Tuesday, February 8, 2011

පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්


පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්

ලේඛකයා කියවා තිබීමේ අවැසියාව


මට ලියන්නට හිතෙන්නේ අපගේ පෞද්ගලික ආදරය බෙදා හදා ගන්නට හැකි වන්නේ වැඩ කිරීම තුළින් පමණක් බව මා විශ්වාස කරන බැවිනි. මගේ කාරිය ලිවීමයි එය හරියට ටැක්සි රියදුරා රිය පැදවීම වැනිය.

ලිවීම වනාහි මා විසින් තෝරාගත් දෙයකි. මම මුළු ජීවිතේම සිහින දුටුවේ ඒ සඳහාය. මා එය ලූහුබැඳ ගියා. වැටෙමින්, පැටලෙමින්, වරද්දමින් බලයෙන් මා එය සොයා ගියා. මගේ අධිෂ්ඨානයේ බලයෙන් මා එය ජයග‍්‍රහණය කළා. මෙය හැම විටම මාගේ ආදර්ශපාඨය වුණා.

ස්වකීය ලේඛන කලාව සතු යැයි තමා විසින් හඟින ආධ්‍යාශයන් පිළිබඳ හා එකී ඉෂ්ඨාර්ථයන් අතික‍්‍රමණය කරනු වස් තමා විසින් ගන්නා ලද අනවරත හා වෙහෙසකාරී වෑයම පිළිබඳ පවුලෝ කොයියෝ නම් සුවිශේෂී ලේඛකයාගේ අදහස් වලින් අප විසින් උකහා ගන්නා ලද කොටස් කිහිපයකි ඒ. සැබැවින්ම පවුලෝ කොයියෝ වනාහි කවරෙක්ද? ඔබ අපට නම් බොහෝ විට පවුලෝ වනාහි ලෝක පූජිත සාහිත්‍ය කරුවකු, එසේත් නැතිනම් ලෝක පූජිත නවකතා කරුවකු ලෙස හැඟී යෑමට ඉඩ ඇත. “පවුලෝ කොයියෝ නම් ලේඛකයාලෙස අපතින් යට සඳහන් වුණේ අප සතු එකී නෛසර්ගික නැමියාව නිසාවෙනි. නමුත් පවුලෝ කොයියෝ වනාහි හුදෙක් අප දන්නා හඳුනන නවකතා කරුවාට, එසේත් නැතිනම් සුවිශේෂී ලේඛකයාට වඩා වැඩි කෙනෙකි. එසේනම් ඔහු කවුද? ලෝක පූජිත නවකතාකරුවෙක්? ඉන්ද්‍රජාලිකයෙක්? ගීත රචකයෙක්? නාට්‍ය කරුවෙක්? අනාගතය පිළිබඳ පෙර දකින්නෙක්? මාධ්‍ය වේදියෙක්? කෝටිපතියෙක්? පරිත්‍යාගශීලියෙක්? දැඩි ආගමික භක්තිකයෙක්?. සැබැවින්ම පාවුලෝ කොයියෝ වනාහි යට සඳහන් සමස්තය සඳහාම සාධාරණ වූ ද වචනයෙන් වටහා ගැනීමට අපහසු වන තරමට සංකීර්ණවූ ද, නමුත් ඉතාම සරල ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූර්ව වූ ද මිනිසෙකි. යට කීවා සේ ලෝක පූජිත වූ ලේඛකයෙකි. ලෝකයේ වැඩිම පොත් අලවියක් වාර්තා වන (සාහිත්‍ය ක්ෂේත‍්‍රයට මෑතකදී අවතීර්ණ වූවා පමණක් නොව තවමත් පොත් දොළහක පමණ අඩු සංඛ්‍යාවක් ප‍්‍රකාශයට පත් කර තිබියදීත්) ලේඛකයින් දස දෙනාගෙන් කෙනෙකි.

පවුලෝ පිළිබඳ අප විසින් තබන ලද එකී දළ සටහන වෙසෙසින් අන් කවර කරුණක් නිසාවත් නොව මෙරට සිටින ප‍්‍රවීණ ලේඛිකාවක වන සුමිත‍්‍රා රාහුබද්ධ විසින් සිංහලට නගන ලද “පවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්නම් අපූර්ව ග‍්‍රන්ථය පිළිබඳ සරල විමසීමක් කිරීම පිණිසය. ස්වකීය ලේඛන කලාවේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් අප ලේඛිකාව විසින් මෙසේ සිංහල පාඨකයා වෙත පිරිනැමෙන්නේ, “ජුවාන් අරියාස්” (Juan Arias) නම් ස්පාඤ්ඤ ජාතික පුවත්පත් කලා වේදියා විසින් පවුලෝ කොයියෝ සමඟ දීර්ඝ කාලයක් පුරා කරන ලද සම්මුඛ සාකච්ඡා වලින් නිර්මිත “ Paulo Coelho – Confessions of a Pilgrim” නම් මහැඟි ග‍්‍රන්ථය යි. සැබැවින්ම මෙවන් කෘතියෙක ඇවැසියාව ශී‍්‍රලාංකීය පාඨකයාට වඩාලාත් දැනෙනුයේ සහ අප විසින් එය වඩාලාත් ඉස්මතු කෙරෙනුයේ ඇයි? ඒ අන් කවර කරුණක් නිසාවත් නොව “පවුලෝ කොයියෝවනාහි ලොව අන් කිසිඳු ලේඛකයකු තුළ නොමැති, එමෙන්ම අප විසින් සාමාන්‍ය ජීවිතයේදී අත් විඳිනු නොලබන සහ අප විසින් සිහිනයකින්වත් නොහඟිනු ලබන, යට දැක්වූවා සේ අපූර්ව, තවත් වචනයකින් කියනවානම් තරමක් දුරට ගුප්ත ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වීමත්, පවුලෝම කියන්නා සේ ඔහුගේ කෘතීන් බොහෝවිට ඔහු විසින් පෞද්ගලිකව හඟින, විඳින හා අත්විඳින කරුණු මත පදනම්ව තිබීමත් නිසාවෙනි. ඒ අනුව මෙකී සුවිශේෂී ලේඛකයාගේ විසින් නිර්මිත සාහිත්‍යමය පඨිතයන් ගැඹුරු කියැවීමට භාජනය කිරීමට ප‍්‍රථම ලේඛකයා කියවා තිබීමේ දැඩි ඇවැසියාව අන් සාහිත්‍ය කරුවකු විසින් නිර්මිත පඨිතයන් කියැවීමකදී වඩා වැදගත් වන බැව් අමුතුවෙන් කිව යුතු වන්නේ නොවේ.

තමා ඉදිරියේ සිටින සුවිශේෂී පුද්ගලයා පිළිබඳ හා ඔහු සමඟ තමා කතා කිරීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ දැඩි සවිඥානිකත්වයකින් යුතුව ස්වකීය සංවාදයන් මෙහෙයවන ජුවාන් අරියාස්, ජනමාධ්‍ය භාවිතය සතු ස්වකීය ප‍්‍රවීණත්වය හා බුහුටිභාවය තත් කෘතිය තුළ සූක්ෂම ලෙස බැවහර කරයි. ඒ අනුව කොයියෝගේ අව්‍යාජ හෘදසාක්ෂිය මෙන්ම ඔහු විසින් තම සමස්ත ජීවන වන්දනාව තුළ විඳිනු ලැබූ අපූර්ව වූ ජීවන හා නිර්මාණාත්මක අත්විඳීම් අව්‍යාජ ලෙස විවර කර ගැනීමට සූකර වන පරිදි ජුවාන් ස්වකීය සම්මුඛ සාකච්ඡාව “පෙර නිමිති” , “මානසික රෝහල, බන්ධනාගාරය හා වධ බන්ධන” , “පෞද්ගලික ජීවිතය” , “දේශපාලනය සහ සදාචාරය” , “ස්ත‍්‍රීත්වය” , “ඉන්ද්‍රජාලය” , “මත් ද්‍රව්‍ය” , “පරිවර්තනය” , “ලේඛකයා” , “පාඨකයානම් සුවිශේෂී පරිච්ඡේද දහයක් යටතේ අති සියුම් ලෙස ගොනු කරන ආකාරය ඉතා ප‍්‍රශංසනීය වේ. සැබැවින්ම එකී පඨිතයන්, තත් කෘතිය පිළිබඳ ප‍්‍රාමාණික විමසීමක් කිරීමේදී අපගෙන් අතිශ්‍ය විපුලිත ඉඩ වපසරියක් අයැදින හෙයින් ද, එවන් කාර්යයක් පිණිස මේ තැන නොවන හෙයින්ද, තෝරාගත් ප‍්‍රස්තුතයන් කිහිපයක් පමණක් ගෙන සරල විමසීමක් කිරීමට මෙහිලා උත්සහ දැරෙන අතර, තවද ඒ, සමස්ත කෘතියට සාධාරණයක් ඉටු කෙරෙන කෘතියෙහි ප‍්‍රාමාණික හරස්කඩක් නොවනු ඇතැයිද තරයේ හඟිමු.


පෙරනිමිති, ඉන්ද්‍රජාලය හා මත්ද්‍රව්‍ය

“පෙරනිමිති වනාහි ලෝකයේ ආත්මයට කතාකිරීමට ඔබ දියුණු කරගන්නා ලද හෝඩිය ය

“කොඩිවින හදි හූනියම් යනු ඉතා කුරිරු නින්දිත දෙයකි. මක්නිසාද එමඟින් ඔබ මහා බලසම්පන්න බව විශ්වාස කිරීමට ඔබ පොළඹවන වැවිනි.

“කොකේන් යනු යක්ෂයාගේ ඖෂධයක්. මන්ද එය ඔබ සර්වබලධාරීත්වය පිළිබඳ හැඟීමකට ළං කරවන බැවිනි.

ලේඛකයකු වීමට ප‍්‍රථම පෙරනිමිති පවසන්නකු එසේත් නැතිනම් ඉන්ද්‍රජාලිකයකු ලෙස ජනප‍්‍රියව සිටි පවුලෝගේ ජීවිත වන්දනාවක සටහන් අතුරින් වඩාලාත් අපූර්ව වූත් එසේත් නැතිනම් අමුතු වූත් ජීවිතානුභූතීන් රැසක් වෙසෙසින් යට දැක්වූ පෙරනිමිති, ඉන්ද්‍රජාලය හා මත්ද්‍රව්‍ය යන පරිච්ඡේදයන් ත‍්‍රිත්වය තුළ හකුළා දැක්වීමට ජුවාන් සමත් වේ. අප විසින් එදිනෙදා හඟින, දකින, සහ අත් විඳින එමෙන්ම අහම්බයන් ලෙස ගෙන අප විසින් නොසලකා හරින සිද්ධීන්හි එන්නාවූ එකී පෙරනිමිතිමය ස්වභාවය පිළිබඳ පවුලෝගේ කියැවීම හුදෙක් සාමාන්‍ය පාඨකයාට එකෙනෙහි ඇදහිය නොහැකි ස්වභාවයෙන් දරනු ලබන මුත් එකී කරුණ සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැක්ම සහ විග‍්‍රහයන් ඇතැම්විට තත් වචනයෙහි වචනාර්ථය ඉක්මවා ගිය පුළුල් අර්ථමය වපසරියකට උරුමකම් කියයි.

... මම ඔබට කියනවානම්, මේ වන විට ඕනෑම දෙයක් විශ්වාස කරන තත්වයකට මම පැමිණ සිටියෙමි. කිසිවෙක් මා වෙත පැමිණ ‘එන්න අශ්වයෝ පියාඹන හැටි බලමුදැයි ඇසුවහොත් මම එය බලන්නට යමි. මා බොරුකාරයින්ට අකමැතියැයි කිව යුතු නමුත් මා පළමු කොට කැමැත්තේ මිනිසුන්ට සැකයේ වාසිය ලබා දීමට ය...

එහෙත් ඔබ වැරදිනම් හා ඔබ සාවද්‍ය පෙර නිමිත්තක් අත්හදා බලන්නේ නම් කුමක් සිදුවිය හැකිද? එයින් ඔබේ ජීවිතය පවා විනාශ විය නොහැකිද?

එය සංවේදී කාරණාවක්. මටනම් අන්තරාය වැරදීමක් සිදුවීමේ හැකියාවෙන් යුක්ත වීම නොවෙයි. මම නම් මහා අන්තරාය ලෙස සලකන්නේ අධ්‍යාත්මික ගවේෂණනයේදී ගුරුන්, ප‍්‍රධානීන් හා මූලධර්මවාදීන් සොයා යෑමයි. එය මා මීට පෙර සඳහන් කළේ අධ්‍යාත්මික ගෝලීයකරණය යනුවෙනි. කිසිවෙක් පැමිණ ඔබට මේ දෙවියන් වහන්සේය, අර දෙවියන් වහන්සේය, මගේ දෙවියන් වහන්සේ ඔබේ දෙවියන්ට වඩා බලවත්ය යනුවෙන් පවසයි. යුද්ධය ආරම්භ වන්නේ එතැනිනි. ඒ සියල්ලෙන් මිදෙන්නට හැකි මඟ නම්, අධ්‍යාත්මික ගවේෂණය වූ කලී පෞද්ගලික වගකීමක් බවත්, එය වෙනත් කෙනෙකුට පැවරීම හො පවරාදීම නොහැකි බවත් වටහා ගැනීමය. අනෙකුන්ට ඔබගේ ඉරණම තීරණය කරන්නට ඉඩ සලසා දෙනවා වෙනුවට, ඔබගේ හෘදසාක්ෂියට ඔබ මෙහෙයවීමට ඉඩ සලසන පෙරනිමිති අනුගමනය කිරීමෙන්, වරදක් සිදුවුවද එය වඩා හො`දය. මා මනුෂ්‍ය ජීවිතයේ ඉතාමත්ම වැදගත් දෙයක් කොට සලකන ආගම ධර්මය විවේචනය කරන්නේයැයි මෙයින් වටහා නොගත යුතුය.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 25,26,27 පිට)

බ‍්‍රසීලියානු ඒකාධිපති පාලන යුගය තුළ (1964-1989) තහනම් කරන ලද සියල්ල කියැවීමටත්, මාක්ස්වාදය හැදෑරීමටත්, අදේවවාදියකු ලෙස කටයුතු කිරීමටත් දැඩි ලෙස පෙළඹෙන තරුණ කොයියෝ තදනන්තරව ඇරඹෙන, සියලූම ගූඪවාදී ක‍්‍රියාවන් හා අත්වැල් බැඳගත් බ‍්‍රසීලියානු “හිපි ව්‍යාපාරයේආරම්භක යුගය හෙවත් 1969 පමණ කාලය වන ඒ හා අත්වැල් බැඳ, එකී හිපි ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳුණු ගූඪ ඉන්ද්‍රජාලයන් සමඟ ගණුදෙනු කිරීම හේතුකොට ස්වකීය ජීවිතයේ කිසිඳු විටක නොලත් ජීවිතානුභූතීන් රාශියක් අත් විඳී. වර්තමානය වන විටත් තමා අත් නොහැර විශ්වාස කරන ඇතැම් ඉන්ද්‍රජාලික විශ්වාසයන් හා ස්වකීය අතීතය සතු වේදනාබර ඉන්ද්‍රජාලික ගතිකයන් මෙන්ම තමා විසින් තත් යුගයෙහි කරන ලද සියලුම වර්ගයේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාවන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිකම්, සමලිංගික අත්හදා බැලීම්, පාපකාරී හා දුෂ්ට හදි හූනියම්, භූතාත්ම සමඟ කරනු ලැබූ ගණුදෙනු ආදිය පිළිබඳ ආපසු හැරී බැලීමක් කරමින් තත් පරිච්ඡේදයන් තුළ ඒ පිළිබඳ වේදනාබර, අව්‍යාජ හා ගැඹුරු පාපොච්ඡාරණයක් කරා යයි.

ඉන්ද්‍රජාලය පිළිබඳ තම සංකල්පයන් මහ පොළොව මතට ගෙන ඒමට කොයියෝ දරන සමහර උත්සහයන් තුළ “ඉන්ද්‍රජාලයයන වචනය ඇතැම්විට තරමක් ගැඹුරු වූත් සංකීර්ණ වූත්, පැටලිලි සහගත වූත් මානයන් ස්පර්ෂ කරන බැව් පෙණේ.

“නිෂ්පාදනයට, පරිභෝජනයට, තාක්ෂණ හා වෙළඳ ගෝලීයකරණයට ප‍්‍රමුඛත්වය දෙන සමාජයක ඉන්ද්‍රජාලික මානය මදක් යල්පැන ගිය දෙයක් බව ඔබට හිතෙන්නෙ නැද්ද?

මම ඔබට යමක් කියනවා. ජුවාන්. ආරම්භයක් හැටියට කියනවානම්, වෙළඳපොළ ගෝලීයකරණය, කොටස් වෙළඳපොළ ආදී හැම දෙයක්ම අද තිබෙන මායාකාරීම දේ හැටියට හඳුන්වන්න පුළුවන්. එය සැබෑ මායාවයි. ඒ සම්බන්ධයෙන් කිසිවක් අද ආර්ථික විද්‍යාඥයින් දන්නවායැයි කියන්න එපා. ඔවුන් අද අන්ද මන්ද වෙලා. ඔවුන්ට අනාවැකි කියන්න බෑ. කිසිවක් සැලසුම් කරන්න බෑ. මන්ද ජාත්‍යන්තර වෙළඳපොළ සහ කොටස් වෙළඳපොළ ඉන්ද්‍රජාලිකය, ජපන් ආර්ථිකයට සෙම්ප‍්‍රතිශ්‍යාවක් සාදන්නට හා අනතුරුව එය මාරාන්තික උණක් දක්වා වර්ධනය කරවන්නට පුළුවන්. ආර්ථික විද්‍යාඥයින්ට මේ මායාවන් තේරුම් ගැනීමට නොහැකිය. ඒ වගේම පාලනය කිරීමටද නොහැකිය...

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 169 පිට)

පවුලෝ වැනි තමන් දැඩිසේ ආදරය කරන එමෙන්ම දැඩිසේ ගෞරව කරන පරිණත ලේඛකයකු දක්වනු ලබන මෙවන් සංකල්පයන් බැහැර කිරීමට සිත හදාගත නුහුණු සාමාන්‍ය පාඨකයා, පාවුලෝගේ ඉන්ද්‍රජාලික හා පෙරනිමිති පිළිබඳ මෙකී කියැවීම් හේතුකොට එකවැර දැඩි අසරණ භාවයකට පත් වේ. නමුත් කොයියෝගේ මේ සංකල්පයන්හි වැදගත් කම වන්නේ අන් කවරකටත් වඩා, ඒවා ආංශික ලෙස භෞතික වාදයෙන් උද්දච්ච සාමාන්‍ය පාඨකයාගේ අසීමිත භෞතිකවාදී නැමියාවන්, ඇබ්බැහිකම් හා භෞතිකවාදී සංකල්පමය ලෝකයන් කුඩුපට්ටම් කරන යකුළු පහරක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් ඔහුගේ හෘද සාක්ෂිය දෙදරවීමට සමත් වීමයි. මෙහිදී වැදගත් වන දෙවැනි කරුණ නම්, කොයියෝ ස්වකීය අධිභෞතිකවාදී කියැවීම් තුළ පාඨකයා තල්ලු කර හරින ආස්ථානය කවරක්ද යන්නයි. සැබැවින්ම පාවුලෝ ස්වකීය පාඨකයා විතැන් කරනුයේ හුදෙක් මේ මහපොළොවෙහි යථාර්ථයෙන් හාත් පසින් වියුක්ත, එමෙන්ම මේ ලෝකයේ නැති ආංශික අධිභෞතික පරිධිමය අවකාශයක් කරා නොව සමස්ත ලොව දෙස පුළුල් දෑසින් නැරඹිය හැකි හාත් පස දර්ශනය වන්නා වූ මධ්‍යස්ථමය කේන්ද්‍රයක් කරාය.


මානසික රෝහල

“මානසික රෝහලේදී මා අනාවරණය කරගත් නරකම දෙයනම්, මට උමතුව තෝරාගෙන කිසිඳු වැඩක් නොකොට නිහඬ ජීවිතයක් ගත කළ හැකි බවය”


කිසිඳු රෝගයක් නොතිබුණු පවුලෝහට ස්වකීය නව යොවුන්විය තුළ, බ‍්‍රසීලයේ සීලයේ පැවති අඳුරු සහ ඒකාකාරී මානසික රෝහලක උමතු රෝගියකු ලෙස යළි යළිත් දිවි ගෙවන්නට සිදු විය. දෙවරක්ම මානසික රෝහලෙන් පැන ගිය ඔහු නැවත නැවතත් තම දෙමව්පියන් විසින් මානසික රෝහල තුළට ගාල් කරන ලදී. මෙසේ තෙවරක්ම මානසික රෝහලේ පරතු තිකාර ලැබීම සඳහා නිර්දේශිත වෛද්යන වාර්තාවේ ඔහු පහසුවෙන් කිපෙන සුලූ බවත්, දේශපාලනික වශයෙන් මිනිසුන්ට හිරිහැර කරන බවත් සටහන්ව තිබුණු අතර ඔහු මානසික රෝහලට ගාල් කළ දෙමව්පිය නිර්දේශය වූයේ පවුලෝට ලිංගික ගැටලු ඇති බවත්, වයසට සරිලන පරිදි ඔහු පරිණත නැති බවත්, ඔහු විප්ලව කාරී බවත් ය! තමා දෙවැනි වර මානසික රෝහලේ සිටීමත්, රුදුරු විද්යු්ත් කම්පණ ඇතුළු පරත් තිකාරයන් ලැබීමත්, උම්මත්තකාගාරයේ පැවති දැඩි ඒකාකාරී ස්වභාවයත් සමඟ ඔහු සැබැවින් උමතු කරවීමත්, එමෙන්ම අවසන ඉන් පැනයෑම හා තෙවන වතාවටත් තමා තම දෙමව්පියන් විසින් නැවතත් රෝහල් ගතකිරීමත් පිළිබඳ දුක්බර අතීතය කොයියෝ මෙසේ ස්මරණය කරයි.

“මා සිර කර සිටියේ නව වැනි මහලේය. මා අනතුරුදායක උම්මත්තකයකු ලෙස ඔවුහු සැලකූහ...මට බොහෝ විද්යුරත් කම්පණ ද ලබා දුන්නේය. මාස දෙකක් පමණ මා එම මහලෙහි හිරකර තැබුවේ ය. ඉර එළියක් නොමැතිව ගත කළ ඒ කාලය සැබැවින් මා උමතු කරවීය. එහි විදුලි සෝපානයක්ද එහා මෙහා ගෙන යන සෝපාන කරි් යාකරුවෙක්ද සිටියේය. ඉදින් එක් දිනක මම විදුලි සෝපාන කරුවන්ද අනික් මිනිසුන්ද අතරට වැදී පහළ මාලයට ගියෙමි. මම සෝපානයෙන් බැස ඇදහිය නොහැකි නිදහසකින් දොර අසළ හිඳගත්තෙමි. එය කෆ්කාගේ කතාවක් බඳු විය...

...මාස දෙකක් යන තුරු, මට ඉතාම දුෂ්කර තත්වයක් උදාවන තුරු මම ගෙදරට කතා නොකළෙමි. මට අහරක් ගන්නටත් හරි හැටි මුදල් නැත. මම ඔවුන්ට කතා කළෙමි. හැකි විගස ආපසු ගෙදර එන ලෙසත්... නැවත මා මානසික රෝහලට භාර නොදෙන බවත් ඔවුහු කීහ... වසරක් ගෙවී ගියේය. ‘පවුලෝට පිස්සු. එයාට දැන් වේදිකා නාට්යෙ පිස්සුව’ ඔවුහු නැවත කීහ. මන්ද ඒ වන විට මගේ අලූත් ආශාව තිබුණේ, ලේඛකයකු වීමත් සමඟම වේදිකාවටද පිවිසීමය. ඔවුහු තුන්වන වරටද මා මානසික රෝහලට ගෙන ගියහ...”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 53-54 පිට)

තම පුතා මැනවින් නීතිය හදාරා නීතිඥයකු වනු දකිනු රිසි වූ දෙමව්පියන්ගේ බලා පොරොත්තු බිඳදමමින් කලාවට ආශා කිරීම නිසා මානසික රෝහල් ගත කරනු ලැබූ කොයියෝ කිසිදින තම දෙමව්පියන්ට වෛර නොකළේය. තමා මානසික රෝහලේදී ලද වේදනාසහගත අත්දැකීම් ඔහු හට තම නිර්මාණ සඳහා පසුකාලීනව මනා පිටිවහලක් විය. පවුලෝම පවසන ආකාරයට වෙසෙසින් ඔහුගේ “වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි” නම් කෘතිය තුළ සංගෘහිත වන්නේ එකී අව්යාිජ අත්දැකීම් ය. සැබැවින්ම “පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්” කියවන පාඨකයා හට යටකී නවකතාව නැවතත් ගෙන ජීවිත වන්දනාවක සටහන් කෘතිය හා ඡේදයෙන් ඡේදය අකුරින් අකුර සන්සන්දනය කරමින් නැවත කියවා බැලීමට සිත් නොවේනම් ඒ අහම්බයකි. නිර්මාණය හා පෞද්ගලික අනුභූතීන් අතර ඇති ගණුදෙනුව පිළිබඳ යම් පර්යේෂණ කටයුත්තක් කරනු පිණිස කිසිවෙක් යට කී ගරුභ න්ථද්වය තුලනාත්මක කියැවීමකට බඳුන් කරන්නේනම් සමස්ත නවකතා නිර්මාණය තුළින්ද වෙසෙසින් “එදුවා” වැනි චරිතයන් තුළින්ද තමා මානසික රෝහලෙන් හා පෞද්ගලික වශයෙන් ස්වකීය ජීවිතය අත්විඳීමෙන් ලත් අව්යාතජ සුඛ දුඃඛ වේදිතයන් කොයියෝ කෙතරම් දුරට ඉවහල් කරගෙන ඇත්දැයි නොපෙනී යෑමට නුපුළුවන.



බන්ධනාගාරය හා වධ බන්ධන

“... ඔවුන් තොරතුරු දැනගැනීමට භාවිත කළ උපකර න්මය මෙසේයි. පුද්ගලයා වරද කරුවෙක්නම් ඔහු ඉක්මනින් කතා කළ යුතුය. මන්ද මඳ වේලාවක් යන විට වද හිංසා වලට ඔහු ඔරොත්තු දෙන බැවිනි...”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 68 පිට)

“බන්ධනාගාරය වනාහි වෛරයේ, කෲරත්වයේ, මාරාන්තික බලයෙහි හා සම්පූර්ණ නොහැකියාවෙහි පර්ධ තිමූර්තියයි”

බ‍්‍රසීලියානු හමුදා රජයේ අතිබිහිසුනු කාල සීමාව තුළ නිරපරාදේ තමා යළි යළිත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සංවේදනාත්මක අත්දැකීම් පවුලෝ “බන්ධනාගාරය හා වධ බන්ධන” නම් පරිච්ඡේදය තුළ ගැඹුරු සමාජ දේශපාලනික විචාරයක් සහිතව සාකච්ඡාවට බඳුන් කරයි. විකල්ප සමාජයක් පිළිබඳ අදහසක සිටි අප අනාගත ලේඛකයා විසින් තත් කාලීන යුගය තුළ කරන ලද, තමා විශ්වාස කරන ලද විකල්ප සමාජය පිළිබඳ අදහසක් සහිත ඉතා කෙටි එසේත් නැතිනම් වචනයකින් දෙකකින් සමන්විත වූ අදහස් දැක්වීම එසේ ඔහු අත්තඩංගුවට ගැනීමට හේතු විය. එවකට පැවති එක්තරා ගරිල්ලා කණ්ඩායමක් සමඟ තමා සම්බන්ධතා පවත්වනවාද යන්න දැනගැනීමට බරයව සීලියානු ආඥාදායක රජයේ පොලීසියට ඇවැසි වූ බව කොයියෝ පවසයි. ඒකී සිදුවීම පිළිබඳ ආපසු හැරී බලන පවුලෝ සර්වකාලීන තත්යසතාවකින් යුතු වූ ගැඹුරු දේශපාලනික කියැවීමකට යයි.

“...විශාල යුඬ යාන්තරසු ණයක් තිබුණු අතර දක්ෂිණාංශික කණ්ඩායමක් ගරිල්ලන් විනාශ කර දැමීමේ ව්යා.පාරයේ යෙදී සිටියහ. උගරක්ස මතධාරී කණ්ඩායමේ පැවැත්ම සාධාරණීකරණය කළ යුතු විය. මා ගරිල්ලා කණ්ඩායම සමඟ සම්බන්ධයක් නැති බවත් විකල්ප සමාජ කර්ඩ මයක් සඳහා වන පිස්සු කණ්ඩායමේ කෙනක් බවත් ඔවුහු දැන සිටියහ. ඔවුන්, සියලූ දෙනාම මරා තිබුණු නිසා ඔවුන් යටතේ දේශපාලන සිරකරුවන් සිටියේ නැත. තමන්ගේ පැවැත්ම සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් නව සතුරන් සොයා ගත යුතු විය.”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 65-66 පිට)

පළමුවර සිරභාරයට ගත් පසු (සැබැවන්ම මෙය පාවුලෝගේ දෙවැනි සිරගත වීමයි. බැංකු මංකොල්ලයක් සිදුවුණු ”පරානාහි” ළමුන් කණ්ඩායමක් සමඟ සිටීයදී මීට පරමය ථම ඔහු අත්තඩංගුවට ගැනිණ. තමා දිගු කොණ්ඩයක් සහිත වීම හා තමා සතුව හැඳුනුම්පතක් නොවීම මෙසේ අත්අඩංඟුවට ගැනීමට හේතු වන්නට ඇතැයි පවුලෝ අනුමාන කරයි) ඉදිරියට තමාට සිදුවන කිසිම දෙයක් සඳහා රජයට වගකීමක් නොමැති බවට දැක්වෙන ලියුමකට පවුලෝගෙන් අත්සන් ලබාගත් පොලීසිය ඔහු මුදා හරිති. නමුත් ඛේදයට කරුණ නම්, පොලීසියෙන් එළියට පැමිණි වහාම හමුදාවට සමාන පුද්ගලයින් පිරිසක් විසින් පවුලෝ සහ ඔහුගේ බිරිඳ නැවත පැහැර ගැනීමයි! තදනන්තරව බරුද සීලයේ පැවති සුපරපිරකට වධකාගාරයක සිරකරන පාවුලෝ (මෙම ස්ථානයද ඔහුගේ අනුමානයක් පමණි) හිස් ආවරණ පැලඳි වධකයින්ගේ අනේක විද වධ වේදනාවන්ට ලක් විය. මානසික රෝහල පිළිබඳ පරිච්ඡේදයේදී “විද්යුුත් කම්පණ පර්ා තිකාර” පිළිබඳ ජුවාන් අරියාස් විසින් නගන ලද පරනස ශ්නයකට පාවුලෝ වධකාගාරයේ අත්දැකීම් හා මානසික රෝහල තුලනාත්මකව මෙසේ ස්මරණය කරයි.

“...ඒක ඒතරම් හරි නෑ. ඒත් එතරම් දේකුත් නෙමෙයි. ඒවා ඉතාම දරුණු සහ බිහිසුණු වූයේ පසු කලෙක හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මා පැහැරගෙන ගොස් මා වධ බන්ධනයට ලක් කරන අවස්ථාවලදී ඔවුන් විද්යු.ත් කම්පණ මගේ පරකා ජනනේන්ද්රිණයන්ට ඇල්ලූ අවස්ථාවේදීය. එය ඉතා වේදනාකාරී, නින්දිත සහ නිගර හශීලී වූවක් විය. එය ඉතා බිහිසුණුය.”
(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 52 පිට)


දේශපාලනය සහ සදාචාරය

“මා විෂයයෙහි නම් දේශපාලනය යනු අප වටා තිබෙන සංස්කෘතික සම්මුතීන් පුපුරවා හැරීම යි

ස්වකීය කැරලිකාරී තාරුණ්‍ය තුළ ඉතා ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයන්හි ක‍්‍රියාත්මක කොයියෝ බොහෝවිට මාක්ස්වාදී නැඹුරුවකින් යුතුව සමාජය තුළ ප‍්‍රාමාණික වෙනසක් අපේක්ෂා කළේය. එකී දේශපාලන නැඹුරුතාවම ඇතැම් විට ඔහු මානසික රෝහලටත් කුරිරු හිංසනයන් හා භීතිය රජකරවන වධ බන්ධනාගාරයටත් යළි යළිත් තල්ලූ කරවීය. තමා දැඩිසේ ආදරය කරන බ‍්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පිහිටි අති සුන්දර “කොපකබානාවෙරළ අස නිමවූ සුඛෝපභෝගී මන්දිරයක, අතිශ්‍ය පරිපූර්ණ හා පරිණත පුද්ගලයකු ලෙස ද ලෝක පූජිත නවකතාකරුවකු ලෙස ගෞරවයට භාජනය වෙමින් ද මසකට ඩොලර් ලක්ෂ ගණනක් උපයමින් ද අද වන විට වාසය කරන පවුලෝ ස්වකීය අතීත හා වර්තමාන දේශපාලනික නැමියාවන් තත් කෘතිය තුළ විචාරාත්මක විග‍්‍රහයකට භාජනය කරයි.

“ලෝකය වෙනස් කරන්නේ මහා දර්ශනවාදීන් නොවන බව දැන් මම වටහාගෙන ඇත්තෙමි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අසාර්ථක වී තිබේ. අලුත් හා එයටද වඩා අන්තරාදායක අය, එනම් නව මූලධර්මවාදීන් බොහෝ දෙනෙක් අසාර්ථක වී තිබේ. මා දේශපාලන සත්වයකු වීම මට තවම දැනේ. එහෙත් මගේ පොත්වල ඇතුළත්වන දේශපාලනය, අන්තගාමීකම කරා දිවෙන සංස්කෘතික සම්මුතීන්හි පවුරු බිඳහෙළීම කෙරෙහි අවධානය දක්වයි. ස්පාඤ්ඤ දාර්ශනිකයකු වන ෆර්නැන්ඩෝ සැවෙටර් පෙන්වා දෙන පරිදි අප එකිනෙකාගේ බලගතු සදාචාරාත්මක කැපවීම වඩාත් වැදගත් දෙය බව මම විශ්වාස කරමි.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 85 පිට)

අධිකාරී බලපරාක‍්‍රමයන් මඟින් නිර්මිත හා නිර්වචනය කෙරුණු සංස්කෘතික සම්මුතීන් හෙවත් දෘෂ්ටිවාදයන් විනිවිද දැකීම ස්වකීය මුඛ්‍ය දේශපාලනික හා කලාත්මක කාර්යය ලෙස හඟිමින් එකී ස්වාර්ථයන් සාධනය කරගනු වස් වෙහෙසෙන කොයියෝ, “මේ ගෝලීයකරණ ශතවර්ෂයේඔබ වඩාත් බිය වන්නේ කුමකටද?” යනුවෙන් ජුවාන් නඟන ප‍්‍රශ්නයට දෙනුලබන පිළිතුර ඔහු සතු විපුලිත දේශපාලනික හා සාමාජීය චින්තනය තවදුරටත් විස්තාරණය කරයි.

“ආර්ථික ගෝලීයකරණ අදහස දෙවියන් ගෝලීයකරණය දක්වා ගෙනයෑම කෙරෙහි මම බිය වෙමි. එසේම සියලූ දෙනාටම සරිලන සමජාතී සංස්කෘතියක් සම්බන්ධ අදහසටද මම බිය වෙමි. එක් එක් මනුෂ්‍යයා තමාගේ හෘද සාක්ෂියට අනුව සොයාගත යුතුව තිබියදී, බලහත්කාරයෙන් මිනිසුන් මත පටවන්නාවූ සම්මත දෙවි කෙනෙක් පිළිබඳ අදහසට මම බිය වෙමි. ... ගොලීය වෙළඳ පොළෙහි බරපතලම තර්ජනය වන්නේ සංස්කෘතිය විශ්ව චින්තන පාලනයක් ඇතිකිරීමේ තත්වයකට පත් වීමයි. එතැන් සිට එය කුඩා පියවරක් තැබීමෙන් නව නාසිවාදයට එළඹීම සිදු වනු ඇත.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 96 පිට)

තමා වටහාගත් සමාජ දේශපාලනික වගකීම් ස්වකීය ලේඛන භාවිතය තුළ පමණක් ඉටුකර ගැනීමට සීමා නොවන කොයියෝ තමා සතු අසීමිත ධනය කැපකරමින් බ‍්‍රසීලයේ අත්හැර දමන ලද දරුවන්ට උපකාර කිරීම, දුගී දුප්පත් හා මහලූ පුද්ගලයින්ට උපකාර කිරීම, සම්භාව්‍ය බ‍්‍රසීල කතුවරුන්ගේ ග‍්‍රන්ථයන් ලොව සෙසු භාෂාවන්ට පරිවර්තනය කිරීම, තමා ආදරය කරන තම රටෙහි අතීත නටඹුන් හා පොසීල මූලයන් ගවේෂණය කරමින් තම සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම වැනි කරුණු ඉටුකර ගැනීම සඳහා තම බිරිඳ විසින් පාලනය කරනු ලබන පදනමක් පවත්වාගෙන යයි. මේ සඳහා ඔහු ස්වකීය කර්තෘභාග වලින් වසරකට වෙන්කරන මුදල ඩොලර් හාරලක්ෂයක් පමණ වේ. මේ වන විට තම “ඉදිරි ආත්ම තුනකට ඇතිවන පරිදි තමා ධනය උපයා ඇතැයි නිහතමානී ආඩම්බරයකින් යුතුව පවසන පාවුලෝ කොයියෝගේ “ජීවිත වන්දනාවක සටහන්සැබැවින්ම, “වැඩකට ඇතිඑකදු කෘතියක් හෝ පර්යේෂණයක් හෝ කර නැති නමුත් තමන් සතු අසීමිත ධනයේ මහිමයෙන් තම හිතවතුන් ලවා චරිතකතා ලියා ගනිමින්ද, තම සාක්කුවට දමාගැනීමට සමත්වූ ජරපත් ආචාර්යවරුන් ලවා තම පල් හෑලිවලට ප‍්‍රසස්ති ලියා ගනිමින්ද වැජඹෙන, ආත්ම තුනකට නොව ආත්ම හතකට සරිලන පරිදි ධනය පමණක් රැස්කර ඇති අපේ සාහිත්‍ය මුදලාලිලාට (මෙවන් පොතක් කියැවීමට වෙලාවක් සහ ආශාවක් ද අබමල් රේණුවක හෝ හෘදසාක්ෂියක් ද ඇත්නම්) ප‍්‍රබල අතුල්පහරක් ලබාදෙනවාට කිසිඳු සැකයක් නැත.


සාහිත්‍ය, ලේඛකයා සහ පාඨකයා

“නිර්මාණාත්මක ප‍්‍රබෝධය සඳහා මා ජීවිතය සමඟ ආදරයෙන් බැඳිය යුතුය

“සියල්ලටම ඉහළින් මගේ පාඨකයෝ මගේ හවුල්කරුවෝය

පවුලෝ පිළිබඳ අදහස් දක්වන ඇතැම් විචාරකයින් විසින් පවුලෝ විසින් රචිත මහැඟි නිර්මාණයන් තමා විසින් අධ්‍යනය කළ යුතුයැයි හඟින “බරපතලකෘතීන්ගේ ගණයෙන් පහසුවෙන් කපා හැරෙන්නේ හා ඒවා පහත් ගණයේ බොළඳ, වාණිජ හා උප සාහිත්‍යට අයත් කෘතීන් ලෙස සැලකෙනුයේ ඇයි? ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඔවුහු “පවුලෝ වනාහි නවකතා කරුවකුට වඩා වැඩි කෙනෙක්ලෙස නො හඟින නිසාවෙනි. එසේත් නැතිනම් එකී කරුණ පිළිගැනීමට මැලි වන නිසාවෙනි. ඒ අනුව හුදෙක් බ‍්‍රසීලියානු මහපොළොව මත ක‍්‍රියාත්මක යථාර්ථයට ආවේනික සමාජ සංස්කෘතික ප‍්‍රපංචයන් හා එකී යථාර්ථය තුළ පවා අපූර්වත්වයේ පරිපාකයට පත් කොයියෝ වැනි සුවිශේෂී ලේඛකයකුගේ චරිත ලක්ෂණයන්, හැඟීම්, දැනීම්, අත්විඳීම් හා විශ්වාසයන් අධ්‍යනය කිරීම යට කීවා සේ, එවැන්නෙකු විසින් නිර්මිත කෘතීන් අධ්‍යනයට පූර්වගාමීව සිදු නොකිරීම අසාධාරණයකි. ස්වකීය නිර්මාණ භාවිතය පිළිබඳ පමණක් නොව තම ජීවින දැක්ම හා විශ්වාසයන් පිළිබඳවද එකසේ හකුළා දැක්වෙතියි සිතිය හැකි පවුලෝ විසින් කෙරෙන සංකේතාත්මක ඉඟිකිරීම් පාවුලෝ කියවන විචාරකයා හා සාමාන්‍ය පාඨකයා කෙසේවත් නොසලකා හැරිය යුතු නොවේ.

'''The Black Cloud නමින් සිත් ගන්නා සුලු විද්‍යා ප‍්‍රබන්ධයක් ඇත. එයින් කියැවෙන්නේ වලාකුළක් පැමිණ එහි දැනුමෙන් විශ්වය හා මන්දාකිණිය ගිලගත් බවයි. වලාකුළ ලොව ඇති පරිපූර්ණ දැනුම යි. එය පෘථිවිය ගිල ගැනීමට සූදානම් විය. මිනිසා වලාකුළු සමඟ සංනිවේදනය කළා. එහිදී මිනිසා කීවේ පොළොවේ බුද්ධිය ඇති හෙයින් වලාකුළට වෙනතක යන ලෙස යි. එසේ වුවද යෑමට පෙර ඒ දැනුම පොළොවට දෙන ලෙස ඒ මිනිසුන් ඉල්ලා සිටියා. නැණවත්ම මිනිහා තෝරාගෙන ඔහුට සම්බන්ධ වන්නැයි මිනිසුන් වලාකුළෙන් ඉල්ලා සිටියා. ඉතින් කළු වලාකුළ නැණවත්ම මිනිසා සමඟ සම්බන්ධ විය. එසේ සම්බන්ධ වූ විටම මිනිසාගේ මොළයෙන් ලේ ගලන්නට වුණා. පසුව ඔහු රෝහල්ගතව සිටියදී ඔහු මියයෑමට පෙර ඔහුගේ කාමරය පිරිසිදු කරන්නට මිනිසෙක් ආවා. වලාකුළ වරදක් කළ බව ඔහු කීවේය. තෝරාගැනීමට තිබුණේ තමන්ව බව ඔහු කියා සිටියේය.

ඒ මන්ද?

ඉතාම සරලයි. මන්ද නැණවත්ම මිනිසා ඒ වන විටම ඔහුගේ විශ්වාස සිය හිස මත නිර්මාණය කොටගෙන තිබුණේය. වලාකුළෙහි දැනුම ඔහුගේ හිස මතට පැමිණි විට, එයින් බොහෝ ප‍්‍රශ්න ඇතිවී ඔහු විනාශයට පත් කළේය. කෙසේ වුවද අනික් මිනිසාගේ සරල බව, සාමාන්‍ය බුද්ධිය, අගතියෙන් තොර බව ආදිය නිසා ඔහුට එම දැනුම ප‍්‍රතිවිරෝධතාවලින් තොරව තෘප්තිමත් අන්දමින් ලබන්නට ඉඩ තිබුණි...

...මා ලියන්නේ අප තුළ සිටින ළමයාට ය. ළමුන් හා අහිංසක බව පිළිබ`ද වැරදි අදහස් තිබේ. හරියට අහිංසක කම මිනිසුන්ව මුග්ධයින් කරන්නාක් මෙනි. නැත. එහි එහි උද්යෝගය විශ්මය හා වික‍්‍රමය තිබේ. එය වඩාත් දැනෙන්නේ ළමයින්ටය. තමා ළමුන්ට සිය දැනුම ලබා දෙන බවත්, ඥානවන්ත හා බලවත් අයගෙන් එය සඟවා තබන බවත්, සුභාරංචියේදී යේසුස් වහන්සේ කීමෙන් අදහස් කරන්නේ එයයි. මගේ කෘතීන්ගෙන් ඉදිරිපත් වන දර්ශනය තුළ මේ සියල්ල වැදගත්ය

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 184-185 පිට)

ජුවාන් විසින් නඟන සියුම් ප‍්‍රශ්නයන් සඳහා කොයියෝ ලබා දෙන පිළිතුරු බොහෝවිට තම කෘතීන් සඳහා සුරංගනා කතා ලේබලය අලවීමට රිසි විචාරක කියුම් අති සියුම් උත්ප‍්‍රාසයට හසු කරමින්, ස්වකීය කලා භාවිතය තුළ බැවහරිත ප‍්‍රබල දේශපාලනික චින්තාව මතුකරමින් සමාජමය තත්‍ය යථාර්ථයන් හා සමගාමීව මහපොළව මත කිඳා බැසීමට සමත් වේ. සැබෑ කලා කරුවා සතුවිය යුතුයැයි කොයියෝ විසින් හඟි අධිපතිවාදී දෘෂ්ටිවාදයන් හා සමගාමී නොවන ප‍්‍රගතිශීලී දේශපාලනික ගමන් මඟ සමස්ත කෘතිය පුරා සංකේතාත්මක හකුළා දැක්වීමකට බඳුන් කෙරේ.

දේශපාලන ක්ෂේත‍්‍රයෙහි ඔබ ඔබව ස්ථානගත කරන්නේ කොතැනකද?

මා ඔබට මීට පෙර සඳහන් කළාක් මෙන් දේශපාලන සත්වයෙක් ලෙස මා සම්බන්ධයෙන් සලකන නමුත් මා පක්ෂ සත්වයෙක් නොවෙයි. මන්ද, මිනිසුන් තුළ තිබෙන ස්ත‍්‍රී චින්තාවන් අවධිකරවමින් යහ පැවැත්මෙහි නිල අත් පොතඉරාදැමීමේ අවශ්‍යතාව අවධි කරවමින් සහ ඔවුන්ගේ සිහින සඳහා ගෙවිය යුතු මිළ ගෙවීමට, මගේ පෞද්ගලික ප‍්‍රවාදයන් තුළින් මා මිනිසුන්ට උපකාර කරන බැවින් මගේ කෘතීන් ප‍්‍රායෝගික දේශපාලනික කෘතීන් යැයි මම සිතමි. තමන්ට අවශ්‍ය දේ අනෙකුන් ලවා කරවාගැනීමේ උත්සහයක යෙදෙන්නා වූ ද, ජනතාවට සේවය කරනු වෙනුවට, තමාටම සේවය කරගන්නා, තමාගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට ජනතාව ඇමට ගන්නා සමහර වංචනික දේශපාලඥයින්ගේ සියලූම ආකාරයේ අන්තගාමී කි‍්‍රයා කලාපයන් මම මගේ කෘතීන්ගෙන් හෙළිදරව් කරමි.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 88-89 පිට)

අප විසින් නැවත නැවතත් අවධාරණය කළ, කොයියෝ වනාහි ලේඛකයකුට වඩා වැඩි කෙනෙකි යන්න මෙන්ම කොයියෝ විසින් නිර්මිත පඨිතයන් කියැවීමට පූර්වගාමීව ලේඛකයා කියවා තිබීමේ ඇවැසියාව සහ එකී ඇවැසියාව සඳහා “පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්වැනි පොතක වැදගත් කම පිළිබඳ අප තීසීසයන් තවදුරටත් ස්ථුට කරනු වස් තම කෘතීන් තුළ වන තම (ලේඛකයාගේ) හෙවණැල්ලෙහි අවිච්ෙඡ්දිතභාවය පිළිබඳ කොයියෝ දක්වන අදහසක් අවසන් වශයෙන් උපුටා දක්වමු.

“ඔබ ඔබේ පොත්වල කොතරම් දුරට සිටිනවාද?

මං මගේ පොත්වල සියලූ චරිත වල සිටිනවා. මං නැති එකම පොත zThe AlchemistZ'

ඒකට හේතුව මොකක්ද?

මන්ද Alchemist හැමදේම දන්නවා. එහෙත් මං දන්නවා මං හැමදේම දන්නේ නෑ කියලා. මං දන්නෙ නැති බොහෝ දේවල් තිබෙනවා. ඇත්ත වශයෙන්ම zThe AlchemistZ හිදී එඬේරා , ක‍්‍රිස්ටල් වෙළෙන්දා මෙන්ම ෆැටීමාද මමයි. මම බී‍්‍රඩා ද වුණා. The Valkyries සහ The Pilgrimage නම් පොත් වල ඇත්තේත් මගේ චරිතයයි. මගේ පොත් බොහෝමයක් ප‍්‍රබන්ධ නොවේ. ඒවා මගේ සැබෑ අත්දැකීම්. Veronica Decides to die සම්බන්ධයෙන්ද තත්වය එසේය. එහි ඇත්තේ මා තුන්වරක් මානසික රෝහලට ගාල් කළ අවස්ථාවල මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ය.

(පවුලෝ කොයියෝ, ජීවිත වන්දනාවක සටහන්. 176-177 පිට)


- ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර





Monday, January 17, 2011

ආත්මකේන්ද්‍රීයත්වය වැළැක්වීම කලාකරුවාගේ කාර්යභාරයක්


ආත්මකේන්ද්‍රීයත්වය වැළැක්වීම කලාකරුවාගේ කාර්යභාරයක්

ලියනගේ අමරකීර්ති

ශ්‍රී ලාංකීය සාහිත්‍ය විචාර කතිකාව පිණිස ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් දායාද කළ අමුතු කතාව, තරුණ නවකථාකරුවකු වෙත සහ සහෘද සාක්ෂිය නම් විචාර න්‍යායාත්මක ග්‍රන්ථයන්හිම දිගුවක් ලෙස පළවීමට නියමිත 'පහන සහ කැඩපත' කෘතිය අරභයා කළ සංවාදයකි මේ. මෙහි සාකච්ඡාවට ගැනෙන්නේ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් මුල්වතාවට සිංහල සාහිත්‍ය කතිකාවට හඳුන්වා දුන් සංකල්පයන් කිහිපකි.

• කලාවේ සංස්කෘතික කාර්යභාරය කියන එක ඔබ විග්‍රහකරන විදිහක් තියෙනවා. ඒ ස්වරූපය තුළ තිබෙන සංස්කෘතික සංස්කරණය සහ සංස්කෘතික සංරක්ෂණය කියන කරුණු දෙක ඔස්සේ මේ සාකච්ඡාව ආරම්භ කළොත්?

කලාව කියන එක සංස්කෘතියේම කොටසක්වීම තුළ හොඳ කලාව සතු සංස්කෘතිකමය කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි සංස්කෘතික සංස්කරණය කියන කරුණ.

යම්කිසි සංස්කෘතියක මිනිස්සු දැනට, හරි කියලා විශ්වාසකරන විදිහ, හිතන පතන විදිහ, ජීවත්වන විදිහ, දෘෂ්ටිවාදයන් වගේ දේවල් නිරන්තරයෙන්ම සංස්කරණය වීම අත්‍යවශ්‍ය කරුණක්. තවත් පැත්තකින් සංස්කෘතිය කියන එක නිරන්තරයෙන්ම පරිණාමය වන දෙයක්. සංස්කරණය නොවී සංස්කෘතිය කියන කරුණට පවතින්න විදිහක් නෑ.

තවත් අතකට යම්කිසි ප්‍රජාවක්, යම් කිසි ජන කොටසක් එකට බැඳලා තබන ඇදහිලි විශ්වාස, භාෂාව, ආගම, ජීවත්වන විදිහ, කනබොන විදිහ, නිෂ්පාදන ක්‍රියාවලිය වගේ වැදගත් සංස්කෘතික කොටස් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා ප්‍රජාවක් එකට බැඳලා තබන්න. ඒ අනුව සංස්කෘතිය කියන එක සංස්කරණයට සමගාමීව සංරක්ෂණයවීමේ අවශ්‍යතාවකුත් තියෙනවා. සංස්කෘතික උරුමය කියන කරුණත් මෙතනදි එක වගේ වැදගත් වෙනවා. ඉතිහාසය තුළ ඕනෑම ප්‍රජාවකට තියෙනවා තමාගේම කියලා සංස්කෘතික උරුමයක්. ඒ නිසා අපි සංස්කෘතික උරුමයේ යම් යම් දේවල් ද රැකගන්න අවශ්‍යයි.

• සංස්කෘතික සංස්කරණය සහ සංස්කෘතික සංරක්ෂණය එක්තරා අතකට එකිනෙකට ගැටෙන සංකල්ප දෙකක්. මෙවන් සංකල්ප දෙකක් එකවර හැසිරවීමේ දී කලාකරුවාට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා නේද?

උදාහරණයක් විදිහට පාළි ජාතක කතා මාලාව තුළ සමහර විට තියෙන්නේ එක ගාථාවයි. නමුත් එයට අට්ඨකථා ලියන අය ඒ සඳහා වෙනම ව්‍යාඛ්‍යාන සපයනවා. පන්සිය පණස් ජාතක පොත කියන්නෙ එහෙම ලියැවුණු එක් ව්‍යඛ්‍යානයක්. ව්‍යඛ්‍යානකරුවා ගාථාවකට කථාවක් ලිවීම තුළ එම ගාථාව තරමක් සංස්කරණය කරනවා. ඒ විතරක් නෙමෙයි මෙම කටයුත්ත නිසා එක් පසෙකින් එය සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සංරක්ෂණයක් ද කරනවා. ඒ අනුව ව්‍යඛ්‍යානකාරයා කරන මේ කලාත්මක කාර්යය තුළ සංස්කෘතිය සංස්කරණයවීම සහ සංස්කෘතිය සංරක්ෂණය වීම කියන කරුණු දෙකම එකවර සිදුවෙනවා.

එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාට්‍ය තුළ කරන්නෙත් මේ කාර්යයමයි. ඔහු චුල්ල ධනුද්ධර ජාතකය අරගෙන එයට වෙනත් අර්ථකථනයක් දෙමින් එය විසි එක්වන සියවසට අරගෙන එනවා. එතැනදි ස්ත්‍රීන් කියන්නේ බඩ ඇතුළේ තියාගෙනවත් රකින්න බැරි ජාතියක්ය කියන ස්ත්‍රී විරෝධී සාම්ප්‍රදායික යති දෘෂ්ටිය මනමේ නාටකය තුළ වෙනස් වෙනවා. මෙතනදී සරච්චන්ද්‍ර කරන්නේ ඊට ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් ලබාදීම. ජාතකකථාව නාට්‍යයට ගැනීම තුළ අදාළ ජාතකකතාව තවදුරටත් ජනප්‍රිය වීමත් මිනිසුන් අතරට යෑමත් සිදුවෙනවා. ඒ අනුව ඒ තුළින් සංස්කෘතික සංරක්ෂණය කියන එක සිදු වෙනවා. පරාක්‍රම කොඩිතුවක්කු රෂ්මි තුළ කරන්නෙත් ඒ ටිකමයි.

මේ සඳහා දෙන්න පුළුවන් තවත් වැදගත් උදාහරණයක් තමයි අජිත් තිලකසේන. ඔහු අපේ සංස්කෘතික උරුමයේ කොටසක් වන සිංහල භාෂාව අරගෙන මේ කාර්යයම කරනවා. ඔහු කරන්නේ සිංහල භාෂාවේ වාක්කෝෂය ඒ අයුරින්ම තියාගනිමින් එහි එන පිල්ලම් වැනි ඇතැම් කරුණු අතහරිමින් පිලි සමරූපීකරණය සිදුකිරීම. ඒ අනුව සිංහල භාෂාව සංස්කරණයවීමත් එය සංරක්ෂණය වීමත් කියන දෙකම අජිත් තිලකසේනගේ වෑයම තුළ සිදුවෙනවා.

• සංස්කෘතික උත්කර්ෂණය නැවැත්වීම කියන කරුණ කලාවේ සෙසු සංස්කෘතිමය කාර්යයන් අතර වැදගත් වෙන්නෙ කොහොමද?

කලාවේ තියෙන කාර්යයන් අතර සංස්කෘතික උත්කර්ෂණය නැවැත්විම කියන කරුණ ඉතාමත් වැදගත් එකක්. අපි තමයි හොඳම ජාතිය. අපිට තමයි හොඳම භාෂාව තියෙන්නෙ. අපිට තමයි හොඳම සංස්කෘතිය තියෙන්නෙ කියන සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වයක් ඕනම සංස්කෘතියක් තුළ තියෙන්න පුළුවන්. මේ සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වය ප්‍රශ්න කරන එක සහ එසේ සංස්කෘතිය උත්කර්ෂණයට නැංවීම වළක්වන එක කලාකරුවාගේ ප්‍රධාන කාර්යයක්. මැදපෙරදිග තලෙයිබාන් වාදය, බටහිර තමයි ශ්‍රේෂ්ඨතම සංස්කෘතිය තියෙන්නෙ කියන සුදු උත්කෘෂ්ටවාදය, යුරෝකේන්ද්‍රීයවාදය වගේ දේවල් සිදුවෙලා තියෙන්නේ මේ කියන සංස්කෘතික උත්කර්ෂණය නිසා. ලෝකයේ උතුම්ම රට පෙරදිග ධාන්‍යාගාරය වගේ සංකල්පත්, අපේ සංස්කෘතිය තමයි සාමකාමීම සංස්කෘතිය, බෞද්ධයින් කවදාවත් ආගම වෙනුවෙන් සටන් කරලා නෑ වගේ සංකල්පත් අප තුළ තියෙන්නෙත් මේ සංස්කෘතික උත්කර්ෂණය කියන කරුණ අප තුළත් තියෙන නිසා. නමුත් මේ සංකල්ප එකක්වත් හිතන තරම් සරල නෑ. සංස්කෘතික උත්කර්ෂණය නිසා මතුවන මේ බොහෝ දේවල් සියුම්ව පරික්ෂාවට ලක් කළොත් පේනවා ඒ ඔක්කොම වැරදියි කියන එක.

සංස්කෘතික උත්කර්ෂණය කියන එක දිහා බලද්දි පේන්න තියෙන දෙයක් තමයි ඒක සංස්කෘතික සංරක්ෂණයේම එක කොටසක් බව. නමුත් සංස්කෘතික උත්කර්ෂණය කියන කටයුත්ත තරමක් භයානක එකක්. මොකද ඒ තුළින් කලාවෙන් කෙරෙන්න ඕනෙ එක කාර්යයක් වන සංස්කෘතික සංරක්ෂණයට ඉඩ නැතිව යනවා. ඒ හේතුව නිසා තමයි සිනමාකාරයින්ට, සාහිත්‍යකාරයින්ට ජාතියට අවනම්බු කරනවා, භාෂාව විනාශ කරනවා කියන චෝදනා එන්නේ. මොකද ඔවුන්ට එහෙම කියන පිරිස් අමතක කරනවා, හොඳ කලාවේ එක කාර්යයක් වෙන්නෙ සංස්කෘතික සංස්කරණය කියන එක කියලා.

සංස්කෘතික උත්කර්ෂණය තුළ පවතින අනෙක් කරුණ තමයි එය තම සංස්කෘතියෙන් පිට මානව වර්ගයා සමග නිදහස් ගනුදෙනුවකට ඉඩ නොදීම. ඒ අනුව අපේ සංස්කෘතියට අයිති අයත් සමග විතරයි අපට මනුෂ්‍යයින් විදිහට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ.

සංස්කෘතියක් සංස්කරණය කරන්න සාහිත්‍ය හැරුණුකොට තවත් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට රැඩිකල් දේශපාලන වෙනස්කමකට පුළුවන් එහෙම කරන්න. විප්ලවය වගේ අවස්ථාවක් තුළ.

• සංස්කෘතික සංස්කරණ කාර්යභාරය තුළ ජනප්‍රිය සංස්කෘතිය කියන කාරණයටත් යම් කිසි අවකාශයක් හිමිවෙනවා නේද?

ජනප්‍රිය සංස්කෘතිය කියන එක ස්වභාවයෙන්ම අන්තර් සංස්කෘතිකයිනෙ. උදාහරණයක් විදිහට ජනප්‍රිය සංස්කෘතිය තුළ චේගුවේරා, මැඩෝනා, බොබ්මාලි, බොබ් ඩිලන්, කියන කවුරුත් ඉන්නවා. ඒ සමහරවිට ටී ෂර්ට්වල කොණ්ඩ මෝස්තරවල සහ සංගීතය තුළ වෙන්න පුළුවන්.

ඒ හේතුව නිසා සාහිත්‍යයේ හෝ දේශපාලනයේ මැදිහත්කමක් නැතිව සංස්කෘතියක් සංස්කරණය කරන්න පුළුවන් එක් වැදගත් ක්‍රමයක් තමයි ජනප්‍රිය සංස්කෘතිය. මෙතන තියෙන අනෙක් වැදගත් කරුණ තමයි ජනප්‍රිය සංස්කෘතිය අරන් යන්නෙ සාමාන්‍ය මිනිසුන් වීම. රැඩිකල් දේශපාලනඥයින් සහ සාහිත්‍යකරුවන් කියන අය මේ කටයුත්ත කරන්නෙ ඒ විදිහට නෙමෙයි. ඔවුන් යම්කිසි බුද්ධිමය මැදිහත්වීමක් කරන අය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ සිදුවන ප්‍රධාන කරුණක් තමයි සංස්කෘතික උත්කර්ෂණය අඩුකරන එක. තවත් පැත්තකින් සෙල්ෆෝන්, අන්තර් ජාලය, යූටියුබ් සමග ගනුදෙනු කරන නූතන ලෝකය තුළ සංස්කෘතික උත්කර්ෂණය කිරීම කියන කාර්යය කරන්න අපහසුවෙලා තියෙනවා. සංස්කෘතික ගෝලීයකරණය කියන කාරණය පිළිබඳ නොයෙක් ප්‍රශ්න තිබුණත් මේ අර්ථයෙන් සංස්කෘතික ගෝලීයකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මහා පරිමාණයෙන් නැති වුණත් අද වන විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජීවිතය පවා අන්තර්ජාතික ජනප්‍රිය සංස්කෘතියේ ආභාසය ලබාගෙනනෙ තියෙන්නෙ. එවන් තත්ත්වයක් ඇතුළෙ සංස්කෘතික උත්කර්ෂණය සිදුකරන්න අවශ්‍යනම් මැදපෙරදිග ඇතැම් රටවල් සහ චීනය වගේ යම් යම් රූපවාහිනී සේවා සහ අන්තර්ජාලය තහනම් කරන්න සිදුවෙනවා. නමුත් එසේ කිරීම තුළ පවා මේ තත්ත්වය සම්පූර්ණයෙන් වළක්වන්න අමාරුයි. ඒ නිසා අද වන විට ලෝකය තුළ සංස්කෘතික පවිත්‍ර අඩවි වෙන්කර ගන්න අමාරු යි.

• ජනප්‍රිය සංස්කෘතිය කියන එක ජාත්‍යන්තර වෙළඳ මාධ්‍යයන් තුළ මෙහෙයවීම කියන කරුණ තුන්වෙනි ලෝකයේ රටවල දකින්නට තියෙන දෙයක්නෙ. මේ හේතුවෙන් සංස්කෘතික සංස්කරණයට ජනප්‍රිය සංස්කෘතිය දක්වන දායකත්වය අර්බුදයට යන්නෙ නැද්ද?

ජනප්‍රිය සංස්කෘතිය පාදක වෙන්නෙ බොහෝ විට ජාත්‍යන්තර වෙළඳ මාධ්‍යයන් ඇතුළෙ කියන එකෙත් ඒ තුළින් සංස්කෘතික සංස්කරණය කියන කරුණ එක්තරා සීමාවකට යටත්කිරීමේ ඉඩ තියෙනවා කියන එකෙත් යම් කිසි ඇත්තක් තියෙනවා. නමුත් ජනප්‍රිය සංස්කෘතිය කියන එක මේ තත්ත්වයට වැටීමෙන් වළක්වන්නෙ කොහොමද කියන එක ගැන 'ෆ්රෑන්ක් ෆර්ට්' සරසවියේ සිටි දාර්ශනිකයකු වූ තියඩෝර් අඩොර්නෝ අදහස් දක්වනවා.

අඩොර්නෝ මේ සම්බන්ධයෙන් යෝජනා කළ දෙය තමයි ජනප්‍රිය සංස්කෘතියයි වෙළඳ සංස්කෘතියයි කියන දේවල් කොටස් දෙකක් විදිහට වෙන් කර ගන්න ඕනෙ කියන එක. ඔහුට අනුව වෙළඳ සංස්කෘතිය කියන්නේ විශේෂයෙන් ඇමරිකාව කේන්ද්‍රකරගත් මීඩියා වෙළඳ සමාගම් මගින් පතුරුවන කලාවක්. ඇත්ත වශයෙන්ම ඒක තොග නිෂ්පාදිත කලාවක්. මේකයි ජනප්‍රිය සංස්කෘතියයි දෙක දෙකක් විදිහට ගන්න ඕනෙ කියන එක තමයි අඩොර්නෝගේ අදහස.

ලංකාව තුළ ජනප්‍රිය සංස්කෘතිය කියන එකට උදාහරණයක් විදිහට ජෝතිපාල ගන්න පුළුවන්. ඔහුට පුළුවන්කම ලැබිල තියෙනවා සමාජයේ ජනතාවගේ ජීවිතත් එක්ක ඓන්ද්‍රීයව බද්ධ වෙන්න. නමුත් වෙළඳ කලාවට එහෙම හැකියාවක් නෑ. ඒක විශාල ආයෝජනයක් කරල සමාජය මතුපිටින් ආරෝපණය කරන එකක්. මේ අනුව වෙළඳ කලාව දුරස්ථව තියාගනිමින් ජනප්‍රිය කලාව ආරක්ෂා කළ යුතු බව තමයි අඩොර්නෝ අදහස් කළේ.

තවත් අතකට ඇමරිකානු සංකල්ප රූප අධිරාජ්‍යය යටතේ ජනප්‍රිය කලාව පාලනය වුණත් එය එදිනෙදා ජීවිතය තුළ භාවිත කරන්නෙ මිනිස්සුනෙ. ''රොබට් සිස්ක්'' කියන සන්නිවේදන න්‍යායධරයා රතු ඉන්දියානු මිනිසුන් හොලිවුඩ් චිත්‍රපටි බලන ආකාරය පිළිබඳව හදාරනවා. සුළුජාතිකයින් සහ රතු ඉන්දියානුවන්ගේ ගැටුම තුළ සුදු ජාතිකයින් රතු ඉන්දියානුවන් පරාජය කරලා ජය ලබන්න යන අවස්ථාවේදි රතු ඉන්දියානුවන් චිත්‍රපටිය නවත්වනවා කියලා ඔහු හොයා ගන්නවා. මිනිස්සු කොහොමද සමහර දේවල් දිහා බලන්නෙ කියන එක ගැන රොබට් සිස්ක් හොයාගෙන තියෙන දේ තමයි ඒ. ඒ අනුව හොලිවුඩ්වලින් මොනව කළත් මිනිස්සු බලන විදිහ අනුව ඒකට වෙන අර්ථකථනයක් සැපයෙනවා. මෙය එක්තරාවිදිහකට ව්‍යුහවාදය නිසා කලාවට ලැබුණු වැදගත් දායාදයක්. මොකද ජනප්‍රිය හෝ විදග්ධ හෝ ඕනෑම කලාකෘතියක අර්ථය තියෙන්නේ කර්තෘගේ ඔළුවෙ නෙවෙයි රසිකයාගේ භාවිතය තුළ කියනඑක ව්‍යුහවාදය පෙන්වා දෙන කරුණක්.

ජනප්‍රිය සංස්කෘතිය තුළත් මේ ලක්ෂණය තියෙනවා. මොකද ඒ තුළ මිනිස්සු දේවල් වෙනස් කරන නිසා. බොබ්මාලි ලංකාවේ භාවිත වන විදිහට නෙමෙයි ජැමෙයිකාවේ භාවිත වෙන්නෙ. චේගුවේරා බොලීවියාවේ භාවිත වන විදිහට නෙමෙයි අපේ ටීෂර්ට් එකේ භාවිත වෙන්නෙ. වෙළඳ කලාව භාවිත වෙන්නෙ සංකල්පරූප අධිරාජ්‍ය කියන එක හරි. එක්තරා අතකට එය අභියෝගාත්මක කරුණක් තමයි. එතනදි අවශ්‍ය දෙය වෙන්නේ ජනප්‍රිය සංස්කෘතියට බුද්ධිමය අන්තර්ගතයක් සපයන එක. ඒ සඳහා අපි අපේ සංස්කෘතික දේශපාලනික ව්‍යාපාර අතරට ජනප්‍රිය කලාව අරගන්න ඕනෙ.

මොනවා වුනත් සාහිත්‍ය කරුවන් සහ සාහිත්‍ය න්‍යාය හදාරන්නන් විදිහට අපි, සංස්කෘතික සංස්කරණය රැඩිකල් දේශපාලන වෙනස්කම්වලින් සිදු වෙනකම් බලන් ඉන්න එකවත්, ජනප්‍රිය සංස්කෘතිය විසින් සිදුවෙනකම් බලන් ඉන්න එකවත් කළ යුතු නෑ. සාහිත්‍යකරුවාට ඊට වැඩිය ලොකු වගකීමක් තියෙනවා.

• සාහිත්‍ය තේරුම් ගැනීමේ කාර්යයේදී මෙන්ම සංස්කෘතික සංස්කරණ කාර්යයේදී ඉතා වැදගත් වූ සංකල්පයක් තමයි සානුකම්පික පරිකල්පනය [Sympathetic Imagination]. සානුකම්පික පරිකල්පනය සාහිත්‍ය කියවීමේදී වැදගත් වෙන්නේ කොහොමද?

සානුකම්පික පරිකල්පනය ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නේ ඇමරිකානු චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉන්න මාර්තා නස්බෝම් කියන මහාචාර්යවරිය අතින්. සාහිත්‍ය පිළිබඳ මීට වඩා අලුත් විදිහට බලන්න ඕනෙ කියලා ඇය 90 දශකයේ මැද භාගය වන විට කල්පනා කළා. ඒ කාලෙ වනවිට පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඇවිත් සාහිත්‍ය පිළිබඳ සමාජය තුළ නොතේරෙන සංකීර්ණ මතවාද කිහිපයක් තහවුරු කරලා තිබීම මෙහෙම හිතන්න ඇයට හේතු වුනා. එම මතවාදයන් දෙක තුළින්ම සාහිත්‍ය තුළ සිදුවුණු වැදගත්කම් බොහෝමයක් තියෙනවා. නමුත් එක් දහස් නවසිය අනූ ගණන් වන විට සාහිත්‍ය පිළිබඳ ඇමරිකානු ශාස්ත්‍රාලීය කතිකාව සාහිත්‍යයට වඩා න්‍යායාත්මක පැත්තක් ගැනීම එමගින් සිදුවෙලා තිබුණා. අනෙක් අතට ඒවා ඉතා තියුණු න්‍යායක් වුවත් ඒවාට පුළුවන්කමක් තිබුණෙ නෑ සාහිත්‍ය කියන එක මොකටද තියෙන්නෙ කියන කාරණය තේරුම් ගන්න.

මේ තත්ත්වය උඩ මර්තා නස්බෝම් තම පුහුණුව තිබුණු බටහිර දර්ශන ඉතිහාසය සහ ඊට අමතරව සාහිත්‍ය ඉතිහාසයත් ආපසු පරීක්ෂා කර බලන්න උත්සාහ කළා. පශ්චාත් නූතනවාදය හා ව්‍යුහවාදය තුළ දර්ශනයේ ඇති ප්‍රධාන කොටස් දෙකෙන් එකක් වන ආචාර්යධාර්මීය කොටස අමතක වී ඇති බව එවිට ඇයට තේරුණා. ඒ තුළ ඉස්මතුවෙලා තිබුණේ ඥානවිභාගාත්මක කොටස විතරයි.

සාහිත්‍ය දිහා අලුත් විදිහට බැලීම සහ සාහිත්‍ය ආචාරධර්මීය පැත්තෙන් වටහා ගැනීම හොඳ බව තේරුම්ගත් ඇය ඒ සඳහා Poetic Justice සහ Cultivating Humanity කියන පොත් දෙක ලිව්වා. ඇත්තටම ඒ තුළින් සාහිත්‍ය විචාරයට විකල්ප ධාරාවක් එකතු කිරීමට ඇය සමත් වුණා. සාහිත්‍යයේ ඉතාම වැදගත් කාර්යය වන්නේ ආනුකම්පිත පරිකල්පනය වර්ධනය කිරීම බව නස්බෝම් එතනදි අවධාරණය කළා.

යම් සංස්කෘතියක ජීවත් වෙන මිනිසුන්ගේ සංස්කෘතික ආත්මීයත්වය (Cultural Self) නිසා එකී ආත්මීයත්වයට අයත් නොවන සංස්කෘතික අන්‍යයින් (Cultural Others) කියන අයට අසාධාරණයක් වෙන්න පුළුවන්නෙ. උදාහරණයක් විදිහට සිංහල කථාකරන බෞද්ධයින්ට සිංහල කථා නොකරන නිර්බෞද්ධයින් සංස්කෘතික අන්‍යයන් වෙනවා. ඇමරිකානු සුදු මිනිස්සුන්ට කළු ජාතිකයින් සංස්කෘතික අන්‍යයන්. විසම ලිංගිකයින්ට සම ලිංගිකයින් සංස්කෘතික අන්‍යයින්. පිරිමින්ට ගැහැනු සංස්කෘතික අන්‍යයින්.

මාර්තා නස්බෝම් මේ අනුව පැහැදිලි කළේ ආචාරධාර්මික සමාජයක් ගොඩ නැගීමට නම් තමන්ට වඩා සංස්කෘතිමය වශයෙන් තීරණාත්මකව වෙනස් මිනිස්සුන්ගේ ජීවිත පරිකල්පනිකව මවාගෙන එය ජීවිත දිහා සානුකම්පිතව බැලීමේ හැකියාව හැමෝටම තිබිය යුතු බව. මේ ධාරිතාව වර්ධනය කරන්න පුළුවන් සාහිත්‍ය තුළ.

නමුත් ඇය Cultivating Humanity කියන පොතේ කියනවා සානුකම්පික පරිකල්පනය වර්ධනය කිරීමෙන් විතරක් සමාජයක් වෙන් කරන්න බැරි බව. උදාහරණයක් විදිහට කළු ජාතික වහල් මිනිසුන්ගේ ජීවිත ගැන දුක හිතෙන නවකථා කියවලා සුදුජාතික මිනිස්සු දුක් වුණාට වැඩක් නෑ. සමාජය වෙනස් කරන එක සාහිත්‍ය කියවලා විතරක් කරන්න බෑ. ඒක කරන්න ඕනෙ දේශපාලනිකව. සමාජය වෙනස් කරලා ඒ වෙනස්කම් නීතිගත කරලා ඒ නීති පිළිපදින්නට මිනිසුන් යොමු කිරීම තුළින් තමයි සමාජයක් වෙනස් වෙන්නෙ. පුරවැසි භාවය සහ පුරවැසි අයිතිවාසිකම් සිංහල මිනිස්සුන්ටත් තියෙනවා, දෙමළ මිනිස්සුන්ටත් තියෙනවා, මුස්ලිම් මිනිස්සුන්ටත් තියෙනවා කියලා තේරුම් අරන් ඒවා නීතිගත කරලා ඒ නීති පිළිපදින්න මේ ජාතීන් සියල්ල එකඟ කිරීම කරන්න ඕනෙ සමාජයක් සංස්කරණය වීමට. මෙතැනදි නස්බෝම් කියන්නෙ සාහිත්‍යයේ කාර්යභාරය මේ ප්‍රජාවන් තුළ සානුකම්පික පරිකල්පනය දියුණු කරන එක කියලා. මොකද එහෙම නොකළොත් සමාජයමය නීති වෙනස් කළාට පස්සෙ ඒවා පිළිපදින්න අවශ්‍ය කරන භාවමය පදනම මිනිසුන් තුළ නොවන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ නීතින් මොකටද කියන කරුණ ගැන කිසියම් විඥානීය වර්ධනයක් තියෙන්න ඕනෙ.

නස්බෝම්ගේ මේ විග්‍රහයන්ගෙන් පශ්චාත් නූතනවාදී හා ව්‍යුහවාදී න්‍යායන් පිළිබඳ විඩාවට පත් වී සිටි සාහිත්‍ය උගන්වන සහ ඉගෙනගන්නා පිරිසට සාහිත්‍යයේ කාර්යභාරය කුමක්ද? කියන එක තේරුම් ගැනීමට වැදගත් ප්‍රවේශයක් ලැබුණා.

සංවාදය - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ඡායා - හේමන්ත අරුණසිරි

[රාවය 2010-12-05]

Tuesday, January 11, 2011

උමතු පෙම්වතියකට



උමතු පෙම්වතියකට

සරා සඳ අවානක්* නෙමෙයි
නුඹ
තුරුලූ කර ළමැඬියෙහි
උණුහුමට
සිසිර දුස්ස්වප්නයෙක
නිදි බිඳින

හිරු පෑයු - නොපෑයූ හැම පැයක
ඉනොගෂිර රිය පොළම
කළු ගැහුණ
දෑස් නොපියා බලන ක්ෂිතිජයෙක
ලූණු රසට නෙත් කෙවෙනි
ඉරි තලන

නිහඬ බව තුඩින් ගිලිහුණ
කවෙක
පේ‍්‍රමයක කහට
පැල්ලම් ගැසෙන

නොබලන්න
නුහුරු ලෙස මා වුවන
නොකියන්න මා නුඹේ නොවන වග
ඇටසැකිල්ලක් වෙලා ඇස් ගිලූණ
වේදනා කැටකැබලි
සඳ නිවන

දෑතින්ම
හදක් උගුලා දැමුණ
රිදී වන් රාමුවෙක තත් සිඳුණ
තැවරුණිද නුඹේ රුව
මදහසෙක

උමතු තරුණියක ලෙද
පෙම බිඳුණ
ලූහුබඳින තෙලිතුඩක සිතුවමක

ජීවිතේ ග‍්‍රීස්මෙක
තෙත සිඳුණ
පපු කූඩුවම පත්තු වී
දැවෙන
සිසිර දුස්ස්වප්නයෙක
හිම මිදුණ
සරා සඳ අවානක් නෙමෙයි නුඹ

⋆චීන රජ මාලිගයෙහි සේවය කළ හන්ජො නම් තරුණිය සමග රජු පේ‍්‍රමයෙන් බැඳී සිටියේය. නමුත් ටික දිනකින් රජු විසින් ඈ අමතක කර දමනු ලැබුවාය. මෙයින් දැඩි ලෙස වියෝවට පත් වූ ඇය තමා සරත් ඍතුවෙහි අවානකට සමාන කරගනිමින් කාව්‍ය බන්ධනය කළාය. සරත් ඍතුව උදාවීමත් සමඟ සීත කාලය ආරම්භ වේ. එකල්හි විජිනිපතකින් කවර නම් ඵල ද?

මෙම කවියට පාදක වූ "උමතු තරුණිය" නම් නාට්‍යය සඳහා මිෂිම යුකිඔ නම් ජපන් නාට්‍ය ශිල්පියාහට පසුබිම් වන්නේ මෙකී සංකල්පරූපය යි. පේ‍්‍රමයෙහි සළකුණක් ලෙස තම පෙම්වතාගෙන් ලද, මිදුණු හිම කැටයම් කළ අවානක් ළය හොවා කවදා හෝ තම පෙම්වතාගේ පැමිණීමත්, අවානේ කැටයම් කළ හිම දියව ගොස් ගිම්හානයේ පැමිණීමත් පතමින් ඉනොගිෂර නම් එක්තරා ගම්බද දුම්රිය පොළෙක බංකුවක වාඩි වී බලා සිටින රූමත් උමතු තරුණියක පිළිබඳ පුවත මෙකී නාට්‍යයෙහි දිගහැරේ. තමා හුන් බංකුවෙන් නැගිට දුම්රියෙන් බැස එන හැම තරුණයාගේම මුහුණ දෙස කුතුහලයෙන් යුතුව බලන ඈ කඩවුණු බලාපොරොත්තුවෙන් යුතුව නැවතත් වාඩි වන්නීය. හතළිස් හැවිරිදි අවිවාහක සිත්තරියක විසින් යැපෙන මැයට ඇගේ පෙම්වතා මුණගැසීම වැළැක්වීමට මෙන්ම ඇගේ වේදනාව සිතුවමට නගමින් සම්මාන ලැබීමටත්, පේ‍්‍රමය වෙනුවෙන් ඇය විඳින වේදනාව නරඹමින් සියුම් සතුටක් ලබා ගැනීමටත් එකී සිත්තරිය උත්සහ ගනී. අවසන තම පෙම්වතිය සොයා ඔහු පැමිණියත් ඇයට ඔහු හඳුනාගත නොහැකි වූ හෙයින් ඔහුට ආපසු හැරී යෑමට සිදුවේ.

Thursday, November 4, 2010

සිහරද වලප


සිහරද වලප

ඉපල් හිස් තුරෙක අස
දලුවකුදු නො පෙනෙන
විසුළ පර පත් හැම
පෙත්මං වසා අවුරන

ඉකිබිදී සිහරද
තෘෂ්ණිම්භූත ස්වරයෙන
හිත අසළ තුරුලු කළ
පර මලෙක සුවද විද විද
නොදැන මෙන යා යුතු මග

- ප්‍රසාද්









Thursday, September 30, 2010

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි.



ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි.


ආචාර්ය එස්.අයි. කීතපොන්කලන්- කොළඹ විශ්වවිද්‍යාලය


• විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?


අපි විශ්වාස කළ දෙයක් තමයි 18 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලනකොට කොහොමටවත් වාසිදායක දෙයක් නොවන බව. ඒ පිළිබඳ සමාජ මට්ටමේ සංවාදයක් තියා අඩුතරමේ වැඩිදෙනෙක් එහි ව්‍යුහයවත් දැනගෙන හිටියේ නෑනෙ. මං හිතන්නෙ නෑ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුටවත් අනෙක් කවරකුටවත් මේ ගැන පොදු සාකච්ඡාවකට එන්න කාලයක් තිබුණා කියලා. ඒ නිසා ඒ ගැන සමාජයට කියන්න-

-දැඩි අවශ්‍යතාවක් අපි තුළ තිබුණා. මේ හේතුවෙන් අන්තිම මොහොතෙදි හරි විශ්ව විද්‍යාල ආචාර්යවරු හැටියට අපි ඒ දේවල් කිව්වා.


• 18 සංශෝධනය තුළින් ඔබ කියූ අයුරු ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවන හානිය මොකක්ද?


77දී අපි මේ ව්‍යවස්ථාව හදාරණ කොට ඉතා අවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිමත්, බලතල සහිත විධායකයක්නෙ ගොඩනැගුවෙ. ඒ හදන කොට ජනාධිපති ක්‍රමයක තිබීමට අවශ්‍ය කරන සංවරණ සහ තුලන විධික්‍රම ගොඩනගා තිබුණේ නැති තරම්. තිබුණත් ඒ එකක් දෙකක් පමණයි. අයවැය වැනි කරුණක් ගත්තාම ඒ තුළ යම්කිසි ස්වාධීනත්වයක් ව්‍යවස්ථානුකූලව හිමිවුණා. නමුත් එය ප්‍රායෝගික වශයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නෑ. මොකද හැමවිටම වගේ ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය විදිහට තිබීම නිසා.1978දී අපි පරිකල්පනය කළ ජනාධිපති ක්‍රමයට වඩා හාත්පසින් වෙනත් ක්‍රමවේදයක් තමයි අපි මෙතනදි ගොඩනැගුවෙ. ඒ අනුව 78 තිබුණ නම් තිබුණු සංවරණයන් සහ තුලනයන් කිහිපයක් උදුරගෙන මේ තුළින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයක් ගොඩනගලා තියෙනවා.


• රජය මේ සංශෝධනය ගෙනයන්න්, මෙතෙක් කල් සාකච්ඡා වුණු බලය බෙදීම, 13 ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ කිරීම කියන කාරණා සියල්ල අමතක කර?


බලය බෙදීම කියන එක අද වන විට හුදෙක් තර්කයට විතරක් සීමා වෙලානෙ තියෙන්නෙ. නමුත් 2009 මැයි වෙන්න කලින් මේ තර්කය යථාර්ථමය තර්කයක්. සාමය අවශ්‍ය නම් සුළු ජාතිකයන් සෑහීමකට පත් කරන්න නම් බලය බෙදිය යුතුයි කියන විශ්වාසය ඒ යුගය වන විට දේශපාලනය තුළ විශාල වැදගත්කමක් දරන කරුණක් වුණා. මොකද ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ඉතා ශක්තිමත්ව තිබූ නිසා. නමුත් අද වන විට ඒ පීඩනය පේන්න නෑනෙ. ඒ නිසා සාමය අවශ්‍ය වනවා නම් බලය බෙදිය යුතුයි කියන එක අද හුදු තර්කනමය කාර්යයක් වෙලා තියෙනවා. එය අද වනවිට යථාර්ථවාදී ස්වරූපයෙන් ඈත්වෙලා. මේ කරුණු හේතුවෙන් තම ප්‍රථම වෑයම ලෙස බලය බදීමට ප්‍රමුඛත්වය දෙන්න රජයට අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මතනදි රජය ලැබිලා තියෙන තුනන් දකේ බලය වුණත් ස්ථීර එකක් නෙමෙයිනෙ. ඒක හදාගෙන තියන්නෙ වන පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කරගෙන නිසා එය බොහොම ඉක්මනින් බිඳ වැටී යන්න පුළුවන්. ඒ නිසා රජය කළේ තමන්ට අවශ්‍ය කරන ප්‍රශ්න දෙකක් විසඳාගන්න ඒ අවස්ථාව ඉතා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එක. එක ප්‍රශ්නයක් තමයි වාර සීමාව. අනික තමයි රජය ඉතා විශාල ප්‍රශ්නයක් විදියට සලකා 17 වන සංශෝධනය ඉවත් කිරීම. ඒ අනුව රජය ඒ කටයුත්ත ඉතා සාර්ථකව හා සූක්ෂ්ම ලෙස කරගත්තා.කිසිම පීඩනයක් නැතිව ඉන්න අද වගේ දවසක, තියෙන හුදු තර්කමය කරුණක් වන බලය බෙදාහැරීම වගේ වැඩ කටයුත්තකට රජය අතගසයි කියලා හිතන්න බෑනෙ. ඔවුන්ට ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික කැමැත්තක් අනාගතය තුළවත් තියෙයි කියලා හිතන්න අමාරුයි. මොනවා වුණත් ඔවුන් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන හරහා අපිට රජයේ අවංක කැමැත්ත මොකද්ද කියන එක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්.අද වන විට බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ දෙමළ ජනයාට විතරක් නෙමෙයි. අනෙක් හැමෝටමත් මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දේශපාලන වශයෙන් කොළඹට කේන්ද්‍රගත වෙලා. ඒ නිසා බලතල බෙදීමේ අවශ්‍යතාව හැමෝටම තියෙනවා. නමුත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තියෙන්නෙ දෙමළ ජනතාවට. ඒ නිසාමනෙ ඔවුන් මෙතරම් කල් සටන් කළේත්.ඒ නිසා මේ අවස්ථාව තුළ වෙන්න ඕනෙ රටේ ඒකීයභාවය තහවුරු කරන, එමෙන්ම හැමවිටම රටේ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරන බලය බෙදාහැරුණු ක්‍රමයකට යෑම අපි කළ යුතුයි. නමුත් ඒ දේවල් පීඩනයකින් තොරව ඉබේ සිදුවෙයිද කියන ගැටලුව තියෙනවා.මොනවා වුණත් ලංකාව තුළ බලය බෙදීම කියන එක, ජනවාර්ගික ප්‍රශ්නය කියන එක විසඳන්න තියන හොඳම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි මං දකින්නේ. මොකද මේ වන විට එල්ටීටීඊ එක නැතිවා විතරක් නෙවෙයි ඒ හේතුවෙන් රජයට මේ වන විට විශාල පීඩනයකුත් නෑ. තවත් අතකින් ටීඑන්ඒ වගේ පක්ෂ, බෙදුම්වාදය කියන එක අතහැරලා වෙනත් ඇහැකින් දේශපාලනය දිහා බලන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාව තුළ මේ ප්‍රශ්නය විසඳීමට උපරිම වශයෙන් වෙහෙස වියයුතු බව තමයි මගේ විශ්වාසය.


• 18 ව්‍යවස්ථා සංශෝධනය වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිසංස්කරණ ඉතා පහසුවෙන් කිරීම සඳහා මෙරට ජනතාවගේ දේශපාලනික සවිඥානිකත්වය වැදගත් වෙන්නෙ කොහොමද?


මේක එකපාරටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. 2009ට ඉස්සෙල්ලා ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා නම්, එතකොට තිබුණු මූලික මතය තමයි මේ ව්‍යවස්ථාව ඉතාම නරකයි. ඒ අනුව ඒ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන මතය. ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවිය යුතු බව තමයි ඒ යුගයේ මතය වුණේ. ඒ වුණාට ඒ සියල්ල 2009 මැයි මාසයත් එක්ක වෙනස් වෙනවානෙ. යුද්ධයත් එක්ක නොසිතූ විරූ අන්දමට ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසා තමයි 18 සංශෝධනය කිසිම ජනතා විරෝධයකින් තොරව කරන්න පුළුවන් වෙන්නෙ. 18 සංශෝධනය ඉදිරිපත් කළ දිනයේ තිබුණේ ජන පෙළගැසීම් දෙකයින. ඉන් එකක් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවපු විරෝධතාව. අනෙක විරෝධතාවක් නෙමයි 18ට පක්ෂව රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය. මෙතනදි යථාර්ථමය වශයෙන් දකින්නට තිබුණු කාරණය තමයි රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය යූඑන්පී පෙළපාලියට වඩා බොහොමයක් විශාල වීම. ඒ අනුව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්නෙ දකුණේ මොනවගේ මානසික මට්ටමක්ද තියෙන්න කියලා.


• 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මානව අයිතිවාසිකම් සහ ඡන්ද හිමිකම් වැනි තත්ත්වයන් තුළ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද?


සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ගත්තාම ලංකාව තුළ අනෙක් මොනවා නැතත් ඡන්දය වෙලාවට සිදුවෙනවානෙ. එය තවදුරටත් නියමිත වෙලාවට සිදුවෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ජනතාව සඳහා ඡන්ද ප්‍රතිඵල කෙරේ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.මං හිතන විදියට මොවුන් ධුර වාරයන් වැඩි කළත් මෙතනදි ප්‍රායෝගිකව මුහුණ දෙන්න සිදුවේවි විශාල ගැටලුවකට තුන්වැනි වර ඡන්දය ඉල්ලීමේදී. මගේ නම් අදහස මහින්ද රාජපක්ෂට ඊළඟ වතාවේ ඡන්දය ෙ ජයග්‍රහණය කරන්න බැරි බව. ඡේ.ආර්. 77දී දිනන කොට ඇය ඡේ.ආර්.ට අත තියන්න බෑ කියලා හිතෙන තරමට ඔහුට විශාල ජන බලයක් තිබුණනෙ. එසේ නමුත් කල්යෑමේදී ඡේ.ආර්. ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය බිංදුවටම පිරිහිලා තිබුණේ.


• නමුත් එක පැත්තකින් මේ විධායක ක්‍රමය තුළ වෙනත් අපේක්ෂකයකු බලයට පත්වීමට ඇති ඉඩකඩ අහුරලා තියෙනවා. තවත් අතකින් රජය මීළඟට ගෙන ඒමට නියමිත 19 සංශෝධනය ඇතුළෙ වෙනස් වෙන්න ඡන්ද ක්‍රමය කියලා වාර්තා වෙනවා?


මේ ක්‍රමය ඇතුළෙ යම්කිසි පුද්ගලයකුට ජනාධිපතිවරයකු අබිබවා බලයට ඒමේ ඉඩකඩ ඇහිරිලා තියෙන බව මං පිළිගන්නවා. ඒ මොනවා වුණත මහජන මතය අතිවිශාල වෙනසකට භාජනය වෙලා තිබුණෝතින් මේ එක් දෙයක්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ තුළ විශාල වෙනස්කමක් විය හැකි බවයි මගේ නම් විශ්වාසය.


• පවතින තත්ත්වය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇහිිරීයෑම, මානව හිමිකම් උල්ලංඝනය වීම වගේ සංවේදී කරුණු දිහා බැලීමට මෙරට ජනතාවගේ මනස කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ?


කලින් කිව්වා වගේ 18 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රමාණවත් මහජන විරෝධයක් දක්නට තිබුණේ නෑනෙ. එහෙම ගත්තාම අපේ ජනතාවට කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න බෑ ඔබ කිවූ කාරණා ගැන. අනෙක් අතට සිංහල කියන්නේ මුළු ජන සංඛ්‍යාවෙන් 75%ක් පමණ වන අතිවිශාල බහුතරයක්නෙ. ඒ අනුව බලපුවාම මහ ජාතිය වශයෙන් ඔවුන් ඉතා ශක්තිමත් පිරිසක්. ඒ වුණත් බලය බෙදීම වගේ කරුණක් ගැන කතා කරද්දී ඔවුන් කල්පනා කරන්නේ, හැසිරෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ ගැන බලන්නේ අධික භීතියකින් යුක්තව. බලය බෙදුවාම රට විනාශ වෙනවා කියන මතය පෙරටුගාමීව සිටින ඔවුන්ගේ එම චර්යාව තුළින් විතරක් අද වන විට රටේ මහජනතාවගේ විඥානය සකස් වෙලා තියෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්නෙ.ප්‍රමාණාත්මක වශයෙන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ඉඳලත්, බලය බෙදීම වගේ කරුණක් සම්බන්ධයෙන් සුළු ජාතිකයන් කෙරේ අවිශ්වාසයක් තැබීමටත්, අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමටත් මේ රටේ සිංහල ජනයා යොමුවිය යුතු නෑනෙ. මොකද දෙමළ ජාතිකයන් ඇතුළු පිරිසට සන්නද්ධ අරගලයකට යන්නටවත්, දේශපාලනික වශයෙන් බහුතර සිංහල ජනතාවට අභියෝග කිරීමටවත් පුළුවන්කමක් නෑ. නමුත් අද වන විට සිංහල ජනතාවගේ විඥානය මේ යථාර්ථය පිළිගන්න ආකාරයට සැකසිලා නෑ. ඒ නිසා අපිට මෙතනදි ඉස්සෙල්ලාම වෙනස් කරන්න සිදුවෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය බලය බෙදීම ආදිය පිළිබඳ මෙරට ජනයා තුළ ඇති හැඟීම් සහ ඔවුන් තුළ වන අදහසයි.


ව්‍යවස්ථා සංශෝධන කාර්යයන් ඇතුළෙ මහජන මැදිහත්වීමේ වලංගුතාව පෙන්වන ජාත්‍යන්තර උදාහරණ මොනවාද?


සාමාන්‍ය විදිහට බලපුවාම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නෙ රටක බරපතළම කාර්යයක්නෙ. ඒ අනුව එහි මූලික පියවර වියයුත්තේ ජනතාවට ව්‍යවස්ථා කෙටුම්පත ලබාදීම සහ ඔවුන් සඳහා විශාල කාලසීමාවක් ලබාදී ප්‍රධාන සාකච්ඡාවක් සඳහා මහජනතාව පොළඹවන එක. ඒ සඳහා වාද විවාද සංවිධානය කරන එක.ස්විස්ටර්ලන්තය වගේ රටක් ගත්තාම තත්ත්වය මීටත් වඩා ඉදිරියෙන් තියෙනවා. මොකද දේශපාලනික වශයෙන් තමන්ට අවශ්‍යයැ'යි කියලා හිතන ප්‍රතිසංස්කරණ රජයට ලබාදී ඒවා ව්‍යවස්ථාවට ඇතුල් කරගැනීමේ හැකියාව එරටෙහි ජනතාවට තියෙනවා. තමාට මේ වගේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා ජනතාව රජයෙන් ඉල්ලද්දී ඒවා සලකා බැලීම රජයේ අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. මොකද එකී කරුණු පිළිබඳ එරට ව්‍යවස්ථාව තුළින්ම ප්‍රතිපාදන ලබාදීලා තියෙන නිසා.ඇත්තටම මෙතනදි ජනතාවට පුළුවන් තමන් යෝජනා කරන දෙයක්, යෝජනාවලියක් ලෙස සකස් කොට ඒ සඳහා මහජනතාවගේ අත්සන් ලබාගැනීමත්, මගින් රජයට ඉදිරිපත් කිරීමට. මෙසේ ජනතාව මගින් ඉදිරිපත් වන යෝජනා සියල්ල පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගැනීම එරට සාමාන්‍ය ක්‍රමවේදයයි.ඒ විතරක් නෙමෙයි මහජන නියෝජිතයන් නිසි පරිදි ජනතාවට ස්වය නාකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නිසි තීන්දු තීරණ ගැනීම සඳහා කටයුතු කිරීමට පවා ස්විස්ටර්ලන්තය තුළ ඡන්දදායකයාට අයිතියක් තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම නෑනෙ. ඒ වගේ දේවල් අනුකරණය කරමින්, ඒ වගේ දොස් කියලා ජනතාවට පෙන්වන්න තමයි ජනමත විචාරණය කියන එක අපි ගත්තෙ. මොකද ජනමත විචාරණයක් තුළදීත් ජනතාවගෙන්නෙ අහන්නෙ. එහෙත් ජනමත විචාරණයෙන් අහන ප්‍රශ්න මහජනයාගේ වුවමනාවට ඔවුන් විසින් සැකසූ ඒවා නෙමෙයිනෙ. ඒවා ඔක්කොම දේශපාලනඥයන් විසින් තම අවශ්‍යතා අනුව සැකසූ දේවල්. එතනදි වෙන්නෙ අපි මෙහෙම දෙයක් කරන්න යනවා. ඒකට කැමතිද නැත්ද කියලා බලහත්කාරයෙන් තම අවශ්‍යතාව ජනතාව මත පැටවීමක්.


ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


(රාවය 2010.09.26)