යම් මනුෂ්‍යකුට අධ්‍යාපනයේ අවසානයේ හොඳ ආදායමක් ලැබෙනවානම් සහ ඒ මගින්  සැප  පහසු නූතන ලෝකයක් සඳහා දොරක් ඇරෙනවානම් ඒක හොඳයි තමයි. ඇත්තටම අධ්‍යාපනයේ තියෙන ඒ ගුණය අපි ආරක්ෂා කරගන්න ඕන. එහෙම නමුත් අධ්‍යාපනය තුළින් ඒ දොර ඇරෙන්නේ එක කොටසකට විතරනම් ඒකෙ ප්‍රශ්නයක් තියෙනවානෙ. 

මානව ශාස්ත්‍ර සහ කලා අධ්‍යාපනය විසින් තමයි පූර්ණ රසවතෙක් බිහිවෙන්නේ සහ හොඳ වින්දන ශක්තියක් තියෙන මිනිසෙක් හැදෙන්නේ කියලා යමෙක්ට කියන්න පුලුවන් තමයි. නමුත් අපිට වින්දන ශක්තිය විතරක් තියෙන අකර්මන්‍ය මිනිසෙක් වැඩකුත් නෑ. විශේෂයෙන් අපේ වගේ රටකට කාර්්‍යක්ෂම පුරවැසියෙකුයි කාර්යක්ෂම ශ්‍රමිකයකුත් ඕන. නමුත් මේ කියන කාර්යක්ෂම ශ්‍රමිකයා වගෙම හොඳ භාවමය සමබරතාව තියෙන රසිකයත් එකතැන ඉන්න පුලුවන්නෙ. නමුත් අපේ තියෙන ගැටලුව තමයි ඒ දෙක සමබරව තියෙන අය අපිට අඩු වීම.

නියම ශිෂ්ට සමාජයක් ගොඩනගන්න අපි හිතනවානම් තමන්ගේ ජීවිතය වගෙම තමන් යටතේ යැපෙන දරුවන් වගේ අනික් මිනිසුන්ට හොඳ ජීවිතයක් උදා කරලා දෙන්න පුලුවන් ආර්ථිකයක් තියෙන මිනිසෙක් හැදෙන්නත් ඕන. ඒ වගේ ම ඔහු හොඳ වින්දන ශක්තියක් හොඳ පුරවැසියෙක් වෙන්නත් ඕනා.


කලාව සහ මිනිසා පෙරවදනෙහි ඔබ දීර්ඝ වශයෙන් මතුකරන ‘සාකල්‍යවාදී අධ්‍යාපනය’ වැදගත් වෙන්නේ මේ අරමුණ කරා යෑමේදීද?

සාකල්‍යවාදී අධ්‍යාපනය කියන එකෙදි අදහස් කරන්නේ කාර්්‍යක්ෂම ශ්‍රමිකයාගේ සිට සියුම් රසවතා දක්වා සියලු පැතිමාන පෝෂණය කරන අධ්‍යාපනය. වෙනත් වචනයකින් කියනවානම් මේ විදිහේ සාකල්‍යවාදී අධ්‍යාපනයකින් ශාරීරික කුසලතා, බුද්ධිමය කුසලතා සහ භාවමය කුසලතා  ආදී සියලු පැතිමානයන් දියුණු විය යුතුයි.    

ඒ මනුෂ්‍යයා හුදෙක් රොමෑන්ටික් සහ කාව්‍ය රසයේ ගැලිලා උදාසීනව රසවිඳිමින් ඉන්න සහ සාමාන්‍ය ජීවිතයෙන් පලාගිය කෙනෙක් නෙමෙයි. ඒ විදිහේ සාකල්‍යවාදී අධ්‍යාපනයක ඵළය විදිහට ඉපදෙන මනුෂ්‍යයා රොමෑන්ටික් යුගයේ කවියන් වගේ පොදු ජීවිතයට එකඟ වෙන්නේ නැති බොහීමියානු ජීවිතයක් ගතකරමින් ඇවිද ඇවිද ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ මනුෂ්‍යයා ලෞකික අර්ථයෙන් සාර්ථක වෙන ගමන් රසසඥතාව සහ භාවමය වෛපුල්‍ය අතින් පිරිපුන් මනුෂ්‍යයෙක්. 

මට මතකයි මහත්මා ගාන්ධිගේ මුණුපුරා වන ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි, මෝඩි අගමැති වුණ වොවේ ඔහුට විවෘත ලිවුමක් ලිව්වා. ඒ ලිවුමෙදී ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි ඇහුවා ඔබේ ආර්ථික වැඩපිළිවෙළ තුළින් හදන්න යන ඉන්දියානු පුරවැසියා තොරතුරු තාක්ෂණය ගැන හසල දැනුමක් තියෙන, නමුත් ඕනෑම වෙලාවක මුස්ලිම් දේවස්ථානයක් ගිනිතියන්න සූදානම් කෙනෙක් ද කියලා. මොකද මෝඩි කියන්නේ අගමැති වෙන්න කළින් ලංකාවේ බොදුබල සේනාව වගේ අන්ත ජාතිවාදියෙක් වුණ නිසා. 

භාවිත අර්ථයෙන් ගොඩනැගුණු STEM  වගේ අධ්‍යාපන සංකල්ප STEAM වගේ සංකල්ප දක්වා පරිණාමය වෙන්නේ ලෝකය සාකල්‍යවාදී අධ්‍යාපනය කෙරේ නැඹුරු වුණ නිසාද?

ඇත්ත. විශේෂයෙන් මේ ගැටලුව අපට බලපාන්නේ අපි අපේ දරුවන් හරිම ඉක්මනට යම් යම් ධාරාවන්ට කඩන නිසා. සාමාන්‍ය පෙළ පංතියේදි වගෙමයි පටන්ගන්නෙ ළමයින් ධාරාවන්ට කඩන එක. ලංකාවට අමතරව මං වැඩිපුරම දන්න ඇමරිකාව තුළත් අනෙක් දියුණු රටවලත් මේ විදිහේ ඉක්මනකින් ළමයි විෂයයන්ට බෙදන්නෙ නෑ. මොකද අවුරුදු දාහතර පහළව කියන්නේ ළමයින්ගේ විඥානය වර්ධනය වෙන්න පටන්ගන්න කාලය. ඒ නිසා විද්‍යා විෂ්‍යයන් තෝරගත් ළමයින්ට සාමාන්‍ය පෙළින් පස්සෙ මානව ශාස්ත්‍ර විෂ්‍යයන් සමග කිසිම ඇසුරක් නැතිව යනවා. 

අනික් පැත්තට බලද්දි ස්වභාවික විද්‍යා, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ගණිතය වගේ විෂයන්වල යම් කිසි දර්ශනයක් තියෙනවා. නමුත් තොරතුරු තාක්ෂණය, සහ කළමණාකරණය  සහ බොහෝ වාණිජ   විෂ්‍යයන්වල ඒ  විදිහේ  දර්ශනයක් නෑ. ඒවා තියෙන්නේ හුදෙක් මේ පවතින ධනවාදී ක්‍රමය ඇරන් යන  ප්‍රායෝගික විෂ්‍යයන් විදිහට. ඒවා දාර්ශනික අතින් සෑහෙන දුප්පත් විෂ්‍යයන්. මානව සම්පත් කළමණාකරණය වගේ ඇතැම් කළමණාකරණ විෂ්‍යයන් තුළටත් දැන් වනකොට යම් කිසි දාර්ශනික හරයක් ගේන්න උත්සාහ ගන්නවා පේනවා. නමුත් මූලික වශයෙන් ඒවා පවතින්නෙ අර කියූ විදිහට. ඒ තත්ත්වය තුළ මේ විදිහේ ධාරාවලට බෙදලා සාකල්‍යවාදී අධ්‍යාපනයක් ගොඩනගන්න බෑ.

කළින් කිව්වා වගේ, ඇමරිකාව වගේ රටවලනම් ශිෂ්‍යයින් ඔය තරම් තරුණ කාලේ මේ විදිහට විෂ්‍යයන්වලට වෙන් කරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි වෛද්‍ය, ඉංජිනේරු සහ වාණිජ වගේ විෂ්‍යන් හදාරන ළමයි සාහිත්‍ය, ඉතිහාසය, දර්ශනය වගේ මානව ශාස්ත්‍ර විෂ්‍යන් කිහිපයක් අනිවාර්යයෙන් හදාරන්න ඕන.

මට මතකයි කොර්නෙල් විශ්වවිද්‍යාලය ඉතාමත් අපූරු වැඩක් කළා. විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවලට අලුතෙන් එන්න නියමිත ශිෂ්‍ය කණ්ඩායම්වලට ඒ අය ඇතුළත් කරගැනීමේ ලේඛනත් එක්ක නවකතා පොතක් හෝ දෙකක් තැපැල් කරලා යවනවා. ඒ විශ්වවිද්‍යාලෙට එනකොට කියවලා එන්න. ඒ අය පොත කියවලා විශ්විද්‍යාලයට ආවම ඒ පොත ගැන අවුරුද්ද පුරා සංවාද තියනවා. ඒ පොත් පදනම් කරගෙන ළමයින්ට රචනා තරග වගේ ඒවත් පවත්වනවා. මට මතකයි එක අවුරුද්දක එහෙම යැව්වේ කෆ්කාගේ The Trial. තවත් අවුරුද්දක යැව්වේ අචිබෙගෙ Things Fall Apart. එක අවුරුද්දකට සියලුම පීඨවල ළමයින්ට පොත් තුන්දාහක් විතර යවන නිසා සමහර පොත්වල විශේෂ එඩිෂන්ස් පවා තිබුණා. මට මතකයි The Trial පොතේ ඒ විදිහට කොර්නෙල් යුනිවර්සිටි එඩිෂන් කියලා විශේෂ සංස්කරණයකුත් තිබ්බා. ඒ වගේම ඒ පොත් ගැන ප්‍රසිද්ධ මහාචාර්යවරුන් ගෙන්වලා දේශන පවත්වනවා.  එක අවුරුද්දක Things Fall Apart ගැන කතාකරන්න අචිබෙත් ආවා. සාකල්‍යවාදී අධ්‍යාපනය අරමුණු මනාව ඉටු කරගන්නනම් ඒ විදිහේ නිර්මාණාත්මක දේවල් කරන්න වෙනවා. 


මේ විදිහේ විෂ්‍යයන් ඉගනගන්න සිසුන්ට මානව ශාස්ත්‍ර විෂ්‍යන් ඉගැන්වීම තුළින් පමණක් අධ්‍යාපනයේ පරමාර්ථ ගොඩනැගෙනවා ද? අනික් පැත්තට මානව ශාස්ත්‍ර හදාරන ශිෂ්‍යාට විද්‍යාව, ගණිතය සහ කළමණාකරණය වගේ විෂ්‍යන් ඉගැන්වීම අවශ්‍ය නැද්ද?

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මානව ශාස්ත්‍ර ඉගනගන්න ළමයින්ටත් විද්‍යාවේ දර්ශනය වගේ විෂ්‍යයන්  උගන්නන්න ඕන. එතකොට ඒ අය ඉගනගන්නවා විද්‍යාව කියන්නේ මොකද්ද. විද්‍යාව තියෙන්නෙ ඇයි සහ මොකද්ද විද්‍යාවෙන් ශිෂ්ටාචාරයට කරන කාර්යභාරය කියලා. එහෙම ඉගනගත්ත දරුවා දැනගන්නවා විද්‍යාව තියෙන්නේ මානව වර්ගයාගේ යහපත පිණිස මිස, ලොකු ගෙවල් හදාගන්නවත් ලොකු කාර් ගන්නවත් නෙමෙයි කියලා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සාකල්‍යවාදී අධ්‍යාපනික උපක්‍රමයක් හැටියට අපි පදනම් පාඨමාලා කියලා මේ විදිහේ පාඨමාලා කිහිපයක් කරනවා. නමුත් ඒ කරන්නෙත් ශාස්ත්‍ර පීඨයේ ළමයින්ට විතරයි. ඒක ශාස්ත්‍ර පීඨයට විතරක් නෙමෙයි සියලු පීඨයන් තුළ සිදුවෙන්න ඕන. විචාරාත්මක පුරවැසිභාවය කියන්නේ මොකද්ද කියන දේත් කලා රස වින්දනය පිළිබඳ මූලික අවබෝධයක් හැම කෙනෙක්ටම තියෙන්න ඕන.


කලාව සහ මිනිසා කෘතිය පුරවැසිභාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ කාරණා ඍජුව ඉදිරිපත් කරන්නෙ නෑ. ඔබ කල්පනා කරන කලාව සහ මිනිසා ලාංකික පොළව තුළ මේ සංවාදයට දායක වෙන්නෙ කොතනින්ද?

මේ කාරණා තදින් අවධාරණය කරන්න ඕන කියන එක අපේ මූලික අරමුණක් වෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගල පටන්ගැනීමත් එක්ක. ඒ අරගලයේදී අපි උත්සාහ කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනින් ගමන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු කවරෙක්ද ඔහුගේ වගකීම් මොනවාද වගේ දේවලුත් නැවත සැලකිල්ලට ගන්න. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ බහුතරය විශ්වවිද්‍යාල ආචාර්යවරයා කියන්නෙ කවුද  කියලා දන්නෙ නැති  අය බව අපිට පෙනී ගියා. අපි කළින් කිව්වානෙ වෛද්‍යවරු සහ ඉංජිනේරුවන් වගේ අය බොහොම ඒකමානීය පිරිසක් කියලා. නමුත් අපිට පෙනුනා විශේෂයෙන් මානවශාස්ත්‍ර පීඨයන්හි ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයා අරිටත් වඩා ඒකමානීය බව. මේ විදිහේ මානවශාස්ත්‍ර, අධ්‍යාපනය සහ කලාව පිළිබඳ සංවාදයට දායක වන විශ්වවිද්‍යාල ආචාර්යවරු කීයෙන් කීයද රටේ ඉන්නේ. ඒකෙන් පේන්නේ ඒ අයට සාකල්‍යවාදී දැක්මක් තියා තමන්ගේ ක්ෂේ්‍රත්‍රය පිළිබඳවවත් නිවැරදි දැනුමක් නැති බව. කොහොම වුණත් අපේ ඒ වෑයමේ මුල්ම ප්‍රතිඵලය තමයි ‘මර්තා නස්බෝම්ගේ’ කලාව කුමකටද පොත. අර්වින් එඩ්වින්ගේ කලාව සහ මිනිසා ගේන්නෙත් එහෙිම දිගුවක් විදිහට තමයි. 

ඔබ මතු කළාා වගේ, දර්ශනය පිළිබඳ ඇමරිකානු මහාචාර්යවරයෙක් වන අර්වින් එඩ්මන්ට බොහෝවිට අපිට තියෙන ප්‍රශ්න තිබුණෙ නෑ. මොකද කලින් කිව්වා වගේ ඒ රටේ ශිෂ්‍යයින්ට විද්‍යාවන් වගෙම මානවශාස්ත්‍රත් අහුවෙනවා. ඒ නිසා මේක අපි ලංකාවෙ තියන තැන එඩ්මන්ට ඇමරිකාවෙදි තියන්න අවශ්‍ය නෑ. 

අනික් අතට ඒ අයට අධ්‍යාපනය සාකල්‍යවාදීව තියාගන්න එකත් ලේසියි. මොකද ඒ අයට විශාල ආර්ථික පදනමක් තියෙනවා. ඒ වගේම ඒ අයට අධිරාජ්‍ය බලය තියෙන නිසා අනික් රටවල කෙසේවෙතත් තමංගේ රට ඇතුළේ සාපේක්ෂක වශයෙන් හොඳ ආර්ථිකයක් පවත්වාගෙන යන්න පුලුවන්. ඒ නිසා ඉතිහාසය පුරාම වෛද්‍යවරයායි පාසල් ගුරුවරයායි අතර විශාල දූරාවලි වෙනසකුත් නෑ. අපේ රටේ දොස්තර කෙනෙක් කිව්වාම දෙවි කෙනෙක් වගේනෙ. නමුත් ඒ රටේ එහෙම නෑ. පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ හුරුවක් තියෙන රටවල් නිසා හැම මනුෂ්‍යයාටම එක විදිහට මනුෂ්‍ය ගෞරවය තියෙනවා. අපිට ඇමරිකාව විදිහටම ඒ දේවල් පවත්වාගෙන යන්න අපහසු බව ඇත්ත. නමුත් අපි අධ්‍යාපනය පිළිබඳ ඒ දෘෂ්ටිය අතඇරගන්න හොඳනෑ. මොකද එහෙම වුණොත් ඒක ආපහු ගොඩනගන්න බෑ. 

මේ පොතට දීර්ඝ පෙරවදනක් දීලා මං මේ පොත එතැන ස්ථානගත කරන්නේ ඒකයි. අනික් අතට මේක කාව්‍යාත්මක සහ සිත්ගන්නා සුලු පොතක්. ඒ වගේම ඉතාමත් ගැඹුරුයි. කළින් පොත වගේම මේකත් මේ රටේ ගුරුවරුන්ගේ අත් පොතක් වීමට තරම් වටින එකක්. 

සංවාදය - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


අනිද්දා - 2018.08.05


https://www.anidda.lk/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F/


No comments:

Post a Comment